සුව සෙත

ශරීර බර අඩු කිරීමට අදාළ ජාන වර්ධනය කිරීමටත්, රුධිරගත ග්ලූකෝස්‌ හා ඉන්සියුලින් ප්‍රමාණයන් පාලනය කරමින් දෙවැනි ඝනයේ දියවැඩියාව රෝගයට ගොදුරු වීමෙන් වැළැක්‌විමට හේතුවන බව නවතම බටහිර අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

ඊශ්‍රායලයේ ටෙල් අවීව් හා ජෙරුසෙලමේ හීබෘ යන විශ්වවිද්‍යාලයන්හි පර්යේෂකයින් පිරිසක්‌ විසින් තරබාරු තත්ත්වයේ පසුවන සේවකයින් ඇතුළු ස්‌වෙච්චා සේවකයින් 36 දෙනකු යොදාගෙන සිදුකරන ලද මෙම අධ්‍යයනයට අනුව මෙම කරුණු හෙළිවී තිබේ.

මෙම අධ්‍යයනය මෙහෙය වූ ටෙල්අවීව් විශ්වවිද්‍යාලයෙහි ඩැනියෙලා ජාකුබෝවික්‌ස්‌ට අනුව යමෙකු දවසේ වැදගත්ම ආහාර වේල සිය උදැසන ආහාරය නොගෙන සිsටියහොත් ශරීරයෙහි බර අඩුවීමට හේතු වන ජාන අඩුවෙන් වර්ධනය වන අතර දවසෙහි අනිකුත් ආහාර වේල් නියමිත පරිදි ගත්තද එම තත්ත්වයෙහි වෙනසක්‌ නොවේ. ඇයට අනුව උදැසන 9.30 ට පෙර සිය උදැසන ආහාර වේල ගැනීමෙන් අයෙකුගේ මුළුමහත් ශරීරය පුරාම ජීර්ණ ක්‍රියාවලිය හා විවිධ සෛල අතර ද්‍රව්‍යයන් ප්‍රවාහනය කිරීම යන කාර්යයන් වර්ධනය කිරීමටත් ශරීරයේ බර අඩු කිරීමටත්, දෙවැනි ඝනයේ දියවැඩියාව හා අනෙකුත් වයස හා සම්බන්ධ රෝග තත්ත්වයන්ට මුල් වන සංකූලතාවන් ඇතිවීම පමා කිරීමටත් හේතුවේ.

මෙම අධ්‍යයනය මෙහෙයවූ පර්යේෂකයින්ට අනුව ලොව පුරා බොහෝ රටවල ළමුන් හා යෞවනයින්ගෙන් 1/3 ක්‌ පමණ දෙනා නිරතුරුව සිය උදැසන ආහාර වේල මඟහරී.වෙනත් අධ්‍යයනවලදී අනාවරණය වී ඇත්තේ උදැසන ආහාර වේල මඟහැරීම තරබාරු බවට හේතු වන බවයි. මෙම කරුණුවලින් පෙනී යනුයේ උදැසන ආහාර වේල ශරීරයෙහි බර පාලනය කිරීමේ මාධ්‍යයක්‌ ලෙස යොදා ගත හැකි බව යෑයි පර්යේෂකයෝ පෙන්වා දෙති.

සුව සෙත

නිවුන් දරු ප්‍රසූතියකට සූද‌ානම්ව සිටි මවකගේ එක් දරුවකු ගබ්සා වූ අවස්ථාවේ අනෙක් දරුවාට එලෙස ගබ්සාවලට ඉඩ නොතබා එම දරුවා නිරුපද්‍රිතව මෙලොවට බිහිකරන්නට සමත් වූ ලොව ප්‍රථම වෛද්‍යවරයා ලෙස සැලකෙන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සුමනසීල ද සිල්වා මහතාය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත. මහනුවර මහරෝහලේ වසර එකහමාරක පමණ කාලයක්ද, ගලගෙදර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා ලෙස වසර 3ක පමණ කාලයක්ද සේවය කර ඇති ඒ මහතා 1983 වසරේ එංගලන්තය බලා ගොස් ඇත.

වසර 35ක පමණ කාලයක් එරට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කර ඇති සුමනසීල ද සිල්වා මහතා මේ වන විට එංගලන්තයේ බටහිර මධ්‍යම ප්‍රාන්තයේ පිහිටි රුසෙල්ස් හෝල් රෝහලේ (Russells Hall Hospital) සේවයේ නිරතව සිටී. කෙටි නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ සිටි අවස්ථාවේ ඔහු සිය අදහස් පළ කරමින් මෙසේ කීහ.

නිවුන් දරුවන් ගැබ් ගෙන සිටි මවකගේ යම් හෙයකින් එක් දරුවෙකු ගබ්සා වුවහොත් ඒ සමඟ අනෙක් දරුවන්ද ගබ්සා වීම සිදුවෙනවා. එංගලන්තයේ ගුවන් සමාගමක සේවය කරන මවක් නිවුන් දරු ප්‍රසූතියකට සූද‌ානම්ව සිටිය ද ඇයගේ එක් දරුවෙකු සති 20කදී ගබ්සා වුණා.

මම ඒ අවස්ථාවේ කුස තුළ සිටි අනෙක් දරුවාව පිටතට එන්නට නොදී ගර්භාෂයේ පටලය ඇතුළට දමා ගර්භාෂ ගෙලේ මැහුමක් දැම්මා. සති 38 කට පසු එම මැහුම ගලවා නිරුපද්‍රිතව මෙලොවට බිහිවන්නට සැලැස්සුවා.වෛද්‍යවරයෙකු මෙවැනි ප්‍රතිකර්මයක් කර තිබුණේ ලෝකයේ පළමුවරටයි. මෙම සිද්ධියට බී.බී.සී. ඇතුළු විවිධ මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ද ලබා දුන්නා.

මෙලෙස උපන්නේ පිරිමි දරුවෙක්. ඔහුගේ පියා එංගලන්තයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවෙක්. එම දරුවට මාපියන් නම තිබ්බේ මගේ සුමනසීල යන නමේ සීල යන කොටසක් එකතු කරලා ආචීසීල බ්‍රැග්ස්බර්න් (Achiseela Bxadburn) කියලයි. 2007 උපන් එම දරුවා දැන් දස හැවිරිදි වියේ පසුවෙනවා. ඔහු දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්.

මම ගතවූ වසර දහයක කාලය තුළ මේ ආකාරයේ ප්‍රතිකර්ම 36ක් කර තිබෙනවා. ඉන් 30ක් සාර්ථක වුණා. මෙම ප්‍රතිකර්මය සිදුකිරීමේදී ගර්භාෂය තුළ ආසාදන තත්ත්වයක් තිබෙන්න බැහැ. ගර්භාෂයේ තිබෙන පටලයට හානි සිදුව තිබෙන්නත් බැහැ. එසේම මවට විලිරුද‌ාව හටගෙන තිබෙන්නත් බැහැ.

මුළු ලෝකයෙම ඉන්න වෛද්‍යවරු ජීවත්වෙන්නෙ රෝගීන් නිසා. රෝගීන් තමයි වෛද්‍යවරු වන අපට තියෙන පරම වත්කම. හැම රෝගියෙක්ම අපි ළඟට එන්නේ දැඩි විශ්වාසයක් ඇතිවයි. ඒ විශ්වාසය උපරිමයෙන් ආරක්ෂා වන ලෙස කටයුතු කරන්නට හැකි විය යුතුයි. අපි ළඟට එන හැම රෝගියකුටම අපි ගරු කළ යුතුයි. තමන්ගෙම අම්මට තාත්තට සලකනවා වගේ හැම රෝගියෙකුටම උපරිමයෙන්ම යුතුකම් ඉටු කරන්නට අපි ක්‍රියා කළ යුතුයි. නමුත් මේ රටේ ඉන්න සමහර වෛද්‍යවරු මේ කිසිවක් ගැන සැලකිල්ලට ගෙන නොවෙයි අසරණ රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ.

රෝගීන්ට ප්‍රතිකාර සිදුකොට ඔවුන්ව සුවපත් කිරීම විශාල පුණ්‍ය කර්මයක්. මේ රටේ ඉන්න බොහෝ වෛද්‍යවරු ඒක පාපකර්මයක් බවට පත්කරගෙන කටයුතු කරනවා. වෛද්‍යවරු ලෙස අපට පින් කරගන්න දීලා තියෙන වරයක් අපාගත වෙන්නයි බොහෝ දෙනා කටයුතු කරන්නේ. මේ රටේ රජයේ රෝහලකින් යම් යම් සැත්කම් කරගැනීමේදී කාලයක් බලා සිටින්නට සිදුව තිබෙනවා. නමුත් ඒ සැත්කම් මුදල් තිබේ නම් ඒ මොහොතෙම වූවත් පෞද්ගලික රෝහලකින් කරදෙන්න මේ රටේ ඉන්න සමහර වෛද්‍යවරු සූද‌ානම්.

අපේ රටේ වෛද්‍යවරුන්ගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ වරදින් රෝගීන් මියයාම ඉහළ යමින් තිබෙනවා. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් මුනිවත රකිනවා. රජයේ රෝහලකදී මෙන්ම පෞද්ගලික රෝහලකදීත් රෝගීන්ට වෛද්‍යවරයෙකුගේ ඇති සැලකිල්ල හා වගකීම එක වගේ විය යුතුයි. අපේ රටේ පෞද්ගලික වෛද්‍ය සේවයේ කිසි ප්‍රමිතියක් නැහැ. අයකරන ගාස්තු පවා වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට වෙනස්.

මා සේවය කරන රුසෙල්ස් රෝහලේ වසරකට දරු උපත් 5500 පමණ සිදුවෙනවා. බටහිර මධ්‍යම ප්‍රාන්තයේ පමණක් එවැනි රෝහල් විස්සක් පමණ පිහිටා තිබෙනවා. එරට ජීවත් වන සියලු දෙනාටම ඉහළම සෞඛ්‍ය පහසුකම් නොමිලේ රජයේ රෝහල්වලින් ලබා දෙනවා. රෝහලකට පැමිණෙන රෝගියෙකුට සති 12 තුළ සියලු ප්‍රතිකාරදී අවසන් කළ යුතුයි. පිළිකා රෝගීන්ට රෝහල් ගත වූ මුල් සතියේම ප්‍රතිකාර කිරීම ආරම්භ කළ යුතුයි.

රෝගීන්ට සිදුකළ යුතු ඉතිරි ප්‍රතිකාර පිළිබඳව වෛද්‍යවරු තනි තනිව තීරණ ගන්නේ නැහැ. වෛද්‍යවරු සියලුදෙනා සෑම සතියකට වරක්ම එකට හමු වී ඒ ඒ රෝගීන්ට සිදුකළ යුතු ඉතිරි ප්‍රතිකාර පිළිබඳව සාමූහික තීරණ ගන්නවා. ඕනෑම රටක ජීවනාලියවන්නේ නිරෝගිමත් සහ බුද්ධිමත් පරම්පරාවයි. එවැනි පරපුරක් ගොඩනැගීමේ වගකීම රැඳී පවතින්නේ වෛද්‍යවරු සහ ගුරුවරුන් මතයි.

ගැබිනි මවක් රෝහලකට එන්නේ බබත් එක්ක ගෙදර යන්න මිස මිනී පෙට්ටියකින් ගෙදර යන්න බලාගෙන නෙවෙයි. මේ නිසා දරු ප්‍රසූතියකට රෝහල් ගතවන හැම ගැබිනි මවක් ගැනම විශේෂ අවධානයකින් හැමවිටම කටයුතු කරන්නට වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට සිදුවෙනවා. ලෝකයේ තිබෙන අතිදුෂ්කරම කාර්යය තමයි මවක් දරුවෙකු මෙලොවට බිහිකරන එක.

අපේ රටේ බොහෝ වෛද්‍යවරුන්ගෙන් සහ රෝහල්වල කාර්ය මණ්ඩලයෙන් රෝගීන්ට අවශ්‍ය කරන නිසි ගෞරවය සහ සැලකිල්ල ලැබෙන්නේ නැහැ. රෝගියෙකු අවාසනාවන්ත ලෙස මියගිය විට ඔහුට සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීමටත් එම රෝගියාගේ ඥාතීන්ට අයිතියක් තිබිය යුතුයි. මේ සඳහා රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකෙන රෝගී ප්‍රඥප්තියක් මේ රටේ වහා ඇති කිරීමට වගකිව යුතු බලධාරීන් ක්‍රියා කළ යුතුයි.

ලොව බොහෝ රටවල එවැනි ප්‍රඥප්තීන් ඇති කර ඒ තුළින් රෝගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරදීමට කටයුතු කර තිබෙනවා. රෝගීන් නිතර පීඩාවට පත්කරන සෞඛය වැඩවර්ජන නතර කිරීමටද රජය අවශ්‍ය පියවර ගත යුතුයි. වැඩ වර්ජන නතර කර රෝගීන්ගේ අයිතිවාසිකම් රැකදෙන්නට රජයට නොහැකි නම් ඒ රජය ඉල්ලා අස්විය යුතුයි.

සුව සෙත

කාන්තා අත්බෑගය විෂබීජ වලින් පිරුණු තැනක්‌ බවට නවතම සොයාගැනීම් අනුව වාර්තා වෙනවා. කාන්තා අත්බෑගයක්‌ විවර කර බැලූ විට බොහෝ අත්බෑග තුළ තිබෙන්නේ අවශ්‍ය දෙයට වඩා අනවශ්‍ය දෙය බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණාවක්‌.

අවශ්‍ය අනවශ්‍ය සහ සියලු දෙයෙහි එකතුවක්‌ ඇති කාන්තා අත්බෑගයකින් අවශ්‍ය විටෙක යමක්‌ සැණෙකින් පිටතට ගත නොහැකිව බෑගය පෙරළමින් අවශ්‍ය දෙය සොයන කාන්තාවන් අඩුවක්‌ නැහැ. ඒ තරමටම එවැනි වූ කාන්තාවන් සිටිනවා.

අවශ්‍ය, අනවශ්‍ය සියලු දෙය බහා තබා ගන්නා කාන්තා අත්බෑගයක්‌ තුළ ජීවත්වන, විෂබීජ විටෙක ඇය රෝගී කිරීමට තරම් සමත්විය හැකි බවක්‌ නවතම පරික්‍ෂණ වර්තා පෙන්වා දෙනවා. මුහුණ පිසදැමූ ටිෂූ වැනි දෙයෙහි එකතු වන විෂබීජ ප්‍රමාණය එයට බොහෝ විට හේතුවෙලා .

කරුණු කාරණා එලෙසින් වන නිසාවෙන් දින දෙකකට වරක්‌වත් අත්බෑගය පිරිසිදු කර අනවශ්‍ය දැ ඉවතට දැමීමට අමතක කරන්න එපා. එමෙන්ම යන යන තැන අත්බෑගය බිම තැබීමට පුරුදු වී සිටී නම් මෙතැන් පටන් එම පුරුද්ද අතහැරීමටත් වගබලා ගැනීම ඔබට යහපතක්‌ වේවි. මෙම පුරුද්ද දුම්රියේ, රෝහලේ වැනි තැන්වල පවා සිදුවන ක්‍රියාවක්‌ බව අමුතුවෙන් කිව යුතු නොවෙයි.

ඔබේ සෞඛ්‍යාරක්‍ෂාව වෙනුවෙන් අත්බෑගය සතුවත් යම් වගකීමක්‌ ඇති බව අමතක කරන්නට නොහැකි බව මෙයින් පෙනෙනවා නේද?

සුව සෙත

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති හයවැනි ආසියා පැසිපික් තරුණ විද්‍යා සමුළුවේදී බකිනි ගසේ පලතුරු මදයෙන් ගර්භාෂ බිත්ති පිළිකා ප‍්‍රභේදයක් විනාශ කළ හැකි බව ඉදිරිපත් කළ කොළඹ නාලන්ද විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රකිඳු රන්දිව් වික‍්‍රමරත්න ජීව විද්‍යා අංශයේ රිදී පදක්කම දිනාගැනීමට සමත්විය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර් සමරකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ විද්‍යාඥ කැලූම් රත්නායක, නුවන්කා අබේසිංහ යන මහත්ම මහත්මීන්ගේ මඟ පෙන්වීම යටතේ රකිඳු මෙම පර්යේෂණය සිදුකළේය.

මෙම සමුළුවට රුසියාව, චීනය, ඉන්දියාව, තුර්කිය, ස්ලෝවෙනියාව, මලයාසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, නේපාලය ඇතුළු රටවල් රාශියක තරුණ විද්‍යාඥයන් 200 ක් පමණ පර්යේෂණ ඉදිරිපත් කර තිබිණි.අප කළ විමසීමකදී රකිඳු රන්දිව් අදහස් දැක්වූයේ මෙසේය.

‘‘මෙම පර්යේෂණයට මා බකිනි ශාකයේ පලතුරු මදය තෝරාගැනීමට හේතු වුණේ මා කුඩා කාලයේ මගේ මවගේ ගම වන ගාල්ලේදී බකිනි ශාකය දැක තිබුණා. එම ශාකයේ මල්වල ඇති හැඩය හා විකසනය අනුව මට හිතුණා බකිනි පලතුර මෙම පර්යේෂණය සඳහා යොදා ගැනීම සුදුසු බව. ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර. ආර්. සමරකෝන් මහතා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඔහුගේ අධීක්‍ෂණය යටතේ මෙම පර්යේෂණය සිදුකළා.

බකිනි ගසේ පලතුරු මදය නිස්සාරණය කර ලබාගත් විශේෂිත රසායනික ද්‍රව්‍ය ගර්භාෂ බිත්ති ආශ‍්‍රිතව ඇතිවන පිළිකා තත්ත්ව විනාශ කිරීමට හැකියාව තිබෙන බව සොයාගැනීමට මට හැකිවුණා. එමෙන්ම මෙම පිළිකා වර්ගය රසායනික ප‍්‍රතිකාර මගින් සුව කිරීමට හැකියාවක් නෑ. නුදුරේදීම මෙම පලතුරේ අඩංගු රසායනිකය වෙන්කරගෙන සැබෑ මිනිස් ශරීරයක ගර්භාෂ බිත්ති ආශ‍්‍රිත පිළිකා සමඟ ප‍්‍රතික‍්‍රියා කරවීමට සලස්වා ඉදිරි පර්යේෂණ සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.
පාසල් සිසුවකු හැටියට මෙම ජයග‍්‍රහණය පිළිබඳව සැබැවින්ම සතුටු වෙනවා. මෙම තරගාවලියට ලංකාවෙන් තරුණ විද්‍යාඥයකු ඉදිරිපත්වූයේ ප‍්‍රථම වතාවටයි. ඒ ප‍්‍රථම අවස්ථාවේදීම දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට හැකිවීම ලොකු ජයග‍්‍රහණයක් හැටියටයි මා දකින්නේ. මෙය ආසියා පැසිපික් තරගාවලියක් වුවද රුසියාව, ස්ලෝවේනියාව වැනි යුරෝපා රටවල්ද සහභාවී තිබුණා.

පසුගිය අපේ‍්‍රල් මාසයේ ජර්මනියේ සටුට්ගාට්හිදී පැවැති 24වැනි ජාත්‍යන්තර තරුණ විද්‍යා සමුළුවේදී ලොව ලාබාලම තරුණ විද්‍යාඥයා ලෙසත්, මැලේසියාවේ ක්වාලලම්පූර්හිදී පැවැති ජාත්‍යන්තර ආර්.එම්.සී. තරුණ විද්‍යා සමුළුවේදී රිදී පදක්කමක් දිනාගැනීමටත් හැකි වුණා. මේවන විට මා රිදී පදක්කම් 3 ක් දිනා සිටිනවා.

මෙම තරගාවලියට සහභාගිවීමට ගුවන් ටිකත්පත් ලබාදුන් රේණුකා ජයසුන්දර මහත්මියට මේ අවස්ථාවේදී මා ස්තූතිය පළකරනවා. එමෙන්ම කොළඹ නාලන්දා විද්‍යාලයේ ළුිදුහල්පති තිලක් වත්තුහේවා, පන්තිභාර ගුරුතුමිය වන ප‍්‍රමිතා ගලප්පත්ති, පර්යේෂණ සංසඳය භාර උපේක්‍ෂා අබේසේකර යන මහත්ම මහත්මීන්ට මා කෘතඥතාව පළකරනවා. එමෙන්ම නිතරම මා පසුපසින් සිටන මගේ දෙමව්පියන් සිහිපත් කරන්නේ හද පිරි ගෞරවයෙනි. ’’

සුව සෙත

අනික මෙකට කෙට්ටුත් වෙනවලු… කොලස්ට්ට්‍රොල් නෑති අයටත් මෙක බිව්වාම හැදෙන්නේ නෑ කියලා තමයි කියන්නෙ.අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකී.මෙ බෙහෙත සොයාගෙන තියන්නෙ නම් තායිවානයේ.මෙ හදපු බොතල් විදෙශ රටවල විකුණන්න තියෙනවා.අපි මුලින්ම හෘද්‍යාබාධයක් සහ බයිපාස් සැත්කම යනු කුමක්ද කියලා හඳුනාගෙන ඉමු .


ඇතැම් අවස්ථාවලදි ඔබගේ දෙමාපියන්ට, ඔබගේ හිතවතෙකුට හෝ ඔබට හෘද්‍යාබාධයක් ඇති වුවහොත් වෛද්‍යවරයා විසින් බයිපාස් සැත්තමක් සිදු කල යුතු යැයි ඔබට දැන්වුවහොත් අනිවාර්යෙන්ම ඔබ කම්පාවට පත් වෙනු ඇත. ඒ මන්ද යත් බොහෝ දෙනා අතර මෙම සැත්කම පිලිබද ඇති දැනුම අල්ප වැවිනි . . .
බයිපාස් සැත්කමේදි සිදු කරනු ලබන්නේ කුමක්ද ? හෘදයාබාධයක් යනු හෘදයට රුධිරය සපයන කිරිටක ධමනි වල රුධිර කැටියක් සිරවිම නිසා එම අවහිරතාවයට ඔබිබෙන් ඇති ප්‍රදේශයට රුධිර සැපයුම අඩාල විමෙන් එම පටකය මියයයි. මෙහිදි හෘත් පෙෂි පටකය මිය යන බැවින් එම මිය ගිය කොටසට නිසි පරිදි රුධිරය පොම්පකිරිමේ හැකියාවක් නොමැත .

එබැවින් සිරුරේ අනෙකුත් වැදගත් අවයව වලටද රුධිරය සැපයුම අඩාල වි රෝගියා මිය යයි. එම නිසා හෘදයාබාධයක් සදහා ලබාදිය හැකි ප්‍රතිකාර වලින් සිදුවිය යුත්තේ ඉහත සදහන් කල කිරිටක ධමනිය තුල ඇති රුධිර කැටියක් ඉවත් කිරිම හෝ කිරිටක ධමනියේ එම අවහිරතාවය මග හැරෙන පරිදි වෙනත් ශිරාකොටසක් සවි කිරිම මගින් ඒ තුලින් රුධිරය ගමන් කරවිමට සැලැස්විමයි .


මෙහිදි පළමුව සදහන් කල ප්‍රතිකාර ක්‍රමය බොහෝවිට සිදු කරන්නේ ඹෟෂධ මගින් එනම් හෘදයාබාධ්‍යක් ඇති වු රෝගියෙකුට දෙන ස්ට්‍රෙප්ටොකයිනේස් නැමැති ඹෟෂධ මගින් රුධිර කැටිය දිය කර හරි නමුත් ඇතැම් අවස්ථාවලදි මෙම ඹෟෂධය මගින් රුධිර කැටිය මුළුමනින්ම ඉවත්කල නොහැකි අවස්ථා ඇත. එවිට කල හැකි ප්‍රතිකාරය වන්නේ එම අවහිරතාවය මග හැරෙන ලෙස රුධිරය ගමන් කල හැකි වෙනත් මාර්ගයක් සැදිමයි. එය බයිපාස් සැත්කමක් ලෙස හැදින්වේ . . .
දැන් අපි බලමු බයිපාස් සැත්කම නොකර අපි එදිනෙදා භාවිතා කරන සුදු ළුණු, ඉගුරු, දෙහි වැනි දෑ උපයොගී කරගෙන හෘදය වස්තුවට රුධිරය සපයන නාල වල ඇතිවන දෝෂ මගහරවා ගැනීමට වටිනා පානයක් සකසා ගන්නා ආකාරය . . .
මෙම ඖෂධීය පානය සෑදිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:
01. ලෙමන් දෙහි ඉස්ම 250ම්ලි
02. ඉගුරු ග්‍රෑම් 500
03. ලොකු සුදුළුණු ග්‍රෑම් 500
04. ඇපල් සයිඩර් විනාකිරි පිරිසි කෝප්ප 01 යි.
05. පිරිසිදු මී පැණි ම්ලි 500
පලමුව සුදුළුණු සහ ඉගුරු පොතු හැර සොදා වතුර බේරෙන්නට හැර පහල රූප සටහනේ පරිදි කුඩා කැබලිවලට කපා ගන්න
ඉන්පසු තෙත බෙරුනු සුදුළුණු සහ ඉගුරු බ්ලෙන්ඩරයකට දමා පහල රූප සටහනේ පරිදි හොදින් අබරාගන්න
හොදින් අබරාගත් සුදුළුණු සහ ඉගුරු පිරිසිදු රෙදිකඩකින් මිරිකා පහත රූපයන් අකාරයට සුදුළුණු සහ ඉගුරු යුෂ ලබා ගන්න මෙම යුෂ පිරිසි කොප්ප දෙකක් පමණ අවශ්‍ය වේ

ඉන් පසු සුදුළුණු සහ ඉගුරු යුෂ භාජනයකට දමා එයට මිරිකාගත් ලෙමන් දෙහි යුෂ පිරිසි කොප්පක් සහ ඇපල් සයිඩර් විනාකිරි පිරිසි කෝප්පයක් එක්කර අඩු ගින්දරෙන් පැය භාගයක් පමණ රත්කරන්න, භාජනයට දැමූ පිරිසි කොප්ප 4 ප්‍රමාණය පිරිසි කෝප්ප 3ක් දක්වා සිදිය යුතුයි
පසුව එම මිශ්‍රනය ලිපෙන් ඉවත්කර නිවෙන්නට හැර එයට පිරිසිදු මී පැණි පිරිසි කෝප්ප තුනක් එක්කර පහත රූපයේ පරිදි බොතලයකට දමා දිණපතා උදෑසන අහාරයට පෙර එම ඖෂධීය පානයෙන් මේස හැන්දක ප්‍රමාණයක් පානය කරන්න . .සුදුලුනු යුෂ අන්තිමට හදා ගන්න සුදුලුනු ගොඩාක් වෙලා තිබ්බාම බෙහෙත කොලපාට වෙන්න ගන්නවා.
උ.ගැ

සුව සෙත

ලස්සන වීමට ආලේපන වර්ග තැවරීමට මෙන්ම ආභරණ පැලඳීමටත් කාන්තාවන් හුරුපුරුදු වූයේ ඈත අතීතයේ සිටය. අතීතයේ කාන්තාවන් තැවරූ ආලේපන වර්ග ස්වාභාවික මෙන්ම ඖෂධීය ඒවා වූවද වර්තමානය වනවිට කාන්තාවන් ආලේප කරන නිෂ්පාදනයන් බොහෝමයක්ම පාහේ නිෂ්පාදනය කරන්නේ රසායනික සංයෝගයන් භාවිත කරමිනි.

ආභරණ පැලඳීම සම්බන්ධයෙන් වර්තමානයේ පවතින්නේද වෙනස්ම වූ පෙළඹීමකි. වි‍ශේෂයෙන් ශරීරයේ විවිධ ස්ථාන සිදුරු කර කරාඹු දැමීම වර්තමානය වනවිට ගැහැනු පිරිමි ‍ෙභ්දයකින් තොරව සිදුකරන්නකි.මෙලෙස හිතුමනාපයට ශරීරයේ විවිධ ස්ථාන සිදුරු කර කරාඹු පැලඳීම සෞඛ්‍ය ආරක්ෂිත නොවන බවට පසුගිය දිනක MSN ජාත්‍යන්තර පුවත් සේවය මගින් වාර්තා කර තිබුණේ ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයෙකුගේ කරුණු දැක්වීමක්ද ගෙනහැර දක්වමිනි.ඔවුන් පවසන ආකාරයට කන් පෙත්ත, නාසය, දිව, ඇහි බැම, තොල්, නාභිය ආදී ඕනෑම ස්ථානයක කරාඹු පැලඳීමේදී ආසාදන තත්ත්ව ඇති වුවහොත් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට මෙන්ම ස්නායුවලටද හානි ඇති වීමට අවදානමක් තිබේ.

මෙවන් අවදානමක් ආභරණ පැලඳීමෙන් දැරීමට සිදුවේ නම් ඒ පිළිබඳව වඩාත් පරීක්ෂාකාරී මෙන්ම ආරක්ෂාකාරී උපදෙස් අනුගමනය කිරීම වටින බැවින් ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් විමසා බැලීමට අප අදහස් කළෙමු.විශේෂයෙන්ම කුඩා වයසේදී ගැහැනු දරුවන්ගේ කන් සිදුරු කර කරාඹු දැමීමේදීද මෙවැනි තත්ත්ව ඇති වීමට ඉඩක් පවතින්නේද යන්න පිළිබඳවත් විමසා බැලුවෙමු. මේ සඳහා සම්බන්ධ කරගත්තේ (ළමා) ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාවය.

‘මිනිස් කන් පෙත්ත ගැන බැලුවම එය සැකසී ඇත්තේ කාටිලේජයක් වටේ මෘදු පටක වැඩී ඊටත් උඩින් සම වැඩීමෙන්. කන විදීමේදී වැරැදි ස්ථානයක විද කාටිලේජයට යම්කිසි හානියක් වුණොත් එම කාටිලේජය නැවත වර්ධනය වීම සිදු වන්නේ නැහැ. එවිට කන්පෙත්තක පවතින සෘජු ස්වභාවයට හානිවී කන්පෙත්ත පණ නැති ස්වභාවයක් ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම බැක්ටීරියා ආසාදනයක් සිදුවී කාටිලේජයට හානි සිදුවුවහොත් කනේ සෘජු ස්වභාවය අහිමි වෙන්නට හැකියාවක් පවතිනවා. ඒ හැර කන්පෙත්තේ ස්නායුවලට හානි වීමක් අපිට දකින්නට නැහැ. මේ නිසයි කනේ කාටිලේජ අසු නොවන මෘදු සම පිහිටි ප්‍රදේශයන් විද කරාඹු දැමීම සාමාන්‍ය‘යෙන් සිදුකරනු ලබන්නේ. නහය ගැන බැලුවමත් මේ වගේමයි කාටිලේජමය පිහිටීමක් තමයි නහයේ තිබෙන්නේ. නහය ආශ්‍රිතව ස්නායු පිහිටා තිබුණත් නහය විදීමේදී මෙම ස්නායු පිහිටි ස්ථාන අසුනොවෙන තත්ත්වයක් පවතිනවා. නමුත් මෙම විදින ස්ථාන ආසාදනය වීමෙන් සෞඛ්‍යමය ගැටලු ඇති වීමේ අවදානමක් පවතිනවා.

ශරීරයේ ඕනෑම ස්ථානයක් විද ආභරණ පැලඳීමේදී එම විලාසිතා අනුගමනය කරන්නාට වඩා ඒවා දකින පුද්ගලයන්ට දැනෙන්නේ අප්‍රසන්න හැඟීමක්. මිනි‍ෙසකුට ලස්සන වීමට අනුගමනය කළ හැකි දේවල් විද්‍යාත්මකව හා බුද්ධිමත්ව සිදුකරනවාට වඩා දැන් තිබෙන්නේ විලාසිතාවන් කියලා ගෙවල්වල බිත්ති සරසනවා වගේ දේවල් සිදුකරන තත්ත්වයක්. මේවගෙන් පසුකාලීනව ඇතිවන තත්ත්ව එතරම් හිතකර තත්ත්ව නොවෙයි.

විශේෂයෙන් කන හෝ යම් ස්ථානයක් විදීමට භාවිත කරන ලෝහ මෙන්ම පලඳින ආභරණවල ලෝහ අසාත්මික වීමේ අවදානමක් පවතිනවා. ඒ ඒ ලෝහ වර්ග නිෂ්පාදනයේදී යොදාගන්නා රසායනික වර්ග අසාත්මික නොවුණත් සමේ සෛල සමග එකතුවී වෙනත් රසායන නිෂ්පාදනය කරන්නට හැකියාවක් තිබෙනවා. එයින් හානි සිදුවෙන්න පුළුවන්.ඒ වගේම ලෝහ විෂ වීම නිසාත් හානි සිදුවීමට හැකියාවක් තිබෙනවා. දරුවෙකුගේ හෝ ඕනෑම අයෙකු මේ වගේ ආභරණ පැලඳීමට ශරීයේ ඕනෑම ස්ථානයක් විදීම සිදුකරනවා නම් පළපුරුදු මෙන්ම සුදුසුකම්ලත් අයෙකු වෙත යොමුවීම ඉතා වැදගත් වෙනවා.

ඒ වගේම තවත් එක් විශේෂ දෙයක් සඳහන් කරන්නට අවශ්‍යයි. රූපලාවණ්‍යාගාරවල භාවිත කරන ආලේපන වර්ග සම්බන්ධයෙන් වර්තමානයේ විශාල ගැටලු පවතිනවා. විශේෂයෙන් මෙම ආලේපනවල අඩංගු රසදිය ප්‍රදාණයන් ඉතා ඉහළ මට්ටමකයි තිබෙන්නේ. විශේෂයෙන් සුදු වීමට නැතිනම් පැහැපත් වීම සඳහා ආලේප කරන නිෂ්පාදනයන්වල රසදිය ඇතුළු බැරලෝහ අධිකව අඩංගු වෙනවා. මේවාගෙන් තාවකාලිකව ලස්සනක් ලබාගන්න යමෙකුට පුළුවන් වුණාට පිළිකා ඇති වීම සම්බන්ධයෙන් වැඩි නිරාවරණය වීමක් මෙමගින් සිදුවෙනවා. සාමාන්‍ය‘යෙන් රූපලාවණ්‍ය නිෂ්පාදනයක අඩංගු විය හැකි උපරිම රසදිය ප්‍රමාණය යුනිට් 1ක් ලෙසයි සඳහන් වන්නේ . නමුත් අපේ රටේ අලෙවි වන ඇතැම් නිෂ්පාදනවල 900ක් පමණ අඩංගු බවට සිදුකරනු ලැබූ රසායනාගාර පරීක්ෂණවලින් ඔප්පු වී තිබෙනවා.

විශේෂයෙන් යුරෝපා රට වලින් තහනමට ලක්කර වෙළෙඳ පොළෙන් ඉවත් කළ නිෂ්පාදන වර්ග අපේ රටේ යහමින් අලෙවි වන තත්ත්වයක් පවතිනවා. මේවා ආලේප කළාම ටික දවසක් ලස්සනට ඉන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලීනව ඇති වන තත්ත්ව ඉතා භයානකයි.අතීතයේ ලංකාවේ ස්වාභාවික ආලේපන තිබුණා. නමුත් දැන් ලාභ අරමුණු කරගෙන නිෂ්පාදනය කෙරෙන දේවල් නිසා අනාගත පරපුරම අනතුරකට ලක්වෙලා තිබෙනවා.

විශේෂයෙන් කාන්තාවන් ආලේප කරන දේවල් නිසා ඒවායේ රසායනිකවල බලපෑමෙන් ඔවුන්ට ඉපදෙන දරුවන් ජානමය වශයෙන් විකෘති වීමේ හැකියාවකුත් පවතිනවා. ගර්භිණී මවුවරුන්ට අපි කියනවා එක්ස් කිරණවලට මෙන්ම විකිරණවලට නිරාවරණය වෙන්න එපා කියලා. මේ බැරලෝහ හා රසදිය අඩංගු ආලේපන භාවිතයෙනුත් සිදුවන්නේ විකිරණවලට නිරාවරණය වීමෙන් සිදුවන දේමයි.ඒ නිසා කාන්තාවන් ආලේප කරන ආලේපන නිසා ඔවුන්ට උපදින දරුවන්ට ජානමය වශයෙන් බලපෑම් සිදුවීමේ තත්ත්වයක් පවතින බව පැවසිය හැකියි

සුව සෙත

පරිගණකය අද එදිනෙදා ජීවිතයේ දි බොහොමයක් දෙනාට නැතිවම බැරි උපකරණයකි. බෙල්ලේ වේදනාව, කොඳු ඇට පෙළේ සහ කොන්දේ කැක්කුම්, බෙල්ල සමඟ අත්වල ඇතිවන වේදනාව, අත දිගේ විදුලියක් වගේ වේදනාව දුවනවා දැනීම, ඇඟිලි හිරිවැටීම වැනි රෝග රැසක් සමාජයේ බහුලව වාර්තා වීමට පරිගණකය හේතු වී තිබේ.

මේ රෝග බොහෝමයක් සඳහා හේතු වී ඇත්තේ පරිගණක භාවිතයේ දී අපි නිසි ශාරීරික ඉරියව් නොපැවැත්වීම නිසයි.නිවැරදි ආකාරයට පරිගණක මේසය මත පරිගණකය ස්ථානගත කර නොගැනීම, සුදුසු ඉරියව්වෙන් වාඩිනොවීම, ගෙල නවා, කොන්ද නවා වැඩි පීඩනයක් බෙල්ල කොන්ද කොඳු ඇට පෙළ වෙත වැටෙන ආකාරයට සිටීම මෙන්ම, පරිගණක යතුරු පුවරුව, මවුසය භාවිතයේ දී නිවැරැදි ආකාරයට අත තබා නොගැනීම නිසා බොහෝ වේදනා කැක්කුම්, දීර්ඝ කාලීන ස්නායු ආබාධ ඇතිවිය හැකියි. පරිගණකය ඉදිරියේ ගෙල නවාගෙන සිටීමෙන් සිදුවන්නේ ස්නායුක තෙරපීමක් ඇති වීමයි. මේ තෙරපීම හේතුවෙන් අත හිරිවැටීමේ තත්ත්වයක් ඇතිවිය හැකියි.

එසේත් නැතිනම් අත දිගේ දිවයන මාංශපේශිවල දරුණු වේදනාවක් ලෙස මෙය ප්‍රතිඵල විය හැකියි. පේශි සිහින් වීම, උරහිසේ පේශි දියවීම වැනි දරුණු රෝග තත්ත්ව මේ නිසා පසුකාලීනව ඇතිවිය හැකියි.

පරිගණකයේ වැඩ කළ යුත්තේ හිස නවාගෙන නොවේ, හිස ඍජුව තබාගෙනයි. අපේ ඇස් මට්ටමට කී බෝඩ් එක තබාගත යුතුයි. (රූපසටහන් බලන්න.) එවිට අමතර බරක් වෙහෙසක් යොදා හිස නවන්නට සිදුවන්නේ නැත. නිවැරුදි ඍජු ඉරියව් භාවිතය මගින් පමණක් ඉහත කී රෝගාබාධ රැසක්ම වළක්වා ගන්නට හැකියි. කොන්ද උකුල් ඇටය ආසන්නයෙන් මෙන්ම, දණහිස සහ වළලුකර ආශ්‍රිත සන්ධි සැමවිටම අංශක 90ට තබාගත යුතුයි.

පරිගණක නිසා බහුලව හානියට පත්වන්නේ ඇස් දෙකයි. එකදිගට පරිගණක දෙස බලා සිටීම නිසා ඇස් වියළීමත් ඇසේ පේශි තදවීමත්, අධික ආලෝකය හේතුවෙන් ඇතිවන පීඩාවත් නිසා ඇසට වෙහෙසකර තත්ත්වයක් ඇතිවෙයි. මේ නිසා ඇස් වියළීම, ඇස් දැවිල්ල, හිසේ වේදනාව බහුලව වාර්තා වන අතර පෙනීම දුර්වල වීමට ද එය හේතුවකි. මේ නිසා එකදිගටම පරිගණකය දෙස බලා නොසිට තමන්ගේ ඇස වරින් වර ඈත බිත්තියක් දෙස හැරවීම බඳු වෙනස් ඉලක්කයකට යොමු කළ යුතුයි. ඇසට හිතකර විටමින් A හා D ඇතුළත් මෝරතෙල් පෙති භාවිතය මගින් ඇසේ සෞඛ්‍ය රැකගැනීමට හැකි වෙයි.

කොන්දේ රුදාව හඳුනාගන්න

කොන්දේ රුදාව ගැන දැන් නිතරම අසන්නට ලැබේ. පිහියකින් අනිනවා වැනි තියුණු වේදනාවක සිට තදින් එක දිගට අල්ලා සිටිනවා වැනි වේදනාවක් දක්වා කොන්දෙ කැක්කුම විවිධ අන්දමට දැනෙන්නට හැකිය. කොහොමත් දහ දෙනකු ගත්තොත් අට දෙනෙක්ම අද කොන්දෙ කැක්කුම් ගැන පැමිණිලි කරනවා දක්නට හැකිය. මේ අතර කොන්දේ කැක්කුම ගැන මිථ්‍යා මතද ඉදිරිපත් වන අවස්ථා බහුලය. ඒ සඳහා සෞඛ්‍යමය නොවන උපදෙස්ද බහුලව ඉදිරිපත් වේ. මේ ඉන් කිහිපයකි.

හැමවිටම කෙලින් ඉඳගත යුතුයි
හාන්සි වී හෝ ඇදේට ඉඳගැනීම කොහෙත්ම හොඳ නැති බව සැබෑවකි. ඒත් හරි කෙලින් දිගු වේලාවක් ඉඳගෙන සිටිමද නරකය. පුටුවේ සිටින අතරම කොන්ද ඉදිරියට නැවීම හෝ මදක් දිග ඇදුණු ස්වභාවයකට වරින්වර පත් විය යුතුය. නැත්නම්න වරින් වර නැගි සිටිය හැකිය.

බර ඉස්සීම නරකයි
බර ඉස්සීම හරහට හිටින්නේ ඔබ එය කරනා ආකාරයටය. ඉස්සීමට ඇති බර ඉදිරියේ හරි කෙලින් ඉඳගෙන තදින් සමාන දුරකින් අල්ලා කොන්ද සහ හිස කෙලින් තබා ගැම්ම ගෙන එසැවිය යුතුයි. කොන්ද නැවීම හෝ පැත්තට ඇලවී ඉස්සීම මගින් අනතුරු සිදුවිය හැකියි. කෙසේ වුවත් ඉසිලිය යුත්තේ තම සිරැරට සෑහෙන ප්‍රමාණයක් පමණි.

ඇඳ විවේකය හොඳම බෙහෙතද?
ඇද විවේකය හොඳ පිලියමක් බව ඇත්තකි. ඒත් දින දෙකක් දක්වා දිගුකාලයක් ගත කිරීම එය තවත් දරුණු තත්ත්වයට පත් කිරීමකි.

බර වැඩි නම් කැක්කුම් වැඩියි
මේ කතාව ඇත්තකි. ශරීරයේ නිසි හැඩය පවත්වා නොගන්නා දේහබර වැඩි තරබාරැ පිරිසගේ කොන්ද මත යෙදෙන පීඩනය අධික නිසාම වේදනාව ඇති විය හැකියි. මුළු සතියම ඉඳගෙන සිට සති අන්තයේ අධික ව්‍යායාමයේ යෙදෙන අයටද කොන්දේ රුදාව හටගන්නට හැකියි. එහෙත් කෙට්ටු වූ පමණින් කොන්දෙ රුදාව නැතිවන්නේද නැත.

ව්‍යායාම කොන්දට නරකයි
මේ නම් මිථ්‍යාවකි. දිනපතා පිළිවෙළකට කෙරෙන ව්‍යායාම කොන්දේ රුදාව වළක්වයි.

සමතල මතුපිට නිදාගැනීම
සමතල මතුපිට නිදාගැනීම සැමට සෑමවිට හරියන විසදුමක් නොවේ. කොන්දේ රුදාවට හේතුවත්, ඔබ නිදාගන්නා ආකාරයත් අනුව නිසි ලෙස නිදන මෙට්ටය තෝරාගත යුතුයි. අවශ්‍ය විටක කොට්ට මගින් ආධාර සිරුරට ලබාදිය යුතුයි.

 

සුව සෙත

සතියකට ඉහතදී දඹුල්ල පැත්තේ අමුතු විදිහේ කලබැගෑනියක් ඇතිවිය. හේතුව පණු රෝගයකි. මේ පණුවෝ ජීවත් වූයේ ශරීර අභ්‍යන්තරයේ විවිධ ස්ථානවල කෝෂ සාදාගෙනය. අවුරුද්දක් ඇතුළත දඹුල්ල රෝහලේදී මෙවැනි රෝගීන් 20 දෙනකුට සැත්කම් කළ බවත් සැත්කම්වලින් පසු ශරීර අභ්‍යන්තරයේ සිටි මෙම පණුවන් ඉවත් කළ බවත් දඹුල්ල මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය අජිත් අර්ථනායක මාධ්‍යට පැවසුවේය. මේ එක් පණුවෙක් අඟල් 3ත් 5ත් අතර දිගකින් යුක්ත විය.

මේ රෝගය බෝ වී තිබුණේ බල්ලන්ගෙන් හා පූසන්ගෙන් බවත් රෝගයේ නම ඩයිරොපයිලේරියා බවත් වාර්තා විය. මේ රෝගය කුමක්ද? අප විමසන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරපෝෂිත විද්‍යා අංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය දේවිකා ඉද්දවෙල වෙතිනි.ඩයිරොපයිලේරියා රෙපෙන්ස් රෝගය වැඩිපුරම යුරෝපයේ ප්‍රංශය, ඉතාලිය වැනි රටවල දක්නට ලැබෙනවා. ආසියාතික රටවලින් ලංකාවේ මේ රෝගය වැඩිපුරම තිබෙනවා. මේ රෝගය පිළිබඳ තොරතුරු අපට වාර්ෂිකව වාර්තා වෙනවා.

ඩයිරොපයිලේරියා පණු රෝගයෙන් ආසාදනය වුණු රෝගියෙක් ලංකාවේ මුලින්ම වාර්තා වෙන්නේ වර්ෂ 1962දී. වර්ෂ 2006 ඉඳලා 2016 දක්වා කාලය තුළ රෝගීන් 130ක් පමණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරපෝෂිත විද්‍යා අංශයට වාර්තා වුණා. දිවයිනේ වෙනත් වෛද්‍ය පීඨවලින්ද මෙම රෝගයට ලක්වූවන් සොයාගෙන තිබෙනවා.

ඩයිරොපයිලේරියා ලංකාවේ ඇති වෙන්නේ ඩයිරොපයිලේරියා රෙපන්ස් කියන පරපෝෂිතයා මඟින්. මෙය පයිලේරියා වර්ගයට අයත් පණු රෝගයක්. ලංකාවේ සුනඛයන් අතර බහුලව මේ රෝගය පවතිනවා. කොපමණද කියනවා නම් ලංකාවේ සුනඛයන්ගෙන් 30%-60% අතර ප්‍රමාණයකට මෙම රෝගය ඇති බව පර්යේෂණ මඟින් තහවුරු කරගෙන තිබෙනවා. නමුත් තවමත් ලංකාවේ පූසන්ගෙන් මේ රෝගය බෝවනවාද යන්න පිළිබඳව පරීක්ෂණ කරලා නැහැ. මෙම රෝගය වැලඳී ඇති බල්ලන් වැඩිදෙනකු රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. නමුත් සමේ කුෂ්ඨ රෝග, සම මතුපිට ඉදිමීම මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස හඳුන්වා දිය හැකියි.

මෙම පයිලේරියා ගණයට අයත් පණු රෝගය බල්ලෙකුගෙන් බල්ලෙකුටත් බල්ලෙකුගෙන් මිනිසකුටත් බෝවන්නේ මදුරුවන් මඟින් පමණයි. රෝග වාහක මදුරුවන් ලෙස ආම්ජෙරස්, කියුලෙක්ස්, ඊඩීස් මැන්සෝනියා වැනි මදුරු විශේෂ හඳුනා ගෙන තිබෙනවා. රෝගී සුනඛයකුට මදුරුවෙක් දෂ්ට කළ විට මයිකේ‍රාපයිලේරියාවන් මදුරුවා තුළට ඇතුළු වෙනවා. මෙම මයිකේ‍රාපයිලේරියාවන් තවදුරටත් වර්ධනය වී ආසාදිත කීටයෙක් වෙන්න දින 10 -12 අතර කාලයක් ගතවෙනවා. කීට අවස්ථාව ඇති වෙන්නෙ මදුරුවා තුළ. මෙම අසාදිත මදුරුවකු මිනිසකුට දෂ්ට කළ විට මෙම රෝග කාරක කීටයා සිරුරට ඇතුළු වෙනවා. අනතුරුව කීට අවස්ථාවේ සිට පණුවකු දක්වා වර්ධනය වෙනවා.

පණුවා දිගින් සෙමී. 10-12 විතර ඇති. පළලින් මයිකේ‍රා මීටර් 640-650 වනවා. විශේෂත්වය වන්නෙ මෙම පණුවන් ශරීරය තුළ බෝ වීමක් සිදු නොවීමයි. එසේම මේ පණුවන් ලේවලින් ශරීරය අභ්‍යන්තරයට ගමන් කරන්නේ නෑ. මතුපිට සමට යටින් ඇති ස්තරයේ ජීවන්වන මෙම පණුවා කුඩා ගැටිත්තක් ලෙස හඳුනාගත හැකියි. එම ගැටිත්ත තරමක් වේදනාවක් ගෙන දෙනවා. මෙම පණුවන් බහුල වශයෙන් හඳුනාගෙන ඇත්තේ අත්, පා, මුහුණ , උදරය, පපු පෙදෙස, ඇස්බැමි, ලිංගේන්ද්‍රය ප්‍රදේශවලින් බව වාර්තා වෙනවා. ඊට අමතරව ඉතාම කලාතුරකින් මෙම පණුවා ඇසේ අභ්‍යන්තරයෙන් හා අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගෙන් හමුවූ අවස්ථා වෙනත් රටවලින් වාර්තා වී තිබෙනවා.

මෙම රෝගය රුධිර පරීක්ෂාවකින් හඳුනාගන්න බෑ. මෙයට ප්‍රතිකාර ලෙස කළ හැක්කේ පණුවා සිටින බවට හඳුනා ගැනීමෙන් පසු කුඩා ගැටිත්තක් සමඟ පණුවා ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීම පමණයි.මෙම රෝගය වළක්වා ගැනීම සඳහා අප කළ යුතු පියවර ගණනාවක් තිබෙනවා. වැදගත්ම මූලික පියවර තමයි නිවෙස්වල ඇති කරන බල්ලන්ගේ රෝගකාරක තිබෙනවාදැයි යන්න පශු වෛද්‍යවරයකු ලවා රුධිර පරීක්ෂාවකින් දැන ගැනීම. ඊට අදාළ ප්‍රතිකාර ලබාදීමත්, දඩාවතේ යන සුනඛයන් වර්ධනය වැළැක්වීමත් මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීමත් සිදු කළ යුතුයි.

සුව සෙත

මේස්‌ නොමැතිව සපත්තු පැලඳීම හේතුවෙන් තරුණයන්ගේ පාදවල දිලීර ආසාදනයන් හට ගැනීමේ තත්ත්වය වැඩි වෙමින් පවතින බව එක්‌සත් රාජධානියේ රෝග විනිශ්චය හා නිවාරණය පිළිබඳ විද්‍යාලය අනාවරණය කර තිබේ.

විශේෂයෙන්ම වයස අවුරුදු 18 ත් 25 ත් අතර වයස්‌ කාණ්‌ඩයට අයත් තරුණයන් බහුතරය මෙසේ මේස්‌ නොමැතිව සපත්තු පැලඳීමට පෙලඹීම නිසා මෙම තත්ත්වයට ගොදුරුවී ඇතැයි එම විද්‍යාලයේ වෛද්‍ය විශේෂඥ එමා ස්‌ටීවන්සන් පවසන්නීය.

මෙහිදී ඇත්ලීට්‌ස්‌ µqට්‌ වැනි පාදවල හට ගන්නා දිලීර ආසාදනයන්ට තරුණයන් වැඩි වශයෙන් ගොදුරුවන බව අනාවරණය වී ඇති අතර දිනකට පුද්ගලයකුගේ පාදයකින් දහඩිය පයින්ට්‌ භාගයක්‌ නිකුත් කිරීම නිසා එම දහඩිය බිංදු උෂ්ණත්වය සමග එක්‌ව මේස්‌ රහිතව සපත්තු පලඳින විට පාදවල දිලීර ආසාධනයන් ඇති කරන බව හෙළිවී තිබේ.තවද මෙසේ දිනපතා මේස් නැතිව සපත්තු පාවිච්චි කිරීමේදී කල් යන විට පාද වල දැඩි දුගඳක් ද වහනය වේ.

සුව සෙත

අරක්කු, ජින්, බ්‍රැන්ඩි, විස්කි සහ බියර් ආදිය හැර ශ්‍රී ලාංකිකයන් පානය කරන මද්‍යසාර අතුරින් හරි අඩක් පමණ නීති විරෝධී කසිප්පු නිසා ශ්‍රී ලංකාවේ පිරිමින් අතර ඒකපුද්ගල මද්‍යසාර පරිභෝජනය ලීටර් 16.2ක් වන බව, ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවෙහි නියෝජ්‍ය සභාපතිනි සහ විශේෂඥ වෛද්‍ය, අනුලා විජේසුන්දර මහත්මිය පවසන්නීය.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 2015 වසරෙහි කරන ලද සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාවේ පිරිමින් අතර මද්‍යසාර පරිභෝජනය 34.8ක් වන අතර ජාතික මද්‍යසාර හා දුම්කොළ අධිකාරිය 2016 වසරෙහි කරන ලද සමීක්ෂණයක් අනුව එම ප්‍රතිශතය 40%ක් බවද ඒ මහත්මිය කියන්නීය.

අනුලා විජේසුන්දර මහත්මිය මෙසේ තවදුරටත් පවසන්නීය.අපේ සංස්කෘතියේ හැම කටයුත්තක්ම, පිරිමින් විසින් මද්‍යසාර පානයට අවස්ථාවක් කරගෙන තිබෙනවා.සී සෑම, ගොයම් කැපීම, ගැහැනු ළමයින් වැඩිවියට පැමිණීම, දරුවන්ගේ උපන් දින උත්සව පමණක් නොව අවමංගල්‍ය අවස්ථාවලදීත්, මිනිසුන් මද්‍යසාර පානය කරනවා.මා 2012 වසරෙහිදී සමීක්ෂණයක් කළා. එයින් හෙළිවුණේ, හැම දෙයකටම පිළියම මද්‍යසාර කියා ඇතැමුන් හිතන බවයි.

මිතුරන් සමඟ සතුටු සාමීචිය, ශක්තිය, මහන්සිය, නින්ද නොයෑම, දුක හෝ සැප, සීතල හෝ උණුසුම, අවශ්‍ය අවස්ථාවලදී හා ඇතැම්විට කිසිම හේතුවක් නොමැතිව මද්‍යසාර පානය කරනවා.මද්‍යසාර පානය කරන්නන්ගෙන් 75%ක් පමණ එක් දිනකට මද්‍යසාර මිලිලීටර් 250කට වඩා පානය කරන බවද 85%ක් අරක්කුද, 50%ක් බීරද, 46%ක් කසිප්පුද පානය කරන බව ඒ සමීක්ෂණයෙන් හෙළිවුණා.

ශ්‍රී ලංකාවේ වැඩිම ස්වාභාවික මරණ සිදුවන්නේ හෘදයාබාධවලින්. එයින් වයස අවුරුදු 25 සිට 45 දක්වා පුද්ගලයන්ගේ මරණ සිදුවන්නේ වැඩිපුරම මද්‍යසාර ආශ්‍රිත රෝගවලින්.මද්‍යසාර ආශිත රෝගවලින් දිනකට 65 දෙනකු පමණ මියයනවා.

අධික මත්පැන් පානය නිසා වැලඳෙන’සිරෝසීස්’ රෝගය සෑදීමේ ප්‍රවණතාවයෙන්ද ශ්‍රී ලංකාව දෙවැනි තැන ගන්නවා. මේ මත්රකුසාගෙන් ශ්‍රී ලංකාවාසීන් මුදාගන්න, අපි එක්වන්න ඕනෑ යැයිද විජේසුන්දර මහත්මිය කියන්නීය.