සයුරෙන් එහා පුවත් සුව සෙත

ලොව අවසන් උතුරුදිග පිරිමි සුදු රයිනෝසිරස් සත්වයා වන “සුඩාන්” මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා. කෙන්යාවේ ජීවත්වූ මෙම රයිනොසිරස් සත්වයා හැදින්වුයේ “ලෝක උරුමයක්” ලෙසටයි.

දඩයක්කරුවන්ගේ ඉලක්කයක් බවට මෙම රයිනෝසිරස් සත්වයා පත්වීම හේතුවෙන් කෙන්යානු රජය විසින් විශේෂ ආරක්ෂාවක් ද මෙම සත්වයාට ලබාදී තිබුනා.

කෙසේ වෙතත් අවුරුදු 45 ක් පමණ වන මෙම සුදු රයිනෝසිරස් සත්වයා කාලයක් ප්‍රරා පැවති සංකුලතාවයක් හේතුවෙන් අද (20) මියගොස් තිබෙන බවයි විදෙස් වාර්තා කරන්නේ.

සුදු වර්ගයේ රයිනෝසිරස් ගැහුණු සත්වයින් දෙදෙනෙක් පමණක් දැනට ලොව ඉතිරිව සිටින අතර එම වර්ගයේ අවසන් පිරිමි සත්වයා මිය යෑමත් සමග ඉදිරියේදී එම වර්ගයා ලොවෙන් තුරන්වී යාමේ අවධානමක් පවතින බවයි පරිසරවේදින් සදහන් කර සිටින්නේ.

 

සයුරෙන් එහා පුවත් සුව සෙත

අවුරුදු 21 ට වැඩි සෑම සිංගප්පූරු වැසියකුටම සිංගප්පූරු ඩොලර් 300ක පාරිතෝෂිකයක් (බෝනස් මුදලක්) ගෙවන බව සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා ඉකුත් දා නිවේදනය කළේය.

පසුගිය වසරේ අයවැයෙන් සිංගප්පූරු ඩොලර් බිලියන 10ක (ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 7.6) අතිරික්තයක් ලැබී ඇති බවත් එහි ප්‍රතිලාභ සිංගප්පූරු වැසියන්ට හිමි විය යුතු බවත් සඳහන් කරමින් සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා ඒ බව කීය.

පාර්ලිමේන්තුවේදී තම අයවැය කතාව කරමින් සිංගප්පූරුවේ මුදල් අමාත්‍ය හෙන්ග් ස්වී කීත් අයවැය අතිරිකත්යක් වාර්තා වී ඇති බවත් අවුරුදු 21ට වැඩි සෑම සිංගප්පූරු පුරවැසියකුටම අදාළ අතිරිත්කයේ ප්‍රතිලාභ හිමිවිය යුතු බවත් කීවේය.
විශේෂ අවස්ථාවලදී ලබාදෙන මූල්‍ය ත්‍යාග සිංගප්පූරුවේ මැන්ඩරීන් භාෂාවෙන් ‘හොන්ග්බාඕ’ යනුවෙන් හඳුන්වන අතර අමාත්‍යවරයා බෝනස් මුදල විස්තර කළේද ‘හොන්ග්බාඕ’  වදන යොදාගනිමින් වීම විශේෂත්වයකි.

බෝනස් මුදල ගෙවීමේදී සිංගප්පූරු රජයට සිංගප්පූරු සිංගප්පූරු ඩොලර් මිලියන 700ක (එක්සත් ජනපද ඩොලර් මිලියන 533ක) පිරිවැයක් දැරීමට සිදු වේ. ජනතාවගේ ආදායම් තක්සේරු කිරීමෙන් අනතුරුව මෙම බෝනස් මුදල ගෙවන බව වාර්තා වේ. මේ අනුව මේ වසර අවසන් වනවිට සිංගප්පූරුවේ ලක්ෂ 27 ක පිරිසකට මෙම බෝනස් මුදල හිමිවනු ඇත.

ආදායම සිංගප්පූරු ඩොලර් 28,000 හෝ ඊට අඩු අගයක් හෝ ගන්නේ නම් එම පිරිසට සිංගප්පූරු ඩොලර් 300ක බෝනස් මුදලක් හිමි වේ. ආදායම සිංගප්පූරු ඩොලර් 28,001ත් සිංගප්පූරු ඩොලර් 100,000ත් අතර නම් එම පිරිසට සිංගප්පූරු ඩොලර් 200ක බෝනස් මුදලක් හිමිවන අතර ආදායම සිංගප්පූරු ඩොලර් 100,000 ඉක්මවන පිරිසට හිමිවන්නේ සිංගප්පූරු ඩොලර් 100ක බෝනස් මුදලකි.

සිංගප්පූරු රජය පසුගිය එනම් 2017  මූල්‍ය වර්ෂයේදී අපේක්ෂා කළාට වඩා ආදායම් ලබමින් සිංගප්පූරු ඩොලර් බිලියන 9.61ක ආදායම් අතිරික්තයක් වාර්තා කළේය.

අතිරික්ත මුදලෙන් ඩොලර් බිලියන 5ක මුදලක් එරට දුම්රිය යටිතල පහසුකම් අරමුදලට යොදවන බව මුදල් අමාත්‍යවරයා කීය. තවත් මුදලක් වැඩිහිටි ජනතාව වෙනුවෙන් ද තවත් මුදල් විවිධ ආබාධ තත්ත්වල සිටින ජනතාවගේ දෛනික කටයුතු සඳහා ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රක්ෂණ වැඩසටහනක් සැකසීම සඳහා තවත් කොටසක් ද යොදවන බව සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා තවදුරටත් කීය.

සුව සෙත

ඇළුමිනියම් යනු, ඉතාමත් හොඳ තාප සන්නායක ලෝහයක් නිසා, ඉක්මනටම රත් වේ. මේ නිසා , ආහාර පිසීමට ගතවන්නේ අඩු කාලයකි. ඇළුමිනියම් භාජන මිලෙන් ද ඉතාමත් ම අඩු ය. මේ නිසා, මුළුතැන්ගෙයි ආහාර පිසීමට භාවිත කරන භාජන අතරින් ප්‍රධාන ස්ථානයක්, ඇළුමිනියම්වලට ලැබේ. පහසුව නිසා බොහෝ දෙනා ආහාර පිසීමට ඇළුමිනියම් භාජන භාවිත කළත්, ඇළුමිනියම් යනු ආහාර පිසීමට භාවිත නොකළම යුතු ලෝහ වර්ගයක් බව බොහෝ දෙනා නොදන්නවා විය හැකි ය. එයින් ඇතිවන සෞඛ්‍ය ගැටලු ඉතාමත් ම බරපතළ ය.

ඇළුමිනියම් යනු ඉතා ඉක්මනින් රසායනික ප්‍රතික්‍රියාවලට භාජනය වන සක්‍රීය ලෝහයකි. අම්ල වර්ග සමඟ ඇළුමිනියම් ඉතාමත් සක්‍රීයව ප්‍රතික්‍රියා දක්වා, නව සංයෝග නිපදවයි. මේ නිසා ඔබ පිසින ආහාරවල ආම්ලික බව අඩංගු නම්, ආහාර පිසින අතරතුර ඇළුමිනියම් භාජනය එම ආහාර සමඟ ප්‍රතික්‍රියා කරයි. එසේ සෑදෙන නව සංයෝග, පිසින ආහාරවලට හොඳින් කලවම් වේ. අවසානයේදී එසේ ආහාරවලට මුසු වූ ඇළුමිනියම්, ඔබේ ශරීරයේ තැන්පත් වේ.

ඇළුමිනියම් යනු, අපේ ශරීරයට අත්‍යවශ්‍යම ලෝහයක් නොවේ. වැඩිපුර ඇළුමිනියම් ශරීර ගත වීම අතිශයින් ම භයානක ය. පරීක්ෂණවලින් හෙලිවී ඇති පරිදි, ඇළුමිනියම් භාජනවල උයන ආහාර 100g ක් ගත් විට, එහි 3mg – 6mg (මිලි ග්‍රෑම්) ප්‍රමාණයක් ඇළුමිනියම් අන්තර්ගත වී ඇත. මේ නිසා, ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇළුමිනියම් ඇතුළු වී, බොහෝ ශාරීරික ගැටලු ඇතිකරයි.

ඇළුමිනියම් අම්ල සමඟ ප්‍රතික්‍රියා කර සාදන හයිඩ්‍රොක්සයිඩ්, ශරීරයට ඉතාමත් ම විෂ සහිත ය. දෙහි යුෂ, දොඩම් යුෂ, තක්කාලි, විනාකිරි වැනි දේ සමඟ ඇළුමිනියම් වේගයෙන් ප්‍රතික්‍රියා කරන නිසා, එවැනි ආම්ලික දේ ඇළුමිනියම් භාජනවල පිසීම ඉතාමත් ම භයානක ය. ඔබ පිසින ඕනෑම ආහාරයකට දෙහි, තක්කාලි, විනාකිරි වැනි දෙයක් කලවම් කිරීම සාමාන්‍යයෙන් සිදු වන නිසා, පිසින ඕනෑම ආහාරයක්, ඇළුමිනියම් භාජන සමඟ විෂ සංයෝග සෑදීමට පෙලඹේ. බිත්තර කහ මදය සහ බොහෝ එළවළු වර්ග ද, ඇළුමිනියම් සමඟ ඔක්සිකරණ ප්‍රතික්‍රියා දක්වයි. අධික උෂ්ණත්වය, මේ ප්‍රතික්‍රියා වැඩි කරවන උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි.

එමෙන් ම, ශරීරගත වන ඇළුමිනියම්, ස්නායු පද්ධතියට සෘජුවම බලපායි. එම බලපෑම් මොළයට තදින්ම දැනේ. ඉක්මනින් මතකය නැති වීම හෙවත් ඇල්ෂමර් (alzheimer ) රෝගය සෑදීමේ ප්‍රධාන හේතුවක් ලෙස අද වන විට මෙය හඳුනාගෙන තිබේ. මීට අමතරව ආමාශයේ සහ බඩවැල් ආශ්‍රිත රෝග සඳහාත් ඇළුමිනියම් බලපායි.

2007 වසරේ සිට අමෙරිකාව , ඇළුමිනියම් ප්‍රධාන විෂ සංඝඨකයක් ලෙස හඳුන්වා, අනතුරු හඟවා තිබේ. ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, බ්‍රිතාන්‍ය සහ තවත් බොහෝ රටවල් මේ වන විටත් ඇළුමිනියම් ආහාර බඳුන් නිෂ්පාදනය සහ අලෙවිය තහනම් කර ඇත.

සුව සෙත

ගෙලෙහි බාහිර කැපුම් නොමැතිව සිදු කරන ට්‍රාන්ස්‌ඕරල් ලැපරොස්‌කොපික්‌ තයිරොඩෙක්‌ටම් (TRANSORAL LAPAROSCOPIC THYROIDECTOMY) නමැති සැත්කම ශ්‍රී ලංකාවේ පළමුවරට කුලියාපිටිය මූලික රෝහලේ දී ඊයේ (08 වැනිදා) සාර්ථකව සිදු කළ බව එම රෝහලේ උගුර, කන, නාසය පිළිබඳව විශේෂඥ වෛද්‍ය රිස්‌නි සක්‌කාෆ් මහතා පැවසීය.

දකුණු ආසියාවේ ස්‌ථාන කිහිපයක පමණක්‌ සිදුකර ඇති මෙම සැත්කම ඉන්දියාවේ පවා සිදුකර ඇත්තේ මීට මාස 10 කට ඉහතදී බවට තොරතුරු ඇති බවත්, ඒ අනුව අදාළ සැත්කම දකුණු ආසියාවේ සිව්වැනි වරට සිදුකළ අවස්‌ථාව මෙය බවට ඉතිහාසගත වන බවත් වෛද්‍ය රිස්‌නි මහතා පැවසීය.

මෙම සැත්කම සිදු කිරීමට රෝගීන් කැමති බවත්, අවම වේදනාවකින් හා අවම රුධිර වහනයකින් සිදුකළ හැකි මෙම සැත්කම මගින් ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල කැළැල් ඇති නොවන බවත් රිස්‌නි මහතා පැවසීය.

පුරා පැය 4 කට ආසන්න කාලයකදී අති සාර්ථක අයුරින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමුන කොටස ඉවත් කිරීමට හැකිවූ බවත් වෛද්‍ය රිස්‌නි මහතා පැවසීය. තාක්‌ෂණික දෝෂ බොහොමයක්‌ නොතිබෙන්නට ඉතා සුළු වේලාවකින් අදාළ ශල්‍ය කර්මය සිදුකළ හැකි බවද ඔහු කීවේය.

කොළඹින් පිටත රෝහලකදී මෙම සැත්කම ශ්‍රී ලංකාවේ පළමුවරට කිරීමට හැකිවූයේ කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි අයි. එස්‌. යද්දෙහිගේ මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍ය කාර්ය මණ්‌ඩලය, වෛද්‍ය කාර්ය මණ්‌ඩලය, හෙද හා කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලය තමන් පිළිබඳව විශ්වාසය තබා දැක්‌වූ සහාය නිසා බවද විශේෂඥ වෛද්‍ය රිස්‌නි සක්‌කාෆ් මහතා පැවසීය.

සුව සෙත

මේකප් කරන්න අද කාලේ වයස් භේදයක් නෑ. යොවුන් වියේ ගැහැනු දරුවන්ගේ පටන් වයසක වැඩිහිටි කාන්තාවන් දක්වාම මුහුණට මේකප් ගල්වනවා. නමුත් කරන්නන් වාලේ කරන්නේ නැතුව මේකප් ගැන හොඳින් දැනගන්න මේ කරුණු ඔබට උදවු වේවි. වැඩි වෙලාවක් මුහුණේ මේකප් රඳා පවතිනවාට කැමති අය පහත උපදෙස් පිළිපැදිය යුතුමයි.

නාපු ගමන් මේකප් නරකයි
නාලා ආපු ගමන් නැවුම්පිටම මේකප් කරන එක හොඳයි කියල හිතුවට ඒක ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි. ඇ`ග සේ¥ පසු විනාඩි දහයක්වත් සම ස්වභාවිකව සිසිල් වෙන්නට හරින්න.

වෝටර් පෲෆ් නිෂ්පාදන පාවිච්චි කරන්න
වෝටර් පෲෆ් නිෂ්පාදන භාවිතයෙන් දහඩිය සමග මේකප් මුසුවී ඔබේ පෙනුම අවලස්සන වීම වැළකෙනවා. සාමාන්‍ය මේකප් නිෂ්පාදන ඉක්මනින්ම දහදිය එක්ක මුසු වෙලා දියවී යන්න පුළුවන්. කඳුලූ සහ දහදිය නිසා මේකප් දියවේවි කියන බය මෙවිට සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න පුලූවන්.

මුහුණ අල්ලන්න තහනම්
පුරුද්දට වගේ ලේන්සුවෙන් මුහුණ පිහිදන එක නම් නතර කළ යුතුයි. මේකප් එකක් කරන් එළියට යනව නම් බ්ලොටින් පේපර්ස් තියාගන්න. දහඩිය යන්තමින් තෙතමාත්තු කරන්න. පිස දැමීමෙන් වළකින්න. අතින් නම් අල්ලන්නම එපා.

වතුර ලීටර් 2 ක්වත් දවසට බොන්න
මේකප් දියවෙන්නෙ දහදියටයි. ශරීරය අභ්‍යන්තරයෙන්ම සිසිල්ව තියාගන්න නම් පුළුවන් තරම් වතුර බොන්න.

ටචප් පවුඩර් එපා
රස්නෙ දවසට දාඩිය දාන විට හු`ගක් යුවතියන් කරන්නෙ පව්ඩර් එකෙන් ටචප් කරන එක. ඒකෙන් වෙන්නෙ දාඩියට උඩින් පව්ඩර් තට්ටු තට්ටු එකතු වෙන එක විතරයි. එය කැටිගැහෙමින් ඔබේ සමට හොඳ දෙයක් නෙවෙයි වගේම පෙනුමට එකතු කරන්නෙත් අවලස්සනක්. හොඳම වැඬේ සම්පූර්ණයෙන් මේකප් සෝදාහැර නැවත අලූතින් ඒවා ගැල්විමයි.

රස්නෙ දවසට තද පාට එපා
රස්නෙ දවසකට තද පාටවලින් මේකප් කරන එකෙන් වළකින්න. හැකිතාක් ස්වභාවික පෙනුමක් එන ලයිට් මේකප් එකක් තමයි රස්නෙ දවසකට සුදුසුම. මේකප් එකේ නැවුම් පෙනුම රඳවගන්න ලා පාටවල් අනිවාර්යයෙන් උදව් වෙනව. රස්නෙ දවසක තද මේකප් එකක් දහඩියට දිය උනාම අවලස්සනයි.

මේකප් එක සීල් කරන්න
මේකප් එක සීල් කරන එකෙනුත් රස්නෙ දවස් වලට මේකප් එක නැවුම්ව තියාගන්න පුළුවන්. මේ සඳහා මේකප් සීලර් එකක් හෝ තුනී ලෙස වතුර ස්පේ‍්‍ර වෙන ස්පේ‍්‍ර බෝතලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේකප් එක අවසන් කරගත්තට පස්සෙ මුහුණට අ`ගල් 8ක් පමණ දුරින් අල්ලා යාන්තමට ස්පේ‍්‍ර කර ස්වභාවිකවම වියලෙන්න හරින්න.

සුව සෙත

අපිට ලංකාවේදී හමු වන්නේ ළමයින් කන්න ආසා කරන දේවල් පමණක් කන්නට දෙන එක ආදරයට යැයි වරදවා වටහාගෙන ඉන්නා වැඩිහිටියන්ය. මෙරට පාසල් බොහොමයකම පාහේ අලෙවි කෙරෙන්නේද ළමයින් ආසා කරන කෑම බීමය. ලංකාවේ පාසල් බොහොමයකම ලෝක ළමා දිනය ආදී විවිධ සැමරුම් සහ උත්සව අවස්ථා පැවැත්වෙයි. එවන් අවස්ථාවලදී ළමයින්ට කෙරෙන සංග්‍රහ කටයුතුවලදී ගුරුවරුන් සහ මවුපියන් විසින් ළමයින්ට කන්න බොන්න දෙන්නේ ප්‍රයිඩ් රයිස්, ක්ෂණික කිරි පැකට්, රෝල්ස්, කේක්, අයිස් ක්‍රීම්, සිසිල් බීම ආදිය ය. ළමයින් ආසා කරන්නේ මොනවාදැයි ළමයින්ගෙන් ඇසුවහොත් අපිට හමුවන්නේ පහත දැක්වෙන ලැයිස්තුවට සමාන වට්ටෝරුවක්ය.

මේද අධික, ලුණු අධික හා සීනි සහිත ආහාර හා තිරිඟු පිටිවලින් සකස් කරන ලද ආහාර, ප්‍රයිඩ් රයිස්, කොත්තු, පැස්ටා, සොසේජස්, පේස්ටි්‍ර වර්ග, චොකලට් වර්ග හා චොකලට් දවටන ලද ආහාර, ඩෝනට්ස්, ටොෆි වර්ග, රස ගැන්වූ සෝඩා වර්ග, සිරප් වර්ග, අයිස් පැකට්, අයිස් පලම්, පලතුරු රස ගැන්වූ බීම වර්ග, මීට්බෝල්ස්, සුප් කැට, ටිපිටිප්, බයිට් පැකට් වැනි අධික ලුණු රස ගැන්වූ ආහාර, පීසා, මාගරින් වර්ග, ගැඹුරු තෙලේ බදින ලද ආහාර, රෝල්ස්, කට්ලට් ආදිය.

නිසරු ආහාර හා හිස් ආහාර ,රස කාරක, වර්ණක ආදී රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර වැනි බටහිර පන්නයේ ආහාරයන්ය. ලංකාවේ ටීවී චැනල්වල පෙන්වන්නෙත් මේවා ආහාරයට ගත් විට රස නහර පිනා යන ආකාරය ය. ලංකාවේ වැඩිහිටියන් ළමයින් ඉන්න ගෙදරකට ගෙනියන්නෙත් මේ ජාතියේ කෑම බීමය. ඉදින් ඔවුන් තරුණ වියට එළැඹුණු විටත් ඔවුන්ගේ ආහාර සංස්කෘතිය මුළුමනින්ම සකස් කෙරෙනුයේ අධි පරිභෝජනය පරමාදර්ශය කරගත් වෙළෙඳපොළ බලවේග විසින් උත්කර්ෂයට නංවන ලද ඉහත කී වසඟකාරී ආහාර පානාදියෙන්ය.

මෙකී පොෂ් ආහාර සංස්කෘතිය විසින් ලාංකේය මිනිසුන් සහ ගැහැනුන් මත ඇති කර ඇති ප්‍රමෝදය කොතරම් බලවත් දැයි කිවහොත් ඒවාට එරෙහිව අදහස් දක්වන්නන්ට ඇතැම් පාසල්වලදී පවා එල්ල වනුයේ බරපතළ ගැරහුම්, අපහාසයන්ය.

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක ආපනශාලාවෙන් මෙකී ආහාර ඉවත් කොට සෞඛ්‍යයට හිතකර ආහාර පමණක් ආපනශාලාවල අලෙවි කරන්නට සැලැස්වීම අරබයා කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, විද්‍යාලයේ විදුහල්පතිනිය සහ පෝෂණ කමිටුවද කැටුව ආරම්භ කළ සද් ක්‍රියාවට බරපතළ විවේචන ඇතැම් මවුපියන්ගෙන් එල්ල විය. ඒ නිසා ආරම්භක ගුණයෙන් යුතුව වැඩසටහන පවත්වාගෙන යන්නට අපහසු වූ අයුරු අපි දුටුවෙමු. සෞඛ්‍යයට හිතකර ආහාර පානාදියට ගැරහූ ඇතැම් මවුපියන් ඒවා හඳුන්වා දී තිබුණේ ගොඩේ කෑම ලෙසය. මේ ගොඩේ කෑම අපේ ළමයින් කන්නේ නැති නිසා ළමයින් බඩගින්නේ තියන වැඩක් විදියට මේ වැඩසටහනට ඇතැම් මවුපියන් ගරහා තිබිණි.

කොළඹ තවත් ප්‍රධාන පිරිමි පාසලක දරුවන් සඳහා දේශීය කැඳ වර්ග සහ පෝෂණීය ආහාර ලබාදීමේ වැඩසටහනක් කලකට පෙර ක්‍රියාත්මක විය. එම වැඩසටහන ආරම්භ වීමට මත්තෙන් දිනකට එම විද්‍යාලයේ ආපනශාලාවල රෝල්ස් පමණක් 3,000ක් පමණ අලෙවි වූයේය. වැඩසටහන කොතරම් යහපත් වීද යත් ටික කාලයකදී රෝල්ස් අලෙවිය 60කට පමණ පහළ බැස තිබිණි. එහෙත් මෙම වැඩසටහනට විරුද්ධ වූවන් අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාට කොළ කැඳයා යැයි උපහාස කළහ. ඔහු පාසලින් මාරු වුණේය. දැන් මෙම විද්‍යාල පරිශ්‍රයට ඉතාමත් සමීපයෙන් පිහිටුවූ පොෂ් ආපනශාලාවකි. පාසල් දරුවන් මෙන්ම, ගුරුවරු සහ මවුපියෝද රිසි රිසි සේ පොෂ් කෑම බීම වළඳති.

අද දවසේදී ලෝක ව්‍යාප්ත කර ඇති බටහිර සහ බටහිර සරණ ගිය වෙළෙඳපොළ බලවේගවලට නතු වූ ආහාර බොහොමයක් ඇත්ත ආහාර නොවන බවත්, ඒවා මනුවගට අත් කර දෙන්නේ මරණීය ශෝකාන්තයන් බවත් සනාථ කරන්නේ අප නොව බටහිර විද්‍යාඥයන්මය. ලෝකයේ වැඩිම පිළිකා රෝගීන්, දියවැඩියා රෝගීන්, හෘද රෝගීන් හමු වන්නේ ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය, නෙදර්ලන්තය, බෙල්ජියම, ප්‍රංශය ආදී රටවලිනි. කොටින්ම බටහිර රටවල නිවෙස්හි ඇති කරනු ලබන සුරතල් සතුන් පවා පිළිකාවෙන්, දියවැඩියාවෙන් මිය යමින් සිටී. බටහිර මොඩලයේ ආහාරවලටවත්, ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාවටත් ඔවුන්ට බෝ නොවන රෝගවලින් ගැලවීමක් අත්කර දෙන්නට නොහැකි වී ඇත.

වර්තමාන මවුපියන් බොහෝ දෙනකුට තම දරුවන්ගේ සොහොන් කොත් අසල පහන් දල්වන්නට සිදුවෙමින් තිබීම නිසා ඔවුන් ඉතිහාසයේ අන් කවරදාකවත් මේ මහ පොළොව මත නොසිටි අවාසනාවන්තම මනුෂ්‍ය පරම්පරාව බවට පත් වෙමින් සිටින බව, මහා බි්‍රතාන්‍යයේ ඇල්ඩර් හේ ලිවර්පූල් ළමා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ ස්ටිව් රයන් වරෙක ප්‍රකාශ කර තිබිණි. මේ, බටහිරයන් විසින් උඩ දමන ලද ඊනියා හරිත විප්ලවයෙන් බිහි කළ ආහාර සහ ඇමෙරිකන් සරණ ගිය ක්ෂණික කෘත්‍රිමව සකස් කළ ආහාර වැඩියෙන්ම අනුභව කරනු ලබන ජනතාවට සිදු වී තිබෙන සන්තෑසියේ තරමය.

අපේ රටේ ජනගහනයෙන් සියයට 15ක් ලියාපදිංචි දියවැඩියා රෝගීන්ය. කොළඹ තදාසන්න ප්‍රදේශවල ජනගහනයෙන් සියයට 60ක් දියවැඩියාවෙන් හෝ පූර්ව දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන බව මෑතකදී සිදු කෙරුණු සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙරට පාසල් සිසුන් බරපතළ ලෙස දියවැඩියා රෝගයට ගොදුරු වෙමින් සිටින බවත්, බස්නාහිර පළාත තුළ පාසල් දරුවන්ගෙන් සියයට 25ක් පමණ එනම් දරුවන් හතර දෙනකුගෙන් එක් අයකු දියවැඩියා රෝගයට හෝ පූර්ව දියවැඩියා තත්ත්වයට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ තොරතුරුවලින් සනාථ වෙයි.

දිනකට දියවැඩියා රෝගීන් පමණක් 150 දෙනකු මියයන අතර, හදවත් රෝගීන් 600ක් පමණ රෝහල් ගත කෙරෙයි. ඉන් 150 දෙනකු නැවත ගෙදර එන්නට වාසනාව අහිමි වූවෝ වෙති. මේ අනුව වර්ෂයකදී හදවත් රෝග සහ දියවැඩියා රෝගය නිසාවෙන් පමණක් මෙරට ජනගහනයෙන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ජීවිත අහිමි කර ගනිති. මේ අයගෙන් අති බහුතරයක් වයස අවුරුදු 65ට අඩු වයස් ඇත්තෝ වෙති.

මෙරට වැඩිහිටියන්ගෙන් සියයට 40 දෙනකු පමණ අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝග තත්ත්වයෙන් පෙළෙන බවත්, දරුවන්ගෙන් සියයට 15ක් පමණ මේ වනවිටත් මෙම තත්ත්වයට ගොදුරුවී ඇති බවත් හෙළි වී ඇත. (ව්ධදචතජධඩධතඪජ ටචබබර තඪමඥප) අක්මාවේ මේදය තැන්පත් වීම නිසාවෙන් අඩු වයසින් ඇල්කොහොලීය නොවන සිරෝසිස් රෝගය, අක්මා පිළිකා, දියවැඩියාව, හෘදයාබාධ හා වෙනත් මාරාන්තික රෝගවලට ඉතා ඉක්මනින් ගොදුරු වීමේ අවදානම වැඩි වී ඇත.

සංවර්ධිත රටවලට සීමා වී තිබුණු ස්ථුලතාවද මෙරට ජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය වළපල්ලට යවන තවත් සාධකයක්ව ඇත. වයස අවුරුදු 18ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් හතරෙන් පංගුවකට වඩා වැඩි පිරිසක් (සියයට 34.4ක්) බර වැඩි සහ ස්ථුලතාවයෙන් පෙළෙති.

ලංකාවේ සෑම වසරකදීම පිළිකා රෝගීන් 17,000ක් පමණ අලුතින් වාර්තා වන අතර, 2035 වර්ෂය වනවිට පිළිකා සුනාමියක් පැමිණෙනු ඇති බවට මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු මෑතකදී ප්‍රකාශ කර තිබිණි. ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මෑතකදී කර ඇති සමීක්ෂණ වාර්තාවලට අනුව ලංකාවේ පුද්ගලයන් හය දෙනකුගෙන් එක් අයකුම කුමන හෝ පෙර කී බෝ නොවන රෝගයකින් පෙළේ. මේ තත්ත්වය නාගරික වන්නට වන්නට වැඩි වීමක් පෙන්නුම් කරයි. විශේෂයෙන් බස්නාහිර පළාත දැඩි අවදානමක් දරයි. එහෙත් අපේ මිනිසුන් සිටින්නේ ස්වකීය පරම්පරාවෙන්, සංස්කෘතියෙන් ලද දැනුම සන්දර්ශන පවත්වා පෙන්වා දීමට ගියත් එය පිළිගැනීමට නොහැකි තරමේ මානසික අගාධයකය.

හෘදයාබාධයකින් මියගිය වයස අවුරුදු 25ක පමණ වූ තරුණයකුගේ මළ ගෙදරකට සහභාගි වන්නට මෑතකදී මා හට සිදුවිය. කොළඹට ආසන්න ෆාමසියක සේවය කළ ඔහු හදිසි හෘදයාබාධ තත්ත්වයකදී ජීවිත අවදානම අවම කර ගැනීම සඳහා ලබාදෙනු ලබන දිව යට තබන පෙති කීයක් නම් අලෙවි කරන්නට ඇත්ද? එහෙත් තමන්ට මේ දැනෙමින් තිබෙන්නේ දිව යට තබන පෙත්තක් අවශ්‍ය භයානක රෝග තත්ත්වයක් යැයි ඔහුට මිය යන්නට පෙර සිහිනයකින්වත් නොසිතෙන්නට ඇති. වෛද්‍යවරුන්ටවත් අදහා ගන්නට නොහැකි ලෙස ලංකාවේ දැන් දැන් ඉතා අඩු වයසින් පෙර කී රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉතා වේගයෙන් ඉහළ යමින් පවතී.

මේ තරුණයාගේ මළ ගෙදරට සහභාගි වූ හැමෝම අනේ අපොයි කියමින් අද කාලේ අයගේ ආහාර පරිභෝජන රටාව පිළිබඳ ලොකු කතා කියමින් සිටිනු පෙනිණි. ඇසිණි. ඒත් ඒ මළ ගෙදරට පැමිණි හැමෝම පාහේ අරන් ආවේ සීනි, බිස්කට්, කෝඩියල් වැනි දෑය. අර කතා කරපු හැමෝම බිස්කට් කකා අධික ලෙස සීනි දැමූ මැෂින් එකෙන් වැක්කෙරෙන කිරි කෝපි දෙක තුනක් පානය කරමින් සිටිනු පෙනිණි. වළකට වැටුණු විට මොළයට ලාභයක් වෙන්නට ඕනෑය. ලංකාවේ බොහෝ දෙනකුගේ මොළවලට වළවල් දාහක වැටුණත් ලාභයක් අත්වන බවක් නොපෙනේ. ඒ නිසා අප බොහෝ දෙනකු ළඟ ළඟ එන බෝ නොවන රෝග සුනාමියකට ගොදුරු වන්නට ඉරණම් ලද්දෝ වෙති.

සුව සෙත

මේ ගෙවෙන්නේ උත්සව කාලේ. මේ කාලෙදි නෑදෑ හිතවතුන් එකතු වෙලා පුංචි පුංචි සාද පවත්වන එක සාමාන්‍ය දෙයක්. එවැනි සෑම සාදයකදීම පෙරට එන එක් කෑම වර්ගයක් තමයි කුකුළු මස් කියන්නේ. බතට නම් උයනවා. බයිට් එකට නම් බදිනවා. එහෙමත් නැත්නම් ඩෙවල් දානවා. මේ දවස්වල මේ මොන විදියටත් කුකුළු මස් හැදෙනවා. කටයුතු මෙහෙම සිද්ධ වෙද්දී කුකුළු මස් රසට ආසා කරන්නන් විශේෂයෙන් කුකුළු පීකුදුවලට ලොල් කරන්නන්ගේ හිත ගැස්සෙන විදිහේ ආරංචියකුත් අහන්න ලැබුණා. ඒ කුකුළු පීකුදුවල බැර ලෝහ අඩංගු බව තහවුරු වීමේ පුවතයි.

මේ පිළිබඳව විද්‍යානුකූලව පර්යේෂණයක් සිදු කළ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායන පිළිබඳ පර්යේෂණ ඒකකය එම සොයා ගැනීම තහවුරු කිරීමට සමත් වී තිබෙනවා. ජලය, සහල්, ධාන්‍ය වර්ගවල ආසනික් අඩංගු බවට කාලෙන් කාලෙට කතාබහ ඇතිවුණත් කුකුළු මස්වල එහෙමත් නැතිනම් බේ‍රායිලර් කුකුළාගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක අඩංගු වූ කතාවක් අහන්න ලැබුණේ මෑතකදී.

ඒ මීට මාස දෙක තුනකට කලින් තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකින්. ආයෙත් ඒ කතාවමයි. සිදුකළ නවතම පර්යේෂණයේ තොරතුරු පිළිබඳව කියන්න එකතු වුණේ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායන පිළිබඳ පර්යේෂණ ඒකකයේ අංශ ප්‍රධානී ආචාර්ය රුවිනි ලියනගේ මහත්මියයි.

“පුංචි දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වා හැමකෙනෙක්ම කන්න ආසා කරන කෑමක් තමයි කුකුළු මස් කියන්නේ. දෛනිකව අපේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන ලබාගැනීමට තියෙන පහසුම මඟත් කුකුළු මස්. කුකුළු මස් පරිභෝජනය අධික නිසාම එහි ඇති ගුණාත්මක බව තහවුරු කරගන්න අපිට ඕන වුණා. ඒ සඳහා අවශ්‍ය පර්යේෂණයන් අපි ආරම්භ කළේ 2016 අවුරුද්දෙදි. මේ පර්යේෂණය සඳහා දේශීය වෙළෙඳපොළේ සිටින කුකුළු මස් නිෂ්පාදකයන් තිදෙනකුගේ කුකුළු මස් තෝරාගත්තා. එම වර්ග තුනෙහි පපු ප්‍රදේශය, පීකුදු හා වැලිබොක්ක විශ්ලේෂණය කළා.”

පර්යේෂණ කණ්ඩායම මෙම විශ්ලේෂණය සඳහා භාවිත කර තිබුණේ ඉතා උසස් මට්ටමේ තාක්ෂණික මෙවලම්. එම මෙවලම් භාවිතයෙන් පර්යේෂණයට භාජන කළ පීකුදු අතරින් එක් නිෂ්පාදකයකුගේ පීකුදුවල ආසනික් බැර ලෝහය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු වී තිබූ බව තහවුරු කරගෙන තිබුණා.

“මේ නිසාම අපි කුකුළු මස්වලට බැර ලෝහ පැමිණෙන ආකාරය නිගමනය කිරීමට ඉහත පරීක්ෂා කළ කුකුළු මස් නිෂ්පාදකයන් තිදෙනාගේ කුකුළන් සඳහා ලබාදෙන ආහාර වර්ගත් පරීක්ෂාවට ලක් කළා. සාමාන්‍යයෙන් වාණිජ කුකුළු පාලනයේදී බේ‍රායිලර් කුකුළන් සඳහා ප්‍රධාන ලෙස ආහාර වර්ග 2ක් ජීවිත කාලය තුළදී ලබාදෙනවා.

වාණිජ වශයෙන් නිපදවන එම කුකුළු ආහාර සඳහා කාබනික ඛනිජ ලවණ එක් කරනවා. එහිදී බැර ලෝහ වන ඊයම් (ර්ථීඡ), ආසනික් (ඒඵ) හා කැඩ්මියම් (ඛ්ඤ) අඩංගු දැයි කියලා අපි පරීක්ෂාවට ලක් කළා. ඒ අනුව තමයි බේ‍රායිලර් කුකුළු ආහාරවල අනුමත ප්‍රමාණයට වඩා බැර ලෝහ අඩංගු බව අනාවරණය වුණේ. මීට අමතරව වාණිජ කුකුළු පාලනයේදී උෟනතා රෝග වැළැක්වීම පිණිස කුකුළු කෑම සඳහා එක් කරන සින්ක්, කොපර් හා මැග්නීසියම් වැනි අංශුමාත්‍ර මූලද්‍රව්‍යද අනුමත ප්‍රමාණයට වඩා අඩංගු වී තිබුණා.

ආචාර්ය රුවිනි පවසන පරිදි මෙසේ පීකුදුවලට බැර ලෝහ එකතුවීමට හේතුවිය හැක්කේ සත්ත්ව ආහාර නිෂ්පාදනයේදී යොදා ගන්නා අමුද්‍රව්‍ය අපිරිසුදු වීම, අයහපත් කුකුළු පාලනය හා අපිරිසුදු පානීය ජලය සතුන්ට ලබාදීමයි. කුකුළන්ගේ වර්ධනය වැඩි කිරීම පිණිස වැඩිපුර කාබනික ඛනිජ ලවණ භාවිතය අහිතකර තත්ත්වයක් බව ආචාර්යවරිය පවසනවා.

“මෙවැනි බැර ලෝහ සහිත කුකුළු මස්, විශේෂයෙන්ම පීකුදු ආහාරයට ගැනීමෙන් ඇතිවන අහිතකර ලෙඩ රෝග අති විශාලයි. බැර ලෝහ අපේ ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන්හි එකතු වී ස්නායු ආබාධ, අස්ථි ආබාධ හා අක්මාවේ ආබාධ ඇති කරනවා මෙන්ම සමහර පිළිකා සඳහාද හේතු වෙනවා. කුකුළු මස් පරිභෝජනයට ගැනීමේදී වඩා සැලකිල්ලට ගත යුත්තේ පීකුදු ආහාරයට නොගෙන සිටීමටයි.

පීකුදු කියන්නේ යකඩ හා ප්‍රෝටීන් බහුල ලෙස අඩංගු ආහාර ප්‍රභවයක් නිසා අපේ මවුවරු නිරතුරු කුඩා දරුවන්ගේ කෑමවේලට පීකුදු එකතු කරනවා. නමුත් දරුවන්ට පීකුදු දෙන්න එපා. පීකුදුවල අඩංගු රසායනික සංඝටක දීර්ඝ කාලීනව දරුවන්ගේ ශරීරය තුළ තැන්පත් වීමෙන් බොහෝ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ගර්භණී මවුවරුන් වගේම කිරිදෙන අම්මලත් පීකුදු කෑමේදී පරෙස්සම් වෙන්න.”

මේ සියලු කරුණු කාරණා සැලකීමේදී කිවයුතු කරුණ නම් කුකුළු පාලනයේදී නියමිත ප්‍රමිතීන්ට අනුව විවිධ විටමින් සහ ඛනිජ වර්ග මෙන්ම කාබනික පරිපූරක යෙදීම කුකුළු ගොවිපොළ හිමියන්ගේ ප්‍රථම වගකීම විය යුතු බවයි. එමෙන්ම කුකුළු ගොවිපොළවල තත්ත්ව පාලනය යාමනය කිරීමට රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවීමද අත්‍යවශ්‍ය කරුණක් බවත් කිව යුතුමයි.

සුව සෙත

බොහෝ දෙනා සාමාන්‍යයෙන් සිදු කරන්නේ කොමඩු ගෙඩියක් කැපූ පසුව එහි ඇට සියල්ලම කරදරයක් සේ සලකා ඉවත් කර දැමීමයි. අද වනවිට පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා ඇට රහිත කොමඩු පවා අලෙවි කිරීමට තිබෙනවා. කෙසේ වෙතත් ඔබ කොමඩු ඇට වියළා තබා ගන්නවා නම් එමගින් ඔබට විශාල සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක් අත් කර ගන්නට පුළුවන්.

කැලරි ඉතා අවම වශයෙන් අන්තර්ගත වන කොමඩු ඇට තුළ අන්තර්ගත වන අතිශය වැදගත් පෝෂ්‍ය පදාර්ථයන් ලෙස ප්‍රෝටීන්, විටමින් B ඇතුළු අනෙකුත් විටමින් වර්ග, මැග්නීසියම්, පොස්පරස්, යකඩ, පොටෑසියම්, කොපර්, මන්ගනීස් සහ සින්ක් සඳහන් කරන්නට හැකියි. මෙන්න අනෙක් ප්‍රතිලාභ.

දියවැඩියාව නිසි ලෙස කළමනාකරණය කිරීම

දියවැඩියාව පාලනයට සහ දියවැඩියාව නිසා ඇතිවන විවිධ රෝගී තත්වයන්ට සුවයක් සලසා ගැනීමට කොමඩු ඇට භාවිතා කරන්නට පුළුවන්.

කොමඩු ඇට තුළ අන්තර්ගත වන ඇමයිනෝ අම්ල මගින් රුධිර නාලිකා ලිහිල් කිරීම සිදු කරනවා. එසේම, කොමඩු ඇට සතුවන මැග්නීසියම් මගින් කාබෝහයිඩ්‍රේට පරිවෘත්තිය ක්‍රියාවලියට භාජනය කර රැධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමත් සිදු කරනවා.

මෙවන් හේතු නිසා “Applied Sciences and Environmental Management” සඟරාවේ පවා 2014 වසරේදී කොමඩු ඇට මගින් දියවැඩියාව සුව කරන බවට අධ්‍යයන වාර්තාවක් පළකරනු ලැබුවා. මෙම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට පහත පියවරයන් අනුගමනය කරමින් කොමඩු ඇට භාවිත කර තේ පානයක් සකස් කර පානය කරන්න.

ජලය කෝප්ප හතරකට කොමඩු ඇට අහුරක් එක්කරන්න. එය රත්කර ගැනීමට සුදුසු භාජනයකට එක්කර එහි කට වසා විනාඩි 45ක් පමණ රත් කර ගන්න. පසුව එම පානය සිසිල් කර පානය කරන්න. මෙය තේ පානයක් ලෙස දිනපතා පානය කිරීමට හුරුවන්න.

තෙහෙට්ටුව දුරු කිරීම

කොමඩු ඇට අහුරක් ආහාරයට ගැනීම මගින් ශරීරයේ ශක්ති මට්ටම වර්ධනය කර තෙහෙට්ටුව දුරු කර ගන්නට පුළුවන්.

කොමඩු ඇට යකඩවලින් පොහොසත් වන නිසා ශක්තිය නිපදවීමට අවශ්‍ය වන ඔක්සිජන් ශරීරය පුරාවට ගෙනයාමට රුධිරයේ හිමොග්ලොබින් වෙත උපකාර කරනු ලබනවා. එසේම, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනයට සහ යකඩ මගින් කැලරි ශක්තිය බවට පත් කිරීම සඳහාත් කොමඩු ඇට උපකාර වනවා.

ශරීරයේ තෙහෙට්ටුව දුරැ කිරීමට අවශ්‍ය කරන “L-citrulline” ඇමයිනෝ අම්ලයත් කොමඩු ඇට තුළ අන්තර්ගත වනවා.

හදවත සෞඛ්‍යසම්පන්නව තබා ගැනීම

ඔබ කොමඩු ඇට ආහාරයට ගන්නවා නම් ඔබේ හදවත හොඳ තත්වයෙන් තිබෙන බව තහවුරු කර ගන්නට පුළුවන්.

කොමඩු ඇට තුළ මොනසැකරයිඩ, පොලිසැකරයිඩ සහ මේද අම්ල අන්තර්ගත වනවා. මේවා මගින් හෘදයාබාධ සහ ආඝාතය වැනි දරුණු රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂාව සලසනවා. එසේම මෙම සෞඛ්‍ය සම්පන්න මේදයන් විසින් නරක කොලෙස්ටරෝල් මට්ටමත් නිසි ලෙස අඩු කරනු ලබනවා.

ඊටත් අමතරව කොමඩු ඇට තුළ අන්තර්ගත වන පොටෑසියම් මගින් හදවතේ සෞඛ්‍යය වර්ධනය කරන අතර ඇමයිනෝ අම්ලයන් වන “citrulline” සහ “arginine” මගින් ධමනි නිසි ලෙස පවත්වා ගෙන රැධිර නාල පද්ධතියේ සෞඛ්‍යය වර්ධනය කරනු ලබනවා.

රුධිර පීඩනය නිසි ලෙස පවත්වා ගැනීම

කොමඩු ඇට තුළ අන්තර්ගත වන ඇමයිනෝ අම්ලයන් අතරින් “arginine” මගින් ශරීරය විසින් නිපදවන “arginine” ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ශරීරයට සපයාදී රුධිර පීඩනය නිසි ලෙස නියාමනය කරනු ලබනවා.

ශරීරය තුළ මැග්නීසියම් අඩු වූ විට රුධිර පීඩනය ඉහළ යන නිසා කොමඩු ඇට තුළ අන්තර්ගත වන මැග්නීසියම් ප්‍රමාණය රුධිර පීඩනය නිසි ලෙස පාලනය කිරීමට උපකාර වනවා. ශරීරයේ මැග්නීසියම් අගය අඩුවීම නිසා පොටෑසියම් මට්ටමත් පහළ බසිනවා. මේ නිසා ශරීරයට ලැබෙන මැග්නීසියම් ප්‍රමාණය පිළිබඳ නිසි සැලකිල්ලක් දැක්විය යුතු වනවා.

මාංශ පේශි සෞඛ්‍යසම්පන්නව පවත්වා ගැනීම

ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමෙන් පසුව ඇතිවන මාංශපේශී වේදනාව දුරුකර ගැනීමට කොමඩු ඇට ඉතා ඵලදායී වනවා. මාංශ පේශී පටක වර්ධනයට කොමඩු ඇට සතු “L-citrulline” උපකාර වනවා. මෙමගින් මාංශපේශී ලිහිල් කර ක්‍රියාශීලී බවක් ඇති කරවනවා.

කොමඩු ඇට තුළ අන්තර්ගත වන මැග්නීසියම් මගින් ශරීරයට අවශ්‍ය කරන කැල්සියම් අවශෝෂණය කිරීම වේගවත් කරවන නිසා මාංශපේශී ශක්තිමත් කිරීම මෙන්ම මාංශපේශී වල ඇතිවන වේදනාවද දුරුකරනු ලබනවා.

මේද දහනය

කොමඩු ඇට “citrulline” ලෙස හඳුන්වන සංයෝගයකින් පොහොසත් වනවා. මෙම සංයෝගය පරිවෘත්තීය ක්‍රියාවලියට භාජනය වීම මගින් ශරීරයට අත්‍යාවශ්‍ය ඇමයිනෝ අමලයක් වන “arginine” නිෂ්පාදනය කරනවා.“Arginine” මගින් ශරීරයේ තැන්පත් වී ඇති මේදය දහනය කිරීමද සිදු කරනවා.

කොමඩු ඇට තුළ කැලරි අවම වන නිසා ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා එය උපකාරයක් වනවා. කොමඩු ඇට සතුව මේදය සුළු ප්‍රමාණයක් අන්තර්ගත වුවත් ඒවා ශරීරයට සෞඛ්‍ය සම්පන්න වන මේදය ( monounsaturated” සහ “polyunsaturated) ලෙස හඳුන්වන්නට පුළුවන්.

මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය

කොමඩු ඇට ෆෝලික් අම්ලය සහ විටමින් B9 සපයා ගැනීමට ඇති ඉතා හොඳ මුලාශ්‍රයක් වනවා. මොළයේ නිසි වර්ධනයක් සඳහා මෙය අත්‍යාවශ්‍ය වන අතර ගර්භනී මව්වරැන්ට ෆෝලික් අම්ල ඌනතාවයක් ඇතිවූ විට දරු ප්‍රසූතියේදී විවිධ ගැටලු ඇති වන්නට ඉඩ තිබෙනවා.

කොමඩු ඇට සතු සෞඛ්‍යය සම්පන්න මේද අම්ලයන් විසින් “neurotransmitters” වල ක්‍රියාකාරිත්වය වේගවත් කර මතක ශක්තිය සහ ඥාන ශක්තිය වර්ධනය කිරීමත් පොටෑසියම් මගින් පරිකල්පන හැකියාව වර්ධනය කිරීමත් ප්‍රතිඔක්සිකාරක මගින් මොළයේ සෛල ආරක්‍ෂා කිරීමත් සිදුකරනු ලබනවා.

අක්‍ෂි ආබාධ දුරු කිරීම

කොමඩු ඇට සතු විටමින් A සහ විටමින් C දෑස් සඳහා සුවදායක වනවා. කොමඩු ඇට ආහාරයට ගැනීමෙන් වයස් ගත වීමේදී සිදුවන අක්‍ෂි වියළීම, අක්‍ෂිවල ඇතිවන ස්නායු ආබාධ සහ “glaucoma” වැනි රෝග මෙන්ම වෙනත් අක්‍ෂි රෝග වලින් වැලකී සිටින්නට පුළුවන්.

හිසකෙස්වල සෞඛ්‍යය වර්ධනය කිරීම

හිසකෙස් යනු වැඩි වශයෙන් ප්‍රෝටීන් වලින් සැදුම්ලත් අංගයක් නිසා ප්‍රෝටීන් අඩංගු වන ඕනෑම ආහාරයක් හිසකෙස් සඳහා ගුණදායක වනවා. කොමඩු ඇට තුළ ප්‍රෝටීන් වැඩි වශයෙන් අන්තර්ගත වන නිසා කොමඩු ඇට ආහාරයට ගැනීම මගින් හිසකෙස් වල වර්ධනය වැඩි කර ගන්නට පුළුවන්.

කොමඩු ඇට තුළ අන්තර්ගත වන යකඩ මගින් හිසකෙස් සවිමත් කිරීම සහ හිසකෙස් වර්ධනය වේගවත් කිරීම මෙන්ම හිසකෙස් වියළි මලානික වීම නවතා දමනවා. එමෙන්ම බැදගත් කොමඩු ඇට තුළ අන්තර්ගත වන කොපර් මගින් මෙලනින් නිෂ්පාදනය වීම වේගවත් කර හිසකෙස් සඳහා පැහැපත් වර්ණයක්ද එක්කරනු ලබනවා.

කොමඩු ඇට ආහාරයට ගන්නවාට අමතරව කොමඩු ඇට මගින් සකස් කළ තෙල් හිසෙහි ආලේප කිරීම මගිනුත් හිසකෙස්වල නිසි වර්ධනයක් ඇතිකර ගන්නට පුළුවන්.

සම පැහැපත් කර ගැනීම

කොමඩු ඇට තුළ අන්තර්ගත වන විටමින් C සම පැහැපත් කර අකලට වියපත්වීම දුරු කරන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වනවා. විටමින් C මගින් සමේ වර්ධනයට අවශ්‍ය වන කොලේජන් නිෂ්පාදනය වීමත් වේගවත් කරනු ලබනවා. තවද, කොමඩු ඇට සතු “oleic” අම්ලය සහ “linoleum” අම්ලය මගින් සමේ තෙතමනය ආරක්‍ෂා කර සමට සිදුවන විවිධ ආසාදනයන් දුරු කරනු ලබනවා

සුව සෙත

දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත් කාන්තාවක් ගැබ් ගැන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන පිරිමියෙකුගේ තිබිය යුතු නීරෝගීතාවය පිළිබඳව බොහෝ දෙනෙකු අවධානය යොමුකොට නැහැ.

මේ අතර ඉන්දියාවෙ මුම්බායි නගරයේ කොහිනූර් රෝහලේ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය අංජලී තල්වල්කාර් මාස දෙකකට වරක් ආසියාතික තරුණියන්ගේ ගර්භනී බව පිළිබඳ වැඩමුළු පවත්වනවා. මෙවර ඇය කතා කර තිබෙන්නේ දරු උපතක් සඳහා පිරිමියාගේ සෞඛ්‍යයේ බලපෑම ගැනයි.

දරුවෙකු පිළිසිඳ ගැනීම සහ පිරිමියා අතර ඇති සම්බන්ධය විස්තර කළොත්?
පිරිමියෙකු නැතිව ස්වභාවික තත්වයන් යටතේ පිළිසිඳ ගැනීමක් සිදු වෙන්න කොහෙත්ම බැහැ. ශුක‍්‍රාණු සෛල ස්වභාවිකව නිෂ්පාදනය කරන්නේ පිරිමි පක්ෂයේ සිරුර තුළ ස්වභාවිකව ශ‍්‍රාවය වන හෝමෝන නිසයි. පර්යේෂණාගාර මට්ටමින් ශුක‍්‍ර සෛල නිෂ්පාදනය කරන්න පුළුවන් තාක්ෂණයක් තිබෙනවා. නමුත් ඒවා ස්වභාවික ශුක‍්‍ර සෛල වගේම ක‍්‍රියාකාරී ද කියලා සැකයක් තියනවා. ඒ නිසා දරු පිළිසිඳ ගැනීමක් සඳහා පිරිමියෙකුගේ ශුක‍්‍ර සෛල අත්‍යවශ්‍යයි.

පිළිසිඳ ගැනීමකට පියාගේ සෞඛ්‍ය තත්වයත් බලපානවාද?

අනිවාර්යයෙන්ම. දරුවෙක් හැදෙන්නෙ මව සහ පියා කියන දෙදෙනාගේම ජානවලින්. පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක තාත්තා කෙනෙක් ඉතාමත් හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු වීම වැදගත්. ඒ කියන්නෙ අංගවිකල බව, මානසික ව්‍යාධි තත්වයන් ගැන නෙවෙයි. අසනීප තත්වයන්ගෙන් තොර නිරෝගී කෙනෙක් වීම වැදගත්.

ඒ ගැන තවදුරටත් පැහැදිලි කළොත්?
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක පිරිමි කෙනෙක් මත් පැන් පානය කිරීම තාවකාලිකව හෝ නතර කිරීම වැදගත්. මත්පැන් නිසා ශුක‍්‍ර සෛලවල ප්‍රබල බව, නිරෝගී බව සහ ක‍්‍රියාකාරීත්වය අවම වෙනවා. ඒවායේ ආයු කාලයත් වෙනස් වෙන්න පුළුවන්.

ශුක‍්‍ර සෛලවල ආයු කාලය පිළිසිඳ ගැනීමකට බලපාන්නෙ කොහොමද?
සාමාන්‍යයෙන් ශුක‍්‍ර සෛල කාන්තා යෝනි මාර්ග තුළ දී දින 4 ක් 6 ක් විතර සජීවී තත්වයේ සිටිනවා. ඒ අතර ඩිම්බ සෛලයක් පිටවූ පසු එය සංසේචනය කරන්න යෝනි මාර්ගයේ තිබෙන ශුක‍්‍ර සෛලවලට පුළුවන්. නමුත් ශුක‍්‍ර ෙසෙල දින හතරක්ම සජීවී තත්වයේ ඉන්නේ නැතිව දින දෙකකින් එහි ජීවි බව නැති වුණොත් තුන් වෙනි දිනයේ ඩිම්බ සෛලයක් විමෝචනය වුණාට එය සංසේචනය කරන්න ශුක‍්‍ර සෛලවලට හැකි වෙන්නෙ නැහැ. ඒ නිසා තමයි වැඩි දින ගණනක් ශුක‍්‍ර සෛල සජීවී ව තබා ගැනීම වැදගත් වෙන්නෙ. මත් පැන් පානය, මත් ද්‍රව්‍ය පාවිච්චිය වගේ දේවල් ශුක‍්‍ර ෙසෙලවල ආයු කාලය අඩු කරන්න ඍජුවම හේතු වෙනවා.

එතකොට ඒවායේ ක‍්‍රියාකාරීත්වය බලපාන ආකාරයත් විස්තර කරලා දෙන්න.
ශුක‍්‍රාණු සෛල මිලියන ගණනක් යෝනි මාර්ගයට ඇතුළු වුණත් ඩිම්බයක් සංසේචනය කරන්න අවස්ථාව තිබෙන්නෙ එකම එක ශුක‍්‍රාණු සෛලයකට විතරයි. ඒ කියන්නෙ අර මිලියන ගණනින් හොඳම, ශක්තිමත්ම සෛලයට විතරයි. යෝනි මාර්ගයට ඇතුළු වුණු තැන ඉඳලා ඩිම්බ සෛලය දක්වා පිහිනාගෙන ගමන් කරන්න නම් ශුක‍්‍රාණු සෛලය ඉතාම හොඳ ක‍්‍රියාකාරීත්වයකින් යුතු නිරෝගී සෛලයක් විය යුතු යි. ක‍්‍රියාකාරීත්වයෙන් අඩු ශුක‍්‍රාණු සෛලවලට ඩිම්බය තෙක් පිහිනා යන්න බැහැ. ඒ ආකාරයට තමයි ක‍්‍රියාකාරීත්වය වැදගත් වෙන්නෙ. කලින් කිව්වා වගේම මත් පැන් පානය, මත් ද්‍රව්‍ය පාවිච්චිය වගේ දේවල් ශුක‍්‍ර ෙසෙලවල ආයු කාලය අඩු කරන්න හේතු වෙනවා.

පිළිසිඳ ගැනීමකට බලපාන්නෙ මත් පැන් සහ මත් ද්‍රව්‍යවල ක‍්‍රියාකාරීත්වය විතරද?
නැහැ. පිරිමියාගේ ස්ථුල බව හේතු වෙන්න පුළුවන්. පිරිමියා තමන්ගේ සිරුරේ බර නිසි පවත්වා ගැනීම වැදගත්. අධික තරබාරු බව ශුක‍්‍රාණු සෛල නිපදවීමේ ධාරිතාව අඩු කරනවා. ඒ වගේම අනුරාගී හැසිරීමක දී ශුක‍්‍රාණු සෛල විමෝචනය කිරීමේ වේගයත් අඩු වෙන්න ස්ථුල බව හේතු වෙනවා.

මීට අමතරව තවත් කාරණයක් කියන්න ඕනෙ. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක පිරිමියෙකු සවුනා,ස්ටීම් බාත්,හොට් බාත් වගේ දේවල් පාවිච්චි කිරීමෙන් තාවකාලිකව වැළකී සිටීම ඉතාම වැදගත්. හොට් බාත් හෝ සවුනා මගින් ශුක‍්‍රාණු සෛල අධික උණුසුමට ලක් වෙනවා. ඉන් ඒවායේ ජීවී බවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා තාවකාලිකව ඒ වගේ දේවල් නතර කරන්න අනිවාර්යයෙන්ම වගබලා ගන්න ඕනෙ.

සුව සෙත

දිනකට රාත්‍රි කාලයේ පැය අටක කාලයක්‌ නින්දට යැම ශරීරයේ බර අඩු කර ගැනීමට මෙන්ම නිරෝගී ජීවිතයක්‌ පවත්වාගෙන යැමට මහෝපකාරී වන බව එක්‌සත් රාජධානියේ සිදු කරන ලද අලුත්ම අධ්‍යයනකදී අනාවරණය වී තිබේ.

මෙම අධ්‍යයනයට අනුව තම ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා ආහාර ගැනීම පාලනය කර ඇති පුද්ගලයන්ගෙන් 3/4 කටම රාත්‍රි කාලයේ නියමිත කාලයේ නින්දට යැමෙන් රාත්තල් ගණනාවකින් තම ශරීර බර අඩු කර ගත හැකි බව තහවුරු වී තිබේ. එමෙන්ම දිනපතා හොඳින් නින්දට යන පුද්ගලයන්ගෙන් 4/5 ක්‌ම දිනපතා නියමිත වේලාවට තම ආහාර වේල් තුන ලබා ගන්නේ නම් ඔවුනටද සිය ශරීර බර අඩු කර ගත හැකි බව පර්යේෂකයෝ පවසති.

මෙම අධ්‍යයනය සඳහා පුද්ගලයන් දහසක්‌ යොදා ගෙන ඇති අතර රාත්‍රි කාලයේ පුද්ගලයකුට නින්දට යා යුතු සුදුසුතම වේලාව 10.10 ලෙස හඳුනා ගෙන තිබේ.