ලිපි පුවත්

මීට දසක හතරකට නැතිනම් පහකට පමණ පෙර යාන්ත්‍රික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයට අනුයුක්‌තව සේවය කළ අති දක්ෂ තරුණ ඉංජිනේරුවරයකුට ලෝකයේ සුප්‍රකට, එංගලන්තයේ ඇව්රෝ ගුවන්යානා නිෂ්පාදන සමාගමෙන් කැඳවීමක්‌ ලැබිණි. ලංකාවත් එක්‌සත් රාජධානියත් අතරවූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා සිදුවූ ඉතා ඉහළ මට්‌ටමේ කැඳවීමක්‌ සේ, මේ පිළිබඳව, අපට සටහන් තැබිය හැක.

නිමිත්ත වූයේ ඒ කාලයේදී ‘ ඇව්රෝ’ ගුවන්යානා නිෂ්පාදනය කරන සමාගම මුහුණදී තිබූ, දැවැන්ත ගැටලුවකට පිළියම් සෙවීමට අන් මගක්‌ නොමැතිවූ කල, එම සමාගමේ බලධාරීහු මෙරට ජීවත්වූ ප්‍රඥාවන්තයකුගේ පිළිසරණ සොයායැමයි.

මේ ප්‍රඥාවන්තයා අන්කවරකු නොව පසුගිය දා අපෙන් සමුගත් ලංකාවේ ජීවත් වූ වයෝවෘද්ධතම ඉංජිනේරු මහාචාර්යවරයා වන, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය මහාලිංගම් මහතාය. මහනුවර මුල්ගම්පොල ප්‍රදේශයේ ජීවිතයේ සැඳෑ සුවය විවේකීව ගතකළ මහාචාර්ය මහාලිංගම් මහතා එදා එක්‌සත් රාජධානියේ ඇව්රෝ සමාගම වෙත පියාඹා ගියේ ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන ඇව්රෝ ජෙට්‌ යානා ඇන්ජින්වල හටගෙන තිබූ යාන්ත්‍රික දෝෂයකට පිළියම් සෙවීමටය.

ලෝකයේ විශිෂ්ටතම යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ තියුණු පරීක්ෂානවට ලක්‌වූයේ නමුදු රෝග නිධානය සෙවීමට අපොහොසත් වූ ඇව්රෝ ජෙට්‌ ඇංජිමේ එන දෙදරීම (VIBRATION)සොයාගැනීමත්, ඊට ස්‌ථිර පිළියමක්‌ යෙදීමත් එදා අපේ යාන්ත්‍රික ඉංජිනේරු මහාචාර්ය මහාලිංගම් වෙත පැවරී තිබුණ අභියෝගයයි. සුද්දන් විසින් අතහරිනු ලැබ තිබූ මෙම දැවැන්ත අභියෝගය දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව භාරගත් අපේ මහාචාර්යතුමා, අවසානයේදී ඇව්රෝ සමාගම, මවිතකරවමින් ඇව්රෝ ජෙට්‌ ඇංජිමේ දෙදරීම නිට්‌ටාවටම සුවපත් කළේය.

ඇව්රෝජෙට් ‌ ඇංජින් නිෂ්පාදනය බෙහෙවින්ම අනතුරුදායක අඩියකට වැටී තිබූ අවස්‌ථාවක, මේ ප්‍රඥාසම්පන්න ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයා පෑ දක්ෂිතාව පිළිබඳව මහත් සේ පැහැදුණු එක්‌සත් රාජධානිය, අපගේ මහාචාර්යතුමාගෙන් අයෑද සිටියේ,

එතුමා කැමැති ඕනෑම වරයක්‌ ඉල්ලා සිටින ලෙසය. මේවා අතර, තම රටේ පුරවැසිකම, ඇව්රෝ සමාගමේ ඉහළම තනතුරක්‌, යාන වාහන ඇතුළු සියලු සැප සම්පත්ද එසේ යෝජනා කෙරිණ. එහෙත් අපගේ මේ ශ්‍රේෂ්ඨ මහාචාර්යතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, එකම එකදෙයකි. ඒ පේරාදෙණිය විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රයෝජනය පිණිස තමන් හට ඇව්රෝ ජෙට්‌ ඇංජිමක්‌ ලබාදෙන ලෙසය. ඉල්ලීම එසැණින්ම ඉටුවූයේ ඉහළම ගෞරවයද සහිතවය.

මෙම ලිපිය කියවන ඔබ, ඒ අභිමානනීය පේරාදෙණිය විශ්වවිද්යාලයේ, ඉංජිනේරු පීඨයට ගොඩවැදීමට කිසියම් අවස්‌ථාවක භාග්‍ය ලදහොත්, ඉංජිනේරුපීඨයේ අතිදැවැන්ත පෝටිකෝවතුළින්, එහි ආලින්දයට ගොඩවූ විගසින්ම, ඔබේ නෙතු ගැටෙන්නේ

එදා එංගලන්තයේ ඇව්රෝ සමාගමෙන් මහාචාර්ය මහාලිංගම්ට ලැබුණු එකී ජෙට්‌ ඇංජිමයි. එහෙත් මේ යෝධ ජෙට්‌ඇංජිම පසුබිමේ ඇත්තේ සැබැවින්ම,

වර්තමානයේ කිසිවකුට හෝ අදහාගත නොහැකි ආශ්චර්යවත් කතාවකි. ස්‌වාර්ථය ඉදිරියෙන්ද, මාතෘභූමිය දෙවැනි හා තුන්වැනි ස්‌ථානයේද තබමින්,ඕනෑම අශිෂ්ට වැඩක්‌, රුපියල් ශත, ඩොලර්, පවුම්, යුරෝ වෙනුවෙන් ඉටුකිරීමට සැදීපැහැදී සිටින ඊනියා බුද්ධිමතුන් ගෙන් කිසිදු අඩුවක්‌ නැති මේයුගයේ මිනිසුන්ට සැබැවින්ම මේවා සුරංගනා කතානොවේද?

මහාචාර්ය තුමනි, ඔබට නිවන් සුව අත්වේවා!

ලිපි පුවත්

ශ්‍රී ලංකාවේ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වූ ආචාර්ය නාත් අමරකෝන් මහතා අභාවප්‍රාප්ත විය. ඉංජිනේරු වෘත්තියට අමතරව ශ්‍රී ලංකා බෞද්ධ පෙරමුණ, සමස්ත ලංකා විහාරාධිපති සංගමය, වෘත්තීය වේදීන්ගේ සංවිධානය, සනාතන පදම, එක්සත් සිංහල මහා සභාව, ජාතික එකාබද්ධ පෙරමුණ ආදී සංවිධාන රැසක සමාරම්භකයා වූ ඔහු ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට පරිගණකය හඳුන්වා දුන් විද්වතා ලෙසද වාර්තාවක් තබා ඇත.

1966 ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය දිනා ගත් ඔහු ශ්‍රි ලංකාවට ප්‍රථම පරිගණකය ගෙන්වා ඇත්තේ ඉංජිනේරු සංස්ථවේ පර්යේෂණ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ 60 දශකයේ අවසාන භාගයේය. පසුව ඔහු නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශයේ ස්ථීර ලේකම් පදවියද හෙබිවීය.

1936 අගෝස්තු 26 දා හාරිස්පත්තුවේ උපත ලද ඔහු අලවතුගොඩ සිංහල පාසල, නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිය මූලික සහ ද්විතීක අධ්‍යාපනය ලබා ඇත.

ශ්‍රී ලංකාවට බෞද්ධ දේශපාලනයක් හඳුන්වා දීම සඳහා 1972 වසරේ ශ්‍රී ලංකා බෞද්ධ පෙරමුණ සහ එක්සත් සිංහල මහා සභාව පිහිටවූ ඔහු වර්තමානයේ පවත්නා පක්ෂ දේශපාලන ක්‍රමය ශ්‍රී ලංකාවට නොගැලපෙන බවට ආන්දෝලනාත්මක මතවාදයක් ගෙන ආ සුවිශේෂ ගණයේ ශ්‍රී ලාංකිකයෙක් විය.

දින කිහිපයක සිට රෝගාතුරව සිටි අමරකෝන් මහතා නූතන ශ්‍රී ලාංකීය සමාජයේ වඩාත් විශිෂ්ඨතමයෙකු බවට පත්වනුයේ ශ්‍රී ලාංකීය පරිගණක ක්ෂේත්‍රයේ පුරෝගාමියා බවට පත් වීමෙනි.

ලිපි පුවත්

අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින් ඉහළට ඇදෙද්දී, එහි ගමන් කරමින් සිටි දිල්හානිට බියක් නම් දැනුණේ ම නැත. එහෙත් තත්පරෙන් තත්පරෙන් ගුවන් යානය ඉහළ අහස් කුස සිපගනිද්දී, නුහුරු තිගැස්සමක් ඈ සිතේ පෙරළි කළා ය. නමුදු කළ නොහැක්කක් නොමැති වග සිතට සපථ කර ගත් ඈ, යානාව ගුවන් ගැබේ අඩි දහසේ සීමාව සලකුණු කරද්දී, දෑස් වසාගෙන ම හෙලිකොප්ටරයෙන් බිමට පැන්නා ය. නිමේෂයකින් තමන් සතු පැරෂුටය දිගහැරගත් ඕ, කිරිල්ලියක සේ පාවෙමින් තත්ත්පර කිහිපයකින් උහන ගුවන් හමුදා පිටියෙහි තණ නිල්ල සිපගත්තේ,  ශ්‍රී ලාංකේය පැරෂුට් ඉතිහාසයේ තවත් නව පිටුවක් පෙරළමිනි.

විශේෂ කාර්ය බළකායේ කාන්තා උප‍පොලිස් පරීක්ෂක දිල්හානි කාංචනා පෙරේරා නම් වන ඇය, වසර එකසිය පනහක් පැරණි ‍පොලිස් ඉතිහාසයේ පැරෂුටයක් මඟින් බිමට පීනු, මුල්ම සෙබළිය ලෙස ඉකුත් පළමුවැනිදා එලෙස ඉතිහාසගත වූවාය. ‍පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ඇති විශේෂ කාර්ය බළකාය ඇරඹෙන්නේ අසූව දශකයේ මුලදීය. ප්‍රභූ ආරක්ෂාව සඳහා සහ එල්.ටී.ටී.ඊ. ය මැඩලීමට මුලින්ම ඇරඹුන විශේෂ කාර්ය බළකාය අද ‍පොලිස් දෙපාර්තමේන්තුව සතු විශිෂ්ටතම ඒකකයකි. එස්.ටී.එෆ්. හි කාංචනාට පෙර පැරෂුට් මගින් බිමට පීනු කාන්තාවක් නියෝජනය කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ය.
ඒ අනුව ලාංකේය ඉතිහාසයේ කාන්තාවක් පළමු වතාවට පැරෂුටයකින් බිමට පැන්නේ ඉකුත් දෙදහස් අටේදීය. ඇය ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා තුෂාරි නයනා දිල්රුක්ෂි හේවාගමගේය. ඉකුත් දෙදහස් අටේ පෙබරවාරි අටවැනිදා, උහන ගුවන් පථයෙන් අහසට නැඟි වයි 12 ගුවන් යානාව අහස දෙබෑ කරමින් අඩි එක්දහස් පන්සියයක් උසට නැඟගත් කල්හි ඇය ඒ වාර්තාව තමන් සතු කරගත්තාය. නයනා දිල්රුක්ෂි ගුවන් හමුදාවේ එවැනි හපන්කමක් කළ ද ‍පොලිසියේ මතෛක් කල් පැරෂුට් පනින්නියක් සිටියේ නැත.

නාවික හමුදාවේ සේවයේ නියුතු සුගත් දිසානායකගේත්, ධම්මිකා කල්දේරාගේත්,  සිහිනය සැබෑ කරමින් එක්දහස් නවසිය අනූහතරේ මෙලොව එළිය දුටු දිල්හානි කාංචනා කුඩා කාලයේ සිට සිහින මැව්වේ නර්තන ගුරුවරියක් වන්නට ය. ඇය මුලින් ම අධ්‍යාපනය ලැබූයේ කඩුවෙල මුනිදාස කුමාරතුංග විද්‍යාලයෙනි. ද්විතියික අධ්‍යාපනය සඳහා හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට එක්වන ඇය, එහි උසස් පෙළ එකල ව්‍යාපෘතිය ඉදිරිපත් කර ඇත්තේ, අපරාධ විද්‍යාව සම්බන්ධයෙනි. උසස් පෙළින් පසු, විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කරගන්නට නොහැකි වූ නිසා, විද්‍යාපීඨය සඳහා ඉල්ලුම් කළාය. නමුදු ඒ ගැන එතරම් බලා‍පොරොත්තු තබා නොගත් ඇය ‍පොලිස් සේවය සඳහා තිබූ පුරප්පාඩුවකට ඉල්ලුම් කළේ, විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා කාලයක් ගත වන බැවිනි. නිලඇඳුමට ආසාවෙන් ඇය විශේෂ කාර්ය බලකා නිලධාරිනියක් වන්නේ ඒ අනුවය.

ඒ දෙදහස් පහළොව වසරේ ජූනි දහඅටවැනිදා, විශේෂ කාර්ය බළකායේ 73 මූලික පුහුණු පාඨමාලාවට සම්බන්ධ වෙමිනි. මේ වන විට විද්‍යාපීඨයෙන් ද කැඳවීම් ලැබුණත්, ගුරු සිහිනය අතහැරි ඕ නිලඇඳුමට හා ගිනි අවියට පෙම් බැන්දාය. මූලික පුහුණු පාඨමාලව සාර්ථකව අවසන් කළ ඇය අම්පාර විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත වන්නේ ඉකුත් දෙදහස් දහසයේ දී ය.

දෙසිය දෙනෙකුගෙන් පමණ සමන්විත වන විශේෂ කාර්ය බළකා කාන්තා බලඇණියට ඉකුත් අප්‍රේල් මාසය ඉතා සුවිශේෂී විය. ඒ, ඔවුන්ට ද ගුවන් පැරෂුට් පාඨමාලාව සඳහා අයැදුම් කරන්නට අවස්ථාවක් හිමි වීම නිසාය. ඒ අදහස විශේෂ කාර්ය බළකායේ අධ්‍යක්ෂ, පුහුණු, ‍පොලිස් අධිකාරි එස්. ඩබ්ලිව්. ඒ. බි. දවුලුගල  ඇතුළු නිලධාරීන්ගේ ය. විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගෙන් මේ සඳහා ලැබුණේ නොමඳ සහයකි.

“අද වෙද්දී ඕනම ක්‍ෂේත්‍රයක සංවර්ධන කාර්යයකදී කාන්තා දායකත්වය සියයට හතළිහක පමණ ප්‍රතිශතයක් ගැන සළකා බැලෙනවා. ඒ නිසා අපේ කාන්තා බළකායත් සියලු කාර්යයන්ට සුදුසු කණ්ඩායමක් බවට පත් කළ යුතු යැයි අපි කල්පනා කළා.” ‍පොලිස් අධිකාරී දවුලුගල පවසන්නේ ය.ඒ අනුව මූලිකව සෙබළියන් අටදෙනෙක් අම්පාර උහන ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාස‍ලේ මාස එකහමාරක පුහුණුවක් සඳහා තෝරා ගැණිනි. ඉන් සිව් දෙනෙක් මූලික වටයේ සුදුසුකම් සම්පූර්ණ කර තිබූ  අතර, පැරෂුටයක් මඟින් බිමට පනින්නට ඉන් දෙදෙනෙකුට අවස්ථාව හිමිවිය.

උප‍පොලිස් පරීක්ෂකදිල්හානි කාංචනා ගුවන් පැරෂුට් ඉතිහාසයට එක් වන්නේ ඒ අනුවය. ඇයගේ පිම්මට පසු, ඒ අභියෝගය ජයගත්තේ විශේෂ කාර්ය බළකායේ කාන්තා ‍පොලිස් කොස්තාපල් නිර්මලා සේනානායකය. විශේෂ කාර්ය බළකායේ හැටහත් වෙනි මූලික පාඨමාලාව හදාරමින් ඈ විශේෂ කාර්ය බළකායට එක්වන්නේ ඇතුගල්පුරයෙනි. ඒ, ඉකුත් දෙදහස් දහයේදී ය.

‍පොලිස් සේවයේ ම අවුරුදු දහඅටක සේවා ඉතිහාසයක් ඇති බි. එම්. සේනානායක ඇයගේ පියාය. ඩී. එම්. කුසුමලතා ඇයගේ ආදරණීය මෑණියන් ය. කුරුණෑගල ගෝනිගොඩ මහා විද්‍යාලයෙන් අකුරු කෙරූ ඇය ද උසස් පෙළ අවසන් වීමත් සමඟ විශේෂ කාර්ය බළකා සේවයට එක්වන්නේ එහි නිලඇඳුමට පෙම්බඳිමිනි. “ඔයාට පුළුවන් කියලා හිතෙනවා නම් ඔයා මේ අභියෝගය භාරගන්න” ඈ පැරෂුට් පිම්මකට සූදානම් වන බව දැනගත් ඇගේ පියා ඈට පැවසූයේ එලෙසිනි. ඒ ආශිර්වාදය ශක්තියක් කරගත්තී, ඉකුත් පළමුවැනිදා,  එම්. අයි.17 වර්ගයේ ගුවන් යානයෙන් පැරෂුටයක ආධාරයෙන් බිමට පැන්නාය. ඇය පැරෂුට් මඟින් බිමට පීනූ, මුල්ම විශේෂ කාර්ය බළකායේ දෙවැනියාය.

පැරෂුට් පාඨමාලාවකට එක්වන පිරිසකට මුලින් ලැබෙන්නේ ගොඩබිම් පුහුණුවයි. පැරෂුටයකින් ‍පොළවට ළඟාවන මොහොතේ දී ක්‍රියාකළ යුතු පිළිවෙත් ගැන එහිදී අවබෝධය දෙයි. ගොඩබිම් පුහුණුව සඳහා මේ පුහුණුවේදී වැඩි අවධානයක් යොමු කෙරෙන බව දිල්හානි පවසන්නී ය.“සති දෙකහමාරක් පමණ අපි ගොඩබිම් පුහුණුව ලැබුවා. එහිදී, අඩි හතරක් උස බිත්තියකින් බිමට පනින ගමන්, ‍පොළව ආසන්නයේදී අපේ පාද හා ශරීරය හසුරුවාගත යුතු ආකාරය ගැන පුහුණුවක් දෙනවා.”

ඉන්පසුව ලැබෙන්නේ, පැරෂුටයකින් බිමට පනින විටක උද්ගත විය හැකි හදිසි තත්ත්වයන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳ පුහුණුවකි. සුළඟ වේගයෙන් හමන අවස්ථාවකදී පැරෂුටය හසුරුවා ගත යුත්තේ කෙසේද, විදුලි රැහැනකට හෝ ගසකට පැරෂුටය වැටුණහොත් කළ යුත්තේ කුමක් ද, ආදී දේ ගැන එහිදී කරුණු කියාදෙයි. මේ පුහුණුව සාර්ථකව නිම කළ සෙබළියෝ ඉන් අනතුරුව පුහුණු කඳවුරේ ස්ථාපිත කර ඇති අඩි තිස්හතරක් උස කුළුණකින් බිමට පැන්නාහ. “ඒ පුහුණුව දෙන්නෙ උසකින් බිමට පනින්න ඇති බය නැති කරගන්න” දිල්හානි පවසන්නීය.

මේ පුහුණුවෙන් අනතුරුව ඉකුත් නොවැම්බර් පළමුවැනිදා අඩි දහසක් ඉහළ අහසේ සිට පැරෂුටයකින් මහ‍පොළවට පීනූ, විශේෂ කාර්ය බළකා සෙබළියෝ ඉන්පසු තවත් පිමි හතරක් පැන්නෝය. මේ පිමි පහෙන් එක් පිම්මක් පැන්නේ රාත්‍රී කාලයේදී ය. ‘අහසේ පාවෙද්දී මොනවාද හිතුණේ’ දිල්හානිගෙන් අපි විමසුවෙමු.“මං අහස දිනුවා කියලා හිතුණා. මීට කලින් අපේ බලඇණියෙ කවුරුත් නොකරපු දෙයක් මං කළා නේද කියල හිත හිතා තමයි පහළට ආවෙ.”
“මුලදී නම් බය හිතුණා. ඒත් අනිත් අයත් කරනවා නම් ඇයි මට බැරි කියලා හිතාගෙන මම බිමට පැන්නෙ. ‍පොළවට ආවට පස්සෙ දැනුණෙ ලොකු ජයග්‍රහණයක් කළා නේද කියලා හිතුණා.” නිර්මලා පවසන්නීය.

එලෙස ඓතිහාසික වූ මේ සෙබළියන් දෙදෙනාගේ ඊළඟ බලා‍පොරොත්තුව, අඩි 13900 ඉහළ අහසේ සිට නිදහස් පිම්ම පනින්නට ය. එහි විශේෂත්වය වන්නේ, අඩි 10900 දක්වාම පහළට එන්නේ, පැරෂුටය දිග නොහැර නිදහසේ ගුවනේ පාවෙමින් වීමය. දිල්හානි පවසන්නේ, ඒ සඳහා ලබන ජනවාරියේදී පමණ ආරම්භ වීමට නියමිත ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාඨමාලාවට සම්බන්ධ වීමට ඔවුන් දෙදෙනාට අවස්ථාව හිමිවී ඇති බවය.

“අපේ ඊළඟ අරමුණ තමයි මේ සෙබළියන් දෙදෙනා පැරෂුට් පිමි සංදර්ශන කණ්ඩායම සඳහා පුහුණු කරවීම. අදාළ පුහුණුවීම්වලින් පසුව ලබන 2018 නිදහස් උළෙ‍ලේ සංදර්ශන කණ්ඩායමට මොවුන් දෙදෙනාත් ඇතළත් කරවීමට අපි බලා‍පොරොත්තු වෙනවා.” ‍පොලිස් අධිකාරී දවුලුගල පවසන්නේ ය.ඔහු එසේ පැවසුවාට තවත් වරක් තම දියණිය ඉහළ අහසින් බිමට පනිනවාට දිල්හානිගේ අම්මා නම් ටිකක්වත් කැමති නැත. ඇය ‍පොලිස් සේවයට එක්වනවාට දෙමාපියන්ගේ අකමැත්තක් නොතිබුණ ද විශේෂ කාර්ය බළකායට එක්වීම ගැන නම් මුල සිටම ඔවුහු විරෝධය පෑහ. අවසානයේ දියණියගේ කැමැත්තට ඉඩ දුන්න ද පැරෂුට් පිම්මකට එක්වීම ගැන නම් අම්මා කොහෙත්ම කැමති වූයේ නැත. තාත්තා මෙන් ම තම ආදරවන්තයාද ඊට එතරම් කැමැත්තක් දක්වා නැත. ඒ සියල්ල අතරේ දිල්හානි ඒ සඳහා ඉල්ලුම් කළේ, අම්මාගේ බැණුම් වරුසාවක් මැදිනි.

“මගේ කැමැත්තට ඉඩදීලා නිහඬ වුණාට, මම පැරෂුට් පිමි පහ පැන්න දවස් පහේම අපේ අම්මාට නින්ද ගිහින් තිබුණෙ නැහැ. ඇය පන්සල් ගිහින් බෝධි පූජා පවත්වමින් ඉඳලා. දැන්නම් සතුටුයි. ඒත් ආයෙම ඒ වගේ දෙයක් කරනවාට ඇය කැමතිම නැහැ. මටත් බය නොහිතුණාම නමෛයි. ඒත් අපි දෙන්නම කැමතියි ආයෙම ඊළඟ අභියෝගයත් ජයගන්න.” දිල්හානි පවසන්නීය.

ලිපි පුවත්

මහනුවර-යාපනය අධිවේගී මාරගයේ මැදවච්චිය නගරය පසුකර කි. මී. 1.4 ක් පමණ ගමන් ගන්නා ඔබට විශාල ගල් පර්වතයක් මුදුන ස්තූපයක් සමග පිහිටා ඇති මෙම සුන්දර විහාරය දැකිය හැක.”ඉහළ සිට පැමිණි” යන අදහසින් මෙම නම ලැබී ඇති බව සදහන්.ලංකාවට බුදු දහම හැදුන්වා දීමෙන් පසු දේවානම්පියතිස්ස රජු විසින් ක්‍රි. පූ. 250-210 ත් අතර කාලයේදි මෙම විහාරය සිදුකළ බව සදහන්.

මෙම ස්තූපයේ කැණීම මගින් පුරාණ නාග ගල (නාග ගල් කැටයම් සහිත ගල ) සහ ශ්‍රී පතුල් ගලක් හමුවී ඇත.නමස්කාරය පරම්පරා දෙකක් නියෝජනය කරයි.මෙම නාග ගල් රටතුළ බුදු දහම පැමිණීමට පෙර භාවිතා කරන ලද ගොත්‍ර නමස්කාර වස්තූන් වේ. එමගින් මෙහි ඉපැරණි බව ඉස්මතුවේ.
මීට අමතරව මෙම ස්ථානයෙ සිට මුලු ප්‍රදේශයේම අංශම 360 කින්ම දැකිය හැක.

මෙම ගල්තලාව එතරම් උස නැතත් අති විශාල පිරිසකට එකවර රැස් විය හැකි ස්ථානයකි. පස්වග මහණුන් එදා භාවනානුයෝගී වැඩසිටියේ මෙම ගල් පර්වතයේම නැගෙනහිර බෑවුමේ පිහිටා ඇති අරහත් ගුහාව නමින් අදටත් හඳුන්වන ස්වාභාවික පිහිටා ඇති ගල් ගුහාවේය.

කවදාවත්ම ජලය නොසිඳෙන ළිදක්ද එහි පිහිටා ඇත. අරහත් ගුහාවට නැගෙනහිර දෙසින් මහා අරුම පුදුම නුග යායක් වැනි විශාල ප්‍රදේශයක පැතිරුණු නුග ගසකි. නුග ගසට ඔබ්බෙන් අක්කර 100ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරුණු මුව වනයකි. මේ මුව වනයට අදත් මුවන් මොණරුන් ආදී සතුන් පැමිණෙනු දැක ගත හැකිවෙයි. මෙය ස්වාභාවික දසුනකි.

එදා ගෞතම බුදුපියාණන් පළමුවන ධර්ම දේශනා පැවැත්වූ මේ ප්‍රදේශයේ පාලකයාව සිටියේ සාතාගිර නම් යක්ෂ ගෝත්‍රික රජුයි. හේමවත යනු සාතාගිර රජුගේ මිත්‍ර රජෙකි. මේ ප්‍රදේශයේ එදා කසී රටට අයත්ව තිබු බවද පෙන්වා දිය යුතුයි.

සාතාගිර ප්‍රාදේශීය රජු විසින් මෙහි විශාල ගල් තලාව මැද එනම් එදා ගෞතම බුදුපියාණන් පළමුවන ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානයේම කුඩා දාගැබක් තනවා තමන්ගේ වැඳුම් පිඳුම් සඳහා යොදා ගන්නා ලදී. පසු කලකදී හිරිවඩුන්න ජය සිරි මහ බෝ සමිඳුන් ගෙන් බෝ අංකුරයක් ගෙන්වා ගෙන එහි රෝපණය කළ අතර අදටත් ඒ අති පැරණි බෝධීන් වහන්සේ ඒ අයුරින්ම එහි රැකී ආරක්ෂා වී පවතී.

මේ ආසන්න කාලයකදීම ගෞතම බුදුපියාණන්ගේ බුදු පා පහස ලැබූ බුදු සිරි පතුල් යුගලයක්ද මෙම ස්ථානයෙහි තැන්පත් කර විහාරයක් කරවා වන්දනා මාන කිරීම සඳහා යොදාගත් අතර මෙම ස්ථානයද අටමස්ථාන වලින් එකක් බවට එදා ප්‍රසිද්ධ විය. ඉසිපතනාරාමය ලෙසින් පිරිත් පොතේ විහාර අස්නෙහි මෙය නම් කර ඇත.

නයිපෙන සහිත නාගරූප කෙටු ගල් පුවරුවක්ද මේ ස්ථානයේම තැන්පත් කර ඇත්තේ නාග ගෝත්‍රයේ රජ වරුන්ද මෙම ස්ථානය වැඳපුදා ගත් බවට සාක්ෂියක් වශයෙනි.බුද්ධත්වයට පත් වු ගෝතමයන් වහන්සේගෙන් පළමුවන ධර්ම දේශනාව අසා මේ බුද්ධ සාසනයේ බිහි වු පළමුවන සංඝයා වහන්සේත්, පළමු ශ්‍රාවකයින් වහන්සේලා හැට නමකුත් බිහිවුයේද මෙම උතුම් ස්ථානයේදීය. මේ නිසා මේ බුද්ධ සාසනයේ ආරම්භය සිදු වුයේ මේ පුන්‍ය භූමියේදීය. පසුකලෙක හෙළබිම රජ සිටුවරු හා මහජනයා මේ උතුම් ස්ථානයද අටමස්ථාන වලින් එකක් සේ දීර්ඝ කාලයක් තුළ වැඳුම් පිදුම් කලහ.

ලිපි පුවත්

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවාසීන්ට අද දිනයේදී පියවි ඇසින් දැක ගැනීමේ හැකියාව පවතින බව නාසා ආයතනය පවසනවා.

පස්වරු 6.25 ට නිරිත දිග දිශාවෙන් ගමන් ගන්නා එය විනාඩි 5 ක කාලයක් මෙලෙස දිස්වන බවයි එම ආයතනය සදහන් කළේ.

දැනට අභ්‍යාවකාශයේ පවතින මිනිසා විසින් නිශ්පාදිත දැවැන්තම වස්තුව ලෙසටයි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සැලකෙන්නේ.

මීටර් 109 ක දිගකින් සහ මීටර් 73 ක පළලකින් යුත් මෙම යානය පෘථිවිය වටා ගමන් කිරීමට විනාඩි 90 ක කාලයක් ගත වනවා.

එහි මේවන විට ගගනගාමීන් 6 දෙනෙකු සිටින අතර වෛද්‍යවරයෙක් ද එම පිරිසට අයත්.

ලිපි පුවත්

තමාගේ ව්‍යාපාරික කටයුතුවලට අත දෙමින් තමාව සමාජයේ යහපත් පුරවැසියකු කිරීමට අතදුන් තිරිසන් ගවයකු වෙනුවෙන් එම සතා මියගිය දින සිට මේ දක්වා වසර 37ක් තිස්සේ මහා සංඝරත්නය නිවෙසට වැඩමවා දානමය පින්කම් සිදුකරන දුර්ලභ ගණයේ අයකු පිළිබඳ පුවතකි මේ.

ඔහු නමින් සුනිල් ඇලෙක්සැන්ඩර්ය. කොට්ටරාමුල්ලේ ඔහු පදිංචිව සිටී. සුනිල් මහතා අද මහා පරිමාණයේ ව්‍යාපාරිකයකු වුවද ඔහු මෙයට වසර 45කට පමණ පෙර දුප්පත් අසරණයෙක්ව සිටි බව ඔහු කියා සිටී. ගොන් බැඳි කරත්තයෙන් ව්‍යාපාරික දිවිය ඇරැඹූ ඔහු අද වාහන රැසක හිමිකරුවකු වුවද තමාට සිය අතීතය අමතක වී නොමැති බව ඔහු කියා සිටී.

තම කරත්තය බඳින තිරිසන් ගවයාට දෙවියකු ලෙස සලකා එම සතාට දරුවකු සේ ආදරය කළ සුනිල් මහතා එම සතා හැඳින්වූයේ හඳයා නමැති සුරතල් නමකිනි. තමාව යහපත් පුරවැසියකු හා දානපතියකු කිරීමට වෙහෙසුණු මෙම ගවයාට තිරිසනකු ලෙස නම් කිරීමටද අකැමැත්තක් දක්වන සුනිල් මහතාගේ ජීවිතයේ වේදනාත්මක දිනය එම සතා මියගිය දිනය බව ඔහු පවසන්නේ තම දෙනෙත් කඳුළින් පුරවාගෙන යැයි කිවහොත් කිසිවකු පිළිනොගන්නවා විය හැකිය.

හඳයා මියගිය දිනයේ තරම් තමා දුක්වූ තවත් දිනක් නැතැයි කියන සුනිල් එම සතාට පින්පතා එම දේහයට අවසන් කටයුතු හා ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු එදින සිට සෑම වසරකම වසරේ අවසාන පුරපසළොස්වක පොහෝ දින මහා සංඝරත්නය නිවෙසට වැඩමවා පිරිත් සඡ්ඡායනය කොට ධර්ම දේශනා පවත්වා ගම්වාසීන්ගේද සහාය ඇතිව එම සතාට පින්දෙමින් දානමය පින්කමක් සිදුකරන අතර 2017/12/03 සිදුකරන්නේ 37 වැනි පින්කමයි.

තම නිවෙස අසල පිහිටි කොට්ටරාමුල්ල ඉසිපතනාරාම විහාරස්ථානයේද එදින එම ගවයා වෙනුවෙන් ධර්ම දේශන හා ආගමික වතාවත් සිදුකරන අතර උපාසක උපාසිකාවන්ට හා ගම්වාසීන්ට දානය බෙදා දී තෑගි බෝගද ලබා දෙන සුනිල් මහතා දහම් පාසල් දරුවන්ටද පොත්පත් බෙදා දෙයි.

තමන් දිනපතා හරි හම්බ කරන දෙයින් සුළු මුදලක් දිනපතා ඉතිරි කරමින් මෙම මහා පින්කමට සූදානම් වන සුනිල් ඇලෙක්සැන්ඩර් මහතා රටට දැයට ආදර්ශවත් අයෙකි.

තමා හැදූ වැඩූ මවුපියන්ට පහරදී ගසා මරා දමන සමාජයක තිරිසන් සතකු වෙනුවෙන් මොහු කරන මේ පුණ්‍ය ක්‍රියාව තම ගමටත් රටටත් මුළු ලොවටත් උතුම් ආදර්ශයක් වී හමාරය.

ලිපි පුවත්

ජිවිතය සුන්දරව විඳින්නට සඳමාලිත් අනන්ත සිහින දුටුවාය. ඒත් ජීවිතයේ සුන්දරම වයසේදී ඇගේ ජීවිතය දරුණු සරදමකට ලක්වූයේ නිදහසේ ජීවිතය වි`දිමින් ඇවිද ගිය දෙපය ඇයට අහිමි කරමිනි. සුන්දර තරුණියක වූ වරුණි සඳමාලි ජයසිංහ මේතරම් දරුණු ලෙස ජීවිතයට දඬුවම් ලැබෙද්දී හැඬුවාය, තැවුණාය. ජීවිතය කුමටදැයි සිතුවාය. ඒත් හිමි ජීවිතය එය නම් ඒ ජීවිතය බාර ගතයුතු බැවින් ඇය ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා ගන්නට හුරු වූවාය. ”ලූපස්” නම් ලේ කැටි ගැසීමේ රෝගයකින් පෙළෙන සඳමාලිගේ දකුණු කකුලේ වළලූකරෙන් පහත කොටසත් වම් කකුලෙහි දණහිසෙන් පහළ කොටසත් ඇයට අහිමි වී යන්නේ බොහෝ වද වේදනා, දුක් මැදිනි. දෙකකුල් ඈගේ වූ නිසා මේ රෝගී තත්ත්වයෙන් ඈ විඳි වේදනා අනන්තය. අප‍්‍රමාණය. 

ආණමඩුවේ උපන් සඳමාලි වත්සලා පුංචි පවුලක වැඩිමල් දියණියයි. අම්මා, තාත්තා සහ නංගී මල්ලීත් සමග සුන්දරව ගෙවූ කාලයක් ඇගේ ජීවිතයේද තිබුණි. ඉරණම ඔවුන් තැන් තැන්වලට විසුරුවන්නට තරම් නපුරු වූයේ පියා ඔවුන් විසූ ඔවුන්ගේම නිවස විකුණා දැමීමෙන් පසුවය. සොඳුරු නිවහනක ජීවත්වූ සඳමාලිගේ ජීවිතයත් එතැන් පටන් දුක් විඳින බෝඩිම්වලට හුරුවුණාය. අම්මා විදෙස් රැුකියාවකට ගියේ ඉන්පසු ජීවිතයට දැනෙන්නට වු අගහි`ග නිසාය.

යෞවනියක වූ සඳමාලිගෙ හිතේත් දහසක් සුන්දර සිහින ඉපදුණේය. සඳමාලිට දෙකකුල් අහිමි වන්නේ ඒ සුන්දර සිහින දකිමින් ඒ සිහිනවල සැරිසරණ අතරේය. ඈ වෙනුවෙන් මැදපෙරදිග උන් අම්මාද රැුකියාව හැරදමා පැමිණියාය. මේ වනවිට සඳමාලිගේ පියා සිටියේ ඔවුන් දෙස නොබලන තත්ත්වයකය. කකුල නොකපා සුවකරන්නට රටපුරා වෛද්‍යවරු ළඟට සඳමාලිව රැුගෙන ගොස් ප‍්‍රතිකාර කළ තාත්තා එසේ වෙනතක බැලීම සඳමාලිට තවත් දරන්නට බැරි දෙයක් වුණේය. කෙසේ, වුවත් ඉරණමට අනුව කෙටි කාලයක් ඇතුළත සියල්ල සිදුවෙද්දී ඒ මුළු කාලය පුරාවටම ඇගේ දුක බෙදාගන්න තනියට ළඟ සිටියේ අම්මා සහ ඇගේ මුහුණු පොතේ හිතවන්තයන් පමණි.

”රෝහලේ ඉඳන් ආවට පස්සෙ ජීවත් වෙන එක තමයි මට තිබ්බ ලොකුම ප‍්‍රශ්නේ. අම්මටත් රස්සාවක් නෑ. මාව බලාගන්න ගමන් රස්සාවක් කරන්නත් බෑ. මාත් හිටියේ රෝද පුටුවෙනේ. ඒ රෝද පුටුව මට ලැබුණෙත් ෆේස් බුක් එකේ කැලූම් අයියගෙ මැදිහත් වීමෙන් හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මියගෙන්. ෆේස් බුක් එකේ සහෘදයින්ගේ උදව් උපකාර මැදින් බොහෝම අමාරුවෙන් අම්මයි, මායි ජීවත් වෙන්න පටන් ගත්තා. ඉස්කෝලේ යාලූවෝ ටික උපන් දිනේට ජුකී මැෂිමක් අරන් දුන්නා, මං කලින් වැඩ කරපු ගාමන්ට් එකෙන් ඕවලොක් මැෂිමක් ලැබුණා. ෆේස් බුක් එකේ හිතවතකුගෙන් සිංගර් එම්බ්‍රොයිඩර් මැෂිමක් ලැබුණා. ෆෙස් බුක් එකෙන් අඳුන ගත්තු ඩොක්ටර් ලලනිත් මට මැෂින් එකක් හා මේසයක් දුන්නා.. ඔහොම ලැබුණ උදව් එක්ක අපි ජීවත් වෙන්න පටන් ගත්තා. අම්මයි මායී පාන්දර 3 විතර වෙනකන් කොට්ට උර, බෙඞ් ෂීට් මැහුවා. වෙන අය රෙදි කපලා පිටට රෙදි මහන්න දෙන තැන් වලින් රෙදි ගෙනත් මැහුවා. ඔහොම තමයි බෙහෙත් වලටයි යන්න එන්න මඟ වියදම් වලටයි, ජීවත්වෙන්නයි වියදම හොයා ගත්තේ.
ඒ අතරේ ගයාචන්ද්‍ර සර් මට කකුලක් හදලා දුන්නා. ඊට පස්සෙ ටික ටික මං මගේ වැඩ තනියම කරගන්න පුරුදු වුණා. මාව බලන්න ආව නේචර් සීක‍්‍රට් ආයතනයේ වැඩකරන අපේ ඉස්කෝලෙටම ආව අයියා කෙනෙක්, මගේ ජීවිතේ බාරගත්තා. අපි විවාහ වුණා. ”එදා පටන් රොෂාන් මදුසංකගෙ ආදරය, රැුකවරණය සඳමාලිට ලැබුණේය. එය ඇගේ අම්මාගේද හිතට හයියක් විය. අද සඳමාලි දරු සුරතල් බලන්නට ආසන්නව සිටින්නීය. ඒත් සඳමාලිලා තාමත් අසරණය. කුලී ගෙදරට කුලී ගෙවාගෙන, බෙහෙත් වියදම් දරාගෙන ඔවුන් ජීවත්වෙන්නේ අමාරුවෙනි.

”ගෙවල් කුලී ගෙවලා ගෙදර වියදමයි, මගේ වියදමයි ඔක්කොම බර එයාගේ වැටුපෙන් දරන්න අමාරු නිසා මං පොඩිවට වැඩක් පටන්ගත්තා. ඒ මගේම දෑතින් කාඞ් නිර්මාණය කරන්න. මේ කාඞ් මුලින්ම හදන්න මං පුරුදු උනේ ආදායම් මාර්ගයක් කරගන්න හිතාගෙන නෙවේ. කකුල් දෙක කපලා රෝහලේ ඉන්නකොට, ඒ වේදනාව දරාගන්නයි අමතක කරන්නයි යූ ටියුබ් බලලයි මං ඔය කාඞ් හැදුවේ.

ඒ කාඞ් සුන්දර විදිහට නිමවෙද්දී අද මං ලබන මානසික සුවය මෙච්චරයි කියන්න බෑ. අබ්බගාත මං දරුවෙකුත් බඬේ තියාගෙන එක තැනකට වෙලා ඉඳිද්දී දැනෙන මානසික පීඩනය වචන වලින් ගලපන්න අමාරුයි. ඒ වේදනාව ඒ අපහසුතාව මේ වැඩෙන් අමතක වෙනවා විතරක් නෙවේ ජීවත්වෙන්න පොඩියට ආදායමකුත් ලැබෙනවා දැන් ”.යුවතියක ලෙස එකතු කළ සොඳුරු සිහින යායේ තනිව කඳුළු සලන්නට තරම් කාරණා ජීවිත පොතට එකතුවෙද්දී සඳමාලි වත්සලා ඒ ජීවිත පොත වසා දමා දිරියෙන් ගොඩනැගෙන ඇගේ අලූත් ජීවිත පොත හැඩ කරමින් ලියන්නට පටන් ගත්තේ අහිමිව ගිය සොඳුරු සිහින ළඟ හඬා, දොඩා හෝ ජීවිතයෙන් පලාගොස් පළක් නැති බව බුද්ධියෙන් වටහාගත් නිසාය. ඒ බුද්ධියට ඇයට වැඩිපුර ශක්තියක් වූයේ ඇගේ මුහුණු පොතේ හිතවතුන් සේම ජීවිතයේ දුක, සැප බෙදාගත් හිතවතුන්ය. ඒ නිසා ඈ වැටුණේවත්, පැරදුණේවත් නැත.

”මගෙ ජීවිතේ ලොකූ ප‍්‍රාර්ථනා නෑ. මං අතහරින්න පුරුදු වුණ කෙනෙක්. ඒත් පුංචි හීනයක් තියෙනවා. මගේ කියලා වහලක් යට දවසක් හරි අම්මයි මගේ පුංචි පවුලයි එක්ක බත් කටක් කන්න. මං විශ්වාස කරන විදිහට හීන මිනිස්සුන්ව ජීවත් කරවනවා. ඒ නිසා මං මගේ හීනේ වෙනුවෙන් ජීවත් වෙනවා.

මේ වෙනකොට ගෙවල් අවට පොත් සාප්පු කීපයකට මං උපන්දින සුබ පැතුම් පත් හදලා දානවා. යාලූවන්ගෙන් මංගල උත්සවවලදි වෙඩින් කාඞ් වලටත්, කේක් පෙට්ටිවලටත් ඉඳහිටලා ඇණවුම් ලැබෙනවා. ඒ විදිහට හරි මට මගේ වියදම්වල බර හොයාගන්න පුළුවන් වෙනවා නම් ඒක මං ලබන තව ජයග‍්‍රහණයක්. ඒ අතරේ උපන්දින සුබ පැතුම් පත්, නත්තල් කාඞ්, ස්තූති කාඞ් වගේ ඒවත් නිර්මාණය කරනවා. ඒ ඇරුණහම මං අම්මවත් එකතු කරගෙන ළදරු ඇඳුම් මහනවා. පුංචි බේබි ගවුම්, නැපි, කොට්ට උර, ටවල්, කොට් ෂීට් ඇණවුම් අරගෙන මහනවා. තවම කකුල්වලට වෛද්‍ය ප‍්‍රතිකාරත් ලබනවා. ඒ රෝගී තත්ත්වය තවමත් මගේ ඇෙඟ් තියෙනවා. ජීවිතේ හරි වෙහෙසයි. ඒත් හිත හදා ගන්නත්, ආදායමක් හොයාගන්නත් ආසාවෙන් මං මේ දේවල් කරන්නේ. මගේ කාඞ් වලට තව ඇණවුම් ලැබෙනවානම්.. මගේ ජීවිතේට ඒක ලොකු උදව්වක් වෙනවා.. ”

ඒ සඳමාලි වත්සලා ජයසිංහගේ ඒත් නැත්තම් මුහුණු පොතේ බොහෝ දෙනෙක් දන්නා ”ස ජයසිංහ ”ගේ බලාපොරොත්තු පිරුණ පැතුමයි. ඒ පැතුමට පණ දෙන්නට කාට හෝ හිතෙනවා නම් 0715313183 අංකයෙන් සඳමාලි අමතන්නට පුළවන.




ලිපි පුවත්

මගේ ෆාම් එකේ ගවයෝ විසිහතර පැයේම පිරිත් අහනවා. මේ සත්තු තමයි මගේ ජීවිතය වෙනස් කළේ. ගවයා කියන්නෙ මිල කරන්න බැරි වටිනා සතෙක්. මේ හැම සතෙකුටම මං නමක් දාලායි තියෙන්නේ. හැමදාම සත්තු නාවනවා. ආදරයෙන් කතා කරනවා. අපි වැඩ කරන්න පටන්ගන්නෙ හැමදාම උදේ හතරට. හය වෙනකොට වල් කපලා අරන් එනවා. ගෙදර කට්ටිය කිරි දොවලා ඔක්කොම කරලා ඉවරයි මං එනකොට.

අදටත් අපේ හැමෝගෙම රාජකාරිය එලෙසම සිදු වෙනවා. මුළු ගමම නිදියගන්න වෙලාවෙ අපි සියලු දෙනා පාන්දරම අවදි වී වැඩ.අධිෂ්ඨානයත් උත්සාහයත් තිබේනම් කෙනෙකුට කළ නොහැකි දෙයක් නැති වග පසක් කරන කතා පුවතකි මේ. සරත් විමලවීර යනු උත්සාහයෙන් ඉදිරියට පැමිණි මිනිසෙකි. මිනිසත්කමින් පිරිපුන් ඔහු ජීවිතය ජය ගත්තේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේය.

ඔහුගේ ජීවිතයට නව මං පෙතක් විවර කෙරෙනුයේ කිරි ගව පාලනයත් සමඟය. තමන් සන්තකයේ සිටින කිරි ගවයන් සිය පණසේ සුරකින මොහු සතු කිරි ගව පට්ටියේ විශේෂතාව වන්නේ ඒ සතුන්ට ද රැයක් දවාලක් නොමැතිව විසිහතර පැයේම පිරිත් සජ්ඣායනාවේ මිහිරියාවට සවන් දීමට ඉඩ සලසා තිබීමය. මේ අපූරු කිරි ගව පට්ටිය දැක බලා ගැනීමට ලැබෙනුයේ වැලිමඩ, බණ්ඩාරවෙල පාරේ දිවිතොටවෙල ‘ෆැමිලි ෆාම්’ ගොවිපළේදීය.

මේ වෙද්දී කිරි ගවයන් 57ක් පමණ සිටින එම කිරි ගොවිපොළ අද මුළු ඌව පළාතේම ගොවීන් අතර ප්‍රචලිතය.“මගේ සත්තු හරිම අහිංසකයි. උනුත් දවසක නිවන් දකින්න ඕනෑ. මේ කිරි ගවයන් මගේ ජීවිතය හා සමානයි. මේ සත්තු තමයි මගේ ජීවිතය වෙනස් කළේ. ගවයා කියන්නෙ මිල කරන්න බැරි වටිනා සතෙක්. ඔවුන් සියලු දෙනාටම මම නම් දාලා තියෙන්නෙ නාමලි, සුරතලි, කොමලි, පූජා, ගෞරවී, ලොකු කළු, පොඩි කළු ආදි නොයෙකුත් නම්. ඒ වගේම හැමදාම සත්තු ටික නාවනවා. දවසකට වතුර ලීටර් 5000ක් යනවා” යැයි පවසමින් 53 හැවිරිදි විමලවීර මහතා සිය කතාව පවසන්නට වුයේය.

“ඇත්තම කිව්වොත් මට අදටත් නම ලියන්නයි අත්සන් කරන්නයි විතරයි පුළුවන්. මට තියෙන්නෙ බුද්ධි දැනුම පමණයි.”සරත් විමලවීර එසේ පැවැසුවත් අද එම ගොවිපොළ මුළු ඌව පළාතටම පමණක් නොව රටටම සෙත සලසන දැවැන්ත ගොවිපොළකි. කිරි ගවයන්ගෙන් ලබාගන්නා ගොම සහ මූත්‍ර ආශ්‍රයෙන් ඔහුගේ ගොවිපළෙහි කාබනික පොහොර සේම දියර පොහොර ද නිෂ්පාදනය කරයි. එහි මේ වෙද්දී සියයකට ආසන්න සේවක පිරිසක් ද සේවය කරති.

“අද මං මේ තත්ත්වෙන් සිටියත් මම බොහෝ දුක් වින්ද කෙනෙක්. මේ සියලු දේවල් වෙනස් වෙන්න ගියේ තවම අවුරුදු හතක් වගේ කෙටි කාලයක්. මගේ කතාව කිව්වොත්, මං මුලින් රියැදුරෙක් ලෙස සේවය කරමින් සිටියදී සෑහෙන්න මත්පැන් බිව්වා. ඇත්ත කතාව තමයි මත්පැන් නිසා මිනිස්සු අන්ත හිඟන්නෝ වෙනවා කියන එක. ඒක මං අත්දැකීමෙන් කියන්නෙ. මට ඒ දේවල් ඒ කාලේ තේරුණේ නෑ. මං ඉතින් එදා මත්පැන් නිසා අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කළ නිසා මගේ පවුලේ අනෙකුත් පිරිස අතරේත් අන්ත අසරණව කොන් වුණා. එක බඩවැල කඩාගෙන ආ සහෝදරයොත් මාව කොන් කළා. ඒක තමයි ඇත්ත. ඒවට මට ඕනැතරම් උදාහරණ කියන්න පුළුවන්. මගේ පවුලේ සහෝදරයෝ හත්දෙනයි.

ඉතින් ඔය දේවල්වලින් මගේ හිතේ දැඩි අධිෂ්ඨානයක් ඇතිවුණා කොහොමහරි මේ මත්පැන් බීම නතර කරලා මාත් මිනිහෙක් වෙනවා කියලා.”
එෙලස එම අභාග්‍යසම්පන්න ජීවිතයට ‘තිත’ තැබීමට සරත් දැඩි සේ අදිටන් කරගත්තෙ තමාගේ මිනිපිරිය මෙලොව උපන් දාය. යළි කිසි දිනක මත්පැන් කටේ නොතැබීමට ඔහු දැඩිලෙස තීරණය කරගත්තේ එදාය.එලෙස මීට අවුරුදු හතකට පෙර දැඩි අදිටනකට පැමිණි සරත් එම යහපත් චේතනාව යථාර්ථයක් කරගනිමින් ජීවිතයේ නව ගමනක් සඳහා යොමු වූයේ කිරි ගව පාලනයට අත තබමිනි.

“මුල්ම කිරි එළදෙන ගත්තෙ සමෘද්ධියෙන් රුපියල් 5000ක ණයක් අරගෙන. බීම නතර කිරීමත් සමඟ මගේ ඉහළ යෑමේ ලකුණු පහළ වුණා. පස්සෙ ටිකෙන් ටික මට ලැබෙන පිළිගැනීමත් වැඩිවුණා. ඒත් මට මේ කිරි ගව පාලනය ගැන කිසිම දැනුමක් නම් තිබුණේ නැහැ. මුලින් ගෙනාව ගවයගේ පැටිය මැරුණා අපේ නොදැනුවත්කමින්. ඒකෙන් මට මේ වැඩේ එපා වුණා. එතෙන්දි මට උදවු කළේ පශු වෛද්‍ය යාපා මහත්මයා.”එලෙස ආරම්භයේදී පැමිණි බාධක ද ජයගෙන සරත් ඉදිරියට පැමිණෙද්දී ඔහුගේ සිහියට නැඟුණේ ගොවිපොළ සඳහා යෙදිය යුතු නම පිළිබඳවයි. ඔහු ඒ සඳහා අපූරු උපක්‍රමයක් යොදමින් නමක් තැබුවේය. ඒ අනුව ඔහු සිය ගොවිපොළ ‘ෆැමිලි ෆාම්‘ ලෙස නම් කළේය.

“මට ළමයි තුන්දෙනයි. මං කිව්වා ළමයින්ටයි බිරියටයි, ඔන්න මම ගොවිපොළ පැමිලි ෆාම් කියල නම් කළා. හැබැයි හැමෝම වැඩ කළ යුතුයි කියලා. කිව්ව වගේම අපේ ගෙදර සියලු දෙනාම අවසානයේ වැඩේට බැස්සා. අපි වැඩ කරන්න පටන්ගන්නෙ හැමදාම උදේ හතරට. මම යනවා වල් කපන්න. හය වෙනකොට වල් අරන් එනවා. ගෙදර කට්ටිය කිරි දොවලා ඔක්කොම කරලා ඉවරයි මං එනකොට. අදටත් අපේ හැමෝගෙම රාජකාරිය එලෙසම සිදු වෙනවා. මුළු ගමම නිදියගන්න වෙලාවෙ අපි සියලු දෙනා පාන්දරම අවදි වී වැඩ. මුළු ගමටම ඇහෙන්න පිරිත් දානවා. මගේ ෆාම් එකේ ගවයෝ විසිහතර පැයේම පිරිත් අහනවා. මුලින්නම් සල්ලියබාගෙ යහමින් තිබුණේ නැහැ. තිබුණ එකම දේ ධනාත්මක සිතිවිලි පමණයි. හැබැයි එදා සිටම මගේ වැඩනම් හරිම කෙළින්. බොරුවට විරුද්ධයි. මං ඕනෑම තැනකට අඳින්නෙ සරම. කෙළින් කතා කරනවා වගේම කරන්නෙත් හරි දේ පමණයි.”

වර්තමානය වන විට කිරි ගවයන්ගෙන් ලැබෙන ගොම උපයෝගීකොට කොම්පෝස්ට් පොහොර කිලෝ අනූ ලක්ෂයකට වඩා නිපදවන අතර පොත-පතේ දැනුම නොතිබුණත් ඔහු සිය සහජ බුද්ධියෙන් ගව මුත්‍ර සහ ජීව වායු එක්කොට දියර පොහොර ද කෑන් ලක්ෂ ගණනක් නිපදවා මේ වන විට වගා සඳහා සාදා තිබේ.
“මං හදලා තියෙන දියර පොහොරයට කිසිම කෘමියෙකු එන්නෙ නෑ. මල්වලට, තේවලට, ලීක්ස්, බිට් ආදි ඕනෑම වගාවකට ඉතාම ගුණදායක දියරයක් කියලා මගේ දියර පොහොර සාන්ද්‍රණය ඔප්පු වෙලා අවසානයි.

ඒ වගේම මට කොම්පොස්ට් පොහොර සාදන හැටි කිසිම දැනීමක් තිබුණේ නැහැ. මම තනිවම සීඩි බලලයි නියම ප්‍රමිතියට කොම්පොස්ට් හදන්න ඉගෙන ගත්තෙත්.”වාසනාව සහ උත්සාහය මතින් ඉදිරියට පැමිණි සරත්ගේ ගොවිපොළ නැරැඹීම සඳහා මේ වන විට පාසල් දරුවෝ මෙන්ම විවිධ පිරිස් ද වැල නොකැඩී දිවිතොටවෙලට ළඟා වෙති. ගොවිපොළෙහි ගවයන්ට සෙල්ලම් කිරීමට වෙනම පිටියක් ද තිබේ.
අකුරු ශාස්ත්‍රය නොදනිතත් වර්තමානය වන විට සරත් විමලවීර තමා ලබාගත් දැනුම අන් අයටද බෙදා දීම සඳහා ව්‍යවසායකත්වය සහ ධනාත්මක සිතිවිලි ඇසුරෙන් රටපුරා දේශන ද පවත්වයි.

“මට අදටත් නමවත් ලියන්න බැහැ. මනුස්සයකුට උගත්කම වගේම ධනාත්මක සිතිවිලිත් අවශ්‍යයි ජීවිතය ජයගන්න. මට උගත්කම නැතිවුණාට ධනාත්මක සිතිවිලි තියෙනවා. කිරි ගව පාලනය අද අපේ රටට ජාතික අවශ්‍යතාවක්. මොකද මේ රටේ ජාතික ධනයෙන් වැඩිම කොටසක් පිටරටට යන්නෙ පිටිකිරි, රසායනික පොහොරවලට, බෙහෙත්වලටනේ. මේ සියල්ල නතර කරගත හැකියි වස-විසෙන් තොර රටක් නිර්මාණය කරගත්තොත්. ඒ නිසා පුළුවන් සෑම ගෙදරකම කිරි හරකෙක් හදන්න. ඒ මඟින් පැළයක් සාදා වස විසෙන් තොර ආහාර වේලක් ගන්න පුරුදු වෙන්න. ඒකට කරන්න තියෙන එකම විසඳුම කිරි ගව පාලනයයි.”

එලෙස සැමට ඔවදන් දෙන සරත් ඉතා කෙටි කලක් තුළ කළ වික්‍රමය වෙනුවෙන් ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රාශියක් දිනා තිබේ.“මගේ එකම අභිප්‍රාය මං පටන්ගත් දෙය රටපුරා ව්‍යාප්ත කරන එක. අපට වස විසෙන් තොර රටක් කියන එක මගේ තේමාව. මට මැරෙන්නට පෙර මේ රට වස විසෙන් තොර රටක් කරන්නට පුළුවන්නම්. ඒ සඳහා මට පුළුවන් උපරීම උත්සාහ ගන්නවා.”ඒ ඌව පළාතේ වැලිමඩෙන් බිහිවූ සිරිලක කොම්පොස්ට් රජ්ජුරුවන්ගේ ප්‍රාර්ථනයයි.

ලිපි පුවත්

ලොව ධනවත්ම පුද්ගලයන් අතර සුපිරි ධනවතුන් නැතිනම් බිලියනපතියන් 2,043කු සිටින බවට ෆෝබ්ස් සඟරාව සඳහන් කර තිබේ. මෙම තොරතුරු අනාවරණ වන්නේ 2017 වසරේ ඔවුන් ඉදිරිපත් කළ ලැයිස්තුව අනුවය. කොටස් වෙළෙඳපළ උත්පාතය, පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යෑම, සරල ව්‍යාවසායකත්ව ක‍්‍රමවේද වැනි සාධක ලොව පුරා ධනවතුන් සංඛ්‍යාව ඉහළ යෑමට බලපා ඇතැයි එම සඟරාව පවසයි. 2016 වසරේ ලොව පුරා සිටි බිලියනපතියන් සංඛ්‍යාව 1,810ක් විය. 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ බිලියනපතියන් 233කුගේ වර්ධනයක් පෙන්නුම් කරන අතර එවැනි වර්ධනයක් ඇති වූයේ වසර 31කට පසුව යැයි එම වාර්තාවේ සඳහන්ය.

2016 සිටි බිලියනපතියන් පිරිසගේ සමස්ත වත්කම ට්‍රිලියන 6.48ක් වූ අතර 2017 දී 7.67ක් දක්වා වර්ධනය වී තිබේ. මෙම බිලියනපතියන් 2,043 දෙනා අතුරින් 1.371 දෙනෙක් ස්වෝත්සාහයෙන් එම ස්ථානයට ළඟාවූවෝය. ඉතිරි පිරිසෙන් 238 දෙනෙක් ප‍්‍රවේණි ධනවතුන් වන අතර ඉතිරි 434 දෙනා පරම්පරාගත ධනය සහ ව්‍යාපාර මගින් උපයා ගත් ධනයෙන් බිලියනපතියන් බවට පත් වූවෝය.

පසුගිය වසරට වඩා ව්‍යාපාරිකයෝ 195 දෙනෙක් මෙවර බිලියනපතියන්ගේ ලැයිස්තුවට අලුතින් එක්ව සිටිති. ඔවුන් අතුරින් 76 දෙනෙකු බිහිවී ඇත්තේ චීනයෙනි. ඇමෙරිකාව 25 දෙනකු බිහි කරමින් දෙවැනි ස්ථානයට පත්ව තිබේ. බිලියනපතියන්ගෙන් 56 දෙනෙක් අවුරුදු 40ට අඩු වූවෝ වෙති.

කාන්තාවෝ 227 දෙනෙක් බිලියනපතිනියන් බවට පත්ව ඇති අතර මේ වසරේ 15 දෙ‍‍නෙක් නව බිලියනපතිනියෝ බවට පත්ව සිටිති. ඉන් දස දෙනෙක් චීනයෙන් හා එක් කාන්තාවක වියට්නාමයෙනි. ඇය න්ගුයෙන් ති පුඔං තා ඕ වන අතර ඇය වියෙට් ජෙට් එයාර් හිමිකාරිණියයි.

ලොව අංක එකේ බිලියනපතිවරිය වන්නේ ලිලියන් බෙටන්කොට්ය. ලොව විශාලතම රුපලාවණ්‍ය උපකරණ හා සුවඳ විලවුන් නිෂ්පාදන සමාගමක් වන ලෝරියල් සමාගමේ වැඩිම කොටස් හිමිකාරිණිය වන ඇය සතු සමස්ත වත්කම ඩොලර් බිලියන 44.3කි. 

වැඩිම බිලියනපතියන් පිරිස බිහිවී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. සංඛ්‍යාත්මකව 565 දෙනෙකි. චීනයෙන් 319 දෙනෙක්ද (චීනයට අයත් හොංකොං දේශයේ 67 දෙනෙක්ද මකාවු හි එක් අයකුද වේ.) ජර්මනියෙන් 114 දෙනෙක්ද, ඉන්දියාවෙන් 101 දෙනෙක්ද බිහිවී සිටිති.

මෙකී බිලියනපතියන් අතුරින් ප‍්‍රමුඛස්ථානයේ වැජඹෙනුයේ පරිගණක මෘදුකාංග, වෙබ් අඩවි, ජංගම දුරකථන, සමාජ ජාලා වැනි තොරතුරු තාක්ෂණයට සම්බන්ධ ව්‍යාපාරවල නිරත පුද්ගලයන් වීම විශේෂත්වයකි. තොරතුරු තාක්ෂණයට සම්බන්ධ ව්‍යාපාරිකයන් අතර ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ප‍්‍රථම ස්ථානය හිමිකරගෙන සිටිනුයේ මයික්‍රොසොෆ්ට් සමාගමේ ප‍්‍රධානී සහ බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනමේ නිර්මාතෘවරයා වන බිල් ගේට්ස්ය. ඔහු සතු සමස්ත වත්කම් ප‍්‍රමාණයේ අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 86කි. පසුගිය වසරේ ඔහු සතු සමස්ත වත්කම ඩොලර් බිලියන 75ක් විය. 

වසර 24ක් පුරා ලොව ධනවතුන් 400 දෙනා අතර ඉදිරියෙන්ම සිටියේ බිල් ගේට්ස්ය. පෞද්ගලික පරිගණකය හඳුන්වා දීමට පුරෝගාමි වූ පුද්ගලයන් අතර ඔහුට ප‍්‍රමුඛ ස්ථානයක් හිමි වෙයි. ලොව විශාලම පෞද්ගලික පුණ්‍ය ආයතනය වන බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනම මගින් ලොව පුරා සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා මහඟු දායකත්වයක් ලබා දෙයි.

බිලියනපතියන් අතර තෙවැනි ස්ථානයේ පසුවන්නේ ජෙෆ් බෙසෝස්ය. ඔහු ඇමසන් ඩොට් කොම් සමාගමේ නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරියාය. ඔහු සතු සමස්ත වත්කම ඩොලර් බිලියන 72.8කි. පසුගිය වසරට වඩා මේ වසරේ ඔහු ඩොලර් බිලියන 27.6 වර්ධනයක් පෙන්නුම් කර තිබේ. පසුගිය වසරේ 5 වැනි ස්ථානයේ පසු වූ ඔහු මේ වසරේ තුන්වැනි බිලියනපතියා බවට පත්ව සිටී. 1994 සියැටල්හි කුඩා ගරාජයක ආරම්භ කරන ලද ඇමසන් ආයතනය ප‍්‍රථමයෙන්ම අන්තර්ජාලය ඔස්සේ පොත්පත් අලෙවිය ආරම්භ කළේය. මේ වනවිට ඇමෙරිකාවේ 8 වැනි විශාලතම ව්‍යාපාරික ආයතනය වන අතර එමඟින් පොත්පත්, ඩීවිඩී, රෙදිපිළි, ළදරු නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ, රූපලාවණ්‍ය නිෂ්පාදන, ආහාර ද්‍රව්‍ය, ස්වර්ණාභරණ, කාර්මික උපකරණ, ක්‍රීඩා භාණ්ඩ වැනි විවිධ පාරිභෝගික නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා අලෙවි කෙරේ. 2013 වසරේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත ඩොලර් මිලියන 250කට මිලට ගනු ලැබුවේද ජෙෆ් බෙසෝස් විසිනි. 

බිලියනපතියන් අතර පස්වැනි ස්ථානයට පත්ව ඇත්තේ මාක් සකබර්ග්ය. ඔහු සුප‍්‍රකට ෆේස්බුක් සමාජ ජාලයේ නිර්මාතෘවරයාය. සකබර්ග්ගේ සමස්ත වත්කම ඩොලර් බිලියන 56ක් වන අතර එය පසුගිය වසරට වඩා ඩොලර් බිලියන 11.4ක වර්ධනයකි. 19 හැවිරිදි ඔහු 2004දී ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ආරම්භ කරන ලද්දේ තම විශ්වවිද්‍යාල සගයන් සමඟ පණිවුඩ හුවමාරු කර ගැනීමේ පරමාර්ථයෙනි. මේ වනවිට ලොව ජනප්‍රියම සමාජ වෙබ් අඩවිය ලෙස එය ලොව පුරා ප‍්‍රචලිතය. 

සයවැනි බිලියනපතියාද ජංගම දුරකථන ව්‍යාපාරයේ නිරත වූවෙකි. ඔහු මෙක්සිකෝවේ කාර්ලොස් ස්ලිම් හෙලුය. මෙක්සිකෝවේ ධනවත්ම පුද්ගලයා වන්නේද ඔහුය. ‘ඇමෙරිකා මුවිල්’ නමැති මෙක්සිකෝවේ එකම ජංගම දුරකථන ව්‍යාපාරයේ හිමිකරුවන් වන්නේ ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ය. දුරකථන ව්‍යාපාරයට අමතරව ඉදිකිරීම්, පතල් කැනීම් හා දේපළ වෙළෙඳ ව්‍යාපාර රැසක හිමිකරුවා වන්නේද කාර්ලොස් ස්ලිම් හෙලුය. ඔහු සතු සමස්ත වත්කම් ප‍්‍රමාණය ඩොලර් මිලියන 54.5කි. 

ඔරකල් මෘදුකාංග නිෂ්පාදන සමාගමේ නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරියා වන ලැරී එලිසන් ලොව සත් වැනි බිලියනපතියාය. ඔහුගේ සමස්ත වත්කම ඩොලර් බිලියන 52.2කි. 1977 ආරම්භ කෙරුණු ඔරකල් මෘදුකාංග ව්‍යාපාරය 2010 පරිගණක දෘඩාංග නිෂ්පාදනයට යොමු වූ අතර 2016 දී ක්ලවුඩ් පරිගණක ව්‍යාපාරයක් බවට පත්කොට නෙට්සූට් නමැති ව්‍යාපාරය හා එක් විය. 2012දී එලිසන් දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පිළිකා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ඩොලර් මිලියන 200ක් පරිත්‍යාග කර තිබිණි.  

තොරතුරු තාක්ෂණයට සම්බන්ධ ව්‍යාපාරිකයන් අතර 12 වැනි බිලියනපතියා ගූගල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා වන ලැරී පේජ්ය. ඔහුගේ සමස්ත වත්කම ඩොලර් බිලියන 40.7කි. 1998දී ඔහු ගූගල් සමාගම ආරම්භ කරන ලද්දේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියට පෙනී සිටි සමයේය.

13 වැනි බිලියනපතියා ගූගල් සමාගමේ සභාපති සර්ජි බ්‍රින්ය. ඔහු සතු වත්කම් ප‍්‍රමාණය ඩොලර් බිලියන 39.8කි. ගූගල් සමාගමේ මව් සමාගම වන ඇල්ෆබට් සමාගමේ සභාපතිවරයා වන්නේද බ්‍රින්ය. 1998දී ඔහු ලැරී පේජ් සමඟ ගූගල් සමාගම ආරම්භ කළේය. ඇමෙරිකාවේ බහුජාතික තාක්ෂණික සමාගමක් වන ගූගල් සෙවුම් පද්ධති, අන්තර්ජාල ප‍්‍රචාරණ සහ පරිගණක දෘඩාංග නිෂ්පාදන සමාගමකි. 

බිලියනපතියන් අතර 34 වැනි ස්ථානයට පත්ව සිටින්නේද ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක හිමිකරුවකු වන මසායෝෂි සොන්ය. ජපානයේ ධනවත්ම පුද්ගලයන් අතර ප‍්‍රථම ස්ථානයේ වැජඹෙන සොන්, සොෆ්ට් බෑන්ක් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා වේ. ඔහු සතු වත්කම් ප‍්‍රමාණය ඩොලර් බිලියන 21.2කි. ජපානයේ ප‍්‍රමුඛ පෙළේ විදුලි සන්දේශ හා අන්තර්ජාල ප‍්‍රවර්ධන සමාගමක් වන සොෆ්ට් බෑන්ක් සමාගම ලොව විශාලතම සමාගම් අතර 62 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.  

ඇපල් පරිගණක සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ බිරිය වන ලොරේන් පවල් ජොබ්ස් බිලියනපතියන් අතර 40 වැනි ස්ථානයේ පසුවන්නීය. ඇගේ වත්කම් ප‍්‍රමාණය ඩොලර් බිලියන 20කි. වර්තමානයේ ඇය එමර්සන් කලෙක්ටිව් සංවිධානයේ සභාපතිවරියයි.

2016 වසරේ බිලියනපතියන් බවට පත් 78 දෙනකුට මේ වසරේ සිය ස්ථාන අහිමි වී තිබේ. එම පිරිසෙන් 33 දෙනකු චීනයෙන් වන අතර 7 දෙනකු ඇමෙරිකාවෙනි. තවත් 9 දෙනකු සතු වත්කම් පවුලේ සාමාජිකයන් සමඟ බෙදී යෑම මත ඔවුනට සිය ස්ථානය අහිමි වී ඇතැයි ෆෝබ්ස් සඟරාව සඳහන් කරයි. බිලියනපතියන් 20 දෙනකු පසුගිය වසරේ මෙලොවින් සමුගෙන තිබේ.

ලිපි පුවත්

අනාදිමත් කාලයක පටන් අපේ රටේ අතුරුපසක් ලෙස මීකිරි වලට ඇත්තේ සුවිශේෂ ස්ථානයකි. විශේෂයෙන්ම ග්‍රාමිය ජනතාව අතර මීකිරී වඩා ජනප්‍රිය අතුරුපසකි. වයස් භේදයකින් තොරව අප හුග දෙනෙක් මුදවපු කිරි අනුභවයට වඩා රුචි වෙති. විශේෂයෙන් කුඩා දරුවන්ට මීකිරි ආහාරයක් ලෙස ලබා දෙන්නේ එහි පවතින ගුණාත්මක භාවය නිසාය.

එහෙත් අපි මෙහිදි කතා කිරීමට උත්සහ කරන්නේ මීකිරිවල පවතින රසයට ගුණයට වඩා වෙනස් කාරණාවක් පිලිබදවයි. ඔබ මේ ලිපිය කියවීමෙන් අනතුරු ව මුදවන ලද කිරි අනුභව කිරීමේ දී වඩා සැලකිලිමත් වේයැයි අපි සිතමු.

මේ ලිපිය විශේෂයෙන් අපේ රටේ මීකිරි කර්මාන්තය සහ අප මෙතෙක් අසා නොතිබුණු එහි ඇතුළාන්තය පිලිබදවයි. අප මහමඟ ගමන් කරන විට මුණගැසෙන මීකිරි නිෂ්පාදනය සිදුවෙන පලාත්වල පාර දෙපැත්තේ කුඩා තට්ටුවක, කඩයක, එසේම ග්‍රාමීය පෙදෙස්වල සතිපොළට ගමෙන් ගෙන එන කිරි හට්ටිදෙකතුනක් විකුණන වෙලෙදුන් පිලිබදව නොවෙයි. මේ කතා බහා සිය ගණන් ගවයින් මගින් සිදු කරන මහ පරිමාණයේ මුදවපු කිරි නිෂ්පාදනයන් ගැනයි.

බොහෝ විට අපි දන්නා කරුණක් මේ මීකිරි නිෂ්පාදනය සදහා අවශ්‍ය කරන කිරි ලබා ගන්නා ගවයින්ගාල් ඇති ගමෙන් බොහෝ ඈත වන රොද ආශ්‍රිත පෙදෙස්වල ය. ඒ වනය ඇතුළේ ඉන්න දෙනුන්ගෙන් දොවා ගන්නා කිරි නැවත භාජනවල අසුරා නගරයේ ඇති නිෂ්පාදනාගාර වෙතට රැගෙන යෑම සිදුවන්නේ ඉතාමත් කලාතුරකින්. බොහෝ විට සිදුවන්නේ ගව පට්ටිය ආසන්නයේ ස්ථානයක මීකිරි නිෂ්පාදනාගාරය පවත්වාගෙන යාමයි. මේ ආකාරයට ජනගහණයෙන් තොර කැලෑ බද පරිසරයක මුදවාපු කිරිහට්ටි නිෂ්පාදනය සිදු කරන නිසා ඕනෑම ආකාරයක වස විස මිශ්‍ර මීකිරි නිෂ්පාදනය කිරීමට නිෂ්පාදකයන්ට කිසිදු බාධාවක් නැත.

මේ ආකාරයට නිෂ්පාදනය කෙරෙන මීකිරි වල ගුණාත්මක භාවය සේම එම නිෂ්පාදනාගාර වල තිබෙන්නාවු අඩුපාඩු සහ පිරිසිදු බව පිළිබදව සොයා බැලීමට සිටිනා අදාළ රජයේ නිලධාරීන් පරික්ෂාවට ලක් වුවත් ඒ අදාළ නිලධාරින්ට පවා සොයා ගැනීමට නොහැකි සුක්ෂම ක්‍රමවේදයන් මේ කූට නිෂ්පාදකයන් විසින් යොදාගන්නා ලද බවට තොරතුරු හෙළි වී තිබේ. වස විස යොදා මේ ආකාරයෙන් සිදු නිෂ්පාදනයන් කිරීමෙන් එම නිෂ්පාදනයන් පාරිභෝජනය කරන්නන්ට එහි අනිසි ප්‍රතිවිපාක ක්ෂණිකව නොලැබෙයි. නමුත් දීර්ඝකාලිනව අනිසි ප්‍රතිවිපාක අත්වෙයි.

මේ ක්‍රියාවලිය සිදු කෙරෙන ආකාරය පැහැදිලි කළහොත් මුලින්ම දෙනුන්ගෙන් දොවා ගත් කිරි පදම් කොට ගත් පසු එම කිරි හට්ටිපේළියට තබන අතර එම මැටි හට්ටිවලට අසුරා ඇති කිරි සදහා පුලුන් කැබැල්ලක තවරන ලද ෆොමලින් ස්වල්පයක් මුසු කරනබවට කරුණු හෙළිදරව් කර තිබේ. ඔවුන් සදහන් කරන ආකාරයට මේ ක්‍රියාවලියට ඉතා හොඳ පලපුරුද්දක් තිබිය යුතුයි. ෆොමලින් මිශ්‍ර පුළුන් කැබැල්ල කුඩා කිරි හට්ටිට ඇතුල් කර එකවර නැවත එළියට ගත යුතුයි.

පුළුන් කැබැල්ලට පොඟවන ප්‍රමාණය ගැන හොද අවබෝධයක් ද තිබිය යුතු සේම කිරිහට්ටිය තුළට ෆොමලින් මිශ්‍ර පුළුන් කැබැල්ල දමා තිබිය යුතු කාලය පිලිබදවත් මිශ්‍ර කරන්නාට අවබෝධයක් තිබිය යුතුයි. මේ ෆොමලින් මිශ්‍රකිරීමෙන් නිෂ්පාදකයන් අපේක්ෂා කරන්නේ කල් තබාගැනීමයි. වෙනත් මීකිරිවලට වඩා වැඩිකාලයක් මේ මීකිරි කල් තබා ගැනීමේ හැකියාවක් ඇත.

දුර පළාත්වලට කිරි බෙදා හරින විට මේ කිරි නිෂ්පාදිත දිනයක් කල් ඉකුතු දිනයක් නැත. නමුත් කිරි හට්ටිය පරික්ෂා කර බැලුවොත් එහි කිරි නරක් වීද නැත. එනිසාම ලේබල් ඇලවීම ඇතුළු සියලු දේ සිදුකෙරෙන්නේ කොළඹ හො නාගරික පෙදෙස්වලට රැගෙන ආ පසුවය. දින කිහිපයක් පසුවුවද මේ තොග ගැනුම් කරුවන්ට කිසිදු ගැටලුවක් නැත. ඊට හේතුව මුදවන ලද කිරි නරක් නොවීමයි.

මේ පිරිස මේ ආකාරයට කිරිමුදවා ගන්නා අතර තවත් පිරිසක් ප්ලාස්ටර් පැරිස් කලවම් කරන බවත් ඒ පිරිස උණු කරන ලද කිරි කලවම් කර කල්දේරමට දමා ප්ලාස්ටර් පැරිස් කලවම් කරන කුඩා මැටිහට්ටිවලට අසුරනු ලබන බවද සදහන් වෙයි. තවත් පිරිසක් රබර් මුදවීමට ගන්නා ඇසිටික් ඇසිට් යොදා ගන්නා බවටද තොරතුරු සදහන් වන බවත් මේ සියල්ල සිදුකරනු ලබන්නේ කුඩා පරිමාණයෙන් මේ මුදවාපු කිරි කර්මාන්තයේ යෙදෙන්නන් නොවන බව විශේෂයෙන් සදහන් කළයුතුයි.

විශේෂයෙන් මහ පරිමාණයෙන් මේ කර්මාන්තයේ නියැළෙන්නන් විසින් භාවිත කරන මේ ෆොමලින් කලවම් කර තිබෙන කිරි හට්ටියක් සොයා ගැනීම අසීරු කාරියකි. නමුත් ප්ලාස්ටර් පැරිස් කලවම් කරන ලද මුදවන ලද කිරි හටිටියක් සොයා ගැනීම පහසුවෙන් කළ හැකිය. මුදවන ලද කිරි මැටි හට්ටියේ ඇලී තිබුණොත් ඒ ගැන සැළකිළිමත් විය යුතුයි.

විශේෂයෙන් මේ ප්ලාස්ටර් පැරිස් කළවම් කරලා තිබුණ මීකිරි හට්ටියත් සමඟ එකට පැලැස්තරයක් එකට ඇලී තිබිය හැකියි. අනෙත් අතට හැරවුවත් කිරි හට්ටියෙන් ඉවත් නොවෙයි. නමුත් මුදවන ලද කිරි හට්ටිය ඉවත් කළ පසු හට්ටියෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වුවත් මේ කිරී යම් ප්‍රමාණයක් භාජනයේ ඉතිරි වීම බොහො විට ෆෝමලින් මිශ්‍රකිරීමෙන් සිදුවිය හැකිය.

කෙසේ වෙතත් මුදවපු කිරි පරිභෝජනය කරන්නන් විසින් නියම මීකිරි හඳුනා ගන්නා ආකාර දෙක තුනක් මෙහිදි සදහන් කළ යුතුයි. කිරි හට්ටිය උඩ කොටසේ මිදී තිබෙන යොදය සුදුපාට නම් ඒ පිළිබද සිතා බැලිය යුතුයි. සාමාන්‍යයන් එම උඩ කොටස ලා කහ පැහැයෙන් යුතුවිය යුතුයි. එවැනි කිරි හට්ටියකට යොදය ඈත් කර එක් තැනකින් කිරි හැන්දක් ගත් විට ටික වෙලාවකින් එතැනට වතුර එකතු වීමක් සිදුවිය යුතුයි.

ඇතැම් ප්‍රදේශවල මහ පරිමාණයේ මීකිරි නිෂ්පාදකයන් තමන්ගේ නි‍වසේ යම් උත්සව අවස්ථාවලදී කිසිදු හේතුවක් මත තම නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනය වන මීකිරි පරිභෝජනය සදහා යොදාගන්නේ නැත. පාරිභෝගිකයා ගැන නොසිතා මුදල් පසුපස පමණක් දුවන මෙවැනි කූට නිෂ්පාදකයන්ගෙන් හැකිතාක් ප්‍රවේසම් වනවාට වඩා කළ හැකි වෙනත් විකල්පයක් නැත .

සුභද්‍රා දේශප්‍රිය/නුවරඑළිය සමූහ. සී. මහගම.