ලිපි පුවත්

වෙසක් පෝ‍යට ති‍යෙන්නේ තව දවස් කිහිප‍ය‍යි…..සමහර අ‍ය නම් දැනටමත් වෙසක් කූඩු හදන්න පටන් අරගෙන ඇති…….ඒත් ගොඩක් අ‍යට ති‍යන ප්‍රශ්න‍යක් තම‍යි කූඩුවක් හදන්නවත් වෙලාවක් නැති එක……ඒ අ‍ය වෙනුවෙන් තම‍යි මේක දාන්න හිතුනේ…..මේක බැලුවට පස්සේ හිතෙ‍යි “මේක මොන්ටිසෝරි ‍යන ළම‍යෙකුට උනත් කරන්න පුලුවන් වැඩක්නේ” කි‍යලා…….

ඒත් ගොඩක් අ‍යට මේ ක්‍රම‍ය මීට කලින් හිතෙන්න නැතුව ඇති. එහෙනම් වැඩේ පටන් ගමු….

අවශ්‍ය කරන දේවල්…..

1.A4 කඩදාසි 12ක්. 2. ඒ ප්‍රමාන‍යේම කාඩ්බෝඩ් කෑලි 2ක්.(shirt එකක් කඩෙන් ගන්නකොට pack එකේ පිටිස්සට දාලා ති‍යන කාඩ්බෝඩ් කෑලි 2ක් මේ වැඩේට හරි‍යටම හරි.) 3.සැව් කඩදාසි අවශ්‍ය ප්‍රමාණ‍යට. කඩදාසි කපන්න කතුරු සහ අලවන්න ගම්…

සමහර අ‍යට නම් දැනටමත් වැඩේ කෙරෙන විදි‍ය තේරිලා ඇති….. ඒත් ඉතින් මම කි‍යන්නම්……

A4 කඩදාසි 4කින් සමචතුරස්‍ර 4ක් කපාගන්න….(මම නම් මෙතනදි කපන්න පුලුවන් ලොකුම සමචතුරස‍ තම‍යි කැපුවේ….)

කාඩ්බෝඩ් කෑලි දෙකත් ඒ ප්‍රමාණ‍යේම සමචතුරස්‍ර වලට කපාගන්න….

කාඩ්බෝඩ් කෑලි දෙකේ මැදින් රවුම් දෙකක් කපාගන්න….(මම නම් මේකට පරණ බිස්කට් ටින් එකක් පාවිච්චි කලා…)

මම මේ විදි‍යට කාඩ්බෝඩ් කෑලි දෙකම කැපුවේ බල්බ් එකක් දාන්න හිතාගෙන හදපු හින්ද‍යි……

ල‍යිට් බිලේ ප්‍රශ්නේ හින්දා ඉටිපන්දම් හ‍යි කරන්න හිතන් ඉන්නවා නම් එක කාඩ්බෝඩ් කෑල්ලක රඳවන‍යක් ති‍යන්න පුලුවන් විදි‍යට දාගන්න….
(බකට් වල ති‍යෙන්නේ……..)ඊලඟට ති‍යෙන්නේ ඉතුරු A4 කඩදාසි 8න් ත්‍රිකෝණ ටික කපන්න…..ත්‍රිකෝණ කපනකොට ඇලවුම් වාසි ති‍යන්න අමතක කරන්න එපා…..

මම කැපුවේ මෙන්න මේ විදි‍යට….

හරි…..දැන් ති‍යෙන්නේ අලවන්න තම‍යි..ඔ‍යගොල්ලන්ට වෙනස් ක්‍රම හිතෙන්න පුලුවන්…..මම අලවපු විදි‍ය කි‍යන්නම් සමචතුරස්‍ර 2ක් අරගෙන ත්‍රිකෝණ 4 බැගින් අලවන්න.

අනිත් සමචතුරස්‍ර එක බැගින් රූප‍යේ විදි‍යට අලවන්න…….

දැන් ඔ‍ය විදි‍යට හදපු කොටස් දෙක ප්‍රවේසමෙන් සම්බන්ධ කරන්න……(මේ වැඩේදි නම් කලබල වෙන්න එපා නැත්තම් කඩදාසි ඉරෙන්න පුලුවන්……)

ටිකක් විතර අටපට්ටම් හැඩ‍ය ඇවිල්ලා කි‍යලා පේනවා ඇති ඒත් මේක ශක්තිමත් නෑ ඒක හින්දා තම‍යි උඩට‍යි ‍යටට‍යි කාඩ්බෝඩ් කෑලි 2ක් අලවන්නේ ඔ‍ය ති‍යෙන්නේ කාඩ්බෝඩ් ඇලෙව්වට පස්සේ පේන විදි‍ය

සමහර අ‍යට හිතෙනවා ඇති මේක ගොඩක් පොඩි කූඩුවක් වෙන්න ඇති කි‍යලා ඒත් මේක එච්චරම පොඩි නෑ මෙන්න බලන්න මගේ laptop එකත් එක්ක සංසන්දන‍ය කරලා

දැන් ඉතින් තමන්ට කැමති විදි‍යට හැඩවැඩ දාලා අලවගන්න ති‍යෙන්නේ මම නම් බොහොම චාම් විදි‍යට ඇලෙව්වේ මගේ කලාත්මක හැකි‍යාව නම් අන්තිම‍යිමේ ති‍යෙන්නේ කූඩුවේ වැඩ ඉවර උනාට පස්සේ

මට මේකේ වැඩ සම්පූර්ණ‍යෙන් ඉවර කරන්න ගි‍යේ පැ‍ය එක හමාරක වගේ කාල‍යක් ඒකෙත් වඩිම කාල‍යක් ගි‍යේ රැලි කපන්න තම‍යි එහෙනම් මේ සැරේ වෙසක් එකට මේ වගේ කූඩුවකුත් හදලා බලන්න….මිතුරන්ටත් බලන්න Share කරන්න

හැමදෙනාටම පින්බර වෙසක් මංගල්‍ය‍යක් වේවා..තෙරුවන් සරණ‍යි

උපුටාගැනීම :- එළකිරි.කොම් (සියලුම හිමිකම් මුල් හිමිකරු සතුය)

 

 

ලිපි පුවත්

ජීවිතය පවතින්නේ අන්ත දෙකක් පමණක්මය. දෙයක් පවතී එහෙත් නැත්නම් නොපවතී. එක්කෝ ඇත. එහෙමත් නැත්නම් නැත. අන්තයක අල්ලා ගැනීමකි. අනෙක් අන්තයේ අතහැරීමකි. තවත් ලෙසකින් කියන්නේ නම් අදුරත් අලෝකයත් මෙන්ය.මෙහි අතරමැදක් පැවතීමට නොහැකිය.මේ කියන්නට යන්නේ එවන් අන්ත දෙකක ජීවත් වෙන අම්මෙකුත් දුවෙකුත් ගැන කියන්නටය. ඒ අම්මා මේ වනවිට මෙහෙණින් වහන්සේ නමකි. මෑණියන්ගේ දියණිය ලෝ ප්‍රකට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් සේවිකාවකි. කෙනෙකු සසර ගමනක නිමාව සොයද්දී තවත් කෙනෙකු සසර ගමනේ උපරිම වින්දනීය ජීවිතයක සුවය ලබන්නීය. මේ අන්තයන් දෙක ගැන කතා කරන්නට ඕනයැයි කියා සිතුවේ ඒ නිසාමය.

මෙහෙණින් වහන්සේ නමක් වන ඇගේ ගිහි කල නම නන්දා පියරත්න මෑණියන්ය.ඇය වෙද හෙදකම් කරනා වෙද මහතකුගේ දියණියකි. ඇයගේ පවුල පිරැණ පවුලක් වන්නේ සහෝදරයන් දෙන්නෙකුත් සහෝදරියන් පස් දෙනෙකුත් අයට පවුලෙන් හිමි වන නිසාය. මෙලෙස සෙනෙහේ පිරැණු කැදැල්ලක ජීවත් වූ ඇය ආයෙත් යන්නේ එලෙසින්ම සෙනෙහස පිරැණු කැදැල්ලක් බදින්නටය. ඒ නන්දාට ලැබෙන සෙනෙහෙබර ස්වාමියා ඉන්දු උබේසේන සමගය. අද එකතු වෙලා හෙට වෙන්වන පේ්‍රමවන්තයෙන් අනන්ත ලෝකයක ඔවුන්ගේ පේ‍ර්ම කතාවෙන් ඉගෙන ගන්නට ඇති දේවල් බොහෝය.

ඔවුන් විවාහ වෙන්නේ අවුරැදු 13ක පේ්‍රම කතාවකිනි. මේ පේ්‍රම කතාව තවත් ශක්තිමත් කරමින් පුතුන් දෙදෙනෙකුත් දුවෙකුත් උපන්නේ කාලයත් සමගය. දිනෙන් දින බැදීම් වැඩි වුවද මේ දෙදෙනාගේ ආදරයේ අඩුවක් නම් ඇතිවෙලා නැත. ඒ අවබෝධයෙන් සෙනෙහසක් මේ දෙදෙනා අතර ඕනවටත් වඩා තිබුණි. ආදරයත් සමග ජීවිතයත් සමග මේ දෙදෙනාගේ පේ‍ර්ම කතාව ද වයස්ගත වී තිබුණි.

උබේසේකර මහතා වයස සමගම රෝගාතුර වු විට නිතරම කියපු දෙයක් වූයේ මම ඉක්මනට මේ දුකෙන් ඔයාව නිදහස් කරනවා මැණිකේ කියාය. අවබෝධය වගේම ආදරය පිරැණු ආදර කතා හොයා ගන්නට අපහසුය.මේ අපහසුකම නිසාම එය දිනෙක ජීවිතයේ අතහැරීම ද මහත් වෙහෙසකරය. කොයිතරම් තදින් බැදී හිදිය ද දිනෙක මේ සියලුම බැදිම් අතහැර ගන්නට වීම පොදු කාරණයකි. ඉන් ගැලවීමට කිසිවෙකුටත් නොහැකිය.

මේ නිසා මේ පේ‍ර්ම කතාවේ භෙෳතික පැවැත්මක් අහිමි කරමින් උබේසේකර මහතා යන්නට යන්නේය. මේ සියලුම දෝමනස්සයන් අතරදී උබේසේකර මහතාගේ නික්ම යාමෙන් මාස 03කට පසු පියරත්න මැණිකේ තීරණය කරන්නේ තමන්ගේ ආත්ම සහගත බැදීම ගිලිහුණු පසු සංසාරයේ් තමන් බැද තිබූ සියලුම බන්ධනයන්ගෙන් නිදහස් වන්නටය. අවසානයේ ඇය එරත්නේ නිරෝධා නමින් පැවිදි දිවියට පැමිණෙන්නේය.නිරෝධා මෑණියන්ගේ දරැවන් තිදෙනා ද ඇයව මේ බැදීම්වලින් නිදහස් කරන්නේ ඇගේ සතුටට ඉඩ දෙමිනි.

මේ කතාවේ ඇති තවත් සුවිශේෂී කාරණය නම් නිරෝධා මෑණියන්ගේ මහණ දම් පිරීමත් සමග ඇගේ මව ද සසුන්ගත වීමට තීරණය කිරීමය.දරැවෝ මුනුබුරන් බොහෝමයක් ඇති ඇය ද අවසානයේ තෝරාගන්නේ සදාකාලික නිවනට සැනසීමට මග කියන දරැවා ළඟ නතර ඒ මේ කතාවේ නිවුණු එක අන්තයකි. මේ කතාවේ දෙවෙනි අන්තය නිරෝධා මෑණියන්ගේ එකම දියණියයි. කතාවේ දෙවෙනි දිලෙන අන්තයයි.

තක්ෂිලා සේනානි වන ඇය මේ වනවිට ඩුබායිහි එමිෙර්ට්ස් ගුවන්සේවයේ නිරත වන්ෙන්ය. ඇය කොහේ හිදියද නිවාඩුවක් ලැබුණ ගමන් අම්මා බැලිමට පන්සලට දුවෙගන එන්නේය. දෛවයේ සරදමකට වගේදෝ මොකක්දෝ ලියවීමකට අනුව තක්ෂිලාටද ඉන්නේ නා නා රෑප ලෝකයේ දකින විදින ඇය කියන්නේද තමන්ගේ මේ සියලුම බැදිම් අවබෝධයෙන් විදින බවය. ඒ වගේම ඕනෑම මොහොතක මේ බැදීම් උපේක්ෂාවනේ අතාහරින්නටද හැකි බව ඇය කියන්නීය.

මේ මා මේ කතාව ලියන්නට පටන්ගත් විටම සිටි අන්ත දෙකය. ජීවිතය හරි අමුතුය. අමුතු වියයුතු එකට මුණගස්සවන්නේය. මේ මව්වරැන්ගේ,දියණිවරැන්ගෙත් කතාව ගෙතුණේ එසේය. ඔවුන් අපට කියාදෙන පාඩම නම් අවබෝධයෙන් අල්ලාගෙන ජීවත් වීමටය. මේ මව්වරැන්ටත් දියණියන්ටත් අවසානයේ සංසාර සැනසීම ලැබිය යුතු බව අපගේ අදහසය.

 

ලිපි පුවත්

සිංහල අලුත් අවුරුද්දට අපේ නිවෙස්වලට නොයෙකුත් තරාතිරම් වල අමුත්තෝ එති-යති. ඔවුන් අතරේ විවිධ ගති ලක්ෂණ ඇත්තෝද සිටිති. එහෙත් 2017 සිංහල අලුත් අවුරුද්දේ නිවසකට බලහත්කාරයෙන් කඩා වැදී අද දක්වාම එම නිවසින් එලවා ගත නොහැකි අපුරු අමුත්තෙකු සිටිතැයි ඔබ නිකමට හෝ සිතනවාද?

එහෙත් මේ අමුත්තා මිනිසෙකු නොව සුනඛයෙකි. එහෙත් ඔහු එසේ මෙසේ සුනඛයෙකු නොවන බව මේ කතාව කියවන ඔබට මනා සේ වැටහී යනු ඇත.මේ කතාව අපට කීවේ කොට්ටාව, සිරිමල්වත්තේ, ඉරූකා රෝෂිනී මහත්මියයි. දැන් අපි ඇගේ එම කතාව ඇගේ වදන් වලින්ම කියවා දැන ගනිමු.

‘අපේ ගෙදර ඉන්නේ මගේ අම්මයි තාත්තයි මමයි දුවයි. දුවගේ වයස අවුරුදු 14යි. තවමත් ඉස්කෝලේ යනවා. 2017 අප්‍රේල් 16 හරි 17 වගේ දවසක අපේ ගෙදරට නෑදෑ කට්ටියක් ඇවිත් සිටියා. ඒ වෙලාවේ හිටපු ගමන් අපේ මිදුලේ බල්ලෙක් බුරනවා ඇහුණා. බලනකොට අපි කවදාවත් දැකලා නැති සතෙක්. කොහෙන් ආවද කියලා හිතා ගන්නවත් බැහැ.

ඊට පස්සේ මේ සතා අපේ ගේදොරකඩ වාඩි වෙලා හරියට තමන්ගේ තැනක වගේ ඉන්නවා. අපි හිතුවා මේ රතිඤ්ඥා වලට බයේ ආපු සතෙක් කියලා. ඒත් ආපහු යන පාටක් නැහැ. ඒ සතා මෙහේ ඉන්න දවස්වල අපි කන්න ටිකකුත් දුන්නා.

මේ සතා අපේ ගේ ඉස්සරහ ඉන්නවා මදිවට පාරේ යන මිනිස්සුන්ට යකා වගේ බුරාගෙන පනිනවා. සමහර මිනිස්සු අපිට බැණ බැණ යනවා; බල්ලෝ කූඩුවේ දාගෙන හදා ගන්න කියලා. ඒ මදිවට සමහර මිනිස්සු අපේ ගේ ඉස්සරහින් යන්නේ පොලු අරන්.

ඒත් මේ කොහේවත් යන සතෙක් කියලා අපිට කියා යන්න විදිහකුත් නෑ. ඒ මදිවට බැරි වෙලාවක්වත් අපිට ඒ සතා අල්ලන්නවත් බැහැ. බුරාගෙන පනිනවා. අපි සැර කළත් ඊටත් වඩා හයියෙන් බුරාගෙන පනිනවා.

මේ සතා ඇවිත් මාසෙකට විතර පස්සේ පාරේ යන මනුස්සයෙකුව හපන්න පැනලා අපේ අම්මා සැර කළාම අපේ අම්මගේ උරහිසට පැනලා අම්මව පෙරළගෙන හපලා. අපේ අම්මා අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග කිහිපයක්ම තියෙන කෙනෙක්.

අන්තිමේ අපි මේ සතාව බය කරලා එළව ගන්න ගේ ඉස්සරහ රතිඤ්ඤා පත්තු කළා. ඒත් මෙයාව හොල්ලන්නවත් බැරි වුණා.මගේ අක්කයි මස්සිනයි දරුවො දෙන්නයි ඉන්නේ අපේ ගෙදරට යාබදව. මේ සතා මස්සිනාට විතරක් ටිකක් හිතවත්. මස්සිනා විසිල් කරන කොට කොහෙ හිටියත් දුවගෙන එනවා. මස්සිනාගේ ත්‍රිවිලර් එකටත් නගිනවා.

මේ සතා නිසා අහල පහල මිනිස්සුන්ගෙන් අපිට දිගින් දිගටම දෝෂාරෝපණ එල්ල වන නිසා අපි කොට්ටාව පොලීසියට ගිහින් පැමිණිල්ලක් කළා; මේ සතා අපේ නෙවෙයි මේ සතා කාවහරි කෑවෙත් අපිට වග කියන්න බෑ කියලා.

පස්සේ ඒ ගැන විමර්ශනය කරන්න පොලිස් රාලහාමි කෙනෙක් අපේ ගෙදරට ආවා. ඒත් ඒ රාලහාමිට බයිසිකලෙන් බහින්නට නොදීම මේ සතා යකෙක් වගේ බුරන්න පටත් ගත්තා. කොහොමත් මෙයා අපේ ගෙදර ඉන්නේ චණ්ඩි කමෙන්මයි. බලහත්කාරන් ගේ ඇතුලත එනවා. කාමර වල නිදා ගන්නවා. වැහි දවසට ඉන්න අපි වෙනම ටකරං ආවරණයක් හදල දුන්නත් ඒකේ ඉන්නෙම නෑ. ඒ වගේම මෙයා අපිට පොඩ්ඩක්වත් කීකරුත් නෑ. බයත් නෑ.

තව දවසක් මෙයා අපේ අම්මව හපලා අම්මා දවස් එකහාමාරක් කළුබෝවිල ඉස්පිරිතාලෙත් සිටියා. මාස ගාණක් බෙහෙත් කළා.ඊට පස්සේ අපි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහිල්ලා මෙයා ගැන පැමිණිලි කළා; මෙයාව කොහාට හරි ගිහින් දාන්න කියලා. ඊට පස්සේ ඒකට උවමනා ප්‍රතිපාදන නැහැ රඳවන්න පුළුවන් තැනක් තිබුනොත් කියන්නම් කියලා ඒ අයත් කිව්වා.

ඊට පස්සේ දවසක මස්සිනා අකමැත්තෙන් වගේ රෑ 7ට විතර මෙයාව ත්‍රිවිලර් එකක දාගෙන දියවන්නාව පැත්තට ගිහින් දාලා ආවා. මෙන්න රෑ 11.30 විතර වන විට මේ සතා ආයිමත් ගෙදර. ඒ වෙලාවේ මෙයාගේ ඇගේ තුවාල කිහිපයකුත් තිබුණා.

ඊට පස්සේ ළග ගෙදරක ළමයෙක් සරුංගල් අරින ගමන් නුල් බෝලේ මේ සතා ළගට වැටිලා ඒ ළමයව හපා කාළා. ඒ ළමයගේ වයස අවුරුදු 8යි. ඒක දැකපු අක්කගේ දුව ඒ ළමයව බේරන්න යන කොට අක්කගේ දුවත් හපා කාලා. එයාගේ වයස අවුරුදු 12යි.

මේ වගේ තත්වයක් යටතේ මේ සතාව ගෙදර තියාගෙන ඉන්න බැරි හින්දා මගේ මස්සිනයි මාමයි මෙයාව වට රවුම් පාරවල් වලින් අවිස්සාවේල්ල කිට්ටුවටම ගිහින් දාලා ආවා. මගේ තාත්තගේ උපන්දිනය මාර්තු 26වනදා. අපි ඒ වෙනුවෙන් කේක් එකක් ලෑස්ති කරලා ඒක කපන්න හදන කොට මෙන්න මේ සතා ලේ පෙරාගෙන ගේ අතුලටම කඩගෙන වැදිලා සාලේ වාඩි වුණා. හරියට ඒ අවස්ථාවට සහභාගි වෙන්න වගේ.

දැන් අපිට කරගන්න දෙයක් නෑ. ඒ වෙනකොට සතාව ගිහින් දාලා දවස් 10යි. අපි හිතන්නේ ඒ සතාව ගිහින් දාපු දවසේ ඉදලා නොකා නොබී එක දිගට අපේ ගෙදර හොයා ගෙන එන්න ඇති. කිලෝමීටර් 30කට වැඩි දුරක් නේ. අනික මෙයාගේ කලින් හිටපු ගෙදර සොයා නොගන්නේ ඇයි කියන එක අපට ප්‍රශ්නයක්.

අපි කොහොමත් ප්‍රාණ ඝාතය දැඩිවම හෙලා දකිනවා. මොනම හේතුවක් නිසාවත් සතෙකුගේ ජීවිත හානියක් කරන්න අපි පෙළඹෙන්නේ නැහැ. සමහරු මේක අමනුෂ්‍ය දිස්ටියක් නිසා සිදුවන දෙයක් කිව්වට අපි ගෙදරට පිරිත් පැන් ඉස්සා. බෝධි පුජා තිබ්බා. දානයකුත් දීලා තියෙනවා. මේ සතා හපා කෑවට පස්සේ අපේ අම්මා හීනෙන් බයවෙන එකත් ඊට හේතුවක්.

මේ අතරේ පසුගිය දෙසැම්බර් 27වෙනිදා අපේ පුංචි අම්මගේ අවුරුදු නමයක් වයස පුතාව මේ සතා හපා කෑවා ඒ දරුවා ඉන්දියාවෙදි හෘද සැත්කමකට ලක් කළ දරුවෙක්. අපි පුතාව කළුබෝවිල එක්ක ගියාට පස්සේ එයාට ප්‍රතිකාර කළේ බොහොම අරපරිස්සමෙන්. කොහොම හරි දැන් ඒ දරුවත් හීනෙන් බයවෙනවා.

කොහොම නමුත් මේ සතාගේ හිතේ අපි ගැන ලොකු බැදීමක් තියෙන බව අපිට තේරනවා. නමුත් ඒ මොකක්ද කියලා තේරුම් ගන්න බැහැ. අපි කවුරු හරි බස්එකට නගින්න යනව නම් මේ සතා අපිත් එක්කම බස් හෝල්ට් එකට ඇවිත් අපිව ඇරලලා එනවා. අතර මඟදී හපනවා තියා වෙන කවුරුවත් දිහා බලන්නෙවත් නෑ.

මේ සතා වෙන සත්තුත් එක්ක පොරකාලා තුවාල කර ගත්තත් පහල වෙලට ගිහින් මඩ වතුරේ පෙරලිලා එනවා ඒ තුවාල එතනින්ම සනීපයි. අපි මේ සතාගේ ජීවිතයට හානියක් නොකර කොහේ හරි තැනක රඳවල තියන්න අපි සත්ව සංවිධාන ගණනාවකට කතා කළා. නමුත් කිසිම ප්‍රතිඵලයක් නැහැ. මේ සතාගේ ජීවිතයට හානියක් නොකර මේ සතාව රැකබලාගන්න තැනක් තියෙනවා නම් 0778 991 574 දුරකතන අංකයෙන් අපට දන්වන්න‘.

ඉරූකාගේ කතාව කෙසේ හෝ සුනඛයා යනු මිනිසුන් සමඟ කෙතරම් දැඩි සබඳතාවයකින් යුතු සත්වයෙක් යැයි ඇගේ මේ කතාව කියවන ඔබට මනාව තේරුම් යනු නොඅනුමානය. එය සතුන් කෙරෙහි මීට වඩා ගැඹුරින් සිතිමට ඔබ පොළඹවනු ඇතැයි අපි සිතමු.

දමයනති ගමගේ

ලිපි පුවත්

ඔහුගේ ජීවිත කතාව පොතකට නැගුවොත් එහි පරිච්ෙඡ්ද වැඩි ගණනක් ලියැවෙන්නේ නොපසුබස්නා වීරිය ගැනය. අතරමැද එකම එක පරිච්ෙඡ්දයක් වාසනාව ගැනද, තවත් එකක් ජයග‍්‍රහණය ගැනද එතනින් අනතුරු කලකිරීම් ගැනද ලියමින් කතාව පෙළගස්වන්නට පුළුවන. ඒත් අනාගතේ දවසක ඒ ජීවිත කතාව නියතවම නිමවෙන්නේ හීනයක් ලූහුබැඳ ජය ලැබූ මිනිසකුගේ කතාවක් හැටියටය.

මේ කතාව ලියැවෙන්නේ පානදුර අළුබෝමුල්ලේ හරින්ද්‍ර මහකුමාර ගැනය. ඔහු අද දේශදේශාන්තරවලට ලංකාවේ තැඹිලි වතුරේ රස ගුණ බෙදාදෙන ව්‍යාපාරිකයෙකි. මේ තමාගේ ජීවිතය ගැන කියන්නට හරින්ද්‍ර කතාව ඇරඹූ තැනය.”2012 අවුරුද්දේ ජුනි මාසෙදී පත්තරේක මම අමුතු ප‍්‍රවෘත්තියක් දැක්කා. ඒකෙ කියැවුණේ දවසකට ලංකාවෙ පොල්වතුර ලීටර් 50000ක් විතර නිකරුණේ අපතේ යනවා කියන විස්තරයක්. මේ ප‍්‍රවෘත්තිය ඇහැගැටුණම මට මේ ගැන හොයන්න උනන්දුවක් ඇති වුණා. මම අන්තර්ජාලයෙන් විස්තර හෙව්වා.

මට හිතුණා මම මේ අපතේ යන පොල් වතුරෙන් ව්‍යාපාරයක් කරන්න ඕන කියලා. ඊළග මාසෙම මම වැඬේ පටන් ගත්තා. මම විදුලි කාර්මික ශිල්පය ටිකක් දන්නවා. අලූත් අලූත් දේවල් අත්හදා බලන්න කොහොමත් ටිකක් දක්ෂයි. මුලින්ම මම කුරුම්බා ගෙඩියක වතුර වාතයට නිරාවරණය නොවී රැුස්කරගන්න සරල යන්ත‍්‍රයක් හැදුවා.

ඒකෙන් කෙරෙන්නෙ කුරුම්බා ගෙඩිය උල් බටයක් මත සවි කළාම ගෙඩිය ඇතුළේ තියෙන වතුර ටික බටය හරහා ඇවිත් ටැංකියකට රැුස්වෙන එක. මේ මැෂිම හදනවා දැක්කාම මගේ නෝනා මුලින්ම කිව්වෙ ඔයාට පිස්සුද කියලයි. තැඹිලි – කුරුම්බා වතුර බෝතල් කරලා තියාගෙන බොන්නෙ කවුද කියලා එයා හිනාවුණා. ඒත් මට ඕනෑවුණා මේ තාක්ෂණය හොයාගන්න.

විවිධ අත්හදාබැලීම් කරලා බලනකොට තැඹිලි වතුර නරක් නොවී දවස් 20ක් ශීතකරණයේ දාලා තියන්න පුළුවන් ක‍්‍රමවේදයක් හොයාගන්න මට පුළුවන් වුණා. මම ඒ නිෂ්පාදනය හෙළ කොකෝ එනර්ජි කියලා ලේබල් කරලා ඒක අරගෙන ලංකාවෙ ගොඩක් හෝටල්වලට ගියා. ඒ හෝටල්වල හුඟක් අය මාව ගිය පයින්ම හරවලා එව්වා. තැඹිලි වතුර බෝතල් කරලා බොනවා කිව්වම එයාලට ඒක පිස්සුවක් වගේ පෙනුණා.

කලාතුරකින් කෙනෙක් මගේ නිෂ්පාදනය විකුණන්න භාරගත්තා. ඒත් ඒ සමහර තැන්වල ඇසුරුම් ක‍්‍රමය වැරදුණාම දවස් දෙක තුනෙන් මගේ නිෂ්පාදනය නරක් වෙලා මට කෝල් ආවා, ඇවිත් බෝතල් ටික ආපහු අරන් යන්න කියලා.”ඒ වෙහෙසකර ආරම්භය ගැන ඔහු වචන ගැළපූ විදියයි. අභියෝගයට අභියෝග කරන්නට ඔහුට මුලින්ම ශක්තිය දෙන චරිතය කතාවට එකතු වෙන්නේ මේ කාලයේදීය.

”මගේ බිරිඳගේ නම ලතීෂා රන්මාලි. මේ වැඬේ මම කොහොම හරි කරනවා කියලා විශ්වාස කරපු පළමුවැනි කෙනාත් එයා. ඒ දවස්වල අපි දෙන්නා එකතුවෙලා දවසකට තැඹිලි ගෙඩි 300ක් විතර හෝදලා වේලලා කපලා තැඹිලි වතුර එකතු කළා. ඒක ලොකු මහන්සියක්. මොකද හැමදේටම අපි දෙන්නා විතරයි. දවස ඉවරවෙනකොට අත් කකියනවා. හැබැයි එහෙම මහන්සි වෙලා බෝතල් 10ක් විතරක් හදන කාලෙදිත් මගෙ හීනෙ තිබුණෙ කවදා හරි ලොකු තැඹිලි අපනයනකරුවෙක් වෙන්නයි.

ඇත්තටම ඒක ඒ කාලෙ හැටියට ලොකු වැඩි හීනයක් තමයි. හැබැයි මම හීන මැවුවා.තැඹිලි බෝතල් කරද්දී පොඩි අත්වැරදීමක් වුණත් පැහීමට ලක්වෙනවා. තැඹිලි වතුරේ පාටත් රහත් වෙනස් වෙලා රා වෙන එක තමයි අපට ආපු ලොකුම ප‍්‍රශ්නය. මම එක එක විදියේ අත්හදා බැලීම් කර කර ඒ ප‍්‍රශ්නෙට උත්තරේ හෙව්වා.

හැබැයි බෝතල් දහය හදන කාලෙදිත් මම අකුරටම ප‍්‍රමිතිය ගැන හිතුවා. වෙන එකක් තියා තැඹිලි කපනකොට, බෝතල් කරනකොට අපි දෙන්නා එකිනෙකාට කතා කළේවත් නෑ කටේ කෙළ බිඳක්වත් වැටෙයි කියලා. මොකද කවුරුහරි මනුස්සයෙක් සල්ලි දීලා මගේ නිෂ්පාදනය ගන්නවා නම් මම ඒ මනුස්සයාට ගරු කරලා අවංකව නිෂ්පාදන කාර්යය කරන්න ඕන. බිස්නස්වලදී බොරුව කළොත් පැවැත්මක් නෑ.”

ඒ ඔහුගේ දැක්මය. හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් පෙනේ කියන්නාක් සේ ආරම්භයම සරු යහපත් එකක් වූ නිසා සොබාදහම මේ මිනිසාගේ තනි සටනට ශක්තිය සපයා තිබුණා සේය. කවදා හෝ නියතවම තැඹිලි වතුර අපනයනය කරන ලොකු ව්‍යවසායකයෙක් වෙනවාය යන හීනය හැබෑ කරගන්නට මේ කුඩා පර්යේෂකයා දැනුවත් බොහෝ පිරිසකගේ උදවු සොයා ගියේය.

තැඹිලිවතුර බෝතල් කරන තාක්ෂණය හොයාගෙන මම ලංකාවේ පොල් පර්යේෂණායතනයට ගියා. ලංකා කාර්මික තාක්ෂණායතනයටත් ගියා. ඒත් මේ කාගෙන්වත් මට තැඹිලිවතුර බෝතල් කිරීමේ තාක්ෂණය ගැන ඉගෙන ගන්න ලැබුණෙ නෑ. මොකද එයාලත් පර්යේෂණ මට්ටමේ වැඩ කරමින් හිටියේ.

ඉතිං මම තනිවම මේ වැඬේ එක්ක ඔට්ටු වුණා. ඇත්තටම කියනවා නම් මම අත්හදා බලපු විදි 200ක් විතර අසාර්ථක වුණා. මහන්සියෙන් හදලා හදලා හරි කියලා හිතලා නිදාගන්න ගියාම පහුවදා ඇහැරලා බලද්දී තැඹිලි වතුර රා වෙලා. නිතර නිතර ඔහොම වුණාම මට මේ ඔක්කොම අල්ලලා විසිකරලා දාන්න අනන්තවත් හිතුණා. ඒත් මගේ බිරිඳ කිව්වා අපි දැන් දිනුම් කනුව ළඟටම ඇවිල්ලා ඉන්නෙ දැන් වැඩ නවත්තන්න එපා කියලා.

මම ඇගේ වචනවල හයියෙන් ආපහු අත්හදාබැලීම් කළා. අන්තිමේ මේ ක‍්‍රමය ගැන හොයමින් අත්හදා බැලීම් කරලම මගේ රුධිර පීඩනය වැඩිවෙලා ඉස්පිරිතාලෙ නවතින්න මට සිද්ධ වුණා. ඉස්පිරිතාලෙ ඇඳේ ඉන්නකොට මට විශේෂ දෙයක් කල්පනා වුණා. මම ටිකට් කපාගෙන ගෙදර ආපු දවසෙම මම හරියටම මැෂිම හැදුවා. එදා තමයි මේ තාක්ෂණය හරියටම හරි ගියේ. මම මේ තාක්ෂණය හොයා ගත්ත දවස හරියටම 2016 ඔක්තෝබර් මාසෙ 20 වැනිදා.

එදා ඉතිහාසගත දවසක්. තැඹිලි වතුර කල් තබා ගත හැකි පරිදි බෝතල් කිරීමට අවශ්‍ය සියලූම උපකරණ නිෂ්පාදනය කරන්නට හරින්ද්‍ර වැය කර ඇති මුදල ලක්ෂ හය හතකි. කර්මාන්ත ශාලාවේ කාමර තුනක් පුරා සිදුවෙන මේ සැකසුම් ක‍්‍රියාවලිය පුහුණු සේවකයන් හය දෙනෙකුට මේ වන විට රැුකියා සපයා දී ඇත. හරින්ද්‍ර නිසා වක‍්‍ර රැුකියා ලැබූ අය ගණන විසි තිස් ගණනකට වැඩිය.

මේකේ බෝතල් ලේබලයේ ග‍්‍රැෆික් නිර්මාණයේ ඉඳලා අවශ්‍ය සේරම යන්ත්‍රෝපකරණ හදන එක දක්වාම කළේ මගේම නිර්මාණ ශක්තියෙන්. ප‍්‍රාග්ධනය නැතිකම නිසා මමම ඒවා කළා.මම ලංකාවේ පළමුවැනි බෙවරේජ් කෑන් සීලර් එකත් හැදුවා. මම දන්න තරමින් බීම ටින්වල පියන සීල් කරන්න මැනුවල් උපකරණයකට තියෙන්නෙ මම හදපු එක විතරයි. ලොකු ලොකු කොම්පැණිවල පාවිච්චි කරන පියන් සීල් කරන මැෂින් එක ලක්ෂ 14කට වඩා වැඩියි.

මම ඒ විදියෙම අතින් වැඩකරවන මැෂින් එක හදාගත්තෙ අර ලොකු මැෂිම ගන්න මට සල්ලි නැති නිසයි.සේරම මැෂින් මම හදලා තියෙන්නෙ ඉස්තරම්ම හිතකර අමුද්‍රව්‍යවලින්. මොකද ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් කරද්දී මිනිස්සුන්ගේ සෞඛ්‍යය ගැන හිතන්නම ඕන.එදා තැඹිලි වතුර ලීටර් 10ක් බෝතල් කරමින් වැරදි වැරදී පටන්ගත් ව්‍යාපාරය අද අතු ඉති ලා වැඩෙමින් තිබෙන එකකි.

දැනට මගේ නිෂ්පාදන ධාරිතාව අනුව දවසකට බෝතල් 1200ක් හදන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නෙ මාසෙකට බෝතල් 30000 ට වඩා හදන්න අපට පුළුවන්.තැඹිලි වතුර නිකම්ම බෝතල් කරනවාට අමතරව තව අලූත් සංයෝග එකතු කරලා ස්වභාවික අලූත් පාන වර්ග හදන්නත් මම දැං පටන් අරගෙන තියෙනවා. කෝමාරිකා සහ තැඹිලි වතුර පානය, ලංකා දොඩම් සහ තැඹිලි වතුර පානය, කුරුඳු සහ තැඹිලි වතුර පානය, වැල් දොඩම් සහ තැඹිලි වතුර පානය වගේම අන්නාසි සහ තැඹිලි වතුර පානය කියන අලූත් බීම වර්ගත් අපි බෝතල් කරලා විකුණනවා.

ලංකාවෙ හෝටල් අලෙවිසල් ගානෙ මගේ නිෂ්පාදන අරන් ඇවිදලා කිසිම හේතුවක් නැතුව ඒවා ප‍්‍රතික්ෂේප වුණාම මට ලොකු කලකිරීමක් ඇති වුණා. අපේ රටේ මිනිස්සු කොහොමත් අපේ කෙනෙකුගේ අලූත් වැඩක් පිළිගන්න කැමති නැහැ. කොහොමත් මගේ හීනෙ තිබුණෙත් පිටරටට තැඹිලි අපනයනය කරන්නනෙ. ඒ නිසා මම ලංකාවෙ විකුණන එක අත්හැරදාලා අපනයන වැඩ පටන් ගත්තා. මට අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සෑහෙන්න උදවු කළා. ඒ වගේම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත් ලොකු ශක්තියක් වෙනවා. අද මගේ ආයතනය අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ පොල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය ලද නිෂ්පාදනායතනයක්. මම දැන රුසියාවට සහ ජර්මනියට තැඹිලි බෝතල් අපනයනය කරනවා.

මේකට මට රස ගුණ පැත්තෙන් තරග කරන්න ලෝකෙ කවුරුවත් නැහැ. මොකද ලෝකෙ රසම හො`දම තැඹිලි වැවෙන්නෙ ශ‍්‍රී ලංකාවෙ. ඒකෙනුත් මම ඉන්න කළුතර – පානදුර පැත්තෙ තැඹිලි රසින් ගොඩාක් වැඩියි. හැබැයි මට ජාත්‍යන්තරය ජයගන්න ලොකු ප‍්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි බටහිර රටවල මිනිස්සු තැඹිලි කියන්නෙ මොනවද ඒක කොච්චර ගුණද කියලා දන්නෙ නැතිකම. මට තැඹිලි ගැන එයාලට මුල ඉදලා විස්තර කරන්න වෙලා තියෙනවා.

අනික් බාධාව තමයි තායිලන්තයෙන් සහ වියට්නාමයෙන් පොල් හා කුරුම්බා වතුර මහ විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම. මහා පරිමාණයෙන් කරද්දී එයාලගෙ මිලත් අඩු මට්ටමක තියෙන නිසා මට මිල කිරීමෙදිත් ගැටලූ තියෙනවා. හැබැයි මේ එකක් නිසාවත් මම වැටෙන්නෙ නැහැ. හෙළ කොකෝ එනර්ජි කියන නම මම අදට වඩා හෙට ලෝකෙට ගෙනියනවා. අපේ පානය නිසා ලංකාව කියන රට ගැන ලෝකය කතාවෙනවා දකින්න මට ඕන.

කුඩා තනි මිනිහෙකුගේ ශක්තියත් ඔහු හීන දකින හීනවල විශාලත්වයත් වෙනුවෙන් හිස නමා ආචාර කරන්නට කාලය එළඹ තිබේ. හීන හැබෑ කරගන්නට හැකි පමණින් කාගේත් උදවු වුවමනාය. ඇතැම් විට ඒ උදවු හදවතින් පිරිනමන ආශීර්වාදයක් විතරක්ම වෙන්නට පුළුවන.”හෙළ කොකෝ එනර්ජි කියලා ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරන ස්වභාවික ගුණදායක පානය තව අවුරුදු පහක් ඇතුළත ලෝකයේ හොඳම පාන වර්ග 05 අතරෙ තියෙන්න ඕන. මම ඒ හීනය හැබෑ කරගන්න දවල් ? නැතුව වැඩ කරනවා.”ජවයෙන් පිරුණු ඒ වචනවලට ආශීර්වාද නොකර ඉන්නට හැකි හදවතක් මේ මිහිපිට කාට හෝ තිබිය හැකිද?

ලිපි පුවත්

දරුවන් සිවුදෙනාත්, බිරියත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවෙස හා ගොඩ ඉඩම විකුණා එම මුදලින් තම දෑතින්ම විහාරස්ථානයක් ඉදිකරන බුද්ධ පුත්‍රයෙක් පිළිබඳ පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.

උන්වහන්සේ වැලිකන්ද, මහවැව ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ වැඩවාසය කරන වලපනේ අභයරතන හිමියන්ය.විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය මෙන්ම විහාරස්ථානයට පිවිසුම් පඩිපෙළ ඇතුළු අත්‍යවශ්‍ය කොටස් ඉදිකිරීමට තම දෑතින්ම බදාම සිමෙන්ති මිශ්‍ර කිරීම නිසා අභයරතන හිමියන්ගේ දෑතේ ඇඟිලිද තුවාල වී ඇති අයුරු අපට දක්නට ලැබිණි.

වලපනේ, නිල්දණ්ඩාහින්න ගම්මානයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ජී. අබේසේකර සහ ජී.ඩබ්ලිව්. සිරියාවතී යන පින්බර යුවළට දාව උපන් දරුවන් සිවුදෙනාගෙන් තිදෙනෙක් 2004 වසරේදී පළමුව සසුන් කෙතට ඇතුළත් වූහ.

ඒ අලව්ව, වැදිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උස්සාපිටියේ පඤ්ඤාරංසි නායක හිමියන්ගේ උපදේශකත්වයෙනි.වලපනේ ධම්මවංශ, වලපනේ අරියවිමල, වලපනේ පඤ්ඤාධීර නමින් ඔවුන් සසුන්ගත වී ඇති අතර මේ වන විට උන්වහන්සේ වයස අවුරුදු 24, 21 සහ 18 වියෙහි පසුවෙති.

අනතුරුව 2004 වසරේදී මහරගම පඤ්ඤාතිලක මහ පිරිවෙනේ අනුනායක විමලබුද්ධි නාහිමියන්ගේ අතින් වලපනේ අභයරතන, වලපනේ ධම්මචේතනා සහ වලපනේ සුබෝධි යනුවෙන් පියාත්, මවත්, බාල පුතුත් සසුන් කෙතට ඇතුළත් වූහ.

වලපනේ අභයරතන හිමියන්ගේ වයස අවුරුදු 49කි. වලපනේ ධම්මචේතනා මෙහෙණින් වහන්සේගේ වයස 44ක් වන අතර උන්නාන්සේ මේ වන විට කුරුවිට වාලුකාරාම ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ වාසය කරති. 14 වියෙහි පසුවන වලපනේ සුබෝධි හිමියෝ මහවැව ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ වැඩ වාසය කරති.

“මහත්තයෝ මගේ මුළු පවුලම පැවිදි වුණා. බුදු දහම පවත්වාගෙන යෑම ඉතා වැදගත්. මම ගිහි කල හම්බ කරපු සියලු දේවල් ශාසනයට පූජා කළා. මගේ අයිතියට තිබූ නිවෙසත්, ගොඩ ඉඩමත් විකුණලා ඒ මුදල්වලින් මේ පන්සලේ අඩුපාඩු හදනවා. දැන් අවුරුදු 03ක ඉඳලා මේ පන්සලේ මම වැඩවාසය කරනවා. සිමෙන්ති බදාම අනලා මගේ අතත් තුවාල වුණා. මට මේසන් වැඩ, වඩුවැඩ හොඳට පුළුවන්. මේ පළාතේ දායකයන්ටත් තියෙන ආර්ථික ගැටලු නිසා මම හිතුවා මම ගිහි කාලේ හම්බ කරපුවා ශාසනයට පූජා කරන්න. ඒ නිසා මම දායකයන්ට කරදර නොකර බදාම, සිමෙන්ති අනලා බෝධි ප්‍රාකාරයයි, පන්සලේ අඩුපාඩු ටිකයි මමම හදනවා. බුද්ධ ශාසනය වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම සේවය කරනවා.

දැන් ආරියවිමල හාමුදුරුවෝ රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. පඤ්ඤාධීර හාමුදුරුවෝත් විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්නවා. මම විහාරස්ථන පහක හයක වැඩ වාසය කළා. සිංහරාජයේ වසර 04ක් වනවාසීවත් හිටියා. දැන් ඉතින් මේ දුෂ්කර පන්සල දියුණු කරගෙන වැඩ ඉන්නවා. මේ පළාතේ සමහර පන්සල්වල භික්‍ෂුන් වහන්සේට කිසි පහසුකමක් නැහැ. රජයේ අවධානය යොමු වුණොත් ලොකු පිනක්” වලපනේ අභයරතන හිමියෝ පැවැසූහ.

 

ලිපි පුවත්

ඉංග්‍රිසි පාලකයන් මෙරට පාලනය කරන සමයේ ආරම්භ කළ රාජකීය ගුවන් හමුදාව හෙවත් රෝයල් එයා ෆෝස් (Royal Air Force) මෙරට මෙතෙක් සිදුකළ මෙහෙවර අමිලය. එහි අගය ශ්‍රී ලාංකීය ජනතාව මැනවින් වටහාගත්තේ මෙරට දරුණු ත්‍රස්තවාදී යුද සමයේදී සහ ශ්‍රී ලංකාව තුළ වරින් වර ඇතිවූ විවිධ ස්වභාවික විපත් අවස්ථාවන්හි දී “ශ්‍රී ලංකා ගුවන් හමුදාව එහි ගුවන් නියමුවන් හා අනෙකුත් සෙසු නිලයන් ඇතුළු භටයන් ඉටුකළ මානුෂීය මෙහෙවරට දායක වීමත් සමඟය. එවන් රාජකීය ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස ස්ථාපිත කර වසර 67ක් ඉදිරියට ගමන් කරමින් යන වකවානුව තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන්ට ගුවන් නියමුවරියන් (විමෙන් ෆලයිට් Women Pilot) පුහුණු කිරීමේ අති භාරධූර කාර්යය භාරය ආරම්භ කරමින් “ලොව කාන්තා ගුවන් නියමුවරියන්” සිටින රටවල් අතරට ශ්‍රී ලංකා නාමය ද එකතු කර තිබේ.

මෙරට උගත් තරුණියන්ට සිරිලක ගුවන් ගැබ සිසාරා ගුවන් යානා පදවන්නට අවස්ථාව උදාකර දෙමින් රාජකීය මෙහෙවරක් ආරම්භ වූයේ වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල වීදිය බණ්ඩාර ජයම්පති මහතාගේ උදාර සංකල්පය හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ පළාත් හතරකින් තේරුණු වන යෞවනියන් සිවුදෙනකු මෙරට කාන්තා පරපුරට අභිමානයක් ගෙන දෙමින් ඉතා නුදුරේ දී ශ්‍රී ලාංකීය ගුවන් ගැබ සිසාරා ගුවන් යානා පදවන නියමුවරියන් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වනුයේ ත්‍රිකුණාමලයේ එන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටා ඇති අංක 01 පියාසර පුහුණු පක්ෂාංග ඒකකය තුළිනි.

එම නවක ආධුනික ගුවන් නියමුවරියන් වන්නේ මධ්‍යම පළාත් නියෝජනය කරමින් මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලෙන් බිහිවූ පවිත්‍රා ලක්ෂානි ගුණරත්න (අවුරුදු 22) දකුණු පළාත නියෝජනය කරමින්, මාතර කඹුරුපිටියේ ජයනී හේවාපතිරණ (අවුරුදු 21) (මාතර සුජාතා බාලිකා විදුහලේ ආදී සිසුවිය), බස්නාහිර පළාත නියෝජනය කරමින් රංගනා තත්සරණී වීරවර්ධන වේයන්ගොඩ මුද්දරගම (අවුරුදු 20) සහ කොටුගොඩ ඒකල පදිංචි පියුමි නිමල්කී ජයරත්න (අවුරුදු 21) මෙනවියන්ය.

ගුවන් නියමුවරියන් ලෙස පුහුණුව ලබාගැනීමට පෞද්ගලික ගුවන් පාසලක විදේශීය රටක අධ්‍යාපනය ලබා ගැනීමට රුපියල් ගණනාවක මුදලක් වැය කළ යුතු නමුදු අපේම රටේ අපේ දියණියන්ට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළින් නොමිලේම ගුවන් නියමුවරියක ලෙස පුහුණු වීම ලබා අවසානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හරහා තම මව්බිමට සේවය කිරීමට අවස්ථාව උදාවී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුන්ගේ මගපෙන්වීම හා උපදේශකත්වය සහ වත්මන් ගුවන් හමුදාපති කපිල වීදියබණ්ඩාර ජයම්පති මහතා ලබාදුන් දායකත්වය නිසාය.

ගුවන් නියමුවරියන් ලෙස පුහුණුවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයදුම් පත්‍ර ඉදිරිපත් කළ 46 දෙනකු අතරින් “සම්මුඛ පරීක්ෂණවලින් තේරී ඉදිරි වසර දෙක ඇතුළත ස්ථීරව ගුවන් නියමුවරියන් ලෙස ගුවන් හමුදාවට එක්වන්නට වාසනා මහිමය හිමිකරගත්තේ දිවයිනේ පළාත් තුනක් නියෝජනය කළ උගත් තරුණියන් සිවුදෙනකු පමණක් වීමද විශේෂ තත්ත්වයක් විය.

චීන වරාය (ත්‍රිකුණාමලය) ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංග මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී වින්ග් කොමාන්ඩර් පූජන ගුණතිලක මහතාගේ විශේෂ අධික්ෂණය යටතේ ස්කොඩ්රන් ලීඩර්, නිලධාරී අණදෙන මූලික පුහුණු ගයාන් බෝවත්ත මහතා ආධුනික ගුවන් නියමුවරියන් පුහුණු කරවීමේ කාර්යයභාරයේ නතර වී සිටී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මෙරට ප්‍රථම ගුවන් හමුදා නියමුවරියන් සිවුදෙනා ලෙස නම් කළ හැකි මෙම නව යොවුන් තරුණියන් ලොවට කියාපානුයේ ලෝකයේ අනෙකුත් දියුණු රටවල කාන්තාවන්ට මෙන් තමන්ට ද ජීවිතයේ ඕනෑම අභියෝගයක් බාර ගනිමින් ඕනෑම කාර්යයක නිරත වීමේ ධෛර්යයක් ශක්තිය හා ආත්මශක්තිය ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ මාතර කඹුරුපිටියේ කහගල “චිත්‍රා” ලිපිනයේ පදිංචි ආධුනික පුහුණු ගුවන් නියමුවරියක් වන ජයනී හේවාපතිරණ.“මම මාතර සුජාතා බාලිකා විදුහලෙන් අධ්‍යාපනය ලැබුවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ඉදිරිපත් වී ගණිත අංශයෙන් සමත් වුණා. පාසලෙන් ඉවත් වී මම ප්‍රථමයෙන්ම ගුවන් හමුදාවේ ගුවන් නියමුවරියක් වීම සඳහා ඉල්ලුම් පත්‍ර යොමුකළා. සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වෙලා ගුවන් නියමුවරියක් වීම සඳහා මට පුහුණු වීමට අවස්ථාව උදාවුණා. ඒ ගැන මම සතුටු වෙනවා. 46 දෙනකු ඉන්ටවීව් එකට ඉදිරිපත් වුණා. එයින් 08 දෙනෙකු තේරැණා. ඒ අටදෙනාගෙනුත් හයදෙනයි තේරුණේ. ඒ හය දෙනා අතරින් හතර දෙනෙක් ගුවන් නියමු පුහුණුවට තේරැණා. ඉන්දියාව, පකිස්ථානය, ජපානය, චීනය වැනි බොහෝ විදේශීය රටවල කාන්තා ගුවන් නියමුවරියන් පත්වී ඉන්නවා. ඒ ඒ රටවල් ගුවන් නියමුවරියන් පුහුණු කරනවා. නමුත් ශ්‍රී ලංකාව පුංචි රටක් නිසා වෙන්න ඇති එහෙම තිබුණේ නෑ. වත්මන් ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා, ගුවන් හමුදාපතිතුමා අප වැනි තරුණියන්ට අවස්ථාව උදාකර දුන්නා. ඒ සම්බන්ධව එතුමන්ලා සැමට මගේ ගෞරව ප්‍රණාමය පුද කරනවා.

තව වසර දෙක තුනකින් පසු තනිවම ගුවන් යානාවක් ගුවන තුළ හසුරුවීමට මට හැකිවන බව මගේ විශ්වාෂයයි. ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උපදේශක නිලධාරින් අනෙකුත් උසස් නිලධාරින් පුහුණුව භාර නිලධාරින් ලබාදෙන සහාය ඉතා අගේ කොට සලකනවා.

රජය කාන්තාවන්ට ගුවන් හමුදාවට බඳවා ගෙන ගුවන් නියමුවරියන් ලෙස පුහුණු කරවමින් කාන්තාවන්ට නිසි තැන උගත්කම හා දැනුම අනුව ලබාදීමට පියවර ගැනීම ගැන මා සතුටු වනවා. ශ්‍රී ලංකික කාන්තාවන්ට ඕනෑම අභියෝගයක් බාර ගතහැකි ධෛර්ය හා ශක්තිය තිබෙන බව කාන්තා ගුවන් නියමුවරියන් බිහිකිරීම කටයුතු කිරීම තුළින්ම ඔප්පු වී තිබෙනවා. පුහුණු කටයුතු නිසි ලෙස නිමාකර ගුවන් නියමුවරියක් වී උපන් රටට සේවය කිරීම මගේ අරමුණයි.

මගේ පියා කේ.සී. පතිරණ ඔහු ව්‍යාපාරිකයෙක්, මව ඒ.ජී.ජී. මාලනී කඹුරුපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරනවා. මට එක් සොයුරියක් සිටිනවා. මගේ මව්පියන් ද දැඩි සතුටට පත්වුණා මම ගුවන් නියමුවරියක් ලෙස පුහුණු වීමට ගුවන් සේවයට එක්වීම ගැන.

තමන්ගේ උගත්කම දක්ෂතාවය හැකියාව හා අධිෂ්ඨානයටත් ඕනෑම රැකියාවකින් ඉහළ යන්නට අපේ තරුණියන්ට හැකියි. දකුණු පළාතට ගෞරවයක් අත්කර දෙමින් මම දකුණු පළාතෙන් ගුවන් නියමු පුහුණුවට තේරැණු ප්‍රථමයා වීම ගැන සතුටු වෙනවා.

මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ජීව විද්‍යා අංශයෙන් සමත් වූ අම්පිටියේ පදිංචි පවිත්‍රා ලක්ෂානි ගුණරත්න අවුරුදු (22) ආධුනික ගුවන් නියමුවරිය අප හා අදහස් ද දක්වමින්.පුංචි කාලේ ඉඳලම ආශාවක් තිබුණා පයිලට් කෙනෙක් වෙන්න. ඒ ආශාව ඉෂ්ඨ කරගන්න ලැබේවි කියා මා විශ්වාස කරනවා. ගුවන් හමුදාවට නියමුවරියක් බඳවා ගන්න ඉල්ලුම් පත්‍ර කැඳවා තිබුණා. මම ඒ සඳහා ඉල්ලුම් පත්‍ර යොමු කළා. සම්මුඛ පරික්ෂණවලින් පසුව මාව පුහුණුව සඳහා තෝරා ගත්තා.

වත්මන් ගුවන් හමුදාපතිතුමාගේ සංකල්පයක් මත ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ අප වැනි තරුණියන්ට ගුවන් හමුදාවේ ගුවන් නියමුවරියන් වීමේ අවස්ථාව උදාවුණා. එය ඉතා විරලයි. ගුවන් හමුදාපතිතුමා තමයි අපව ඉන්ටවීව් කළේ. අපේ රටේ තරුණියන්ට ගුවන් හමුදාවට බැඳී රටට සේවය කිරීමට අවස්ථාව ලබාදීම ගැන මම ගුවන් හමුදාපති ඇතුළු ගුවන් හමුදාවේ උසස් නිලධාරීන්ටත් රජයටත් ස්තුතිය පුදකරනවා.

කාන්තාවන් අද ලොව සෑම ක්ෂේත්‍රයකම ඉහළ තැන්වල විවිධ ක්ෂේත්‍රයේ රැකියා කරනවා. සෑම කාන්තාවකටම තමන්ගේ දක්ෂතා අනුව නිසි ස්ථානය හිමිවනවා නම් ඔවුන් මේ රටට උපරිම සේවාවක් ඉටුකරාවි.

ගුවන් නියමුවරියක්, නියමුවෙක් වෙන්න රුපියල් කෝටි ගණනක මුදලක් වැය කරන්න වෙනවා. අද රජය ගුවන් හමුදාව ඒ තරම් මුදලක් වියදම් කරමින් අපට ගුවන් නියමුවරියක් වීම සඳහා අවශ්‍ය නිසි පුහුණුව උපදේශනය ගුවන් හමුදාව හරහා ලබාදෙනවා. මම සතුටු වෙනවා මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා පුෂ්පදාන බාලිකා විදුහලට ඇතුළත්වෙලා උසස් පෙළ සමත් වෙලා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයට එක්ව රටට සේවයක් කිරීමට අවස්ථාවක් ලැබීම ගැන.මගේ මව්පියන් වන අනුර ගුණරත්න, ප්‍රදීපා දසනායක දෙපළත් මගේ එකම නංගිත් බලාපොරොත්තු වන කාන්තා ගුවන් නියමුවරියන් වීමේ අවස්ථාව මම උදාකර ගන්නවාමයි.

වේයන්ගොඩ මුද්දරගම පදිංචි රංගනා තත්සරණි වීරවර්ධන (අවුරුදු 20) මෙනවිය අපට හමුවූ තවත් ආධුනික ගුවන් නියමුවරියකි. ඇය අප හා මෙසේ පැවසුවාය.මම ගම්පහ රත්නාවලී බාලිකා විදුහලෙන් ජීව විද්‍යා අංශයේ උසස් පෙළ සමත් මගේ පියා හරිස්චන්ද්‍ර වීරවර්ධන මහතා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක්. මවත් ගුවන් හමුදාවේ සේවය කරලා විශ්‍රාම ලබා සිටිනවා. මගේ පවුලේ පසුබිමත් සමඟ පුංචි කාලේ ඉඳලම ගුවන් හමුදාවට බැඳෙන්න ආශාවක් ඇති වුණා. සහෝදරයකුත් සහෝදරියකුත් මට ඉන්නවා.

මම ගුවන් හමුදාවට බැඳුණේ ගුවන් නියමුවරියක් වීමේ අධිෂ්ඨානයෙන්මයි. ලොව අනෙකුත් රටවල කාන්තා ගුවන් නියමුවරියන් පුහුණු කරවනවා. ඔවුන් විශාල ගුවන් යානා පදවනවා. (විදේශ රටවල කාන්තාවන්ට හා තරුණියන්ට ඕනෑම අභියෝගයක් බාරගන්න පුළුවන් වගේම ශ්‍රී ලාංකීය තරුණියන්ටත්, කාන්තාවන්ටත් ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය තිබෙනවා. ඒ අභියෝග ජයගනිමින් නිසි පුහුණුවීම් කැපවීමෙන් කරමින් ගුවන් නියමුවරියක් වීම මගේ අධිෂ්ඨානයයි. ඒ අවස්ථාව අපට උදාකර දුන් ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් රජයටත් කාන්තා ගුවන් නියමුවරියන් හඳුන්වා දීමට ආරම්භයක් ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති කපිල වීදියබණ්ඩාර ජයම්පති මැතිඳුන්ටත් මම හිසනමා ප්‍රණාමය පුද කරනවා.)

ශ්‍රී ලංකාවේ පළමුවන කාන්තා ගුවන් නියමුවරියන්ගේ ඒකකයක් ආරම්භ කිරීමට මූලික වූ වත්මන් ගුවන් හමුදාපතිවරයාට ස්තුතිය පුද කර සිටි රංගනා තත්සරණි වීරවර්ධන මෙනවිය මෙරට උගත් තරුණියන්ට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ තනතුරු සඳහා අවස්ථාව තිබෙන බැවින් තම තරුණ ජීවිත කාලය තුළ රටට සේවය කිරීම සඳහා නොබියව ධෛර්ය සම්පන්නව ගුවන් හමුදා සේවයට එක්වන්නැයි ආරාධනා කළාය.

පියුමි නිමල්කී ජයරත්න මෙනවිය (අවුරුදු 21) ඒකල කොටුගොඩ .ඇයද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආධුනික ගුවන් නියමුවරියකි. කොළඹ කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයෙන් සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ඇය උසස් පෙළ විභාගය ජීව විද්‍යා අංශයෙන් සමත් වී සිටින්නීය.

අගේ පියා විශ්‍රාමික ගුවන් හමුදා බලලත් නිලධාරී මහින්ද ජයරත්න මහතා වන අතර මව කාන්ති ජයරත්න මහත්මියයි.පාසල් අධ්‍යාපනය අවසන් කර ප්‍රථමයෙන්ම රැකියාවක් ලෙස ගුවන් හමුදාවේ නියමුවරියක් වීම අපේක්ෂාවෙන් ඉල්ලුම්පත්‍රයක් ඇය යොමු කළාය. කුඩා කල සිටම ගුවන් හමුදාවේ සේවයට එක්වීමේ අපේක්ෂාවෙන් සිටි අගේ පැතුමද ඉටුවිය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හමුදාපති කපිල වීදියබණ්ඩාර ජයම්පති මහතාගේ සංකල්පය නිසාම ගුවන් හමුදාවේ ප්‍රථම වරට බිහිවූ කාන්තා ගුවන් නියමු බල ඇණියට එක්වීමේ අවස්ථාව තමන්ට හිමිවූ බව පැවසූ ආධුනික ගුවන් නියමු පියුමි නිමල්කා ජයරත්න මෙනවිය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලාංකීය කතුන් ගුවන් යානා පදවමින් ශ්‍රී ලාංකීව අහස් තලයේ සැරිසරන දිනය නුදුරේදී ශ්‍රී ලාංකීය ජනතාවට දැකගන්නට ලැබෙණු ඇතැයි පැවසුවේ දැඩි අධිෂ්ඨානයකින් යුතුවය.

ශ්‍රී ලාංකික තරුණියන් ගුවන් නියමුවන් වීම කිසිදා සිදු නොවන්නක් යැයි ඇතැමුන් සිතුවද මෙරට ගුවන් හමුදාව ලොව අනෙකුත් කාන්තා ගුවන් නියමුවරියන් සමඟ ඉදිරි අනාගතයේ දී තරගකාරී ගුවන් යානා හැසිරවීමේ හැකියාව අති දක්ෂ ගුවන් නියමුවරියන් රටට දායා ද කරන්නට ගන්නා වූ මෙහෙවර ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ද ආඩම්බර වියහැකි කාරණාවක් වන්නේය.

දැනටමත් ආධුනික ගුවන් නියමුවරියන් 05 දෙනකු දියතලාව ගුවන් හමුදා යුද පුහුණු පාසලේ අවි ආයුධ සහ සටන් පුහුණුව (කම් බැට් – COMBAT) ලබමින් පසුවන බව චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා බලඝනයට මෙරට ළඳුන් 2600ක් පමණ ඇතුළත් වන අතර ඔවුහු ගුවන් හමුදාවේ විවිධ අංශයන්හි විවිධ තනතුරු වෛද්‍ය, හෙදහෙදි, තාක්ෂණ සන්නිවේදන, ලිපිකරු, සෙබළ, නර්ථන, ගායන, වාදන, සූපවේදී, යුදබිම සටන් අංශ පරිගණක ක්ෂේත්‍රය යනාදී අංශවල දරමින් මෙරටට සේවය කරති.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල විදීයබණ්ඩාර ජයම්පති මහතා ගුවන් හමුදාවට ප්‍රථම වතාවට කාන්තාවන් ගුවන් නියමුවරියන් ලෙස බඳවා ගැනීම සම්බන්ධව අදහස් දැක්විය.

ලෝකයේ රටවල් රැසක ගුවන් නියමුවරියන් සේවය කරනවා. හමුදා අංශවල මෙන්ම පුද්ගලික ගුවන් සමාගම්වලත්. මගේ සංකල්පය වුණේ අපේ රටේ ගුවන් නියමුවරියන් පුහුණු කරවීමයි. ඒ සඳහා මට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මැතිතුමන්ලාගේ මනා සහාය උපදෙස් මෙන්ම අවසරය ද ලැබුණා.

ශ්‍රී ලංකාවන් ලොව අනෙකුත් රටවල්වල මෙන් අපේම ලාංකීය ළඳුන් ගුවන් නියමුවරියන් ලෙස ජාත්‍යන්තරයට හඳුන්වා දීමට අපටත් අවස්ථාවක් ලැබුණා ඒ ගැන ඇත්තේ ආඩම්බරයක් මෙන්ම සතුටක්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 67ක් පිරෙන අවස්ථාවේ. අපේ තරුණියන් කණ්ඩායමක් ගුවන් නියමුවරියන් ලෙස පුහුණු කරන්නට ගුවන් හමුදාවට බඳවා ගැනීමට ලැබීම ගුවන් හමුදාව ලැබූ සුවිශාල ජයග්‍රහණයක්.

ලොව අනෙකුත් දියුණු රටවල මෙන් ශ්‍රී ලංකාවෙත් අපේම ශ්‍රී ලාංකික ගුවන් නියමුවරියන් සිටිනවා කියා ශ්‍රී ලාංකික ජනතාවටත් සතුටු විය හැකියි.ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෞරවයත් ශ්‍රී ලංකාවේ ගෞරවයත් ආරක්ෂා කරමින් ඉතා උසස් විනයගරුක ගුවන් නියමුවරියන් පිරිසක් රටට දායාද කිරීම තම අරමුණ බවද ගුවන් හමුදාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ලිපි පුවත්

ශරීරයට කොලෙස්ටරෝල් දෙයාකාරයකින් ලැබේ. ඒ අප ආහාරයට ලබා ගන්නා ද්‍රව්‍යවලින් සහ මිනිස් සිරුර තුළම නිපදවෙන කොලෙස්ටරෝල් ලෙසයි. ආහාර මගින් ලැබෙන කොලෙස්ටරෝල් ආයුර්වේදයේදී බහිර්ජනක කොලෙස්ටරෝල් ලෙසත් සිරුරෙන් නිපදවෙන කොලෙස්ටරෝල් අන්තර්ජනක කොලෙස්ටරෝල් ලෙසත් හැඳින්වේ.

මෙලෙස රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන පුද්ගලයන්ගේ කිරීටක ධමනි අවරෝධයට ලක්වීමට ඇති ඉඩ ඉහළ යයි. එවැනි රෝගීන් හෘදයාබාධවලට ලක්වීමේ වැඩි අවදානමක් ඇති අතර ශ්‍රී ලංකාවේද හෘදයාබාධවලින් වන මරණ ඉහළ යෑමට මෙම තත්ත්වය හේතු වී ඇත. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන රෝගීන් බහුල වශයෙන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වුවද දේශීය චිකිත්සාව තුළද ඉතා දියුණු ප්‍රතිකාර පන්තියක් කොලෙස්ටරෝල් වෙනුවෙන් ඇත. එහෙත් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගිය පුද්ගලයෙකු දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම වෙත යොමු විය යුත්තේ වෛද්‍ය අධීක්ෂණය යටතේය. එහෙයින් කොලෙස්ටරෝල් මර්දනයට සුදුසු  ඖෂධ පන්තීන් මෙවැනි ලිපියකින් දැක්වීම සුදුසු යැයි සිතිය නොහැක.

එසේ වුවත් ඕනෑම කෙනෙකුට ගෙදරදී සාදාගත හැකි භාවිත කිරීම අගුණ නැති අත් බෙහෙතක් පිළිබඳ විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වෙයි. මෙම ඖෂධය සාදා ගැනීමට ඕනෑ කරනුයේ නිවසේ එදිනෙදා භාවිත කරනා සුලබ කුළුබඩු විශේෂ කිහිපයකි. ඒවා නම් උළු හාල්, සියඹලා දලු, කළුදුරු, කරපිංචා, ගොරකා, සුදුලූනුය.
මේවා අතරින් ගොරකා ඇඹුල් රසයෙන් යුත් සාම්ප්‍රදායික රසකාරකයකි. එහි ඇඹුල් රසය කොලෙස්ටරෝල් නසන්නට උපකාරී වන්නේය. හෘදය හිතකර ගොරකා ආහාර රුචිය වඩවන, සිරුරේ මේදය දහනය කරනා ගුණ සහිත දේශීය කුළුබඩු විශේෂ අතරට අයත්ය.

කරපිංචාද රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරන්නට සමත්ය. විෂ වෙදකම් මෙන්ම තවත් චිකිත්සා ගණනකටම භාවිත කරනා කරපිංචා අග්‍රගණ්‍ය ඔසුවකි.
සුදු ලූනු ද රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරති. එහි ප්‍රතිඔක්සිකාරක ගුණයද ඉහළය. උළුහාල්ද එසේමය. එහි ඖෂධීය ගුණ ලාංකිකයා දැන සිටියේ කලක සිටය. කොලෙස්ටරෝල් නැසීමට අමතරව ‍ලේ පිරිසිදු කිරීමේ ගුණයෙන්ද උළුහාල් ‍පොහොසත්ය.

තීක්ෂණ ගුණයෙන් යුත් කළුදුරු කොලෙස්ටරෝල් සහ වාත, කප (සෙම්) දෝෂ නැසීමට සමත්ය.උළුහාල්, කළුදුරු, සියඹලා දලු, ගොරකා, කරපිංචා සුදුලූනු යන ද්‍රව්‍ය සියල්ල සම පමණින් ගෙන එකට අඹරා ගැනීම පළමුව කළ යුතුය. යම් අපහසුවක් වෙතොත් ගොරකා මඳ වෙලාවක් පෙඟෙන්නට තැබිමට හැක. ඊට අමතරව උණුවතුර ස්වල්පයක් එක්කර ගැනීම මගින්ද පහසුවෙන් අඹරා ගත හැක.මෙලෙස අඹරා ගෙන සාදාගත් ගුලිය ශීතකරණයක (අධි ශීතකරණයක නොවේ) තබා ගෙන තිබ්බටු ගෙඩියක ප්‍රමාණය දිනකට ආහාරයට ගත යුතුය.

දැනටමත් ඔබ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ ගොස් ඇති අයෙකු නම් මෙම ඖෂධය සතියකට දින හතරක් පහක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය. එය ඔබ ලබා ගන්නා වෙනත් බටහිර ඖෂධ සමග ගැටීමක් නොවනා බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අවදානම් තත්ත්වයට පැමිණ නැති කෙනෙකු වුවද අනාගත ආරක්ෂාව තකා මෙම ඖෂධය භාවිත කළ හැක. එහෙත් එවැනි කෙනෙකු දෛනිකව භාවිත කළ යුතු නොවේ. සතියකට දින දෙක තුනක් තිබ්බටු ගෙඩියක ප්‍රමාණය ආහාරයට එක්කර ගැනීම මගින් අනාගතයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමේ අවදානමෙන් මිදිය හැක.

ඇතැම් අය මේ ගුලිය සාදා ගැනීමට කුරුඳු ‍පොතුද එක්කර ගැනීමට පුරුදුව ඇත. කුරුඳු ‍පොතුද කොලෙස්ටරෝල් නසනා ගුණය සහ ප්‍රතිඔක්සිකාරක ගුණ බහුල කුළුබඩු විශේෂයකි. එහෙත් කුරුඳු ‍පොතු මේ සඳහා එක් කරගැනීම අත්‍යාවශ්‍ය නැත.මේ සඳහා යොදා ගන්නා සුදුලූනු ගොරකා, උළුහාල් නූතන විද්‍යාත්මක පරීක්ෂණවලින්ද තහවුරුව ඇත. මෙකී ඖෂධ ලබා ගන්නා අතරතුර කය වෙහෙසා වැඩ කිරීම, නියමිත ව්‍යායාම්වල යෙදීම වැනිදේ මගින් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීමට හැක. හානිකර කොලෙස්ටරෝල් සත්ව මාංශ තුළ බහුලව අඩංගු වේ. ඒ අතරින් ඌරු මස්. හරක් මස්, ඉස්සන්, ‍පොකිරිස්සන්, දැල්ලන් ප්‍රමුඛස්ථානයක් ගනී, මෙවැනි ආහාරවලින් වැළකී සිටීමද යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් ඔබට උපකාරී වෙයි.

ලිපි පුවත්

ඉවත දමන යකඩ බට, තහඩු හා යාන්ත්‍රික කොටස් යොදා ගනිමින් සිවුදෙනකුට ගමන් කළ හැකි හෙලිකොප්ටර් ගුවන් යානයක් නිපදවීමට දිඹුලාගල අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ 13 වසරේ ශිෂ්‍යයකු සමත්ව සිටී.

උසස් පෙළට ඉන්ජිනේරු තාක්‍ෂණවේදය විෂය හදාරන එම සිසුවා පසුගියදා ප්‍රථම වරට එම විද්‍යාලයේ පැවැති තාක්‍ෂණික ප්‍රදර්ශනයට නිපදවූ හෙලිකොප්ටරය ඉදිරිපත් කර තිබිණි.උසින් අඩි හතක් සහ දිගින් අඩි විසිතුනකින් යුත් එම හෙලිකොප්ටර් යානය මාස තුනක කාලයකදී නිපදවීමට සමත්වී ඇත්තේ අරලගංවිල කැකුළුවෙල දුෂ්කර ගම්මානයේ අංක 127 ලිපිනයේ දිවි ගෙවන වී. හිරන්ත ප්‍රසාද් නමැති 18 වියැති පාසල් සිසුවාය.

විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු මවුපියන්, සිසුන් මෙන්ම ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණි සියලු දෙනා මහත් විස්මයට පත්කළ මේ හෙලිකොප්ටර් යානය ගුවන් ගත කිරීමට අදාළ ආරක්‍ෂක අංශවල අවසරය ලබාදෙන ලෙස හිරන්ත ප්‍රසාද් සිසුවා ඉල්ලීමක් කරයි.

‘මම මේ හෙලිකොප්ටර් යානය හදන්න යොදා ගත්තේ ගරාජ්වල අයින් කරල තියෙන යකඩ බට, තහඩු. ඒ වගේම එන්ජින් එක ක්‍රියා කරවන්න කැඩුණු වතුර මෝටරයක් මම හදලා ගත්තා. වාහනවලින් වගේම මේ ගුවන් යානය හදන්න මහන මැෂින් කොටස්, පරණ පරිගණක යන්ත්‍ර කොටස්, ට්‍රොලි රෝද පවා යොදා ගත්තා. අමතරව ගිය මුදල් දුන්නේ මගේ තාත්තා. මට ගොඩක් උදවු කළා.

විශේෂයෙන් විද්‍යාලයේ විදුහල්පති රත්නසිරි සර්, තාක්‍ෂණ අංශ භාර අමිල ක්‍රිෂාන්ත සර්, දයා කල්‍යාණි ටීචර්, අමිල, ප්‍රදීප්, උපාලි, නාරද හිමියන්, අතපත්තු, දමින් යන ගුරුවරුන්, ප්‍රියන්ත කුමාර, සසිඳු දිල්ශාන්, චානුක සඳරුවන් යන යාළුවෝ වගේම ගමේ අයත් මට ගොඩක් උදවු කළා මේ හෙලිකොප්ටර් යානය හදන්න.

මේක හදන්න මම සමහර දවස්වල හරි වෙලාවට කෑමක්, බීමක් නින්දක් නැතිව වැඩ කළා. මේක හදන්න මට මාස තුනක කාලයක් ගියා. ඉස්කෝලේ තාක්‍ෂණ විෂය කරන සර්ලා, ටීචර්ලා කතා වුණා ප්‍රදර්ශනයට ගුවන් යානයක් නිර්මාණය කළොත් හොඳයි කියලා. ඒක මට ඇහුණ වෙලාවේ ඉඳලා හිත ගියේම මේ වැඩේ උනන්දුවෙන් කැපවීමෙන් කොහොම හරි කරනවා කියලා. ඉතින් සාර්ථකව වැඩේ කළා.

දැන් මට මේ හෙලිකොප්ටර් යානය ගුවන් ගත කිරීමට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ අවසරය ඕනේ. ඒ වගේම අනෙකුත් උපදෙස් ඕනේ. මගේ අවසාන ඉලක්කය තමා ගුවන් යානා 50ක් විතර හදලා ප්‍රදර්ශනයක් කරන්න. මම තණකොළ ගලවන උපකරණයක් හදලා තියෙනවා. ඒ වගේම බහු කාර්ය රේක්කයක් හදලා කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ඉදිරිපත් කරලා උතුරු මැද පළාතෙන් දෙවැනි ස්ථානය ගත්තා. ඉතින් අපි වගේ නව නිර්මාණ කරන අයව අගය කරලා මගේ මේ නිර්මාණයට පේටන් බලපත්‍රය ලබාගන්නත් අදාළ බලධාරීන් මට උදවු කළොත් ලංකාවට අලුත් නිර්මාණ කරලා ලෝකයා මවිතයට පත් කරනවා.

මට අනෙක් සිසුන්ට කියන්න තියෙන්නේ තමන් ගැන අඩු තක්සේරු කරගන්නේ නැතිව යහපත් දෙයක් හිතුවොත් ඒ කාර්යය කරලාම අවසන් කරන්න කියලා. මම හෙලිකොප්ටර් යානය නිපදවලා ලොකු අත්දැකීමක් ගත්තා.’

 

ලිපි පුවත්

අපේ කතාන්දරයේ කතා නායක වන බද්දේගම ගනිසගේ ශාන්ත මේ වන විට 61 වන වියේ පසුවේ. හෙතම රෝමානු කතෝලිකියෙකි. ගාල්ල බෝපේ පිහිටි කළේගාන සේතබිම්බාරාමය නැතහොත් ඓතිහාසික පොල්කඳවෙල විහාරස්ථානයේ උරුමකරුවා නොවුනද භාරකරුවා සේ ඔහු සිතා සිටී. ඒ පන්සල තිබෙන්නේ ඔහුගේ නිවස ඉදිරිපිටය.

”මම සේවය කළේ ගාල්ල කරාපිටි රෝහලේ උපස්ථායකයෙක් හැටියටයි. මේවන විට මම ඉන් ඉවත්ව විශ‍්‍රාමිකවයි කටයුතු කරන්නේ. මට මතක හැටියට වසර 41ක් පුරාම මම මේ අපේ පන්සලේ පවිත‍්‍රකටයුතු සිදුකරනවා. මම මේ විහාරය පිරිසිදුව සුන්දරට තියන්න වෙහෙසෙනවා. කාටවත් බයට හෝ ලකණු දමා ගන්න හෝ පිං සිදුවනවා කියන කතාවලට නොවෙයි. මට මතකයි මට වයස අවුරුදු විස්සක් කාලයේ සිට තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. දැන් වසර 41ක් පමණ වෙනවා.

පන්සලේ හාමුදුරුවෝ වේලේවත්තේ සේතබිම්බාරාම විහාරස්ථානයේ විහාරාධිපති නායක හාමුදුරුවෝ විමලචන්ද්‍ර හිමියන්ද කවදාවත්ම මම මේ සිදුකරන මෙහෙවරට හරස් කැපුවේ නෑ. උන් වහන්සේ මට ආශිර්වාද කරනවා. එය ඇත්ගේ ආගම කුමක් වුවත් නිතරම පන්සලේ කටයුතු කරගෙන පන්සල පවිත‍්‍ර කරගෙන අක්කර ගණනාවක පුරා ඇති පන්සල් වත්ත සුද්ධ කරගෙන නිවාඩුවට විවේකය තිබෙන අවස්ථාවට සිදුකරන මේහෙය අගය කරනවාය කිව්වා.
මට මගේ කතෝලික ආගමේ පූජකවරු හෝ කවුරුවත් මේ කටයුත්ත කරන්න එපාය කියලා නැහැ.

මගේ බිරිද ද මෙයට සහයෝගයක් දක්වනවා. පන්සල අපේ නොවෙයිනේ අපි වෙනත් ආගමකනේ ඒ නිසා මෙය සිදුකරන්න එපාය කියලා මගේ බිරිඳ කවදාවත් කියලා නැහැ. මගේ බිරිද ද ගාල්ල කරාපිටිය රෝහලේ උපස්ථායිකාවක්. ඇය මාලනි පද්මලතා ඇය විශ‍්‍රාම සුවෙන් තමයි සිටින්නේ.

මගේ දියණියන් දෙදෙනා එක් අයෙක් ගාල්ල කඩවත් සතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන්නේ. අනෙක් දියණිය තවම ගෙදරයි ඉන්නේ. ඇය වැඩිදුර අධ්‍යාපනය ලබනවා.

මම කිසිදු දවසක කැත්තක් උදැල්ක් අරගෙන මේ පන්සල් භූමියට එන්නේ නෑ. මම එන්නේ තනියම නිදහස් විවේක අවස්ථාවල දී පන්සල් බිමේ සියලූම තණකොළ මා උගුල්ලන්නේ මගේ අත්දෙකේ ඇගිවලින්. පන්සල් භූමිය අගේට පිරිසිදුව තියා ගන්නවා. වැටක ගහක අත්තක් ඉත්තක් උනත් අතින්ම කඩන්න තමයි මම කටයුතු කරන්නේ. බැරිම උනොත් තමයි මම පිහියක් කැත්තක් භාවිතා කරන්නේ. මට මේක කරන විට අමතර ශක්තියක් උනන්දුවක් සතුටක් නිදහසක් ලැබෙනවා වාගේ තමයි මට දැනෙන්නේ.

මම පන්සලේ වැලි මළුව අතුපතු ගානවා. බෝගහ තියන ස්ථානයේ බෝ කොළ කිසිදු දිනක ම කොස්සකින් හෝ ඉඳලකින් අතුගාන්නේ නෑ. අතින්මයි මේවා සිදු කරන්නේ මට ඇහෙනවා බෝකොළ කතා කරනවා. ඒ අය මටත් කතා කරනවා වාගේ දැනෙනවා. සිළි සිළි ගා ඒ අය මොනවා දෝ කතා කරනවා. ඝණ්ටා නාදය හරි මිහිරියි. සිතට නිදහසක් නිම්නාදයක් වාගේ ඇගෙනා. එය කරච්චලයක් හෝ අවහිරයක් හෝ වෙන්නේ නෑ. මම ඉතිං මාගේ ආගමද නිරතුරුවම අදහනවා. ඒ අනුවයි මම මේ විහාරස්ථානය පවිත‍්‍ර කරගෙන කටයුතු කරන්නේ. මේක වහල් වැඩක් හෝ මදි පුංචිකමක් හෝ නොවෙයි මම මේය සතුටිත් තමයි සිදු කරන්නේ.”

පන්සලේ හොඳම උපාසකයා ලෙස නිතර උදව්පදව් කරනා සිය හොඳම හිතවතා ගැන වේලේවත්තේ සේතබිම්බාරාම විහාරස්ථානයේ විහාරාධිපති නායක විමලචන්ද්‍ර හිමියන් මෙසේ පැවසුහ.

”ශාන්ත පින්වත් අයෙක.් ඒ ඇත්තෝ මෙය සිදුකරන්නේ කවුරුවත් කියන නිසා හෝ ජනප‍්‍රිය හෝ පිං සිදුවනවා කියන එක නිසා නොවෙයි. කැමැත්තෙන්ම සිදුකරනවා. මම ගැන අපේ පන්සල ගැන ද සොයා බලනවා. දානයක් වැරදුනොත් ඉක්මනින්ම ඒ දානමය කටයුතු ද සිදු කරදෙන්න ලෑස්තිකරලා දෙන්ට ශාන්ත හා බිරි`ද ¥වරුන් කටයුතු කරනවා.”

”අපේ විහාරස්ථානයට වසර 160කට ආසන් ඉතිහාසයක් තියෙනවා. නුවර යුගයේ චිත‍්‍ර තමයි තියෙන්නේ. මහා ගල් කණු, මහා පිං තාලියක්, ගල්වලින් සකස් කරන ලද ජනෙල් උළුවහු, මහා බල්ක, දොරවල්, සහිත මහා බලගත විහාරස්ථානයක්. මෙහි මහා හාස්කම් තියනවා. මේ වාගේ අනුහස් නිසා මේ විහාරස්ථානයේ මහා බලයක් තියන නිසා විවිධ පිරිස් සතර පේරුවේ දායක දායිකාවෝ එනවා. ඒ අයට ශාන්ත නිසා සහන සැලසෙනවා.

මේ ශාන්ත මහත්තයාද මම දන්නා කාලයේ සිට තමයි මේ පන්සලට ළෙන්ගතුව කටයුතු කරන්නේ. මුදල් වටේ වැට ගහන සමාජයක මේ ශාන්ත වාගේ අය තාම මේ රටේ ලෝකයේ ඉන්වා. මේ ඇත්තන් වැනි තව පිරිසක් මේ රටේ මේ සමාජයේ ආගම් බේදයෙන් තොරව බිහිවනවා නම් අපි ඇත්තටම ශ‍්‍රී ලාංකිකයෝ තමයි දියුණු රටක් කියලා කියන්න හැකියි. එවිට තමයි ලෝකෙන් උතුම් රට ලංකාව ලංකාදිපය කියලා කියන්න හැකි යැයි උන් වහන්සේ කීහ. සැබැවින්ම රටට වුවමනා වන්නේ ශාන්ත මෙන් සහජීවනය පුරුද්දට පිළිපදින උදවියයි.

ලිපි පුවත්

ශ්‍රී ලංකාවේ මුල් පෙළේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු, කීර්තිමත් ලේඛකයෙකු සහ නිදහස් චින්තකයෙකු වන වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය.කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට 65 වන වියේ පසුවූ අතර මාළබේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

සිය වෛද්‍ය වෘත්තියට අමතරව මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය මගින් ජාතියේ සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ උදාර මෙහෙවරක යෙදුණු ඔහු බලවත් සේ රෝගීව සිටියදී පවා ග්‍රන්ථකරණයේ යෙදී ඇත.

වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා මිට කලින් පුවත් පතකට පිළිකා රෝගියෙක් ලෙස ලබා දුන් සම්මුක සාකච්ජාවක් පහතින්

මට විශ්වා­සයි මම මේ රෝගය ජය­ග­න්නවා – ප්‍රජා විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ
2017 මාර්තු 25, රසඳුන

ඔහු වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකි. නම කියූ පමණින් ම මුළු රටම ඔහුව හඳුනන්නේ ඔහු දක්ෂ වෛද්‍යවරයකු වූ නිසා ම නොවේ. ඒ, විවිධ මාධ්‍යයන් මඟින් සාමාන්‍ය මහජනතාවට වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු දැනුම ලබාදීමට වෙහෙසන විශේෂඥ වෛද්‍යවරයකු නිසා ය. ඔහු ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා ය. ගමගේ මහතා පොතපත මඟින් ගුවන් විදුලිය රූපවාහිනිය මඟින් මේ රටේ ජනතාව වෙත ඉතා සමීප වී සිටින විශේෂඥ වෛද්‍යවරයෙකි. මෙම අප‍ූරු වෛද්‍යවරයා පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණු පුවත ‍ඔහු පිළිබඳව තව තවත් තොරතුරු සෙවීමට අප පෙළඹවීය.

ඒ; විශේෂඥ වෛද්‍ය ගමගේ මහතා පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවත්, එයට ඉතා සාර්ථක ලෙස මුහුණ දීම නිසා ඉතා ඉක්මනින් සුවය ලබමින් සිටින බවත් පිළිබඳ පුවත ය. අප ඔහු හමුවුණේ ඔහුගේ පෞද්ගලික දිවිය පිළිබඳ තොරතුරක් පිළිකා රෝගයට සාර්ථකව මුහුණදෙන ආකාරය පිළිබඳවත් තොරතුරු විමසන්නට ය.

“ගාල්ලේ ගඟබඩපත්තුවේ මාපලගම කියන සුන්දර ගම්මානයේ තමයි මම ‍උපත ලැබුවේ. මගේ තාත්තා ගමේ සිටි ගම්සභාපති. පවුලේ දරුවන් වුණේ මමයි අයියයි. 3 වැනි ශ්‍රේණිය දක්වා පාසල් ගියේ ගා/ මලාමුරේ ‍කනිෂ්ඨ විද්‍යාලයට. ඉන්පසුව ගාල්ල ක්‍රිස්තුදේව විද්‍යාලයට ගියා. ඒ වනවිට මමයි අයියයි නැවතිලා සිටියේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ ගුණසිරි ගුරුතුමාගේ නිවසේ. එතුමා මාවයි අයියවයි හොඳට බලාගත්තා.

ගුණසිරි ගුරුතුමා ලේඛනයට, සාහිත්‍යයට ඉතාම ලැදි කෙනෙක්. එතුමා අපිව ලිවීමට පොතපත කියවීමට යොමු කළා‍. ඉගෙන ගැනීමට දක්වන උනන්දුව දැකලා ගුණසිරි ගුරුතුමාට තමයි ඕන වුණේ මාව වෛද්‍යවරයෙක් කරන්න. ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට මට යන්න පුළුවන් වුණේ විභාගයකින් සමත් වූ නිසයි.”

“පාසල් වැඩවල පමණක් නෙමෙයි විෂය බාහිර ක්‍රියාකාරකම් ගණනාවකම මම නිරත වුණා. මට හොඳට චිත්‍ර ඇඳීමේ හැකියාව තියෙනවා. රිච්මන්ඩ් විද්‍යාලයේ සිටින විට හොඳම චිත්‍ර ශිල්පියාට හිමි සම්මානයත් මට හිමිවුණා. රිච්මන්ඩ් විද්‍යාලයේ ‘සිසු පුවත’ සඟරාව සංස්කරණය කළේ මම. උසස් පෙළ හොඳින් සමත් වුණු නිසා කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත් වෙන්න හැකි වුණා. වෛද්‍ය විද්‍යාලයේ සිටින විට කලා සංගමයක් පිහිටුවා ගත්තා. සභාපති වුණේ මම.

අපේ ගුරුවරු වුණු මහාචාර්ය ‍නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය කොල්වින් ගුණරත්න යන ගුරුවරුන්ගේ ආභාෂය අපට ලැබුණා. ඔවුන් රටට ගැලපෙන වෛද්‍යවරයෙක් පිළිබඳව හිතපු ගුරුවරු. ඔවුන්ගේ මග පෙන්වීම නිසයි ප්‍රජා වෛද්‍යවිද්‍යාවට මගේ හිත ඇදිල ගියේ. ඒ නිසා පශ්චාත් උපාධියට මම තෝරාගත්තේ ප්‍රජා වෛද්‍යවිද්‍යාව.”

“සෞඛ්‍ය විද්‍යාත්මක ලිපි පුවත්පත් වලට මුලින් ම ලියන්න පෙළඹුණේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී සුන්දර නිහතමානි ද මෙල් මහතා නිසා. ඔහු මගේ පාසල් මිතුරෙක්. සුන්දර ගියේ මහින්දයට. මම ගියේ රිච්මන්ඩ් එකට. පුවත්පතකට මුලින් ම ලිව්වේ ‘ර‍ෙජක් වුණත් ලෙඩෙක් වුණොත්’ ලිපි පෙළ. ඉන්පසුව ‘දියවැඩියාව දැන් සුවයි’, ‘ඇදුම දැන් සුවයි’, ලිංගික අධ්‍යාපනය ගැන කියවෙන ‘පුද්ගලිකයි රහසිගතයි’, දොස්තර විස්තර’ වැනි ලිපි රචනා කළා‍. එම ලිපි පොත් වශයෙන් පළවුණා.”

“දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය සඳහා යොදගන්නේ කෙසේද කියා මම පර්යේෂණයක යෙදුණා. ඒ මගේ පශ්චාත් උපාධිය සඳහා. ඒ වෙනුවෙන් ඉන්දියාව නේපාලය, බුරුමය, තායිලන්තය, ඉන්දුනීසියාව සහ චීනය වැනි රටවලත් ලංකාවේත් දේශීය වෛද්‍යක්‍රම පිළිබඳව පර්යේෂණ කළා. අවුරුද්දක් පමණ ඉන්දියාවේ රැඳී සිටියා. එහිදී ආයුර්වේදය පිළිබඳව බොහෝ දේ ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මේ විදියට ලබාගත් දැනුම මහජනතාව වෙත ලබාදීම මට ප්‍රීතියක් ගෙන දුන්නා‍. පේරාදෙණිය වෛද්‍යපීඨයේත්, වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේත් බාහිර කථිකාචාර්ය වරයෙක් ලෙසත් මම කටයුතු කරනවා.”

“මම විවාහ වුණේ මා සමඟ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගත්ත මානෙල් දිසානායක සමඟ‍. ඇයත් වෛද්‍යවරියක්. ඇය එස්.බී. ඇමැතිතුමාගේ නැගණිය. මගේ දියණියන් දෙදෙනාත් වෛද්‍යවරියන්. ඔවුන් විවාහ වෙලා සිටින්නෙත් වෛද්‍යවරු සමඟයි.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා එසේ පැවසුවේ ඔහුගේ සුන්දර පාසල් දිවියත් පෞද්ගලික දිවියත් පිළිබඳ තොරතුරු ය. පිළිකා රෝගයට ගොදුරුවීම පිළිබඳවත් එයට සාර්ථකව මුහුණදීම පිළිබඳවත් ගමගේ වෛද්‍යතුමන් දැක්වූයේ මෙවන් අදහසකි.

“මම හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටි කෙනෙක්. ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙක් වගේ ම ජනතාවට අමතන කෙනෙක් හැටියට ජනතාවට ආදර්ශයක් වෙන විදියට උසට ගැළපෙන ශරීර බර තබාගෙන, දිනපතාම ව්‍යායාම කරමින් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළා. මගේ දැන් වයස අවුරුදු 65 යි. මගේ අම්මත් තාත්තත් හොඳ ආයුෂ වින්ද අය. අම්ම තවමත් ඉන්නවා.‍ මගේ තක්සේරුව වුණේ අවුරුදු 85 ක්වත් මම ජීවත් වෙයි කියලයි. කවදාවත් අදහසක් තිබුණේ නෑ පිළිකා රෝගයක් මට ඇතිවෙයි කියලා.”

“මීට මාස 5 කට පමණ කලින් දවසක් මට දැනුණා මගේ කිහිල්ලේ වේදනාවක් නැති පුංචි ගෙඩියක් තියෙන බව. ඒ වෙලාවේ මම හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටියා. ඒ වුණත් ESR, CRP, WBC, RBC වැනි වෛද්‍ය පරීක්ෂණ ටික කරගත්තා. ඒ පරීක්ෂණවල ප්‍රතිඵල වලින් විශේෂ යමක් දැන ගන්න ලැබුණේ නෑ. ඉන්පසුව මා දැනටමත් වැඩ කරන පේරාදෙණිය වෛද්‍යපීඨයෙන් මේ ගෙඩිය ඉවත් කරගන්න ඕන කියලා ශල්‍ය කර්මයකට මුහුණ දුන්නා. එම ගෙඩිය පරීක්ෂාවේ ප්‍රතිඵල මට දින 5 කින් දැනගන්න ලැබුණා. ඒ ප්‍රතිඵලය වුණේ මම බලාපොරොත්තු නොවූ දෙයක්.

මගේ කිහිල්ලේ තිබුණු ගෙඩිය ශීඝ්‍රයෙන් පැතිරෙන non – Hodgkin’s lymphoma (නොන් හොජ්කින් ලිම්ෆෝමා) නම් පිළිකාවක් බව මට දැනගන්න ලැබුණා. මෙය ඉතාම වේගයෙන් වර්ධනය වන පිළිකාවක්. ඒ ආරංචිය දැනගත්තට පස්සේ මේ පිළිබඳව දීර්ඝ ලෙස සොයන්න මම පෙළඹුණා. පිළිකා සඳහා ලබාදෙන රසායනික ප්‍රතිකාර (Chemotherapy), ප්‍රතිශක්ති කරන ප්‍රතිකාර (Immunotherapy), සහ විකිරණ ප්‍රතිකාර (Radio therapy) වලට යොමු වුණා. මගේ හිස කෙස් ගියා. දින 11 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගත්තා.”

Face book එකේ මට මිතුරන් 5000 ක් පමණ ඉන්නවා. ඒ අය සමඟ මගේ රෝගය ගැන පැවසුවා. X – ray පිටපත් පවා Face book එකට දැම්මා. එහිදී විදෙස් රටවල ඉන්න මගේ මිතුරන් මේ ගැන විවිධ අදහස් මට යොමු කළා. රෝගය ගැනත් ප්‍රතිකාර ගැනත් විස්තර විශාල ප්‍රමාණයක් මට ලැබුණා. මම තීරණය කළා පිළිකා රෝගයට ගොදුරු වුණු ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙක් හැටියට මගේ අත්දැකීම් ඇසුරින් ම මේ රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. අපේ සමාජයේ බොහෝ දෙනෙක් පිළිකාව ගැන කතා කරන්න බයයි. රෝගය හංගාගෙන තමයි බොහෝ දෙනෙක් ප්‍රතිකාර ගන්නේ.

ඒ වගේ ම බොහෝ දෙනෙක් හිතන්නේ පිළිකාවක් හැදුණොත් මැරෙනවාම තමයි කියලයි. නිවැරැදි ප්‍රතිකාර මඟින් සියයට සීයකින් ම මෙම රෝගයෙන් මිදෙන්න අද පුළුවන් කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ.‍ මට හොඳ විශ්වාසයක් තියෙනවා මම මේ රෝගයෙන් ජයගන්නවා කියලා. සමහර විට එය සියයට අනූවක් වෙන්න පුළුවනි. මට අවශ්‍යයි පිළිකා රෝගය හංගන එක නවත්වන්න. ‍පසුගිය කාලය තුළ පිළිකා රෝගීන් දාහකට ආසන්න සංඛ්‍යාවක් මගෙන් ප්‍රතිකාර අ‍රගෙන තියෙනවා.”

“දැන් මට 65 යි. මේ අවුරුදු 65 ක කාලය තුළ අවුරුදු 100 ක වැඩ මම කරලා තියෙනවා. මගේ පවුලේ උදවියටත් රටටත් මම හොඳින් යුතුකම් කළ කෙනෙක්. ලෝකය පුරා ඉන්න බොහෝ දෙනකුගේ ආශිර්වාදය මට තියෙනවා. මේ රෝගයෙන් ගොඩ එන්න විකල්ප ක්‍රමවලට ගියේ නෑ. මිත්‍යා මත පස්සේ ගියේ නෑ. හැබැයි ආගමික වැඩකටයුතුවල නිරත වුණා. බෝධි පූජාවලට සහභාගි වුණා. මට විශ්වාසයි මට මෙය ජයගත හැකිවෙනවා” ආරියසේන යූ. ගමගේ වෛද්‍යතුමන් අප සමඟ පැවසුවේ ඉතා බලාපොරොත්තු සහගතව ය.

වෛද්‍යතුමනි ඔබට නිවන් සුව ලැබේවා ….