ලිපි පුවත්

කීර්තිමත් බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ සියෑටල්හි එවරට්‌ (Everelt) නගරයේය.එය සැලකෙන්නේ බිම් ප්‍රමාණය අනුව ලොව විශාලතම ගොඩනැඟිල්ල ලෙසටයි. (Largest building in the world by volume) එමෙන්ම එය ලොව විශාලතම ගුවන් යානා නිෂ්පාදන කර්මාන්ත ශාලාවද වෙයි.

අදින් වසර 102 කට පෙර එනම් 1915 ජූලි 15 වැනි දින විලියම් බෝයිං (william boing) විසින් ආරම්භ කරන ලද බෝයිං ගුවන් යානා සමාගම ගුවන් ගමන් ඉතිහාසයේ විප්ලවීය වෙනසක්‌ සිදුකළ ගුවන් යානා නිෂ්පාදන සමාගමකි. දෙවන ලෝක යුද සමයේ Fortres වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා නිපදවමින් කරළියට පැමිණි බෝයිං සමාගම මුලින්ම මගී ගුවන් යානා නිපදවීමට සමත් වන්නේ 1958 වර්ෂයේදීය. එය බෝයිං 707 ලෙස නම් කෙරිණි.

බෝයිං 707 යානය සාර්ථකව ගුවන්ගතවීමත් සමගම ගුවන් සමාගම් වලින් වැඩි මගීන් පරිසක්‌ සමග වැඩිදුරක්‌ පියාසර කළ හැකි යානා සඳහා ඉල්ලුමක්‌ ඇති විය.එහි ප්‍රථිඵලයක්‌ ලෙස එකවර මගීන් 400 කට අධික ප්‍රමාණයක්‌ ප්‍රවාහනය කළ හැකි බෝයිං 747 වර්ගයේ යානා බෝයිං සමාගම විසින් නිර්මාණය කර ඇත්තේ පසුව මෙම යානා වලට ලොවපුරා ගුවන් සමාගම් වලින් දැඩි ඉල්ලුමක්‌ ඇතිවීම නිසා බෝයිං 747 වර්ගයේ යානා මහා පරිමාණව නිපදවිය හැකි විශාල කර්මාන්තශාලාවක අවශ්‍යතාවය පැන නැගුණි.

ඒ අනුව 1967 වර්ෂයේ බොයිං සමාගම විසින් සියෑටල් ප්‍රදේශයේ අක්‌කර 780 ක ඉඩමක්‌ මිලදී ගෙන එවරට්‌ කර්මාන්තශාලාව ඉදිකරන ලදී. මෙම කර්මාන්ත ශාලාව අද වන විට අක්‌කර 98.3 ක්‌ පුරාවට පැතිරෙමින් ලොව විශාලතම ගොඩනැඟිල්ල බවට පත්ව ඇත. එහි ප්‍රමාණය වර්ග අඩි වලින් නම් වර්ග අඩි මිලියන 4.3 කි. සිංගප්පූරුව, ඉතාලිය, ස්‌විට්‌සර්ලන්තය සහ ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල නිපදවන බොයිං යානාවල කොටස්‌ මෙම කර්මාන්ත ශාලාවට ගෙනවිත් එකලස්‌ කිරීමෙන් බෝයිං ගුවන් යානා නිපදවනු ලබයි. 1968 වර්ෂයේ සිට මේ දක්‌වා බෝයිං 747, 767, 777 යන වර්තමානයේ සුපිරි ගණයේ ලාසැලකෙන බෝයිං 787 Dreamliner වර්ගයේ ගුවන් යානා 3600 කට අධික සංඛ්‍යාවක්‌ ඉතා සාර්ථක ලෙස මෙම කර්මාන්තශාලාවේ එකලස්‌ කර ඇත. මෙම දැවැන්ත කර්මාන්ත ශාලාවේ 30,000 කට අධික සේවක පිරිසක්‌ සේවයේ නිරත වී සිටිති. ඔවුන් පැය 8 ක සේවා මුර 03 ක්‌ යටතේ පැය 24 ක්‌ පුරාවටම රාජකාරියේ නිරත වී සිටිති. හදිසි ගුවන් යානා නිෂ්පාදන ඇණවුම් නොමැති නම් සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දිනයන් වේ. මෙම කර්මාන්ත ශාලාවේ ඇති අධික විශාලත්වය නිසා සේවකයන්ට කර්මාන්ත ශාලාවේ ඔබ මොබ ගමන් කිරීමට පාපැදි හා ට්‍රයිසිකල් 4000 කට අධික ප්‍රමාණයක්‌ ද සමාගම විසින් සපයා ඇත.

තවද මෙම කර්මාන්ත ශාලාවේ එක්‌ අන්තයක සිට අනෙක්‌ අන්තයකට වාහනයක නැගී ගමන් කිරීමට විනාඩි 20 ක්‌ පමණ කාලයක්‌ ගතවීමෙන් මෙම කර්මාන්ත ශාලාවේ විශාලත්වය මොනවට පැහැදිලි වේ. මෙම කර්මාන්තශාලාවට ම වෙන්වූ වෙනමම ගිනි නිවන ඒකකයක්‌ ආරක්‌ෂක බළකායක්‌, වෛද්‍ය කාර්යය මණ්‌ඩලයක්‌, දිවා සුරැකුම් මධ්‍යස්‌ථාන, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්‌ථාන, Loundry සේවාවන් ආදියද දක්‌නට ලැබේ. ඊට අමතරව රෙස්‌ටුරන් සහ Coffee shop පහක්‌ද සේවකයන්ට කෙටි නින්දක්‌ ලබා ගැනීමට Sleeping Quertors ආදියද දක්‌නට ලැබේ. සියෑටල් නගරයේ ඇති ශීත දේශගුණය නිසා මෙම කර්මාන්තශාලාව වායු සමනය කර නැත. එහි අභ්‍යන්තරයේ උෂ්ණත්වය සෙල්සියස්‌ 19 ක්‌ පමණ වේ.

ඒ උෂ්ණත්වය පාලනය වන සාධක දෙකකි. එනම් කර්මාන්තශාලාවේ පිටත පරිසරයේ උෂ්ණත්වය සහ කර්මාන්ත ශාලාවේ ඇතුළත දල්වා ඇති විදුලි බුබුළු ප්‍රමාණයයි. කර්මාන්ත ශාලාව ඇතුළත උණුසුම වැඩි නම් පාපන්දු පිටියක තරම් වූ විශාල ප්‍රධාන දොරටු විවෘත කර විදුලි පංකා ක්‍රියාත්මක කරනු ලබයි. උෂ්ණත්වය පහළ ගොස්‌ ඇත්නම් එය කර්මාන්තශාලාව ඇතුළත මිලියනයක්‌ පමණ වූ විදුලි බුබුළු මගින් එය පාලනය කරනු ලබයි. එකලස්‌ කරන ලද ගුවන් යානා පිටතට ගැනීමට සැකසූ අති දැවැන්ත දොරටු 6 ක්‌ මෙම කර්මාන්ත ශාලාවේ ඇත. ගිනස්‌ වාර්තා පොතට අනුව මෙම දොරටු 6 ඇති ග්‍රැෆික්‌ සිතුවම් සැලකෙන්නේ ලොව විශාලතම ඩිජිටල් ග්‍රැෆික්‌ නිර්මාණ (Largest Digital Graphic) ලෙසයි. ඒ එක්‌ ග්‍රැෆික්‌ නිර්මාණයක්‌ වර්ග මීටර් 929 ක්‌ විශාල වෙයි.

මෙම කර්මාන්ත ශාලාවේ වහලයේ ටොන් 40 ක්‌ එසවිය හැකි දොඹකර 24 ක්‌ ස්‌ථාන ගත කර ඇත. ඒවා ගමන් කිරීමට දිගින් සැතපුම් 39 ක්‌ පමණ වූ මාර්ගද ඇත. ඊට අමතරව මෙම කර්මාන්තශාලාවේ සිට එළිමහනට ගමන් කරන දිගින් කිලෝමීටර 3.7 ක උමං මාර්ගයක්‌ ඉදිකර ඇත්තේ සීත කාලයේදී අපහසුවකින් තොරව අවශ්‍ය දැ කර්මාන්තශාලාව ඇතුළට ගෙන ඒමටයි.

ලිපි පුවත්

කෑගල්ල හෙට්ටිමුල්ල කනිෂ්ඨ විද්‍යාලය අසල රථවාහන හසුරුවමින් 79 හැවිරිදි පරගම්මන පදිංචි මවක් සිදුකරන සේවය ප්‍රසංශනීයය.මෙයට අවුරුදු 40කට පමණ පෙර එනම් තමාගේ වයස අවරුදු 39 කාලයේ තම දියණිය පාසලට ගෙන ගොස් ඇරලවා පාසල අවසන් වනතෙක් පාසල ළඟ සිටියදී කුඩා ළමයින් පාර හරහා යාමට ඒමට තැත් කරන භයානක තත්ත්වය පරගම්මන පදිංචි කේ. ඒ. ලිලී වයලට් මහත්මිය දුටුවාය.

ඇය මාර්ගයට විත් වාහන හැසිරවීමට සිතා මහා මාර්ගයේ මැදට පැමිණ වාහන හසුරුවමින් පාසල් දරුවනට එහාට මෙහාට යෑමට උදව් කළාය.ඇය මෙම ස්ථනායේ වාහන තදබදයක් වූ කළ වහාම ඒ සඳහාද පිළියම් යොදන්නීය.පෙරවරුවේ පාසල් ආරම්භ කරන හා පස්වරුවේ පාසල් නිමා කරන වේලාවන් වලදී වාහන හැසිරවීමට ‍පොලිස් නිලධාරීන් යෙදුවත් මෙම ස්ථානයට ‍පොලිස් නිලධාරින් නොයෙදීම ඇයගෙන් වන සේවය කොතරම් දැයි වැටහේ.

ඈ කරන සේවය ගැන විමසූ විට ඇය මෙසේ කියා සිටියාය.මගේ වයස අවුරුදු 81යි. මම මෙතනට ඇවිල්ලා අවුරුදු 41ක් වෙනවා. හරියට මගේ වයස අවුරුදු 40ක්, මගේ වයසෙන් භාගයක් ගෙව්වේ මේ මහ පාරේ. එදා මගේ දරුවට පාර හරහා මාරුවෙන්න තිබුණු අමාරුව මට වැටහුණා. එදා මෙතරම් වාහන තිබුණෙත් නැහැ. දඩබ්බර රියැදුරන් ළමයින් ගැන බලන්නේ නැහැ. ඔවුන් පාරේ ඉගිල්ලෙන්නමයි දඟලන්නේ.

මේ කරන කාරියට මට වැටුපක් ලැබෙන්නේ නෑ. දීමනාවක් නැහැ. මගේ දුව විවාහ වුණාට පස්සෙ මම තනිවුණා. ඒත් මට පාළුවක් නැහැ. මම දරුවන් දෙදාහක් තුන්දාහක් නිරුපද්‍රිතව ගෙවල්වලට යවනවා.මුළු දවසම පාරේ හිටගෙන ඉන්න බැහැ. විවේකයක් ඕනෑ නමුත් මට ශක්තිය තවමත් තියෙනවා.
ඇහැළියගොඩ සිරිපාල කිරිඇල්ල මහතා මෙතනින් යන අවස්ථාවක මගෙන් තොරතුරු ඇහුවා. ඊට පස්සේ එතුමා සෑම මාසයකම රුපියල් පන්සියයක් හා දිනපතා ගෙදර යන්න ත්‍රිරෝද ගාස්තුවකුත් බත් පාර්සලයකුත් දෙන්න කටයුතු කළා. මට පින් පඩියක් ලැබෙනවා. ඒකෙන් ජීවත්වෙන්න අමාරුයි. මෙතන තියෙන කඩවල්වලින් ආහාර පාන දෙනවා. පාසල් බස්වලින් මාසයකට රුපියල් සියය බැගින් දෙනවා. රාජකාරි කටයුතු පහසුවෙන්න ‍පොලිසියෙන් කබායක් දී තිබෙනවා.මම කුඩා පැළක තමයි ජීවත් වෙන්නේ. මට මාලිගානම් අවශ්‍ය නැහැ. ගේ හරියට හදා ගන්න කවුරුහරි ආධාර කරනවා නම් හොඳයි.

දාරක බන්ධුත්වය යනු, මානව ශිෂ්ටාචාරයේ එදා මෙදා තුර පැවතුණු, සිය ̈ මිනිස් ගුණ යහපත්කම්වල සලීලසෝමසුව සම්පත්තිය නම්, ලිලී වයලට් මාතාව යනු, එකී කුදු මහත් උත්තරීතර මාතෘ ස්නේහයෙහි, ජීවමාන ප‍්‍රතිමූර්තියයි.ලිලී වයලට් මාතාව, අනභිනන්දිත වීරත්වය වෙනුවෙන් ගෞරව සම්මානයෙන් පිදුම් ලබන Ada Derana Sri Lankan of the Year 2017සැප්තැම්බර් 29 සිකුරාදා රාතී‍්‍ර 9.30 ටtv දෙරණ සහ අද දෙරණ 24×7 නාලිකාවන්ගෙන්#TvDerana #AdaDerana24x7

Posted by TV Derana on Thursday, September 28, 2017

ලිපි පුවත්

මරදන්කඩවල යකඩයා යනු අවුරුදු 111ක් දිවිගෙවූ සිංහල ශ්‍රී ලාංකිකයෙකි. ඔහුගේ නියම නම වන්නේ සාංචි ආරච්චිගේ ජිනදාස යනුවෙනි. ඔහු වෙතින් දිස්වූ අපූර්ව කාය ශක්තිය හේතුවෙන්ම, ඔහු හට මෙම “යකඩයා” යන අන්වර්ථ නාමය පටබැඳිනි. තුරුණු වියයෙහිදී ඔහු අනුරාධපුරය ප්‍ර‍දේශයෙහි තුප්‍රකටව සිටියේ නොපනත්කම් හා අසාධාරණ හමුවේ ඔහු‍ගේ නොඉවසිලිමත්බව නිසාම ප්‍රාදේශීය “රොබින් හුඩ්” වරයෙකු බවට පත් වීම නිසාය. මෙම ගතිගුණ නිසාම, ඔහු වරක් මරණ දණ්ඩනයට නියම කරන ලදි. එහෙත් ඔහු පෝරකයෙන් නිදහස ලැබ පසුව හොඳ කල්ක්‍රියාව මත වසරක් තුල දඟගෙයින් නිදහස ලැබීය.මරදන්කඩවල යකඩයා සමස්ත රට වැසියන්ගේ අවධානයට පාත්‍ර වූයේ ඔහුගේ නොහික්මුණු බව නිසාම නොව සැණින් උණුවන ඔහුගේ හදවත නිසාත් සත්‍යගරුක ශ්‍රේෂ්ඨ පෞරුෂත්වය නිසාත්ය. ඔහු පවසන පරිදි, ඔහුගේ අසහාය කාය බලය හා දිගු දිවියෙහි රහස වනුයේ ශාකභක්ෂකයෙකු වීම හා සුචරිතවත් දිවි පැවැත්මයි. ඔහුගේ වයස 107 බවට විශ්වාස කෙරෙතත්, ඔහු ඊට වඩා වෘද්ධයෙකු විය හැක. ඔහු භාවිතා කරන සැරයටිය, ඔහුට වඩා වයසින් බාලයෙකුට එසවීමට පවා අසීරු එකකි.

මරදන්කඩවල යකඩයා යනුවෙන් හැඳින්වූ මරදන්කඩවල ජිනදාස මහතා වයස අවුරුදු 108 දී මුල්ලේරියාව මානසික රොහලේදි 2011 ඔක්තෝබර් 09 දා මිය ගියේය. අවසන් කටයුතු කැකිරාවේදී සිදුකරන ලදි.සමහර අය පවසන්නේ ඔහු උපන්නේ දකුණු ලක මාතර කිතලගම ප්‍රදේශයේ කියාය. එහෙත් පැරැණි පුවත්පත් වාර්තා අධ්‍යයනය කිරිමේදී පෙනී යන්නේ පේරාදෙණියේ උඩඊරියගම ප්‍රදේශයේ ඔහු උපත ලබා ඇති බවය. ඔහුගේ නම සාංචි ආරච්චිගේ ජිනදාසය. එහෙත් ඔහු මෙරට පතල වූයේ උපන් ගම හා සැබෑ නම සහිතව නොවේ. මුළු දිවයිනම ඔහු හඳුනා ගත්තේ මරදන්කඩවල යකඩයා යන නමිනි. සාංචි ආරච්චිගේ ඩේවිඩ් හා ජේන් නෝනා යන යුවළට දරු දෙදෙනෙක් වූහ. ජිනදාස වැඩිමලා වූයේය. ඔහුගේ නැගණිය ඇලිස් නෝනාය. කුඩා කල පටන්ම දඩබ්බරයකු වූ ජිනදාස සිය පාසල් ගමන හමාර කළේ බීමත්ව පාසලට පැමිණි ගුරුවරයකුට පහර දිමෙන් අනතුරුව බව පැවසෙයි. ජිනදාසගේ පෙම්වතිය දෙවැනි ලෝක යුද සමයේදී මෙරටට කැඳවා තිබූ කාපිරි හමුදා අතින් දූෂණයට ලක්ව මිය ගිය බවද , ජිනදාස දාමරිකකම්වලට යොමු වූයේ ඉන් අනතුරුව බවද කියැවේ. දාමරිකකම්වලට යොමුවීමට පෙර කාපිරි සෙබළුන් සෑහෙන ගණනක් මරු තුරුළට යැවීමට ජිනදාස සමත් වූ බව කට කතාවලින් පැවසෙතත්, ඒ බව සනාථ වන සාධක නැත.

පසු කලෙක ජිනදාස තම මවුපියන් හා සොහොයුරිය සමඟ මනම්පිටිය ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබේ. ඊට පැහැදිලි හේතු පෙනෙන්නට නැතත් සමහර විට ඒ ජිනදාසගේ දාමරිකකම් නිසා වන්නට පුළුවන. පසු කලෙක ඔහු මනම්පිටිය අතැර පැමිණ වැඩිපුර ගැවසී ඇත්තේ කැකිරාව ප්‍රදේශයේය.මිය යාමෙන් අනතුරුව සිරුර බාර ගන්නට කෙනෙකු නොමැතිව ජිනදාසගේ දේහය සති දෙකක් තිස්සේ මෘත ශරීරාගාරයේ තිබිණි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිරුර එස්. ඒ. ජිනදාසගේ හෙවත් යකඩයාගේ බව හෙළි වීමෙන් අනතුරුව දේහය කැකිරාවට ගෙන යනු ලැබිණි. පසුගිය ඔක්තෝබර් 29 සෙනසුරාදා කැකිරාවේ නෙල්ලිගම සුසාන භූමියේදී සාංචි ආරච්චිගේ ජිනදාස හෙවත් මරදන්කඩවල යකඩයා අවසන් ගමන් ගියේ තම සොහොයුරියගේ දරුවන්ගේ හා ඥාතීන්ගේ කර පිටිනි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 111 ක් බව මාධ්‍යයන්හි සඳහන් වූවත් පැරැණි පුවත් පත් වාර්තාවක දැක්වෙන්නේ ඔහු 1921 උපන් බවකි.

ජිනදාසට මරදන්කඩවල යකඩයා යන නම පට බැඳුණේ කෙසේද යන්න ගැටලුවකි. වරෙක ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණේ දුම්රිය මඟ ගමන් කරද්දී ඊට බාධා කළ කංකානම කෙනෙකුගේ සිරුර සිර වන පරිදි යකඩ පටියක් නැවූ හෙයින් තමාට එම නම ලැබුණා කියායි. තවත් විටෙක ඔහු මා්‍යධවේදියකුට පවසා තිබුණේ මනම්පිටිය පාලම අසලදී තමා හා ගැටෙන්නට ආ මිනිසකුගේ සිරුර එසේ යකඩයක් නවා හිර කළ බවකි. කෙසේ වෙතත් ඔහුට හොඳ කාය ශක්තියක් තිබෙන්නට ඇත. සොරකමේ ගිය අවස්ථාවන්හිදී නිවාසයන්හි කවුළුවල වූ යකඩ කූරු ඔහු තම දෑතින් ඈත් කර නිවාසයන්ට ඇතුළු වූ බවද පැවසෙයි.කෙසේ වෙතත් ඔහුගේ නියම නමට වඩා මරදන්කඩවල යකඩයා යන නම රට පුරා පතල වූයේ කැකිරාවේ තැපැල්හල කොල්ල කා එහි තැපැල් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ තම්බයියා මහතා මරා දැමීමත් සමඟිනි.මෙම කොල්ල කෑමට ඔහු සමඟ මාපා මුදියන්සේලාගේ විලියම් හෙවත් ජිමී, එන්ගා හෙවත් කපුරුහාමි, සාර්ලිස් සිල්වා සහ ජේමිස් සිඤ්ඤෝ යන අය සහභාගි වූ බව පොලීසිය අනාවරණය කර ගත්තේය. මේ අය අතරින් විලියම් හෙවත් ජිමී මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පෞද්ගලිකව පාපෝච්චාරණයක් කර තිබිණි. තැපැල් මහතාට වෙඩි තැබූයේ ජිනදාස හෙවත් යකඩයා යන්න එම පාපෝච්චාරණයෙන් හෙළි වී තිබිණි. එහෙත් ජිනදාස ඒ වන විට පේදුරු තුඩුවෙන් ඉන්දියාවට පැන ගොස් තිබිණි. වරෙක පැවසුණේ පේදුරු තුඩුවේ සිට සැතපුම් 20 ක් දුර මුහුදෙන් පිහිනා ඔහු ඉන්දියාවට ළඟා වූවා කියාය.

පිහිනා ගිය කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවත් ඉන්දීය පොලීසියෙන් අත් අඩංඩගුවට ගැනුණ ඔහු මෙරටට එවනු ලැබිණි. නඩු විභාගය අවසන ඔහුට මරණ දඬුවම නියම වූ නමුත් පසුව එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට පෙරළිණි. වසර 16 කට පසු 1968 දී ඔහු සමාව ලබා බන්ධනාගාරයෙන් නිදහස් වී ඇත.බන්ධනාගාර අධිපතිවරුන්ගේ වාර්තා අනුව ඔහු යාපනය සිර ගෙදර ද සිට ඇත. මත් ද්‍රව්‍ය ජාවාරමක් බන්ධනාගාරය ඇතුළත පවත්වා ගෙන යෑමට උපකාර කිරීම නිසා 1961 දී ඔහු යාපනයේ සිට වැලිකඩ බන්ධනාගාරයට එවා තිබේ.කෙසේ වෙතත් පසු කලෙක ජිනදාස හෙවත් යකඩයා මාධ්‍ය වෙත ද තම නෑ හිතවතුන්ට ද පුන පුනා පවසා තිබුණේ තමන් අතින් මිනීමැරුමක් සිදු වූයේ නැත කියාය. තමන් හා සිටි අයකු තැපැල් ස්ථානාධිපතිවරයාට වෙඩි තැබුව ද, ඊට හසු වූයේ තමා බව ඔහු අවස්ථා කිහිපයකදීම පවසා තිබිණි.

1977 දෙසැම්බර් 9 දා මෙරට ප්‍රදර්ශනය ඇරඹූ “යකඩයා” චිත්‍රපටයට පාදක වී තිබුණේ සාංචි ආරච්චිගේ ජිනදාස හෙවත් මරදන්කඩවල යකඩයා ගේ පුවතය. රත්නපාල මරවනාගොඩ නිෂ්පාදනය කළ “යකඩයා” නීල් රූපසිංහයන්ගේ අධ්‍යක්ෂණයකි. යකඩයා ලෙස ගාමිණී ෆොන්සේකා රඟපෑ අතර බස් රථයකින් මාංචු දමා ගෙන යමින් සිටියදී බසයේ යකඩ පොල්ලකට ගසා මාංචු කඩාගෙන අත් අඩංගුවෙන් මිදී පලා යාම එහි ජනප්‍රිය වූ දර්ශනයක් විය. එහෙත් බන්ධනාගාර වාර්තා අනුව යකඩයා කිසි විටෙක බන්ධනාගාරයෙන් පැන ගොස් නැත. එමෙන්ම එම චිත්‍රපටයේ දැක්වුණ යකඩයා දුම්වැටි හා මත්පැන් පානය කරන්නෙක් වූයේය.පසු කලෙක ජිනදාස මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන් කිසි දිනෙක දුම් හෝ මත්පැන් පානය නොකළ බවත් මස් මාංශ ආහාරයට නොගත් බවත්යචිත්‍රපටයේ ප්‍රධාන නළු ගාමිණී ෆොන්සේකා ඔහුගේ වත්තල නිවෙසේදී හමු වී එම දර්ශනවලට තම විරෝධය පළ කළ බවත් ජිනදාස මාධ්‍ය වෙත පවසා තිබිණි. තම ජීවන පුවත ඇසුරෙන් නිපැයුණ චිත්‍රපටය සඳහා තමන් කිසිම මුදලක් ලබා නොගත් බව ද ඔහු පවසා තිබිණි.
ඔහු මස් මාංශ අනුභවයෙන්, මත්පැන්, දුම් පානයෙන් තොර අයකු බව ඔහුගේ මරණයත් සමඟ ඥාතින් මාධ්‍ය වෙත දක්වා තිබූ අදහස්වලින් පැහැදිලි වේ.

2011 වසරෙහිදී ඔහු මිය යාමට වසර දෙකකට ඉහතදී යකඩයා අරලියගහ මන්දිරයෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂයන් හමුවීමට වරම් ලැබීය. පෙරදී කුප්‍රකට සාපරාධියෙක් සුපිරි වීරයෙක් කිරීමට මෙම සිදුවීම ඉවහල් වූයේ යැයි කියති. ජන ප්‍රසාදය උපයා ගැනුමට කුමන දේ කල යුතු දැයි යකඩයා ඉතා මැනවින් දැන සිටි බව පෙනේ. මෙහිදී දේශපාලනඥයන් අතර පවතින විරක්ෂිභාවය පිළිබඳ භීතිය ඔහු විසින් රිසි සේ ප්‍රයෝජනයට ගත් බව පෙනේ. ජනාධිපතිවරයාට ඇති මහත් ආරක්ෂා හමුවේ වුව මහත් මන්ත්‍ර බලයක් ඇතැයි පැවසුනු ජීවම් කල සුරයක් ඉතා වැදගත් වස්තුවක් බවට පත් කිරීමට හේ සමත් විය.

ලිපි පුවත්

සත්ත්වයකු වෙනුවෙන් අපේ රටේ නිර්මාණය වූ ප්‍රථම ගීතය ලෙස සැලකෙන්නේ “පනාමුරේ ඇත් රාජා” නමැති සුගතපාල මලලසේකර විසින් ගායනා කරන ලද ගීතයයි. ඔහු විසින්ම රචනා කොට ගායනා කළ ගීතය සංගීතවත් කළේ මොහොමඩ් ගවුස්ය. පුරා වසර 11ක් අඛණ්ඩව ශ්‍රී දළද‌ා කරඬුව වැඩම කරවීමේ භාග්‍යය ලද නැඳුන්ගමුවේ රාජා වෙනුවෙන් ද ගීතයක් නිර්මාණය වී තිබේ. ඉසුරු සමරසිංහ විසින් රචිත එම ගීතය ගායනා කරන්නේ විශාරද ජනනාත් වරකාගොඩය. සත්වයකු ජීවත්ව සිටියදී නිර්මාණය වූ ප්‍රථම ගීතය ලෙස මෙම ගීතය සැලකෙයි. නැඳුන්ගමුවේ ඇත් රජු පිළිබඳව කියැවෙන මෙම ගීතය වන්නේ “කාලවර්ණ පිංකඳ”යි. හස්තියාගේ ඇති ගුණවත්කම, තෙදවත්කම, පින්වත්කම මෙම ගීතයෙන් වර්ණනා කෙරෙයි.

ගීතය රචනා කළ ඉසුරු සමරසිංහ පවසන්නේ “වෙනත් කිසිදු හස්තියකුගෙන් දක්නට නොලැබෙන සුවිශේෂී ලක්ෂණ නැඳුන්ගමුවේ රාජාගෙන් දක්නට ලැබෙන නිසා ගීතය රචනා කළ” බවය. ගීතය ගායනා කරන සංගීත විශාරද ජනනාත් වරකාගොඩ පවසන්නේ “මෙම ගීතය යුගයේ අවශ්‍යතාවක් බවයි. ඉසුරු සමරසිංහ විසින් මෙම ගීතය රචනා කර දී මාස හයක් පමණ කල්ගතව තිබුණ ද එය නිර්මාණය කිරීමට නිශ්චිත කාලය උදාවනතුරු සිටි බව ද” ඔහු පවසයි. 1950 අගෝස්තු මස 09 දින වෙඩි පහරකින් මියගිය පනාමුරේ ඇත් රජු වෙනුවෙන් රට පුරා මහත් අනුකම්පාවක් ඇති විය.

අලි පරපුරේ විමුක්තිය උදෙසා එම හස්තියා දිවි පූජා කළ නිසා ජනතාව තුළ ගෞරවාන්විත භක්තියක් ඇත් රජු කෙරෙහි ඇතිවිය. භාරතයේ මහා සංගීතඥ නවුෂාඩ්ගේ සංගීත නිර්මාණයකට අනුව බිහි වී තිබූ ගීතයක තනුවකට අනුව “පනාමුරේ ඇත් රාජා” ගීතය සුගතපාල මලලසේකර විසින් රචනා කරනවිට පනාමුරේ හස්තියා මිය​ෙගාස් මාස තුනක් හෝ ගත වී නොතිබිණි.සුගතපාල මලලසේකර “පනාමුරේ ඇත් රාජා” ගීතය ලියා එම ගී පද පෙන්වූයේ මහා කවි ආනන්ද රාජකරුණා මහතාටය. රාජකරුණා මහතා එම ගී පද පරීක්ෂා කර බලා ඉමහත් සතුට පළ කළේය. මෙම ගීතයේ “ගණ” පිහිටීම අනුව හස්තියාගේ මරණයට වගකිව යුතු අයට මහත් අපල ගෙන දෙන බව ද රාජකරුණා මහතා අවධාරණය කළේය. 

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්‍ෂ ධුරය දැරූ ඩී.එම්. කොළඹගේ මහතාගේ ද අනුග්‍රහය ඇතිව 1951 ජනවාරි මුල්භාගයේදී තමාම ලියූ ගීතය සුගතපාල මලලසේකර මහතා විසින් ගායනා කරනු ලැබූ අතර සංගීතඥ මොහොමඩ් ගවුස් එය සංගීතවත් කළේය. එදා ​කොළොම්බියා තැටිගත කළ එම ගීතය ගුවන් විදුලි සංස්ථාවේ තවමත් සුරක්ෂිතව තිබේ. ගුවන් විදුලියෙන් ගීතය ප්‍රචාරය වී දින තුනකට පසුව 1951 ජනවාරි 21 දින පනාමුරේ හස්තියාට වෙඩි තබන්නට අණ කළ හිටපු කතානායකවරයකු වූ ප්‍රැන්සිස් මොලමුරේ මහතා මියගියේය. මෙම ගීතයට පසුව 2012 මාර්තු මාසයේදී පනාමුරේ රාජා වෙනුවෙන් තවත් ගීතයක් නිර්මාණය විය. පොලිස් අධිකාරී සමන් රත්නායක විසින් රචනා කළ “පනාමුරේ කඳු යායෙන්” නමැති ගීතය ගායනා කළේ නව පරපුරේ ගායක සමන් ලෙනින්ය. සංගීතවේදී නවරත්න ගමගේ ගීතය සංගීතවත් කළේය.

දළද‌ා කරඬුව වැඩම කරවීමේ වැඩිම වාර ගණන හිමි වූ හස්තියා වන්නේ දළද‌ා මාලිගාවේ රාජා හස්තියා ය. වසර 50ක් පෙරහරේ කටයුතුවලට සහභාගී වූ “රාජා” වසර 32ක් ශ්‍රී දළද‌ා වහන්සේ වැඩම කරවනු ලැබීය. 1988 ජුලි 16 දින රාජා හස්තියා මියගිය අතර රාජා ජීවත්ව සිටියදීම 1986 අගෝස්තු 20 දින රජය මගින් රාජා ජාතික වස්තුවක් බවට ප්‍රකාශයට පත් කළේය. රාජාට පසුව වැඩිම වාර ගණනක් දළද‌ා කරඬුව වැඩම කළ අැතුන් අතර නැඳුන්ගමුවේ රාජා හස්තියා ද සිටියි. වසර 11ක් අඛණ්ඩවම නැඳුන්ගමුවේ රාජා දළද‌ා කරඬුව වැඩම කළේය. ඒ 2005 වසරේ සිටය. නැඳුන්ගමුවේ රාජා අපට ලැබෙන්නේ ඉන්දියාවෙනි. පිළියන්දල – නිලම්මහර වෙද පරපුරට අයත් නිලම්මහර වෙද හාමුදුරුවන් ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහා රාජාවරයකුගේ සහෝදරයකුට වෙදකම් කිරීමෙන් පසුව මහත් සතුටට පත් මහා රාජා අැත් පැටවුන් දෙදෙනකු නිලම්මහර වෙද හාමුදුරුවන්ට තෑගි දුන්නේය. ඉන් එක් ඇත් පැටවකු වූයේ නැඳුන්ගමුවේ රාජාය.

වයස අවුරුදු 65 සීමාවට ළඟා වී ඇති නැඳුන්ගමුවේ රාජා තවමත් නීරෝගී සම්පන්නව සිටින්නේ ශ්‍රී දළඳා වහන්සේගේ ආශිර්වාදයට අමතරව පයින් ගමන් කිරීමේ ව්‍යායාම ද නිසාය. කිසි දින වාහනයකින් ගමන් නොගන්නා “රාජා” ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් ආරක්ෂා වීමට තවත් ප්‍රධානතම සාධකයක් වන්නේ රාජාගේ හිමිකරු වන හර්ෂ විජය වෙද රාලහාමි මෙරට දක්ෂ වෙදැදුරකු වීමයි. රාජාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔහු නිතර විමසිලිමත්ය. අවශ්‍ය සත්කාර හා පෝෂණය රාජාට නිරන්තරව ලැබෙයි. ජාතියේ ඉමහත් ගෞරවයට පත්ව සිටින නැඳුන්ගමුවේ රාජා “කාලවර්ණ පිංකඳ” ලෙස හඳුන්වා දී ඇති මෙම උපහාර ගීතයෙන් ද “රාජා”ට ආශිර්වාද ලැබී මේ මහා ජාතික වස්තුවට දීර්ඝායුෂ ලැබෙතැයි ජනතාව අපේක්ෂා කරති.

ලිපි පුවත්

මරණය යනු අතිශය වේදනාකාරී අත්දැකීමක් බව ලෝක සම්මතයකි. එහෙත් එය හුදෙක් අනුමානයක් පමණක් බව කිව යුත්තේ මරණයට පත්වූවෙකුගෙන් ඒ පිළිබඳ විමසා බැලීමට ලොව කිසිවෙකුටත් නොහැකි බැවිනි.මරණය වේදනාකාරී සංසිද්ධියක්ය යන අනුමානයට පිවිසීමට කරුණු කිහිපයක් පදනම් වේ. බොහෝ දෙනෙකුගේ මරණයත් සමඟ දෙනෙත් වල කළු ඉංගිරියාවන් කැරකැවී යාම, මරණයෙන් පසු බොහෝ දෙනෙකු හට මළ මුත්‍ර පහව තිබීම සහ මිය ගිය පසු මුහුණේ වේදනාත්මක ඉරියව් පළ වීම. මරණය වේදනාත්මක බව හඟවන දෘෂ්‍යමාන සාක්ෂි කිහිපයකි.

මිනිසෙකු කුමන කරුණක් මුල් කොට මිය ගියද එම මරණය සිදුවීමට හේතුවන ප්‍රධාන කාරණා 03 ක් තිබේ.
01.මොළය අක්‍රීය වීම.
02.ස්වසනය ඇන හිටීම.
03.හෘදය අකර්මන්‍ය වීම.

නිදසුනක් ලෙස කිසියම් පුද්ගලයෙකු හෘදයාබාධයකට ලක්වීම මත හෘදය අකර්මන්‍ය උවවොත් ඒ සමඟම මොළයට අම්ලකර සැපයුම ඇනහිට විනාඩි 03 ක් තුළ මොළයද අක්‍රිය වනු ඇත. එවිට මොළයද අක්‍රිය වීම මත ඒ පුද්ගලයාගේ ස්වසනය ද නතරවනු ඇත. මොළයේ සිදුවූ අසාදනයක් මුල් කොට මිය යන පුද්ගලයකුගේ මොළය අකර්මන්‍ය වූවහොත් ඉතා කෙටි වේලාවක් තුළ හෘදය වස්තුව හා ස්වසන පද්ධතිය ද අක්‍රිය වනු ඇත.

ඒ අනුව හදිසි අනතුරකින් හෝ කම්පනයකින් මොළයේ ස්නායු වලට හානි පැමිණීමෙන් දැඩි සත්කාර ඒකකයකට ඇතුල් කරන රෝගියෙකු හට නවීන යන්ත්‍රයක මාර්ගයෙන් අම්ලකර ලබා දුන හොත් ඒ පුද්ගලයාගේ මොළය මිය ගිය පසුද ශරීර යාන්ත්‍රණය කෘත්‍රිම ලෙසින් ක්‍රියාත්මක වනු ඇත. ඊට පසුව හෘදය එම කෘත්‍රිම යාන්ත්‍රණය ද ප්‍රතික්ෂේප කළහොත් එසැනින් ඒ තැනැත්තාගේ මරණය සම්පූර්ණ වනු ඇත. මෙසේ හෘදය නතරවීමෙන් සිදුවන මරණය හැඳින්වෙනුයේ සායනික මරණය(Clinical Death) ලෙසිනි.

එහෙත් මොළය මුලුමනින් අකර්මන්‍ය කෙනෙකුට හෙවත් මස්තිස්ක මරණය ( Brain Death ) සිදුවූ කෙනෙකුට යළි කිසිසේත් නැවත ජීවිතයට පිවිසිය නොහැක.බොහෝ විට අන්‍යයන්ට බද්ධ කිරීම සඳහා ශරීර කොටස් වෙන් කර ගනුයේ එසේ මොළය මිය ගිය තැනැත්තන්ගෙනි. මොළය මිය යාම නිසා මොවුන් හට කිසිදු වේදනාවක් නොදැනෙන බව සහතිකය. මන්ද ශරීරයේ වේදනා පාලන මධ්‍යස්ථානය මොළය වන බැවිනි.

යමෙකුගේ මරණය සිදුවන ආකාර 03 ක් තිබේ. ඉන් පළමු වැන්න රෝගී තත්ත්වයක් ය‍ටතේ සිදුවන මරණය.මෙහිදී එම රෝගය නිසා ඒ පුද්ගලයා දරුණු කායික වේදනාවන්ට ලක් වීම වැලැක්විය නොහැක. සුවපත් කළ නොහැකි රෝගියෙකු මෙලෙස කායික වේදනාවන් වලට පත් වන අතරේ වේදනා නාශක ආදී මගින් එම වේදනාව අවම කළ හැක. මේ සඳහා වන විධිමත් ප්‍රතිකාර පද්ධතියක් ලොව පුරා ක්‍රියාත්මක වන අතර එය හැඳින්වෙනුයේ Palliative Care යනුවෙනි.සරළ නිදසුනක් ලෙස, ශරීරය පුරා පැතිර ගත් පිළිකා තත්ත්වයක් දැක්විය හැක.එහෙත් එම රෝගය නිසා ලබන පීඩාව හැරුණු කොට ඉහත රෝගය නිසා මොළය, ස්වසනය හෝ හෘදය අක්‍රීය වන අවස්ථාවේ එම මරණය සිදුවීම මුල්කොට සුවිශේෂ වූ වේදනාවක් ඒ පුද්ගලයාට ලැබේද යන්න පිළිබද පැහැදිළි විද්‍යාත්මක නිගමනයක් නැත. එහිදී මිය යන පුද්ගලයාගේ දෑස් එක්වරම කැරකැවී යාම හෙවත් අක්ෂි චලන වේග ( REM – rapid eye movement) වේදනාව නිසා සිදුවන්නක් බව යමෙකුට හැඟි යා හැකි වුවද මොළයේ ක්‍රියාත්මක භාවය අඩාල වීම මුල්කොට ගෙනද එවන් තත්ත්වයක් ඇති විය හැක.

නිදසුනක් ලෙස, අප නිදාගන්නා සෑම අවස්ථාවකම නින්දට පිවිසීමේදීත් නින්දෙන් පිබිදීමේදීත් අතර මැදි අවස්ථා කිහිපයකදීත් මෙම අක්ෂි චලන වේග අපට නොදැනුවත්වම ක්‍රියාත්මක වේ. එය බොහෝ විට අන්‍යයන්ට නොපෙනෙනුයේ එවිට අප දෙනෙත් පියවී තිබෙන නිසාය. එහෙත් දෙනෙත් නොපියා නිදාගන්නා අය ඉතා කලාතුරකින් දැකිය හැකි අතර ඔවුන් කෙරෙන් ද මෙම අක්ෂි චලන වේග දැක ගත හැකිය. යමෙකු ක්ලාන්තයට පත්වන අවස්ථාවේත් මෙම අක්ෂි චලන වේග ක්‍රියාත්මක වේ.

පුද්ගලයෙකු මරණයට පත්වන ඊළඟ තත්ත්වය වන්නේ ශරීරයේ කිසියම් ඉන්ද්‍රියකට ක්‍ෂණික කම්පනයක්, ආපදාවක් සිදුවීමය.හදිසි අනතුරු, විදුලිසැර වැදීම්, හෘදයාබාධ ආදී මේ ගණයට වැටේ . මෙහිදී මෙවන් අවස්ථාවක් මුල්කොට කිසියම් කෙනෙකු තුළ දැඩි මරණ භීතියක් ඇතිවුවහොත් ඉතා කෙටි වේලාවක් තුළ ශරීරයෙන් එන්ඩො‍පීන් (Endorphin) නම් ජෛව රසායනිකය මුදා හැරේ.නිදසුනක් ලෙස, පුද්ගලයෙකු වාහනයකින් ගමන් කරමින් සිටින විට තමන් ඉදිරියට වේගයෙන් එන වාහනයක් දුටු සැනින් ඒ තැනැත්තා තුළ ඇති වන බිය, කම්පනය මුල් කොට ශරීරය තුළ මෙම රසායනික ක්‍රියාවලිය ඇති වේ.එන්ඩොපීන් යනු අපේ ශරීරය තුළින් ක්‍රියාත්මක වන ප්‍රබල වේදනා නාශක හෝමෝනයකි. සතුට දැනවීම සහ ලිංගික ආස්වාදය සඳහාද මෙම හෝමනය ක්‍රියාත්මක වේ. ඒ අනුව එවන් අනතුරකින් ‍මිය යන පුද්ගලයාගේ ශරීරයට සිදුවී ඇති ශාරීරික හානිය අනුව ඒ තැනැත්තා අත්විදි කායික වේදනාව ගණනය කළ නොහැක. ඊට හේතුව සුළු කායික හානියක දී අත්වීඳීමට සිදුවන වේදනාවට සාපේක්ෂව බරපතල කායික හානියක දී සිදුවන වේදනාව අතිප්‍රමාණ නොවීමය.

පසුගිය කාලයේ දුම්රියක පා පුවරුවක් කඩා වැටීමෙන් එහි ගමන් කළ තරුණයෙකු මිය ගියේය. ඔහුගේ කලවා මතින් දුම්රිය ධාවනය වීම මුල්කොට මුළු සිරුර දෙකට වෙන් වී තිබුණි. එහෙත් එම සිද්ධිය මුල්කොට මර හඬින් කෑ මොර දීම වෙනුවට ඔහු අවසන් මොහොතේ එහි සිටියකුගෙන් අසා ඇත්තේ ‘මගේ කකුල් දෙකට මොනවා හරි වෙලා ද’ යනුවෙනි. එම ඛේදනීය රූපරාමු සමාජ ජාලා වෙබ් අඩවි මගින් ද ප්‍රචාරය වී තිබිණ.මිය යන විට මළ මුත්‍ර පහවීම බොහේ විට සිදුවන්නක් වන අතර එහිදී එම තැනැත්තාගේ බහිස්‍රාවීය ග්‍රන්ථි ආශ්‍රිතව මිය යන මොහොතේ එක් රොක් වී ඇති මල මුත්‍රා ප්‍රමාණ ද ඊට බලපානු ඇත. එහිදී මරණයත් සමඟම ඒවා පිටවනුයේ වේදනාව නිසාද නැතහොත් ඒවා ශරීරය තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් මොළයේ විධානය ඉවත්වීම නිසාද යන්න පිළිබඳව මත පවතී.

මෙහිදී මරණයට පත්වන ඇතැම් පිරිමින්ගේ මළ සිරුරු වලින් ශුක්‍ර ධාතු පවා මෝචනය වී ඇති අයුරු දැක ගැනීමට පුළුවන.ඉහත සඳහන් මල මුත්‍ර පහවීම වේදනාවක් මත සිදුවන්නේ නම් මරණයත් සමඟ ශුක්‍ර ධාතු පිටවීම මරණයේ දී ලිංගික ආශ්වාදයක් ලැබීම මත සිදුවන් බවට තර්ක කළ හැක.නමුත් මෙහිදී සිදුවනුයේ ශරීරයේ ශුක්‍ර ධාතු තැන්පත් කොට ඇති ග්‍රන්ථි මරණයත් සමඟම කෙමෙන් සංකෝචනය වීමෙන් ඒවා පුරුෂේන්ද්‍රිය තුළ ඇති නාල ඔස්සේ පිටතට පැමිණීම පමණි. ලිංගික සුරාතාන්තයේ දී ද මෙලෙස ශුක්‍රාණු පිටතට විදීමක් සිදුවනුයේ සුරතාන්තයත් සමඟම මෙම සංකෝචනය කිහිප වරක් රිද්මයානු කූලව සිදුවන බැවිනි.මරණයෙන් පසු පුද්ගලයන්ගේ මුහුණු වල වේදනාකාරී ඉරියව් පළ වීම මරණයන් පැය 02 කට පමණ පසු ඇතිවන මෘත කාටින්‍ය ( Rigor Mortis ) නම් තත්ත්වය නිසා ඇති වන්නකි. එහිදී සිදුවනුයේ මුහුණේ මාංශපේෂීන් තුළ සිදුවන ජෛවමය ක්‍රියාවලිය නතරවීමෙන් එහි ඇති ලිහිල් බව නැතිවී ‍මුහුණෙහි මාංශපේෂීන් වල ඝණ බවක් ඇතිවීමය. ඒ අනුව බැලූ බැල්මට මෙය වේදනාවක් දරා හිඳින්නකුගේ මුහුණකට සමාන විය හැක.ඒ අනුව මරණ වේදනාව යන්න නිශ්චිත වූවක්ද? සෑම පුද්ගලයෙකුටම ‍පොදු එක සමාන අත්දැකීමක් ද? එසේත් නොමැති නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වූ තත්ත්වයක්ද? එසේත් නොමැති නම් තමන් නොදැනුවත්වම සිදුවන ජීවිතය නතර වීමක්ද? යන්න පිළිබඳ පැහැදිළි නිශ්චයක් අදත් ලොව නැත.

ස්තූතිය – හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය,රත්මලාන.

ලිපි පුවත්

ලෝකය තවදුරටත් හුදෙක්‌ සාම්ප්‍රදායික සංකීර්ණ ස්‌ථානයක්‌ නොවේ. තාක්‍ෂණයේ අධිවේගී දියුණුව මුළු ලොවම එක මිටකට කැටි කොට තිබේ. ආතර් සී ක්‌ලාක්‌ අදින් වසර ගණනාවකට පෙර දුටු සිහිනය සැබෑවක්‌ව අද ලෝකය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එකම විශ්ව ගම්මානයකි. ලන්ඩනයේ සිදුවන්නාවූ බෝම්බ පිපිරීමක්‌ පිළිබඳව වූ විස්‌තර මෙරට වැසියන්ට තත්ත්පර කිහිපයක්‌ ඉක්‌මවා යැමට මත්තෙන් දැනගැනීමට හැකියාව ලැබී ඇත්තේත් උසේන් බෝල්ට්‌ තත්ත්පර නවයක්‌ තුළ මීටර 100 ජයගැනීම පිළිබඳව වූ විස්‌තර තත්ත්පර නවයටත් වඩා අඩු කාලයකින් අපට දැනගැනීමට හැකියාව ලැබී ඇත්තේත් මේ තාක්‍ෂණ දියුණුවේ මහිමය නිසාමය. එලෙසින් දියුණු වූ තාක්‍ෂණික ලෝකයේ සමාජ මාධ්‍ය ජාලා ඇති කර ඇති විප්ලවය පුදුම සහගතය. එයිනුත් Facebook හට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි.

එහෙත් මාක්‌ සකර්බර්ග් නමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යයා 2004 දී facebook ආරම්භ කරන විට වසර 10 ඇවෑමෙන් ලෝ වැසියන් බිලියන 2 ආසන්න ප්‍රමාණයක්‌ ඒ වෙත ඇදේ යෑයි ඔහු පවා විශ්වාස නොකරන්නට ඇත. නමුත් facebook ඔහුගේ තරුණ වයස තුළදීම ඔහුව බිලියනපතියෙක්‌ කළේය. ඒ ගමන තුළ ඔහුට තිරය පිටුපස සිට සහය දුන් ගුණ නොවැයුනු සගයන් රාශියක්‌ද සිටි බව නොරහසකි. අපේ කතා නායකයා හමුවන්නේ එහිදීය. ඔහු මේ පොළොවේ උපන් ශ්‍රී ලාංකිකයෙකි. චමත් පලිහපිටිය යනු එකී සුවිශේෂී වූ ශ්‍රී ලාංකිකයායි. 

1976 වසරේ සැප්තැම්බර් මස 3 වැනි දින උපත ලබන ඔහු වයස අවුරුදු 6 දී කැනඩාවට සංක්‍රමණය වී උසස්‌ අධ්‍යාපනය ලබාගන්නේ වෝටර්ලු සරසවියෙනි. එහිදී ඉලෙක්‌ට්‍රොනික ඉංජිනේරු උපාධියක්‌ හිමි කරගනු ලබන ඔහු සිය මුල්ම රැකියාව සඳහා තෝරාගන්නේ BMO Nesbitt Burns නමැති ආයෝජන බැංකුවයි. නමුත් සෑම විටම දූරදර්ශීව සිතන ඔහු සිය අනාගත අපේක්‍ෂාවන් සඳහා එය තෝතැන්නක්‌ නොවන බව වටහා ගැනීමෙන් 2000 වසරේදී ඔහු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය වෙත සංක්‍රමණය වන්නේය. ඒ ඔහුගේ පෙම්වතියද කැටුවය. එම ගමන ඔහුගේ ඉරණම වෙනස්‌ කරන ගමන විය. එහිදී චමත්ට ඇමරිකාවේ AOL සමාගම හා එකතුවීමට අවස්‌ථාව ලැබේ. පසුව ඔහු 2004 වන විට එහි අධ්‍යක්‌ෂ මණ්‌ඩලයටද ඉන් පසුව එහි උප සභාපති තනතුරටද පත්වනුයේ කැලිෆෝනියා ප්‍රාන්තය සිය සිහින සැබෑකරලීමට අවශ්‍ය කදිම පතිරූප දේසවාසයක්‌ යන්න සනාථ කරමිනි. නිරන්තර අභියෝග භාරගැනීමේ පිපාසාවෙන් පෙළුන චමත් 2005 වසරේ එම සමාගමෙන්ද ඉවත්වනුයේ සිය දෛවය අධ්‍යක්‌ෂක තනතුරක්‌ ඉදිරියේ පමණක්‌ සීමා නොකළ යුතු යෑයි යන්න වටහාගැනීමෙන් අනතුරුව විය හැකිය.

2005 වසරෙන් පසු ඔහු සිය දිවියේ පෙරලිකාරීතම අවධියට පියවර තැබුවේය. එම පෙරළිය තුළ සිටියේ facebook ආයතනයයි. එවකට අද මෙන් ජනප්‍රිය සන්නාමයක්‌ නොවූ facebook ආයතනය හුදෙක්‌ම එක්‌ වෙබ් අඩවියක්‌ පමණක්‌ වූ අතර වෙළෙඳ ලොව ප්‍රබල සමාගමක අධ්‍යක්‌ෂක තනතුරක්‌ පසෙකලා එවන් කුඩා ආයතනයක සේවයට එක්‌වීමට චමත් තීරණය කළේය. පුද්ගලයකු පරිසරය තුළ නිසි ලෙස ර¹පැවැතීම තීරණය වන්නේ ඔහු වෙනස්‌ වන ලෝකය සමඟ ඉදිරියට යැමෙනි. චාල්ස්‌ ඩාවින් පැවසූ පරිදි නොනැසී රැකුනේ ශක්‌තිමත් හෝ බුද්ධිමත් ජීවීන් නොවේ. වෙනස්‌ වන පරිසරයට අනුවර්තනය විය හැකි ජීවීන් ය. චමත් තුළ එම හැකියාව කදිමට පිහිටා තිබුණු බව පෙනේ. ඔහු ශීඝ්‍රයෙන් වෙනස්‌ වන මේ තාක්‍ෂණික ලෝකය සමඟ අනුවර්තනය වීමේ පුදුම හැකියාවකින් යුක්‌ත වූවෙකි. ඒ නිසාම ඔහු එවකට (2005) එතරම් ජනප්‍රිය නොවූ ෆේස්‌බුක්‌ ආයතනය තමන්ගේ අනාගතය ආලෝකවත් කරන වෘත්තීය ජීවිතයේ කඩඉම ලෙස තෝරා ගනී. ඔහු අද වඩාත් ඉහළ තැනකට ඔසවා තබන්නට සමත් ධෛර්යය සහ අත්දැකීම් මේ පුංචි මිනිසා සතු වන්නේ එහිදීය. එය සනාථ කරමින් ඔහු facebook ආයතනය ජනගත කිරීමෙහිලා මහඟු වූ දායකත්වයක්‌ නිරන්තරයෙන් ලබාදීමට පසුබට වූයේ නැත. facebook නිර්මාතෘ මාක්‌ සකර්බර්ග් ගේ සාර්ථකත්වය සඳහා එක්‌ හේතුවක්‌ වූයේද ඔහු සතුවූ සේවකයන්ගේ ධෛර්ය හා කැපවීමයි. එවන් වූ සේවක පරපුරක්‌ අතර චමත් පලිහපිටියද ඉදිරියෙන්ම සිටියේය. එහෙත් ඔහුට අනාගත ඉලක්‌කයක්‌ තිබිණි. 

එම ඉලක්‌කය අනුව 2011 වසරේදී චමත් facebook ආයතනයෙන් ඉවත්වීමට තීරණය කරනුයේ තවත් එක්‌ අභියෝගයක්‌ භාරගැනීමේ අටියෙනි. ඒ වන විට facebook වෙබ් අඩවිය සකල ලෝකවාසීන්ගේම ජීවිතයට නැතුවම බැරි අංගයක්‌ බවට පත්ව තිබුණු නමුත් තරුණ වියේ සිටි චමත් සතුව පැවති ඉලක්‌කයන් සහ සිහිනයන් තෘප්ත කරලීමට එකී කරුණ පමණක්‌ ප්‍රමාණවත් වූයේ නැත. ඔබ සිහින දකින්න. සිහිනය ඔබ සාර්ථකත්වය කරා රැගෙන යනු ඇත. චමත් තම නොසිඳෙන ආත්ම විශ්වාසය මෙන්ම එය ද ඇදහුවේය. සාර්ථක ව්‍යවසායකයෙක්‌ ලෙස ඔහු නිරන්තරයෙන් සිහින දැක්‌කේය. එලෙස සිහින දකිමින්ම කල් ගත කිරීමට අකමැති වූ ඔහු සිහින යථාර්ථයක්‌ කරගැනීමටද නිරන්තරයෙන් ඇප කැප විය. ඔහුගේ සිහින දැකීමේ හැකියාවට තරුණ ජවයද එක්‌වූ විට එය අපහසු කර්තව්‍යක්‌ නොවූ බව සනාථ වූයේ 2011 වසරේදීය. ඒ තමාටම කියා ව්‍යාපාරයක්‌ ගොඩනැඟීමේ පදනම දමා ගැනීමට ඔහු සමත්වීම තුළින් ය.

එතැන් සිට ඔහු ව්‍යාපාර ලෝකයේ වේගවත් ධාවකයෙක්‌ වූයේය. අභියෝග ඔහුගේ ජීවිතයේ කොටසක්‌ කර ගත්තේය. සෞඛ්‍ය අධ්‍යාපන වැනි ක්‍ෂේත්‍රයන් තුළ සම්ප්‍රදායක ඒකාබද්ධ අරමුදල් ආයෝජනය කිරීම බොහෝ ව්‍යාපාරිකයන් අකමැති වන්නා වූ පසුබිමක චමත් එකී ක්‍ෂේත්‍රයන් හි තමන්ගේ ප්‍රාග්ධන අරමුදල් විවෘත කළේය. ඒ අනුව 2011 වසරේදී ඔහු Social Capital Partnership නම් ඒකාබද්ධ ප්‍රාග්ධන අරමුදලක්‌ (Venture capital) කොටස්‌ වෙළෙඳපොළ තුළ දියත් කරන ලදි. 

කෙසේ වෙතත් දරන ලද අවදානම් සියල්ල ජයගනිමින් ඔහු කෙටි කලකින්ම ස්‌ථාවර ස්‌ථානයක්‌ අනෙකුත් ඒකාබද්ධ අරමුදල් අතර දිනාගනු ලැබුවේ ඒකාබද්ධ අරමුදල් ක්‍ෂේත්‍රය වෙත නව සම්ප්‍රදායක්‌ද දායාද කරන අතරමය. ඔහු ලබාදුන් සාර්ථක ආරම්භයෙන් පසුව බොහෝ ඒකාබද්ධ අරමුදල්, කොටස්‌ වෙළෙඳපොළවල් තුළ පවතින අධ්‍යාපන, සෞඛ්‍ය වැනි සුබසාධක ක්‍ෂේත්‍රයන් කෙරෙහි යොමු වූ අතර එයින් සමාජයේ ප්‍රගමනය සඳහාද අමිලවූ දායකත්වයක්‌ සපයන ලද්දේ චමත් පලිහපිටියගේ දූරදර්ශි ක්‍රියාපිළිවෙළට පින්සිදුවන්නටය.2013 වසරේදී චමත් සිය ප්‍රාග්ධන අරමුදල යොදා Glooko,inc,Yamer,Box වැනි සමාගම්හී ආයෝජනයන් සිදු කළ අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙසට එම වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් මිලියන 275 ලාභයක්‌ ඉපයීමට ඔහුට හැකිවිය. එමෙන්ම 2015 වසර වන විට ඔහුගේ ආයතනයේ නාමය Social capital නමින් වෙනස්‌වූ අතර එම වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.1 වත්කම් ඔහු සතුව පැවතුනි.

එම ජයග්‍රහණයත් සමඟ පසුගිය සතිය තුළ ලෝකයේ පවතින්නාවූ ප්‍රධානතම ව්‍යාපාරික සඟරාවන්හි මුල් පිටු සැරසූයේ පැහැපත් තලෙළු සමකින් යුතු මේ අපූරු ශ්‍රී ලාංකික පුත්‍රයා ය. එම ස්‌ථානය ඔහුට ලැබුණේ ඇමරිකාවේ නිව්යෝර්ක්‌ කොටස්‌ වෙළෙඳපොළ ඉතිහාසය තුළ වාර්තාවක්‌ද තම නම ඉදිරියේ සටහන් කරගන්නා අතරමය.

ලන්ඩනයේ ක්‍රියාත්මක වන තවත් ඒකාබද්ධ ප්‍රාග්ධන අරමුදලක්‌ වන Hedosophia‌ නම් ආයතනයත් සමග ඒකාබද්ධ වෙමින් අරඹන ලද Social Capital Hedosophia Holdings Cooperation නම් ආයතනයේ මූලික කොටස්‌ නිකුතුව නිව්යෝර්ක්‌ කොටස්‌ වෙළෙඳපොළ වෙත නිකුත් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 600 දැවැන්ත මුදලක්‌ එක්‌ දිනක්‌ තුළ ඉපයීමට ඉනික්‌බිතිව ඔහු වාසනාවන්ත විය. එය දල වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 91000 පමණ වූ අගයකි. කිසිදු භාණ්‌ඩයක, සේවාවක සැපයීමකින් තොරව හුදෙක්‌ නව ආයතනික නාමයක්‌ පමණක්‌ කොටස්‌ වෙළෙඳපොළට ඉදිරිපත් කරමින් මේසා විශාල ප්‍රාග්ධනයක්‌ ඉපැයීමට සමත් වීමෙන් චමත් පලිහපිටිය සතු තියුණු ව්‍යාපාරික දැනුම මනාව විදහා දැක්‌වෙන එම හපන්කමත් සමඟ ලෝකය ඔහුව දුටුවේ කීර්තිමත් ව්‍යාපාරික වොරන් බෆට්‌ ගේ ඊළඟ පුරුක ලෙසය. ඇමරිකානු මාධ්‍යයන් විසින් චමත් පලිහපිටියව එලෙසින් හඳුන්වාදීමට නොපැකිලි විය. මහජන නිකුතු හරහා ව්‍යාපාරික කටයුතු සඳහා ඇවැසි ප්‍රාග්ධනය සපයාගැනීමට අපහසු තාක්‍ෂණික අංශයේ ව්‍යාපාරයන්a සඳහා ප්‍රාග්ධනය ලබාදීමට කටයුතු කිරීමේ අපේක්‌ෂාව පෙරදැරිව මෙම නව සමාගම කොටස්‌ වෙළෙඳපොළ වෙත පිවිසි අතර ඒ සඳහා එක්‌දිනක්‌ තුළ ලද ප්‍රතිචාරය සුළු පටු නැත. චමත් එහි ජයග්‍රාහී අවසානයක්‌ ළඟා කර ගැනීමට සමත් විය. 

සැබෑවටම ශ්‍රී ලාංකිකයන් ලෙස අප චමත් පලිහපිටිය පිළිබඳව ආඩම්බර විය යුතුය. නමුත් එම ආඩම්බරවීමෙන් ම නොනැවතී ඔහුව ආදර්ශයක්‌ බවටද පත් කරගත යුතුය. චමත් ශ්‍රී ලංකාවේ උපත ලබා කැනඩාවේ හැදී වැඩී ඇමරිකාව තුළ සිය ව්‍යාපාර දියුණු කර ගත් බව ඇත්තය. නමුත් ඒ ජයටැඹ වෙත ළඟාවීමේදී අනේකවිධ බාධකයන් ඔහු පසුපස හඹා එන්නට ඇත. කෙසේ වෙතත් ඔහු බාධාවලට බාධකයක්‌ වී අද දින ව්‍යාපාරික ලොව දිග්විජය කොට ඇත. තවමත් 41, වියෙහි පසුවන්නෙක්‌ ලෙසට ඔහුට තව යාහැකි දුර අසීමිතය. ඔහු ඒ දුරද නිසැකයෙන්ම තරණය කරනු ඇත. නමුත් ලාංකිකයන් වන අපට ඔහු පිළිබඳ වන එම ආඩම්බරය හුදු හැඟීම් මාත්‍රයක්‌ පමණක්‌ නොවනු ඇත්තේ එවැනි අධිෂ්ඨානශීලී මිනිසෙක්‌ ජන්මය කළ මේ පොළොවට ඔහුගේ සේවය ලබා ගැනීමට හැකි නම් පමණි.

ලිපි පුවත්

බලංගොඩ ජනතාව කොතරම් රා බොනවාදැයි පසක් වූයේ ඉකුත්දා ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති බලංගොඩ පින්නවල අංක 02 රා තැබෑරුම ටෙන්ඩර් කරන අවස්ථාවේදීය.එදින ටෙන්ඩර්කරුවන් කිහිපදෙනකු පැමිණ සිටි අතර ටෙන්ඩර් මණ්ඩලයේ ප‍්‍රධානියා වූයේ ඉඹුල්පේ ප‍්‍රාදේශීය මහලේකම් කීර්ති ජයසිංහ මහතාය. සෙසු සාමාජිකයින් වූයේ සහකාර සුරාබදු කොමසාරිස් වී.යූ වික‍්‍රමරත්න, බලංගොඩ සුරාබදු ස්ථානාධිපති කපිල විජේසිංහ හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප‍්‍රධාන ගණකාධිකාරීවරයාය.

උදෑසන 10.30ට පමණ ටෙන්ඩර් පත‍්‍රිකා විවෘත කිරීම සිදු විය. එක් අයෙකු රුපියල් එක්කෝටි දස ලක්‍ෂයක ලංසුවක් දමා තිබිණි. තවත් අයෙක් දමා තිබූ ලංසුව රුපියල් දෙකෝටි දස ලක්‍ෂයකි. වැඩිම ලංසුව ලැබී තිබුණේ ගාල්ල කරන්දෙණිය ප‍්‍රදේශයේ පුද්ගලයෙක් ඉදිරිපත් කළ ටෙන්ඩර් පත‍්‍රිකාවේය. එය රුපියල් දෙකෝටි හැත්තෑඅට ලක්‍ෂයක් විය. ඒ අනුව 2018 වර්ෂයේ බලංගොඩ පින්නවල අංක 02 රා තැබෑරුම පවත්වාගෙන යාම එම ලංසුව තැබූ පුද්ගලයාට ලබා දීමට ටෙන්ඩර් මණ්ඩලයේ ප‍්‍රධානී ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා තීරණය කළේය.

කීර්ති ජයසිංහ මහතා සඳහන් කරන අන්දමට ඉකුත් වසරේ මෙම රා තැබෑරුම ටෙන්ඩර් වුයේ රුපියල් එක්කෝටි තිස්තුන් ලක්‍ෂයකටය. එසේ ගණන් හිලව් බලනවිට මෙවර ටෙන්ඩරය පෙර වසරට වඩා දෙගුණයකින් පමණ වැඩි වී තිබේ.මේසා විශාල මුදලකට අලෙවි වූ රා තැබෑරුම මහා ලොකු නගරයක් මැද්දේ ඇති එකකැයි කෙනෙකුට සිතෙනු ඇත. එ්ත් පුදුමය එසේ නොවීමයි. ලංකාවේ ලොකුම මුදලට අලෙවි වූ මෙම රා තැබෑරුම පිහිටා ඇත්තේ බලංගොඩ නගරයෙනුත් කිලෝමීටර් විස්සක් පමණ එපිටින් ඇති පින්නවල ග‍්‍රාමයේය. 

පසුගිය කාලයේදී මෙම ප‍්‍රදේශයේ ස්ථිර පොලිස් ස්ථානයක් ස්ථාපනය කිරීමටද හිටපු පොලිස්පති වරයකු වූ එන්.කේ. ඉලංගකෝන් මහතා පියවර ගෙන තිබුණි. පින්නවල එම හිටපු පොලිස්පතිවරයාගේ උපන් ගම් ප‍්‍රදේශයද වේ.අනවසර මත්පැන් මෙම ප‍්‍රදේශයේ බහුලව ඇති නිසා එය වළක්වාලීමටත්, ප‍්‍රදේශයේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමටත් අවශ්‍ය බැවින් ගමට ඇති ආදරය නිසාම මෙම පොලිස් ස්ථානය එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් ඉදිකරන්නට ඇත. පොලීසිය විවෘත කරනු ලැබුවේ ඔහු විශ‍්‍රාම ගැනීමට දින කිහිපයක් තිබියදීය.පින්නවල ප‍්‍රදේශය යනු සිංහල, මෙන්ම දෙමළ ජනතාව සම සමව ජීවත් වන ප‍්‍රදේශයකි. මෙම ප‍්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන, හින්දු කෝවිල් හා කතෝලික පල්ලි රාශියක් දැක ගැනීමට හැකියාව තිබේ.විශේෂයෙන් පින්නවල ප‍්‍රදේශය විශාල හා කුඩා තේ වතු ඇති ප‍්‍රදේශයකි. මේ තේ වතු වල හා තේ කාර්මාන්තශාලාවල සේවය කරන්නේ වැඩි වශයෙන් දෙමළ කම්කරුවන්ය.

වලේබොඩවත්ත, මාරතැන්නවත්ත හා ඒ ආසන්නයේම බගවන්තලාව වතු යායද පිහිටා තිබේ.පින්නවල රා තැබෑරුම මෙරට පැරණිම රා තැබෑරුමකි. එය ආරම්භ වී ඇත්තේ විදේශකයින් මෙරට වතු පාලනය කරන සමයේය. එ් කාලයේ මුලින්ම බලංගොඩ නගරයේ රා තැබෑරුමක් ස්ථාපනය කර ඇති අතර ඉහත කී වතුවල සේවය කරන කම්කරුවන්ට බලංගොඩ නගරයට පැමිණිමේ අපහසුතාවය හේතුකොට ගෙන විදේශකයින් පින්නවල රා තැබෑරුම අරම්භ කළ බව අතීත තතු දන්නෝ කියති. අංක 01 රා තැබෑරුම ලෙස බලංගොඩ නගරයේ රා තැබෑරුමත්, අංක 02 රා තැබෑරුම ලෙස පින්නවල රා තැබෑරුමත් නම් කර ඇත්තේ එ් අනුවය.

රා තැබෑරුමේ ටෙන්ඩරය ලබා ගත් පුද්ගලයා කඩ කුලිය, විදුලි බිල්, වතුර බිල්, සේවක වැටුප්, රා සඳහා මුදල් ගෙවීම, ඒ සඳහා ප‍්‍රවාහන වියදම් ඇතුළුව මෙකී නොකී වියදම් සියල්ලමද ගෙවිය යුතුය. එ් ටෙන්ඩරය ලබාගැනීමට වැය කළ දෙකෝටි හැත්තෑ ලක්ෂයට අමතරවය.එසේ රජයට ගෙවන දෙකෝටි හැත්තෑඅට ලක්‍ෂයට අමතරව ඔහු මෙම තැබෑරුමේ ගනුදෙනුවෙන් ලාභයක්ද ලැබිය යුතුව තිබේ. ලාභය ගැන නොසලකා හැරියද ටෙන්ඩරය සඳහා වැයකළ මුදල වසරක් තුළදී උපයා ගැනීමට වුවද ඔහු අවම වශයෙන් දිනකට රුපියල් අසූතුන් දහසක්වත් රා විකිණිය යුතුය.

ලාභයක් ලබන්නට නම් දිනකට රුපියල් ලක්ෂයකවත් රා විකිණිය යුතුය. බලංගොඩ මැතිවරණ කොට්ඨාසයට ඇත්තේ රා තැබෑරුම් දෙකකි. එකක් බලංගොඩ නගරයේය. අනෙක පින්නවලය. මුලින් කී පරිදි පින්නවල බලංගොඩ නගරයෙන් ඈත එපිට පිහිට ගමකි. එවැනි ගමක රා අලෙවියෙන් මෙතරම් මුදලක් සොයා ගන්නේ කෙසේද? තවද පෝය දින හා රජයේ විශේෂ අවස්ථාවලදී තැබෑරුම වසා දැමීමට සිදු වේ.සාමාන්‍යයෙන් බලංගොඩ ප‍්‍රදේශයේ කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් අටසියයත් දහසත් අතර මුදලකි. රා බෝතලයක මිල රුපියල් එකසිය හතළිහකි. සාමාන්‍ය ගාණට පදම් වීමට නම් දිනකට රා බෝතල් තුනක්වත් පානය කළ යුතු බව රා බොන්නෝ පවසති.

ඒ අනුව දිනකට කම්කරුවෙකු රා සඳහා අඩු තරමේ රුපියල් හාරසිය විස්සක් වැය කරති. ඊට අමතරව වඬේ, මඤ්ඤොක්කා වැනි අමතර දේවල් සඳහා ද තවත් රුපියල් පනහක්වත් වැය වේ. දුම්වැටි සහ බීඩි සඳහා රුපියල් සියයක්වත් වැය කරති. ඒ අනුව දිනකට නිකරුණේ වැය කරන මුදල රුපියල් හයසියයකට ආසන්න වේ. ඉන්පසුව නිවසේ වියදමට ඉතිරි වන්නේ රුපියල් දෙතුන් සියයකි. ඒ අනුව බලන කල පින්නවල ප‍්‍රදේශයේ ගෙවල්වල දිනපතා දිගහැරෙන අඬ දබර සමනය කිරීමට නම් පින්නවලට පොලීසියක් නැතිවම බැරි බව නම් පැහැදිලි සත්‍යයකි.මේ කරුණු කාරණා මෙසේ තිබියදී රා තැබෑරුම්වල විකිණිමට ඇත්තේ නියම පොල් රා නොවන බවත් ඒවා කෘත‍්‍රිමව නිෂ්පාදනය කරන රා බවත් රා බොන්නෝ පවසති. ලංකාවටම අවශ්‍ය තරම් පොල් රා නිෂ්පාදනය කරන පළාතක් අප දන්නා තරමට ලංකාවේ නම් නැත්තේය. බලංගොඩ ප‍්‍රදේශයට අවශ්‍ය රා රැගෙන එන්නේ මීගමුව ප‍්‍රදේශයෙනි.කිතුල්ගහට ගිය මිනිහාටද නිදහසට කියන්නට දෙයක් ඇත්තේය. දිනපතා ඇඟ වෙහෙසන තමන් හැන්දෑවට රා උගුරක් බොන්නේ ඇගේ අමාරුවට බව රා බොන්නෝ කියති. රා පානයට මුදල් වියදම් කිරීම ගෙදරට බරකි. එ්ත් විකල්පයක් නැතැයි ඔවුහු කියති.

ගෙවත්තක ඇති පොල් ගසක් , කිතුල් ගසක් මැද ගෙන රා ටිකක් නිෂ්පාදනය කර ගැනීමට සහනදායී වැඩපිළිවෙළක් සලසා දෙන්නේ නම් එය තමන්ට ලොකු සහනයක් බවද මොවුහු කියති. එහෙත් බලංගොඩ සුරාබදු ස්ථානාධිපති කපිල විජේසිංහ නම් කියන්නේ රුපියල් පනහක් වැනි සුළු මුදලක් ගෙවා රා මැදීම සඳහා වාර්ෂික බලපත‍්‍රයක් ලබා ගත හැකි බවයි.

ලිපි පුවත්

ආයුර්වේදය යනු රෝග නිරෝග කිරීමේ මහා ප්‍රතිකාර විධි රාශියකින් සමන්විත රෝග නිට්‌ටාවටම සුව කිරීමේ වෛද්‍ය ක්‍රමයකි. ආයුර්වේදය යන නම ඇසූ සැණින්ම බොහෝ දෙනකුට මතකයට නැඟෙන්නේ බුද්ධදාස රජ සමයයි. ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබඳ කෙළපැමිණි දැනුමකින් සපිරි පුද්ගලයකු ලෙසත් එතුමා සතු එම දැනුම තුළින් මෙරට ජනතාව පමණක්‌ නොව සතා සිවුපාවුන් පවා සුවය ලැබූ ආකාරයත් මෙරට ජනී ජනයෝ හොඳින්ම දන්නාහ. මෙරට ආයුර්වේදයේ ස්‌වර්ණමය යුගය ලෙස අදටත් බොහෝ දෙනා පවසන්නේ බුද්ධදාස රජ සමය බවය. බුද්ධදාස රජු හා සමාන එතුමා කළ විශිෂ්ට ප්‍රතිකර්ම ක්‍රම යළි මතකයට නංවන අපේ විශිෂ්ඨ ආයුර්වේද වෛද්‍ය පරම්පරාවන් තවමත් මෙරට තුළ සිටිති. විස්‌මිත වෙදකම් තුළින් මිනිසුන් මවිත කරන අග්‍රගණ්‍ය වෛද්‍යාචාරීන් නිසා මෑත යුගයේ යළිත් ආයුර්වේදයේ දැවැන්ත පිබිදීමක්‌ රට වටෙන්ම ලියලමින් පවතී.

පාරම්පරික හා පොත්පත්වල දැනුමෙන් සන්නද්ධ මෙම වෛද්‍යවරුන් ආයුර්වේද ශාස්‌ත්‍රය අනාගතයට උරුම කරලීම සඳහා කරනු ලබන්නේ ඉතා විශිෂ්ට වූ මෙහෙවරකි. බටහිර වෛද්‍ය ක්‍රමයේ පිහිට පතා අවසන එහි ප්‍රතිකාර නොමැතිව රෝහල්වලින් නිවෙස්‌ කරා යොමු කරන ඉතා අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් මෙම ඉසිවරු බඳු වෙද මහත්වරු කරා යොමු කිරීමෙන් පසු නිසි ආයුර්වේද ප්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලබන්නේ නිවැසියන් ඥති මිත්‍රාදීන් පමණක්‌ නොව තම ජීවිතයේ අවසන් හුස්‌ම පොද පමණක්‌ දරාගෙන සිටි එම රෝගීන් පවා විස්‌මයට පත් කරලමිනි. මෙවැනි දක්‍ෂ, බුද්ධිමත් හා ආයුර්වේද වෙදකම පිළිබඳ පූර්ණ දැනුමෙන් සපිරි ඉසිවරු අතරින් මෙරට මෙන්ම පිටරටවල ද පතළ නමකි, මහඇලගමුවේ ලංකානන්ද වෙදහාමුදුරුවෝ. කුස්‌වල වෙද හාමුදුරුවෝ නමින් ප්‍රසිද්ධියට පත් මෙම වෙද හිමියන්ගෙන් ප්‍රතිකාර ලබා යළි ජීවිතය ලද පිරිස අති බහුතරයකි. රටේ කුමන හෝ පළාතකට ගියත් එහි උන්වහන්සේගෙන් ප්‍රතිකාර ලබා තම රෝග සුව කරගත් කිහිපදෙනෙක්‌ම හමුවෙති. ඒතරමටම කුස්‌වල වෙද හිමියන්ගේ ප්‍රතිකාරවල මහිමය රට තුළ ප්‍රචලිතව ඇත. විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක්‌ වන්නේ මෙම නිරෝගී සුව විඳින පුද්ගලයන් ඉතා දරුණු මාරාන්තික රෝගාබාධයන්ට ලක්‌ව උන්වහන්සේගේ ප්‍රතිකාර හමුවේ සුවය ලැබූවන් වීමය. මොළයේ රෝගාබාධ, ස්‌නායු රෝගාබාධ, දියවැඩියාව, ඇස්‌ රෝග, හදවත් රෝග, පිළිකා රෝග, ගෙඩි, දද, වණ, කුෂ්ට, ආදී ලෙස සිරුරේ හට ගන්නා ඕනෑම රෝගයකට උන්වහන්සේ සතුව ප්‍රතිකාර ඇත. ප්‍රතිකර්ම ඇත. එම සියලු සර්වාංග රෝග සුව කිරීමේ හැකියාව ඇත.

කුස්‌වල වෙද හිමියන්ගෙන් ප්‍රතිකාර ලබා උන්වහන්සේගේ විශ්මිත වෙදකම් මහිමයෙන් රෝග සුව කර ගත් අය සොයා රටවට යන අපගේ ගමනේ මෙවර නවාතැන් පොළ වූයේ මිණිපුරය නොහොත් රත්නපුරයට යාබද කුරුවිට නම් සුන්දර ප්‍රදේශයේ කඳන්ගොඩ ගල්ලෙන් විහාර මාවතේ රෝහිත රාජපක්‍ෂ මහතාගේ නිවසය.නගරයේ කර්කෂ පරිසරයෙන් මිදී තවමත් ග්‍රාමීය පරිසරය නමැති සළුපිළිවලින් සැරසී සිටින කුරුවිට ප්‍රදේශයට අප රැගත් රිය ආසන්න වෙත්ම ගතට නෙතට මෙන්ම හිතටද දැනුණේ මහත් සැනසිලිදායක සුවයකි. බැලූ බැලූ අත අහස උසට නැඟුනු තුරුලතාවෝ කඳු මුදුන්වල සිට ලතාවකට මෙන් එහෙ මෙහෙ පැද්දුනේ අප යන මග දෙපසට සිහින් සුපිරිසිදු සුළං ධාරා එක්‌කරන්නට මෙනි. පරිසරයේ සුන්දරත්වය සිත් සේ විඳගනිමින් රෝහිත රාජපක්‍ෂ මහතාගේ ප්‍රිය බිරිඳ ශ්‍යාමා මහත්මිය ලබාදුන් පෙරමග සලකුණු ඔස්‌සේ අප ඔවුන්ගේ නිවසේ ආලින්දයට ගොඩ වන විට හිරු ද තම දෛනික රාජකාරියෙන් බොහෝ වැඩ කොටසක්‌ නිමවා අවරට හැරෙමින් තිබුණි.

මඳ වේලාවක්‌ ආ ගිය තොරතුරු කතා බහ අනතුරුව ශ්‍යාමා මහත්මිය ලබාදුන් උණුම උණු කිරි කෝප්පයකින් සප්පායම් වූ අප පැමිණි කාරණය ඇරඹුවේ රෝහිත රාජපක්‍ෂ හා ප්‍රිය බිරිඳ අප අසළ අසුන් ගනිද්දීය.මීට වසර ගණනාවකට පෙර රෝහිතට තම බිරිඳ මුණගැසී තිබුණේ ඔහුගේ ව්‍යාපාරික කටයුතු අතරතුරදීය. පසුව දෙන්නා දෙමහල්ලෝ එක වහළක්‌ යටට එක්‌ වුවත් තුන් වැන්නෙක්‌ ඔවුන්ගේ කැදැල්ලට එක්‌කර ගැනීමට ඔවුන්ට වරම් නොලැබිණි. රෝහිත මැණික්‌ ව්‍යාපාරයට සම්බන්ධව තම රැකියාව කළ අතර ශ්‍යාමා මහත්මිය රාජ්‍යදැව සංස්‌ථාවේ නිලධාරිනියක්‌ ලෙස සේවය කළාය. සතුට, ප්‍රීතිය දොතින් දරාගෙන ඉතා සැනසිලිදායක ලෙස මේ යුවළගේ ජීවිතය ගලාගෙන යද්දී 2015 ජුලි 29 දින නිවසේ සතුට සැනසිල්ලට මඳ විරාමයක්‌ තැබුවේ ඔවුන් දෙදෙනා සිහිනෙන් වත් නොසිතූ ලෙසටය. 

එදා මට අද වගේ මතකයි. මහත්තයා පාරේ වැටී සිටින බවට ලැබුණු ආරංචියත් සමග මා වහ වහා ඔහු සොයා දිව ගියා. රෝගී තත්ත්වයේ සිටි ඔහුව අප රෝහල් ගත කළා. බිම ඇද වැටීමෙන් ඔහුගේ හිසේ වම්පැත්ත තැලී ගොස්‌ තිබුණා. රෝහල් ගත කරනු ලැබූ ඔහුට පියවි සිහිය තිබුණේ නැහැ.ශ්‍යාමා මහත්මිය අප හා පැවසුවේ තමන් එදා මුහුණ දුන් ඒ අමිහිරි සිද්ධියේ ආරම්භය පිළිබඳවය. සිදුවීම් පෙළ පෙළින් පෙළ ඇය අප හා තවදුරටත් පැවැසුවේ මෙසේය.මහත්තයා රෝහල් ගත කළ පසු ඔහුව පරීක්‌ෂා කර බැලූ වෛද්‍යවරු විශේෂඥ පරීක්‌ෂණ කිහිපයකටද ඔහුව යොමු කළ අතර එහිදී ඔවුන්ගේ නිගමනය වුණේ හිසේ ලේ කැටි 13 ක්‌ හටගෙන ඇති බවත් ඒවා ඉවත් කිරීම කළ යුතු බවයි. මේ වන විටත් මහත්තයාට හරියට සිහියක්‌ තිබුණේ නැහැ.

ඒ අනුව රත්නපුර රෝaහලේ සිට මහත්තයාව කොළඹ ජාතික රෝහලේ ස්‌නායු අංශයට මාරු කර යෑව්වා. සති දෙකක පමණ කාලයක්‌ කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලැබුවා. ජාතික රෝහලේදී හිසේ තිබුණු ලේ කැටි 13 ඉවත් කළා. ඊට පසු නැවතත් රත්නපුර රෝහලට මාරුකර එව්වා. කිසිම දිනක රෝහල් ගතව ප්‍රතිකාර ලබා නොතිබූ නිසාත් මෙවැනි දරුණු ඛේදවාචකයට අප ලක්‌ව නොතිබූ නිසාත් මේ කාලය තුළ මා දැඩි කැළඹීමකට පත්ව සිටියේ, නෑදෑ හිතවතුන්ද ඔවුන්ට හැකි ලෙස අපට පිහිට වුණා.රත්නපුර රෝහලට මාරුකර එවීමෙන් පසු දින කිහිපයකින් මහත්තයාව ගෙදර එව්වා. නමුත් ඔහු පූර්ණ සුවය ලබා නොතිබුණු බව පෙනෙන්නට තිබුණා. වෙනදා තිබූ ක්‍රියාශීලිභාවය සම්පූර්ණයෙන්ම පහව ගොස්‌ තිබුණා. තනිව වැඩක්‌පළක්‌ කර ගැනීමට නොහැකි තත්ත්වයක සිටියේ. ඒ වගේම ඔහුගේ මතකය අඩුවුණා. තව කෙනෙකුව අඳුරන්නේ නැති ස්‌වභාවයක්‌ තිබුණා. ඔහුගේ නම, ගම තොරතුරුද පවා අමතකව තිබුණේ.පසුව මහත්තයාව රත්නපුර රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයට යොමුකර මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා. යම් යම් වෙනස්‌වීම් ඇති වුවත් ඔහුගේ තත්ත්වයේ එතරම් සාර්ථක බවක්‌ ගුණයක්‌ දක්‌නට ලැබුණේ නැහැ. මෙලෙස වසර එකහමාරක්‌ පමණ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා. මේ කාලයේ ඔහු වැඩි ලෙසම සිටියේ නිදිමත ගතියෙන් ශරීරයේ ක්‍රියාශීලිත්වයක්‌ තිබුණේම නැහැ. ඉතා කාර්යබහුල

රැකියාවක නිරතව හොඳ ක්‍රියාශීලීත්වයකින් සිටි ඔහු මෙලෙස බලාගත් අත බලාගෙන කිසි කල්පනාවක්‌ නොමැතිව සිටින අයුරු දකින විට ඇත්තටම මට දරාගන්න බැරි වේදනාවක්‌ දැනෙනවා. නමුත් කෙසේ හෝ මහත්තයාව සුවකර ගන්නවායි දැඩි අධිෂ්ඨානය මගේ හිතෙන් පලා ගියේ නැහැ. එන ඕනෑම අවස්‌ථාවකට මුහුණ දී ඔහු වෙනුවෙන් කළ හැකි සියලුම දේ කෙසේ හෝ කරනවා කියන හැඟීමේ මම දැඩිව සිටියා.මෙලෙස නිවසට වී ප්‍රතිකාර ලබමින් සිටින විටදී මහත්තයාට දිනක්‌ ෆිට්‌ එක හැදුනා. එහිදී අප වහාම ඔහුව නැවතත් රෝහල් ගත කළා. එහිදී වෛද්‍යවරුන් පවසා සිටියේ මොළයේ වතුර පිරී ඇති බවත් සැත්කමක්‌ මගින් එය ඉවත් කළ යුතු බවයි. මෙම සැත්කම සඳහා ලක්‌ෂ 40 ක්‌ පමණ මුදලක්‌ වැය කිරීමට සිදුවනු ඇතැයිද මෙවැනි සැත්කම්වලට භාජන වූ අයගෙන් දැන ගැනීමට ලැබුණා.

මේ වන විට එතරම් මුදලක්‌ද මා සතුව තිබුණේ නැහැ. නමුත් එම සැත්කමට ඔහුව යොමු කිරීමට මට දැඩි බියක්‌ද දැණුනා. කළයුතු දෙයක්‌ නොමැතිව දස අතේ කල්පනා කරමින් සිටින විට තමයි මට මගේ කාර්යාලයේ හිතවතකුගෙන් කුස්‌වල වෙදහාමුදුරුවෝ ගැන දැන ගැනීමට ලැබුණේ. මගේ නැන්දා කෙනෙක්‌ ගෙන් හාමුදුරුවෝ පිළිබඳ තවත් තොරතුරු දැන ගන්න ලැබුණා.උන්වහන්සේ ළඟට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේ ඉතා අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් බවත් ඔවුන් ටික දිනකින්ම වෙද හාමුදුරුවන්ගේ ප්‍රතිකාරවලින් සුවය ලබන බවත් දැන ගැනීමට ලැබීමෙන් පසු මට එය මහත් අස්‌වැසිල්ලක්‌ වුණා. මම වහාම මහත්තයාවත් රැගෙන උන්වහන්සේව හමුවීමට නුවර ගියා. එහිදී මහත්තයාව පරීක්‌ෂා කර බැලූ වෙද හාමුදුරුවෝ උන්වහන්සේ ලබාදෙන ඖෂධ නිසි අයුරින් ලබා දුන්නොත් මහත්තයාව සුවකළ හැකි බව පැවසුවා. ඇත්තටම මහත්තයා අසනීප වූ දා සිට ගෙවුණු වසර දෙකක්‌ පමණ කාලය තුළ මට අසන්නට ලැබුණු ප්‍රීතිමත්ව වදන් පෙළ එය වූවා.

ඒ අනුව වෙදහාමුදුරුවෝ ප්‍රතිකාර ඇරඹුවා. 2017 පෙබරවාරි මාසයේ තමයි අප වෙද හාමුදුරුවන්ගෙන් පළමුව ප්‍රතිකාර ඇරඹුවේ. ඒ අනුව මාසය දෙක තුන ප්‍රතිකාර කරන විට ක්‍රමයෙන් මහත්තයාගේ රෝගී තත්ත්වය වෙනස්‌ වන අයුරක්‌ දිස්‌වූවා. ඇවිදීමට අපහසුව සිටි ඔහු ඇවිදින්න පටන් ගත්තා. නිදිමත ගතිය පහව ගොස්‌ පෙර තිබූ ප්‍රබෝධමත් ගතිය සිරුරට එක්‌වෙන බව පෙණුනා. තමන්ගේ නම පවා අමතකව සිටි ඔහුට යළිත් මතකය පැමිණෙමින් තිබුණා.මේ වෙනස දකින කොට මටත් දැඩි සතුටක්‌ ඇතිවුණා. ඇත්තටම ඒ ගෙවී ගිය සුන්දරත්වය යළි අපේ ගෙපැලට ගොඩ වදින අයුරක්‌ දිස්‌වුණා. මෙලෙස මාස කිහිපයක්‌ යන විට පෙර සිටි තත්ත්වයට සියයට 95 ක්‌ පමණ සුව වුණා. ඇත්තටම දැන් නම් සිතට දැනෙන්නේ කියා නිම කළ නොහැකි සතුටක්‌. දැන් ඔහු පූර්ණ සුවදායක තත්ත්වයට පත්ව සිටිනවා. දැන් ඉතිං මහත්තයලාට ඔහු සමග කතා කරන කොට ඔය කියපු කිසි රෝගි තත්ත්වයක්‌ පෙනෙන්නේ නැහැ නේද? යෑයි ඇය අපගෙන් විමසුවේ සුන්දර සිනහවකින් මුව සරසා ගනිමිනි.

ඇත්තටම ශ්‍යාමා මහත්මිය පැවසූ අයුරු කිසි රෝගී තත්ත්වයක්‌ දැන් නම් ඔහුගෙන් පෙනෙන්නට නොමැත. ඔහු කඩිසරව ඔබ මොබ යයි. අතීත සිදුවීම් හොඳ හැටි මතකයෙන් කතා කරයි. සිරුරද සාමාන්‍ය පුෂ්ඨමත් බවකින් යුක්‌තව ඇත. ඇත්තටම ශ්‍යාමා මහත්මිය කියූ අසනීප තත්ත්වයේ සිටි අයෙක්‌ බව දැන් ඔහු දකින කිසිවකුට කීමට නොහැක.රෝගී තත්ත්වයට පෙර සිටි තත්ත්වයට ඔහු නැවත පත්ව සිටියත් එදා කරපු එක්‌ දෙයක්‌ තවම ඔහු කරන්නේ නැතැ. ඒ රැකියාව වූ මැණික්‌ ව්‍යාපාර කටයුතුවලට ඔහු තවම අත ගසා නැත. ශ්‍යාමා මහත්මිය උදැසනම රැකියාවට යැම සඳහා මහ පාරට ගොස්‌ ඇරලවා ඇය නැවත සවස නිවසට පැමිණෙන විට මඟට ගොස්‌ ඇය කැඳවා ගෙන ඒම අද ඔහුගේ ප්‍රධානම දෛනික රාජකාරිය වී ඇත. පාරේ සිට ඔහුගේ නිවසට ඇති පඩිපෙළේ පඩි 52 ක්‌ ඇත. දවසට 10-12 වතාවක්‌ මෙම පඩිපෙළ තරණය කිරීම ඔහු කිසිදු අපහසුතාවකින් තොරව සිදුකරන අතර අපට ද එම පඩිපෙළ තරණය කිරීමේදී මඟදී දෙපාරක්‌ ගිමන් හරින්නට සිදු විය.

අපගේ කතාබහ අවසන්ව ඇත. රෝහිත යුවළගේ හුරතලය නොඅඩුව ලබමින් සිටින සැලී නම් බලු පැටවා අප කතාව ඇරඹු මොහොතේ සිට අවසන් වන තුරු සාවධානව සිට ඇතැම් වෙලාවට හිස වැනුවේ ශ්‍යාමා මහත්මියගේ කතාවට සාක්‌ෂි සපයන්නට මෙනි.ඇත්තටම වෙද හාමුදරුවෝ නොසිටියා නම් මහත්තයාට මොනවා වෙයිද කියා සිතා ගන්නවත් බැහැ. උන්වහන්සේගේ ආයුර්වේද වෙදකමේ බලමහිමයෙන් මේ කරන සේවය අති විශිෂ්ඨයි. ඇත්තටම අප වගේම රටේ බොහෝ පිරිසකට උන්වහන්සේ නැවත නිරෝගී සුවය මෙන්ම සතුටද ලබා දී තිබෙනවා. උන්වහන්සේ මේ කරන පින්ම ඇති මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න.අවසන් වශයෙන් ශ්‍යාමා මහත්මිය අප සමඟ පැවැසුවාය.

අවට පරිසරය අන්ධකාරයේ හිමි හිමීට ගිලෙමින් ඇත. 61 වියේ සිටින රෝහිත රාජපක්‌ෂ සහ ශ්‍යාමා යුවළට සතුට පිරි දිවියකට සුබ පතා අමාරුවෙන් නැගි පඩි 52 බැස රියට ගොඩවූ අතර තවත් පැය දෙකක්‌ ගෙවුණු පසු ගහකොළ පිරුණු සුන්දර පරිසරයෙන් මිදී නැවතත් කොන්ක්‍රීට්‌ වනාත්තරයට පැමිණ තිබුණි.
ඇත්තටම වෙද හාමුදරුවෝ නොසිටියා නම් රෝහිතට මොනවා වෙයිද කියා සිතා ගන්නවත් බැහැ. උන්වහන්සේගේ ආයුර්වේද වෙදකමේ බලමහිමයෙන් මේ කරන සේවය අති විශිෂ්ඨයි. ඇත්තටම අප වගේම රටේ බොහෝ පිරිසකට උන්වහන්සේ නැවත නිරෝගී සුවය මෙන්ම සතුටද ලබා දී තිබෙනවා. උන්වහන්සේ මේ කරන පින්ම ඇති මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න.

උපුටාගැනීම – දිවයින

ලිපි පුවත්

මෙයට අවුරුදු 80 කට පමණ පෙර එනම් 1935 දී පමණ කොළඹ ජීවත් වූ ව්‍යාපාරික පවුලක්‌ පෙට්‍රල් ෂෙඩ් එකක්‌ පටන් ගත්හ. ඔවුන් එය පටන් ගත්තේ එතෙක්‌ ඉතා සුළුවෙන් කරමින් සිටි ආනයන අපනයන වෙළෙඳාම සහ වතුකරයට බඩු සැපයීමේ ව්‍යාපාරය පුළුල් කරනු පිණිසය. එක්‌දහස්‌ නවසිය තිස්‌ ගණන්වලදී මුළු ලංකාවේම තිබුණේ පෙට්‍රල් ෂෙඩ් 10 කටත් අඩු ගණනකි. ෂෙඩ් එකේ අයිතිකරු රිචඩ් පීරිස්‌ ය. හවුල්කරුවෝ ඔහුගේ පවුලේ අය ය. එයින් වසර 3 ක්‌ ගත වන තැන රිචඩ් පීරිස්‌ ගේ ව්‍යාපාරයේ ආදායම පන්සිය ගුණයකින් වැඩි විය. වහාම තම ව්‍යාපාරය සීමාසහිත ව්‍යාපාරයක්‌ බවට පරිවර්තනය කළ ඔහු රිචඩ් පීරිස්‌ සහ සමාගම යනුවෙන් එයට නම් තැබීය. ඊළඟ අවුරුදු 70 තුළ රිචඩ් පීරිස්‌ සමාගම මෙරට රබර් සහ ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයන් බවට පත් වූහ. නව සහස්‍රය එළැඹීමත් සමගම රිචඩ් පීරිස්‌ සමාගම කොටස්‌ වෙළෙඳපොළට කොටස්‌ නිකුත් කරමින් පොදු සමාගමක්‌ (Public Ltd Company) බවට පත් විය. තවත් ස්‌වල්ප කලකට පසු, එනම් වසර 2002 හෝ ඊට ආසන්න වසරක දිනකදී පීරිස්‌ පවුලේ අය උදේ අවදි වී බලන විට රිචඩ් පීරිස්‌ සමාගම් අයිතිකාරයා බවට සේන යද්දෙහිගේ නමැති අප්‍රකට ව්‍යාපාරිකයෙක්‌ පත්ව සිටියේය. ඔහු එසේ කළේ රුපියල් බිලියන කිහිපයක්‌ වැය කර කොළඹ කොටස්‌ වෙළෙඳපොළෙන් රිචඩ් පීරිස්‌ සමාගමට අයත් බහුතර කොටස්‌ මිලට ගැනීමෙනි. මෙය නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ කරන ලද පළමුවන විශාලතම ව්‍යාපාරික මිලට ගැනීම වෙයි.

මේ හා සමාන සිද්ධියක්‌ පසුගිය සතියේදී සිදුවිය. ඒ වූ කලී කීර්තිමත් ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගම මිලට ගැනීමය. ඔහු ඒ සඳහා රුපියල් බිලියන 11 ක්‌ ගෙව්වේය. ධම්මික එය කළේ තමා සභාපතිත්වය දරන හේලීස්‌ සමාගම හරහා ය. කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ තිබූ සිංගර් සමාගම් කොටස්‌ මිලියන 231.8 ක්‌ කොටසක්‌ රුපියල් 47 බැගින් ඔහු මිලට ගෙන තිබිණ. එය සිංගර් සමාගමේ කොටස්‌වලින් 61.37% ක ප්‍රමාණයකි. ඉදිරි මාස 12 තුළ ඔහු එම සමාගමේ තවත් කොටස්‌ මිලියන 35 ක්‌ මිලදී ගැනීමට ගිවිස ගෙන ඇත. සිංගර් ශ්‍රී ලංකා සමාගම යනු ඉතා ස්‌ථාවර අනාගතයක්‌ සහ ගමන් මඟක්‌ ඇති ව්‍යාපාරයකි. මෙහි ආදායම හැම අවුරුද්දකම ඉහළ නගී. ගිය වසරේ මුල් හය මාසයේ ආදායම පෙර වසරට වඩා 13.6% ක්‌ ඉදිරියට ගියේය. මේ කොම්පැනිය හදන ඕනෑම දෙයක්‌ විකිණෙයි. ධම්මික පෙරේරා යනු විකිණෙනතුරු බලා නොසිට කෙසේ හෝ විකුණන ව්‍යාපාරිකයෙකි.

අයිසැක්‌ මෙරිට්‌ සිංගර් 
සිංගර් සමාගමේ සමාරම්භකයා 1811 දී ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නගරයේ උපන් අයිසැක්‌ මෙරිට්‌ සිංගර් ය. ඔහු වෘත්තීය නළුවෙකි. නිව්යෝර්ක්‌ ප්‍රදේශයට අයත් පිට්‌ස්‌ටවුන් නගරයෙහි ඔහු විසූ නිවස අදටත් ඇත. ඉඳිකටුවට නූල දමා අතේ ඇඳුම් මසන ගැහැනුන් දෙස බලා සිටි ඔහු මහන යන්ත්‍රයක්‌ හදන ආකාරය ගැන නිතර කල්පනා කළ ද වැඩේ පත්තු වූයේ නැත. 1839 දී ඔහු ගල් හිල් කරන මැෂිමක්‌ හදා එයට පේටන්ට්‌ බලපත්‍රය ගෙන එය ඩොලර් 2000 කට වික්‌කේය. ඩොලර් 2000 ක්‌ යනු නූතනයේදී ඩොලර් 45000 ක්‌ හා සමානය. මේ අතර ලෙරෝ සහ බ්ලොට්‌ගෙට්‌ නමැති දෙදෙනාත් මහන යන්ත්‍රයක්‌ නිපදවුවද එයින් මහනවාට වඩා, සිදුවූයේ කැඩෙන යන්ත්‍රය හැදීමට කාලය වැය කිරීමය. මේ මැෂිමේ මූලධර්ම දෙස බලාගෙන අයිසැක්‌ සිංගර් ලෙහෙසි මහන මැෂිමක්‌ නිර්මාණය කළේය. 1851 දී ඒ සඳහා පේටන්ට්‌ බලපත ඔහු ලබා ගත්තේය. මෙය ලොව පළමුවන ප්‍රායෝගික මහන යනAත්‍රයයි. විනාඩියකට මැහුම් පහර 900 ක්‌ ගැසීමට එයින් හැකි විය.

 

ලොව පළමුවන සිංගර් මහන මැෂිම
1865 දී සිංගර්ගේ පේටන්ට්‌ බලපත්‍රය අභියෝගයට ලක්‌ කරමින් මහන යන්ත්‍ර නිර්මාපකයන් තිදෙනෙක්‌ නඩු මගට පිවිසුනාහ. ඔවුන් කියා සිටියේ සිංගර් ඔවුන්ගේ මැෂිම බලාගෙන මහන මැෂිමක්‌ තැනූ බවය. අන්තිමේදී ගහ මරා ගැනීමකින් තොරව ලාභය බෙදාගන්නටත්, සිංගර්ට මැෂින් හදන්නට උදව් කරන්නටත් ඔවුහු තීන්දු කළහ. මේ අනුව අයිසැක්‌ සිංගර් අයි. එම්. සිංගර් සහ සමාගම යනුවෙන් සමාගමක්‌ පටන් ගෙන මහන මැෂින් හදන්නට විය. එකල එනම් 1856 දී මේ මැෂිමක්‌ විකුණන ලද්දේ ඩොලර් 100 කටය. පසුව නිෂ්පාදනය ඉහළ යැමත් සමඟ එහි මිල ඩොලර් 10 තෙක්‌ අඩු විය. මේ අතර සිංගර්ගේ කොටස්‌කරුවා වූ ඊ. ඩී. ක්‌ලාක්‌ නමැත්තා මහන යන්ත්‍ර ගෙවීමේ ක්‍රමයට විකිණීම හඳුන්වා දුන්නේය. සිංගර් සමාගම අදටත් මෙය මෙසේම සිදු කරයි. තවත් වසර කිහිපයකට පසු සිංගර් ස්‌කොට්‌ලන්තය සහ බ්‍රසීලය යන රටවල මහන යන්ත්‍ර සාප්පු තුනක්‌ ඇරියේය.

කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරාගේ කතාව මේ කතන්දර දෙකටම වඩා වෙනස්‌ ය. ඔහු ව්‍යාපාරික පවුලකින් පැවත එන්නේ නැත. ඔහු ජීවිතය පටන් ගන්නා විට ඔහුට කිසිදු සමාජ සම්බන්ධතාවක්‌ තිබුණේ ද නැත. අවුරුදු 19 දී කොළඹ පදිංචියට එන විට ඔහුගේ සාක්‌කුවේ තිබුණේ රුපියල් 500 ක්‌ පමණි. එයින් අවුරුදු 15 කට පසු, එනම් වයස අවුරුදු 39 වන විට ඔහුගේ ආයෝජනයන් අතර විදුලි බලාගාර, බැංකු, කැසිනෝ ශාලා, හෝටල්, නැව් යනාදිය විය. එදා ඔහුගේ සාක්‌කුවේ තිබූ රුපියල් 500 රුපියල් බිලියන රැසක්‌ බවට පත්ව තිබිණි. කොළඹ තිබෙන කැසිනෝ ශාලා අතුරින් සාර්ථකම ක්‌ලබ් තුන ඔහුට අයත් ය. ඔහු සතු නැව්වලට ඕනෑ තරම් බිස්‌නස්‌ ඇත. NDB බැංකුවේ කොටස්‌වලින් 9% ක්‌ මිලට ගත් ඔහු පසු කාලයේදී එහි ලොකුම කොටස්‌ හිමියා බවට පත්විය. පෑන් ඒෂියා බැංකුවේ කොටස්‌වලින් 10% ක්‌ මිලට ගත් ඔහු පසු කාලයේදී එහි ලොකුම කොටස්‌ හිමියා බවට පත්විය. රෝයල් සෙරමික්‌ සමාගමේ කොටස්‌වලින් 29 ක්‌ මිලට ගත් ඔහු එල්. බී. ෆිනෑන්ස්‌ සමාගමේ කොටස්‌වලින් 20% ක්‌ ලබාගෙන පසුව එහි අයිතිකරු බවට පත්විය. ඔහු ව්‍යාපාරිකයකු වශයෙන් කොතරම් ස්‌ථාවර වීද යත් මෙයට වසර 15 කට පෙර ඔහු සෙලාන් බැංකුවෙන් රුපියල් මිලියන 60 ක ණයක්‌ ඉල්ලූ විට ලලිත් කොතලාවල මැදිහත් වී ඔහුට රුපියල් මිලියන 240 ක්‌ ලබා දුන්නේය. සම්පත් බැංකුවෙන් ඔහු රුපියල් මිලියන 50 ක්‌ ණයට ඉල්ලූ විට බැංකුව ඔහුට රුපියල් මිලියන 150 ක්‌ දුන්නේය.

ධම්මික පෙරේරා අවුරුදු 19 දී එනම් 1987 දී කොළඹ එන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු ඩිප්ලෝමාවක්‌ සඳහා ඉගෙන ගැනීමටය. දිනක්‌ ඔහුගේ සපත්තුවක්‌ කැඩින. ඔහු ගමේ ගිය විට පුතාගේ කැඩුණු සපත්තුව දුටු මව අලුත් සපත්තු කුට්‌ටමක්‌ මිලට ගැනීම සඳහා රුපියල් 500 ක්‌ දුන්නාය. එහෙත් ඔහුට සපත්තු ගැනීමට බැරි විය. ඒ 88 භීෂණය හටගත් බැවිනි. ධම්මික මේ වන විට නැවතී සිටියේ පෑලියගොඩය. භීෂණය නිසා විශ්වවිද්‍යාල වසා දැමූ බැවින් පෑලියගොඩ බෝඩිමට වී කල්පනා කරමින් සිටි ධම්මිකට ඉස්‌සරහ පාරේ වෙළෙඳාම් කරන පේමන්ට්‌ වෙළෙන්දකු හමුවිය. ධම්මිකගෙන් ණයට රුපියල් 500 ක්‌ ඉල්ලූ ඔහු එය බිස්‌නස්‌ එකට යොදා හැම හවසකම ඉන් ලැබෙන ලාභයෙන් අඩක්‌ දෙන්නෙමැයි පොරොන්දු විය.පසුගිය සතියේදී ඔහු සිංගර් සමාගම මිලට ගන්නේ ඒ රුපියල් පන්සියයේ තවත් ප්‍රතිඵලයක්‌ ලෙසයි.

ලිපි පුවත්

මේ දිනවල මාගේ සැප දුක කෙසේදැයි අසන්නට කවුරුවත් නැත. ‘උදේට කාල ද ඉන්නේ?’ යැයි කවුරුවත් අසන්නේ නැත. වියදමට සල්ලි තියෙනවා දැයි කවුරුත් අසා නැත. සියල්ල හොඳින් දැයි අසනා කෙනෙකු නැත. ඒත් ”බඳින්නේ කවද්ද? කේක් කෑල්ලක් කන්න වෙන්නේ කවද්ද? දැන් වයසත් හරි නේද? කපල් ෆොටෝ එකක් දාන්නේ කවද්ද? පිළිවෙළක් වෙන්න අදහසක් නැද්ද? හැමදාම ඔහොම ඉඳලා බෑ නේද? මේ ගෙදර තනියම ඉන්නේ කොහොමද? වෙඩින් එක අපටත් කියනවද? දැන් එක්කෙනෙක් හොයාගෙනද ඉන්නේ? හොඳ කෙනෙක් බලන්නද?” වැනි ම`ගුල් ප‍්‍රශ්න අසනා පිරිස එකතු කළහොත් නුවර පෙරහරටත් වඩා දිගු වනු ඇත. ගාලූ මුවදොර පිටිය පුරවන්නට හැකි වනු ඇත. ඒ තරම් මාගේ විවාහය පිළිබඳව මටත් වඩා උනන්දු වෙන්නන් බොහෝය.

මාගේ විවාහය කෙසේ වෙතත් ලංකාවේ දැන් ම`ගුල් කෑමද විලාසිතාවකි. ණය වී හෝ ගිතෙල් කන්න යැයි කියූ චාර්වකවාදීන් මෙන් ණය වී හෝ ම`ගුල් කන්න යැයි පවසන්නට සිදු වී ඇත. නිවාස ණය, වාහන ණය, කර්මාන්ත ණය, අධ්‍යාපන ණය අතරට විවාහ ණය යනුවෙන්ද එකතු වී ඇත්තේ ද එබැවිනි. විවාහ උත්සවයක් සඳහා සාමන්‍යයෙන් වසරක පමණ කාලයක සිට සූදානම් වීම සිදු කරයි. පළමුව නැකත් බලා සුබ දිනයක් යොදා ගැනේ. ඉන්පසු යුද්ධය ආරම්භ වේ. ප‍්‍රථමයෙන් මනමාලිය ආහාර පාලනය කිරීමට පටන් ගනී. සමේ පැහැය වැඩිදියුණු කර ගැනීමට උනන්දු වේ. දැන් විවාහයන් සඳහා නොයෙකුත් තේමා theme ඇති බැවින් එය තීරණය කර ගත යුතුය.

ඉන්පසු මංගල ඇඳුම් සකසන්නට කෙනෙකු සොයා ගෙන එය ස්ථීර කර ගත යුතුය. හෝටලය සහ උත්සව ශාලාව වෙන්කර ගත යුතුය. මංගල රාත‍්‍රිය ගත කිරීමට තැනක් සොයා වෙන්කර ගත යුතුය. මනාලයාගේ යහළුවා Best man මනාලියගේ යෙහෙළිය Bridesmaid තෝරාගෙන ඔවුන්ගේ ඇඳුම් සකසා ගත යුතුය. මල් කුමරා Page boy සහ මල් කුමරිය flower girl තෝරා ගෙන ඔවුන්ගේ ඇඳුම් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ආරාධිතයන්ගේ ලැයිස්තුවක් සකස් කළ යුතුය. වෘත්තීය මට්ටමේ ඡුායාරූප ශිල්පියකු සහ වීඩියෝ කීරීමට දක්ෂ අයකු තෝරා ගෙන දින වෙන් කළ යුතුය. මංගල ආරාධනා කාඞ්පත් සකසා ගත යුතුය. කේක් දැමීමට පෙට්ටි සකසාගත යුතුය. සංගීත කණ්ඩායමක්, නැටුම් කණ්ඩායමක්,DJ කරන අයකු තෝරා ගෙන දින වෙන් කළ යුතුය. අෂ්ඨක කියන පුද්ගලයකු තෝරා ගෙන දින වෙන් කර ගත යුතුය. උඩරට සම්ප‍්‍රදායට විවාහය සිදු කරන්නේ නම් ඒ සඳහා වෙන් වූ ඇඳුම් සහ සම්ප‍්‍රදායන් ඇත. මධු සමයට පිටවීම Going away සඳහා වෙනම ඇඳුම් ද දෙවැනි ගමන සඳහා වෙනම ඇඳුම් ද තෝරා මිලදී ගත යුතුය. ස්වර්ණාභරණ නිමවා හෝ මිලදී ගත යුතුය. තේමාවට සරිලන ආකාරයෙන් මල් සකසන්නකු තෝරා ගත යුතුය. මනාල යුවළගේ නර්තනය පුහුණු කිරීමට පළපුරුදු අයකු සොයා ගත යුතුය. මෙම චාරිත‍්‍ර විවාහවන්නන්ගේ ආගම අනුව වෙනස් වීමට පුළුවන.

ඉන් පසු ආරම්භ වන්නේ ඉඟි පළ කිරීමයි. ජෝඩුව විවාහ වීමට ආසන්න බව ලොවට හඬගා කියන්නේ pree shoot එක මගින්ය. මෙය ලාංකේය විවාහ සංස්කෘතියට මෑතකදී එක්වූ අංගයකි. විවිධ වර්ණ නානාප‍්‍රකාර ඇඳුම් ඇඟලා ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඞ් එකේ, ගාලූ කොටුවේ, නිදහස් චතුරස‍්‍රය අවට, දියත උයනේ, කුඹුරක, පන්සලක, පැරණි ගොඩනැගිල්ලක, රේල් පාරක, දිය ඇල්ලක වැනි තැනකට ගොස් ඇඹරිලා, නැවිලා, වඩාගෙන, මුහුණෙන් මුහුණ සිපගෙන ඉන්න ජායාරූප සමාජ ජාලාවලට එකතු කරල ජෝඩුව ‘ලව් කරේ මෙහෙමයි ඒක හරියට සුරංගනා කතාවක් වගේ නේද?’ කියලා ලෝකෙට පෙන්නන එක තමයි අලූත්ම ක‍්‍රමේ. හැබෑ ජීවිතේ මරාගන්න ජෝඩුත් pree shoot එකේ ලස්සනට ඉන්නවා දැක්කහම ඕන කෙනෙක්ට බඳින්න හිතෙනවා.

ඉන්පසු ඇත්තේ ආරාධනා ලැබුණ ඇත්තන්ගේ කොටසයි. ‘අපටත් වෙඩින් එක කිව්වනේ, ඇඳන් යන්න එකකුත් නැ.. තව ගාණකට කෙළවෙනවා.. අනේ මන්දා මෙහෙම ගියොත් තව රස්සාවක් කරන්න වෙයි… ලොකුවට ගන්න නිසා ණයවෙලා වෙන්න ඇති.. නැත්තම් උන්ට කොහෙද ඔච්චර සල්ලියක්, මුන්ගේ සෝබන වැඩ.ඉන්පසු ඇත්තේ දුෂ්කර ක‍්‍රියා කිරීමයි. මනාලිය පාන්දර දෙකේ සිට ලෑස්ති වීමට පටන් ගනී. සියල්ල සූදානම් වූ පසු ඡුායාරූප ශිල්පියා විසින් මනාල යුවළ රූකඩ මෙන් හසුරුවනු ලබයි. උඩ බලන, ඈත බලන, කල්පනා කරන, බුදුන් වඳින, හිනා වෙන, සිපගන්න, පොඩි එවුන් මෙන් උඩ පනින පින්තූර ගනු ලබයි.

විවාහයට ආරාධනා ලැබූ පිරිසේ කාන්තාවන් නැරඹීම විනෝදජනකය. ඔවුන්ගේ මුහුණු අතිශය සුදුයි. අත් පා වෙන පාටකි. හෙට්ටිවීදියේ ඇති රත්තරන්වලටත් වඩා වැඩි ප‍්‍රමාණයක් ඔවුන් සතුව ඇත. ඇවිදින විට නැගෙන ශබ්දය නවම් පෙරහැරේ ඇතා සිහිගන්වයි. ටික වෙලාවක් ගිය පසු ඇහි පිහාටුවල ගැල් වූ මස්කාරා මුහුණ දිගේ බේරීමට පටන් ගනී. තොල් සායම් නිකටේ සහ දත්වල ඇත. ඉන්පසු අඩුපාඩු කීමේ වාරයයි.මනාලිගේ සාරිය කොටයි, කවුද දන්නේ නෑ ඇන්දුවේ. කොල්ල වයසක පාටයි, බොකේ එක ඇදයි. නෑදෑයෝ ගොඬේ පාටයි. කෑමවලට ලූණු නෑ…

පිරිමි මීට දෙවැනි නැත. දුන් මුදල කවර් කිරීමට බොයි. මාස තුනකින් කෑම කා නොමැති ලෙස පිඟාන් පුරවති. වීදුරුව ඔළුවේ තබාගෙන නටන්නට යති. ඇෙඟ් වැදුණ විට ඇද වැටෙති. ඇහැට කනට පේන කාන්තාවන් සමග බලෙන් නැටීමට යයි. විවාහ උත්සවයකදී මෙවැනි බහුරූ කෝලම් රාශියක් දැක ගත හැකිය.මට දැනෙනා ලෙස නූතන විවාහයන් තනිකරම රඟපෑමකි. ජීවිතයට දැක නැති පිරිසකට කන්න බොන්න දෙන්න කරන උත්සාහයකි. සමාජයේ ඉහළින් වැජඹෙන බව පෙන්වීමට කරන උත්සාහයකි. කෙසේ වුවත් නූතන විවාහයන් නිසා මනාල යුවළට සිදුවන යහපතක් හෝ ආශීර්වාදයක් නැත.නමුත් එමගින් රටේ බිහිවී ඇති රැකියා අවස්ථා ගණනද අඩු තක්සේරුවකට ලක් කළ නොහැකිය.