දේශීය පුවත්

කිරිපිටි මිල වැඩිකිරීමට මෙතෙක් අවසර නොදීම නිසා කිරිපිටි තොග අලුතින්ඇ ණවුම් කිරීම නතර කර ඇති බව කිරිපිටි සමාගම් ආරංචි මාර්ගවලින් පැවසේ. ඉකුත් සතියේ සිට කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බවත්මේ නිසා මේ මාසයේ අවසානයේදී පමණ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ඇතිවීමට බොහෝදුරට ඉඩ ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම හා ඩොලරයේ අගය වැඩිවීම හේතුවෙන් තම සමාගම් පවත්වාගෙන යාමේදී සහ දැනට පවතින මිලට කිරිපිටි ලබාදීමේදී දුෂ්කරතා හා ගැටලු මතුවී ඇතැයි පවසන සමාගම් මේ නිසා කිරිපිටි කිලෝවක මිල රුපියල් සියයකින් වැඩිකිරීමට අවසර ලබාදෙන ලෙස ජීවන වියදම් කමිටුවෙන් හා පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා ඇතැයිද සඳහන් කරයි.

දැනට වෙළෙඳපොළේ තිබෙන කිරිපිටි තොග සති දෙක තුනකට පමණ ප්‍රමාණවත් බව පෙන්වාදෙන කිරිපිටි සමාගම් කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇතැයිද පවසයි.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මෙටි්‍රක් ටොන් එකක මිල ඇමරිකා ඩොලර් 3250-3350ක් වශයෙන් පවතින බවත් ලබන ජූනි මාසය වනවිට ඩොලර් 3400- 3500 දක්වා ඉහළ යන බව පෙන්වා දෙන සමාගම් අඩුම තරමින් කිරිපිටි කිලෝවක මිල රුපියල් 75 කින්වත් වැඩිකිරීමට ඉඩ දුනහොත් පාඩුව අවම කරගත හැකි බවද කියා සිටී.

 

දේශීය පුවත්

ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු අද (29 ) චීන බෞද්ධ දූත පිරිසක් විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහනසේලාට රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක) බදු මුදලක් නියම කිරීම නිසා එම පිලිම බෙදා දිමට නොහැකි වීම සම්බන්ධයෙන් සංඝ සම්මේලනය ඇතුළු මහා සංඝරත්නයේ දැඩි විරෝධය එල්ල වී තිබේ.

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ මෙසේ පැවසුහ. අද වෙසක් පෝය දවසේ චීන දේශයෙන් මගේ ඉල්ලීමකට අනුව දහසක් මහා සංඝරත්නය පිරිසක් හට දානය පූජා කරන්න සැලසුම් කරලා තිබෙන වෙලාවක, ඒ අයගෙන් මං ඉල්ලීමක් කළා අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා ලංකාව පුරා විසිරිලා ඉන්න වැඩ වෙසෙන මහා සංඝරත්නය උදෙසා බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලබා දෙන්න කියා, ඔවුන් එය ලබා දෙන්නට කැමති වුණා ඉන්පසු මා එවන්න කියා සිටියා. ඒවාගේම මෙරට තිබෙන පිරිත් සූත්‍ර එරටට රැගෙන ගොස් නව තාක්ෂණය ඔස්සේ පටිගත කර කැසට් යන්ත්‍ර අද මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට බෙදා දෙන්න සූදානම් කර තිබුණා.

ඉතින් මේ ලිපි ලේඛන ඔක්කොම අරගෙන ගිහින් කතාබහ කරලා බැලුවට පස්සේ චක්‍රලේඛයක් කියලා එකක් ඉදිරිපත් කළා, ඉතින් මේ චක්‍රලේඛයෙන් කියන්නේ බුදු පිළිම නිදහස් කරන්න බෑ කියලා. මේවාට ලක්ෂ තිස් දෙකක්, මිලියන තුනක් ඉල්ලුවා බදු, ඉතින් මේ චීනෙන් ආපු දූත පිරිසත් බොහොම කණගාටුවට පත් වුණා මේ වගේ අවාසනාවන්ත තත්වයක් මේ ලංකාවෙ තියෙන්නෙ කියලා. ඒ අය මේ රටේ විතරක් නෙවේ ඉන්දියාව, භූතානය, නේපාලය මෙවැනි ප්‍රතිමා පූජා කර තිබෙනවා. ඒ රටවල මෙවැනි භයානක තත්වයකට මුහුණ දී නොමැති බවයි එම දූත පිරිස පැවසුවේ. ඒ අයගේ හදවත් කම්පා වුණා මේ පුවත ඇහුවට පස්සේ.

ඉතින් අද මේ ලෝකෙම වෙසක් මංගල්‍යය සමරනවා. ඒ වගේම අපේ රටේත් සමරනවා. ජනාධිපති අගමැති එක තැනකට වෙලා වෙසක් උත්සවය සමරනවා. ඉතින් මෙය හදවතට එකඟවද මේ වගේ දේවල් කරන්නේ, ලෝකය රවට්ටන්නද, ලංකාවේ මිනිස්සු රවට්ටන්නද මේවා කරන්නේ. මම කියනවා කතිරයෙන් දිනලා පාර්ලිමේන්තුවට යන අයගේ වාහන වලටත් මේ බද්ද ගහන්න ඕනේ කියලා, තවත් මංකොල්ල කන ඒවා බොහොම රාශියක් තිබෙනවා, ඒවාට චක්‍රලේඛන නැද්ද? හොරෙන් මංකොල්ල කෑවේ කොහොමද කියලා තමයි අපි අහන්නේ. වැඩමවන ලද සංඝයාවහන්සේ දහස් නමක් පමණ මෙම ස්ථානයේ වැඩසිටිනවා. උන්වහන්සේලාගේ බලවත් විරෝධය රජයට පළකර සිටිනවා මෙවැනි අදූරදර්ශී නායකයන් රටට උවමනා නෑ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියෝ මෙසේ කීහ.අද මේ වෙසක් දිනයේ ඓතිහාසික මිහින්තලා පුදබිම තුළ චීන දානපතියන් විසින් බෙදා දීමට නියමිත බුද්ධ ප්‍රතිමා, සෑම විහාරස්ථානයකටම පරිත්‍යාග කිරීමට, මිහින්තලා රජමහා විහාරාධිපති අති ගෞරවනීය ධම්මරතන නායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විධිවිධාන යොදා තිබුණා.

ඉතින් බෞද්ධ රටක් වන මේ ශ්‍රී ලංකාදීපයේ රටේ බෞද්ධ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, ඉන්න මේ බෞද්ධ දීපයේ, හැම තැනම ජාතික වෙසක් උත්සවය සමරන මේ උත්තරීතර අවස්ථාවේ දී ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලාට ලක්ෂ 32ක පමණ බදු මුදලක්, අය කරන්න රජය තීරණය කර තිබෙනවා. ඒ නිසා අද බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිදහස් කිරීමට හැකියාවක් ලැබී නැහැ.

අද මෙතන ලංකාවේ නොයෙක් ප්‍රදේශ වල පිරිවෙන්වලින්, විද්‍යායතන වලින්, පන්සල් වලින් වැඩම කළ හාමුදුරුවන් වහන්සේලා සිටිනවා. උන් වහන්සේලා සියලු දෙනාමත්, මේ රැස්ව සිටින බෞද්ධ මහජනතාවත් අපිත් දැඩි සේ විරෝධය පලකර සිටිනවා, බෞද්ධ රටක මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිද්ධ වෙනවා නම් එය හෙළා දැකිය යුතු කාරණයක්, මොකද බුදු පිළිම ගෙන්නන්නේ, වෙළඳාමට නොවෙයි. බුදුන්ට වන්දනාමාන කිරීමටයි. අසරණ හාමුදුරුවරුන්ට දුප්පත් හාමුදුරුවරුන්ට පන්සල්වලට මේ වෙසක් පොහෝ දවසේ ඒ පිළිම වහන්සේලා බෙදාදීමට තමයි චීන බෞද්ධ පිරිස සූදානම් වෙලා සිටියේ.

ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වෙල ශාසන රතන, හිමියයෝ මෙසේ පැවසුහ.අද වෙසක් පුන් පොහෝදා ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉමහත් ආධ්‍යාත්මික මානසික සුවක් ලබා දෙන දවසක්. අපට එක පැත්තකින් දිස්වෙන්නේ එදා ලොව්තුරා අමාමෑණි බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මේ උතුම් පුණ්‍ය භූමියට වැඩමවාගෙන ආ ඓතිහාසික මිහින්තලේ ස්ථානයයි.

ගෞරවනීය ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ උතුම් පුණ්‍ය භූමිය තුළ සිදු කෙරෙන පළමු පින්කම නොවේ මෙය. චීන බෞද්ධ ජනතාව ඒක රාශි කරගෙන නිසි කළමනාකාරිත්වයක් ඇතිව ඉතාමත් ආධ්‍යාත්මිකව මේ උතුම් පින්කම කරනවා මෙතැනට වැඩම කර වදාළ සිටින සියලුම ස්වාමීන් වහන්සේලා අතරින් 90% පමණ උතුරු මැද පළාතෙ දුෂ්කර ප්‍රදේශවල වැඩසිටින ස්වාමින්වහන්සේලා.

දේශීය පුවත්

කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබා දී ඇත.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට කී. ගෑ. 12.5 බර ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 245 කින් ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරිය අදාල සමාගම් වෙත අවසර දී ඇත.

ඒ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙනි. ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1676කි.

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245 කින් ඉහළ යන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගමේ අධ්‍යක්ෂ අලෙවි හා ආයතන සම්බධතා චමින්ද එදිරිවික්‍රම මහතා ප්‍රකාශ කළේ මේ සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතියද ලැබී ඇති බවයි.

 

 

දේශීය පුවත්

ඉදිරි පැය 06ක පමණ කාලය තුළ දී පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජනතාවට මෙම අනතුරු ඇගවීම සිදු කර තිබේ.

අද(26දා) පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු හා ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70 – 80ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇති විය හැකි බව දැනුම් දේ.

සමහර ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක වැසි ඇතිවිය හැකි බවද ඔවුහු පවසති.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල විශේෂ නිවේදනය පහතින්

දේශීය පුවත්

ඉංග්‍රීසීන් කන්ද උඩරටට ප්‍රවේශවීමට පැවති බාධකය ඉවත් කර ගලක් විද්ද ඓතිහාසික ස්ථානය ලෙස සැලකෙන කඩුගන්නාව ගල් බිංගය කඩා වැටීමේ අවදානමක් නිසා පෙරේදා ( 24) සිට මුක්කු ගසා එම ස්ථානයේ නැරඹීම පවා තහනම් කර පාර වසන ලද බවට පුවරුවක්ද සවි කරන්නට යෙදුණි.

පසුගිය සතියේ මෙම ස්ථානයේ පැල්මක් ඇති වූ පසු කඩුගන්නාව විධායක ඉංජිනේරු කාර්යාලය පෙරේදා 23 සිට එම ස්ථානයේ වාහන ගමනාගමනය නවතා දමන ලද අතර එම ඉරි තැලීම ඇති ස්ථානයේ මුක්කු යොදා එහි පරික්ෂණ කටයුතු ආරම්භ කරන ලදි.

මෙම ස්ථානය මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් පසුගිය 2017 ජුනි මස සිට මිලියන 24 යොදවා සංවර්ධනය සිදුකරමින් පිළිසකර වැඩ සිදු කරමින් පැවති අතර ඒ වැඩ තවම අවසන් නැත.

දේශීය පුවත්

කැකිරි තොගයක්‌ අලෙවි කර ගැනීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයට රැගෙන ගිය ගොවියකුට මුහුණ පෑමට සිදුවූ අකරතැබ්බයක්‌ ගැන ඉබ්බන්කටුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සමගි මාවතේ පදිංචි ආර්. බී. ඒකනායක (70) සිය අත්දැකීම පසුගිය 19 දා මෙසේ විස්‌තර කළේය.

පසුගිය සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයට මම වගා කළ කැකිරි කිලෝ 55 ක්‌ රැගෙන ගියා. ඒවා අලෙවි කර මට ලබාගත හැකිවූයේ රුපියල් 100/- යි. කැකිරි තොගය ත්‍රීවිල් එකෙන් ප්‍රවාහනය කිරීමට රුපියල් 450 යි.

“මමත් බිරිඳත් ගිනි අව් කාෂ්ටකයේ මේ වගාව කළේ බලාපොරොත්තු ඇතිවයි. කැකිරි වගා කිරීමට යෙදූ අක්‌කර භාගයේ ඉඩමේ සී සෑමට පමණක්‌ ට්‍රැක්‌ටර් කුලිය රුපියල් 3500/- ක්‌ වැයවුණා.

ඉබ්බන්කටුව ජලාශයේ සිට අඩි හත්අටසියයක්‌ බට යොදා මෝටරයකින් ජලය පොම්ප කිරීමට සිදුවුණා. එහෙව් වියදමක්‌ දරා ලබාගත හැකිවූයේ රුපියල් 100/- ක්‌ නම් ගොවියාගේ අනාගතය ගැන කවර කතාද?

නමුත් සුපර් මාර්කට්‌ හා වෙළෙඳ සල්වල කැකිරි කිලෝවක්‌ රුපියල් 25 ත් 30 ත් අතර මිලකට අලෙවි වෙනවා.

ගොවියාගේ එළවළුවලට සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකි නම් එම වගාවෙන් ඉවත් වීම හැර වෙනත් විකල්පයක්‌ නෑ. මා ඇතුළු ප්‍රදේශයේ ගොවීන් බලධාරීන්ගෙන් විමසන්නේ එම ප්‍රශ්නයයි” යි පැවසීය.

දේශීය පුවත්

මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අප්‍රේල් මස 29 වන දිනට යෙදී තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලාංකික සම්ප්‍රදායට අනුව වෙසක් පුන් පොහෝ දිනය මැයි මාසයේදී සැමරිය යුතු බවයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් පවසන්නේ.

ලොව අනෙකුත් බෞද්ධ රටවල් වෙසක් පොහෝ දිනය මැයි මස 29 වන දින සමරන අතර මැයි මාසයේ යෙදෙන පොහෝදිනය වෙසක් පොහොය ලෙස සැළකිය හැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

එසේම යම්කිසි පාර්ෂවයක උපදෙස් පරිදි සාම්ප්‍රදායික ලෙස බෞද්ධ වර්ෂය පිළිගැනීමෙන් බැහැරව මෙවන් තීන්දු, තීරණ ගැනීම සමස්තයක් ලෙස සාවද්‍ය බව ද අනුනායක හිමියන් ප්‍රකාශ කරනවා.

එසේම තායිලන්තය, කාම්බෝජය, ටිබෙට්‌, වියට්‌නාම්, චීනය, ඉන්දියාව වැනි රටවල් වෙසක්‌ දිනය ලෙස සමරන්නේ මැයි මස අවසනට යෙදී ඇති පසළොස්‌වක්‌ පෝ දිනය බවත් ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය පවත්වන්නේද මැයි මස අගට යෙදී තිබෙන පසළොස්‌වක්‌ පෝදිනය දා බවත් අනුනායක හිමියන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එසේම ගූගල් දත්ත වලට අනුව ලොව බොහෝ බෞද්ධ රටවල් වෙසක් පොහොය මැයි මස 29 වන දින සමරන අතර ශ්‍රී ලංකාවේ වෙසක් පොහොය පැවැත්වෙන දිනය විචලනය වන බවයි සඳහන් වන්න‍ේ.

 

දේශීය පුවත්

මුහුද ගොඩ ගැලීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල තොඩුවාව මුහුදු තීරයේ ජනතාව හා ආරච්චිකට්ටුව මුතුපන්තිය දුපතේ ජනතාව දැඩි භීතියට පත්වූහ.

21 පස්වරුවේ මුහුද ඉතා රළු ස්භාවයක් ගෙන පසුව එකවර මුහුද ගොඩ ගැලීම සිදුව තිබේ .

මුහුද ගොඩ ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව නිවාස වලින් එළියට බැස මුහුද ආසන්නයට පැමිණ මුහුද දෙස බලා සිටි අතර පැය තුනකට ආසන්න කාලයක් මේ තත්වය තිබී ඇත .

තම ජිවිතයේ මීට පෙර මෙවන් අත්දැකීමක් නොමැති බව තොඩුවාව ප්‍රදේශයේ ජිවත් වන හැත්තෑ පස් හැවිරිදි පීටර් පොල් ප්‍රනාන්දු මහතා පැවසීය.

” සුනාමි ඇවිල්ලත් අපිට මෙහෙම ගැලුවේ නැහැ . අද සවස තමයි මේ විදිහට මුහුද ගොඩ ගලන්න පටන් ගත්තේ අපිට හිතා ගන්න බැහැ මොකද්ද මේ වෙන්න යන්නේ කියල. පොලිසියෙන් අවා .ග්‍රාමසේවක අවා . එච්චරයි.දෙවියන්ට කියනවා හැරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ .”

තොඩුවාව ග්‍රාමයේ ජිවත් වන ධීවර කාන්තාවක් වන මේරියන් ප්‍රනාන්දු -” තොඩුවාවේ ගමේ ඔක්කොම අද ඉන්නේ පාරේ . අද රෑට මොකකින් මොකක් වෙයිද දන්නේ නැහැ . මුහුද දැන් පාරටත් උඩින් ගලනවා . අපේ ජීවිත කාලේ මෙහෙම දැකලා නැහැ .”

මුතුපන්තිය දුපතේ ජිවත් වන තරුණයකු වන නිලුක්ෂන් මධුරංග ප්‍රකාශ කළේ දුපත මැදින් මුහුදු ජල පහරක් ගොඩබිමට ගැලු බවයි. මේ තත්වය දිගින් දිගටම පැවතියහොත් දුපත දෙකඩ වීමේ අවදානමක් ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය .

මේ තත්වය ඉදිරි දින කීපය තුළද පැවතිය හැකි බව ධීවර ජනතාවගේ මතයයි .මේ අතර පෙරේදා දිනයේ කල්පිටිය දුපත් වල සංචාරයයේ නිරත් වූ යාත්‍රා කීපයක සිටි පිරිස්ද දැඩි ලෙස භීතියට පත්වූ බව වාර්තා විණි .

 

දේශීය පුවත්

එලබෙන වෙසක් සමය වෙනුවෙන් දන්සැල් පැවැත්වීම සදහා බුද්ධසාසන අමාත්‍යංශය විසින් නිර්ණායක 6ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඇතැම් පුද්ගලයින් දන්සැල් පැවැත්වීමේ මුවාවෙන් වංචනිකව මුදල් එක්රැස් කරන බවටද තොරතුරු වාර්තාවන අතර ඒ අනුව මෙම පියවර ගත් බවයි බුද්ධසාසන අමාත්‍යංශය පැවසුවේ.

මේ ඒ පිළිබදව කරුණු දක්වන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර සඳහන් කර සිටියේ පහත සඳහන් නිර්ණායක 06 පිළිබඳව සියලු දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු වෙත දැනුම් දී තිබෙන බවයි.

එම නිර්ණායක නම්,

01. දන්සල් පැවැත්වීමේ දී අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා අදාළ ග්‍රාම නිලධාරී ගේ දැනුවත් වීම මත සිදුවීම.

02.දන්සල්වලට ආධාර එකතුකිරීම සඳහා අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ සහ අදාළ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය ලබා ගැනීම සිදුකළ යුතු අතර දන්සල පැවැත්වීමේ දී මහජනතාව පීඩාවට පත් නොවන ලෙස සිදු කිරීම හා ඝෝෂාකාරී සංගීතය යොදා නොගැනීම.

03. සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාරපාන පිළියෙළ කිරීමට කටයුතු කිරීම.

04. දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේ දී බෞද්ධ කොඩිය භාවිත නොකොට ඒ වෙනුවට කහ පැහැති කොඩියක් භාවිත කිරීම.

05. මත්වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයෙන් වැළකී කටයුතු කිරීම.

06. සැදැහැ සිතින් හා ආචාරශීලිව කටයුතු කිරීම.

ජනතාවට හිංසාකාරී නොවන අයුරින් දන්සැල් සංවිධානය කළයුතු බවයි මෙහිදී වැඩිදුරටත් සදහන් කෙරුණේ.

දේශීය පුවත්

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන්ට අටපිරිකර වශයෙන් ලබාදුන් පිරිකරක ගඩොල් භාගයක් තිබී හමුවී ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (19දා) පැවසීය.

තායි අටපිරිකරක් වශයෙන් අන්‍ය ආගමිකයෙකු විසින් මෙම පිරිකර ලබාදී තිබුණු බවත්, මේ සම්බන්ධව සොයා බලන්නැයි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට දැනුම්දුන් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ප්‍රමිතියෙන් තොර සිවුරු, පාත්තර ඇතුළුව අටපිරිකර අලෙවි කරන ස්ථාන සම්බන්ධව සොයාබලන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දුන් බවත්, එවැනි ස්ථාන වටලා දැඩි දඬුවම් ලබාදීමට අවශ්‍ය නීති දැඩි කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මෙසේ පවසා සිටියේය.