දේශීය පුවත්

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය තුලදී ඊයේ (06) රාත්‍රියේ ගැබිණි කාන්තාවක් පිරිමි දරු ප්‍රසුතියක් සිදුකර තිබිණි.වසර 160ක මෙරට දුම්රිය ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාවද මෙය බව වාර්තාවේ.

ධවනය වෙමින් තිබු දුම්රිය තුල විලිරුදාවෙන් පෙලෙනෙ කාන්තාවක් සිටින බවට දුම්රියේ ආරක්ෂක නිලධාරියාට දැනගන්නට ලැබී තිබිණි.වහාම ක්‍රියාත්මක වූ ඔහු හබරණ පොලීසියට දැනුම් දෙන්නට කටයුතු කර තිබූ අතර පොලිසිය හබරණ රෝහලේ වෛද්‍යවරයාට දැනුම්දී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් හා තවත් කාර්ය මණ්ඩලය සමග ගිලන් රථයක් දුම්රිය ස්ථානය වෙත පිටත් යැවීමට කටයුතු කර පොලිස් ජීප් රථයද දුම්රිය ස්ථානයට ළඟාවී තිබේ.

ඒ සමගම ධාවනය වන දුම්රිය හබරණ දුම්රිය ස්ථානයේ නතර කරන ලෙස පොලීසිය දුම්රිය ආරක්ෂක නිලධාරියාට උපදෙස් දී තිබේ.දුම්රිය නතර කරනවාත් සමග මව දරු ප්‍රසුතිය සිදුකර තිබේ.ඒ අනුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් මව හා දරුවා සෞඛ්‍යාරක්ෂිතව පිටතට ගෙන ගිලන් රථයෙන් රෝහලට ගෙනවිත් රෝහල් ගත කර තිබේ.

මව හදවත් රෝගයකින් පෙළෙමින් සිටීම නිසා ඇයගේ ජීවිතාරක්ෂාව පතා වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල මුලික රෝහලට මාරුකර යවා තිබේ.දඹුල්ල රෝහලේ නේවාසිකව සිටින මව හා දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහලේ වෛද්‍යවරුන් කියා සිටිති.

මෙම ගැබිණි මව හදවත් රෝගී තත්වයෙන් පසුවීම නිසා, දරු ප්‍රසුතියෙදී මවට හා දරුවාට සිදුවිය හැකි අවදානම සලකා වෛද්‍යවරුන්ගේ උපදෙස් මත කොළඹ ප්‍රධාන රජයේ රෝහලක නේවාසිකව සිටියදී වෛද්‍යවරුන්ගේ අවවාද නොතකා රෝහලින් බැහැරව තම සැමියා සමග දුම්රියෙන් තම ගම් ප්‍රදේශය බලා යමින් සිටියදී මෙසේ දරු ප්‍රසුතිය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

හබරණ පොලිස් ස්ථාන්ධිපති වසන්ත් පිටිගල මහතාගේ උපදෙස් මත රාත්‍රී පොලිස් රාජකාරියේ දී සිටි නිලධාරීන්ගේ හා හබරණ රෝහල් කාර්ය මණ්ඩලයේ මැදිහත්වීම මත මෙම මවගේ හා දරුවාගේ දිවි රැක ගැනීමට හැකිව තිබෙන දඹුල්ල රෝහල් කාර්ය මණ්ඩලය කියා සිටිති.

දේශීය පුවත්

දකුණේ ව්‍යාප්ත වන උණ රෝගයට හේතුව ‘ඉන්ෆ්ලුවෙන්සා A’ වෛරසය බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය කළ පර්යේෂණ මඟින් අනාවරණය වී තිබේ.

නමුත් මීට පෙර වෛද්‍ය මතය වූයේ වෛරස් විශේෂ තුනක එකතුවක් ශරීරගත වීම නිසා මෙම රෝගී තත්වය මතු වන බවයි.

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළේය.

එහිදී ඒ මහතා කියා සිටියේ මෙම රෝගය සෑම වසරක් පාසම මෙම කාලය තුළ වාර්තාවන බවත්, මෙවර එය වැඩි වශයෙන් කුඩා දරුවන්ට වැළඳුන බවයි.

එමෙන්ම හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා අවශ්‍ය ඹෟෂධ සියල්ල ද අඩුවකින් තොරව ලබා දී ඇති බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මෙම රෝගල පාලනය කළ නොහැකි බවත්, තමන් විසින් පාලනයවීමක් කළ යුතු බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම මේ සඳහා දෙනු ලැබූ එන්නත සම්බන්ධයෙන් මේවන විට කතිකාවතක් ගොඩ නැගී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට විද්වත් කමිටුවක් පත් කර සාකච්ඡා කිරීමට නියමිත බවද සඳහන්ය.

මේ අතර දකුණු පළාත තුළ පැතිරෙමින් යන ඉන්ෆ්ලුවන්සා රෝගය වැළඳුන බවට සැකකෙරෙන රෝගීන් 48 දෙනෙකු තංගල්ල හා හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම රෝහලවල වෛද්‍ය බලධාරීන් පවසයි.

ඒ අනුව හම්බන්තොට මහ රෝහල තුළ රෝගීන් 38 දෙනකු ප්‍රතිකාර ලබන බවත්, ඉන් රෝගීන් 26 දෙනකුම ළමයින් බවත් කළ විමසීමකදී හම්බන්තොට මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා සඳහන් ‍කළේය.

එමෙන්ම පසුගිය සති කීපයට වඩා මෙම දිනයන්හි එම රෝගීන් වැඩිවීමේ සීඝ්‍රත්වයේ අඩුවක් පවතින බවද හෙතෙම කියා සිටි අතර නමුත් නේවාසිකව දැනට ප්‍රතිකාර ලබන රෝගීන් හට අවශ්‍ය ඖෂධ අඩුවකින් තොරව පවතින බවත් වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා පවසා සිටියේය.

මෙ‍හිදී වැඩිදුරටත් අදහස් දැක්වු රෝහල් අධ්‍යක්ෂවරයා මෙසේ පැවසීය.

” අතෙන්ම අපි එවැනි රෝග ලක්ෂණ තියෙන සියලුම රෝගීන්හට දැඩි අවදානයක් යොමුකරලා වෛද්‍යවරුන් මෙන්ම රෝහලේ සියලුම අංශවල සේවකයින් මේ වන විට කටයුතු කරනවා. ඒ වගේම රෝගීන් ලියාපදිංචිය පවා අපි වෙනම කඩිනමින්ම සිදුකරනවා.

රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු අපි වෙනම යොදවා තිබෙනවා රෝහලට පැමිණෙන එවැනි උන රෝගී ලක්ෂණ තිබෙන රෝගීන් පරික්ෂා කරන්න. ”

එමෙන්ම ඉන්ෆ්ලුවන්සා රෝගය වැළඳුණු බවට සැකකෙරෙන රෝගීන් 10 දෙනෙකු පමණ 03 වනදා වනදා වන විට තංගල්ල මුලික රෝහලින් වාර්තාවන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ.පි.ආර්.එස්.චන්ද්‍රසේන මහතා පවසා සිටියේය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් පසුගිය 02 හම්බන්තොටදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය උපුල් ගලප්පත්ති කියාසිටියේ හම්බන්තොට තිබෙන මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් තම අවධානයට නොගෙන වගකීම් විරහිතව කටයුතු කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සි‍ටියේ, දිනකට ‍බාහිර රෝගී ඒකකය සඳහා ‍රෝගීන් 300-400 ත් අතර ප්‍රමාණයක් පැමිණෙන අතර එම තත්ත්වය මේ වන විට රෝගීන් 400-600 ත් දක්වා වර්ධනය වී ඇති බවයි.

එමෙන්ම මෙම රෝගය ආසාධිත රෝගියෙක්ද කියල නිසියාකාරව පැවසීමට එම රෝගියාගේ ලේ නියැදි පරික්ෂා කිරීම සඳහා කොළඹට යැවිය යුතු බවත්, නමුත් මේ වන තෙක් හම්බන්තොට මහරෝහලේ උණ රෝගීන්ගේ රුධිර නියැදි කොළඹට යැවීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක්ද සකසා නොමැති බවද වෛද්‍ය උපුල් ගලප්පත්ති අවධාරණය කර සිටියේය.

මෙම තත්ත්වය හමුවේ රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින කාල වකවානුවක හම්බන්තොට රෝහලේ සිටි විශේෂඥ වෛද්‍යවරුන් 31 දෙනාගෙන් 02 නෙකු හා අනෙකුත් වෛද්‍යවරුන් 86 දෙනා අතුරින් හය දෙනකු හට සෞඛ්‍ය ලේකම්ගේ අත්තනෝමතික තීරණයක් මත තිස්සමහාරාම රෝහලට මාරු කර තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.

දේශීය පුවත්

විජිතපුරයට අයත් එළාර රජුගේ බලකොටුවේ පිහිටි බැලූම්ගල නම්වූ පුරා විද්‍යා ස්ථානය ඩොසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ නිමවන්නටත් පෙර විජිතපුර ප‍්‍රදේශයේම පිහිටි දුටුගැමුණු රජුගේ බල කොටුවට අයත් බවට සැළකෙන පුරාවිද්‍යා ස්ථානයක්ද බැකෝ යන්ත‍්‍රයක් යොදා ඉකුත් දා ඩෝසර් කර එළි පෙහෙළි කිරීමට කිසියම් පිරිසක් කටයුතු කර තිබේ.

එම අනවසර හෙළි කිරීම සිදුවන අවස්ථාවේ ඒ ගැන සොයා බැලීමට එහි ගිය අංක 493 විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ මහතාට එම ස්ථානයේ සිටි චීවරධාරියකු විසින් පහරදීමක්ද සිදුකර තිබිණි. එම පහරදීම සම්බන්ධයෙන් නලින් මහතා ඉපලෝගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අංක 493 විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ මහතා මෙසේ පැවසීය.

ඉකුත් 27 වැනි දා දුටුගැමුණු ආරණ්‍ය සේනාසනයේ පිහිටි පුරාවිද්‍යා භූමියේ ඩෝසර් යන්ත‍්‍රයක් ක‍්‍රියාකරවන හඬ මට ඇසුනා මගේ නිවස තියෙන්නේ එම භූමියට යාබදවයි. එතැන වෙන්නේ මොකක්ද කියලා බලන්න මම එතැනට ගියා. මම ග‍්‍රාම නිලධාරීවරයාත් දැනුම්වත් කරලයි එතැනට ගියේ. ඒ යනකොට චීවරධාරියෙක් සහ තවත් අයෙක් බැකෝ යන්ත‍්‍රක් ගෙනල්ලා පුරාවිද්‍යා භූමිය සහිත කැලෑව ඩෝසර් කරමින් තිබුණා.

මම ඇහැව්වා ඇයි මෙතැන ඩෝසර් කරන්නේ කියලා එතැන හිටපු චීවරධාරියකු කිව්වා ආරණ්‍යයට යන්න පාරක් කපනවා කියලා. ආරණ්‍යයට යන්න පාරවල් තියෙනවා. ඒ නිසා මට මේ සිද්ධිය ගැන සැක හිතුනා. ඒ නිසා මම චීවරධාරියාගෙන් ඇහැව්වා මෙතැන එළිකරන්නේ නීත්‍යාණුකූල අවසරයන් අරගෙනද කියලා. මොකද මෙතැන පුරාවිද්‍යා භූමියක් නිසා. ඒ වෙලාවේ ඒ චීවරධාරියා උඹ කවුද ඒවා හොයන්න කියලා මට පහර දුන්නා. අදාල දර්ශන මා පටිගත කර තිබෙනවා.

මෙතැන පුරාවිද්‍යා වටිනාකම් තියෙන තැනක් මෑත කාලීනවත් විවිධ කැණීම් කරලා තියෙනවා. බාහිර පුද්ගලයින් තමා මෙතැන වැඩිපුර ගැවසෙන්නේ. පිටපළාත් වලින් නන්නාදුරන සැක කටයුතු පිරිස් සුඛෝපභෝගී වාහන වලින් මෙතැනට එනවා යනවා. මෙතැන ඓතිහාසික වැදගත්කමක් තියෙන පුරාවිද්‍යාත්මක භූමියක් මේ ස්ථානය මතු පරපුර වෙනුවෙන් බේරා ගන්න එක කාගේත් යුතු කමක්.

පුරාවිද්‍යා වැදගත්කමක් තියෙන මෙම ස්ථානයේ ගල් තලා ආශ‍්‍රිතව විවිධ කැණීම් කරලා තියෙනවා. මෙහි තිබූ ඉපැරණී පිළීම පවා දැන් නැහැ. චීවරධාරියා මට කළ පහරදීම ගැන මම ඉපලෝගම පොලිසියට පැමිණීලි කර තිබෙනවා. මෙහෙම ගියොත් විජිතපුරයේ එළාර බලකොටුවයි දුටුගැමුණු බල කොටුවයි දෙකම ජාතියට නැති වෙනවා. මේ ස්ථානය ගැන බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතුයි.

කෙසේ වෙතත් ඓතිහාසික වටිනාකමක් ඇති එම කඳුවැටිය ආශ‍්‍රිතව අලූතින් සිදුකරන ලද කැණීම් රැසක් ද නිධන් හොරුන්ගේ ග‍්‍රහණයට නතුවී ඇති ස්ථාන රැසක් ද දැක ගැනීමට හැකි වේ. තවද පුරා විද්‍යාත්මක ස්ථාන ආශ‍්‍රිතව කොන්ක‍්‍රීට් යොදා සිදුකර ඇති මෑතකාලීන ඉදිකිරීම් කිහිපයක්ද එම භූමිය තුළ දැකිය හැකිය.

තමන්ට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ මහතා සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානයට පැමිණීලි කිරීමට කටයුතු කර තිබිණි.

දුටුගැමුණු බලකොටුවේ සිදුව ඇති එම සිද්ධිය සම්බන්ධයෙන් අද (4) ඉපලෝගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු ආයතන කිහිපයක් එක්ව ඒකාබද්ධ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.

ජයාරූප අවසානයේ වීඩියෝව නැරඹිය හැකිය

 

දේශීය පුවත්

මේ අවුරුද්දේ පුර පසළොස්වක පෝය යෙදෙන දවස් ගැන ලොකු කතා බහක් ඇති වුණා. ඒ වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මාසයට දීලා තිබුන නිසා. ඒ වගේම මැයි මාසයේ පෝය අධි පොසොන් පෝය විදියට නම් කරලා තිබුණා.සමහර අය මේ පෝයවල් යෙදීම ගැන දේශපාලන වශයෙන්ද නොයෙකුත් කතා බහ ඇති වුනා.මොකද මැයි දිනයත් මේ හින්දා වෙනස් වුනානේ.

ඊළඟ අවුරුද්දේ පෝය යෙදෙන දවස දැන්ම ගැසට් කරලා තියෙනවා. ලබන අවුරුද්දේ පෝය දවස් වල නම් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. මේ තියෙන්නේ 2019 පුර පසළොස්වක පෝය යෙදෙන දවස්.

ජනවාරි 20 ඉරිදා – දුරුතු පුර පසළොස්වක

පෙබරවාරි 19 අඟහරුවාදා – නවම් පුර පසළොස්වක

මාර්තු 20 බදාදා – මැදින් පුර පසළොස්වක

අප්‍රේල් 19 සිකුරාදා – බක් පුර පසළොස්වක

මැයි 18 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක

ජුනි 16 ඉරිදා – පොසොන් පුර පසළොස්වක

ජූලි 16 අඟහරුවාදා – ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 14 බදාදා – නිකිණි පුර පසළොස්වක

සැප්තැම්බර් 13 සිකුරාදා – බිනර පුර පසළොස්වක

ඔක්තෝබර් 13 ඉරිදා – වප් පුර පසළොස්වක

නොවැම්බර් 12 අඟහරුවාදා – ඉල් පුර පසළොස්වක

දෙසැම්බර් 11 බදාදා – උඳුවප් පුර පසළොස්වක

දේශීය පුවත්

ගංඟ සහ ජලාශ රැසක ජල මට්ටම් මේ වන විටත් ඉහළ යමින් පවතින බැවින් ඒ ආශ්‍රිත පහත් බිම්වල ජනතාව වඩාත් අවධානයෙන් ක්‍රියා කළ යුතු බව එම මධ්‍යස්ථනය ප්‍රකාශ කළා.ඒ අනුව, කළු සහ ගිං යන ගංඟාවල ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් එම ගංඟා අවට පහත් බිම්වල සිටින පිරිස් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු වනවා.

රටේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙහෙණින් වහන්සේ නමක් ඇතුළු පස්දෙනෙක් මියගොස් ඇති අතර අධිවේගී මාර්ගයන්හි වාහන අනතුරු හතක් පසුගිය පැය හතලිස් අට තුළ වාර්තා වේ.තුන්දෙනෙකු මරණයට පත් වී ඇත්තේ අකුණු සැර වැදීමෙන් වන අතර ගසක් කැඩීමෙන් තවත් අයකු මරණයට පත් වි තිබේ.

අකුණු සැර වැදීමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ වැලිකන්ද ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු සහ හොරණ ප්‍රදේශයේ මෙහෙණින් වහන්සේ නමක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඇතැම් ප්‍රදේශයන්හි වර්ෂාපතනය මිලි මීටර් 75-100-150 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවති නම් නාය යාම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පස් කණ්ඩි කඩා වැටීම්, පොළොව ගිලා බැසීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද, ආරක්ෂාකාරී ස්ථානයන්ට යාමට සූදානම් වන ලෙසද, ආරක්ෂිත ස්ථානයකට යන ලෙසද නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් කරමින් දිස්ත්‍රික්ක ගණනාවක ජනතාවගෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටී.

රත්නපුර, නුවරඑළිය, කලුතර, ගාල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ ගණනාවක ජනතාවට අනතුරු වළින් වැළැකීමට ආරක්ෂිත ස්ථානයන්ට යන් ලෙසඳ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ජනතාවට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයකට යාමට සුදානම් වන ලෙසඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද(21) රාත්‍රීය දක්වා පූර්ව අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

නාය යාමේ තත්ත්වයන් පවතින්නේද යන්න පිළිබඳව නිරන්තර අවධානයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිටින බවද එහි නායයෑම් පර්යේෂණ හා අවධානම් කළමණාකරන අංශයේ අධ්‍යක්ෂක ආර්. එම්.එස් බණ්ඩාර මහතා පැවසීය. නිල්වලා, ගිං, කලු ගංගා සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජීවත් වන ජනතාව අධික වර්ෂාවත් සමඟ ඇතිවන ජල මට්ටම් ඉහළ යාම පිළිබඳව දැඩි අවධානයකින් සිටිය යුතු බවද හදිසි අවස්ථාවක් ඇතිවී පිටව යාමට සිදුවුවහොත් ආපදා මල්ල සුදානම් කරගත යුතු බවද ආපදා කළමණාකරන මධ්‍යෂ්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය.

 

 මෙම පුවත හැකි පමණ ඔබේ මිතුරන්ට දැනගැනීමට සලස්වන්න 

මේ සමඟම පවතින වැසි සහිත තත්ත්වය සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මිලි මීටර් 150ක ඉක්මවූ වැසි තත්ත්වය සළකා බලා රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ඇහැලියගොඩ කුරුවිට ඇලපාත ප්‍රදේශ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශය, කලුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව ඇල්පිටිය, තවලම කඩවත් සතර, නාගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් කළින් හඳුනාගත් අවධානම් ප්‍රදේශවල සිටින ජනතාව වෙත මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙම ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ප්‍රදේශ කරා යාම සුදුසු බව එම සංවිධානය දැනුම් දෙනවා. පවතින තත්ත්වය පිළිබඳව අදාළ සියලු අංශයන් දැනුවත් කර තිබෙනවා. 117 දුරකතනඅංකය ඕනෑම වේලාවක සූදානම්.

නාය යාම් පිළිබඳව අනතුරු අඟවා ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ මෙසේය
කළුතර දිස්ත්‍රික්කය( අඟලවතත්ත, බුලත්සිංහල, පාලින්ද නුවර වලල්ලාවිට, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ- ), කෑගල්ල දිස්ත්‍රික්කය( දෙහිඹ්විට, දැණියගල, යටියන්තොට, අරණායක, රඹුක්කන, කෑගල්ල, බුලත්කොහුපිටිට, රුවන්වැල්ල, වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාස හා ඒ අවට ප්‍රදේශ), රත්නපුර දිස්ත්‍රික්කය( ඇහැලියගොඩ, කුරුවිට, රත්නපුර, ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාහ හා ඒ අවට ප්‍රදේශ), කුරුණෑගල දිස්ත්‍රික්කය( රිදීගම, ඉබ්බාගමුව, මාවතගම, මල්ලවපිටිය ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාශ හා ඒ අවට ප්‍රදේශ), නුවරඑළිය දිස්ත්‍රික්කය( අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා ඒ අවට ප්‍රදේශ),

බදුල්ල දිස්ත්‍රික්කය( හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාශය හා ඒ අවට ප්‍රදේශ), ගාල්ල දිස්ත්‍රික්කය(ඇල්පිටිය, ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය), කොළඹ( සිතාවක ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ) වේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බෑවුම් සහ රැඳවුම් බැමි ආශ්‍රිත කඩා වැටීම් පිළිබඳව පරීක්ෂාකාරී වන ලෙසද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටී. මේ අතර ලක්ෂපාන වාන් දොරටු දෙකක් විවෘත කරන ලදී. කෑගල්ල බුලත් කොහුපිටිය ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. කැලණි ගගේ ජල මට්ටමේ ඉහළ යමින් පවතී. හොලොම්බුව දැරණියගල ප්‍රදේශයේ ජල මට්ටම වැඩිවී ඇත. ඊයේ(20) රාත්‍රී 10.30 පමණ වන විට රත්නපුරය- මිලි මිටර් 224, ඇහැලියගොඩ මිලිමිටර් 201, ගාල්ල ඇල්පිටිය මිල මිටර්135, දෙහිඕවිට මිලි මීටර් 155, කලුතර බදුරලිය මිලිමීටර් 120, කෑගල්ල උදුගොඩ මිලි මීටර් 127ක වර්ෂාවක් වාර්තා විය.

මෙම පුවත හැකි පමණ මිතුරන්ට දැනගැනීමට සලස්වන්න

දේශීය පුවත්

මීට වසර 09කට පෙර පැවැති යුද්ධයේදී මිය ගිය මහවිරුවන් හා සාමාන්‍ය වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර පිහිටි සැමරුම් ස්මාරකය අසලදී අද (18දා) සැමරුමක් පවත්වා තිබේ.

මෙය අද උතුරු මහ ඇමති සී.වී.විග්නේස්වරන් මහතාගේ මෙන්ම සාමාන්‍ය වැසියන් 5000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

පසුගිය වසරේදී (2017) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සෙසු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවත්වුණද මෙවර කිසිදු දේශපාලන නායකයෙකු ප්‍රධාන නොකළ අතර, උතුරු මහඇමති ප්‍රධාන වූවේද දේශපාලන නායකයෙකු වශයෙන් නොව උතුරු පළාත් සභාවේ සංවිධානත්වයෙන් මෙය සිදු වූ නිසාවෙනි.

මෙහිදී උත්සව අවස්ථාවට සහභාගි වූ සියලුම දෙනා අවසන් යුද්ධයේදී මිය ගිය අය වෙනුවෙන් විනාඩි 03ක නිශ්ශබ්දතාවයක් පවත්වා, මල් පූජා කොට, භූමියට රැස්ව සිටි සියලු දෙනා පහන් දල්වා, මිය ගිය අයට සෙත් ශාන්ති පැමිණවීම සිදු කළේය.

මෙහිදී උත්සව අවස්ථාවට සහභාගි වූ උතුරු මහඇමතිවරයා විසින් රැස්ව සිටි පිරිස් ඇමතූ අතර, හෙතෙම මිය ගිය වැසියන් වෙනුවෙන් ශෝක පණිවිඩය ප්‍රකාශයට පත් කළේය.

මේ අතර 09 වැනි යුද සැමරුම යෙදුණු අද (18දා) උතුරේ සියලුම ආරක්ෂක සේනා මූලස්ථානයන්හි යුද ජය සැමරීම සිදු කෙරිණි.

තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය නිම කර වසර 09ක් ගත වීම නිමිත්තෙන් පැවති මෙම යුද සැමරුම් එම ආරක්ෂක හා බළ සේනා මූලස්ථානවල අඥාපතිවරුන්, සේනංකාධිපතිවරුන් හා බළසේනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ අතර වන්නි වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේද යුද සැමරුමක් පවත්වන ලදී.

 

දේශීය පුවත්

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා අද (15) කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව අද (15) මධ්‍යම රාත්‍රියේ සිට දැනට පවත්නා ගාස්තුවෙන් සියයට 6.56 ක ප්‍රතිශතයකින් බස් ගාස්තු ඉහළ නැංවෙනු ඇත. නමුදු මූලික බස්ගාස්තුව වන රුපියල් 10/- වෙනසක් සිදු නොවේ. මෙය අධිවේගී මාර්ග සහ නගරාන්තර සුඛෝපභෝගී සේවා බස් රථ සඳහා ද එපරිද්දෙන්ම වලංගුවේ.

ලංගම හා පෞද්ගලික බස් ගාස්තු මේ අනුව වැඩිවිමට නියමිතය.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ද සියයට 6.5 කින් වැඩි කළ යුතු බවට වන යෝජනාව ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණෟඩලය අද දහවල් ජනාධිපති කාර්යාලයේ දී රැස් වු අතර එහිදී මෙම අනුමැතිය ලබාදී ඇත.

තම සංගමය රජයට යෝජනා කළේ 20%ක ගාස්තු වැඩිවීමක් බවත් එහෙත් ලැබී තිබෙන්නේ 6.56%ක බස් ගාස්තු වැඩිවීමක්  නිසා එම මුදල ප්‍රමාණවත් නොවන හෙයින් හෙට (16දා) මධ්‍යම රාත්‍රී 12 සිට බස් රථ ධාවනයෙන්  ඉවත් කර ගන්නා බව අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ සභාපති විජිත කුමාරසිරි මහතා සඳහන් කළේය.

දේශීය පුවත්

ඉන්ධන මිල අද (10) රාත්‍රීයේ සිට ඉහළ දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව නව මිල ගණන් මුදල් අමාත්‍යාංශය විසින් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ (9) රාත්‍රී පැවති ඇමැතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක දී ඉන්ධන මිල වැඩි කිරිමට තීරණය වී ඇතැයි දැනගන්නට තිබේ.

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද ඩීසල් ලීටරයක් රුපියල් 9 කින් හා භූමිතෙල් ලීටරයක් රුපියල් 40 කින් ද වැඩි කිරිමට යෝජනා වී ඇතැයි පැවසේ.

ධීවරයන්ට සහ සමෘද්ධීලාභීන් සඳහා භුමිතෙල් සහන මිලට සැපයීමට තීරණය වී ඇතැයි වාර්තා වේ.

මේ වන විට දිවයිනේ සමහර ප්‍රදේශවල ඉන්ධන සේවා වලින් ඉන්දන නිකුත් කිරීම තාවකාලිකව නතරකර ඇති බව වාර්තා වෙනවා. ඒ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කිරීමට හැකිය. ක්ෂණික ඇමතුම් 1977,පැමිණිලි අංශය 011-7755481-2-3

දේශීය පුවත්

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ  මීට සුළු මොහොතකට පෙර  ඇති වු ගින්නක්  නිවා දැමීමට පාර්ලිමේන්තු  ගිනි  නිවීමේ  අංශය කටයුතු  කළේය.

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතාගේ  නිල කාමරයේ   වායු සමීකරණයේ මෙම ගින්න හටගෙන තිබු අතර  එහි දෝෂයක් හේතුවෙන් මෙසේ සිදු වන්නට ඇතැයි පොලීසිය සඳහන් කළේය.

විනාඩි 20 ක පමණ කාලයක් ඉතා සුළු  ගින්නක් පැවැති අතර මෙයින් කිසිවකුටත් හානි සිදු වී නැතැයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය  පැවසීය.

ගින්න නිවා දැමුවද මේ වන  විට පාර්ලිමේන්තු සංකීර්ණයේ දැඩි නොසන්සුන්තාවයක් පවති.

වාර්තා වන ආකාරයට කිසිවකුට ජීවිත හානියක් නොමැති අතර බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතාගේ  නිල කාමර කාර්යාලයට සුළු අලාභානි සිදු වි ඇත බව පාර්ලිමේන්තුවේ වාර්තාකරුවන් පවසයි.

දේශීය පුවත්

අපේ රටේ මහා මාර්ග පද්දතිය තුල සිදුවන විවිධ රථවාහන වැරදි හඳුනා ගනිමින් ඊට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආර්.එෆ්.අයි.ඩී. තාක්ෂණය හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.මේ මගින් මහා මාර්ග තදබදය ගැන තීරණ ගැනීමට හා එය කළමනාකරණය කිරීමටද හැකියාව ලැබෙනු ඇති බවයි සඳහන් වන්නේ.

මෙහිදී වාහනයක ඉදිරිපස හා පසුපස වීදුරුවලට අලවන ස්ටීකරයට ආර්.එෆ්.අයි.ඩී. ටැග් ඇතුළත් කරන අතර පසුව එය කියැවීමේ උපකරණ මහා මාර්ගයේ සවිකරනු ලබනවා. ඒ අනුව එම කියැවීමේ උපකරණ මේ වන විටත් මාර්ගයන්හි සවි කිරීම ආරම්භ කර තිබෙනවා.

රේඩියෝ ටැග් හෙවත් RFID චිපයක 2000 byte ක් හෝ ඊට අඩු දත්ත ප්‍රමානයක් රඳවා තබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙසේ තොරතුරු රදවා තබා ගන්නා චිපය වාහනයක ඉදිරිපස හා පසුපස වීදුරුවලට අලවන ස්ටීකරයට ඇතුලත් කිරීමක් සිදුවනවා. scanning antenna මගින් නිකුත් කෙරෙන රේඩියෝ තරංග හා ගැටුණු විට මෙය ක්‍රියාත්මක වීම ආරම්භ වී චිපයේ ඇති තොරතුරු ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

ආර්.එෆ්.අයි.ඩී. තාක්ෂණය ක්‍රියාත්මක වන අයුරු දැක්වෙන වීඩියෝවක් සහ ඡායාරූප පහතින්