කුඩාරමේ එකට හිටපු ලංකාවේ කොල්ලෝ දෙන්නයි ඕස්‌ට්‍රේලියානු තරුණියයි අවසානයේ පොලිසියෙන් නතර වෙයි

236

පානම වැව ප්‍රදේශයේ දී විදේශීය කාන්තාවක්‌ සමඟ ගංජා ළඟ තබාගෙන සිටි තරුණයකු 11 වැනි දින උදේ 4.10 ට පමණ අත්අඩංගුවට ගත් බව පානම පොලිසිය පවසයි.

ඔස්‌ට්‍රේලියානු තරුණියක්‌ සමඟ අරුගම්බෙ ප්‍රදේශයේ සිට පැමිණි මෙම සැකකරු ඉකුත් 10 වැනි දින හවස පානම වැව අසල ගල් තලාවක තාවකාලික කූඩාරමක්‌ තනාගෙන රැය පහන් කිරීමට සූදානම් වී ඇත.

එය සැලවූ සැකකරු හඳුනන තවත් පුද්ගලයකු ඔහු සොයා පැමිණ ඇති අතර ඔහුත් මොවුන් සමඟම රැය පහන් කිරීමට තීරණය කර ඇත.

සැකකරු අකමැත්තෙන් වුවද අනෙක්‌ පුද්ගලයාගේ තීරණයට ඉඩදී තිදෙනාම එකතු වී ගංජා සහ වෙනත් විවිධ වර්ග පානය කර ඇතැයි පොලිසිය පවසයි.

කෙසේ හෝ රාත්‍රී 2.00 ට පමණ සැකකරු අනෙක්‌ පුද්ගලයාට පහරදී එළවා ඇති අතර ඔහු දුවවිත් පානම පොලිසියට මේ බව පවසා ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා පානම පොලිසියේ පොලිස්‌ සැරයන් (46412) ජයතිලක සහ පොලිස්‌ සැරයන් (59660) ජයසුන්දර යන නිලධාරින් සහභාගි වූ අතර පොතුවිල් සහකාර පොලිස්‌ අධිකාරි වැලිසරගේ මහතාගේ උපදෙස්‌ පරිදි පානම පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.