අංගම්පොර ශූරයෙක් , අත් බෝම්බත් තිබිලා – පොලිස් නිලධාරියා මරපු හිමියන්ගෙන් ගමේ අයට පුදුම කරදරයක්

6559

නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තුවක් භාරදීමට රත්නපුර, වෙරළුප ශ්‍රී සම්බුද්ධාරාම විහාරස්ථානයට ගිය රත්නපුර පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් බ්.ර්.ඛ්.බ්. සමරවික්‍රම (44102) මහතාට එම විහාරාධිපති හිමියන් පහරදී ගෙල මිරිකීමකින් අසාධ්‍ය තත්ත්වයෙන් රත්නපුර මහ රෝහලට රැගෙන යන අතරතුරදී මියගොස් ඇති බව රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ නිලධාරියෙක් පැවැසීය.

මියගොස් ඇති පොලිස් සැරයන්වරයා පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. ඔහු මෑතකදී පල්ලේබැද්ද පොලිසියේ සිට රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව ස්ථාන මාරුවක් ලබා පැමිණි නිලධාරියෙකි. මෙම විහාරාධිපති හිමියන් විහාරස්ථානය අවට වෙසෙන්නන් සමඟද විවිධ ආරවුල් ඇති කරගෙන නඩු කිහිපයකටම පෙනී සිටින හිමිනමක් බව ප්‍රදේශවාසීහු කියති.

පොලිස් සැරයන්වරයා ඊයේ (10දා) විහාරස්ථානයට ගොස් තිබුණේ එකී හිමිනමට එරෙහිව විභාග වෙමින් පැවැති නඩුවක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම නිසා නිකුත් කර තිබුණු වරෙන්තුවක් භාර දීම සඳහාය.අසල පදිංචිකරුවකු වූ නිමල් නමැත්තකු පැවැසුවේ මෙම හිමිනම විසින් ප්‍රදේශවාසීන්ට හිරිහැර වන අයුරින් සිදු කරන විවිධ විෂමාචාර ක්‍රියා නිසා පොලිසිය ක්‍රියාත්මක නොවුණු තැන ඒ පිළිබඳව ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාටද අවස්ථා ගණනාවකදීම පැමිණිලි කර ඇති බවය.

සිද්ධිය වූ දිනයේ විහාරස්ථානය දෙසින් පුද්ගලයකු මර හඬ දී කෑගසනවිට නිවෙසෙන් පිටතට පැමිණ බලද්දී ආවාස ගෙය ‍ෙදාරකඩ කෙනකු බිම පෙරළා ගෙන ගෙල සිර කරගෙන සිටින අයුරු දුටු බව තවත් පුද්ගලයකු පැවැසීය. සිද්ධියේ බරපතළ බව මෙන්ම භික්ෂුන් වහන්සේගේ පෙර ක්‍රියාවන් ගැනද දැන සිටි නිසා ඔවුන් එදෙසට නොගිය බවත් වහාම දුරකථනයෙන් පොලිසියට සිද්ධිය දැනුම් දුන් බවත් ඔහු පැවැසීය. එයින් ටික වේලාවකට පසු පොලිස් නිලධාරීන් එහි පැමිණ බලද්දී පොලිස් නිලධාරියා සිහිසුන්ව ආවාස ගෙය ඉදිරිපිට වැටී සිටි අතර සැකකාර හිමිනම ඒ වනවිටත් සිට ඇත්තේ චීවරයකින් තොරව කොට කලිසමකින් සැරසී ගෙනය.

පොලිසියෙන් එනවා දැක ආවාස ගෙයට රිංගා ‍ෙදාර වසාගත් සැකකාර භික්‍ෂුව එළියට ඇවිත් අත්තේ අත්බෝම්බයක්ද අත ඇතිවයි. එම බෝම්බය එල්ල කරන්නට පළමුව පොලිස් නිලධාරීන් අත තිබූ පොල්ලකින් පහරදී සැකකරු මෙල්ල කරගෙන ඇත.විදේශ රටක නිෂ්පාදනය කළ අත්බෝම්බයක් ආවාස ගෙය ඉදිරිපස කොටසේ වැටී තිබිණි.පොලිස් නිලධාරියා හිස පැලඳි තොප්පිය සහ ගෙන ගිය ලියකියැවිලිද එම ස්ථානයේ වැටී තිබිණි.

පොලිසිය එන විටත් පොලිස් සැරයන්වරයා සිහිසුන්ව ආවාස ගෙය ඉස්තෝප්පුවේ වැටී සිටි බවත් කඩිනමින් රෝහලට ගෙන ගියත් ඒ වන විටත් මියගොස් සිටි බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට රත්නපුර පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී. සැකකාර හිමිනම කෝන්වලානේ ධම්මසාර යන නමින් පෙනී සිටිමින් මින් වසර 10කට පමණ පෙර මෙම ස්ථානයට පැමිණ ඇත්තේ ආගන්තුකයකු ලෙසටය. පැමිණ ටික කලකදීම ප්‍රදේශවාසීන් සමඟ ගැටුම් ඇති කරගෙන නොයෙක් විට ගම්මුන්ට පහර දීම්ද සිදු කර ඇත. ඔහු අංගම්පොර ශූරයකු බවද අසල්වැසියෝ පවසති. පන්සල හා විහාරස්ථානයේ නඩත්තුව සඳහා විවිධ කරුණු සඳහන් කොට ටිකට්පත් අලෙවි කර මුදල් ලබා ගන්නා බවද කීය.

රත්නපුර පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.රත්නපුර වැඩබලන මහෙස්ත්‍රාත් නිරෝෂ් නින්දවත්ත මහතා ඊයේ සවස සිද්ධිය වූ ස්ථානයට ගොස් නිරීක්‍ෂණය කිරීමෙන් පසු පරීක්‍ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.