මාස 6 සිගිත්තා දැඩි සත්කාර ඒකකයේ – මව රෝහල් වැසිකිලියේ අමුතු වැඩක

4432

මාස හයක් වයස තම දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරේ රෝහලේ වැසිකිළියක් තුළට වී හෙරොයින් පානය කිරීම සම්බන්ධයෙන් වරදකාරිය වූ 27 හැවිරිදි මවකට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ. නිශාන්ත පීරිස් මහතා දැඩි ලෙස අවවාද කොට රුපියල් 5000ක දඩයක් නියම කළේය.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි විත්තිකාර කාන්තාවකට මෙසේ දඩ නියම විය.

මේ කාන්තාවගේ මාස 6ක් වයස කුඩා දරුවාට නිව්මෝනියා රෝගය වැලඳීම නිසා කොළඹ රෝහලකට ඇතුළු කළ පසු එහි සිට කරාපිටිය ශික්ෂණ රෝහලට දරුවා මාරුකර එවා තිබේ. එහිදී රෝගී දරුවා ළමා දැඩි සත්කාර ඒකකයට ප්‍රතිකාර සඳහා ඇතුළු කර ඇත.

දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ පසු දරුවාගේ මව රෝහලේ උඩුමහලේ පිහිටි මවුවරුන්ගේ නේවාසිකාගාරයේ නැවතී ඇත. මෙම කාන්තාවගේ සැමියා විදේශගතව සිටින නිසා ඇය දරුවා සමඟ මෙසේ පැමිණ තිබේ.

මේ අතර දරුවා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන නමුත් මේ කාන්තාවගේ හැසිරීම පිළිබඳ එහි සිටි අනිත් මවුවරුන් තුළ කිසියම් සැකයක් මතුවී ඇත. කෙසේ වෙතත් ඇය පිළිබඳ සෙවිල්ලෙන් සිටින විට මේ කාන්තාව නේවාසිකාගාරයේ වැසිකිළිය තුළට වී හෙරොයින් පානය කරන අයුරු දැක රෝහල් පොලිසියට දැනුම් දී තිබේ.

ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයසිරි හා කාන්තා කොස්තාපල් සුධර්මිකා යන නිලධාරීන් විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා ගාල්ල මූලස්ථාන පොලිසිය වෙත භාරදී තිබිණි.

ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ ගාල්ල මූලස්ථාන පොලිසිය සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ දඩ නියම විය.

තම දරුවා රැගෙන එන විට ඇය හෙරොයින්ද ගෙනැවිත් ඇති බවද පරීක්ෂණවලදී හෙළිවී ඇත. ගාල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ සැරයන් සමරජීව මහතා (59016) පැමිණිල්ල ඉදිරිපත් කළේය.