පාසල් ළමුන් 4ක් අල්ලන්න අනුරාධපුර පොලිසියෙන් අති දැවැන්ත මෙහෙයුමක්

4752

මිහින්තලය පොලිස් වසමේ පිහිටි දේශපාලන බවලතියකට අයත් වත්තකින් පොල් ගෙඩි තිහක් පමණ කඩාගත් පාසල් සිසුන් සිවු දෙනකු අල්ලා ගැනීමට උසස් පොලිස් නිලධාරියකුගේ නියෝග මත පොලිස් නිලධාරීන් 25 දෙනකු පිටත්කර යැවීමේ පුවතක් මිහින්තලය පොලිස් වසමෙන් වාර්තා වේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන බවලතියට අයත් මිහින්තලය, කලත්තෑව ප්‍රදේශයේ පිහිටි ඉඩමකට අනවසරයෙන් ඇතුළු වූ පාසල් සිසුන් සිවු දෙනකු එක් වී මීට දින හතරකට පමණ ඉහතදී කුරුම්බා හා පොල් ගෙඩි තිහක් පමණ කඩාගෙන ගොස් ඇති බව සැලවුණු විගස ඇය සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකුට නියෝග කර තිබේ.

පොල් ගෙඩි තිහක් කඩා ගැනීම නිසා කෝපයට පත්ව සිටි ඇය තරමක් උස් හඩින් කතා කරමින් කළ නියෝගයට වහාම ක්‍රියාත්මක වූ ඉහත කී උසස් නිලධාරියා කලත්තෑවේ පිහිටි පොල්වත්තෙන් පොල් කැඩූ පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මිහින්තලය පොලිසියට නියෝග කර තිබිණි.

උසස් පොලිස් නිලධාරියාගේ නියෝගයට අනුව මිහින්තලය පොලිසියේ නිලධාරීන් 25 දෙනකු අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණ අරඹා ඇති අතර බවලතියගේ පොල් කැඩූ පිරිස පාසල් සිසුන් බව අනාවරණය කරගෙන පොල් ගෙඩි 15ක් සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

බවලතියගේ වත්තේ පොල් කැඩූ පිරිස බාලවයස්කාර පාසල් සිසුන් පිරිසක් බව මිහින්තලය පොලිසිය අදාළ උසස් නිලධාරියාට දන්වා ඇති අතර ඔහු විසින් ඒ බව ඇයට දන්වා තිබේ. පාසල් සිසුන් පිරිසක් නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැති බව බවලතිය උසස් පොලිස් නිලධාරියාට දන්වා තිබේ.නමුත් පාසල් සිසුන් සිවුදෙනා ඇගේ නිවෙසට යවා සමාව අයැදීමට කටයුතු යොදන ලෙස උසස් නිලධාරියා පරීක්ෂණ සිදුකළ පොලිස් නිලධාරියාට දැන්වූ අවස්ථාවේ එය කිසිසේත්ම ඉටුකළ නොහැකි බව එම නිලධාරියා පෙරළා උසස් නිලධාරියාට පවසා තිබේ.

“සර් ඔය ළමයි එතන්ට ගියාම ඔතන ඉන්න කෙනෙක් නිකමට හරි ගැහුවොත් මට තමයි ප්‍රශ්නය එන්නේ. ඔය ඉල්ලීම ඉල්ලන්න එපා මම මේ ළමයින්ව උසාවියට දාන්නම්” යනුවෙන් එම නිලධාරියා උසස් නිලධාරියාට පැවැසූ බව අනාවරණය වේ.පසුව පාසල් සිසුන් සිවු දෙනාව අධිකරණයට ඉදිරිපත් කිරීම අනවශ්‍ය බව බවලතිය පැවැසීම නිසා දරුවන්ගේ මවුපියන් එහි යවා සිදුවූ වරදට ඇයගෙන් සමාව ඉල්ලීමට කටයුතු කර තිබිණි. දරුවන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ඔවුන්ට තරයේ අවවාද කිරීමට බවලතිය කටයුතු කර තිබිණි.

පොල් හොරුන් ඇල්ලීමට මිහින්තලය පොලිසියේ නිලධාරීන් 25 දෙනකු යෙදවීමට කිසියම් උසස් නිලධාරියකු උපදෙස් දුන්නේද යන්න සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවැසුවේය.

“කවුද ඔය බොරු කියන්නේ. මාධ්‍යවලින් නැති ප්‍රශ්න ඇති කරන්න එපා. නිලධාරීන් විසිපහක් ගියේ නෑ. කිසිම අමාත්‍යවරයෙක් එහෙම නියෝග කළෙත් නෑ. ලැබුණු පැමිණිල්ලට අනුව පරීක්ෂණ කරලා අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුන් සිවු දෙනකු අත්අඩංගුවට ගත්තා. ඔවුන් මුදාහරින්න පැමිණිලි අවශ්‍ය නෑ කියලා මට උපදෙස් ලැබුණා. මේ ළමයින් මත්ද්‍රව්‍ය බොන්න ඇබ්බැහිවෙලා ඉන්නේ. ගේට්ටු වහලා තියෙන වත්තකට ඇතුළු වෙලා හොරකම් කළා කියලා පැමිණිලි ලැබුණම අපි නිකන් ඉන්න ඕනද? ඔයාලා නැති ප්‍රශ්න ඇති කරනවා” යනුවෙන් ඒ මහතා පැවැසුවේය.