ලංකාවටම එකයි – හීනටියන පොසොන් පෙරහැර මෙවරත් (වීඩියෝ සහිතයි)

4326

සත්ත්ව අනූරූ යොදා ගනිමින් ලෝකයේ විවිධ රටවල ජන නාට්‍ය රඟ දැක්වෙයි. ලංකාවේ ද ජන නාට්‍ය පැවැතියද, සත්ත්ව අනුරූ පමණක් යොදා ගනිමින් දිවා කාලයේ පවත්වන පෙරහරක් තිබේ. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, හීනටියන ප්‍රදේශයේය.මෙවරත් පසුගිය සෙනසුරාදා අති උත්කර්ෂවත් අයුරින් මේ පෙරහැර පැවැත් වුනා.දැකල තියෙනවද මේ නැටුම දිනෙක මිතුරෙක් අන්තර්ජාලයෙන් දකුණු ඉන්දියාවේ කච්චිගෝඩි නම් වූ ජනරංගනයක් පෙන්නුවේය. එය අපූරු ය. විචිත්‍රවත් ය. වර්ණවත් ලෙස සාදන ලද අශ්ව අනුරුවකට බැස සංගීතයකට අනුව පැද්දෙන නැළැවෙන පිරිමියෙකි. ඒ ආසන්නයේ ම එවැනි අශ්ව අනුරුව සමඟ පැද්දෙන නැළැවෙන ගී ගයන අය ය.

“මේ නැටුම්වල විනෝදය වගේ ම අාධ්‍යාත්මික පැත්තකුත් තියෙනවා. ඒ වගේ ම තමයි දකුණු ඉන්දියාවේ පුලි කියලා කොටි නැටුමක් තියෙනවා. මිනිස් ඇ‍ඟේ වර්ණ ආලේප කරලා කරන නැටුමක්. ඒ වගේම තමයි ජපානයේ කබුකි වලත් මේ සත්ව නැටුම තියෙනවා. ඒ කියන්නේ අශ්ව වල්ගයක් වන වන වේදිකාවට එනකොට අපි දන්නවා ඒ නළුවා ආවේ අශ්වයා පිටේ කියලා. එහෙමයි ඒ කලාවන්වල හැඩ රුව”විවිධ රටවල ජන රංගන ගැන කතා කරන මිතුරා අපේ රටේ ජන රංගනයක් ගැන ද සඳහන් කළේය.

“අපේ රටෙත් තියෙනවා අපටම ආවේණික පෙරහැරක්. ඒ පෙරහැරේ යන්නේ සත්ත්ව රූප අඹලා. ඒවා බයිසිකල්වල බැඳගෙන යනවා.”

“කොහෙද ?”

“මිනුවන්ගොඩ හීනටියන පොසොන් පෙරහැර බලන්නකෝ”

මිත්‍රයා යායුතු තැන් සියල්ල පැහැදිලි ලෙස කීවේය.

දකුණු ‍ඉන්දියාවේ සිට පැමිණි සංක්‍රමණිකයන්ගෙන් මේ සත්ත්ව රංගන පැවත ඒ යැයි මගේ මිත්‍රයා අනුමාන කරන්නේය. සැබෑවට ම හීනටියන ගමට පමණක් උරුම වූ පොසොන් පෙරහර පිළිබඳ තොරතුරු සොයන්නට ඉකුත් දිනෙක අපි එහි ගියෙමු.

දකුණින් සංක්‍රමණය වූ ජන කොට්ඨාසයකට අයත් ජනතාව වෙසෙන මේ ගම්මානයේ එක ගමක් නොව ගම්මාන කිහිපයක් ම වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හීනටියන ගමහි තවත් කුඩා ගම්මාන හතක් ම ඇත. මහගම, ගුරුගම, මෝලගොඩැල්ල, නුගේගොඩැල්ල, ධම්මාලෝක ගම, උඩවල, ගෝණමඩිත්ත ජනපදය එම ගම්මාන වේ.

හීනටියන පොත්ගුල් විහාරය මූලික කොටගෙන පොසොන් පොහොය නිමිත්තෙන් වීථි සංචාරය කරනු ලබන හීනටියන පොසොන් පෙරහර පිළිබඳ අප මුලින් ම විමසුවේ හීනටියන පොත්ගුල් විහාරයේ විහාරාධිපති හීනටියන නන්දතිස්ස ස්වාමීන් වහන්සේගෙනි.

“හීනටියන ධම්මාලෝක ස්වාමින් වහන්සේ මුල්වෙලා තමයි මේ පෙරහර මුලින් ම පටන් ගත්තේ මල් පෙරහරක් ලෙස. ඒ කාලේ පෙරහර ගියේ ගම වටේ. පස්සේ ඒ යන ප්‍රදේශය ක්‍රමයෙන් වැඩි වුණා. නායක ස්වාමීන් වහන්සේගෙන් පසුව මම පෙරහර කරන්න පටන් ගත්තා. පස්සේ පස්සේ මේ පෙරහරට තවත් අංග එකතු වුණා. ඒ තමයි ඔය සත්ත්ව රූප නිර්මාණය. කාලයක් පෙරහර නතර කරන්න අපට සිදුවුණා. ඒ පාලමේ වැඩ අවසන් කරන තුරු. කොහොම වුණත් මේ පෙරහර ගමේ ජනතාව අතර බැඳීමක් සහයෝගයක් මෙන්ම ගමයි, පන්සලයි අතර තද සම්බන්ධතාවක් ඇති කිරීමට සමත් වුණා”නායක ස්වාමීන් වහන්සේ පවසන්නේ එදා මෙදාතුර ගමත් පන්සලත් අතර ඇති බැඳීමය.

වසර සිය ගණනකට වඩා පැරණි පොත්ගුල් විහාරයේ විහාර ගෙයි ඇති බිතු සිතුවම් නුවර යුගයට අයත් යැයි සැලකේ. එමෙන් ම ඉපැරණි බෝධින් වහන්සේ විහාරගෙයට ඇතුළු වන විට ඇති මකර තොරණ විහාරස්ථානයට තේජස් බවක් ගෙනේ. කෙසේ වෙතත් හීනටියන ගමේ ගැමියන්ගේ උරුමයක් බඳුවූ පොසොන් පෙරහර එහි ප්‍රෞඨත්වය කියාපාන්නකි.

“ඉස්සෙල්ල ම තිබුණේ මල් පෙරහර. ඒ පාපැදිවල අතුවල එල්ලලා මල් අතු හදනවා. එහෙම නැත්නම් පොල් අත්තේ මල් එල්ලනවා. ඔහොම කරමින් ඉන්න ක‍ාලෙක තමයි මට හිතුණේ සතෙක් හදන්න ඕන කියලා. මට මතක හැටියට 1962 අවුරුද්දේ මම පොසොන් පෙරහරට එරමිණියා වැල්වලින් ගැටගහලා වේවැල්වලින් සිංහයෙක් හැදුවා. ඒවා බයිසිකලේ බැඳලා තල්ලු කරගෙන පෙරහරේ ගියා. ඒකෙන් මම පුදුමාකාර විදිහේ ආස්වාදයක් ලැබුවා. ඉන් පස්සේ ගිරවෙක්, ගෝණෙක් වගේ සත්තු හැදුවා.” දායක සභාවේ සභාපති ලෙස කටයුතු කරන එම්. පියදාස සිල්වා පවසන්නේ තමන් ගැටවර වියේදි කළ දස්කම් පිළිබඳව ය.

වසර ගණනාවක අතීතයන්ට උරුමකම් කියන හීනටියන ගම්මානයේ අදත් බොහෝ ගැමියෝ ජීවත් වන්නේ කෘෂි කර්මාන්තයෙනි. එකල ගමේ ඇතැමුන් සැර පරුෂ වූහ. නමුත් මේ සියලු මිනිසුන් යහමඟට ගැනීමේ පූර්ණ ගෞරවය හිමිවන්නේ හීනටියන පොත් ගුල් විහාරයටය.

මුලින්ම ඉන්දියාවෙන් ලංකාවට ද, ඉන්පසු දකුණු පළාතෙන් හීනටියන ප්‍රදේශයට ද සංචාරය වන්නට ඇතැයි සැලකෙන ෙම් ගැමියෝ අද වන විට පොසොන් පෙරහර තම උරුමයක් සේ සලකති. එකල කෘෂිකර්මයේ නියැළුණ ද අද වන විට බො‍හෝ තරුණයන් මෙන් ම වැඩිහිටියන්ද දිවි රැක ගන්නේ වෙළෙඳාම් කිරීම මඟිනි. නමුත් ඔවුන් පෙරහර සමයට රැකියාවට වඩා මුල්තැන දෙන්නේ පෙරහරටය.

“පොළේ අල ලූනු විකුණන එක තමයි මම කරන්නේ. ඒ වුණත් පෙරහර කාලෙට මං මුල්තැන දෙන්නේ මේකට. මම හැම අවුරුද්දෙම අලුත් නිර්මාණයක් කරනවා. මෙවර මම නිර්මාණය කරන්නේ පිඹුරෙක් මොනරෙක්ව ගිලින අයුරු. මේකට රුපියල් පහළොස් දහසක් විතර වියදම් වේවි. සල්ලි වියදම් වුණාට වඩා සතුටක් මම මෙයින් ලබනවා.” වික්‍රමසිංහ අප හා එසේ පවසමින් තවමත් වැඩ නිම වී නොමැති පිඹුරා හා මොනර නිර්මාණයේ අඩු පාඩු සැෙකවින් පවසයි.

ගමේ සෑම නිවෙසකම පාහේ මොකෙ‍ක් හෝ සතෙක් පෙරහර වෙනුවෙන් නිර්මාණය වේ. අප ගිය බොහෝ නිවෙස්වල තිබූ සත්ව නිර්මාණ තවමත් වැඩ නිමවා නැත. ගම්මැද්දේ ගිය අප අවසානයට ගොඩවූයේ චමින්දගේ නිවෙසටය. එහි එක් තැනෙක බයිසිකලයක් මත අශ්ව රූපයක් සාදා ඇත. තවත් තැනෙක පටාචාරා කතාවට ඇතුළත් උකුස්සා විසින් දරුවා ඩැහැගෙන යන අයුරු බාගෙට සාදා ඇත. එය දැවැන්ත නිර්මාණයකි.

“හුඟක් නිර්මාණවල වැඩ ඉවර කරන්නේ පෙරහරට ඔන්න මෙන්න තියලා. මම වෙළෙඳාම කරන්නේ. නමුත් පෙ‍රහර කාලෙට මම සත්තු හදනවා. සමහරු මට සියලු ද්‍රව්‍ය ගෙනැල්ලා දීලා මහන්සියටත් ගෙවනවා. සමහරු නම් බඩු විතරයි ගේන්නේ. ඒත් මම කරලා දෙනවා. කවුරුත් ආසයිනේ මේ වැඩේට.” දැන් මම සත්තු කිහිප දෙනෙක් ම හදලා ඉවරයි. ඒවා අරගෙන ගිහිල්ලා. මේ ඉන්නේ හදපු එක අශ්වයෙක්.”

චමින්ද අපට නිමකර ඇති අශ්වයකු ගෙන පෙන්වයි. බැලූ බැල්මට ඌ ඇත්ත අශ්වයෙක් බඳුය.

“චමින්ද කොහොමද මේවා හදන්න ඉගෙන ගත්තේ?”

“පුංචි කාලේ ඉඳලම හැදුවා. අත ඒවටම හුරුවුණා. දැන් මට ඕනෑම සතෙක් හදන්න පුළුවන්.”

චමින්ද පවසන්නේ තමන් ගැනම ආඩම්බරයෙනි.

ගම්මානවල අවටින් සොයා ගන්නා වේවැල්වලින් මේ සත්ව රූපවල සැකිල්ල බඳිනු ලැබේ. ඉන්පසු ඒ මත ගෝණි අලවනු ලැබේ. ඊ‍ට පස්සෙ පාප්ප හා කඩදාසි අලවා අවසානයේ සත්ත්වයා අවශ්‍ය ලෙස වර්ණ ගන්වනු ලැබේ. චමින්ද නිමවා තිබූ අශ්වයා දුටුවිට මට සිහි වූයේ අන්තර්ජාලයෙන් දුටු රාජස්ථානයේ කච්චිගෝඩි නැටුමයි. එය රාජාස්ථානයේ ජන නැටුමකි. අශ්ව අනුරුව නටවන්නේ ඒ මැද සිට ගන්නා නර්තන ශිල්පියාය. එහෙට මෙහෙට පැද්දෙමින් උස්හඬින් ගායනය කරමින් මේ ජන නැටුම ඉතා අලංකාර ලෙස ඉදිරිපත් කරනු ලැබේ. නමුදු අපේ රටේ හීනටියන ගමේ මේ ජන නැටුම්වලට නමක් නැත. වසර හැත්තෑ හතකට වැඩි ඉතිහාසයක් ඇත. දැනට ලංකාවේ ඇති විවිධ සත්ත්ව රූප රැගත් එකම පෙරහර මෙය වේ. (නමුදු කනගාටුවට නම් මේ පිළිබඳව කිසිම වාර්තාවක ලේඛන ගතවී හෝ ලියාපදිංචි වී නොමැති වීමය.) ගැමියෝ තම නිවෙස්වල සාදන සත්ත්ව රූප ගැන කතා කරන්නේ ආඩම්බරයෙනි. ඔවුහු ලෝකය කොතරම් දියුණු වූවද තවමත් සාම්ප්‍රදායික ගම තුළ ජීවත්ෙවති. කුඹුරු කපා අස්වැන්න ගෙට ගන්නේ උඩවල මුත්තා දෙවියන්ට භාර හාර ඔප්පු කිරීමෙනි. උඩවල මුත්තා යනු හීනටියන ගැමියන් විසින් අදහනු ලබන ප්‍රාදේශීය දෙවි කෙනෙකි.

“උඩවල මුත්තා කියන්නේ සකලකලා වල්ලභ රජුගේ සෙනෙවියෙක්. උඩවල රාල නම් සෙනෙවියා තමයි පසු කෙලක උඩවල මුත්තා වුෙණ්. උඩවල මුත්තා දෙවියන්ගේ බිරිය, මුත්තම්මා මුත්තම්මා. මේ මුත්තම්මා මුත්තම්මා දෙවඟනට පැතිගොඩ ආච්චි කියලත් කියනවා. කොහොම නමුත් මේ ගමේ මිනිස්සු බොහෝම ගෞරවයෙන් තමයි උඩවල මුත්තව සිහිපත් කරන්නේ. අපි ඕනෑම සුබ කටයුත්තකට පෙර උඩවල මුත්තා දෙවියන් සිහිපත් කරනවා. ගැමියෝ මුල් ක‍ා‍ෙල් මේ දේවාලේ තනිවම තමයි පූජා විධි කරලා තියෙන්නේ.”

වසර විසි අටක් තිස්සේ උඩවල මුත්තා දේවාලයේ කපුමහතා ලෙස කටයුතු කරන එල්. කුලරත්න පවසයි. ඔහු දෑස් අන්ධ අයෙකි.

උඩවල මුත්තා හා පැතිගොඩ ආච්චි හෙවත් මුත්තම්මා මුත්තම්මා ගැන ගැමියෝ විවිධ කතා කියති. ඒ හැම කතාවකම ඇත්තේ උඩවල මුත්තා පිළිබඳ වීරත්වය විදහා දක්වන කතාය.

ගම නවීකරණයට වූවාට ඇතැම් ගැමියෝ කැමති නැත. ඔවුහු එනිසාම නිහඬ වෙති. නමුත් සැවොම එක්වී පෙරහරට තම පූර්ණ දායකත්වය ලබා දෙති.

“අතීතයේදී මේ පෙරහර ආරම්භ කරලා තියෙන්නේ හීනටියන ධම්මාලෝක හාමුදුරුවෝ හා හීනටියන ධම්මක්ඛන්ධ ස්වාමින් වහන්සේයි. ඒ කාලේ හීනටියන ගමේ හැම පාරකම මේ පෙරහර ගමන් කරලා තියෙනවා. ධම්මක්ඛන්ධ නායක හාමුදුරුවෝ කාලයක් උන්වහන්සේගේ තනි වියදමින් පෙරහර කරලා තියෙනවා. උන්වහන්සේගේ අභාවයෙන් පස්සේ ධම්මාලෝක නායක ස්වාමින් වහන්සේ තමයි මේ සියලු කාර්යයන්වලට උර දුන්නේ. විහාරස්ථානයේ චෛත්‍යයේ කොත පැලඳවීමේ අවස්ථාව මුල්කරගෙන පොසොන් පෙරහර ආරම්භ වී තිබෙනවා. එහෙම ආරම්භ කරපු පෙරහර අද වන විට විවිධ දේ එක් වෙමින් වඩ වඩාත් වර්ධනය වී තිබෙනවා. ගමේ නිර්මාණ ශිල්පීන් සාදන සත්ව ආකෘතිවලට අමතරව විවිධ නැටුම් කණ්ඩායම් පෙරහරේ ගමන් කරනවා.”

විහාරාධිකාරි හීනටියන ධම්මදස්සි හිමි පවසන්නේ පෙරහරේ අලුත් තත්වය පිළිබඳවය.ගැමියෝ පන්සලට ගොඩවෙති. තවත් විටෙක අප හා ගම වටා යති. ඒ යන එන ගමන් ඔවුන් පවසන්නේ තම ගමේ ඉතිහාසය ගැනයි. ගැමියන් අතර ඇති එකමුතුව ගැනයි.“ඉස්සර නම් එක එක ප්‍රශ්න ගමේ තිබිලා තියෙනවා. නමුත් දැන් එහෙම නැහැ. මේ ගමේ ජීවත් වන්නේ හතරවැනි පරම්පරාව. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අපේ ගමේ තියෙන පෙරහර බලන්න පිරිස එනවා.”ගමේ සමාජීය වටපිටාව නගා සිටුවීමට දායක වූ හා පෙරහරට උරදී කටයුතු කරන තරුණයකු වන සජීව පවසන්නේ හැඟුම්බරවය.

කෙසේ වෙතත් එක්දහස් නවසිය විස්ස එක්දහස් නවසිය තිහ අතර කාලයේ ආරම්භ වන්නට ඇතැයි අනුමාන කෙරෙන ලංකාවේ දහවල් පවත්වන එකම මිහිඳු පෙරහර මෙය වේ.

“එක්තරා යුගයක් කියා පාන, එක්තරා ජන විශේෂත්වයක් පිළිබඳ කියාපාන, ඒ ගැමියන්ටම උරුම වූ ජන නැටුම් කලාවකට උරුමකම් කියන මේ පොසොන් පෙරහර පිළිබඳ ජාතික වගකීමක් එක් නොවීම ‍නම් කනගාටුවට කරුණකි. කාගේ අවධානය යොමු වුවද නොවූවද මේ හීනටියන පොත්ගුල් විහාරය ආශ්‍රිත ගම්මානයේ වැසියෝ වාර්ෂික පෙරහර තම තමන්ට හැකි අයුරින් පවත්වාගෙන යති. කලහුගොඩ, පිල්ලවත්ත, යටියන හරහා මිනුවන්ගොඩ නගරයට පැමිණ ඉන්පසුව කොළඹ නුවර මාර්ගයේ අඹගහවත්ත, පත්තඩුවන, මිරිස්වත්ත යාගොඩමුල්ල යන ගම් පසුකොට විහාරස්ථානයට පැමිණෙනවා. මෙවරත් මේ මස 30 වැනිදා විහාරාධිපති නන්දතිස්ස ස්වාමින් වහන්සේගේ අනුශාසනා උපදෙස් පරිදි පෙරහර පැවැත්වෙනවා.”

විහාරාධිකාරි ධම්මදස්සි ස්වාමීන් වහන්සේ පවසන්නේය.

හීනටියන ගමට කිසි විටෙකත් බාහිර බලපෑම් ඇති නොව‍ූයේය. ඒ ගැමියන් අතර සිටි දැවැන්තයෝ ගම ගැන නිරන්තරවම සොයා බැලූ බැවිනි. හීනටියන ශ්‍රී ධම්මක්ඛන්ධ නායක ස්වාමින් වහන්සේගේ කාලයේදී කාලිංග දොන් තිමොන්ති රාලහාමි විහාරස්ථානයේ බොහෝ සංවර්ධන කටයුතුවලට දායක වූයේය.

අතීතයේ මෙන්ම වර්තමානයේ ගම්මුන් එකතුව ගමේ දියුණුව වෙනුවෙන් ඇපවෙති. කැපවෙති.