ටින් බෙලෙක්ක වෙනුවට වයිබර් ෆෝන් අත රැදී ඊසි කෑෂ් වලින් ගනුදෙනු කරන යාචකයන්ගේ සුපිරි ජිවිතේ

3261

මෙරට වැසියන් ඕනෑම කෙනකු යාචකයන් හොඳින් හඳුනති. ඊට හේතුව වන්නේ යාචකයින් එසේත් නැත්නම් හිඟන මිනිසුන් ඕනෑ තරම් ලංකාවේ සියලු නගරවල සහ බස් රථවල හිඟමන් යදින නිසාවෙනි.බොහෝ විට අතීතයේදී පුද්ගලයන් හිඟමනට වැටෙන්නේ තමන්ට කිසිදු ඥාතියකුගේ හෝ හිතවතකුගේ සරණක් නොමැතිකමිනි. තමන්ට අවශ්‍ය ආහාරපාන ටික සොයා ගැනීමට ඕනෑම පුද්ගලයකුට අතපෑම මෙලෙස අසරණ වන පුද්ගලයන්ගේ පුරුද්දකි. මාර්ග දෙපස ජනතාව නොමැති ප්‍රදේශවලදී ඔවුන් බස්රථවලට ගොඩ වී හිඟමන් යදිති.ශ්‍රී ලංකාවේ අපට පුරුදු යාචකයින් මෙලෙස හිඟමන් යැදීම සිදු කළද ලෝකයේ සංවර්ධිත රටවල් බොහොමයක අසරණ තත්ත්වයට පත් වෙන පුද්ගලයන් තමන්ට අවශ්‍ය ආහාරපාන සොයා ගැනීම සඳහා භාවිත කරන්නේ වෙනස් ක්‍රමයකි.

ඔවුන් ජනතාව ගැවසෙන ස්ථානවලට පැමිණ ප්‍රසිද්ධ පුද්ගලයන් හැඳ පලඳින විදිහට ඔවුන්ව අනුකරණය කරති. තවත් සමහරුන් අඹන ලද පිළිරුවක් සේ සිටිමින් මුදල් රැස් කර ගනිති. ඒ කුමන අයුරකින් හෝ මුදල් සොයා ගන්නා පුද්ගලයන් අපේ භාෂාවට අනුව හිඟන්නන්ය. එසේත් නැතිනම් යාචකයන්ය. ලෝකයේ සෑම රටකම මෙවැනි පුද්ගලයන් සිටිනු දැක ගත හැකිය.එහෙත් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ යාචකයින් යනු රැකියාව සඳහා හිඟමන් යදින පුද්ගලයන් බහුතරයකින් සමන්විත පිරිසකි. මෙය මහා පරිමාණ ව්‍යාපාරයක් සහ මාෆියාවක් බවට පත්ව ඇත. මේ පිළිබඳව අපිට තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි විය. එලෙස අප සොයාගත් ඇතැම් කරුණු ඔබ විශ්වාස නොකරනු ඇත.

ලංකාවේ ප්‍රධාන නගර රැසකම යාචකයින් රැසක් සිටින අතර ඔවුන්ගෙන් ජනතාවට වන අපහසුතාවන්ද සුළුපටු නොවේ. කොළඹ නගරය සහ ඒ අවට නගර කිහිපයක්ම කේන්ද්‍ර කර ගනිමින් යාචකයින්ගෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන ව්‍යාපාරිකයන් මෙන්ම යාචකයින් ලෙස ජනතාව රවටා දහස් ගණනින් මුදල් උපයා ගන්නා පුද්ගලයන් රැසකි.මෙලෙස යාචකයින් ලෙස පෙනී සිටින පුද්ගලයන් දිනකට රුපියල් 2500 සිට 5000 දක්වා මුදල් උපයන බව පැවසේ.කොළඹ කොටුව, මරදාන, වැල්ලවත්ත, දෙහිවල, නුගේගොඩ ඇතුළු ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන මෙම මාෆියාව දිනෙන් දින වැඩිවෙමින් පවතියි.කිසිවකුගේ බලපෑමක් නොමැතිව අසරණකම වෙනුවෙන් හිඟමන් යදින පුද්ගලයින්ද මේ අතර සිටිති. එහෙත් බහුතරයක් පාලනය වෙන්නේ යාචක මුදලාලිලාගෙන්ය.

ඇතැම් යාචකයින් උදෑසන 7-8 අතර වෑන් රථ සහ ත්‍රිරෝද රථවල පැමිණ ජනතාව ගැවසෙන ස්ථානවලින් සිය කර්මාන්තය අරඹයි. කාන්තාවන්, වැඩිහිටි පුද්ගලයන්, ආබාධිත පුද්ගලයන්, කුඩා දරුවන් සහ මව්වරුන්ද මේ කර්මාන්තය සඳහා යොදා ගනිති.මෙම වංචාකාරී ක්‍රියාව මෙහෙයවන පුද්ගලයන් විසින් හිඟන වෙස් ගන්නා අයට ආහාරපාන, මාසික වැටුප් සහ නවාතැන් පහසුකම් ලබාදීමට පියවර ගනු දක්නට ලැබේ.

යාචක රැකියාවේ යෙදෙන සිය ගෝලබාලයින්ට ඉතා හොඳ මට්ටමින් ආහාර පාන ලබාදීමට ඔවුන්ගේ හිමිකරුවන් එසේත් නැත්නම් මුදලාලිලා පියවර ගනිති. බොහෝ වෙලාවට උදෑසන ආහාරපාන ලබාදී පාරට බස්සවන අතර දවල්ට ප්‍රයිඩ් රයිස්, ලම්ප් රයිස් හෝ වෙනත් හොඳ මට්ටමේ ආහාර වේලක් ලබා දෙති. එම ආහාරපාන රැගෙන එන්නේද වෑන් රථයකින් හෝ ත්‍රිරෝද රථයකිනි. එය යාචක වෙස්ගෙන සිටින ස්ථානයටම පැමිණ ලබාදෙන අතර එය දකින සාමාන්‍ය පුද්ගලයින්ට හැඟෙන්නේ යාචකයකුට හොඳ මහතකු විසින් දහවල් ආහාර ලබා දෙනු ඇති බවයි.

යාචක මුදලාලිලා විසින් මෙලෙස හිඟන වෙස්ගෙන රැකියාවේ යෙදෙන පුද්ගලයන්ට අවශ්‍ය දෑ ඉටු කරනු ලබන්නේ ඔවුන්ව මෙම රැකියාවේ දිගින් දිගටම රඳවා ගැනීම සඳහායි.යාචකයින්ට දුරකථන ලබාදී ඇති අතර එම දුරකථන බොහොමයක් ‘ඇන්ඩේ‍රායිට්’ තාක්ෂණය සහිත ඒවාය. එම දුරකථන සියල්ලටම ‘වයිබර්’ තාක්ෂණය ලබාදී තිබේ. එයට හේතුව නම් තැරැව්කරුවන් විසින් රඳවා ඇති ස්ථානයේම යාචක වෙස්ගත් පුද්ගලයන් රැඳී සිටිනවාද නැද්ද යන්න සොයා බැලීම සඳහායි. යාචක මුදලාලි විසින් යාචක වෙස්ගෙන සිටින පුද්ගලයාට වයිබර් තාක්ෂණය මගින් වීඩියෝ සහිත ඇමතුමක් ලබාගෙන ඔහු අදාළ ස්ථානයේම සිටිනවාද නැද්ද යන්න පිළිබඳව තහවුරු කර ගනිති. තාක්ෂණය හේතුවෙන් යාචක වෙස්ගත් පුද්ගලයන්ට සිය තැරැව්කරුවන් එසේත් නැතිනම් යාචක මුදලාලිලාට වංචා කිරීමට හෝ සැඟව සිටීමට හැකියාවක් නොමැත.

යාචක රැකියාවේ යෙදී සිටින පුද්ගලයන් උපයන මුදල් බොහෝ වෙලාවට ජංගම දුරකථන මගින් යාචක මුදලාලිට යැවීම සිදුකරයි. එය ඊසි කෑෂ් ක්‍රමයට යැවෙන බව පැවසෙයි. එහිදී මුදල් ලබාගන්නා පුද්ගලයා එහි ඇති මුදලෙන් සියයට විස්සක් හෝ විසිපහක මුදලක් යාචක රැකියාවේ යෙදී සිටින පුද්ගලයාට නැවත එම තාක්ෂණය මගින්ම යැවෙන බව කියති. වැඩි වශයෙන්ම තැරැව්කරු කොළඹ නගරයෙන් පිටත සිටින අවස්ථාවල මෙම ක්‍රමය වැඩි වශයෙන් සිදුකරන බව සඳහන්ය.

යාචක මුදලාලි කෙනකු සතුව යාචකයන් ලෙස වෙස් ගත් නැතහොත් හිඟන්නන් ලෙස සේවය කරන පුද්ගලයන් පස් දෙනාගේ සිට පහළොස් දෙනා දක්වා සිටින බව කියති. මේ පුද්ගලයින්ට තැරැව්කරුවන් විසින් මුදල් ඉලක්ක ලබාදී ඇති අතර එම මුදල් ඉලක්ක අබිබවා යන පුද්ගලයන්ට කොමිස් මුදලට අමතරව බෝනස් දීමනාවක් ලබාදෙන බව පැවසේ.

වැඩි වශයෙන්ම කලර්ලයිට් නොහොත් රථවාහන පාලක විදුලි සංඥා තිබෙන මංසන්ධිවල කුඩා දරුවන් වඩාගත් කාන්තාවන්, රෝගාතුර වූ පුද්ගලයන් ලෙස පෙනී සිටින පුද්ගලයින් යාචක රැකියාවෙන් විශාල වශයෙන් මුදල් උපයති. වැඩිම ආදායමක් සොයන්නේ මේ පිරිස් බව කියති. ඔවුන් දවසට රුපියල් 5000 ඉක්මවන බව සඳහන්ය. එහෙත් මේ මුදලින් වැඩි කොටසක් යාචක මුදලාලිලා අතට පත් වෙති.

ඉතා හොර රහසේ බිහි කරන යාචක සේවය සඳහා ළමුන් යොදවන බවටද තොරතුරු සඳහන් වේ. ළමුන් බිහි කිරීමෙන් පසු මව්වරුන් එම ළමුන් යාචක මුදලාලිලාට අලෙවි කරන බවත් එලෙස ලබාගත් කුඩා ළමුන් කාන්තාවන්ට ලබාදී එම කාන්තාව අසරණ මවක් ලෙස කුඩා දරුවා සමග යාචක සේවයේ යොදවන බව කියති.යාචක රැකියාව සඳහා කොළඹට පිට පළාත්වලින් පැමිණෙන පුද්ගලයන් පිළිබඳවද තොරතුරු ලැබේ. අනුරාධපුර, ‍පොළොන්නරුව, මොනරාගල, බදුල්ල ආදී ඈත පළාත්වලින් මේ සඳහා පුද්ගලයින් පැමිණෙතැයි පැවසේ. මොවුන් නේවාසිකව සිය රැකියාවේ නිරත වී මසකට වරක් සිය ගම්බිම් බලා පිටත්ව යන්නේ රුපියල් 60000 සිට 70000 ආසන්න මුදලක් මාසික වැටුපට එකතු කර ගනිමිනි.

කොළඹ නගරය තුළ සහ ඒ අවට නගරවල සිටින වෘත්තීය යාචකයින් විසින් අහිංසක යාචකයින්ට පහරදී එළවා දමන අතර ඔවුන් නැවත නැවත එම ස්ථානවලට පැමිණෙන්නේ නම් තම ස්වාමියාට දන්වා අහිංසක යාචකයින් පැහැර ගෙන ගොස් මිනිසුන් නැති පාළු ස්ථානවල දැමීමට කටයුතු කරයි. එලෙසම හිඟමන් යැදීම සම්බන්ධව යාචකයින් අතර ඇති වූ ගැටුම්වලින් යාචකයින් තුවාල ලැබූ අවස්ථා මෙන්ම ජීවිත අහිමි වූ අවස්ථා ගැන ද ‍පොලිස් තොරතුරුවලින් අනාවරණය වේ.

ශ්‍රී ලංකාවේ යාචකයින්ට මේ වන විට විදේශ යාචකයින්ගෙන් තර්ජන එල්ල වී තිබෙන බව පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත.පිටකොටුව, මරදාන, ඇතුළු කොළඹ නගරය ආශ්‍රිතව මේ වන විට විදේශ රටවලින් පැමිණි පුද්ගලයින් හිඟමන් යදිමින් හිඟන්නන් බවට පත්ව සිටිති. තායිලන්තය, චීනය, පකිස්ථානය සහ දකුණු ඉන්දියාවේ සිට සංචාරක වීසා මගින් මෙරටට පැමිණෙන මෙම රටවල පුද්ගලයින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර වෙත ගොස් හිඟාකෑමට පුරුදුව සිටින අතර ඔවුන් කොළඹ නගරය ආශ්‍රිතව බහුලව දැක ගත හැකිය.

වැඩි වශයෙන් යම් ආබාධිත තත්ත්වයෙන් සිටින පුද්ගලයන් මෙහිදී දැක ගත හැකි අතර චීන ජාතිකයන් වැඩි වශයෙන් සිටිති.
මෙලෙස හිඟමන් යදින පුද්ගලයින්ගේ සංචාරක විසා අවසන්වී ශ්‍රී ලංකාව තුළ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැඳී සිටීම යටතේ කොටුව ‍පොලිසිය විසින් අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ බව කොළඹ ප්‍රදේශ භාර උසස් ‍පොලිස් නිලධාරියකු පැවසීය.

දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් හඳුනා ගැනීම ඉතා අපහසු හෙයින් වීසා නොමැතිව හිඟමන් යදින බොහෝ පිරිස් ගැන තොරතුරු පැවසෙන අතර ඔවුන් හොඳින් දමිළ භාෂාව හසුරවන බැවින් ඔවුන් වැල්ලවත්ත ආදී ප්‍රදේශවල සැඟව සිටින බව කියති.මෙලෙස පැමිණි විදේශිකයන් ‍පොලිසිය වෙත පවසා ඇත්තේ තමන්ට මව් රටට වඩා ඉතා හොඳ පහසු සැහැල්ලු ජීවිතයක් ශ්‍රී ලංකාවේදී ගත කළ හැකි බවත් හිඟමන් යැදීම තුළින් ජීවත්වීම සඳහා හොඳ මුදලක් ලැබෙන බවත්ය.
ශ්‍රී ලංකාවේ මිනිසුන් වෙනත් රටවල අයට වඩා බොහෝ සංවේදී බවත් තමන්ට නිරන්තරයෙන් ආහාර පාන ලබා දෙන බවත් වැඩිපිරිසක් හිත හොඳ පුද්ගලයන් බවත් විදේශිකයින් පවසා තිබේ.

මෙලෙස රැකියාව වශයෙන් හිඟමන් යදින යාචකයකු ලෙස පෙනී සිටින අනුරාධපුර ඇතුන්ගම පදිංචි ආර්.වී. සුරංග අප සමග සිය අත්දැකීම් විස්තර කළේය.“මම දැන් අවුරුදු එකහමාරකට වඩා වැඩි කාලයක් මෙම රැකියාව කරගෙන යනවා. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. එයාලා ඉන්නේ අනුරාධපුරයේ. මම කොළඹ බෝඩ්වෙලා ඉන්නේ.

උදේ 7.30ට තමයි මම හිඟමන් යදින්න පටන් ගන්නේ. සාමාන්‍යයෙන් රාත්‍රී 7වෙනකොට නවත්වනවා. ඉරිදා සෙනසුරාදා දවස්වල හවස 4වන කොට බෝඩිමට යනවා. හැබැයි සෙනසුරාදා ඉරිදා තමයි අපි වැඩිපුර හොයන්නේ. පිට පළාත්වලින් කොළඹට අතිරේක පන්ති වෙනත් අධ්‍යාපන කටයුතුවලට එන තරුණ ළමයි අපිට සල්ලි දෙනවා.මම මගේ මුදලාලිට (ජාවාරම සිදු කරන පුද්ගලයා) ගොඩක් අවංකව සේවය කරනවා. දවසකට රුපියල් 3000 සිට 6000 දක්වා මුදලක් උපයනවා. එයින් සියයට හැටක් ගන්නේ අපිව මෙහෙයවන පුද්ගලයා.මාසේ අන්තිම සතියේ මම ගමේ යනවා. ඒ නිසා දවස් විසිපහක්ම එක දිගට වැඩ කරනවා. ‍පෝය දවස් නිවාඩු දවස් කියලා වෙනම නැහැ. ‍පෝය දවසට තමයි වැඩිපුරම මුදලක් හොයාගන්නේ. පංසලක් කිට්ටුවට ගියාම ‍ලේසියෙන් රුපියල් 5000ක් හොයා ගන්න පුළුවන්.අපි සමහර අයට අතපෑවම ඒ අය පෙරළා අපට අතපානවා. මිනිස්සු ගැන පුදුම අත්දැකීම් තියෙන්නේ.

යුද හමුදාව නාවික හමුදාව මේ වගේ ආරක්ෂක අංශ සාමාජිකයින්ට අතපෑවොත් ඒ අය අනිවාර්යයෙන්ම රුපියල් සියයක් හෝ පනහක් දෙනවාමයි. ඒ වගේම පිට පළාත්වලින් කොළඹට නොයෙක් අවශ්‍යතාවන් සඳහා පැමිණෙන පුද්ගලයින් අපට මුදලක් දෙනවාමයි.බස්රථවලට ගොඩවුණාම සමහර අය ඇස් පියාගන්නවා. අපි ඒ අය පසු කරනකොට ඇස් නැවත විවෘත කරනවා. තවත් සමහර අය අපි ඔවුන් ළඟට යනකොට ජංගම දුරකථනය අතට අරගෙන ඇමතුම් ලබා ගන්නවා වගේ පෙනී සිටිනවා.දැන් අපිට ලැබෙන්නෙ රුපියල් 20න් උඩට තමයි. මොකද දැන් මාරු කාසි හරි අඩුයි. ඇත්තටම ඒක අපට ගොඩක් වාසි වෙලා තිබෙන්නේ. සමහර අවස්ථාවල රුපියල් 200, 500 දෙන අවස්ථා තිබෙනවා. ඒ අය කවුරුත් දන්නේ නැහැ. අපි මේ කරන්නේ රැකියාවක් කියලා. ඇඳුම් දෙකක් අඳිනවා. හිඟමන් යදින වෙලාවට කිළිටු පරණ ඇඳුමක් තමයි අඳින්නේ. ඒත් බෝඩිමට යනකොට වෙනත් ඇඳුමක් අඳිනවා.

මේ ආකාරයට හිඟමන් යදින පුද්ගලයින් රැසක් අප සමග ඔවුන්ගෙ අත්දැකීම් ප්‍රකාශ කළහ.මේ වන විට කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල සිටින සැබෑ හිඟන්නන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු හම්බන්තොට රිදියගම පිහිටි යාචකයින් සුරැකීමේ මධ්‍යස්ථානය වෙත යැවීමට ශ්‍රී ලංකා ‍පොලිසියේ පරිසර ‍පොලිස් කොට්ඨාසය කටයුතු ආරම්භ කර තිබේ. එය ක්‍රියාවට නංවා ඇතත් සාර්ථකව සිදු නොවන බව උසස් ‍පොලිස් නිලධාරියකු අප සමග පැවසීය.හම්බන්තොට රිදියගම පිහිටි මෙම සුරැකුම් මධ්‍යස්ථානය තුළ සියලු පහසුකම් ඇතත් එහි ගෙන යන පුද්ගලයින් රැඳී සිටීමට කැමැත්තක් නොදක්වන අතර ඔවුන් පෙරළා හිඟමන් යැදීමට දැඩි කැමැත්තක් දක්වන බව මේ වන විට අනාවරණය වී තිබේ.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්