තනි කකුලෙන් එවරස්ට් කන්ද නැග්ග සිංහ කෙල්ල – අරුණිමා සිංහා

2735

ඇය සිටියේ සිහින, බලා‍පොරොත්තු ‍පොදි බැඳ ගනිමිනි. ජාතියේ රැකවරණය වෙනුවෙන් ජීවිතය කැප කරන්නට ඈ සූදානම් වූයේ සිය දිරිමත් සිතට එය කදිමට ගැළපෙන බව සිතුණු නිසාය. අරුණිමා සිංහා වූ ඇය 2011 අවුරුද්ද වෙද්දී ඉන්දියාවේ ජාතික මට්ටමේ වොලිබෝල් ක්‍රීඩිකාවක්ව සිටියේ ඇගේ දක්ෂතාවයේ අඩුවක් නැති බව කියන්නාක් මෙනි. ක්‍රීඩා දස්කම් පෙරටු කරගෙන ඉන්දීය මධ්‍යම කාර්මික ආරක්ෂක බළකායට බැඳෙන්නට ඈ සිහින මැව්වාය. 2011 අවුරුද්දේ අප්‍රේල් දෙවැනිදා ලක්නව් සිට නවදිල්ලිය බලා ගමන් ගන්නා පද්මාවතී ශීඝ්‍රගාමී දුම්රියට අරුණිමා ගොඩ වූයේ එකී ආරක්ෂක බළකායට බැඳීම වෙනුවෙන් වූ තරග විභාගයට මුහුණදීමේ බලා‍පොරොත්තුව ඇතිවය.

අරුණිමා, පද්මාවතී ශීඝ්‍රගාමී දුම්රියේදී මුහුණ දුන් අනපේක්ෂිත සිදුවීම ඇගේ ජීවිතය ඈටත් සිතා ගන්නට බැරි තරමට වෙනස් කළේ මිනිත්තු ගණනකිනි. දුම්රියේදී අරුණිමා සොරුන් කණ්ඩායමක ඉලක්කයක් බවට පත් වූයේය.

සොරුන්ට වුවමනා වී තිබුණේ ඇගේ රන් මාලය සහ අත්බෑගයයි. රන් මාලය සහ අත්බෑගය පහසුවෙන් ලබා ගන්නට අරුණිමා ඉඩ තැබුවේ නැත. ඈ සොරුන්ගෙන් බේරී යන්නට හැකිතරම් අරගල කළාය. සොරකමේ ආ පිරිස සමග අරගලයෙන් දින්නනට තරම් සවියක් තනිව සටන් කළ අරුණිමාට තිබුණේ නැත. ඈ අඩපණව ඇද වැටෙද්දී ඇගේ රන් මාලය සහ අත්බෑගය ඉතිරි කරගත් සොරු අරුණිමාව, වේගයෙන් ඉදිරියට යමින් තිබුණු දුම්රියෙන් පිටතට ඇද දැමුවෝය. දුම්රිය මගට වැටුණු අරුණිමාගේ පාදයක් මතින් අනෙක් පසට ගමන් කරමින් තිබුණු දුම්රියක් ඇදී ගියේ ඈ සිහි කල්පනාවෙන් සිටිද්දීය.

අරුණිමා වේදනාව ඉවසාගත නොහැකිව හැකි තරම් කෑ ගැසුවත් ඈගේ උදව්වට කිසිවකුත් පැමිණියේ නැත. මම වේදනාවෙන් කෑ ගැහුවා මට මතකයි. මට සිහිය නැතිවෙනකල්ම මම කෑ ගැහුවා. ඒත් කවුරුවත් මගේ උදව්වට ආවේ නෑ. ගොඩක් වෙලාවකට පස්සේ මට සිහිය එද්දී මම හිටියේ රෝහලක. මගේ වම් කකුල කපලා තිබුණා. මම පස්සේ දැන ගත්තා දණහිස ළඟින්ම මගේ කකුල කපනවා හැරෙන්න මගේ ජීවිතය බේරාගන්න වෙන ක්‍රමයක් තිබිලා නැහැ කියලා. අරුණිමා එදා දවස ගැන මතක් කරන්නේ එහෙමය.

මට වෙච්ච අනතුර ගැන එක එක විදියට කතා කරපු අය හිටියා. සමහරු කිව්වා මම ජීවිතේ නැති කර ගන්න කෝච්චියට පැනලා කියලා. තව සමහරු කිව්වා මම මානසික රෝගියෙක් කියලා. මම ගොඩක් දුක් වින්දා. මාස හතරක් රෝහ‍ලේම හිටියා. අන්තිමේදී මට කකුලක් හම්බ වුණා. ඒ වෙලාවේ මම තීරණය කළා මට කතා හදපු හැම කෙනාටම පේන්න මාව අගය කරන්න පුළුවන් දෙයක් කරනවා කියලා.

සුවපත් වෙමින් සිටි අරුණිමාට ඉන්දීය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සේම ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවෙන්ද වන්දි මුදල් ලැබුණත් ඇගේ සිතට වුවමනා වූයේ තනිව ජීවිතය දිනන්නටය.

මම කකුල ලැබුණට පස්සේ අවුරුදු දෙකක් විතර කඳු නගින්න පුරුදු වුණා. ඒක හරිම වේදනාකාරීයි. මට ඕන වුණේ එවරස්ට් නගින්න. මම පුදුම තරම් වේදනා විඳිමින් මගේ අරමුණට කිට්ටු වුණා. ඉතාම අසීරු දවස් 59ක් ගෙවලා මම එවරස්ට් කන්ද මුදුනටම ගියා.

මේ සියලු අසීරුකම් කෙළවර අරුණිමා එවරස්ට් කන්ද තරණය කළ ලොව ප්‍රථම ආබාධිත කාන්තාව බවට පත් වූවාය. ඒ වෙනුවෙන් ඇය 2015 අවුරුද්දේදී පද්ම ශ්‍රී සම්මානයෙන්ද ටෙන්සින් නුගේ සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. ඇය Born again on the mountain නමින් පාදය අහිමිවීමෙන් පසු ඇය ගෙවන ජීවිතය ‍පොතක් ලෙසද පළ කළාය.

දැන් ඇයට පාදය අහිමි වී වසර හතකි. අද ඇය වැනිම අය වෙනුවෙන් වැඩ කරන්නීය. මම ඇදවැටුණු තැනින් ආයෙත් නැගිටිනවා කියලා හිතාගත්තේ යුවරාජ් සිං පිළිකාවක් පරදවලා ජීවිතය දිනපු කතාව හැමදාම මගේ හිතේ තිබුණු නිසා. මම කැමැතියි මගේ දිහාත් ඒ විදිහට බලාගෙන මං වගේම තව කෙනෙක් ජීවිතය දිනනවාට. අරුණිමා අද කියන්නීය.