අම්මාට පිළිකාවක්‌.තාත්තාට අංශභාගය.අපිට සලකපු රත්තරන් මහත්තයා වාහනයට යටකළේ ඇයි! – බිරිඳ හඬා වැළපෙයි

9206

“මේ වගේ දුකක්‌ දරන්න බැහැ ගැහැනියකට. මගේ අම්මාට පිළිකාවක්‌, මගේ තාත්තාට අංශභාගය. දෙන්නාටම සලකන්න හිටපු මගේ රත්තරං මහත්තයා අපිව දාල ගිහිල්ලා. මගේ මහත්තයා වාහනයකට යට කරගෙන ගියේ ඇයි…” කියමින් හර්ෂා මධුෂානි වීරසිංහ මහත්මිය හඬා වැළපෙමින් ලතෝනි දුන්නාය.

පසුගියදා පයාගල ලංසියාවත්ත ප්‍රදේශයේ ගරාජයකට වැන් රථයක්‌ කඩාවැදීමෙන් සිදුවූ මාරක අනතුරින් මියගිය වාහන අලුත්වැඩියා කරන ස්‌ථානයේ අයිතිකරු වන පයාගල රේන්දගෙවත්ත ප්‍රදේශයේ පදිංචි අයි.බී. අජිත් කුමාර (36) යන අයගේ භාර්යාව වන හර්ෂා මධුෂානි වීරසිංහ මහත්මිය හඬා වැළපෙමින් මෙසේද කීවාය.

මගේ මහත්තයා වාහන ගරාඡ් වැඩ කරන්නේ. එදා දවල්ට කෑමට අවශ්‍ය හාල්, එළවළු, පොල් ගෙනැත් දීලා කැම කන්න ගෙදර එනවා කියලා ගිය මගේ මහත්තයාට මොකද වුණේ… එයා හරි හොඳ කෙනෙක්‌. පසුගිය කාලයේ ගොඩාක්‌ දුක්‌ විඳලා ටිකක්‌ ඔළුව උස්‌සගෙන ආවා විතරයි මේ විපත වෙනකොට. අනේ මගේ මහත්තයාගේ කකුලක්‌ කැඩිලා ඇති කියලායි මම හිතුවේ. මම හීනෙකින්වත් නොසිතූ දෙයක්‌ මගේ මහත්තයාට වෙලා. දැන් කවුද මගේ අම්මයි තාත්තාවයි බලා ගන්නේ. මම තනියම කොහොමද මේවා කරන්නේ. මගේ මහත්තයා මොන අපරාධයක්‌ කරාටද මේ වගේ දෙයක්‌ වුණේ. ඇයි දෙයියනේ මේ වගේ දුකක්‌ දීලා අපි දෙන්නාව වෙන් කළේ.

එයා රෑ දවල් බලන්නේ නැතිව වැඩ කරනවා. කවුරු හරි රාත්‍රී කාලයේදී වාහනයක්‌ කැඩිලා ආවොත් හදලා දෙනවා. එයාට ගොඩක්‌ මිනිස්‌සු ආදරෙයි.

කවදාවත් කාටවත් වැඩක්‌ කරන්න බැහැ කියලා කියන්නේ නැහැ. එයාගේ නැතිවීම ගෙදරට විතරක්‌ නොවෙයි ජනතාවටත් විශාල පාඩුවක්‌.

එහි ගිය අපට දැකගන්නට වූයේ අජිත් කුමාරට අවසන් බුහුමන් දැක්‌වීමට වැල නොකැඩී ඔහුගේ යාළුවන්, ඥති හිතමිත්‍රාදීන් ඇතුළු විශාල සෙනඟක්‌, ගංගාවක්‌ ලෙස ඔහුගේ නිවසට පැමිණෙන අයුරුය. එහි ආගිය කාගෙත් මුවින් පිටවුණේ කොච්චර හොඳ වටින මිනිහෙක්‌ද යන්නය. අජිත් කුමාර නම් සොඳුරු මිනිසා 21 වැනිදා සවස්‌ වරුවේ මළහිරු බැසයන සැන්දෑවේ ජීවිත ගමනින් සමුගෙන ගියේ නැන්දම්මාට, මාමණ්‌ඩියට, බිරිඳට, සොයුරන්ට, මිතුරන්ට හා ගම්වැසියන්ට නෙතට කඳුළක්‌ එක්‌ කරමිනි.