ලෝක දේශපාලනයම උණුසුම් කළ ට්‍රම්ප් – කිම් ජොංග් හමුවේ සිදුවූ අපූරූ කතාව

2045

ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් අතර හමුව ලෝක දේශපාලනයේ අතිශය කතාබහට ලක්ව තිබෙනවා. ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් සහ උතුරු කොරියානු නායකයෙක් අතර හමුවක් සිදුවූයේ ඉතිහාසයේ මුල්ම වරටය.

නායකයන් දෙදෙනා අද (12) සිංගප්පූරු වේලාවෙන් පෙරවරු 9.00ට පමණ හමුවූයේ සිංගප්පුරුවේ සෙන්ටෝසා දුපතේ කැපෙල්ලා හෝටලයේදීය. දෙදෙනා අතර සිදු වූ පළමු හමුවේදීම ප්‍රථමයෙන් හඬ අවදි කළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ “ඔබගේ මිත්‍රත්වය මා අගය කරනවා.” යනුවෙනි.

ඊට පිළිතුරු දුන් උතුරු කොරියානු නායකයා ට්‍රම්ප් වෙත සඳහන් කර තිබුණේ “මෙම අවස්ථාවට එන්න පහසු වුයේ නෑ.. නමුත් මේ ඉන්න තැන ගැන සතුටු වෙනවා..” යනුවෙනි.

මේ අතර දෙරටේ පාලකයන් දෙදෙනා අතර පෞද්ගලික සාකච්ඡාව අවසන්ව තිබෙන අතර එම සාකච්ඡාව විනාඩි 40ක් පුරා පැවැත්ව තිබුනා. මේ සදහා සහභාගී වී තිබුනේ රාජ්‍ය නායකයන් දෙදෙනාට අමතරව ඔවුන්ගේ භාෂා පරිවර්තකයින් දෙදෙනා පමණක් සහභාගී වීම විශේෂත්වයක්.

මෙම පෞද්ගලික හමුවේදි ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කොරියානු නායකයාට ප්‍රකාශ කර තිබෙන්නේ ” අපි සාර්ථක වෙනු ඇත. ඒ වගේම ඔබ සමග වැඩ කිරීමට මා බලාපොරොත්තු වනවා” යනුවෙනි. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට උතුරු කොරියානු නායකයාගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබේ.

නායකයින් දෙදෙනාගේ පෞද්ගලික හමුවෙන් අනතුරුව දෙවන වටයේ සාකච්ජාවන් ආරම්භ වුනා . ඒ සඳහා දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහභාගිවී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.