මට මගෙ බබා දෙන්න කියලා මම කෑගැහුවා – “ජීවිතය අරන්” රට වටේ යන බුද්ධිකගේ අම්ම කියන කතාව

1853

මම සංගීත සංදර්ශනයක සින්දු කියනවා දැකපු ඒ කාලෙ තරුණ සේවා ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මට කතා කළා. එතුමිය මාව නුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට සම්බන්ධ කළා. එතනින් මම සංගීතය පිළිබඳ උපාධියක් හිමිකර ගත්තා. බෙල්වුඩ් එකේදි තමයි මට බිරිය නිමාෂි මුණගැහුණේ. අද අපි විවාහ වෙලා සතුටින් ඉන්නවා. මගේ මොළෙයි නිමාෂිගෙ අත් දෙකයි තමයි දැන් වැඩ කරන්නේ.”

සම්පූර්ණ මිනිසුන් ලෙස ඉපදුණ ද, දුප්පත් සිතිවිලි, අතෘප්තිමත් අරමුණු මෙන්ම පැහැදිලි ඉලක්කයක් නොමැතිකමින් ජීවිතය අපායක් කර ගත් සමාජයක අත් පා හතරම අහිමි වුණු ඕස්ට්‍රේලියානු ජාතික Nick (නික්) මුළු ලෝකයක්ම ජය ගත්තේය. එවැනි ‘නික්’ කෙනකු අපට හමුවන්නේ ලංකාවේ ජාඇළ කොටුගොඩ ප්‍රදේශයෙනි. උපතින්ම අත් පා අහිමි වුණු බුද්ධික ඒකනායකත් අත් පා හතරම තිබෙන මිනිසුන් අතික්‍රමණය කරමින් ජීවිතය ජය ගෙන ඇත.

නිතරම සිනහ මුසු මුහුණින් යුතුව සිටින බුද්ධිකට තමන් ශරීරයෙන් අසම්පූර්ණ තරුණයෙක් බව මොහොතකටවත් සිතන්නේ නැති තරම්ය. ඔහු ඉතාම සන්තෝෂයෙන් ජීවිතය විඳියි. ඔහුගේ පවුලේ පියා මිය ගියත් ධෛර්යවන්ත මවත්, වැඩිමහල් සොයුරා සහ සොයුරියත් ඔහුව ජීවිතයේ ඉස්සරහට ගෙන ගොස් තිබේ.

උපතින්ම අත් පා අහිමි වුණු බුද්ධික විවාහකය. ඒ වගේම ඔහු පුංචි පුතෙකුගේ පියෙක්. සුන්දර පවුල් ජීවිතයක් ඔවුන් සතුව තිබෙයි. එය මේ සමාජයටම ආදර්ශයකි.බුද්ධික ඒකනායකගේ උත්පත්තිය පටන් තොරතුරු කියන්නට මුලින්ම අප හා එකතුවුණේ ඔහුගෙ මව කැලිස්ටා වාස් මහත්මිය.

“පුතා ඉපදු‍ණේ 1985 අවුරුද්දේ. මට කිසිම වෙනසක් අමාරුවක් තිබුණෙ නෑ. මම හොඳට හිටියා. ඒ කාලෙ ස්කෑන් පරීක්ෂණ නැහැනේ. වෛද්‍යවරු මට කිව්වෙ නීරෝගී දරුවෙක් ඉන්නවා කියලයි. මෙයාට වැඩිමල් පුතෙකුයි දුවෙකුයිත් මට ඉන්නවා. මම ඒ කාලෙ රද්දොළුව ගැමි පුබුදුව කියන කාන්තා සමිතියක ලේකම් විදියට ගම්වල සමාජ සේවා කටයුතු තමයි කළේ. මම ගොඩක් කාර්යබහුල වුණත් සායනවලට සහභාගි වුණා. විටමින් ජාති ඔක්කොමත් බිව්වා. කිසිම වෛද්‍යවරයෙක් දරුවා මෙහෙමයි කියලා මට කිව්වෙ නෑ. පුතා ලැබෙන්න ගිහින් ටිකක් අමාරු වුණා පෙකනිවැල බෙල්ලේ එතිලා තිබුණ නිසා. හවස බබා ලැබුණත් රෑ වෙනකම් මට මෙයාව දුන්නෙ නෑ. මම මිසීලගෙන් ඇහුවා මගෙ බබා ‍කෝ කියලා. බබාගෙ අතක පොඩි ප්‍රශ්නයක් තියනවා කියල ඔවුන් කිව්වා. අතක නෙමෙයි මොන ප්‍රශ්නෙ තිබුණත් මට මගෙ බබා දෙන්න කියලා මම කෑගැහුවා.

අන්තිමට මේ පුතාව මගෙ දෝතට දුන්නම මම හොඳටම ඇඬුවා. මම හිතුවෙම පුතා එක්ක මම කෝච්චියට පැනලා මැරෙනවමයි කියලා. මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. මට නින්ද ගියේම නෑ. වාට්ටුවෙ වෛද්‍යවරු නර්ස්ලා හැමෝම මං ළඟට වෙලා හිටියා. එයාලා උත්සාහ කළේ මගෙ හිත හදන්න. ඒ වාට්ටුවෙ ලොකු දොස්තර මහත්තයා ගෞතමදාස මහත්තයා. එයා ඇවිත් කිව්වා මේ වාට්ටුවෙ ඉන්න අනිත් හැම දරුවකුටම වඩා මෙයාගෙ මොළේ ධාරණ ශක්තිය ඉහළයි කියලා. කවද හරි හොඳ තැනකට එනව කිව්වා.

අපේ ගැමි පුබුදුව සමිතියෙ අධ්‍යක්ෂක සිරිල් ඇන්තනී පියතුමාත් ඇවිත් මගේ හිත හැදුවා. මේ ඉන්නෙ පවුලේ ගැලවුම්කාරයා කියලා. ඊට පස්සෙ මමයි මගෙ මහත්තයයි එකතුවෙලා පුතාව ලොකු කරගෙන එයාට හොඳට ඉගැන්නුවා.

පුතා ආබාධිත දරුවෙක් වුණාට මිනුවන්ගොඩ සාරානන්ද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනී පුෂ්පා ජයකොඩි මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ අවසරයක් අරගෙන පුතා ඉස්කොලෙට ඇතුළත් කර ගත්තා.”

අප හා දොඩමළු වන්නට බුද්ධිකගේ පියා ධර්මසිරි ඒකනායක මහතා ජීවතුන් අතර නැත. නමුත් හැමදාම පාන්දරම නැගිටලා පුතාව සූදානම් කරගෙන පාසලට රැගෙන ගියේ ඔහු විසින් බව බුද්ධිකගේ මව පැවසුවේ කඳුළු බර දෙනෙතිනි. පියාගෙන් පසු බුද්ධිකගේ සියලු කර්තව්‍යයන් කිරීමට ඇප කැප වී ඇත්තේ ඔහුගේ අයියා සහ අක්කාය.

ජීවත්වන කාටත් යම් යම් ප්‍රශ්න තිබීම සත්‍යයකි. අප පුරුදු වී සිටින්නේ අපට ඇති දේ අගයනවාට වඩා අපට නැති දේ ගැන දුක්වන්නටය. එහෙත් සියලුම දේ අහිමි ව ඉපදී සියල්ල හිමිකර ගත් බුද්ධික ඔහුගේ ජීවිතයේ සාර්ථකත්වය පිළිබඳව පැවසුවේ මෙසේය.

“මම සාරානන්ද ප්‍රාථමික විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වුණා. මාව කොළඹ ආනන්ද විද්‍යාලයටත් තේරුණා. ඒ කාලෙ යුද්දෙ තිබුණ නිසා බෝම්බ බිය තිබුණා. මට කොළඹ යන්න එන්න පහසුකම් තිබුණෙ නෑ. ඒ නිසා මම මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයට තමයි ද්විතීයීක අධ්‍යාපනය සඳහා ගියේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයත් හොඳට සමත්වුණා. A3 යි B3යි C4යි. මම උසස් පෙළ කළේ කලා අංශයෙන්. මුලදි හිතුවෙ නීතිඥයෙක් වෙනවා කියලා. ඒත් ඒ අදහස වෙනස් වුණේ උසස් පෙළදී අපට ව්‍යාපෘතියක් (Project) කරන්න දුන්නා. මට එතකොට හොඳට සින්දු කියන්න පුළුවන්. මම මගෙම සින්දු 14ක්ම දාලා සීඩී පටයක් කළා. ඒ කාලෙ ලංකාවෙ හිටපු ජනප්‍රිය ගීත රචකයින්, තනු නිර්මාණ ශිල්පීන් වන සරත් ද අල්විස්, ඩෙන්සිල් නුගේගොඩ, ප්‍රියන්ත නාවලගේ, ශෙහාන් ගලහිටියාව මහත්වරු මට උදවු කළා.

මේ ව්‍යාපෘතිය කරන්න ඕන හින්දම මම ගෙදරට හොරෙන් හැම සිකුරාදම කුරුණෑගල තරුණ සේවා සභාවේ පැවැත්වුණු සංගීත පාඨමාලාවකට සහභාගි වුණා. මගේ පාසල් මිතුරන් මාව කුරුණෑගලට එක්ක ගියා. මට ඕන වුණේ පිළිගත් ආයතනයකින් සංගීතය පිළිබඳ පාඨමාලාවක් හදාරලා සහතිකයක් ගන්න.

ඊට පස්සෙ මම සංගීත සංදර්ශනවල ගීත කියන්න ගියා. උසස්පෙළ විභාගයත් හොඳින් සමත් වුණා. මම සංගීත සංදර්ශනයක සින්දු කියනවා දැකපු ඒ කාලෙ තරුණ සේවා ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මට කතා කළා. එතුමිය මාව නුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට සම්බන්ධ කළා. එතනින් මම සංගීතය පිළිබඳ උපාධියක් හිමිකර ගත්තා.

බෙල්වුඩ් එකේදි තමයි මට බිරිය නිමාෂි මුණගැහුණේ. අද අපි විවාහ වෙලා සතුටින් ඉන්නවා. මගේ මොළෙයි නිමාෂිගෙ අත් දෙකයි තමයි දැන් වැඩ කරන්නේ.”

ගීත ගායනයට මෙන්ම කී බෝඩ් වාදනයටත් උපන් හපන්කම් ඇති බුද්ධික 2012 දී සී.එස්.එන්.රූපවාහිනී (CSN) නාළිකාවේ සිහින සුපර් ස්ටාර් වැඩසටහන හරහා ලංක‍ාවේ ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගත්තේය. ගීතයෙන් ජනතාව මුසපත්කොට ඔහු එකල සිහින සුපර් ස්ටාර් කිරුළ දිනා ගත්තේ ය.

“සිහින වැඩසටහනින් පස්සෙ මම ජාතික තරුණ සේවා සභාවේ මං වගේම ආබාධිත සින්දු කියන්න දක්ෂ ළමයින්ට ඉගැන්නුවා. මට උපදේශක තනතුරක් දුන්නා. පඩියකුත් ලැබුණා. ඒ වගේම රාජ්‍ය උත්සව, පොදු රාජ්‍ය මණ්ඩල වගේ ජාත්‍යන්තර උත්සවවලත් සින්දු කියන්න මාව තෝර ගත්තා. මට ඒවට සල්ලිත් දුන්නා. ඒත් 2015න් පස්සෙ ජාතික තරුණ සේවා සභාවෙන් අපිව අයින් කළා.”

“දැන් මම මගේ අයියගෙ පෞද්ගලික ප්‍රවාහන සේවයක කළමනාකරුවෙක් විදියට වැඩ කරනවා. අයියා මට පඩියක් දෙනවා. එතන ඔක්කොම වැඩ කරන්නෙ මම. උදේට බිරිය මාව එතනට ගිහින් දානවා. ඇය තමයි මගේ රියැදුරුවරිය. හැබැයි මම තමයි ඇයට වාහන එළවන්න පුරුදු කළේ.”

අත් පා අහිමි ඔහු ඇයට රියැදුරු වෘත්තිය ඉගැන්වූයේ කෙසේදැයි අප පුදුමයට පත්වීමු.

“මම වෑන් එකක් අරන් ඒකෙ ඉස්සරහ සීට් එකට නැගලා නිමාෂිට රියැදුරු ආසනයට යන්න කියලා වාහනේ එළවන හැටි කියල දුන්නා. ඇය සතියෙන් ඉගෙන ගත්තා. මම ප්‍රසංගවලට එක්ක යන්නෙත් බිරිය තමයි. වාහනේ කැඩුණාම ගරාජ් එකේ බාසුන්නැහේ කරන්නෙ මොනවද කියලා මම බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපේ වාහනේ පොඩි පොඩි දෝෂ ආවාම මම නිමාෂිට උපදෙස් දෙනවා මෙහෙම කරන්න, අරම කරන්න කියලා. ඇය ලවා හදව ගන්නවා.”

මෙය නම් අපූරු කතාන්දරයකි. සැමියාගේ මොළයත් බිරියගේ අතපයත් හොඳින් වැඩ කර ජීවිත කිහිපයක්ම ගොඩගෙන තිබේ. බුද්ධික ඒකනායක දැන් ධනාත්මක චින්තනය, මනස දිරිගැන්වීමේ වැඩසටහන් (Motivation program) ද අරඹා තිබේ. අත් පා සතර හකුළුවාගෙන ගසකින් ගෙඩියක් කටට වැටෙන තෙක් බලා සිටිනා මිනිසුන්ට මෙන්ම තරුණ පරපුරට ද ජීවිතය දෙස වෙනස්ම අයුරකින් බලන්නට “ජීවිතය අරන්” වැඩසටහන සමඟ ඔහු රට වටා යන්නට පටන්ගෙන තිබේ. “ජීවිතය අරන්” බුද්ධිකවත් අරන් යන්නේ කසුන් පුෂ්පකුමාර මහතායි.

බුද්ධික අවසානයේදී අපට මෙහෙම කිවුවා, “මම හැම අම්මා තාත්තා කෙනෙක්ගෙන්ම ඉල්ලන්නේ මං වගේ ළමයි ඉපදුණාම පවුලට ලජ්ජාවක් කියලා හංගගෙන ඉන්න එපා. ඒ අය ළඟත් මගෙ වගේම සැඟවුණු දක්ෂතා ඇති. ඒවා එළියට ගන්න උදවු කරන්න. එයාලටත් සමාජය දකින්න, ලෝකයේ සැරිසරන්න ඉඩ දෙන්න. රටට වැඩක් කරන්න උදවු දෙන්න. මං කවදාවත් කිසිම දෙයක් කරන්න බෑ කියලා අඬලා නෑ. මං හැම වෙලාවෙම මට හිතෙන දේ කරන්න උත්සාහ කළා. ඒ අතරෙ හරි ගියපු තැන් වගේම වැරදුණු තැනුත් තියනවා” අම්මා, තාත්තා බිරිය වගේම අයියා රොහාන් ඒකනායකත්, අක්කා දිනූෂා ඒකනායකත් බුද්ධිකගේ ජීවිතයේ පිටුපස සිටින යෝධ සෙවණැලි බවයි බුද්ධික පැවසුවේ.

අත් පා හොඳින් තිබෙන කෙනකුට පවා නිසියාකාරව කළ නොහැකි දක්ෂතාවලින් පිරුණු මෙම දිරිය තරුණයාගේ ක්‍රියාකාරකම්, හැකියාවන් සහ දක්ෂතාවන් සියැසින් දැකගත් කිසිවකු නැවත තමාගේ අසීරුතා සහ අපහසුතා පිළිබඳව මැසිවිලි නොනගනු ඇත.