අපේ සිසුවෙක්ට ලොව ප්‍රබල විද්‍යාඥයන්ගෙන් ප්‍රසංශා – ඩෙංගු විනාශ කරන බැක්ටීරියාවක් සොයාගෙන ලෝකයෙන්ම තුනට

303

ශ්‍රී ලංකාව ලෝකයේම ජයග්‍රාහී මාවතකට රැගෙන යොවුන් විද්‍යාඥයකු පිළිබදව වාර්තා වෙනවා.

ඒ තවමත් පහළොස් වන වියෙහි පසුවන හලාවත ආනන්ද විදුහලෙහි එකොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ. ආර්. රුමල් ඉඳුවරයි. අ.පො.ස.සාමාන්‍ය පෙළවත් තවම නොලියූ මේ පුංචි විද්‍යාඥයා එක රැයකින්ම එක විද්‍යාත්මක සොයාගැනීමක් හේතුවෙන් ලොව ඉහළින්ම නම තැබුවේය.

ඒ ඩෙංගු මදුරුවා කීට අවස්ථාවේදීම විනාශ කළ හැකි බැක්ටීරියාවක් රට තුළින්ම සොයා ගැනීම හේතුවෙනි. ඩෙංගු රෝගය, ඩෙංගු මදුරුවා, රෝග බෝවීම, මිනිසුන් මියයෑම ආදී කරුණු පිළිබඳව රුමල් කුඩා කලසිටම අවදානයෙන් පසුව තිබේ.

එසේ තිබියදී ඔහු වරක් තම පියා සමඟ පුදුකුඩිඉරිප්පු, මුලතිව් බලා සංචාරය කළ මොහොතකදී අත්දුටු කරුණක් පිළිබඳව විමසිලිමත් විය.

ඔහු එදා පුදුකුඩිඉරිප්පුවේදී අත්දුටුවේ, එම ප්‍රදේශයේ වෙන ප්‍රදේශවල තරම් මදුරු ගහනයක් නොමැති බවයි. ඔහු දිගින් දිගටම කල්පනා කළේය. ‘මදුරුවෝ නැති වෙන්නේ හරි, අඩුවෙන්නේ හරි ඇයි?’ ‘මදුරුවෝ නැති වෙන්න විදියක් නැහැ.’ ‘එහෙම නම් මදුරුවෝ හැදෙද්දිම වගේ මිය යනවාද?’ ‘විනාශ වෙනවාද?’  යනුවෙන් තමන්ගෙන්ම ප්‍රශ්න කර ගත්තේය.

ඔහු යළි එහි ගියේය. දිය කඩිතිවල ජල සාම්පල ගෙන පිරික්සා බැලීය. ඔහුට නාඳුනන බැක්ටීරියා රැසක් හමුවිය. එම බැක්ටීරියා මදුරුවන් විනාශ කරන උන් හැටියට ඔහු නිගමනය කළේය.

ඔහු එම කල්පිතය තම ව්‍යාපෘතිය ලෙස සකසා මාලිකා ප්‍රනාන්දු විද්‍යා ගුරුතුමිය ලවා ජාතික විද්‍යා පදනමට යැව්වේය. ජාතික විද්‍යා පදනම මඟින් ඊට පෙර දැනුවත් කිරීමේ ව්‍යාපෘති සකස් කිරීමේ වැඩමුළුවක් ද ළමුන් වෙනුවෙන් පවත්වා තිබිණි.

රුමල්ගේ වාර්තාව ජාතික විද්‍යා පදනමේ විද්‍යා ප්‍රචලිත කිරීමේ අංශ ප්‍රධානීන්ගේ ඇගැයුමට ලක්වී, තවදුරටත් පරීක්ෂාවට රාගම වෛද්‍ය පීඨයේ අණුක ජීව විද්‍යා අංශයේ අංශ ප්‍රධානී මේනකා හපුගොඩ හා ආචාර්ය තාරක රණතුංගට යොමු කරවන ලදී.

ඔවුන්ගේ නිර්දේශය පරිදි, ජාතික විද්‍යා පදනම මඟින්, ශ්‍රී ලංකාවෙන් මෙලෙස ඉදිරිපත් කළ ව්‍යාපෘති හයසිය ගණනක් අතුරින් රුමල්ගේ වාර්තාවට පළමු ස්ථානය ලබා දෙන ලදී. තවත් ඉන්ජිනේරු අංශයේ ව්‍යාපෘති දෙකක්ද ජයග්‍රහණය කළ අතර ජාතික විද්‍යා පදනම මෙම සිසුන් තිදෙනා හා ව්‍යාපෘතින් මැයි මස 13 සිට 18 දක්වා ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පීටස්බර්ග් නගරයේ පැවැත්වූ අන්තර්ජාතික විද්‍යා හා ඉන්ජිනේරු ප්‍රදර්ශනයට තම වියදමින් යැවීය.

එහිදී ලොව ඉහළම විද්‍යාඥයන්, නොබෙල් සම්මානලාභී විද්වතුන් මෙම ව්‍යාපෘති වාර්තා පිරික්සා රුමල් සම්මුඛ පරීක්ෂණවලට යොමුකරන ලදී. සම්මුඛ පරීක්ෂණ රැසක් පවත්වා අවසන ප්‍රදර්ශනයේ පරීක්ෂණ ප්‍රදර්ශන කුටියකදී මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට ඉඩ හළේය. ජනතාවද ඔහුගෙන් ප්‍රශ්න කළේය. අවසන් දින (18දා) පැවැත්වූ රැස්වීමේදී ඒ ශේ‍ර්ෂ්ඨ විද්‍යාඥයන් විසින් රුමල්ගේ කල්පිතය පිළිගනිමින් ඩෙංගු රෝග මර්දනය සඳහා ඩෙංගු මදුරුවා කීට අවස්ථාවේදීම විනාශ කරන නව බැක්ටීරියාවක් සොයා ගැනීම නිමිත්තෙන් ජීව අණුක විද්‍යා අංශයෙන් ලොව තෙවැනි ස්ථානය රුමල්ට ප්‍රදානය කරන ලදී. ඔහුට ත්‍යාග පදක්කම්, සම්මාන සහතික හා මුදල්ද ප්‍රදානය කරන ලදී.

ඔහුගේ ව්‍යාපෘතිය ඇගැයීම් වස් ලොව රටවල විවිධ විද්‍යාඥයන්, විද්‍යා ආයතන, විද්‍යාර්ථීන් සිය ගණනකට ආසන්න ප්‍රමාණයක් පදක්කම්  ඔහුගේ කබායේ පලඳවන ලදී. එලෙස රටවල් හැත්තෑවකින් (70) සහභාගි වූ තරගකරුවන් එක්දහස් හත්සිය අනූ හතරක් (1794) අතරින් ලොව තෙවන ස්ථානය දිනා ගැනීමටත් ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන ඒමටත් රුමල්ට හැකියාව ලැබිණි. ඔහු සමඟ ඉන්ජිනේරු අංශය වෙනුවෙන් ව්‍යාපෘති ඉදිරිපත් කළ මහනුවර ශා. අන්තෝනි හා කඳාන ඩී. මැසනොද් විදුහල්වල සිසුන් දෙදෙනාට හතරවැනි ස්ථාන ලැබී තිබිණි.

රුමල් සොයාගත් බැක්ටීරියාව ‘බැසිලස් සීරිස් ස්ට්‍රේන් ස්ට්‍රේන් එස් එල් 0001’  යනුවෙන් නම් කරන ලදී. එහි කර්තෘත්වය  කේ. රුමල් ඉඳුවර, ටී. බී. රණතුංග, ඩබ්. එන්. ප්‍රනාන්දු, ජේ. ඒ. ඩී. වික්‍රම, ජී. පී. විතානගේ, එච්. ඩී. හපුගොඩ යන අය යටතේ විය.

මෙලෙස රුමල් ලෝක පූජිත වූයේ මදුරුවා කීට අවස්ථාවේදීම විනාශ කර දමන බැක්ටීරියාවක් දිවයිනේම ප්‍රාදේශීයව සොයා ගැනීම නිසාවෙනි. එය ලොව සෑම රටකටම ගැළපෙයි. මදුරුවන් නිසා බෝවන රෝග මැඬපැවැත්වීමට එය බෙහෙවින් උපකාරී වනු ඇත.