ගොසිප්

ඉතාලි තරුණයාගේ ඉමෝ පෙම් කතන්දරේ අනුරාධපුරේදී ඉවරවුණු හැටි

ඉමො දුරකථන තාක්ෂණයෙන් ඉතාලියේ සිට හඳුනාගත් සිය පෙම්වතිය හමුවීමට පැමිණ පැය කිහිපයකින් අනුරාධපුර නගරයෙන්ම පෙම අවසන් කර ඇයට ලබාදුන් ඇඳුම් ආයිත්තම් ඇතුළු සියලු දෑ පොලිස් ස්ථානය තුළදීම ගලවා ගෙන අවුල ලිහා ගැනීමේ පුවතක් අනුරාධපුර මූලස්ථාන පොලිසියෙන් පෙරේදා (22දා) සවස වාර්තා විය.

පෙම්වතිය අනුරාධපුර නගර ආසන්නයේ තාවකාලිකව පදිංචිව සිටින කොළඹ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවකි. ඇගේ පෙම්වතා වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පැවසුවේය.

මීට මාස කිහිපයකට පමණ ඉහතදී තරුණ කාන්තාව හා තරුණයා අතර ඉමෝ දුරකථන සේවය හරහා පෙම් පලහිලව්ව ගොඩනැඟී ඇති බවත් තරුණ කාන්තාව ඉතාලි පෙම්වතාගේ මව හමුවීමට වත්තල පිහිටි නිවෙසට මීට පෙර ගොස් ඇති බවත් පොලිසිය පැවසුවේය.

තරුණ කාන්තාව වත්තල පිහිටි ඉතාලි තරුණයාගේ නිවෙසට ගිය පසුව මව ඇයගේ හැසිරීම් රටාව පිළිබඳව සොයාබැලීමෙන් පසු පුත්‍රයා අමතා විළි බියක් නැති සංකර තරුණිය සමඟ ඇති සම්බන්ධය වහාම නතර කරන ලෙස දන්වා ඇතත් තරුණයා මවගේ බසට අවනත නොවෙමින් දිගින් දිගටම පෙම් සබඳතාව පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන අන්දමට මීට දින කිහිපයකට ඉහතදී ලංකාවට පැමිණි තරුණයා පෙම්වතිය හමුවීම සඳහා කුලී රථයකින් මව සමඟ අනුරාධපුර නගරයට පැමිණ තිබේ. තරුණියගේ අනුදැනුමින් මුදල් ගෙවා නිවාඩු නිකේතනයක කාමරයක් ලබාගෙන ඇය හා මව සමඟින් විවේකීව සිට අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය වන්දනා කිරීමට ගොස් තිබේ.

පෙම්වතාට හා මවට අටමස්ථානය වැඳ පුදාගෙන පැමිණෙන ලෙස පවසා ඇය මෝටර් රථයේ නතර වී මීට පෙර ඇසුරු කළ කඩවසම් තරුණයකු එහි ගෙන්වා ගෙන සිය ශරීරය සම්බාහනය කරගෙන ඇත.

කඩවසම් තරුණයා තරුණ කාන්තාවගේ කලවා ප්‍රදේශය සම්බාහනය කරමින් සිටියදී මව හා පෙම්වතා එහි පැමිණ ඇති අතර විඩාවට පත්වී සිටින තමන් තරුණයාට කියා සම්බාහනයක් සිදුකර ගත් බව ඇය ඔවුන්ට පවසා තිබේ. ඉන් කෝපයට පත්වූ තරුණයා ඇයට පහර කීපයක් ගසා රථයෙන් ඇදදමා අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණ සිය භාණ්ඩ කිහිපයක් පෙම්වතිය සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඉතාලි තරුණයාගේ ඉමෝ පෙම්වතිය සොයාගත් පොලිසිය ඇයව පොලිස් ස්ථානයට කැඳවා ඇති අතර ඇය සම්බාහනය සිදුකළ තරුණයා සමඟින් පොලිස් ස්ථානයට පැමිණ තරුණයාගේ කිසිදු භාණ්ඩයක් සොරකම් නොකළ බවත් බොරු පැමිණිලි ඉදිරිපත් කළ හොත් තමන්ට අමානුෂිකව පහරදුන් බව කියමින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඇය තරුණයාට පවසා තිබුණාය.

පසුව තරුණයා විසින් නිවාඩු නිකේතනයේ තිබෙන සිය මවගේ හා තමන්ගේ භාණ්ඩ ලබාදෙන ලෙසත් රුපියල් දස දහසක් පමණ වැය කර ලබාදුන් ඇඳුම් ආයිත්තම් සියල්ල ගලවා දෙන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව ඇය විසින් ඔහුගෙන් ලබාගත් ඇඳුම් ආයිත්තම් පොලිසියේදීම ගලවාදී පැමිණිල්ල සමථයකට පත්කරගෙන තිබිණි.

ඉමෝ තාක්ෂණයෙන් හඳුනාගත් පෙම්වතිය හමුවීමට පැමිණ දුකසේ උපයාගත් රුපියල් පනස් දහසක් පමණ නිකරුණේ නාස්ති වූ බවත් අවසානයේ පොලිසියේ රස්තියාදු වීමට සිදුවූ බවත් පවසමින් තරුණයා පොලිස් ස්ථානයෙන් නික්ම ගොස් තිබේ. තරුණිය පොලිස් ස්ථානයට රැගෙන ඒමත් සමඟ ඇය සමඟ සමීප සම්බන්ධතා පවත්වන තරුණයන් විශාල පිරිසක් ඇය වෙනුවෙන් පෙනී සිටීමට පොලිස් ස්ථානයට පැමිණි බව පොලිස් නිලධාරියෙක් පැවැසුවේය.