ලිපි පුවත්

ලංකාවේ ගොඩ දෙනක් දන්න අදුරන විශේෂ බළකා විරුවන් දෙදෙනාගේ කතාව

කොළඹ සිට පිටත්ව ආ අපි දඹුල්ල හරහා නාඋලට පැමිණියෙමු. නාඋල මංසන්ධියේ සිට සැතපුම් කිහිපයක් පසුකළ අපට කළුපැහැති යුද හමුදා ඇදුමින් සැරසුණු, ක්‍රමානුකූල ලෙස මුහුණපුරා රැවුල වවාගෙන ගිනි අවිද සහිතව සීරුවෙන් සිටිනා සොල්දාදුවන් කිහිපදෙනකු හමුවිය.

Loading...

සොල්දාදුවන්ගේ අවසරයෙන් අපි කඳවුරු වෙත ඇතුළු වීමු. අපි මේ ප්‍රවිෂ්ට වූයේ නාඋල පිහිටි විශේෂ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයටය.අප එහි යනවිටත් සොල්දාදුවෝ සිය පුහුණුවීම් කටයුතුවල නිරත වෙමින් සිටියහ.

මීට වසර නවයකට ඉහතදී ගමක් ගමක් ගාණේ, නගරයක් නගරයක් ගාණේ දැමූ රණවිරු උත්තමාචාර බැනර්, පෝස්ටර්වල අභිමානයෙන් යුතුව ගිනිඅවි ඇඟ වටේ දවටාගෙන සිටි සාගර රණසිංහ රණවිරුවා එම කඳවුරු තුළදී අපට මුණගැසුණි.

යුද ජයග්‍රහණයෙන් පසු රටේ මුරදේවතාවන් ලෙස සැලකමින් බස් රථවල, ත්‍රිරෝද රථවල පිටුපස පවා රුව සටහන් කළ ඒ වීරෝදාර රණවිරුවන් කිහිපදෙනාගෙන් අදටත් සේවයේ සිටින සාගර රණසිංහ රණවිරුවා සොයා අපි මෙලෙස දුරුකතර ගෙවා පැමිණියෙමු.

ඔහු දැන් තිස්අට හැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ ආදරණීය බිරිය වන්නේ නිලංජි ප්‍රියදර්ශනීය. මාතලේ විජය විද්‍යාලයේ හතර වසරේ ඉගෙනුම ලබන නෙත්මාණි විහංගා රණසිංහ සහ පෙරපාසල් අධ්‍යාපනය හදාරන ගිහස් විනුපම රණසිංහ ඔහුගේ ආදරණීය දූපුතුන් වෙති.

Loading...

එච්.ජී. රණසිංහ සහ බේලින් චන්ද්‍රාට දාව ඉපදුණු එම්.ජී. සාගර රණසිංහ වර්ෂ 1998 ජූලි මස 18 වැනි දින මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලට ඇතුළත් වන්නේය. ආධුනික සෙබළකු ලෙස එම බළකායට බැඳුණු ඔහු කඳවුරු වෙත නිවෙසින් පිටත්ව යන්නේද කොළඹ රැකියාවකට යන බව සිය මවුපියන්ට දන්වමින්.

වයස අවුරුදු 18 සැපිරීමත් සමඟ යුද හමුදාවට එක්වීමට තිබූ අසීමිත අශාව හේතුවෙන් රණසිංහ මෙලෙස නිවැසියන්ටද බොරු පවසා යුද හමුදා සේවයට එක්වන්නේය.

“අම්මේ, මම යුද හමුදාවට එක්වුණා” යනුවෙන් සඳහන් කරමින් ලියූ ලිපියක් කඳවුරේ සිට පසුව රණසිංහ නිවෙසට එවනු ලබන්නේ තවදුරටත් මවුපියන්ගේ සිත් රිදවීමට නොහැකි නිසාය.

තුන්වැනි විශේෂ බළකායට එක්වූ ආධුනික සෙබළ රණසිංහ උතුරු ප්‍රදේශයේ ක්‍රියාන්විතවලට මුල් කාලයේ සම්බන්ධ වූයේය.

2000 වර්ෂයේදී චාවකච්චේරිය ප්‍රදේශයේදී සතුරු ප්‍රහාරයකට ලක්වූ රණසිංහ වසර දෙකක කාලයක් වෛද්‍ය ප්‍රතිකාර මත යුද පිටියෙන් ඉවත් වන්නේය.

“ඒ කාලේ වැදුණු ආටි කෑල්ලක් තාම මගේ කොන්දේ තියෙනවා. අදටත් සමහර වෙලාවකට ඒ නිසා කොන්ද රිදෙනවා” සාගර රණසිංහ සිය අතීතය එලෙස මෙනෙහි කළේය.

“සතුරු ප්‍රහාරයෙන් මගේ කකුල්, බඩ, කොන්ද දැඩිසේ තුවාල වෙලා තිබ්බත් මට ඉක්මනටම යළි සේවයට එන්න ඕනේ වුණා. ඒ නිසා තුවාල වෙලා ගෙදර හිටිය කාලේ මම ව්‍යායාම කරලා කොහොම හරි යථා තත්ත්වයට පත් වුණා” ඒ රණසිංහගේ නිර්භීත හඬය.

යළි වර්ෂ 2002දී ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස පළමු වන විශේෂ බළකා රෙජිමේන්තුවට සම්බන්ධ වූ රණසිංහ ක්‍රියාන්විතවලදී දැක්වූ දක්ෂතා හේතුවෙන් යළි කෝප්‍රල් ධුරයට උසස්වීම් ලබන්නේය.

එල්.ටී.ටී.ඊ.ය විසින් මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සමඟ ත්‍රිවිධ හමුදාව විසින් මානුෂික මෙහෙයුම ආරම්භ කරන ලදී.

මාවිල්ආරුව බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුම ආරම්භ වුණි. ත්‍රිවිධ හමුදා කණ්ඩායම් තමන්ට පැවරුණු රාජකාරිය ඉටුකරමින් ක්‍රියාන්විතයට සහභාගි වූහ.

2006 අගෝස්තු මස ආරම්භ වීමත් සමඟ විශේෂ බළකා කණ්ඩායම් කිහිපයක්ද සතුරු ආක්‍රමණය කිරීම සඳහා වූ මෙහෙයුම ආරම්භ කළහ.කුඩා කණ්ඩායම් ලෙස සතුරාගේ ග්‍රහණයේ පවතින මාවිල්ලාරු සොරොව්ව දෙසට යෑමට විශේෂ බළකා කුඩා කණ්ඩායම් කිහිපයක් වෙන් වෙන්ව ඉදිරියට ඇදුණි.

සතුරා වට කළ විශේෂ බළකා සෙබළු පුරා දින නවයක කාලයක් සතුරා අඩපණ කිරීම සඳහා ප්‍රහාර දියත් කළහ.යුද සැලසුම ක්‍රියාත්මක කරමින් 2006 අගෝස්තු මස 10 වැනි දින සතුරු ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ.

විශේෂ බළකා හතර දෙනකුගෙන් යුතු කණ්ඩායමක නායකත්වය භාරව සිටි කෝප්‍රල් රණසිංහ සොරොව්ව දිගේ දුවමින් අර්ථීට් ගිනි අවිවලින් සතුරාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය.

“මේ මෙහෙයුමේදී අපේ කණ්ඩායම්වලට එල්.ටී.ටී.ඊ.යද දැවැන්ත ප්‍රහාර එල්ල කළා. ත්‍රස්තවාදී නායකයකු, ඔහු සැඟවුණු වෙඩික්කරුවෙක් ලෙස සිටිමින් අපිට ප්‍රහාර එල්ල කළා. ගහක් උඩ හැංගිලා සිටිය ඒ ත්‍රස්ත නායකයා හඳුනා ගත් ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඊ.ජී.එස්. පුෂ්පකුමාර ඔහුට වෙඩි තිබ්බා. ඒත් එක්කම ත්‍රස්ත නායකයාද ස්නයිපර් තුවක්කුවෙන් පුෂ්පකුමාරට වෙඩි තිබ්බා. මගේ ඉස්සරහම පුෂ්පකුමාර මියගියා. ඔහු තමයි මගේ සහායකයා වුණේ. මට ඒ මරණය දරා ගන්න බැරි වුණා. වෙඩි වරුසාව මැද මම පුෂ්පකුමාරව කරේ තබාගෙන කිලෝමීටර් ගණනාවක් දිව ගියා” මීට වසර ‍ෙදාළහකට පෙර වූ ඒ සිදුවීම යළි සාගර රණසිංහ රණවිරුවා මෙනෙහි කළේ දෑසේ කඳුළුද පුරවා ගනිමිනි.

මේ ඔහු විවර කළේ ඔහු රණබිමේ එක් බිහිසුණු අත්දැකීමක් පමණි.අර්ථීට් ගිනි අවිය අති දක්ෂ ලෙස හසුරවමින් සතුරාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ සාගර රණසිංහ අද වන විට ඔහුට ප්‍රවිෂ්ට වීමට හැකි පරම නිලයේ කටයුතු කරන්නේය.දැන් ඔහුව හඳුන්වන්නේ සැරයන් මේජර් සාගර රණසිංහ ලෙසටය. නයාරු – විශේෂ බළකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ පුහුණු උපදේශකවරයකු ලෙස ඔහු දැන් සිය අත්දැකීම් ආධුනික සෙබළුන්ට ලබා දෙන්නේය.

ටයිකොන්ඩෝ, බොක්සිං, කරාටේ, වුෂු යන සටන් කලා හතරක් හදාරා ඇති සැරයන් මේජර් රණසිංහ යුද හමුදා පාඨමාලා 18ක්ද හැදෑරූ අයකු වේ.ශාරීරික අභ්‍යාස පිළිබඳ ඉන්දියාවේ පුහුණුව ලත් සාගර රණසිංහ හයිටි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වලටද සහභාගි වූ නිලධාරියෙකි.

“ආයේ කවදාවත් යුද්ධයක් එන්නේ නැහැ. මේ රටේ දැන් අපිත් සැහැල්ලුවෙන් කාලය ගත කරන්නේ. මම දැන් විවේකයක් ලැබුණු ගමන් කරන්නේ බයිසිකල් පදින එක. ඒක මගේ විනෝදාංශය. මම 2020දී විශ්‍රාම යනවා. මම විශ්‍රාම යන්නේ ත්‍රීවීල් එකක් එළවන්න. සිකුරිටි ජොබ් එකක් කරන්න, නැතිනම් රට යන්න නොවේ. ගෙදරට වෙලා මගේ දරුපැටව් එක්ක නිදහසේ ජීවත් වෙන්න” කතාව අවසන් කරමින් සාගර රණසිංහ ඒ අපට කී කතාවය.

ටී 56 ගිනි අවි, අත් බෝම්බ, අ.ර්ථී.ට් ගිනි අවි, වෙඩි ද්‍රව්‍ය, බීමට ජලය, ආහාර පාන ආදී කිලෝ 40කට වැඩි බරක් උසුලමින් රණබිමේ නන්දිකඩාල් වනතෙක් ඉදිරියට ඇදුණු සාගර රණසිංහ රණවිරුවාට අපි තාවකාලික සමුදීමක් සිදු කළෙමු.ලියුම්කරුට ඊළඟ හමුවූයේ මාවිල්ආරු සිට නන්දිකඩාල් දක්වා ගිය වීර ක්‍රියාන්විතයේ පෙරමුණ ගත් තවත් වීර සෙබළකු වන මාණ්ඩලික සැරයන් රංජිත් වීරවර්ධනය. ඔහුගේ රුවද ඔබ හඳුනන්නේය.

රැවුල වවාගෙන, කළු පැහැ ජටාවක් හිසේ බැඳ ගෙන ර්ර්ථීර්ට් මැෂින් තුවක්කුවක් පතරොම් වැල් එක්කම ඇඟේ ඔතාගෙන එකල රණබිමේ වීර වික්‍රම පෑ වීරවර්ධන දැන් විශ්‍රාම සුවයෙන් පසුවන්නේය.

දැන් ඔහු සිය බිරිය, දරු මල්ලන් සමඟ නිදහස භුක්ති විඳිමින් කාලය ගත කරන්නේය. ඔහුගේ ආදරණීය බිරිය වන්නේ දුමිකා නිරෝෂණීය.රත්නපුර ධර්මපාල විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන ඩබ්ලිව්. කේ. තරුෂි, රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන ඔෂදි ගවේෂා සහ තුන්හැවිරිදි සිඟිත්තිය වන වෙනුරි තිමාරා යන දියණියන් තිදෙනාගේ ආදරණීය පියා වන්නේද වීරවර්ධනය.

නැසීගිය ඩබ්ලිව්. කේ. සුමනසේකර සහ කේ.පී. පුංචිමැණිකේ යන මවුපියන්ට දාව පස්වැනි දරුවා ලෙස උපත ලැබූ වීරවර්ධන රක්වාන, රඹුක, තණබෙල ග්‍රාමයේ පදිංචිකරුවෙකි.ඔහුගේ බාල සහෝදරයාද පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකි. වර්ෂ 1995දී ඔහු අම්පාර, ලාහුගල ප්‍රදේශයේදී සතුරු ප්‍රහාරයකින් දිවි පිදුවේය.

වීරවර්ධනගේ තවත් බාල සොහොයුරකු තණබෙල අනෝම හිමි යනුවෙන් ශාසනයට එක් වී තිබේ. අනෝම හිමියෝ මේ වන විට රඹුක මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කරති.

වර්ෂ 1992 අගෝස්තු මස 04 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදා දෙවන ගජබා රෙජිමේන්තුවට ආධුනික සෙබළකු ලෙස බැඳුණු වීරවර්ධන වර්ෂ 2017 නොවැම්බර් මස 15 වැනි දින මාණ්ඩලික සැරයන්වරයකු ලෙස විශ්‍රාම යන්නේය.

“මගේ මතකේ හැටියට ඒ 1996 වර්ෂය. මා එක්ක නව දෙනෙක් ට්‍රැක්ටරයක නැඟලා මාවිල්ආරු සිට කල්ලාරු රෝහලට එන්න උදේ 9.00ට විතර පිටත් වුණා. කෑම්ප් එක ළඟ ඉඳන් කිලෝමීටර් දෙකයි ගියේ. අපි ගිය ට්‍රැක්ටරය බිම් බෝම්බයකට අහු වුණා. මාව පාරේ අයිනේ තිබුණු ඇළට විසි වුණා. ට්‍රැක්ටරේ හිටිය මගේ යාළුවෝ හත් දෙනෙක් ඉන් මැරුණා. ඉන් බේරුණු අදිකාරි තාමත් ඇස් දෙකයි, අතකුයි නැතිව කුරුණෑගල ජීවත් වෙනවා. එදා මමත් ඇළට විසි වුණේ නැතිනම් මම අද නැහැ.

වීරවර්ධන කතාවට මුල පිරුවේ උඩට ගත් දිගු හුස්මක් හිමිහිට පහළට දමමිනි.පෙර වාසනාවකට ජීවිතය බේරා ගත් වීරවර්ධන වර්ෂ 2000දී ගැමුණු රෙජිමේන්තුවට සමුදෙන්නේ විශේෂ බළකායට එක්වෙමිනි.

රට වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබාදීමට විශේෂ බළකායට සම්බන්ධ වූ ඔහු ර්ර්ථීර්ට් වර්ගයේ මැෂින් තුවක්කුව හැසිරවීමට අති දක්ෂයකු බවට පත් විණි.එම තුවක්කුව සමඟ පතරොම් 2000ක් ඇඟේ වෙළාගත් වීරවර්ධන, වීරයකු ලෙස සතුරාට පහර දුන්නේ සෙසු හමුදා සොල්දාදුවන්ගේද දෑස් මවිත කරමිනි. මේ නිසාම කා අතරත් ජනප්‍රිය වූ වීරවර්ධන නැඟෙනහිර මුදා ගැනීමේ මෙහෙයුමේ ඉදිරිපෙළ සාමාජිකයකු විය.

2007 අප්‍රේල් මස 16 වැනි දින සිට දින ගණනාවක් සූක්ෂ්ම ලෙස වාකරේ පිහිටි සතුරු කඳවුරු වෙත ළං වූ වීරවර්ධන ප්‍රමුඛ 12 දෙනකුගෙන් යුත් කුඩා කණ්ඩායමක් සතුරු බංකර් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ.රාත්‍රි කාලය මුළුල්ලේ වර්ෂාවද නොතකමින් ඉලක්කයට පැමිණි වීරවර්ධන ප්‍රමුඛ කණ්ඩායම එළිය වැටෙනවාත් සමඟම සතුරා අන්දමන්ද කරමින් වෙඩි බලය පෙන්වූහ.

එකල වාකරේ ප්‍රදේශයේ බලය එල්.ටී.ටී.ඊ. ය විසින් තර කර තිබූ නිසා එම සටනේදී සතුරු මෝටාර් ප්‍රහාරයකින් වීරවර්ධනගේ මිතුරකු වූ කෝප්‍රල් උදය කුමාරද දිවි පිදීය.සතුරු ඉලක්ක විනාශ කළ 12 දෙනකුගෙන් යුත් කණ්ඩායමේ නායකයා වූයේ වීරවර්ධනය.

මේ ඔහු අපට පැවසුවේ ඔහුගේ අත්දැකීම් ගොන්නෙන් එක් අත්දැකීමක් පමණි.වෙඩි බලයෙන් උතුර – නැඟෙනහිර පොළොව හෙල්ලූ රංජිත් වීරවර්ධන රණබිමේ අවසන් සටන පැවැති නන්දිකඩාල් දක්වාම ගියේ ඔහුගේ සුවිශේෂ දස්කම් නිසාය.

මාණ්ඩලික සැරයන්වරයකු ලෙස විශ්‍රාම ගිය වීරවර්ධන වර්තමානය වන විට බිරිය සහ දියණියන් තිදෙනා රැක බලා ගනිමින් රත්නපුර නගරයේ ජීවිතය ගෙවන්නේය.

ඔහුගේ දැන් එකම රාජකාරිය වන්නේ දියණියන්ගේ අධ්‍යාපන කටයුතු සොයා බැලීමය.දරුවන් රැගෙන උදේට පාසලට යන්නෙත්, නැවත දරුවන් රැගෙන නිවෙසට එන්නේත් වීරවර්ධනය.

“අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා” යන විශේෂ බළකා තේමාව පෙරටු කර ගනිමින් රණවිරු දස්කම් පෑ සැරයන් මේජර් සාගර රණසිංහ රණශූර පදක්කමෙන් පිදුම් ලැබූ රණවිරුවෙකි.

මාණ්ඩලික සැරයන් රංජිත් වීරවර්ධනද දෙවතාවක් රණවික්‍රම පදක්කම්වලින් පිදුම් ලැබූ රණවිරුවෙකි.රණබිමේ ජීවිතය ගත කරමින් ගල්, ගස්, පර්වත, මූකලාන, අව් වැසි, සත්තු, සර්පයන් සහ සතුරන් සමඟ ඔට්ටු වූ මෙම විරුවන් අද නිහඬව සිය ජීවිකාව පවත්වාගෙන යමින් සිටිති.

එදා සහ අද ඔවුන්ගේ ජීවිත ගෙවෙන්නේ මෙලෙසිනි. අද තැන් තැන්වල බෝම්බ පිපිරෙන්නේ නැත. රැකියාවට පිටත් වූ දරුවන් යළි නිවෙසට කරදරයකින් තොරව ඒවිදෝ යන බියෙන් මවුපියන් නිවෙස් ‍ෙදාරකඩ අසලට වී අද රැඳී සිටින්නේ නැත. ත්‍රස්තවාදීන්ට ගොදුරු වූ අපේ කොල්ලන්ගේ සිරුරු අද ගම්වලට බුරුතුපිටින් පැමිණෙන්නේද නැත. අද සියල්ල සාමකාමීය. ඒ නිදහස උරුම කර දුන් විරෝදාර රණවිරුවනි! ඔබ සැමට අපගේ උත්තමාචාරය!

විශේෂ ස්තූතිය,

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, විශේෂ බළකා බළසේනාධිපති බි්‍රගේඩියර් සුජීව සෙනරත්යාපා, විශේෂ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක කර්නල් චන්දිමාල් පීරිස්, විශේෂ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථාන විධායක අධිකාරි මේජර් තුෂාර විජයවර්ධන

චාමර අමරසූරිය

Related Posts