Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

දකුණෙන් බිහිවුණු ෆේස්බුක් රකුසෙක් තරුණ, තරුණියන් බිලි ගත් හැටි

640

අන්තර්ජාලය හා මුහුණුපොත ඔස්සේ සිදුවන සමාජ අකටයුතුකම් කොතරම් භයානක මාවතකට ගමන් කරවන්නේදැයි සිතන ඛේදනීය පුවතක් පසුගියදා අනාවරණය වුණේ දකුණු වෙරළබඩ මුහුදු තීරය පාදක කරගෙනය.

මීට මාස පහකට පෙර මුහුණුපොතට එක්වුණු අලුත්ම සාමාජිකයා සමාජයම මතින් බිලිගන්නා රාක්‍ෂයකු බවට කිසිවකු දැන සිටියේ නැත.
එම රාක්‍ෂයාගේ වදන් හරිම මිහිරිය. එක් වූ මිතුකැලට මොහු තරම් ළෙන්ගතුද තම මවුපියන් මෙතරම් කියා සිතන්නට තරම් ඔහුට තරුණ තරුණියෝ ළෙන්ගතු විය.

Loading...

විටෙක ඔහු හසුකරගත් මිතුරු මිතුරියන්ට තම හෘද වස්තුව පාවා දෙන්නට තරම් ළෙන්ගතු ස්වරූපයක් ඔහු සතු විය. ඔහු එතරම් ආදරණීය මිත්‍රයකු සේ සියල්ලෝ සැලකූහ. එබැවින් ඔහුමුහුණුපොතේ මිතුරු මිතුරියන් පන්දහසට ළඟා වන්නට එතරම් කාලයක් ගත වූයේ නැත. ඊට බලපෑ ප්‍රධාන හේතුව වූයේ ඔහුගේ මුවෙන් පිටවන කාරුණික වදන් සහ විටෙක ඔහුගේ මුවෙන් පිටවන විසේකාර වදන් තරුණ තරුණියන්ගේ හදවත් සොරා ගන්නට සමත් වීමය.

එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණුපොතේ මිතුරු සමාජයක් ගොඩනඟන්නට ඔහු ලහිලහියේ පියවර ගෙන ඇත.

ඒ සඳහා දිවයිනේ නන් දෙසින් එකතු වූ තරුණ තරුණියන් සාමාජිකත්වය ලබා ගත්තේය. මෙම සාමාජිකයන් තම මිතුරු හවුලේ කොටස්කරුවන් බව හැඟීමට ඔවුන්ට පලඳන්නට අපූරු අත් පල¼දනාවක් ලබාදී තිබේ. එය විශේෂ රබර් වළල්ලකි. ඉන් මිතුරු මිතුරියන් සාමාජිකත්වය ලද අය හඳුනාගැනීම එතරම් අපහසු නොවේ. මෙය කලට ඔබින ආභරණයක් වූයේ කිසියම් සංඥාවක් මේ තුළින් නිකුත් කළ හැකි බැවිනි. ඒ කිසියම් තරුණියක් එම වළල්ල දකුණු අතේ පල¼දා සිටින්නේ නම් තමාට සහකරුවකු නොහොත් ලිංගික අවශ්‍යතා සඳහා කිසිවකු වුවමනා බවට සංඥා කරන්නකි. නැතහොත් ගැහැනු ළමයි මෙය නිරතුරුවම වම් අතෙහි පල¼දා සිටිනු ඇත.

මෙම අපූරු යහළුවන්ගේ ඊළඟ අපේක්‍ෂාව වූයේ මෙම මිතුරු මිතුරියන් හඳුනා ගැනීම සඳහා සියල්ලෝ එක් රැස්කර සාදයක් පැවැත්වීමයි.

ඒ සඳහා පෞද්ගලිකවම එක් එක් සාමාජිකයන් වෙත ෆේස්බුක් මැසෙන්ජර් හරහා දැනුවත් කර ඇතැයි මූලික පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය කරගෙන තිබේ. එබැවින් එම සාදයට තරුණ තරුණියන් එක් අවස්ථාවකදී දෙසිය පනහක්ද අනෙක් අවස්ථාවේ තුන්සියයක්ද ගෙන්වීමට ඇරැයුම් කර ඇත.

මෙලෙස සියල්ල එකින් එක සංවිධානය වෙමින් පවතින අතරතුර ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් බුද්ධි අංශයට මේ ගැන ඉව වැටෙන්නට විය.

අන්තර්ජාලය භාවිත කරමින් සිදුකරන අකටයුතුකම් සොයා නිරීක්‍ෂණය කරන විශේෂ බුද්ධි අංශයේ නිලධාරීන් මේ සියල්ල අනාවරණය කර ගැනීමට සමත් විය.

මුහුණුපොතේ සාමාජිකයන්ට මෙම සාදය පිළිබඳව දිනය හා ස්ථානය සූදානම් කරන මොහොත වනවිට පොලිස් බුද්ධි අංශය අනාවරණය කළ කරුණු පදනම් කරගෙන වහා ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සහ බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි කිරීමේ අධිකරණ නියෝගය ලබා ගත්තේය.

මීට හේතු වී ඇත්තේ මෙම මිතුරු සංගමය හරහා එන සාමාජිකයන්ට මත්පෙති හා මත්ද්‍රව්‍ය ලබාදී ඔවුන් බරපතළ ලිංගික ක්‍රියාකාරකම්වලට හසුකර ගැනීමේ සූදානමක් පොලිස් බුද්ධි අංශය අනාවරණය කර ගැනීම හේතුවෙනි.

මෙම මෙහෙයුමේ වැදගත්ම කාර්යභාරය හොබවන මහ මොළකරු වූයේ ඇල්පිටිය පොලිස් අධිකාරි බල ප්‍රදේශයේ මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එච්.ටී.එම්. තුෂාර මහතාය. ඔහු වහ වහා තම සහෝදර පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර සහයෝගය ලබා ගත්තේය.

කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ඇල්ගිරිය මහතාගේ සහ බද්දේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක වසන්ත දිසානායක යන මහත්වරුන්ගේ සහයෝගයෙන් කාන්තා පොලිස් නිලධාරිනියන් සහ පොලිස් නිලධාරීන් හැත්තෑ දෙනකු පමණ මෙම වැටලීමට සීරුවෙන් සිටියේය.

සාදය පැවැත්වෙන දින ලෙස පසුගිය අප්‍රේල් මස 22 සහ මැයි මස 12 වැනි දින වෙන් කර තිබේ. සංවිධායකයෝ රහසිගතව සාමාජිකයන්ට පමණක් ඒ බව දැනුම් දුන්හ.

ඒ ඇරැයුමට අනුව හික්කඩුවේ පිහිටි සමාජ ශාලාවක් වෙත අප්‍රේල් 22 වැනි දින අඳුර වැටීමත් සමඟ තරුණ තරුණියන් දෙසිය පනහකට ආසන්න ප්‍රමාණයක් පැමිණියහ. හික්කඩුවේ පැවැති පළමු සාදය ආරම්භ කර මොහොතක් යන්නට පෙර අධිකරණයෙන් ලබාගත් සෝදිසි නියෝග මත පොලිසිය එම සමාජශාලාව වට කළේය. පොලිසිය ඇතුළු වනවිටත් මත්පෙති හා මත්ද්‍රව්‍ය භාවිත කළ තරුණ තරුණියන් දහනව දෙනකු එහි සිටියේය. ඒ අනුව මත්පෙති භාවිත කළ හා ළඟ තබාගත් තරුණ තරුණියන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම සමත් විය.

වැටලීම සිදුකරන මොහොත වනවිටත් තරුණ තරුණියන් දෙසිය පනහක් සිටි අතර එම ශාලාවේ සාදය කෙසේ වෙතත් දුම්වැටි දුමාරයෙන් වැසී තිබුණේය. තරුණියන්ද දුම්වැටි උරන ආකාරයද කැමරාවේ සටහන් විය.

මෙහි දෙවැනි සාදය පෙර සේම සංවිධානය කර තිබුණේ මේ මස 12 වැනි දිනය. ඒ මීටියාගොඩ පොලිස් වසමට අයත් ගොඩගම ප්‍රදේශයේ සමාජශාලාවකදීය. එයද පරීක්‍ෂා කිරීමට බුද්ධි අංශයේ තොරතුරු මත බළපිටියේ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් පොලිස් සෝදිසි නියෝගයක් ලබා ගත්තේය. වැටලීම වන මොහොතේ සාදයට තුන්සියයකට අධික තරුණ තරුණියන් පිරිසක් සහභාගි වී සිටියහ. අයෙක් අඩ නිරුවතින් මත්ද්‍රව්‍ය භාවිත කරමිනි. අයෙක් ලිංගික ආලිංගනයෙනි. හෝටලයේ කළමනාකාරවරයා විශාල මත්පෙති තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. ඒ වනවිට මත්පෙති භාවිත කළ තරුණයන් 16 දෙනකු සහ තරුණියන් 3 දෙනකු අත්අඩංගුවට ගෙන බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමට පොලිසිය කටයුතු කළේය.

මුහුණුපොතේ මිතුරියන් සේ මිතුරු සමාජයට ඇතුළු වී මෙම සාදයට ගණිකාවන් බොහෝ දෙනකුද පැමිණ ඇති ආකාරය පොලිසියට අනාවරණය කරගත හැකි විය.

මෙවැනි සාද කිහිපයක් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමට බුද්ධි අංශ නිලධාරීන්ට හැකි විය. අනාවරණය කරගත් කරුණුවලට අනුව වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සාදයක් පැවැත්වීමටත්, තංගල්ල මුහුදු තීරයේ රන්න ප්‍රදේශයේ තවත් සාදයක් පැවැත්වීමටත් මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ කටයුතු කර තිබුණහ. එහෙත් මේ වනවිට එම සාද අවලංගු කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

මත්ද්‍රව්‍ය සාද සංවිධානය කරන පුද්ගලයා කිසිදු සාදයකට මෙතෙක් පැමිණ නැත. ඔහු එක් සාමාජිකයකුගෙන් රුපියල් 3,000ක මුදලක් සාමාජික ගාස්තු ලෙස අය කර තිබේ. ඒ අනුව හික්කඩුවේ පැවැති සාදයෙන් රුපියල් හත් ලක්‍ෂ පනස් දහසක්ද ගොඩගම පැවැති සාදයෙන් රුපියල් නව ලක්‍ෂයක්ද ඔහු විසින් උපයාගෙන ඇත. මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු පිළිබඳ තොරතුරු සියයට සියයක් පොලිස් බුද්ධි අංශය මඟින් අනාවරණය කරගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සීරුවෙන් සිටී.

සාදයට පැමිණි තරුණ තරුණියන් අතර බොහෝ පිටිසර ප්‍රදේශවල ඉතා දිළිඳු පවුල්වල දරුවන්ය. සාදය පවත්වා ඇත්තේ ඔවුන්ව ඉලක්ක කර ගෙනය. ඔවුන් බොහෝ දෙනෙක් රැකියාවක් සොයා අගනුවරට පැමිණි අයය. පොලිස් විමර්ශනවලින් අනාවරණය වූ කරුණු අනුව මාතර, ගාල්ල, බිබිල, කුරුණෑගල, පානදුර, මීගමුව, හලාවත, අනුරාධපුර, කොළඹ ආදී ප්‍රදේශවලින් මේ පිරිස සාදයට පැමිණ තිබේ. මොවුන් අතර මවුපියන් අහිමි තරුණ තරුණියන් බොහෝ දෙනකු සිටී. එමෙන්ම ආදරයෙන් පරාජය වූ තරුණ කොටස් බොහෝමයක් විය.

දකුණු පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එෆ්. ප්‍රනාන්දු, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, ඇල්පිටිය කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව යන නිලධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ මෙම වැටලීම් සිදුකර ඇත.