කිසි දා මුල අමතක නොකරමු – දෙවන වරටත් මව්බිම නිදහස ලබා අදට වසර 9යි.

546

තිස් වසරක යුද්ධය නිමා කරමින්, කුරිරු ත‍්‍රස්තවාදය සහමුලින්ම අවසන් කළ විජයග‍්‍රහණයේ 09 වන සැමරුම යෙදිලා තියෙන්නේ අද.

රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සමරන “ජාතික රණවිරු දින සැමරුම් උත්සවය”, හෙට පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණ පරිශ‍්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය කේන්ද්‍රකර ගනිමින් පවත් වෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.

එවකට යාපනය නගරාධිපති ධූරයේ කටයුතු කළ ඇල්ෆ‍්‍රඞ් දොරේඅප්පා ඝාතනයෙන් ඇරඹි තිස් වසරක LTTE ඝාතන රැල්ල නිසා අපේ රටට අහිමි වුන ජීවිත සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.

බිම්බෝම්බ, මර උගුල්, මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදාගනිමින් අහිංසක ජීවිත ගණනාවක් විනාශ කිරීමට LTTE සංවිධානය කටයුතු කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ එවකට යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් ත‍්‍රිවිධ හමුදාවේ රණවිරුවන් විසින් මානුෂීය මෙහෙයුම ආරම්භ කලේ 2006 වසරේ ජුනි මස 26 වෙනිදා.ඒ, මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමත් සමගයි.

එතැන් පටන් ඇරඹි මානුෂීය මෙහෙයුම 2009 දක්වා ඇදී ගියා. 2006 වසරේ සැප්තැම්බර් මාසයේදී සාම්පූර් ප‍්‍රදේශය ත‍්‍රස්තවාදීන්ගෙන් නිදහස් කරගැනීමට අපේ අභීත රණවිරුවන් සමත්වුණා.

අනතුරුව සමස්ත නැගෙනහිර පළාතම පියවරෙන් – පියවර මුදවාගත් රණවිරුවන්, ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රධානතම බලකොටුවක් ලෙස සැලකෙන කිලිනොච්ච්ය 2009 වසරේ ජනවාරි මස දෙවනදා සියතට ගත්තා.

මව්බිම ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ අවසන් සටන ආරම්භ වුණේ, වෙල්ලමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයෙන්.

පියවරෙන් – පියවර ඉදිරියට ඇදුණු අභීත රණවිරුවන්, නන්දිකඩාල් කලපුවේදී විජයග්‍රහණය තහවුරු කර ගන්නවා. ඒ 2009 වසරේ මැයි මස 18 වනදා වේලූපිල්ලේ ප‍්‍රභාකරන් මරමුවට පත් කරමින් එල් ටී ටී ඊ කොටි ත‍්‍රස්තවාදය සහමුලින්ම උපුටා දමලා.

මතක තියා ගන්න අද අපි මේ විදියට නිදහසේ හුස්ම ගන්නේ ජිවිත පූජා කල 28,000 ක් රණවිරුවන්ට සහ ලක්ෂ සංඛාත අබාධිත රණවිරුවන්ට පිං සිද්ධ වෙන්න.