හොර රහසේ පැවිදිව සිටි තලාකොලවැවේ විනීත නන්ද කරපු අවිනීත වැඩේ මෙන්න

714

ලුණුගම්වෙහෙර පොලිස්‌ බල ප්‍රදේශයට අයත් මහ අලුත්ගම්ආර ප්‍රදේශයේ නිවසකට රාත්‍රි ඇතුළු වූ චීවරධාරියකු පෙරේදා (15දා) ලුණුගම්වෙහෙර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 23 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් උදයංගනී රාජපක්‍ෂ මහත්මිය නියෝග කළාය.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වැලිකඩ සිරගෙදරින් පැනවිත් හොර රහසේ පැවිදිව සිටි තලාකොලවැවේ විනීත නන්ද නමැති 30 හැවිරිදි චීවර ධාරියෙකි.

සැකකරු ඉකුත් 13 වැනිදා මහඅලුත්ගම්ආර ප්‍රදේශයේ හිතවත් නිවසක්‌ පැමිණ දින කිහිපයක්‌ එහි සිට තිබේ. මේ අතර වාරයේ ඉකුත් 15 වැනිදා සැකකාර භික්‍ෂුව ප්‍රදේශයේ තරුණයන් කිහිපදෙනකු සමගින් රෑ බෝවන තෙක්‌ මත්පැන් සාදයක්‌ පවත්වා ඇත.

පසුව 15 වැනිදා අලුයම 01 ට පමණ අසල නිවසකට ඇතුළු වී තිබුණේ නිවැසියන් නිදි අතරේදීය. සැකකරු නිවසට ඇතුළු වී නිවසේ අල්මාරිය දොර අරින විට නිවැසියන් අවදි වී තිබේ. එහිදී මහ රෑ සිය නිවසේ භික්‍ෂුවක්‌ සිටිනු දැක නිවැසියන් කෑ ගසා තිබේ.

නිවැසියන්ගේ කෑ ගැසීමෙන් කලබල වූ චීවරධාරී පුද්ගලයා නිවසින් පැන ගොස්‌ සිය හිතවත් නිවසට වී සිට තිබේ. මේ දින කිහිපයේදී ගමේ භික්‍ෂුවක්‌ සිටිනු ගම්මුන් ද දැක තිබූ අතර ගම්මුන් පිරිසක්‌ එක්‌ව ධීවරධාරී පුද්ගලයා නැවතී සිටි නිවසට පැමිණ තිබේ.

එහිදී බියට පත් චීවරධාරී පුද්ගලයා නිවසින් එළියට පැමිණ තමන් ටිකක්‌ මත් පැන් බිවු බවත් තමන් සිටි නිවස හඳුනාගැනීමට නොහැකිව අසල නිවසකට ඇතුළු වූ බවත් ගම්මුන්ට පවසා තිබේ. කෙසේ වෙතත් ගම්මුන් එක්‌ව සැකකාර චීවරධාරියා ලුණුගම්වෙහෙර පොලිසියට භාරදී තිබේ. පොලිසිය එක්‌ව සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මීට වසර කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැල්ල අවස්‌ථාවේ මොහු ඉන් පැනවිත් පැවිදි වී සිටි බවයි.

සිදුකළ වරදකට කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් වසර 10 ක්‌ සහ මාස තුනක සිර දඬුවමක්‌ විඳිමින් සිටියදී මොහු මෙලෙස බන්ධනාගාරයෙන් පැනවිත් සැඟවී සිට තිබේ.

තංගල්ල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී ලක්‌සිරි ගිතාල්, හම්බන්තොට සහකාර පොලිස්‌ අධිකාරි සනත් අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි ලුණුගම්වෙහෙර පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එච්. පී. දිසානායක, අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක මුනිදාස, උප පොලිස්‌ පරීක්‍ෂක වික්‍රමරත්න, පොලිස්‌ සැරයන්වරුන් වන රූපසිංහ (47667), අලහකෝන් (75294) ඇතුළු නිලධාරීහු පිරිසක්‌ සැකකරු අත්අඩංගුවට ගත්හ.