ඉතිහාසයේ කිසිදු කායවර්ධන ශිල්පියෙකුට නොලැබුනු අවස්ථාවක් – අපේ ලූෂන් යුරෝපීය තරඟ බිමට

748

එදා මෙදා තුර ශ්‍රී ලංකා ඉතිහාසයේ පහළ වූ අසහාය කායවර්ධන ශිල්පියා වන ආසියාවේ කළු සිංහයා නමින් විරුදාවලිය ලත්, වර්තමාන ආසියානු සමස්ථ කායවර්ධන ශූරතාවය හිමි ලූෂන් පුෂ්පරාජ් මහතා මෙවර ලංකා ඉතිහාසයේ කිසිදු කායවර්ධන ශිල්පියෙකුට නොලැබුනු අවස්ථාවක් හිමි කර ගනිමින් යුරෝපීය තරඟ බිමට යාමට සූදානමින් සිටී.

ඔහු පසුගියදා ඇමරිකාවේ ‘ලෝක කායවර්ධන සංගමය‘ වාර්ෂිකව පවත්වන ‘මිස්ටර් ඇට්ලස් -2017‘ ලෝක තරඟයෙන් රටවල් හතලිස් ගණනක අපේක්ෂකයන් පරදවා ලෝකයේ සිව් වැනි තැනට පත්ව ‘ආශ්වාදයේ සම්මානය‘ හෙවත් ‘Inspiration Award‘ දිනාගත් ලංකාවේ එකම කාය වර්ධන ශිල්පියා ය.

ඇමරිකානු තරඟාවලියෙන් පසු මාස 5ක පමණ කාලයක සිට ඉතා දුෂ්කර හා වෙහෙසකාරී පුහුණුවීම් වල නියැළී සිටින ලූෂන් මෙම වසරේ ප්‍රථමයෙන්ම සහභාගි වන තරඟාවලියද මෙය වේ. මෙම තරඟාවලියේ සුවිශේෂත්වයන් වනුයේ තරඟය පැවැත්වෙන ඔස්ට්‍රියාව යනු ලෝක පූජිත කායවර්ධන ශිල්පියා වන ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර සුපිරි නළු ආර්නෝල්ඩ් ෂ්වසෙන්ගර් මහතාගේ මව්රට වීමය. ආර්නෝල්ඩ් පළමුවරට කාය වර්ධන ශිල්පියෙකු ලෙස නැගී ආවේ ඔස්ට්‍රියාවෙනි. යුරෝපයේ මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ 9 වන වරට ය.

ඔස්ට්‍රියාවේ වියානා හිදී පැවැත්වීමට නියමිත මෙම තරඟාවලියට යුරෝපයේ නම රැන්දූ කායවර්ධන ශූරයින් සහභාගිවීමට නියමිතව ඇති අතර එහි තරඟ සංවිධායකින් ලූෂන් පුෂ්පරාජ් හඳුන්වන්නේ දැනට යුරෝපයේ කායවර්ධන ශූරයන් වන Armin Gangle හා Stefan Wotawa හට ඉතා දැඩි අභියෝගයක් එල්ල කළ හැකි එකම ක්‍රීඩකයා ලෙසටයි.

ලූෂන් 2017 වසරේ 51 වන ආසියානු කායවර්ධන ශූරතාවලියේ ආසියානු රටවල් 29 ක් පරදවමින් කි.ග්‍රෑ. 100 ට වැඩි බර පන්තියේ සහ එම සමස්ථ තරඟාවලියේම සමස්ථ ශූරතාව දිනාගත් අතර ඇමරිකාවේ ටෙක්සාස්හි පැවැති මිස්ටර් ඇට්ලස් තරඟාවලියේ 4 වන ස්ථානය සහ Inspiration Award ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙනාවේය.

08 වතාවක් Mr.Olympia ලෙස අභිෂේක ලත් ලෝක පූජිත කායවර්ධන ශූරයා වන Ronnie Coleman හා ඔහුගේ පුහුණුකරු වන Big J මහත්වරුන්ගේ මඟපෙන්වීම හා උපදේශකත්වය යටතේ මේ වන විට සුවිශේෂී පුහුණුවක් ලබමින් සිටින ලූෂන් ලංකා ඊ නිවුස් අමතා ප්‍රකාශ කර සිටියේ තමාගේ එකම අධිෂ්ඨානය 9 වන ඔස්ට්‍රියා ශූරතාව ශ්‍රී ලංකාවට අත්කර දීම බවයි.

ඔස්ට්‍රියාවේ වියානා හිදී පැවැත්වෙන ලූෂන් සහභාගී වන තරඟාවලිය මැයි මස 19 වන සෙනසුරාදා දින සවස 2.00 ට වියානාහි Lugner City Hall හිදී පැවැත්වෙන අතර ඔහුව දිරිගැන්වීමට සිංහ ධජය රැගෙන පැමිණෙන ලෙස ඒ අවට රටවල සිටින ශ්‍රී ලාංකික රසිකයින්ගෙන් සංවිධායකයන් සහ ලූෂන් ඉල්ලා සිටී.

මෙවරද ලූෂන් පුෂ්පරාජ් ගේ පූර්ණ අනුග්‍රාහකත්වය දරන්නේ ටෙක්සාස් ව්‍යාපාරික සමාජය අතර ජය කෙහෙළි නැංවූ ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් වන රියෝකොකෝ ලංකා (පුද්.) සමාගම හා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සේහින්ස් ලින්ක් ජාත්‍යන්තර සමාගම විසිනි. ලූෂන් පුෂ්පරාජ් මේ වනවිට රියෝකොකෝ සන්නාම තානාපති වශයෙන්ද කටයුතු කරයි.