වසර 11ක් තිස්සේ කාමාතුරයෙකුගේ විකෘති ආශාවන්ට ගොදුරු වූ මිෂෙල්

794

බොහොමයක්‌ දෙනා පැහැර ගැනීමකට ලක්‌වූවෙකුගේ අත්දැකීම් කෙබඳුදැයි දකින්නේ චිත්‍රපටවලිනි. සමහරෙකුට එය ඒ මොහොතට ත්‍රාසජනක විනෝදයක්‌ ලබා දෙන කතාවක්‌ පමණි.

නමුත් මිෂෙල් නයිට්‌ හට පැහැර ගැනීම එසේ අමතක කළ හැකි කතාවක්‌ නොවේ. වයස අවුරුදු 21 දී පැහැර ගැනීමකට ලක්‌ වූ ඇයට වසර එකොළහක්‌ම ඒ අධම මිනිසාගේ සෑම පහත් ක්‍රියාවක්‌ම විඳිමින් ජීවත් වෙන්නට සිදු විය. ඒ මුළු කාලය පුරාවට ඈ සිරකාරියක්‌ව සිටියේ කිසිවෙකුටත් නොපෙනෙන ලෙස තාප්පයකින් වටවූ හෝ හුදෙකලා වූ නිවසක නොවේ. ඇය පැහැර ගැනීමට ලක්‌ වූ එක්‌සත් ජනපදයෙ ඔහායා දනවුවේ ක්‌ලීව්ලන්ඩ් නුවර එක ළඟ නිවෙස්‌ පිහිටි වටපිටාවක පිහිටා තිබූ පැහැරගත් මිනිසාගේම නිවසේය.

පුදුමය නම් කිසිවෙකුටත් නොදැනෙන්නට අරියෙල් කැස්‌ත්‍රො නම් ඔහු මිෂෙල් සමඟ තවත් යෞවනියන් දෙදෙනෙකුද ඒ නිවසේ සිරකර ගෙන සිටීමයි. ඇමැන්ඩා බැරි සහ ජිනා දේහින්සෝස්‌ සමඟින් ඒ සිරවූ ජීවිතයෙන් මිදී ඇවිත් වසර 5 ක්‌ ගෙවීම නිමිත්තෙන් මිෂෙල් මේ මාසයේ ඇගේ දෙවැනි නිබන්ධනය වූ ලයිෆ් ආෆ්ටර් ඩාර්ක්‌නස්‌ එළි දැක්‌වූවාය. 2014 පළ වූ හොඳ අලෙවියක්‌ තිබූ ඇගේ ෆයින්ඩ්න් මී නම් ග්‍රන්ථයෙන් ඇමැන්ඩා සහ ජිනා නිවසට ගෙන ඒමට පෙර අරියෙල් කැස්‌ත්‍රොaගෙන් විඳින්නට සිදු වූ ම්ලේච්ඡ ශාරීරික මානසික සහ චිත්තවේගාත්මක වධ බන්ධන හෙළි කර තිබුණි.

තවදුරටත් සිහිනෙන් බය වීම සිදු නොවුණත් ජීවිතයෙ ඉතිරි කාලයේ දිගටම යථා තත්වයට පත්වීමේ ක්‍රියාවලිය නම් පවතිනු ඇතැයි ඇය වාර්තාකරුවෙකුට පවසා තිබුණාය. මිෂෙල් අද ප්‍රීතිමත් යුග දිවියක්‌ ගත කරමින් සිටින්නීය. එහෙත් තවමත් දෛනික ජීවිතයේ කටයුතුවලදී යම් යම් සුවඳ, ආහාර සහ ද්‍රව්‍ය මඟින් ඇය සිටි නරකාදිය මතකයට නැඟෙන බව මිෂෙල් හෙළි කර තිබුණාය.

මිෂෙල් ලිංගික අපයෝජනයට ගොදුරුව හැදී වැඩුණු අයෙකි. 2002 අගෝස්‌තු මස දිනක ඇයට අරියෙල් කැස්‌ත්‍රො මුණ ගැසුණේ තම දෙහැවිරිදි පුතා හදා වඩා ගැනීමට දීම සම්බන්ධ කටයුත්තකට යමින් සිටියදීය. අදාළ ස්‌ථානයට තම වාහනයේ නැඟී යා හැකි බව ඔහු මිෂෙල්ට පැවසුවේය. තම මිතුරියකගේ පියා වූ කැස්‌ත්‍රො අමුත්තෙකු නොවීය. යන අතරමගදී කැස්‌ත්‍රොට තම නිවසට යැමට අවශ්‍ය විය. ඒ මිෂෙල්ගේ පුතා වෙනුවෙන් නිවසේ තබාගෙන සිටි බලු පැටවා ඇයට භාර දීමටය.

කැස්‌ත්‍රොaගේ නිවසට පැමිණි විට නිදන කාමරයේ කණ්‌ණාඩි මේසය යට සොයා බලන ලෙස ඔහු මිෂෙල්ට පැවසුවේය. ඒ අනූව ඇය බලුපැටවා සෙවීමට ගිය විට වහා ක්‍රියාත්මක වූ ඔහු දොර වැසුවේය. ඉන් පසු ඇයව බිමට තල්ලු කර අත්පා බැඳ දැමූ බව ඇයට මතකය. දින දෙකකට පසුව පැමිණි කැස්‌ත්‍රො මිෂෙල්ව දූෂණය කළේය. ඉන්පසුව ඔහු පඩිපෙළ දිගේ ඇයව ඇදගෙන ගොස්‌ පතුල්මාලයේ සිර කළේය. කැස්‌ත්‍රොගේ ග්‍රහනයේ සිටි කාලය තුළදී මිෂෙල් පස්‌ වතාවක්‌ම ගැබ් ගත්තාය. ඒ සෑම වතාවකම ඔහු කළේ ඇයව කුසගින්නේ තබා ගබ්සා වෙනතුරුම පහර දීමය.

2003 අප්‍රේල් මස කැස්‌ත්‍රො 17 හැවිරිදි ඇමැන්ඩා බෙරි පැහැරගෙන නිවසට ගෙන ආවේය. ඉන් වසරකට පසුව 14 වියේ පසුවූ ජිනා දේහින්සෝස්‌ පැහැරගෙන නිවසට ගෙන එනු ලැබුණි. ඇයව සිර කෙරුණේ මිෂෙල් සිටි කාමරයේමය. ඔවුන්ට ආහාර දීම කෙරුණේ දිනකට එක්‌ වතාවකි. වැසිකිලි අවශ්‍යතාවන් වෙනුවෙන් ප්ලාස්‌ටික්‌ වැසිකිලි භාවිතයට බල කෙරුණු අතර වැඩිම වුණොත් සතියකට දෙවරක්‌ නෑමට ඉඩ ලැබුණි.

ඇමැන්ඩා ගැබ්ගත් පසුව ඇයට දරුවා වැදීමට ඔහු ඉඩ හළේය. පසුව කැස්‌ත්‍රො ඔවුන් බැඳ දමා තිබූ දම්වැල් මදක්‌ ලිහිල් කිරීමද කළේය. සති අන්තයන්හිදී පැය කීපයකට මුළුතැන්ගෙට සහ සාලයට යැමට තිදෙනාට ඉඩ ලැබෙන තරමට අවසානෙදී සිරකිරීම ලිහිල් කෙරුණි. ඔවුන් බලා සිටියේ ඒ නරකාදියෙන් ගැළවී යා හැකි අවස්‌ථාවක්‌ එළැඹෙන තුරුය. අවස්‌ථාවන් කීපයක්‌ම ලැබී තිබුණත් ඒවා කැස්‌ත්‍රො ඔවුන්ව පරීක්‌ෂා කිරීමේ අදහසින් හිතාමතාම ඇති කළ ඒවා විය. ඒ නිසා ඒ උත්සාහයන් නිම වූයේ කැස්‌ත්‍රොගේ අතටම හසුවී ඔහුගේ ගුටි බැටවලට ලක්‌ වීමෙනි.

2013 මැයි 6 දින ඇමැන්ඩාට අසල්වැසියන් හා සම්බන්ධවීමේ අවස්‌ථාවක්‌ උදාවිය. කැස්‌ත්‍රො පිටතට යන විට ප්‍රධාන දොරේ බාහිර කුණාටු දොර වසා ගොස්‌ තිබුණත් ඇතුළත දොර වැසීමට අමතක වී තිබුණි. එය කැස්‌ත්‍රොගේ පරීක්‌ෂාවක්‌ දැයි නොදන්නා නිසා ඇමන්ඩා දොර කැපීමට නොසිතුවාය. ඒ වෙනුවට ඇය වීදුරු දොරෙන් අසල්වැසියෙකු පෙනෙන විට කෑ ගැසුවාය.

අවසානයේ ඇය අසල්වැසියන්ගේ ආධාරයෙන් කුණාටු දොරේ පහළ කුහරයක්‌ සාදා තම දරුවා සමඟ ඉන් රිංගා පිටතට පැමිණියාය. ඉන්පසු ඇය අසල්වැසියෙකුගේ නිවසට ගොස්‌ 911 ඇමතුවාය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය විසින් මිෂෙල් සහ ජිනාද නිදහස්‌ කරගනු ලැබුණි. අත්අඩංගුවට ගත් කැස්‌ත්‍රො පැහැරගෙන යැම් 512 ක්‌ ස්‌ත්‍රී දූෂණ 446 ක්‌ සහ බරපතළ මරණ 2 ක්‌ සම්බන්ධයෙන් චෝදනා ලැබුවේය. සිර දඬුවම් නියම වීමෙන් මාස එකහමාරකට පසුව ඔහු සියදිවි හානි කර ගත්තේය.

මිෂෙල් නයිට්‌ගේ දෙවන පොතෙන් කැස්‌ත්‍රො නිසා විඳි බලවත් ඛේදවාචකයෙන් පසුව බලාපොරොත්තුවකින් පිරි ඇගේ ජීවිතය විස්‌තර වෙයි. තම අමිහිරි අතීතය අනාගතයට බාධාවක්‌ වීමට ඉඩ නොදෙමින් ඇය අලුත් ජීවිතයකට මං තනමින් සිටින්නීය. ඒ වෙනුවෙන් ඇය ලිලි රෝස්‌ ලෙසින් තම නමද වෙනස්‌ කරගෙන තිබේ. හදාගත් මවුපියන්ගේ රැකවරණයේ වැඩෙන තම දරුවා මුණ ගැසීමට ඔහු වැඩිහිටියෙකු වෙන තුරු ඇය උපෙක්‌ෂාවෙන් බලා සිටින්නීය.

– නිල්මිණි රාජපක්‍ෂ රදලගේ