දොස්තරකම අතහැර පැරණි කාර්වලට බෙහෙත් කරන දොස්තර මහත්තයා

707

උපාලි පාසල ඇරී නිවසට දිව ආවේ වෙනදා මෙන්ම ඉහවහා ගිය බඩගින්නෙනි. ගේට්ටුව ඇරගෙන ගෙවත්තට ඇතුළුවත්ම ඔහුගේ නෙත ගැටුණේ තාත්තාගේ ට්‍රෑම්ප් මේෆ්ලවර් රිය සෝදා ඔප දමා මිදු‍ලේ නතර කර ඇති ආකාරයය. තාත්තා දුර ගමනක් යන්න වගේ. මටත් ගියහැකි යැයි තමාටම කියාගත් උපාලි දඩිබිඩියේ ගෙට ඇතුළු වූයේය. නිවසේ සාලයේ තාත්තා සමග කතා කරමින් සිටියේ වෙනදා දැක පුරුදු නැති අමුත්තෙකි. තාත්තාට සමුදී නැගී සිටි අමුත්තාගේ අතක රැඳි මේෆ්ලවර් රියේ යතුරු දුටු සැණින් උපාලිට කරුණු කාරණා අවබෝධ වූයේය. සැණින් ඔහුගේ මුහුණ බෙරි වූයේය. අපි වෙන එකක් ගමු තාත්තා වැළපෙන තම කුඩා පුතු අස්වසාලුවේය.

මේක විකුණන්න එපා. මම මේ කාර් එකට හරිම ආසයි කඳුළු අතරින් ‍පොඩිත්තා පැවැසුවේය. එහෙත් ඒ වෙන කොටත් අමුත්තා රිය පදවාගෙන මහ පාරේ නොපෙනී ගොසිනි.
හූ………හූ………. ඇද්ද වැඩේ මජං බාස් ගේ ඇතුළේ සිටි අයියලාගේ ඔච්චම් හඩින් උපාලි පියවි ලොවට පිවිසියේය.
ඔය කාරෙක මම ආපහු ගන්නවා ‍පොඩි එකා පාරම් බෑවේය. අයියලාගේ කටින් බකස් ගා හිනා පැන්නේය.

එදා මාත‍ලේ ශාන්ත ඇග්නස් කන්‍යාරාමයේ දෙවන කැලෑසියේ සිසුවෙකු ලෙස කඳුළු පෙරමින් ලොකු කතාවක් කළ ඒ ‍පොඩිත්තාට තාත්තා විකුණා දැමූ ට්‍රෑම්ප් මේෆ්ලවර් රිය මිලට ගන්නට බැරිව ගියේය. එහෙත් මේෆ්ලවර් රථ හතරක් ඇතුළුව මෝටර් රථ තිහ හතළිහක් හිමි කරගන්නට ඔහු අද වන විට සමත්ව ඇත්තේය. එපමණක් නොව ලංකාවේ මුල්ම හා එකම පැරණි කාර් කෞතුකාගාරයද (Classic car Musium) පසුකාලයක ඇරඹූ ඔහු නමින් උපාලි සූරිආරච්චිය. කෙසේ වෙතත් පැරණි කාර්ලෝලීන් අතර ඔහු වඩාත් ප්‍රකටව ඇත්තේ ඊරියගම උපාලි මහත්තයා ලෙසිනි. උපාලි මහත්තයා කාර් හා බැඳුණු ඔහුගේ මතකයන් අප හා පැවැසුවේ මෙසේය.

අපේ ගම මාත‍ලේ. මම මුලින්ම ගියේ මාත‍ලේ ශාන්ත ඇග්නස් කන්‍යාරාමයට. පස්සේ මාත‍ලේ සෙන්ට් තෝමස් එකට ගියා. වෘත්තියෙන් මම වෛද්‍යවරයෙක්. මුලින්ම මම වැඩ කළේ උඩුපුස්සැල්ලාව ගම්පහ වත්තේ රෝහ‍ලේ මෙසේ සැකැවින් පැවැසුවද සූරිආරච්චිලාගේ කතාව ඊට වඩා බොහෝ දිග පළලින් යුක්තය. කන්ද උඩරට ප්‍රවාහන උරුමයක් හා බැඳි පවුල් පසුබිමක් සූරිආරච්චිලාට ඇත්තේය. අපේ සීයා ප්‍රවාහන කටයුතු පටන් ගත්තේ ගොන් කරත්තවලින්. ඊට පස්සේ කාර්, ලොරි අරගෙන බස් ගත්තා.

ඒ කා‍ලේ මේ අවට හැම තැනම දිව්වේ අපේ බස් උපාලි මහත්තයා සිය පවු‍ලේ අතීතය එසේ සිහි කරන්නේය. පසුකාලීනව සිය පියාද ප්‍රවාහන ව්‍යාපාරයට එකතු වූ මුත් පවු‍ලේ බඩපිස්සා වූ උපාලි තෝරා ගත්තේ වෛද්‍ය වෘත්තියයි. එහෙත් වෙද නලාව කර ලා ගත් වෛද්‍යවරයා තුළ අයියලා ඔච්චම් කළ ‘මජං බාස් සැඟව සිටියේය. කෙසේ වෙතත් සිය පළමු වැටුප ලබාගත් දිනම දොස්තර මහත්තයා බරපතළ ලෙස රෝගී වන්නේය. ඒ රථගාය උත්සන්න වීමෙනි. එය යන්තම් හෝ සුව වනුයේ දොස්තර මහතා ‘මේජර්’ කෙනකු වීමෙනි. ඒ ඔහු හමුදාවට බැඳීම නිසා නොවේ. ‘බ්‍රිතාන්‍ය සුළු අවි කම්හ‍ලේ’ නිපැයූ බි.ඇස්.ඒ. බැන්ටම් ‘මේජර්’ වර්ගයේ යතුරුපැදියක් මිලට ගැනීම නිසාය.

අයියලාට කෙසේ වෙතත් අම්මාට හා අක්කලාට මේ හුටු හුටුව ඇල්ලුවේ නැත. ‘මල්ලී ඔයත් කාරෙකක් ගන්නකෝ’ ලොකු අක්කා වූ චිත්‍රා දිනක් පැවැසුවාය. ඒ ඉල්ලීම අඬන්න හිටි එකාට මුත්තා මැරුණා යැයි කීවාට දවෛනි නොවීය. ඊළඟ මාසේ වැටුප ලබා ටික දිනකින් දොස්තර මල්ලී කාර් එකක් මිලට ගෙන අක්කාගේ හිත සැනසුවේය.

මම මුලින්ම ගත්තේ Ford prefect 100E එකක්. ඒකේ අංකය 2 ශ්‍රී 1891. මල්ලිගේ ෆෝර්ඩ් කාර් එක, කාර් ලෝලිනියක වූ අක්කාටද සිතට අල්ලලා ගියාය. ඒ පාසල් වියේ සිට ෆෝර්ඩ් වාහන සමග වූ බැඳීම නිසාය. අපේ අක්කාත් කාර්වලට ආසයි. එයත් හොඳ ඩ්‍රයිවර් කෙනෙක්. අක්කා ඉහළ පන්තිවල ඉගෙන ගන්න කොට අපිව ඉස්කෝ‍ලේ ගෙනිච්ච්ෙ එයා. තාත්තාගේ දඬු ෆෝර්ඩ් කාර් එක (EY 628) එළවාගෙන යන්නේ අක්කා. කාර් එක ඉස්කෝ‍ලේ දාලා අක්කා පන්තියට යනවා. ඉස්කෝ‍ලේ ඇරුණාම අපිවත් දාගෙන ගෙදර එනවා උපාලි ‘මහත්තයා’ පවසන මේ අත්දැකීම අද කාලයේ පවා දැකගන්නට නැති විරල ගණයේ එකකි.

සිය මල්ලිලා පටවාගෙන ෆෝර්ඩ් කාරෙකින් පාසල් යන චිත්‍රා සූරිආරච්චි නව යොවුන් වියේ පසුවූ සිසුවියක වූවාය. එහෙයින් ඈ පදවන ෆෝර්ඩ් රිය අවට තරුණ ගැටවුන්ගේ නොමඳ අවධානය දිනා ගත් එකක් විය. බොහෝ දිනවල උපාලිලාගේ මෝටර් රථය පසුපස ජාවා, ට්‍රෑම්ප්, බි.ඇස්.ඒ. වැනි යතුරුපැදිවල නැගුණ කොලුගැටව් හඹා ඒම පුරුද්දක්ව පැවැතුණි. ‘ඒ වුණාට අපේ අක්කා වෙට්ටුවක් දාලා පාගලා යන්න දක්ෂයි. ඒක නිසා කවුරුවත් ඕනෑවට වැඩිය අපේ කාර් එකට ළංවුණේ නෑ උපාලි පවසනුයේ සිනාසෙමිනි.

දිනක් ගමනක් ගොස් ආපසු එමින් සිටි ඔහු තවත් අපූරු රථයක් දුටුවේය. ඒ තම රථයේ වර්ගයේම එකකි. එහෙත් රථ දෙකේ වෙනස්කම් ගණනාවක්ම විය. අලුත් කාර් එක ‘උපාලිගේ සිතට අල්ලලා ගියේය. දෙකක් නොසිතා ඔහු එම රථයද මිලට ගත්තේය.එලෙස ඇරඹූ කාර් එකතු කිරීම බොහෝ දුර ගියේය. මාසයකට දෙකකට වරක් ඔහු අලුතින් කාර් එකක් මිලට ගත්තේය. මයිනර්, වොක්ෂ්වෝල්, ෆියට් වැනි රථ එකින් එක මිදු‍ලේ ගොඩ ගැසෙන්නට විය. ලෙඩවූ කාර්වලටත්, රෝගීන්ටත් සම මෙත් සිතින් සලකන්නට යෑම නිසා ඔහු අමාරුවේ වැටුණේ වරක් දෙවරක් නොවේ.

මේ වන විට වතුකරයේ ජනයාගේ සෞඛ්‍ය නංවනු වස් ප්‍රතිශක්තීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක වූයේය. එහි ලොකු බරක් වෛද්‍ය උපාලි සූරිආරච්චි පිට පැටවී තිබුණේය. එහෙයින් මේ දිනවල ඔහු කටයුතු කළේ දෙකොන විලක්කුවක් අත දරාගත් කට්ටඩියකු ලෙසිනි. ‘දැං ඔයාට වැඩ වැඩියි නේද කාර් හැදිල්ලයි. ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන එකයි දෙකම කරන්න අමාරු නිසා දෙකෙන් එකක් තෝර ගන්න යැයි උපාලිගේ බිරිඳ සුසේන්ද නිතර ඇවිටිලි කළාය. අවසන ඒ පිළිබඳවද ඔහු අපූරු තීන්දුවක් ගත්තේය.

හැමෝම කියන්න ගත්තා දෙකෙන් එකක් තෝර ගන්න කියලා. මම කිසි කලබලයක් නැතිව දෙකෙන් එකක් තෝරා ගත්තා. ඒ තමයි මිනිස්සුන්ට බෙහෙත් කරන එක නතර කරලා පැරණි කාර්වලට විතරක් බෙහෙත් කරන්න ඔහු අදටත් එකී තීරණය සිහිකරනුයේ අපූරු සැහැල්ලුවකිනි.1994 වන විට තමා සතු පැරණි කාර් එකතුව මහජන ප්‍රදර්ශනයට තැබිමට ඔහුට සිත්වූයේය. පේරාදෙණිය ඊරියගම වංගුවේ කඳු ගැටයක් මුදුනේ කැලැසික් ලයින් නමින් සිරිලක පළමු පැරණි කාර් කෞතුකාගාරය පිහිටුවන්නට හැකිවීම එකී සිතුවිල්‍ලේ ප්‍රතිඵලයකි.

ක්ලැසික් ලයින් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කළේ කාර් පමණක් නොවේ. වාහන සංස්කෘතියේ බොහෝ උපාංග රැසක්ද එහි වෙයි. ඊට අමතරව දුර්ලභ යතුරු පැදිද, එළුවන් බඳිනා කරත්තයක්ද එහිදී දැකගත හැක. ක්ලැසික් ලයින්හි ඇති වාහන එකතුව ඩොලර් කෝටියකට හෝ මිල කළ නොහැක්කකි. ඒත් එය ලක්වාසීන්ට පමණක් නොව විදේශිකයන්ටද පෙන්වූයේ නොමි‍ලේය.

ක්ලැසික් ලයින් කෞතුකාගාරයට පැමිණි දෙස් විදෙස් ප්‍රභූන් බොහෝය. හිටපු ඇමෙරිකානු තානාපති ඈෂ්ලි විල්ස් වරක් නොව තුන් වරක්ම එහි පැමිණියේය. මෙහි ආ විදේශිකයෝ තම රටවල පුවත්පත්වලට ක්ලැසික් ලයින් ගැන ලිපි ලියුවෝය. ලංකාවට ගොස් මේ වාහන දැකගන්නැයි එකී ලිපි මගින් ලෝ පුරා සංචාරකයන්ගෙන් ඉල්ලා තිබුණි. එහි පැමිණි සංචාරක මගපෙන්වන්නෙකු වරක් මේ ලියුම්කරුට පැවැසුවේ යුරෝපා රටවලින් එන සංචාරකයන්ගෙන් බහුතරයක දළදා මාලිගයට ගොස් පේරාදෙණිය මල්වත්ත නරඹා කෙළින්ම එන්නේ ක්ලැසික් ලයින් කෞතුකාගාරයට බවය. මේ කාර් එකතුව වගේම ලංකාවේ කාර්මිකයන් ගැනත් විදේශිකයෝ ප්‍රශංසා කරනවා ඔහු පැවැසීය.

ලෝ ප්‍රකට මයිනර් මන්ත්ලි සඟරාවේ බොබ් බෙවන්ද වරක් මෙහි පැමිණ ඇත. ක්ලැසික් ලයින් කෞතුකාගාරයේ අලංකාරයෙන් වශී වූ ඔහු මයිනර් මන්ත්ලි සඟරාවේ පිටු දෙකක් පිරෙන්නට උපාලි සූරිආරච්චි ගැන ලිපියක් පළ කළේය. එවන් ගෞරවයක් ලද එකම ලාංකිකයා ඔහුය.කාර් ඇතුළේ සැඟව ඇති උප සංස්කෘතීන් හා රස කතා බොහෝය.

ක්ලැසික් ලයින්හි ඇති ට්‍රෑම්ප් මේෆ්ලවර් රථ ගණන හතරකි. ඉන් දෙකක් අන් ඒවාට වඩා වෙනස්ය. ඒ කා‍ලේ කාර්වල එවැනි දේ සුලභය. මේෆ්ලවර් නම ඒ රියට ලැබිම ගැනද රස කතාවක් ඇත. ඒ කතෝලික දහමට විරුද්ධ මත දැරුවන් පිරිසක් වරක් එංගලන්තයෙන් පිටුවහල් කර ඇත. ඔවුන් පිටුවහල් කළේ මේ ෆ්ලවර් නම් නෞකාවෙනි. පසුකාලීනව ඇමෙරිකාව සුදු ජාතික ජනාවාසයක් කළේ ඔවුන්ය. මේෆ්ලවර් රථයේ බොනට්ටුව අරින අගු‍ලේ මත මේෆ්ලවර් නෞකාවේ රුව වාත්තු කර ඇත. මේ සලකුණ දකිනා බොහෝ දෙනකු පසුබිම් කතාව දන්නේ නැත. ක්ලැසික් ලයින් කෞතුකාගාරයේ ඇති කුඩාම මොටෝ රිය ෆියට් වර්ගයේ එකකි. මේ ලියුම්කරු එය හඳුනා ගත්තේ ‘බග් ෆියට් එකක් ලෙසිනි. එහෙත් එහි සැබෑ නම එය නොවනා බව උපාලි සූරිආරච්චි පවසන්නේය.

මේ කාර් එකට ලංකාවේ බග්ෆියට් කියනවා. ඒ බග් මේසන් කියලා ධාවකයෙක් මේ වර්ගයෙන් රේස් පැද්ද නිසා. මේකේ නියම නම ෆියට් ටොපලිනෝ (Fiat Topalino) ඉතාලි භාෂාවෙන් ටොපලිනෝ කියන්නේ හික්මීයෙක් වගේ පුංචි මීයෙකුට. අනික ෆියට් කියන්නේ ඉතා දිග නමක කෙටි යෙදුමක්. එහි සම්පූර්ණ නම rica Italiana Automabaliy Torino යන්නයි. මෙවැනි කතා අසා දැනගත හැක්කේ උපාලි සූරිආරච්චි වැනි ප්‍රාමාණිකයෙකුගෙන් පමණි.
කරුණු දෙකක් නිසා ක්ලැසික් ලයින් කෞතුකාගාරයේ ඇති ස්ටෑන්ඩර්ඩ් 8 රියද සුවිශේෂී එකකි. එම වර්ගයේ රථවල කිසිදු තැනක නිෂ්පාදකයාගේ නම හෝ රථයේ නම සඳහන්ව නොතිබිම එක කරුණකි.

අනෙක රථය පණ ගැන්වෙන විට මිහිරි සීනුවක් නාද වීමය. එම සීනුව රථයේ රිංගියර් එක පෙදෙසින් නාදවන අතර එකී සීනු හඬ නිසාම මෙම රථ ස්ටෑන්ඩර්ඩ් බෙල් මොඩ්ල් ලෙස හඳුන්වයි. රථයේ කොතැනක හෝ එහි නම සඳහන් නොවන මුත් එහි බොනට්ටුව මත බ්‍රිතාන්‍ය ධජය සටහන්ව ඇත. බ්‍රිතාන්‍ය ධජය සලකුණ ලෙස යෙදීමෙන් එහි අනර්ඝත්වය වටහා ගත හැක.

ක්ලැසික් ලයින් කෞතුකාගාරයේ ඇති දිගම රථය කුඩා බසයකට නොදවෛනිය. මේ කාර් එක ඇමෙරිකන් ෆෝර්ඩ් එකක්. දිග අඩි 20කට අඟල් කීපයයි අඩු ඔහු පවසන්නේය. මේ ෆෝර්ඩ් රථයේ නම Ford Faire lane galaxy 500 Skyliner. නමද කාරෙක මෙන් දිගය. සිලින්ඩර් අටකින් යුත් හැඩයේ එන්ජිමක් සහිත මේ රථයේ මුල් අයිතිකරු ලංකාවේ ඇමෙරිකානු තානාපතිය. ජනාධිපති කෙනඩි වෙඩි කෑවේද මේ වර්ගයේ රියක ගමන් ගනිද්දීය.

උපාලි සූරිආරච්චි සතු සුවිශේෂී රිය අයත් වනුයේ ඕපල් රෙකාර්ඩ් ඔලිම්පියා කන්වර්ටබල් වර්ගයේ එකකි. (EN 233) එහි සුවිශේෂීත්වය වනුයේ ලංකාවේ ඇති එම වර්ගයේ එකම රථය වනුයේ එය වීමය. මේ ජාතියේ කාර් දෙකක් ලංකාවට ගෙනාවා. අනිකට වෙච්ච දෙයක් නෑ. දැන් තියෙන්නේ ලංකාවටම මේක විතරයි. මේ කාර් එක අන්තිම සුවපහසුයි. ගමන් කරන කොට ඇතුළේ ඉඳන් කෝපි එකක් බොන්න පුළුවන් උපාලි පවසන්නේය. මේ අපූරු කාර් එක ඔහුට හිමිව ඇත්තේද අපූරු ආකාරයෙනි. මේක සුද්දෙකුට ලක්ෂ පහකට විකුණන්න ගියා. ඒත් ඒ මනුස්සයා කාරෙක දෙකට කපලා රට ගෙනියන්න හදලා. ඒත් අයිතිකාරයා ඒකට කැමති වෙලා නෑ. ඒ නිසා මට මේක ගන්න ලැබුණා ඔහු පවසන්නේය.

පැරණි කාර් තරම් ඒවා එකතු කරන මිනිසුන් ලස්සන නැත. මේ ක්‍ෂේත්‍රයේ කුහකයන් බහුලය. එවැනි අය නිසා උපාලි සූරිආරච්චිට ‍පොලීසි පමණක් නොව උසාවිද යන්නට වූ වාර ඇත. තවත් සමහර අවස්ථාවල මුදල්ද වාහනද ඔහුට අහිමිව ගොස් ඇත. පිළිමතලාවේ දවුලගල පාරේ පිහිටි තම නිවස සමීපයේම වාහන සංරක්ෂණාගාරයක්ද පවත්වාගෙන යන ඔහු මේ මොහොතේද සුවිශේෂී වාහන කිහිපයක් සංරක්ෂණය කරමින් සිටියි.

උපාලි සහ සූසන් යුවළට කොල්ලෝම තුන්දෙනෙකි. මේ තිදෙනාද දක්ෂ කාර්මිකයෝය. එමෙන්ම ඔවුහුද පැරණි කාර් මිලට ගෙන සංරක්ෂණයට එළඹ ඇත. දැන් අපේ හතර වෙනි පරම්පරාව තමයි කාර් එක්ක ගැටෙන්නේ. තිළිණ සහ යොෂාන් කියන පුත්තු දෙන්න ලංකාවේ ඉන්නේ. ඒ දෙන්නත් කාර් එකතු කරනවා. ඊයේ පෙරේදා ජගුවර් එකක් එක්ක තවත් වාහන දෙකක් ගත්තා. මගේ අනිත් පුතා යහම් එයා ඕස්ට්‍රේලියාවේ. එයත් කාර්මිකයෙක්. ලොකු පුතා විවාහකයි.

එයාට දරුවෙක් ඉන්නවා බටහිර අහසේ නැගෙමින් තිබූ වැහි වලා නිසා හිතුවාටත් වඩා ඉක්මනින් ලියුම්කරුට ක්ලැසික් ලයින් ආයතනයෙන් සමුගැනීමට විය. ඒ වන විටත් වැටෙමින් තිබූ පිනි‍පොද වැස්ස නොතකා මහමගට පැමිණි මා නිකමට මෙන් ආපහු හිස හරවා කැලැසික් ලයින් කෞතුකාගාරය දෙස බැලුවෙමි. මෙතුවක් මාගේ අවධානය දිනා නොගත් ‘ක්ලැසික් ලයින්’ නාමපුවරුව මා හරි හැටි දුටුවේ එවිටය. වැස්සට තමෛමින් තම පැරණි මෝටර් රථයකට කුඩයක් ඉහළාගෙන සිටිනා මහත්මයෙකුගේ සිතුවමක් එහි විය. මේ සිතුවම උපාලි සූරිආරච්චි නම් අපූරු මිනිසාගේ ආත්ම ප්‍රකාශනය නොවන්නේදැයි මට නිකමට සිතුණි…

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු