එළාර – දුටුගැමුණු යුද වැදුණු බැලුම්ගලට හිත් පිත් නැති නරුමයෝ කරපු මහා අපරාධය

444

නිවාස ව්‍යාපෘතියක් සදහා යයි කියමින් අනුරාධපුර විජිතපුර ප‍්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කිරීම පිළිබඳ මේ වන විට සමාජයේ ප්‍රබල කතාබහක් මතුව තිබේ. මෙසේ විනාශයට ලක් කර තිබෙන්නේ බැලුම්ගල නමින් හැඳින් වූ එළාර – දුටුගැමුණු අන්තිම සටන පැවැති පුරාවිද්‍යා භූමියේ කොටසකි.

නිවාස සංවර්ධන අධිකාරිය මගින් නව ගම්මානයක් ඉදිරිකිරීම සඳහා මෙම භූමිය එළි පෙහෙලිකර තිබූ අතර මෙය මාධ්‍ය මගින් හෙළි කිරීමත් සමග අදාළ සිදධියට වගකිව යුතු පාර්ශව පරස්පර විරෝධි ප්‍රකාශයන් සිදු කරනු දක්නට ලැබිණි.

මෙහිදී කරුණු දක්වමින් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය පලන්සූරිය පවසා තිබුණේ ප්‍රදේශීය ලේකම්වරිය මගින් තමා අදාළ කරුණු කාරණා පිළිබඳ දැනුවත් කළ යුතු බවයි.ප්‍රාදේශිය ලේකම්වරිගේ අනුමැතිය තුළින් විනා නිවාස සංවර්ධන අධිකාරියට එවන් කටයුතු සඳහා මැදිහත් විය නොහැකි බවත් ඔහු සඳහන් කර තිබුණි.

ඉපලෝගම ප්‍රදේශයේ ප්‍රදේශීය ලේකම්වරයා වශයන් කටයුතු කරන්නේ ‘සජිදා භානු‘ නැමැත්තියකි.මෙම නිවාස ව්‍යාපෘතියට අක්කර 15 ක පමණ භූමි ප්‍රදේශයකට අනුමැතිය ලබා දුන් බවට මුලින් පිළිගත් අදාළ ප්‍රදේශීය ලේකම්වරිය පෙරේදා (07) ප්‍රකාශ කළේ අදාල ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස තමන් දැනුම් දී තිබූ බවයි.

කෙසේ වෙතත් අමාත්‍ය දුමින්ද දිසානයක පසුගිය මාර්තු 12 වනදා ලිපියක් යවමින් ඉපලෝගම ප්‍රදේශිය ලේකම් වරියට දැනුම් දී ඇත්තේ මහජන පැමිණිලි ලැබී ඇති බැවින් ඉඩම් කට්ටි කිරීම සම්බන්ධ සියලු කටයුතු තාවකාලික නවතන ලෙසයි.

ඒ අනුව පසුගිය අප්‍රෙල් 05දා අදාළ ප්‍රෙද්ශීය ලේකම්වරිය ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කළමණාකාරියට ලිපියක් මගින් දන්වා ඇත්තේ සංවර්ධන කටයුතු නතර කරන ලෙස දුමින්ද දිසානායක මහතා දැනුම් දුන් බවකි.එවන් තත්වයක් තුළ තමාට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කර තිබුණි.කෙසේ වෙතත් නිවාස සංවර්ධන අධිකාරිය ලේකම්වරිගේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ එවැනි ලිපියක් නොලැබුණු බව කියමිනි.

මේ පිළිබඳව අදහස් පළකළ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා සඳහන් කරන්නේ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ නිර්දේශය නොමැතිව, එවැනි භූමියක් සංවර්ධන කාර්‍යයක් සඳහා නිදහස් කිරීමට පුරාවස්තු ආඥා පනත යටතේ අදාළ ප්‍රාදේශිය ලේකම්වරියට කිසිදු නීත්‍යානුකූල බලයක් නොමැති බවයි.

මෙම සිද්ධියට අදාළව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (09) ප්‍රකාශයක් කර තිබුණි.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්‍ත්‍රික් කළමනාකාරිණියගේ සහ තාක්ෂණ නිලධාරියකුගේ මෙලෙස වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් මේ වන තෙක් මෙහි වගකීම කිසිවෙකු විසින් භාරගෙන නොමැති අතර,පුරාවිද්‍යා පනත වහාම ක්‍රියාත්මක කර මෙම අපරාධයට සම්බන්ධ වූ සියල්ලටම දැඩි දඩවුම් පමුණුවන ලෙස පාර්ශව කිහිපයක් රජයෙන් ඉල්ලීමක්ද කර තිබුණි.

සිංහල ජාතික සංවිධානය මේ සම්බන්ධයෙන් ඊයේ ( 08) පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, බෞද්ධ තොරතුරු කේන්ද්‍රයද මෙම විනාශය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ඉල්ලා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් ඉදිරිපත් කරනු ලැබීය.

නීතිඥ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මෙම පුරාවිද්‍යා විනාශයට එරෙහිව අධිකරණයට යන ඕනෑම අයකුට තම සංගමයේ සහාය ලබා දෙන බවයි.මේ සමබන්ධයෙන් පැමිණිළි ඉදිරිපත් කළ යුත්තේ ජනතාව බවත් එම සංගමය පවසයි.

මෙය සිදුව ඇත්තේ නිධන් සෙවීමේ අරමුණින් යයි බරපතල සැකයක් මතුවන බව වයඹ පළාත් සභා මන්ත‍්‍රි නාමල් කරුණාරත්න මහතාද මාධ්‍ය වෙත සඳහන් කර තිබුණි.ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ අනුදැනුම මත මෙම බරපතල අපරාධය සිදු වූ බවට සැක ඇති බවත් එසේ නැතිව මෙවන් වටිනා පුරා විද්‍යා බිමක මෙතරම් සෙල්ලම් දැමීමට කිසිවෙකුට නොහැකි බවද ඔහු සදහන් කරයි.

පසුගියදා බොදුබල සේනා සංවිධානය සහ තවත් බෞද්ධ සංවිධාන නියෝජනය කරන භික්ෂුන් වහන්සේ කිහිප නමක්ම එම ස්ථානයට පැමිණ සිදුව ඇති විනාශය පිළිබඳව නිරීක්ෂණය කළේය.භික්ෂුන් වහන්සේගේ නිරීක්ෂණයේදී තවදුරටත් නිධන් හෑරූ ස්ථාන රැසක් අනාවරණය වීම විශේෂත්වයක් වූහ. විශාල ගල් ආරුක්කුවලින් ගල් පියන්වලින් වසා ඇති ස්ථාන හාරා ඇති අයුරු මෙහිදී භික්ෂුන් වහන්සේ අවධානයට ලක්විය.

පුරාවිද්‍යා භූමිය විනාශ කළ සියලු දෙනාට දඬුවම් ලබාදීම සිදුකළ යුතු යැයිද පුරාවිද්‍යා ආඥා පනත යටතේ මෙම පිරිසට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වහා ක්‍රියාත්මක කිරීමට විය යුතු යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙහිදී සඳහන් කළහ.

මේ අවස්ථාවට එක් වූ ප්‍රදේශවාසීන් මහ සඟරුවන ඉදිරියේ කියා සිටියේ මේ ස්ථානය නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතු වන ස්ථානයක් බවය. රාජ්‍ය නිලධාරීන්ට මේ ආකාරයෙන් යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන විනාශ නොකරන ලෙස දැනුම් දුන් බවත් එහෙත් රජයේ නිලධාරීන්ගේ හෙන්චයියන් සහ පිරිස ගම්මුන්ට බැන වැදුණු බවද ඔවුහු මහ සංඝරත්න ඉදිරියේ පැවසූහ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නවතම තොරතුරු දැනගැනීම සඳහා අප පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සම්බන්ධ වූ අතර ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තම පාර්ශවයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

සිදුව ඇති සමබන්ධයෙන් අදහස් පළ කරන ගම්වාසීන් පවසන්නේ මෙවැන්නකි

කරුණාරත්න බණ්‌ඩාර – ගම් උදාව වැඩසටහන යටතේ මෙම ස්‌ථානයේ ඉඩම් දෙන්න ඉල්ලුම්පත් කැඳවා තිබෙනවා. ගමක්‌ හදන්න බැලුම්ගලම තෝරා ගත්තේ නිධන් ලබා ගැනීමේ උපායක්‌ ලෙසයි. බැලුම්ගල පැත්තේ හේන් කොටපු ගමේ අයට නඩු දැම්මා හිරේ දැම්මා දැන් ඩෝසර් දාලා වටිනා කැලෑව කපලා පරිසර විනාශ කරලා පුරාවස්‌තු ගලවා දැමීම බලධාරීන්ට නොපෙනීම පුදුම දෙයක්‌ නේද……?”

රංජිත් තිලකසිරි – මේ ඩෝසර් කරලා තිබෙන්නේ ජාතියේ උරුමයන්. මම එදා ගමේ හිටියේ නැහැ. මම හිටියානම් ඩෝසරයට පැනලා මේ විනාශය නවත්වනවා. අපේ මී මුත්තෝ හදපු මේ පුරා වස්‌තු අපි රකින්න ඕනේ. මේ දක්‌වා ගමේ කෙනෙක්‌ ගලක්‌ ගැලෙව්වේ නැහැ. නමුත් ආණ්‌ඩුවේ බලධාරින්ට ඕනේ විදිහට පුරාවස්‌තු විනාශ කරනවා……”

නිමල් මහින්ද මහතා – මිනිස්‌සු පදිංචි කරන්න ගම්මාන හැදිය යුතුයි. ඒත් වටිනා පුරා වස්‌තු විනාශ නොකර. බැලුම්ගල අපිට පන්සලක්‌ හදලා දෙන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ස්ථානයේ ඓතිහාසික වැදගත්කම
ආක්‍රමණික එළාර පරදා දුටුගැමුණු මහ රජතුමා ජයගත් ජය භූමිය මෙයය.මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොවේය. ‘සම්බුද්ධ ශාසනයේ චිරස්‌චිතිය සඳහාම වන්නේය’ යනුවෙන් ජාතියේ වීරයා, ද්වන්ද සටනක යෙදුණු ස්‌ථානය, මෙයය.අනුරාධපුර රාජධානිය යටත් කරගෙන වසර 44 ක්‌ තිස්‌සේ රජකම් කළ එළාර ආක්‍රමණිකයාට එරෙහිව දුටුගැමුණු රජතුමා විසින් කළ යුද්ධයේ වැදගත්ම අවස්‌ථාවක්‌ වූයේ විජිතපුර සටනයි. ක්‍රි.පූ. 161 වර්ෂයේ සිදුවූ මෙම සටන නොවන්නට සිංහල ජාතියක්‌ හෝ ලක්‌දිව තුළ බුද්ධාගමක්‌, ඉතුරු නොවන්නට ඉඩ තිබුණි. රාජාවලියේ විස්‌තර ඇති පරිදි විජිතපුරය දෙවැනි වන්නේ අනුරාධපුරයට පමණි.

මේ ස්ථානය එළාර රජු හා සේනාව විසින් දුටුගැමුණු රජුට හා සේනාවට පහරදීමට යොදගත් හා ඔවුන්ගේ අවි ගබඩාව තිබූ ස්ථානය ලෙසද ගම්මු හඳුන්වති. මේ ස්ථානයේ අන්තිම සටනේදී එළාර රජු පරාජය වීමත් සමඟ බලකොටුව තුළ විහාර ආරාම කරවා මහා සංඝරත්නයට පූජා කොට ඇතැයි ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

මේ ස්ථානයේ කැලෑබදව වන්නට පිහිටි ගලින් කෙටූ පහන්ගල නිරීක්ෂණය කිරීමෙන් පසු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ මෙවැනි ස්ථානයක් මෙරට දැකගැනීමට නොහැකි බවය.