සම්මානය ඉස්‌සූ කල්ලිය බම්බලපිටියෙන් අල්ලයි – ලෙස්ටර්ගේ නිවසේ හොරකම් රැසක් කරලා

1407

ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාට අයත් රණමයුර සම්මානය සොරාගත් රටේ ලියාපදිංචි ගැටකපන්නන් සිව්දෙනකු බම්බලපිටිය පොලිසිය මගින් ඊයේ (06 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ නිවසින් සොරාගත් රණමයුර සම්මානය කඩුවෙල කොල්ලුපිටිය අතර ධාවනය වන මාර්ග අංක 177 සුඛෝපභෝගි පෞද්ගලික බස්‌ රථයක දමාගොස්‌ තිබියදී කොල්ලුපිටිය පොලිසිය මගින් පෙරේදා (05 දා) සොයා ගන්නා ලදී.

ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් පවසා ඇත්තේ මෙම සම්මානය සොරා ගැනීම පිළිබඳව මාධ්‍ය ඔස්‌සේ විශාල ප්‍රචාරයක්‌ ලැබීම නිසා තමන් දැඩිලෙස බියට පත්වු බැවින් සම්මානය බස්‌ රථයක දමා ගිය බවයි. එම සම්මානය තමන් විකිණීමට උත්සහ නොකළ බවද සැකකරුවන් විසින් ප්‍රකාශ කර ඇත.

මේ අතර ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ නිවසින් ඇපල් වර්ගයේ ජංගම දුරකථනය සොරාගෙන ඇත්තේද මෙම සැකකරුවන් විසින් බවට විමර්ශනවලදී හෙළිවී තිබේ. එම ජංගම දුරකථනය අලෙවි කර තිබූ අතර ඊයේ (06 දා) රාත්‍රිය වන විට එය පොලිසිය භාරයට ගෙන තිබිණි. එම ජංගම දුරකථනයද ආපසු පීරිස්‌ මහතාගේ නිවසට ගෙනවිත් දැමීමට තමන් සූදානමින් සිටි බව සැකකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ අවමංගල්‍යයට පැමිණි ප්‍රබල දේශපාලනඥයකුගේ මුදල් පසුම්බියත් මෙම සැකකරුවන් විසින් අවමංගල්‍යය උත්සවයේ තදබද අවස්‌ථාවකදී සොරාගෙන තිබු බව විමර්ශනවලින් හෙළි විය.

තම මුදල් පසුම්බිය සොරාගැනීම සම්බන්ධයෙන් දේශපාලනඥයා පොලිසියට පැමිණිල්ලක්‌ කර නොතිබිණි. කොළඹ දකුණු කොට්‌ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී සමන් යටවර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ බම්බලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඒ. අජිත් ඇතුළු නිලධාරීන් පිරිසක්‌ දින කිහිපයක්‌ තිස්‌සේ සිදුකළ විමර්ශනවලින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

ධනවත් පුද්ගලයන්ගේ අවමඟුල් උත්සවලට පැමිණ කලබල අවස්‌ථාවල නිවෙස්‌වල ඇති වටිනා දේපළ සොරා ගැනීම මොවුන් වෘත්තිය ලෙස කරගෙන ගොස්‌ ඇත. සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ (06 දා) පැවති එක්‌සත් ජාතික පක්‍ෂ මැයි රැලියට සහභාගි වන ධනවත් පුද්ගලයින්ගේ මුදල් පසුම්බි සොරාගැනීමට තමන් සැලසුම් කරගෙන සිටි බවද අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

මෙම සැකකරුවෝ සිව්දෙනා කඩුවෙල, මතුගම, නාවලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් දීර්ඝ කාලයක සිට ගැට කැපීම සිය වෘත්තිය ලෙස කරගෙන ගොස්‌ ඇත. ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ නිවසින් රණ මයුර සම්මානය සොරා ගැනීමෙන් පසු ඒ පිළිබඳ විමර්ශන පැවැත්වු බම්බලපිටිය පොලිසිය අවමඟුල අවස්‌ථාවේ වීඩියෝ දර්ශන සහ සීසීටීවී දර්ශන පරීක්‍ෂාවට ලක්‌ කරමින් මෙම සොර කල්ලිය මෙම අවමගුලට පැමිණි වාහනයක්‌ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා කඩුවෙල ප්‍රාදේශයේදී එය අත්අඩංඟුවට ගෙන රියදුරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු තොරතුරු හෙළි කරගෙන ඇත.

කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී සමන් යටවර, අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ නිශාන්ත සොයිසා, සහකාර පොලිස්‌ අධිකාරී ප්‍රසන්න අල්විස්‌ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත බම්බලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති අශෝක වීරක්‌කොඩි, පොලිස්‌ පරීක්‍ෂක ඒ. අජිත් ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.