යාපනය මහාධිකරණ විනිසුරු ඉලංචේලියන්ට ස්ථාන මාරුවක් – යාපනය කැලැඹෙයි

726

රට තුළ මහත් ආන්දෝලනයකට ලක්වන අන්දමේ නඩු තීන්දු ගණනාවක්ම ලබාදුන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා ස්ථාන මාරු කිරීමකට ලක් කොට ඇති බවට ආරංචියක් පැතිර යෑමත් සමඟම යාපනයේ මහජන සංවිධාන දැඩි ලෙස කලබලයට පත්ව තිබේ.

යාපනයේ මහජන සංවිධාන, විනිසුරුවරයා මාරුකොට ඇති බවට තොරතුරු දැනගෙන ඇත්තේ කොළඹින් ලැබුණු ආරංචිවලට අනුවය.

මේ පිළිබඳ ඉලන්චේලියන් මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ඒ අන්දමට ආරංචියක් පතිර යන නමුත් තමන්ට මේ දක්වා ලිඛිතව එවැනි දැනුම් දීමක් නොලැබුණු බවයි.

තමන් රජයේ සේවකයකු නිසා යම් ස්ථාන මාරුවක් ලැබෙන්නේ නම් ඒ ඕනෑම තැනකට යෑමට තමන් සූදානම් බව කී ඉලන්චේලියන් මහතා යාපනයේ සේවය කළ කාලය ජීවිතයේ කිසිම දිනක අමතක කළ නොහැකි කාල පරිච්ඡේදයක් වන බවද කියා සිටියේය.

යාපනයේ මහජන සංවිධාන කියා සිටින්නේ ඉලන්චේලියන් මහතා යාපනයේ තවත් කලක් සිටිය යුතු මහාධිකරණ විනිසුරුවරයකු නිසා ඔහුව මාරු කළහොත් එම ස්ථාන මාරුවීම අවලංගු කරවා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

2015 වසරේදී ඉලන්චේලියන් මහතා යාපනය මහාධිකරණ විනිසුරු ධුරයට පත්ව ආවේ ත්‍රිකුණාමලයේ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් සේවය කරමින් සිටි අතරතුරදීය. ඔහු ත්‍රිකුණාමලයේ මහාධිකරණ විනිසුරුවරයා වීමට පෙර වවුනියාවේ දිසා විනිසුරුවරයා වශයෙන් බොහෝ කාලයක් සේවය කළේය.