අලුත් අවුරුද්දට චණ්ඩි කමෙන් ඇවිත් බලෙන් බින්න බැස්ස අමුත්තා

904

සිංහල අලුත් අවුරුද්දට අපේ නිවෙස්වලට නොයෙකුත් තරාතිරම් වල අමුත්තෝ එති-යති. ඔවුන් අතරේ විවිධ ගති ලක්ෂණ ඇත්තෝද සිටිති. එහෙත් 2017 සිංහල අලුත් අවුරුද්දේ නිවසකට බලහත්කාරයෙන් කඩා වැදී අද දක්වාම එම නිවසින් එලවා ගත නොහැකි අපුරු අමුත්තෙකු සිටිතැයි ඔබ නිකමට හෝ සිතනවාද?

එහෙත් මේ අමුත්තා මිනිසෙකු නොව සුනඛයෙකි. එහෙත් ඔහු එසේ මෙසේ සුනඛයෙකු නොවන බව මේ කතාව කියවන ඔබට මනා සේ වැටහී යනු ඇත.මේ කතාව අපට කීවේ කොට්ටාව, සිරිමල්වත්තේ, ඉරූකා රෝෂිනී මහත්මියයි. දැන් අපි ඇගේ එම කතාව ඇගේ වදන් වලින්ම කියවා දැන ගනිමු.

‘අපේ ගෙදර ඉන්නේ මගේ අම්මයි තාත්තයි මමයි දුවයි. දුවගේ වයස අවුරුදු 14යි. තවමත් ඉස්කෝලේ යනවා. 2017 අප්‍රේල් 16 හරි 17 වගේ දවසක අපේ ගෙදරට නෑදෑ කට්ටියක් ඇවිත් සිටියා. ඒ වෙලාවේ හිටපු ගමන් අපේ මිදුලේ බල්ලෙක් බුරනවා ඇහුණා. බලනකොට අපි කවදාවත් දැකලා නැති සතෙක්. කොහෙන් ආවද කියලා හිතා ගන්නවත් බැහැ.

ඊට පස්සේ මේ සතා අපේ ගේදොරකඩ වාඩි වෙලා හරියට තමන්ගේ තැනක වගේ ඉන්නවා. අපි හිතුවා මේ රතිඤ්ඥා වලට බයේ ආපු සතෙක් කියලා. ඒත් ආපහු යන පාටක් නැහැ. ඒ සතා මෙහේ ඉන්න දවස්වල අපි කන්න ටිකකුත් දුන්නා.

මේ සතා අපේ ගේ ඉස්සරහ ඉන්නවා මදිවට පාරේ යන මිනිස්සුන්ට යකා වගේ බුරාගෙන පනිනවා. සමහර මිනිස්සු අපිට බැණ බැණ යනවා; බල්ලෝ කූඩුවේ දාගෙන හදා ගන්න කියලා. ඒ මදිවට සමහර මිනිස්සු අපේ ගේ ඉස්සරහින් යන්නේ පොලු අරන්.

ඒත් මේ කොහේවත් යන සතෙක් කියලා අපිට කියා යන්න විදිහකුත් නෑ. ඒ මදිවට බැරි වෙලාවක්වත් අපිට ඒ සතා අල්ලන්නවත් බැහැ. බුරාගෙන පනිනවා. අපි සැර කළත් ඊටත් වඩා හයියෙන් බුරාගෙන පනිනවා.

මේ සතා ඇවිත් මාසෙකට විතර පස්සේ පාරේ යන මනුස්සයෙකුව හපන්න පැනලා අපේ අම්මා සැර කළාම අපේ අම්මගේ උරහිසට පැනලා අම්මව පෙරළගෙන හපලා. අපේ අම්මා අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග කිහිපයක්ම තියෙන කෙනෙක්.

අන්තිමේ අපි මේ සතාව බය කරලා එළව ගන්න ගේ ඉස්සරහ රතිඤ්ඤා පත්තු කළා. ඒත් මෙයාව හොල්ලන්නවත් බැරි වුණා.මගේ අක්කයි මස්සිනයි දරුවො දෙන්නයි ඉන්නේ අපේ ගෙදරට යාබදව. මේ සතා මස්සිනාට විතරක් ටිකක් හිතවත්. මස්සිනා විසිල් කරන කොට කොහෙ හිටියත් දුවගෙන එනවා. මස්සිනාගේ ත්‍රිවිලර් එකටත් නගිනවා.

මේ සතා නිසා අහල පහල මිනිස්සුන්ගෙන් අපිට දිගින් දිගටම දෝෂාරෝපණ එල්ල වන නිසා අපි කොට්ටාව පොලීසියට ගිහින් පැමිණිල්ලක් කළා; මේ සතා අපේ නෙවෙයි මේ සතා කාවහරි කෑවෙත් අපිට වග කියන්න බෑ කියලා.

පස්සේ ඒ ගැන විමර්ශනය කරන්න පොලිස් රාලහාමි කෙනෙක් අපේ ගෙදරට ආවා. ඒත් ඒ රාලහාමිට බයිසිකලෙන් බහින්නට නොදීම මේ සතා යකෙක් වගේ බුරන්න පටත් ගත්තා. කොහොමත් මෙයා අපේ ගෙදර ඉන්නේ චණ්ඩි කමෙන්මයි. බලහත්කාරන් ගේ ඇතුලත එනවා. කාමර වල නිදා ගන්නවා. වැහි දවසට ඉන්න අපි වෙනම ටකරං ආවරණයක් හදල දුන්නත් ඒකේ ඉන්නෙම නෑ. ඒ වගේම මෙයා අපිට පොඩ්ඩක්වත් කීකරුත් නෑ. බයත් නෑ.

තව දවසක් මෙයා අපේ අම්මව හපලා අම්මා දවස් එකහාමාරක් කළුබෝවිල ඉස්පිරිතාලෙත් සිටියා. මාස ගාණක් බෙහෙත් කළා.ඊට පස්සේ අපි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහිල්ලා මෙයා ගැන පැමිණිලි කළා; මෙයාව කොහාට හරි ගිහින් දාන්න කියලා. ඊට පස්සේ ඒකට උවමනා ප්‍රතිපාදන නැහැ රඳවන්න පුළුවන් තැනක් තිබුනොත් කියන්නම් කියලා ඒ අයත් කිව්වා.

ඊට පස්සේ දවසක මස්සිනා අකමැත්තෙන් වගේ රෑ 7ට විතර මෙයාව ත්‍රිවිලර් එකක දාගෙන දියවන්නාව පැත්තට ගිහින් දාලා ආවා. මෙන්න රෑ 11.30 විතර වන විට මේ සතා ආයිමත් ගෙදර. ඒ වෙලාවේ මෙයාගේ ඇගේ තුවාල කිහිපයකුත් තිබුණා.

ඊට පස්සේ ළග ගෙදරක ළමයෙක් සරුංගල් අරින ගමන් නුල් බෝලේ මේ සතා ළගට වැටිලා ඒ ළමයව හපා කාළා. ඒ ළමයගේ වයස අවුරුදු 8යි. ඒක දැකපු අක්කගේ දුව ඒ ළමයව බේරන්න යන කොට අක්කගේ දුවත් හපා කාලා. එයාගේ වයස අවුරුදු 12යි.

මේ වගේ තත්වයක් යටතේ මේ සතාව ගෙදර තියාගෙන ඉන්න බැරි හින්දා මගේ මස්සිනයි මාමයි මෙයාව වට රවුම් පාරවල් වලින් අවිස්සාවේල්ල කිට්ටුවටම ගිහින් දාලා ආවා. මගේ තාත්තගේ උපන්දිනය මාර්තු 26වනදා. අපි ඒ වෙනුවෙන් කේක් එකක් ලෑස්ති කරලා ඒක කපන්න හදන කොට මෙන්න මේ සතා ලේ පෙරාගෙන ගේ අතුලටම කඩගෙන වැදිලා සාලේ වාඩි වුණා. හරියට ඒ අවස්ථාවට සහභාගි වෙන්න වගේ.

දැන් අපිට කරගන්න දෙයක් නෑ. ඒ වෙනකොට සතාව ගිහින් දාලා දවස් 10යි. අපි හිතන්නේ ඒ සතාව ගිහින් දාපු දවසේ ඉදලා නොකා නොබී එක දිගට අපේ ගෙදර හොයා ගෙන එන්න ඇති. කිලෝමීටර් 30කට වැඩි දුරක් නේ. අනික මෙයාගේ කලින් හිටපු ගෙදර සොයා නොගන්නේ ඇයි කියන එක අපට ප්‍රශ්නයක්.

අපි කොහොමත් ප්‍රාණ ඝාතය දැඩිවම හෙලා දකිනවා. මොනම හේතුවක් නිසාවත් සතෙකුගේ ජීවිත හානියක් කරන්න අපි පෙළඹෙන්නේ නැහැ. සමහරු මේක අමනුෂ්‍ය දිස්ටියක් නිසා සිදුවන දෙයක් කිව්වට අපි ගෙදරට පිරිත් පැන් ඉස්සා. බෝධි පුජා තිබ්බා. දානයකුත් දීලා තියෙනවා. මේ සතා හපා කෑවට පස්සේ අපේ අම්මා හීනෙන් බයවෙන එකත් ඊට හේතුවක්.

මේ අතරේ පසුගිය දෙසැම්බර් 27වෙනිදා අපේ පුංචි අම්මගේ අවුරුදු නමයක් වයස පුතාව මේ සතා හපා කෑවා ඒ දරුවා ඉන්දියාවෙදි හෘද සැත්කමකට ලක් කළ දරුවෙක්. අපි පුතාව කළුබෝවිල එක්ක ගියාට පස්සේ එයාට ප්‍රතිකාර කළේ බොහොම අරපරිස්සමෙන්. කොහොම හරි දැන් ඒ දරුවත් හීනෙන් බයවෙනවා.

කොහොම නමුත් මේ සතාගේ හිතේ අපි ගැන ලොකු බැදීමක් තියෙන බව අපිට තේරනවා. නමුත් ඒ මොකක්ද කියලා තේරුම් ගන්න බැහැ. අපි කවුරු හරි බස්එකට නගින්න යනව නම් මේ සතා අපිත් එක්කම බස් හෝල්ට් එකට ඇවිත් අපිව ඇරලලා එනවා. අතර මඟදී හපනවා තියා වෙන කවුරුවත් දිහා බලන්නෙවත් නෑ.

මේ සතා වෙන සත්තුත් එක්ක පොරකාලා තුවාල කර ගත්තත් පහල වෙලට ගිහින් මඩ වතුරේ පෙරලිලා එනවා ඒ තුවාල එතනින්ම සනීපයි. අපි මේ සතාගේ ජීවිතයට හානියක් නොකර කොහේ හරි තැනක රඳවල තියන්න අපි සත්ව සංවිධාන ගණනාවකට කතා කළා. නමුත් කිසිම ප්‍රතිඵලයක් නැහැ. මේ සතාගේ ජීවිතයට හානියක් නොකර මේ සතාව රැකබලාගන්න තැනක් තියෙනවා නම් 0778 991 574 දුරකතන අංකයෙන් අපට දන්වන්න‘.

ඉරූකාගේ කතාව කෙසේ හෝ සුනඛයා යනු මිනිසුන් සමඟ කෙතරම් දැඩි සබඳතාවයකින් යුතු සත්වයෙක් යැයි ඇගේ මේ කතාව කියවන ඔබට මනාව තේරුම් යනු නොඅනුමානය. එය සතුන් කෙරෙහි මීට වඩා ගැඹුරින් සිතිමට ඔබ පොළඹවනු ඇතැයි අපි සිතමු.

දමයනති ගමගේ