මුහුද ගොඩ ගලයි – වෙරළ ආශ්‍රිත ජනතාව දැඩි භීතියට

1301

මුහුද ගොඩ ගැලීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල තොඩුවාව මුහුදු තීරයේ ජනතාව හා ආරච්චිකට්ටුව මුතුපන්තිය දුපතේ ජනතාව දැඩි භීතියට පත්වූහ.

21 පස්වරුවේ මුහුද ඉතා රළු ස්භාවයක් ගෙන පසුව එකවර මුහුද ගොඩ ගැලීම සිදුව තිබේ .

මුහුද ගොඩ ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව නිවාස වලින් එළියට බැස මුහුද ආසන්නයට පැමිණ මුහුද දෙස බලා සිටි අතර පැය තුනකට ආසන්න කාලයක් මේ තත්වය තිබී ඇත .

තම ජිවිතයේ මීට පෙර මෙවන් අත්දැකීමක් නොමැති බව තොඩුවාව ප්‍රදේශයේ ජිවත් වන හැත්තෑ පස් හැවිරිදි පීටර් පොල් ප්‍රනාන්දු මහතා පැවසීය.

” සුනාමි ඇවිල්ලත් අපිට මෙහෙම ගැලුවේ නැහැ . අද සවස තමයි මේ විදිහට මුහුද ගොඩ ගලන්න පටන් ගත්තේ අපිට හිතා ගන්න බැහැ මොකද්ද මේ වෙන්න යන්නේ කියල. පොලිසියෙන් අවා .ග්‍රාමසේවක අවා . එච්චරයි.දෙවියන්ට කියනවා හැරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ .”

තොඩුවාව ග්‍රාමයේ ජිවත් වන ධීවර කාන්තාවක් වන මේරියන් ප්‍රනාන්දු -” තොඩුවාවේ ගමේ ඔක්කොම අද ඉන්නේ පාරේ . අද රෑට මොකකින් මොකක් වෙයිද දන්නේ නැහැ . මුහුද දැන් පාරටත් උඩින් ගලනවා . අපේ ජීවිත කාලේ මෙහෙම දැකලා නැහැ .”

මුතුපන්තිය දුපතේ ජිවත් වන තරුණයකු වන නිලුක්ෂන් මධුරංග ප්‍රකාශ කළේ දුපත මැදින් මුහුදු ජල පහරක් ගොඩබිමට ගැලු බවයි. මේ තත්වය දිගින් දිගටම පැවතියහොත් දුපත දෙකඩ වීමේ අවදානමක් ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය .

මේ තත්වය ඉදිරි දින කීපය තුළද පැවතිය හැකි බව ධීවර ජනතාවගේ මතයයි .මේ අතර පෙරේදා දිනයේ කල්පිටිය දුපත් වල සංචාරයයේ නිරත් වූ යාත්‍රා කීපයක සිටි පිරිස්ද දැඩි ලෙස භීතියට පත්වූ බව වාර්තා විණි .