මොන බාධක ආවත් මතුගම ඉදන් කතරගම ගිහින් බාරය ඔප්පු කළ තරුණයන් දෙදෙනාගේ පාද යාත්‍රාව

400

එකපිට, එක දුක්‌ කරදර පැමිණෙන විට බොහෝ මිනිස්‌සු ජාති, ආගම් බේදවලින් තොරව කතරගම දෙවියන්ගේ පිහිට පතා බාර හාර වෙතිs. දේව ශාන්තිය ලැබී මානසික සුවයක්‌ ලැබූ විට එම බාර ඔප්පු කිරීමට පූජා වට්‌ටි, කිරි ආහාර, රන්, රිදී, මුතු, මැණික්‌, සල්ලි මිටි කතරගම දෙවියන්ට පූජා කරති. ඇතැම්හු සිරුර පුරා කටු ගහගෙන කතරගම දෙවියන්ගේ දෙවොල වටේ යති. කාවඩි නටමින් ගමන් කරති. පෙරළි, පෙරළි දෙවියන් ඉදිරියට ගමන් කරති. යාපනේ දෙමළ මිනිසුන් කතරගම පෙරහැරට සහභාගිවීමට පාද යාත්‍රාවේ ගමන් කරනු ලබන්නේ ද කතරගම දෙවියන්ට වූ බාර හාර ඔප්පු කිරීම සඳහාය. සිරිත් පරිදි කතරගම දේවාලයට පැමිණෙන එකම පාද යාත්‍රාව එයයි. එවැනි පසුබිමක දුරකතර ගෙවාගෙන මතුගම පාන්තිය ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනකු ද පාද යාත්‍රාවේ කතරගම දෙවියන් ඉදිරියට ගියහ. ඒ ඔවුන් ද කතරගම දෙවියන්ට වූ බාර හාර ඔප්පු කිරීම සඳහාය.

චන්දන කන්නන්ගර සහ ජිනෙන්ද්‍ර ජයලාල් කාර්දි පුංචිහේවා කතරගම වන්දනා ගමන ආරම්භ කරනු ලැබුයේ පාන්තිය පන්සල අසළණි. බුදුන් වැඳ, සතර මහා දෙවියන්ට පුද සද්කාර කර කතරගම දෙවියන් ඉදිරියේ පොරොන්දු වූ පරිදි චන්දන අලුත්ගම, මතුගම මාර්ගයෙන් කන්දෙ විහාරයට ළඟා වන විට පුංචිහේවා බෝපිටිය, යටදොළ මාර්ගයෙන් ගමන් කළ කන්දෙ විහාරයේදී දෙදෙනාම එකතු විය. පිණි වැසි මැද හිමිදිරියේ බුදුන් වැඳ, විෂ්ණු, කතරගම දෙවිවරු ඇතුළු සියලු දෙවි දේතාවුන්ගේ ආශිර්වාදය ලබාගෙන කන්දෙ විහාර පුදබිමෙන් ඔවුහු පිටත් වූහ. පිණි දිය වියළි, හිරු රැසින් අවට රත් වී මඟ ගිනියම් වුවද ඔවුන්ගේ ගමනට එය බාධා නොවිණි. ඔවුහු වන්දනා ගමන ගියහ.

වන්දනා ගමනට පේ වී මස්‌ මාංශවලින් තොර වූ ඔවුහු කඩේකින් ගත්තේ බිස්‌කට්‌ පැකට්‌ එකක්‌, වතුර බෝතලයක්‌ බීම බෝතලයක්‌ පමණි. දහවලට, රාත්‍රී කෑම ඔවුන්ගේ ගෙවල්වලින් පිළියෙළ කර හිත මිතුරන්ගේ මාර්ගයෙන් ඔවුන්ගේ අතට පත් කෙරිණි. දෙදෙනාම මතුගම ආනන්ද ශාස්‌ත්‍රාලයේ ආදි ශිෂ්‍යයන් බැවින් පාසලේ සමකාලීනයන්ගේ සහාය, දිරිගැන්වීම ඔවුන්ගේ පාද යාත්‍රාවට නිරන්තර ශක්‌තියක්‌ විය. හිතමිතුරු සහ මග තොටේ හමුවන මිනිසුන්ගේ ආශීර්වාදයත් සමඟ පළමු දිනයේදීම ඔවුහු අම්බලන්ගොඩ ප්‍රදේශයට පැමිණියහ. දෙවැනි රාත්‍රිය උණවටුණේ පහන් කෙරිණි. ඔවුන්ගේ පාද යාත්‍රාවට හිමිදිරියේ සිට ශක්‌තියක්‌වීමට එදින රාත්‍රියේ අප ද ඔවුන්ට එකතු විය.

ගිනියම් මහ මඟ ගමන් කිරීමේ කඨෝර බව දෙවැනි දිනයේදීම ඔවුන්ගේ වෙහෙසකර ගතින් පෙණිනි. දූවිලි බැඳුණු මුහුණු අඳුරු වළාවක්‌ වැනිය. දෙපා යටි පතුල් දියපට්‌ටවලින් වැසී ගොස්‌ය. එහෙත් ඔවුහු සිතින් ශක්‌තිමත්ය. කරිඡ්ජෙන් තෙත් වූ සිරුරු සිහිල් දියෙන් දෝවනය කරගෙන ඔවුන් විසින්ම දිය පට්‌ට සිදුරු කර බෙහෙත් ගල්වා ගත්හ. අනතුරුව රාත්‍රී කෑම කා මැදියම් රෑ එළැඹෙන තෙක්‌ අප සමඟ විහිළු, තහළු කරමින් සතුටු සමිචීයේ යෙදිණි. ඒ විහිළු, තහළු මැද පාද යාත්‍රාවේ අරමුණ ගැන අපට පැහැදිළි කිරීමට චන්දන අමතක නොකළේය.

“පහුගිය කාලේ මගේ කේන්දරය බලන හැම කෙනෙක්‌ම කිව්වේ වයස අවුරුදු හතළිය වෙනකොට මම ආබාධිත තත්ත්වයට පත් වෙනවා කියලා. ඒ ගැන මතක්‌ වෙන, වාරයක්‌ පාසා මට සිහි වුණේ දරුවො දෙන්නා ගැන. පවුලේ අනාගතය ගැන ලොකු බියක්‌ දැනුණා. කතරගම දේවාලයේ දෙවියන් ඉදිරියට ගිහින් මම පත්වෙන්න යන අසරණ තත්ත්වය ගැන කියලා දෙවියන්ගේ පිහිට අයෑද සිටියා. මාව ආබාධිත තත්ත්වයට පත් නොකරන ලෙසට දෙවියන්ට බාර වුණා. එතැනදි මගේ අදහස වුණේ ජොතිෂ්‍යයේ කියෑවෙන විදිහට අවුරුදු හතළිහ වෙනකොට කරදරයක්‌ නොවී ග්‍රහ අපල ගෙවිලා ගිහින් හතළිස්‌වැනි උපන් දිනයෙන් පසු පාන්තියේ පන්සල ළඟ ඉඳලා කතරගම දේවාලයට පයින් ගමන් කරලා දෙවියන්ට වූ බාරය ඔප්පු කරනවා කියලා…”

ගොඩක්‌ මිනිස්‌සු කතරගම දෙවියන්ට බාර හාර වෙනවා. ඒ හැම කෙනෙක්‌ම බාර ඔප්පු කරන්නේ පූජා වට්‌ටි, රන්, රිදි පූජා කරලා. ඒ හැම දෙයක්‌ම රුපියල් ශතවලින් කෙරෙන පූජා. ඊට වඩා එහා ගිය, දුෂ්කරක්‌ ක්‍රියාවකින් බාරය ඔප්පු කරන්න ඕනා කියලා මට හිතුණා. දෙවියන්, බුදුන් අදහන මගේ දිහා කතරගම දෙවියෝ බැලුවා. කිසිදු අතුරු අන්තරාවකින් තොරව මගේ අපල දුරුවෙලා ගියා. දැන් මට වයස අවුරුදු හතළිහ පැන්නා. මම එංගලන්තයේ රස්‌සාවත් අතහැර දාලා ලංකාවට ආවේ දෙවියන්ගේ ආශිර්වාදය පිරුණු අපේ රටේ දරුමල්ලන් ඇසුරෙහිම ජීවත් වෙන්න හිතාගෙන.

මේ යන්නේ එදා කතරගම දෙවියන්ට වෙච්ච බාරය ඔප්පු කරන්න…” ජීවිතය වෙනස්‌ විදිහට දකින චන්දන කන්නන්ගර පොරොන්දු කඩ නොකරන, සරල ගති පැවතුම්වලින් හෙබි නිහතමානී පුද්ගලයෙක්‌ ලෙස කා අතරත් ප්‍රසිද්ධය. මේ ධර්මද්වීපය තුළදී දැහැමි දිවි පැවතක්‌ ගත කරන මිනිසුන්ට ජීවන බාධක මගහැරී සාර්ථක ජීවිත ගත කළ හැකි බව පරම සත්‍යයකි. චන්දනගේ කතාවෙන් එය තවදුරටත් යථාර්ථයක්‌ බවට පත් කර තිබේ. එහෙත් පුංචිහේවාගේ කතරගම ගමන ඊට වෙනස්‌ය. ඔහු මේ පාද යාත්‍රාවට සම්බන්ධ වී සිටින්නේ චන්දනට ශක්‌තියක්‌වීමට මෙන්ම ඔහුගේ ඉදිරි ජීවන බලාපොරොත්තුවලට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය අයෑද සිටීමටය.

“මම පුංචි කාලේ ඉඳලා දෙවියන් කෙරෙහි ලොකු භක්‌තියක්‌ තිබුණා. අපේ සීයා උදේ හවස දෙවියන්ට වඳිනවා මම බලා හිටියා. මටත් දෙවියන්ගේ බැල්ම, ආශිර්වාදය, ශක්‌තිය තියෙනවා. ඒ විශ්ව ශක්‌තියෙන් මම මිනිස්‌සුන්ට පිහිට වෙනවා. බරපතළ රෝගීන් සුවපත් කරලා තියෙනවා.

ඒ කිසිදු උපකාරයක්‌ වෙනුවෙන් මම පුද පඬුරක්‌ තරම් ගන්නේ නෑ. මට දෙවියන් වරම් දීලා තියෙන්නේ මිනිස්‌සුන්ට පිහිට වෙලා පින් රැස්‌කර ගන්න. මම සල්ලි ගරන දේවාල කරන්නේ නෑ. හතරදිග් බාගයේ ඕනෑම මුල්ලක අසරණ රෝගියෙක්‌ මගෙන් පිහිට පැතුවොත් මම ඔහුට සරණ වෙනවා. මම මේ පාද යාත්‍රාවට එකතුවීමේ එක අරමුණක්‌ තමයි කතරගම දෙවියන්ට පුද සත්කාර පවත්වලා මගේ ඒ ශක්‌තිය තවත් වර්ධනය කරගැනීම. ඉදිරි කාලයේදී යාපනේ නල්ලූර් කෝවිලෙන් පටන්ගෙන,

කොනේෂ්වරන් කෝවිල වැඳගෙන, අනුරාධපුර අටමස්‌ථානයත් වන්දනා කරගෙන කතරගම දේවාලයට පාද යාත්‍රාවේ එන්න මගේ බලාපොරොත්තුවක්‌ තියෙනවා. නොදුරු කාලයේදීම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කරගන්න වරම් ලැබෙනවා කියලා මට විශ්වාසයක්‌ තියෙනවා…” පුංචිහේවාට ඇති අසාමාන්‍ය ශක්‌තිය ගැන කතාබහ කිරීමට ඔහු අකමැතිය. ඒ ශක්‌තියෙන් අසරණයන්ට සරණක්‌වීම ඔහුගේ එකම අරමුණය. පාන්දරින් පාද යාත්‍රාව සක්‍රිය කිරීමට ඇවැසි බැවින් චන්දන සහ පුංචිහේවා අපගෙන් සමුගෙන නින්දට ගියහ.

චන්දන සහ පුංචිහේවා පසුගිය මස 29 වැනිදා හිමිදිරියේ පාන්තිය පන්සල අසළින් ආරම්භ කළ පාද යාත්‍රාවට ඉඳුරුවේදී තවත් සාමාජිකයෙක්‌ එකතු විය. ඒ චන්දන කන්නන්ගරගේ පුතාය. ඔහු මතුගම ආනන්ද ශාස්‌ත්‍රාලයේ ඉගෙනුම ලබන වයස අවුරුදු දොළහක පුංචි දරුවෙකි. එහෙත් ඔහු තම පියාට ශක්‌තියක්‌ වෙමින් දෑතේ එල්ලී ඉඳුරුවේ සිට කතරගමට යැමට ගමනට එකතු විය. මාතර කිට්‌ටු වෙද්දී පුංචි තිමත්ට ඇවිද ගැනීමට නොහැකි තරමට ගත තෙහෙට්‌ටු විය. අනතුරුව තිමත් නතර විය. අම්බලන්ගොඩ, උණවටුන, මාතර සහ හම්බන්තොට රාත්‍රි ගත කළ චන්දන සහ පුංචිහේවා දින හයකට පසු කතරගමට ළඟා විය.

“ගමන දුෂ්කරයි. බාධක එමටයි. ඒත් ගමන සැබෑ වන්දනාවක්‌. ගාලු පාර දිගට පෙනෙන්න තියෙන සියලු විහාරස්‌ථාන, දේවාල, කෝවිල් වන්දනා කරගන්න අවස්‌ථාව ලැබුණා. ගාල්ලේ සිව දේවාලය, සීනිගම, දෙවිනුවර දේවාලටවලට පූජා වට්‌ටි තියලා දේව ආශීර්වාදය ලබාගත්තා. මාතර බෝධිය, තංගල්ල හේනකඩුව රජමහා විහාරය වන්දනා කළා. බටඅත හුංගම ඓතිහාසික ෙච්තගිරිය පුරාණ රජමහා විහාරය වැන්දා. තිස්‌සමහාරාම මැණික්‌ රජමහා විහාරය, තිස්‌ස විහාරය, වීරවිල රජමහා විහාරය වන්දනා කර ගත්තා. ගාලු පාරේ යන සමහර ප්‍රයිවට්‌ බස්‌කාරයෝ තමයි අපිට ලොකුම බාධකය වුණේ. ඒ අය බස්‌ ධාවනය කරවන්නේ පාරේ පයින් යන අයව පයිසෙකට මායිම් නොකර. සමහර තැන්වලදී මාර්ගයෙන් ඉවතට පැනලා බේරුණු අවස්‌ථා තිබුණා. ඊට පස්‌සේ හම්බන්තොට, තංගල්ල අතරදී අලියෙක්‌ පාරට ඇවිත් විනාඩි හතළිස්‌ පහක්‌ විතර ගමන ප්‍රමාද වුණා. දවල් එකොළහ, දොළහ වෙනකොට පාරේ ගමන් කරන්න බැරි තරමට රස්‌නෙයි. ඒ වෙලාවට අපි ගඟේ, මුqහුදේ පැනලා නානවා. පැය ගණන් විවේකීව ඉඳලා දවසට කිලෝ මීටර් පනහ, හැට ඇවිදපු දවසුත් තියෙනවා. පාර දිගට පඬුරු, බීම බෝතල්, බිස්‌කට්‌ පැකට්‌ දීපු මිනිස්‌සුත් හිටියා.

ඒ සියලු අත්දැකීම් මැද හයවැනි දවසේ රෑ කතරගමට ඇතුළු වෙලා මකර තොරණ ළඟදි බී ගත් මිනිස්‌සු ටිකක්‌ අපිව මැදි කරගෙන ප්‍රශ්න කළා. බැණ අඬ ගැහුවා. ගහන්න හැදුවා. විනාඩි හතළිහක්‌ විතර අපිට කරදර කළා. මත් වූ ඒ මිනිස්‌සු කියපු හැම දේම මේ කණින් අහලා අනිත් කණින් පිට කරලා ඔවුන්ගෙන් මිදිලා අපේ ගමන ගියා. නාලා කරලා පූජාවට කතරගම දේවාලයට ගිහාම හිතට අමුතුම නිදහසක්‌ දැනුණා. ඒ වෙනස ගැන කියන්න වචන නෑ…” කතරගම දෙවියන්ට වූ භාර හාර ඔප්පු කර නැවත මතුගමට පැමිණි චන්දන සහ පුංචිහේවා අප සමඟ පාද යාත්‍රාවේ අත්දැකීම් ගැන එසේ කතා බහා කළහ.

මොන බාධකය ආවද ඔවුන්ගේ අරමුණ සාර්ථකය. දැන් හිත නිදහස්‌ය. ඔවුන්ට පමණක්‌ නොව ඕනෑම කෙනෙකුට අධිෂ්ඨාන ශක්‌තිය ඇති නම් ජීවිත බාධක ජයගත හැකිය. ඒ ජයග්‍රහණ අරඹයා තුනුරුවන්ගේ ආශිර්වාදය මෙන්ම දේව ආශීර්වාදය නිතැතින්ම ලැබෙන බව සැබෑය.