ගාලු කොටුව අසළ මුහුදින් ලැබුණ පිළිමයේ ඇත්ත මෙන්න

1086

ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගිලී තිබී කිලෝ 40 කට වැඩි බරක පිළිමයක් පසුගිය සෙනසුරාදා (14) දිනයේ මුහුදේ කිමිදිමට ගිය පුද්ගලයෙකුට හමුවි ඇත.

ගාල්ල කොටුව ආසන්න මුහුදේ කොරල්පර නැරඹීමට නිතර පැමිණෙන පුද්ගලයින් දෙදෙනෙකුට මෙම පිළිමය හමුවී තිබේ. මෙම පිළිමය මුහුදු වෙරළේ සිට අඩි 150-200 පමණ දුරකින් පැහැදිලි මුහුදේ මතුපිට සිට අඩි 7 පමණ ගැඹුරකින් මතුව ඇත.

ගාල්ල පොලිසියට දැනුම් දිමෙන් පසු පිළිමය මේ වන විට ගාල්ල කොටුව තුල පිහිටි සුධර්මාලය විහාරස්ථානයේ තාවකාලිකව තැන්පත් කර ඇති අතර පුරා විද්‍යා අංශ දැනුවත් කල බව එහි විහාරාධිපති හිමියන් පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට මෙම පිළිමය සම්බන්ධව කතාව වෙනතකට යොමුවි ඇත. මෙම පිළිමය තමා විසින් පෙබරවාරි මස මැදදි මුහුදේ ගිල්වු බව ගාල්ල කොටුව ලේන්බාන් විදියේ චිත්‍ර සහ මුර්තී කලාගාරයක් පවත්වාගෙන යනු ලබන තරුණයෙකු වන ජනක ද සිල්වා පැවසීමත් සමඟ මෙතක් මාධ්‍ය මඟින් නිරාවරණය කළ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත පිළිමයක් ලෙස එය හුවා දැක්වීමේ මිත්‍යාව හෙළිව ඇත.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු කියා සිටියේ මෙම කලාව (Underwater Sculpture) අන්ඩර් වෝටර් ස්කල්ප්චර් යනුවෙන් හඳුන්වන බවයි. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වු ජේසන් ටේලර් නැමැත්තෙකු විසින් මෙම කලාව ලෝකයට හඳුන්වා දෙනු ලැබුවක් බව ඔහු පැවසිය. එහිදි සිදුවන්නේ අඹන ලද මුර්ති, රූප සහ පිළිම කොරල්පර ආශ්‍රිතව මුහුදේ තැන්පත් කිරිමයි එලෙස තැන්පත් කල පසු කාලයක් ගතවන විට එම පිළිමවල කොරල්පර සෑදි එය එම පරිසරය අලංකාර බවක් සහ කොරල් පරිසරයට හිතකර වන නිසා මෙම කලාව ජනප්‍රිය වු බව ජනක ද සිල්වා පැවසිය. දන්නා තරමින් මෙම කලාව ශ්‍රී ලංකාවට ආධුනික බවත් මෙම කලාව ජනප්‍රිය කිරිම මඟින් සංචාරක ව්‍යාපාරයට සහ කොරල්පර මතු පරපුරට රැකගැනිමට ඉවහල් වන බවත් ඔහු පැවසිය. කාලයක් තිස්සේ කල අධ්‍යනයකින් පසු මෙම පිළිමය තමා විසින් මුහුදේ තැන්පත් කල බවත් එලෙස තැන්පත් කිරිමට පෙර සහ තැන්පත් කළ පසු ගත් ඡායාරුප විඩීයෝ තමා සතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලේය. මෙම පිළිමය තැන්පත් කරන අයුරු දැක්වෙන ඡායාරුප කිහිපයක්ද ඔහු ලබාදුන් අතර මේ මඟින් මෙම පිළිමයේ නියම හිමිකරුවා කවුරුන්ද යන්න පැහැදිලි වේ.

මේ පිළිබඳව අප කළ විමසීමකදී අදහස් දැක්වූ ජනක ප්‍රකාශ කළේ ‘අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කලාගරයක් තුලට ගිහින් චිත්‍ර සහ මූර්ති පිළිම නරඹන එක. මට ඕන වුනේ එක වෙනස් කරන්න කොරල් පරිසරයේ තිබෙන මෙවැනි කලාත්මක දේවල් දිය යට කිමිදිමෙන් නැරඹිමට පුරුදු කිරීමටයි. අද අපේ රටේ මෙය අලුත් දෙයක් වුනාට ලෝකයේ ඉතාම ජනප්‍රිය දෙයක් මේක. මෙය ඉතාම අභියෝගාත්මක දෙයක් ඉතිං මම බලාපොරත්තු වෙනවා නාරා ආයතනය ඇතුළු රජයේ වගකිවයුතු ආයතනවලට දැනුම්දි ඔවුන්ගේ අවසරය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට’

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධව දකුණු පළාත් පුරාවිද්‍යා කොමසාරිස් වසන්තා අලහකෝන් මහත්මියගෙන් විමසිමක් කල විට ඇය සඳහන් කලේ මේ පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ට දන්වා ඇති බවත් මෙම පිළිමය සම්බන්ධව පරික්ෂණයකින් පසුව ඒ සම්බන්ධව ප්‍රකාශයක් කල හැකි බවයි.

මේ අතර මෙම පිළිමය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟම මෙම පිළිමය මුහුදට දැමූ අවස්ථාවේ තමන් විරෝධතාවය පළ කළ බවත් එයින් පසුකාලීනව ඇති විය හැකි ප්‍රථිපලය සම්බන්ධයෙනුත් තමා ප්‍රකාශ කළ බව ෆේස්බුක් සටහනක් තබමින්, රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයෙකු වන වෛද්‍ය ජනක රූබන් පවසා ඇත. විනෝදාංශයක් ලෙස කොරල්පර ආශ්‍රිතව කිමිදීමේ යෙදෙන වෛද්‍ය රූබන් එම සටහනින් මෙසේ ප්‍රකාශ කර සිටී.

‘ගාලු කොටුවේ කොරල් පරය තුල මා නොගිය තැනක් නැති තරම්. ඔය පිළිමය මාස ගණනක් ඔතන තිබුණා. ඔය පිළිමය ඔතනට ගෙනිහින් දැම්මේ ගාලු කොටුවේ කලා කෘති විකුණන කලාකරුවෙකු විසිනුයි. මම මේ පිළිමය දැකපු හැටියේම එය එය එතනට ගෙනත් දැමුයේ කවුදැයි සොයා මෙයට තදින් විරුද්ධ වුනා. එපමණක් නොවෙයි, මෙවැනි ජනතාව රැවටීමක්ද සිදු විය හැකි බව මා ඔහුට ප්‍රකාශ කර සිටියා. නමුත් ඔහු එය පිළිගත්තේ නැහැ. කොරල් පරය තුළ පිළිම තබා පැරණි පෙනුමක් ලබා දීම සහ ව්‍යාපාර ගත කිරිම ඔහුගේ මතුපිට අරමුණ වුවත් ඉන් සිදු විය හැකි සමාජීය සහ පාරිසරික ප්‍රශ්න බොහෝ විය හැකියි. මෙම පිළිමය මා දකින විට ගත් ඡායාරුපයක් මගේ මුහුණු පොතෙන් බලා ගත හැකියි. හිමි කරු පවසූ ලෙස මෙය මෑතකදී සිමෙන්ති වලින් කල එකක්. මාගේ මිතුරෙකු වුවද ඔහු ගැන මා හට සම්පූර්ණ විශ්වාසයක් නොමැති බැවින් පිළිමයේ සැබැ නිමවීම ගැන මට අවබෝධයක් නැහැ. කෙසේ නමුත් මෙය නැවකින් වැටුණු හෝ දෙවියන් විසින් ගෙනත් දැමුණු එකක් නෙවෙයි’

ප්‍රයෝජනයට ගත නොහැකි පැරණි දුම් රිය මැදිරි සහ වාහන සාගරයේ ගිල්වා දැමීම අරුමයක් නොවේ. එය බොහෝ කාලයක් සිට ලෝකයේ යම් නිශ්චිත ක්‍රමවේදයක් අනුව සිදුකෙරේ. එය සාගර ආශ්‍රිත දැවැන්ත පාරිසරික ප්‍රශ්නයක් ලෙසද නොසැලකේ. නමුත් මෙවැනි සිදුවීම් හරහා මතුවිය හැකි ගැටළු දෙකක් ඇත.

විශේෂයෙන් සාගරයක ගිල්වා කලක් ගතවන විට එම භාණ්ඩ සාගර පරිසරයේ කොටසක් බවට පත් වේ. ඒ ආශ්‍රිතව පාසි සහ කොරල්පර ගොඩනැගීමද සිදු වේ. එයද ගැටළුවක් නැත. නමුත් පසුකාලීනව එම භාණ්ඩ පුරාවස්තු ලෙස ගොඩ ගැනීමේ සැලසුමක් ඇත්නම්, ඒ හරහා සාගරික පරිසරයට වන හානිය සුළුපටු නොවේ. ඊට හේතුව වන්නේ කලක් ගොඩනැඟුන පරිසරය එලෙස හානියට පත් වීමයි.

එසේම සංචාරක කර්මාන්තය කෙරෙහි වැඩි බරක් තබන රටක් ලෙස වර්තමාන නිශ්පාදන පුරාවස්තු ලෙස හුවා දැක්වීමේ ජාවාරමක් පවතී නම්, මේ එවැනි ප්‍රයන්තයක වර්තමාන නිදසුනක් වේ නම් එය අතිශයින්ම අවධානයට පාත්‍ර විය යුතු කාරණයකි.