ගොසිප්

නික්ම ගිය මුවන්පැලැස්සෙ මැණිකේ ගැන කෝරළේ මහත්තයා කියන මතක

ඉර අවරට යන විට මුළු ගමම කළුවරේ ගිලී යයි. ඒ දවස්වල හවස හය වෙනකොට ගමට රැය උදා වේ. එකම තාලෙට ගැයෙන රැහැයි ගීතය මිස වෙන හඬක් අවට නොනැගේ. බලන්නට යමක් ඇත්නම් ඒ හඳ එළියෙන් පෙනෙන කෙහෙල් අත්තක හෝ වැනෙන රිකිල්ලක හෙවණැල්ලක් පමණි.

Loading...

රාත්‍රිය උදා වුණත් නිදන්නට නම් හිත් නොවේ. තව ටිකක් රෑ වෙන විට කුප්පි ලාම්පුත් නිදන්නට අර අඳී. කුඩා දරුවන් වූ අපට රෑ අටහමාර වනතුරු අවදියෙන් සිටීම ඒ කා‍ලේ අමාරුම රාජකාරියකි. නිදි කබ කඩමින්, ඇස් ‍පොඩි කරමින් අමාරුවෙන් අප අවදිව සිටින්නේ කෝර‍ලේ මහත්තයා හා මැණිකේ එනතුරුය. ඔවුන් සමග කදිරාත්, පිනාත් එති. මේ අය එන පෙරමග ඇහෙන සුමියුරු තාල නාදය අපේ නිදිමත දුරු කරවයි.

ඒ සංගීතය ඒ කා‍ලේ ජාතික ගීයේ තාලයටත් වඩා අපට හුරුය. එතැන් පටන් අවට හැමතැනකම ඇහෙන්නේ රැහැයි නද වෙනුවට ‘මුවන්පැලැස්සේ’ නාදයයි.කෝර‍ලේ මහත්තයා දැනුම් තේරුම් ඇති අයෙකි. පිනා අප හිනස්වයි. කදිරාට පුංචි අපි බයය. ඒත් මැණිකේට ආදරේය.

කාලයත් එක්කම අනික් හැමදේම වාගේ මුවන්පැලැස්සත් වියපත් වූයේය. මේ හතර දෙනාගෙන් මුලින්ම කදිරා වියපත්ව නිහඬ වූයේය. ඊළඟට පිනා යන්නට ගියේය. දැන් මැණිකේත් දෑස් පියාගෙනය. යුගයක් නිහඬ වෙන කල අපි දුක බෙදා ගන්නට කෝර‍ලේ මහත්තයා සොයා ගියෙමු. කලාකාරියකගේ සමාජමය වගකීම අකුරටම ඉටු කළ මැණිකේ සැහැල්ලුවෙන් නික්ම යන අයුරු අපි දුටුවෙමු. කා අතරත් මැණිකේ වූ ඈ රත්නාවලී කැකුණවෙලය. අප කතාබහ කළ ඒ කෝර‍ලේ මහත්තයා විජේරත්න වරකාගොඩය.

Loading...

1964 අවුරුද්දේ මාර්තු 12 වැනිදා තමයි මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යය මුලින්ම ප්‍රචාරය කෙරුණේ. මේ නාට්‍යයේ කටයුතු ගැන කතාබහ කරලා පටිගත කිරීම් පටන් ගන්න අපි ඊට මාසෙකට විතර කලින් මුණගැහුණා. රත්නාවලීව මුලින්ම මට හඳුනා ගන්න ලැබුණේ එදා. මුලින්ම මුවන්පැලැස්සේ පිටපත ලියුවේ මුදලිනායක සෝමරත්න මහත්තයා. 1971 වෙනකල් අවුරුදු හතක් මුදලිනායක මහත්තයා පිටපත ලියලා ඉන්පස්සේ ඇමෙරිකාවේ පදිංචියට ගියා. මේ වෙනකොට මුවන්පැලැස්ස ඉතාම ජනප්‍රිය අඩියක තිබුණේ. මේ නිසා මුදලිනායක මහත්තයාගෙන් පසුව මුවන්පැලැස්ස රචනා කරන එක වික්ටර් මිගෙල් මහත්තයාට පැවරුණා.

ඒත් එතැනදී ‍පොඩි නීතිමය ප්‍රශ්නයක් ආවා. බුද්ධිමය දේපළ අයිතිය ගැන ප්‍රශ්නයක්. ඒ නිසා වික්ටර් මිගෙල් මහත්තයා අලුතින් පිටපතේ චරිත මාරු කළා. කලින් මුවන්පැලැස්සේ ඉඳපු ආරච්චි මහත්තයාගේ චරිතයට ‍පොඩි උසස්වීමක් දීලා කෝර‍ලේ මහත්තයා කළා. මම ආරච්චි මහත්තයා චරිතය කරද්දී රත්නාවලී කළේ එතනහාමි චරිතය. අලුත් පිටපතේ රත්නාවලීගේ චරිතය ‘මැණිකේ’ හැටියට වෙනස් වුණා. වෙඩික්කාරයා වෙනුවට කදිරා ආවා. පිනා කියලා චරිතයක් ආවා. කොහොම නමුත් මේ චරිත හැම එකක්ම පාහේ මිනිස්සුන්ව ගුවන්විදුලියට බැඳ තබා ගත්තා. කොටින්ම මිනිස්සු ‘මුවන්පැලැස්ස’ට වශි වුණා.

ඒ කතාව නම් ඇත්තම ඇත්තය. බැටරි දැමූ රේඩියෝව වටේ වාඩි වී මුවන්පැලැස්ස අසාගෙන හිටි අපේ ගෙදර හැමෝම එකම කතාවට හිනාවූ හැටි, එකම දෙබසට දුක්වූ හැටි. පුංචි අපි කදිරාට බියවූ හැටි, මවාගෙන හිතලු ගොඩනැගූ හැටි මගෙ ඇස් මානේ මැවී නොපෙනී යයි.

එදා ඒ කා‍ලේ පටන් මෑතක් වනතුරුම අපි හැම සතියකම මුණගැහුණා. හිතා බලන්න අවුරුදු පනහක් පුරා හැම සතියකටම වතාවක් මුණගැහෙන මිතුරුකමක් කියන්නෙ, ඒක කොයි තරම් අගේ ඇති සම්බන්ධයක්ද. මුවන්පැලැස්සේ පිරිස එදා පටන්ම හිටියේ එක පවු‍ලේ සහෝදර සහෝදරියො හැටියටයි. ඒ පවුලෙන් කෙනෙක් සමුගෙන යද්දී තමන්ගේම කෙනෙක් වෙන් වෙන තරම් වේදනාවක් දැනෙන්නේ ඒ නිසා වෙන්න ඇති… විජේරත්න වරකාගෙඩ මහතා කතා කළේ වේදනාවෙනි. අවුරුදු පනහක් වයසැති මිතුදමක මතකය ඔහුගේ හදවත බර කර ඇති සැටියකි.

රත්නාවලීට වඩා මම වයසින් අවුරුදු දෙකක් බාලයි. ඇත්තටම රත්නාවලී කියන්නේ බොහොම නිහතමානී, හිත හොඳ සහෝදරියක්. කවදාවත් කාටවත් ඊර්ෂ්‍යාකාර වැඩක් කරනවා මම දැකලා නැහැ. ඒ වගේම දඩබ්බර නැහැ. මවුවත් ගුණෙන් මට බොහොම කරුණාවන්ත විදිහට සැලකුවා.

අප දන්නා මුවන්පැලැස්සේ මැණිකේ නම් මේ කියන තරමට කෝර‍ලේ මහත්තයාට බුරුලක් නොපෙන්වයි. නිතර නිතර තරහ ගෙන ඈ කෝර‍ලේ මහත්තයා ආණ්ඩු මට්ටු කරන්නට යන විට අපට සිනහ නැගේ. ඒත් විජේරත්න වරකාගොඩ මහත්තයා කියනා හැටියට හැබෑ ජීවිතේ මැණිකේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයකි.

අ‍පෝ නෑ කවදාවත් හැබෑ ජීවිතේ තරහ අරගෙන කෑගහන්නෙ නෑ. උපදෙසක් දුන්නත් ඒ බොහොම කරුණාබර විදිහටයි. අපි අතරේ ගැටුම් ඇති නොකරන්න ලොකුම හේතුවක් වුණෙත් රත්නවලීගේ තිබුණු හොඳ හිත.

මැණිකේ යන ආදර නමින් පසුකාලයේ කතා කෙරුණත් හැබෑ නම රත්නාවලී කැකුණවෙල වුණත් ඊටත් පෙර ඈ රත්නාවලී කුමාරසිරි මිගෙල්ය. මේ ප්‍රතිභාපූර්ණ කලා ශිල්පිනිය හා හා පුරා කියා කලා ලෝකෙට පය තැබුවේ 1951 අවුරුද්දේදීය. පාසල් වියේදීම ගුවන්විදුලියට එන්නට ඇයට පාර කියා දුන්නේ සිය සොහොයුරා වූ වික්ටර් මිගෙල්ය.

ගුවන්විදුලියේ ළමා පිටියත්, කාන්තා තිරයත් එතැනින් පසු බැද්දේගම, ගඟ අද්දර, මුවන්පැලැස්ස වැනි ගුවන්විදුලි නාටක රැසකුත් ඇගේ හ¾ඩින් හැඩ වැටුණේය. 1960 දශකයේ පමණ පටන් වේදිකාවටත් එතැනින් පසුව සත් සමුදුර හරහා සිනමාවටත් පය තැබූ රත්නාවලී ටෙලි නාට්‍ය හැත්තෑවකට වැඩි ප්‍රමාණයකට සිය රංගන දායකත්වය තිළිණ කළාය. රත්නාවලී කුමාරසිරි මිගෙල්, 1957 අවුරුද්දේ නොවැම්බර් 29 වැනිදා පටන් රත්නාවලී කැකුණවෙල වූයේ ඩේවිඩ් කැකුණවෙල මහතාගේ ප්‍රිය බිරිඳ වූ බැවිනි. අනතුරුව ඇය දූ දරුවන් හය දෙනකුට ආදරණීය අම්මා වූවාය.

කලා ශිල්පීන් හැටියට අපි අතරේ තිබුණු සම්බන්ධය අපේ පවුල්වල අය අතරෙත් ඒ විදිහටම තිබුණා. ඊළඟට අපේ දරුවො, දරුවො අතරෙත් හොඳ මිත්‍රකම් ගොඩනැගුණා. දරු මුනුපුරන්ගේ උපන් දින උත්සව, ගෙවල්වල දානමාන පින්කම්, මඟුල් උත්සව වගේ හැමදේකදීම අපේ පවුල් දෙකේම අය එකතු වුණා. අපට බොහොම කිට්ටුවෙන් හිටපු කෙනෙක් පිනා. මුලින්ම පිනා අන්ත්‍රා වුණා. ඒ ගැන රත්නාවලීත් මමත් සෑහෙන්න කනගාටු වුණා.

‘ඇත්තටම අදටත් අපට මතක් කරලා හිනාවෙන්න සිදුවීම් ඕනෑ තරම් තියෙනවා. කාලයක් අපි ‘මැණිකේ-කෝර‍ලේ’ හැටියට ප්‍රාසාංගික වැඩසටහනක් කළා. ඒ වේදිකා දර්ශන සමග අපි රට වටා ගියා. සැමුවෙල්, ඇනස්ලි සහ බර්ටි කියන තුන්දෙනා එක්ක තමයි ඒ ප්‍රසංගය කරගෙන ගියේ. ඒක බොහොම සතුටුදායක සමයක්.

මුවන්පැලැස්ස ගැන රසකතා විමානයයි. කාලයක් ඒක නිෂ්පාදනය කළේ පී. වැලිකල මහත්තයා. ඉතින් පටිගත කිරීම්වලට කට්ටිය එකතු වුණාම වැඩිපුරම වෙලාව යන්නේ රසකතාවලට. කට්ටිය හැමෝම රසකතා අතරේ ගිලිලා ඉන්න කොට පිනාගේ චරිතය කළ ගැමුණු විජේසූරිය අහනවා මිස්ටර් වැලිකල, අපේ රෙකෝඩින් කවදද? කියලා. ඔන්න එතකොට තමයි කණ්ඩායමේ හැමෝටම දෙලොව රත් වෙන්නේ. නිකම්ම වෙලාව ගත වෙලා. එතකොට රෙකෝඩින් පටන් ගන්නවා. කොහොමත් කවදත් මුවන්පැලැස්ස රියර්සල් කර කර පටිගත කළ ගුවන්විදුලි නාට්‍යයක් ‍නෙවෙයි. පළමු වතාවෙන්ම පටිගත කිරීම් කළේ. ඒ තරමටම අපි ඒ චරිත ඇතුළෙ ජීවත් වුණේ.

ජීවිතේ හැමදේම වගේ මුවන්පැලැස්සත් කමෛන් වියපත්ව ගොස් තිබේ. කදිරාත්, පිනාත් මෙලොවෙන් සමුගෙන ගිය පසුව රත්නාවලීත් සිය හඬට සමුදෙන්නට තීරණය කර තිබුණි.

වයසට යනකොට රත්නාවලීගේ කටහඬ නැතුව ගියා. ශරීර ශක්තිය අඩු වුණා. මැණිකේ චරිතයට සාධාරණය කරන්න අමාරු බව දැනෙන කොට රත්නාවලී තමන්ම තීරණය කරලා මුවන්පැලැස්සෙන් ඉවත් වුණා. ඒ මීට අවුරුදු හතරකට විතර උඩදී.

රත්නාවලීට හදවත් අමාරුවක් තිබුණා. ඇය සැත්කමක් කරලයි ජීවත් වුණේ. ශරීර ශක්තිය පිරිහුණා. ලෙඩ වෙලා ඉඳිද්දී නොයෙක් වතාවක් අපි ඇයව බලන්න ගිහින් තියෙනවා. මතක ශක්තිය දුර්වල බව අපට තේරුණා. කොටින්ම අවසාන කා‍ලේ මාව දැක්කත් අඳුනා ගන්න ටිකක් වෙලා ගියා. මොනවා කරන්නද? ඒක තමා ජීවිතේ හැටි කෝර‍ලේ මහත්තයා හඬන්නට බැරි කඳුළක් නෙත් අග සිරකරගෙන කතා කරන සැටියකි. අවුරුදු පනහක මිතුදමට සමුදී මැණිකේ යන්නට ගිය පුවත ඔහු මුලින් දැනගෙන තිබෙන්නේ මුවන්පැලැස්සේම තවත් කෙනකුගෙනි.

රත්නාවලී අන්ත්‍රාවුණු ආරංචිය මුලින්ම මට කිව්වේ ශ්‍රී නිමල් පද්මකුමාර. ඔහුගේ දුරකථන ඇමතුම එනකොට මම හිටියේ වාද්දුවේ. කැලෑ හඳ ෂූටින් අතරේ ලැබුණු ඒ ඇමතුම මට ලොකු කම්පනයක් වුණා. පරපුරක අවසානය තමයි. ඒත් රත්නාවලී මේ ලෝකෙන් සමුගත්තේ දරු මුනුපුරන්ගේ දරුවොත් දැකලයි. කලාකාරියක් හැටියටත් ඇය තමන්ගේ උපරිමය කළා. අපේ දහමේ හැටියට මම මගේ සහෝදරියට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා. ඔහු පවසන්නේ බිඳුණු හ¾ඩිනි. යුගයක් රසවත් කළ මවුවත් කලාකාරියනි, ඔබට සුබ ගමන්.

Related Posts