ඊ මේල් භයානකයි… මෙන්න අලුත්ම වංචාව

511

වර්තමාන සමාජය ඉතා බියකරුය. එහි ජීවත් විය යුත්තේ ඉතා පරෙස්‌සම් සහගතවය. තම ලෙයින් ජනිත වූ දරුවා මුදලට විකුණන සමාජයක සමහර මිනිස්‌සු මුදල් ඉපයීම සඳහා කිසිදු හිරිකිතයකින් තොරව නොයෙකුත් දහජරා වැඩ කරති. මෙයද එවැන්නකි. ඊමේල් සහ දුරකථන අංක හරහා සල්ලි කොල්ල කන අලුත්ම ජාවාරම මෙයයි. කතාව සැකෙවින් මෙසේය.

කුමුදුනී විවාහක කාන්තාවකි. පදිංචිය කළුතර ප්‍රදේශයේය. දිනක්‌ ඇයගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක්‌ ලැබිණි. ඉංග්‍රීසි භාෂාවෙන් එවා ඇති එයින් කියෑවුණේ විදෙස්‌ රටක ලොතරැයි ජයග්‍රහණයක්‌ සඳහා ඇය තෝරාගෙන ඇති බවයි. එම නිසා ඇයගේ පෞද්ගලික තොරතුරු කිහිපයක්‌ ඔවුන් සඳහන් කරන ඊමේල් ලිපිනයට එවන ලෙස දන්වා තිබිණි.

ඇය පුදුමයෙන් පුදුමයට පත්වූවාය. තමා නොදැන විදෙස්‌ රටක ලොතරැයි ජයග්‍රහණයකට තෝරා ගත්තේ කෙසේද යන්න ඇයට විශාල ප්‍රහේළිකාවක්‌ විය. ඒ බැව් කුමුදුනී තම ස්‌වාමි පුරුෂයාටද පැවසුවාය. ඒ අනුව මෙහි සත්‍යතාව සොයා බැලීම සඳහා දෙදෙනාම උත්සාහ කළහ. පළමුව ඔවුහු එම කෙටි පණිවුඩය පැමිණි දුරකථන අංකයට ඇමතුමක්‌ ගත්හ. ඒත් කිසිදු ප්‍රතිචාරයක්‌ දැක්‌වූයේ නැත. කිහිප වරක්‌ම ඇමතුම් ලබා ගත්තත් පලක්‌ වූයේ නැත.

එදිනම පැය කිහිපයකට පසු ඇයගේ ජංගම දුරකථනයට යළිත් එම අංකයෙන්ම කෙටි පණිවුඩයක්‌ ලැබී තිබිණි. එයින් පවසා තිබුණේ ඇමතුම් ලබාගත් මොහොතේ එම පුද්ගලයා රැස්‌වීමක සිටි බවත්, අවශ්‍ය කාරණය කරුණාකර කෙටි පණිවුඩයක්‌ මගින් දන්වන ලෙසත්ය. ඒ අනුව ඇය තමන් මෙම තරගය සඳහා තෝරා ගත්තේ කුමන පදනමක්‌ මතද යන්න විමසුවාය. එයට ප්‍රතිචාර දක්‌වා ඔහු පවසා ඇත්තේ ඊමේල් ලිපිනයක්‌ ලබාදෙන ලෙසත් සියලු විස්‌තර එයට එවන බවත්ය.

කුමුදුනී තමාගේ විද්යුත් ලිපිනය ලබා දුන්නාය. එදිනම ඇයට ඊමේල් පණිවුඩයක්‌ ලැබී තිබිණි. එහි සඳහන්ව ඇත්තේ පෝල් ඇඩම්ස්‌ නමැති ඉංග්‍රීසි ජාතිකයෙක්‌ මෙම තරගය වසරකට වරක්‌ පවත්වන බවත්, ආසියාතික රටවල්වලින් තෝරාගත් සීමිත පිරිසක්‌ මෙම තරගයට සුදුසුකම් ලබන බවත්ය. තරගකරුවන් තෝරා ගැනීම සඳහා එම රටවල විශේෂිත පිරිසක්‌ සිටින අතර කිසිදු හේතුවක්‌ මත ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොකරන බවටද සඳහන් කර තිබිණි. තවද එහි අවසානයේ සඳහන් කර තිබුණේ එම දුර්ලභ අවස්‌ථාව සඳහා තමන්වද තෝරාගෙන ඇති බවයි.

කුමුදුනී යම්තාක්‌ දුරට එයින් පැහැදුනි. ඇය තම සැමියාට පැවසුවේ සල්ලි වියදම් වෙන්නේ නැහැනේ… එම නිසා අපි එම විද්යුත් ලිපිනයට පෞද්ගලික තොරතුරු යවමු කියාය. ඒ අනුව ඔවුන් එවන ලද ඉපඅපදඑද’?යදඑප්සකගජදප නමැති විද්යුත් ලිපිනයට ඇගෙන් විමසන ලද තොරතුරු මේල් කළාය. පසුදින ඇයට පිළිතුරු ලැබිණි. ඇය එම තරගයට තෝරාගත් බවත්, දිනයක්‌ සඳහන් කර එදිනට ජයග්‍රාහකයන් තෝරන බවත් එහි සඳහන් කර තිබිණි. ඒ අතර තරගය පිළිබඳව සහ එය පවත්වන දිනය පිළිබඳව සිහි කරමින් විටින් විට ඊමේල්a පණිවුඩ ඇයගේ විද්යුත් ලිපිනයට ඔවුන් එව්වේය.

සතියක්‌ ගතවිය. ජයග්‍රාහකයන් තේරීමේ දිනය උදාවිණි. ඉතා සූක්‍ෂම ලෙස මෙම තරගය සත්‍ය එකක්‌ බව හැඟවෙන පරිද්දෙන් කටයුතු සිදු කිරීමට එම පිරිස්‌ සමත් වූහ. එම නිසා කුමුදුනීද එම තරගය ගැන යම් බලාපොරොත්තුවක්‌ සිතේ තබා ගත්තාය.

ජයග්‍රාහකයන් තේරීමේ වේලාව උදාවිය. කුමුදුනීද තරගය ගැන යම් බලාපොරොත්තුවක්‌ තබාගෙන සිටි නිසා කිහිප වරක්‌ තම විද්යුත් ලිපිනය පරීක්‍ෂා කළාය. එහෙත් කිසිදු පණිවුඩයක්‌ නොමැත. අවසානයේ ඇය ඒ ගැන කිසිවක්‌ කල්පනා නොකර තමන්ගේ පාඩුවේ සිටියාය.

පුදුමයකි. පසුදින ඇයගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක්‌ ලැබී තිබිණි. ඉංග්‍රීසි භාෂාවෙන් එවා තිබුණ එහි සඳහන්ව තිබුණේ ඇය බ්‍රිතාන්‍ය පවුම් 800,000 ක්‌, බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක්‌ සහ ලැප්ටොප් එකක්‌ ජයග්‍රහණය කර ඇති බවයි. එය කියෑවූ පසු ඇයගේ සිතට යම් සතුටක්‌ දැනුණි. ඒ විනාඩි කිහිපයක්‌ පමණි. නැවත ඇය දෙගිඩියාවට පත්වූවාය. ඒ මෙය සත්‍ය දෙයක්‌ද අසත්‍ය දෙයක්‌ද යන්න කල්පනා කරමින්ය.

එදිනට පැය කිහිපයකට පසු යළි ඇයගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක්‌ ලැබිණි. එහි සඳහන්ව තිබුණේ නැවත වරක්‌ ඇයගේ පෞද්ගලික තොරතුරු සියල්ල බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ සමාගම වෙත යවන ලෙසයි. ඒ සඳහා විද්යුත් ලිපිනයක්‌ද එවා තිබිණි. ඒ සමඟම ඇයගේ සිතට යම් සතුටක්‌ දැණුනාය. ඇය සිතුවේ ඇත්තටම තමා ජයග්‍රහණය කර ඇති බවයි.

එම මොහොතේම ඇය එම විද්යුත් ලිපිනයට තම තොරතුරු මේල් කළාය. පසුදින නැවත ඇයට ඊමේල් පණිවුඩයක්‌ ලැබී තිබිණි. එහි සඳහන්ව තිබුණේ සියලු විස්‌තර ලැබුණු බවත්, ළඟදීම දවසක ඇය ජයග්‍රහණය කර සියලුම තෑගි රැගෙන පෝල් ඇඩම්ස්‌ ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්ය. ඒ අතර කාලය තුළ විවිධ තොරතුරු අසමින් ඇයට ඊමේල් ලැබී තිබිණි. එලෙස ඔවුන් සිදු කළේ ඇයගේ විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ය.

සති දෙකක්‌ පමණ ගතවිය. ඊමේල් පණිවුඩයක්‌ එවමින් කුමුදුනීට දන්වා තිබුණේ පෝල් ඇඩම්ස්‌ තෑගිත් රැගෙන අසවල් දිනයේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. ඇය ඉමහත් ප්‍රීතියට පත්වූවාය. සිය සැමියාටද ඒ බව පැවසුවාය.

නියමිත දිනය උදාවිය. ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලැබිණි. කැඩිච්ච ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ ඔහු පැවසුවේ තමා පෝල් ඇඩම්ස්‌ බවයි. සියලු තෑගි රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි බවත්, ඒවා ලබා ගැනීම සඳහා රුපියල් ලක්‌ෂයක මුදලක්‌ ලබාදෙන ලෙස පවසා එම මුදල් මෙරට පෞද්ගලික බැංකුවක ගිණුම් අංකයක්‌ සඳහන් කර එයට බැර කරන ලෙසත් පැවසීය. එම ගිණුම් හිමියාගේ නම ලෙස සඳහන් කර තිබුණේ එස්‌. පී. මෙන්ඩිස්‌ නමැති අයෙකි.

කුමුදුනීට ඒ ගැන සැකයක්‌ ඇතිවිය. ඇය ඉංග්‍රීසි භාෂාවෙන් යළි පෝල් ඇඩම්ස්‌ යයි කියා ගන්නා පුද්ගලයාගෙන් විමසුවේ රුපියල් ලක්‌ෂයක මුදලක්‌ ගෙවන්නේ කුමන කාරණයකටද යන්නයි. ඔහු පැවසුවේ තමා රැගෙන ආ තෑගි ගුවන් තොටුපළ තුළ තිබෙන බවත්, ඒවා ගැනීමට නම් රුපියල් ලක්‌ෂයක පමණ බදු මුදලක්‌ ගෙවිය යුතු බවත්ය.

ඇයට එම මොහොතේම මෙය යම්කිසි වංචා කාරයකුගේ වැඩක්‌ යෑයි අවබෝධ වූවාය. ඇය ඒ බව නොපෙන්වමින් පෝල් ඇඩම්ස්‌ යයි කියා ගන්නා පුද්ගලයාට පැවසුවේ තමා ගුවන්තොටුපළට පැමිණ සියල්ල සොයා බලා මුදල් ලබාදෙන බවයි. එවිට ඔහු ගුවන්තොටුපළ ඇතුළත සිටින නිසා බාහිර පුද්ගලයන්ට පැමිණිය නොහැකි බව පවසමින් එම ප්‍රශ්නය මඟහැරීමට උත්සාහ කළේය.

කුමුදුනී තම ස්‌වාමිපුරුෂයාට අකුරක්‌ නෑර සියලු විස්‌තර පැවසුවාය. ඔහු සඳහන් කළේ මුල සිටම මෙය වංචාවක්‌ බව තමා දැනගත් බවයි. එම පුද්ගලයා එතැනින් නොනැවතුණි. දිගින් දිගටම ඇයට කරදර කරමින් පැවසුවේ තමා ගුවන් තොටුපළ තුළ සිරවී සිටින බවත්, වහාම ඔහු සඳහන් කළ ගිණුම් අංකයට රුපියල් ලක්‌ෂයක මුදලක්‌ දමා තෑගි ලබා ගන්නා ලෙසත්ය.

අවසානයේ එම පුද්ගලයාට කුමුදුනී පැවසුවේ තමාට දුරකථන ඇමතුම් ලබාදී කරදර නොකරන ලෙසත් ගෙනාපු තෑගි භෝගද කිසිවක්‌ එපා බවත්ය. එහෙත් ඇයට ගැළවීමක්‌ නොවිණි. දිගින් දිගටම ඔහු ඇමතුම් ලබා දුන්නේය. එක්‌ වරක්‌ එම පුද්ගලයා කතා කරන විට චූන් පාන් රථයක්‌ ශබ්ද නඟා අසලින් යනවා ඇසී තිබිණි. වහාම ඇය ඔහුගෙන් විමසා ඇත්තේ දැන් චූන් පාන් රථත් ගුවන්තොටුපොළ තුළ තිබෙනවාද යන්නයි. එයින් ඔහුට කටඋත්තර නැතිවී තිබිණි. වහාම ඔහු දුරකථනය විසන්ධි කළේය.

වර්තමානයේ ඊමේල් හරහා මුදල් ගරා ගැනීමේ අලුත්ම සෙල්ලම මෙයයි. එම නිසා ඔබත් මේ ගැන දැනුවත් වන්න.