ප්‍රකෝටිපති දරුවන්ගෙන් කොළඹට හිසරදයක් – මුදා හරින්නැයි ‍පොලිසියට ලොකු තැන්වලින් බලපෑම්

1117

සති අන්තවල රාත්‍රී කාලවලදී කොළඹ නගරයේ මාර්ගවල ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ගේ දරුවන් පවත්වන මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරග මහත් හිසරදයක්ව ඇතැයි ‍පොලිසිය සඳහන් කරයි.

එම වාහන ධාවන තරග බහුලව පැවැත්වෙන්නේ යැයි ‍පොලිසිය සඳහන් කරනුයේ කුරුඳුවත්ත ‍පොලිස් බල ප්‍රදේශය ආශ්‍රිතවය.

එම වාහන තරග සඳහා රුපියල් ලක්ෂ දහය පහළොව වටිනා අධිබලැති යතුරුපැදි පවා භාවිතා කරන බව උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඇතැම් ධාවන තරග පැවැත්වෙන්නේ රාත්‍රි කාලයට මාර්ගාරක්ෂාවේ නිරත ‍පොලිස් වාහනවලට පවා වෙට්ටු දමමින් යැයිද එම නිලධාරියා කීය.

ඉකුත් දින දෙක තුළ කළ වැටලීම්වලින් එවන් යතුරුපදි 10ක්ද රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා රේසින් මෝටර් රථයක් කුරුදුවත්ත ‍පොලිසියේ රථවාහන අංශය විසින් සිය භාරයට ගත් බවද එම නිලධාරියා පැවැසීය. එම යතුරුපැදිවලින් බොහොමයක් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇති ඒවා බව විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයිද එම නිලධාරියා කීය.

එම යතුරු පැදි සහ මෝටර් රථය මුදා හරින්නැයි ‍පොලිසියට බලපෑම් පවා එල්ල වෙමින් ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.