දේශපාලන

අගමැති රනිල් ඉල්ලා අස්වෙයි – මෙන්න විශ්වාසභංගයට පාර්ලිමේන්තුවේදී වෙන දේ

විශ්වාසභංගයට ඉස්සෙල්ල ඉල්ලා අස්වේවි – දේශබන්ධු එස්.ජේ. සමරකෝන්

Loading...

දේශබන්ධු එස්.ජේ. සමරකෝන් – 2322මීන ලග්නයෙන් උත්‍රසල නැකත හිමිව උපන් අගමැතිතුමා මෙම කාලය තුළ ගෙවන්නේ 11 සහ 12 අධිපති සෙනසුරු මහ දශාවේ අවසන් කොටස ලග්නාධිපති ගුරු අතුරු දශාවයි. මෙම කාලය 2019 අවසානය දක්වා පවතියි.ලග්නාධිපති ගුරු 8 වැන්නත් සෙනසුරු 10 වැන්නත් රාහු 5 වැන්නත් ගෝචරයි. ගෙවන මහ දශා අතුරු දශා සහ ගෝචර පල සැලකීමේදී මෙම කාලය තුළ එතුමාට මානසික වශයෙන් පීඩාවට පත්වන කරුණු කාරණා යෙදේ.

මෙම කාලය 2019 අවසානය දක්වා පවතියි. එසේම 2020 ජනවාරි සිට වර්ෂ 2 1/2ක කාලයක් ජන්ම ඒරාෂ්ටක අපල කාලයක් ලැබිමත් අනුව ඉදිරි කාලය මෙතුමාට එතරම් යහපත් නොවන බව පැහැදිලියි. 2019 අවසානය දක්වා යම් තරමක සහනයක් ඇති වුවත් 2020 ජනවාරි සිට 2023 මුල් භාගය දක්වා පවතින ඒරාෂ්ඨක අපල කාලය තුළදී තනතුරු අහිමිවීම, ළඟම සිටින අය දුරස්වීම,

හවුල් කටයුතු අවුල් වීම වගේ දේශපාලනයෙන් පවා ඈත් වීමට සිදුවේ.මෙම කාලය තුළ පවතින ග්‍රහ තත්ත්වය එතරම් යහපත් නොවේ. නමුත් මෙතැනට හොඳ ආත්ම ශක්තියක් එහෙම දේකට ඔරොත්තු දෙන ගතිය ඉවසීම තිබෙන බැවින් ඕනෑම දේකට ඉදිරිපත්වීමේ හොඳ ආත්ම ශක්තියක් පවතී. සෙනසුරු මහ දශාවේ අවසන් කොටස ගෙවන බැවින් ඔරොත්තු නොදෙන කරදර බාධක, තනතුරු අහිමි වීම, මිත්‍රයින් දුරස්වීම ඇති කරයි.

කෙසේ නමුත් විශ්වාසභංගය ජයගත්තත් පක්ෂ නායකත්වයෙන් විසිවන බව පැහැදිලියි. බොහෝවිට මෙතුම, විශ්වාසභංගයට ප්‍රථම ඉල්ලා අස්වීමක් සිදුවීමට ඉඩ ඇත.විශ්වාසභංගයට අගමැතිතුමා පරාජය කළහොත් එය සමස්ත රජයේම පරාජයක් බව පෙන්වා දිය හැක. මේ අනුව රජය ආරක්ෂා කරගැනීම සඳහා අකමැත්තෙන් වුවත් අගමැතිතුමාට පක්ෂව ඡන්දය පාවිච්චි විය හැක.ඒ අනුව අගමැති පුටුව ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇත.

Loading...

ඒ අනුව රජය අගමැතිතුමා දිනවන්න කටයුතු කරනු ඇත. එසේ නොවුණහොත් ජනාධිපතිතුමා ඇතුළු මුළු රජයේම පරාජයක් බව පෙන්වා දිය හැක. ඉන්පසු අනිවාර්යයෙන්ම ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිතුමා ඇතුළු මුළු රජයටම විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒම වැළැක්විය නොහැක.

තනතුරු අහිමිවන අපලයක් – ‍ජ්‍යොතිෂවේදී කොටදෙණියාවේ, ඩග්ලස් ගුණවර්ධන

අප්‍රේල් මස 04 වැනිදා හිරු උදාව සිදුවන්නේ උදෑසන 6.08ටය. එම මොහොතේ නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවනු ඇත්තේ ගුරුට අයත් මීන රාශියයි. එමෙන්ම උදා නවාංශකයද ගුරු ග්‍රහයාට හිමි ධනුවම වීම විශේෂත්වයකි. එදින උදා නැකතද ගුරු ග්‍රහයාටම අයත් විසා නැකතය.අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලග්නය වනුයේ ගුරුටම අයත් මීනයයි. නමුත් පසුගිය මාර්තු 08 වැනිදා සිට ගුරු ග්‍රහයා වක්‍ර චලිතයක නියැලී සිටී. ගුරුගේ මෙම වක්‍ර ගමන අගමැති රනිල්ට යහපත් නැති බවක් ‍ජ්‍යොතිෂ නියමයන්ට අනුව පෙන්වා දිය හැකිය.

විශ්වාසභංගය ඉදිරිපත් කරන අප්‍රේල් 04 වැනි බුධ දිනයේ අගමැතිතුමාගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා අටවැන්න වූ තුලාවේ ගමන් කිරීම ඔහුගේ ජීවිතයට සතුරන්ගෙන් කරදර, හිරිහැර එල්ල විය හැකි ග්‍රහ පිහිටීමක් ලෙස පෙන්වා දීමට පුළුවන. ගුරු අටවැන්න වූ මාරක ස්ථානය තුළ ගමන් කිරීම හේතුකොටගෙන රාජ භය හා තනතුරු අහිමිවීමේ ප්‍රවණතාවක් පවතී. අපවාද, චෝදනා, නින්දා අපහාස, අපකීර්ති සිදුවීමට ඉඩ තිබෙන අතර බලා‍පොරොත්තු බිඳ වැටී අවාසනාවන්ත කාලයකට මුහුණ පෑමටද සිදුවේ.

නීතිමය කටයුතුවලින් මෙන්ම නඩු හබ වැනි දේවලින්ද පරාජය හිමිවන ගුරු අටවැන්නේ ගමන් කරයි. මෙම කාලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳ වැටීමටද බොහෝදුරට ඉඩ ඇති බවක් පෙනේ. අගමැතිතුමාට එරෙහිවන්නන් අතර කලක් එතුමා සමග දිවෙන් දිව ගාගෙන රන් රස සේ සිටි ඇත්තන්ද නැතිවා නොවේ. මෙවැනි දුර්වල ග්‍රහචාරයකදී එලෙස සිදුවීම අරුමයක් නම් නොවන බව ෂීන් පවසා ඇත.ගුරු අටවැන්න වක්‍රව ගමන් කරන කාලය ධනු, කුම්භ හා මීන ලග්නවලින් උපන්නවුන්ට ඉතාම අසුබපල ගෙන දෙන තදබල අපල කාලයක් බව කනගාටුවෙන් වුවද පැවසීමට සිදුව ඇත.

කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ගුරුගේ ගෝචර අපලය පමණක් නොව, සෙනසුරු මහ දශාවේ අවසන් අපල කොටසද, සෙනසුරු ජන්ම ඒරාෂ්ටක අපලයද එකවර භුක්ති විඳීමට සිදුවීම කනගාටුවට කරුණකි. මෙම අපල තත්ත්වයන්හි සාමාන්‍ය ප්‍රතිඵලය වනුයේ අගමැතිතුමාට බලා‍පොරොත්තු නොවූ ආකාරයේ අසාමාන්‍ය සිදුවීම්වලට මුහුණ පෑමට සිදුවීමයි. විශේෂයෙන් තනතුරු අහිමි වීමක් පෙන්වා දිය හැකිය.

සෙනසුරු ජන්ම ඒරාෂ්ඨකය ඉතාම නරකයි – ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී සරත්චන්ද්‍ර බෝතලාගේ

මීන ලග්නයෙන් උපන් රනිල් මහතාට සෙනසුරු මහදශාව තුළ ගුරුගේ අතුරු දශාව ගතවෙයි. ගුරුගේ අතුරු දශාවත් සමගම සෙනසුරු මහදශාව නිමාවන්නේ 2019.06.06 වැනිදාටයි. එතුමන්ට සෙනසුරු ඉතාම නරක ග්‍රහයෙකි. උපතේදී සතුරු රාශිගතව සතුරු කාරක හයවැන්න තුළ පිහිටා ඇත. සෙනසුරුගේ ඒරාෂ්ටක අපල පැවති බොහෝ අවස්ථාවලදී මීට ඉහතදීත් තනතුරු අහිමි විණි. වර්තමානය තුළද පවතින්නේ සෙනසුරුගේ ඡන්ම ඒරාෂ්ටක අපලයයි. මෙම දිනවල මීන ලග්න හිමියන්ගේ දහවැන්න වන කර්මස්ථානය තුළ සෙනසුරු ගෝචරව ගමන් කරයි.

කෙනකුට උපතේදී සෙනසුරු නරකව සිටියොත් සෙනසුරුගේ බලපෑම් ඇති කාලය තුළ සියල්ල අහිමි කිරිම සෙනසුරුගේ ස්වභාවයයි. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ විෂ්ණු දෙවියන්ටත් සෙනසුරු බටකොළ කැවූ බවටයි. ශිව දෙවියන්ගේ පුත්‍රයා වන ගණ දෙවියන්ගේ හිස වෙන්වූයේ සෙනසුරුගේ බැල්ම නිසා බවද සඳහන් වෙයි. නමුත් පසු කාලය තුළදී ගණ දෙවියන් සෙනසුරුගේ උගුල්වලින් බේරුණේ නුවණට අයිති දෙවි කෙනකු නිසාය.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් ග්‍රහචාරය අනුව දීර්ඝ කාලයක් තනතුරුවල රැඳී සිටීමට ග්‍රහබල නැත.විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන්නේ අප්‍රේල් මස 4 වැනිදාටයි. මෙදින බදාදා දවසකි. ගුරුට අයත් විසා නැකත උදේ 7.33ට ගෙවී සෙනසුරුට අයත් අනුර නැකත ලබයි. සෙනසුරු නරකට සිටින අයකුට සෙනසුරුගේ නැකතක් තිබෙන දවස් ඉතාම නරකයි. මෙදින චන්ද්‍රයා නීච රාශිගතව ගමන් කිරීමත් විශේෂත්වයකි.

සිතට අධිපති සඳු නීච වීම ක්ෂණිකව තීරණ වෙනස් වීමට හේතුවකි. පසුගිය පළාත් පාලන ඡන්ද පැවති දවස තුළත් චන්ද්‍රයා නීච රාශිගතව ගමන් කෙරුණි. ඡන්දයට ප්‍රථම වත්මන් ආණ්ඩුව දැඩි පීඩනයකට ලක්වෙන බවට අනාවැකිය මම ප්‍රකාශ කළෙමි. අප්‍රේල් 4 වැනිදා පවතින ග්‍රහචාරය අනුව සැලකිල්ලට ගෙන බලන විටදී විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම අගමැතිතුමාට ඉතාම අසීරු කටයුත්තක් වන බවට ප්‍රකාශ කළ හැක.

Related Posts