ගොසිප්

මුළු හිනිදුම ම හඬවමින් මීට සුළු මොහොතකට කලින් ගිං ගඟේ සිදුවූ මහා ඛේදවාචකය

“හිනිදුම” කිවූ සැණින් බොහෝ දෙනෙකුට සිහියට එන්නෙ හිනිදුම කල්වාරිය සහ ගිං ගඟ කොමලියයි.නිවාඩු දින වල මිතුරැ මිතුරියන් එක්ව විනෝද ගමන් යාම සාමාන්‍ය සිරිතකි. එළඹෙන පොහෝ දින පාසලේ මිතුරියන් කිහිප දෙනෙකු තම නිවසට පැමිණෙන බව 14 හැවිරිදි ගිම්හානි මීට සතියකට පමණ පෙර විදුහල්පති වරයෙකු වන තම පියාණන්ට දැනුම් දෙන ලදී. මේ දිනවල හිනිදුම කල්වාරි වන්දනා සමය බැවින් , තම නිවසට ඉතා සමීපව පිහිටා ඇති කල්වාරි පුදබිම පෙන්වීම සඳහා ඔවුන්ව රැගෙන යා යුතු බවත් ඇය පැවසීය. නමුත් ඊට හොර රහසින් මේ මිතුරියන් අතරේ තව යමක් මේ නිවාඩු දිනය වෙනුවෙන් සැලසුම් විය. එනම් තම නිවසට යාබදව පිහිටා ඇති ගිං ගඟෙහි නෑමට යාමය.

ගාල්ල නගරයෙහි පිහිටා තිබෙන ප්‍රසිද්ධ කාන්තා පාසලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියන් 06 දෙනෙකු (සියලු දෙනාම ශිෂ්‍යත්ව විභාගය සමත් වීම නිසා නගරයේ පාසැල වෙත පැමිණ ඇත.)එක් සිසුවියකගේ තවත් බාල සහෝදරයකු සැලසුම් කළ පරිදි අද දින ට (03/31) යෙදී තිබූ පොහොය නිවාඩුව නිසා උදෑසනම දුර ගෙවා ගිම්හානි ගේ නිවසට පැමිණියේ ය.

බෞද්ධයින් වූ සියලු දෙනාම කිතුනු බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් වූ හිනිදුම කල්වාරි පුදබිම දැක ගැනීමේ ආශාව ඇතිව උදෑසනම ඒ සඳහා පිටත් විය. වන්දනා පුද බිම නැරඹීමෙන් අනතුරැව දහවල් 12ට පමණ නැවතත් ගිම්හානි ගේ නිවසට පැමිණි මිතුරියන්, තමන් ට ගිං ගඟෙහි නෑමට අවශ්‍ය බව කියා ගිම්හානිගේ මවට පෙරැත්ත කළේය. “අංකල් ගෙන් අහන්නකො දුවේ, එයා කැමති නම් මම එක්කන් යන්නම්” මව පිළිතුරැ දුන්නේය. මේ කතා බහට හොර රහසේම ඇහුම් කන් දුන් විදුහල් පති පියාණන්, කාටත් නොකියාම තම නිවසට 200m පමණ දුරින් පිහිටා ඇති, ප්‍රදේශයේ සියලු දෙනාම පාහේ යන ගිං ගඟෙහි නාන තොටුපල වෙත ගොස් තම දරැවන්ට ආරාක්ෂාකාරීව නෑමට සුදුසු දැයි පරීක්ෂා කලේය.

වියලි කාළගුණයක් පැවතීම නිසා එතරම් ජල පහරේ දැඩි බවක් හෝ ගැඹුරැ බවක් නොවූයෙන් “ හ්ම් එහෙනම් දරැවො ටික ඇන්ටි එක්ක ගිහිං ඉක්මනින් අයිනට වෙලා නා ගෙන එන්නකෝ, මම කෑම ටික ලෑස්ති කරල තියන්නම්” ඔවුන්ට පැවසීය. ඉතා සතුටෙන් කලින් පටන් සූදානම් කර ගත් ඇඳුම්ද රැගෙන ඔවුන් නෑම සඳහා පිටත් විය. මිදුල ට පැමිණි පියාණන් “ගඟේ එහා පැත්තට එහෙම යනව නෙමෙයි” කියා නැවතත් උස් හඬින් දරැවන්ට තරවටු ස්වරයෙන් පවසා , මුළුතැන් ගෙට පිවිසියේය. ගත වූයේ අඩ හෝරාවකි, දිය කෙලියේ සිටි එක් සිසුවියක් තම සබන් පෙට්ටිය ජලයේ ගසා ගෙන යනු දැක එය ගැනීමට ඉදිරියට ගියේය.

කිසිවකුත් නොසිතූ ලෙස ඇය ජලය අතරින් නොපෙනී ගියේය, සියලු දෙනාගේ ලතෝනි මැද ගිම්හානිගේ මවත්, තවත් සොයුරියන් දෙදෙනෙකුත් ඇය බේරා ගැනීම පිණිස ගඟට පැන්නේය. තත්පර කිහිපයක් ඇතුලත ඔවුන් සිව් දෙනාම ගිං ගඟ පතුලේ සැඟව ගියේය.. විනාඩි කිහිපයක් ඇතුලත ප්‍රදේශයේ තරැණයින් එක්ව ඔවුන්ව ගිං ගඟ පතුලෙන් ගොඩට රැගෙන ආවත්, මාරයා ඔවුන්ට මොහොතකින් හෝ හමාරය…

නිසොල්මන්ව සිටින තම බිරිඳ සහ එකම දියණිය දෙස බලාගෙන විදුහල්පති පියාණන් හඬා වැලපෙන්නේය.අනික් දියණියන් දෙදෙනාගේ දෙමාපියන් මා මෙය ලියන මොහොත වන විටත් තම දරැවන්ට අත්ව ඇති ඉරණම ගැන හාංකවිසියක් හෝ නොදනී.යන්තමින් දිවි බේරාගත් අනෙක් දරැවන් තම මිතුරියන්ගේ මෘත දේහ දෙස බලාගෙන කිසිත් සිතා ගත නොහැකිව හැඬූ කඳුලින් පසුවෙති.දැං සියල්ල සිදුවී හමාරය ,මාරයා කවදා කෙලෙසක ඒවිදෝයි කව්රැත්ම නොදනිති.දෙමාපියනි ඔබටද සිතන්නට බොහෝ දෑ ඉතිරි කර ඇත.

යළිත් මෙවන් විපතක් කිසිවකුට නොම වේවා….!!!

ඔබට නිවන් සුව….!!!