වසර 41 තිස්සේ කතෝලිකයෙක් නිවස ඉදිරිපිට පන්සලට කරන දේ

1458

අපේ කතාන්දරයේ කතා නායක වන බද්දේගම ගනිසගේ ශාන්ත මේ වන විට 61 වන වියේ පසුවේ. හෙතම රෝමානු කතෝලිකියෙකි. ගාල්ල බෝපේ පිහිටි කළේගාන සේතබිම්බාරාමය නැතහොත් ඓතිහාසික පොල්කඳවෙල විහාරස්ථානයේ උරුමකරුවා නොවුනද භාරකරුවා සේ ඔහු සිතා සිටී. ඒ පන්සල තිබෙන්නේ ඔහුගේ නිවස ඉදිරිපිටය.

”මම සේවය කළේ ගාල්ල කරාපිටි රෝහලේ උපස්ථායකයෙක් හැටියටයි. මේවන විට මම ඉන් ඉවත්ව විශ‍්‍රාමිකවයි කටයුතු කරන්නේ. මට මතක හැටියට වසර 41ක් පුරාම මම මේ අපේ පන්සලේ පවිත‍්‍රකටයුතු සිදුකරනවා. මම මේ විහාරය පිරිසිදුව සුන්දරට තියන්න වෙහෙසෙනවා. කාටවත් බයට හෝ ලකණු දමා ගන්න හෝ පිං සිදුවනවා කියන කතාවලට නොවෙයි. මට මතකයි මට වයස අවුරුදු විස්සක් කාලයේ සිට තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. දැන් වසර 41ක් පමණ වෙනවා.

පන්සලේ හාමුදුරුවෝ වේලේවත්තේ සේතබිම්බාරාම විහාරස්ථානයේ විහාරාධිපති නායක හාමුදුරුවෝ විමලචන්ද්‍ර හිමියන්ද කවදාවත්ම මම මේ සිදුකරන මෙහෙවරට හරස් කැපුවේ නෑ. උන් වහන්සේ මට ආශිර්වාද කරනවා. එය ඇත්ගේ ආගම කුමක් වුවත් නිතරම පන්සලේ කටයුතු කරගෙන පන්සල පවිත‍්‍ර කරගෙන අක්කර ගණනාවක පුරා ඇති පන්සල් වත්ත සුද්ධ කරගෙන නිවාඩුවට විවේකය තිබෙන අවස්ථාවට සිදුකරන මේහෙය අගය කරනවාය කිව්වා.
මට මගේ කතෝලික ආගමේ පූජකවරු හෝ කවුරුවත් මේ කටයුත්ත කරන්න එපාය කියලා නැහැ.

මගේ බිරිද ද මෙයට සහයෝගයක් දක්වනවා. පන්සල අපේ නොවෙයිනේ අපි වෙනත් ආගමකනේ ඒ නිසා මෙය සිදුකරන්න එපාය කියලා මගේ බිරිඳ කවදාවත් කියලා නැහැ. මගේ බිරිද ද ගාල්ල කරාපිටිය රෝහලේ උපස්ථායිකාවක්. ඇය මාලනි පද්මලතා ඇය විශ‍්‍රාම සුවෙන් තමයි සිටින්නේ.

මගේ දියණියන් දෙදෙනා එක් අයෙක් ගාල්ල කඩවත් සතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන්නේ. අනෙක් දියණිය තවම ගෙදරයි ඉන්නේ. ඇය වැඩිදුර අධ්‍යාපනය ලබනවා.

මම කිසිදු දවසක කැත්තක් උදැල්ක් අරගෙන මේ පන්සල් භූමියට එන්නේ නෑ. මම එන්නේ තනියම නිදහස් විවේක අවස්ථාවල දී පන්සල් බිමේ සියලූම තණකොළ මා උගුල්ලන්නේ මගේ අත්දෙකේ ඇගිවලින්. පන්සල් භූමිය අගේට පිරිසිදුව තියා ගන්නවා. වැටක ගහක අත්තක් ඉත්තක් උනත් අතින්ම කඩන්න තමයි මම කටයුතු කරන්නේ. බැරිම උනොත් තමයි මම පිහියක් කැත්තක් භාවිතා කරන්නේ. මට මේක කරන විට අමතර ශක්තියක් උනන්දුවක් සතුටක් නිදහසක් ලැබෙනවා වාගේ තමයි මට දැනෙන්නේ.

මම පන්සලේ වැලි මළුව අතුපතු ගානවා. බෝගහ තියන ස්ථානයේ බෝ කොළ කිසිදු දිනක ම කොස්සකින් හෝ ඉඳලකින් අතුගාන්නේ නෑ. අතින්මයි මේවා සිදු කරන්නේ මට ඇහෙනවා බෝකොළ කතා කරනවා. ඒ අය මටත් කතා කරනවා වාගේ දැනෙනවා. සිළි සිළි ගා ඒ අය මොනවා දෝ කතා කරනවා. ඝණ්ටා නාදය හරි මිහිරියි. සිතට නිදහසක් නිම්නාදයක් වාගේ ඇගෙනා. එය කරච්චලයක් හෝ අවහිරයක් හෝ වෙන්නේ නෑ. මම ඉතිං මාගේ ආගමද නිරතුරුවම අදහනවා. ඒ අනුවයි මම මේ විහාරස්ථානය පවිත‍්‍ර කරගෙන කටයුතු කරන්නේ. මේක වහල් වැඩක් හෝ මදි පුංචිකමක් හෝ නොවෙයි මම මේය සතුටිත් තමයි සිදු කරන්නේ.”

පන්සලේ හොඳම උපාසකයා ලෙස නිතර උදව්පදව් කරනා සිය හොඳම හිතවතා ගැන වේලේවත්තේ සේතබිම්බාරාම විහාරස්ථානයේ විහාරාධිපති නායක විමලචන්ද්‍ර හිමියන් මෙසේ පැවසුහ.

”ශාන්ත පින්වත් අයෙක.් ඒ ඇත්තෝ මෙය සිදුකරන්නේ කවුරුවත් කියන නිසා හෝ ජනප‍්‍රිය හෝ පිං සිදුවනවා කියන එක නිසා නොවෙයි. කැමැත්තෙන්ම සිදුකරනවා. මම ගැන අපේ පන්සල ගැන ද සොයා බලනවා. දානයක් වැරදුනොත් ඉක්මනින්ම ඒ දානමය කටයුතු ද සිදු කරදෙන්න ලෑස්තිකරලා දෙන්ට ශාන්ත හා බිරි`ද ¥වරුන් කටයුතු කරනවා.”

”අපේ විහාරස්ථානයට වසර 160කට ආසන් ඉතිහාසයක් තියෙනවා. නුවර යුගයේ චිත‍්‍ර තමයි තියෙන්නේ. මහා ගල් කණු, මහා පිං තාලියක්, ගල්වලින් සකස් කරන ලද ජනෙල් උළුවහු, මහා බල්ක, දොරවල්, සහිත මහා බලගත විහාරස්ථානයක්. මෙහි මහා හාස්කම් තියනවා. මේ වාගේ අනුහස් නිසා මේ විහාරස්ථානයේ මහා බලයක් තියන නිසා විවිධ පිරිස් සතර පේරුවේ දායක දායිකාවෝ එනවා. ඒ අයට ශාන්ත නිසා සහන සැලසෙනවා.

මේ ශාන්ත මහත්තයාද මම දන්නා කාලයේ සිට තමයි මේ පන්සලට ළෙන්ගතුව කටයුතු කරන්නේ. මුදල් වටේ වැට ගහන සමාජයක මේ ශාන්ත වාගේ අය තාම මේ රටේ ලෝකයේ ඉන්වා. මේ ඇත්තන් වැනි තව පිරිසක් මේ රටේ මේ සමාජයේ ආගම් බේදයෙන් තොරව බිහිවනවා නම් අපි ඇත්තටම ශ‍්‍රී ලාංකිකයෝ තමයි දියුණු රටක් කියලා කියන්න හැකියි. එවිට තමයි ලෝකෙන් උතුම් රට ලංකාව ලංකාදිපය කියලා කියන්න හැකි යැයි උන් වහන්සේ කීහ. සැබැවින්ම රටට වුවමනා වන්නේ ශාන්ත මෙන් සහජීවනය පුරුද්දට පිළිපදින උදවියයි.