වෙඩි නොවදින්න,අකල් මරණ නොවීමට,ප්‍රභූන් හමුවීමට – හරියටම හිඳින හෙණරාජ තෙ‍ලේ රහස් මෙන්න

606

කාලයෙන් කාලයට විවිධ මාතෘකා සම්බන්ධයෙන් සමාජයේ වැඩි අවධානයක් යොමු වේ. වෙඩි නොවදින තෙලක් පිළිබඳ මේ දිනවල එවැනිම කතිකාවතක් සමාජයේ මතුවෙමින් පවතියි. හොරණ උතුරු උඩුවේ පුද්ගලයකු විසින් විෂ්ණුක්‍රාන්ති තෛලය නමින් වෙඩි නොවදින තෙලක් නිපදවා ඇතැයි සමාජජාල හා මාධ්‍ය ඔස්සේ පළවීමත් සමග මේ පිළිබඳ උනන්දුව තවත් වැඩිවූයේ ය.

එය වෙඩි නොවදින තෙලක් ලෙස භාවිත කළ හැකිද? ඇත්තෙන්ම මෙම තෛලය පැලඳ සිටින විට වෙඩි වදින්නේ නැතිද?
මේ සම්බන්ධයෙන් අතුරුගිරිය සීලවිමල මාවතේ පදිංචි ‍ජ්‍යොතිෂ්‍ය විද්‍යා විශාරද මනෝ ස්වාප්න චිකිත්සක සම්පත් වීරසිංහ මහතා සතු ‍ජ්‍යොතිෂ්‍ය දැනුම හා පුස්කොළ ‍පොත් සොයා බැලීමට විමසුව කල ඔහු කියන්නේ ආරක්ෂාව සලසා ගනු පිණිස ආදී පැරැන්නන් විවිධ ක්‍රම උපයෝගී කර ගත් බවත්. පෙනෙන බලවේග හා සෑදුණු තෙල් වර්ග මේ අතුරින් මූලික වන බවත් විශ්මයජනක ප්‍රතිඵල හිමි ඉතා විශිෂ්ට ගණයේ තෙල් දුරාවලියක් අප ලාංකීය ඉතිහාසය සතු බවත්ය.

තෙල් වර්ග අතරින් ප්‍රබලම තෙල් වර්ග ලෙස හැඳින්වෙන්නේ මහා හෙණ රාජ, මහා රාජ තරංගනී, ඉරු දැපනය, දිව්‍ය රාජ, නාරානන්ද (විෂ්ණු රාජ) සරස්වතී යන තෙල් වර්ගය.මේ තෙල් කෙතරම් හින්දද මතුරා බලගැන්විය යුතු වන්නේය යන්න පුස්කොළ ‍පොත්වල සඳහන්ය. විෂ්ණු ක්‍රාන්ති තෛලය අයිති වන්නේ ඉහත තෙල්වලින් පසුව ඇති කාණ්ඩයටය. විෂ්ණුක්‍රාන්ති පැලෑටිය හා පාෂාණ වර්ග (මැණික් ගල් කොටස්) සත්ත්ව ශේෂ කොටස් හා පරම්පරාවෙන් එන රහස් ඖෂධ යොදා ගෙන මෙම තෙල හිඳිනු ලබයි.

විෂ්ණුක්‍රාන්ති තෙ‍ලේ ප්‍රධානම ගුණය වන්නේ ලැබිම් කාරකය. වශී බලය හා අන්‍යයන් යටත් කිරීමේ බලය මෙන්ම රෝග නිවාරණ බලයද එහි ඇත්තේ ය. දුෂ්ට බලවේග ඉවත් කළ හැකි ආරක්ෂක තෙලක් ලෙස විෂ්ණු ක්‍රාන්ති තෙල හඳුන්වයි.

මෙම තෙලට හෙණ බන්ධනය කළ නොහැක. එය කළ හැක්කේ හෙණරාජ තෙලට පමණය. ඉලක්ක වෙනස් කිරීම හා ආයුධ අක්‍රිය කිරීමේ බලයක් විෂ්ණුක්‍රාන්ති තෙලට නොමැත. මේ තෙලට ජීවියෙක් යොදාගෙන අත්හදා බැලීම් කිරීම අති භයානක වන්නේය.

තෙල් ලොව මව – පියා ලෙස විරුදාවලිය ලත් ප්‍රබල තෙල් වර්ග දෙකක් තිබේ. මව යනු රාජ තරංගනී තෙලයි. බලකාර, ආරක්ෂාකාර, පියකුගෙන් ලබන අසීමිත ආරක්ෂාව හිමිවන පිය කාරක තෙල වනුයේ හෙණරාජ තෙලයි. ඉතා විශිෂ්ට වූ ගුණ සමුදායකින් හෙබි මෙකී හෙණරාජ තෙල ජීවිත ආරක්ෂක යාන්ත්‍රණයක් ලෙසද භාවිත වෙයි.
තෙල සිඳීම

කඟවේනාගේ අං මූලික ඖෂධය ලෙස භාවිත වන අතර, වෙනිවැල්ගැට, ඇත්දෙමට, අංකෙන්ද, පහන්පෙති ආදී වූ ඖෂධයන්ද ත්‍රිපල්, රත්හඳුන්, ලසුනු ආදී වූ විශේෂ කාරකයන්ද යොදා ගන්නා අතර, හෙණ ගහන වේලාවක හටගන්නා ගින්දර සහ කුරුඳු දර භාවිත කර නැවුම් භාජනයක තෙල සිඳ ගනී. සිව්කොන පහන් පැළ සාදා, මන්ත්‍ර විධි ජපකර ඉහළ පිරුවට ඇද, නිර්මාංශීව පිරිත් මන්ත්‍ර ජප කරමින් තෙළ සිඳීම කර අනතුරුව මේඝ වලා නියෝජනය කරන හෙණ දේවතා බන්ධනය සිදුකරනු ලබයි.

මෙය ඉතා දුෂ්කර වුවද, ප්‍රතිපත්ති මත සිදු කළ හැකි දෙයකි. එයින් බල වූ කල තෙලෙන් ඉටුවන කාර්යභාරය ඉටුකරනු ලබන්නේ තෙල නොව ඊට බන්ධන වූ ආත්ම කාරකත්වය තුළිනි. තවද මෙසේ සකල විධ පූර්ණ කළ තෙල ප්‍රබල ලෙස කිලි හරණය කිරීමද සිදු කළ යුතුය.
හෙණරාජ තෙලෙහි ගුණයන්

රන්වන් පැහැති ඉතා සුවඳවත් වන මෙම තෙල් රන් භාජනයක හෝ රන් සුරයක දැමූ විට තවත් ප්‍රබල වෙයි.ප්‍රභූන් හමුවීමට, අකල් මරණ නොවීමට, යක්ෂ ප්‍රේතාදී බැල්ම නොවැටීමට, අනවින හූනියම් නොවැදීමට, සතුන්ගෙන් වන පීඩා දුරලීමට, අවි ආයුධ බලය වැළැක්වීමට, හිර බන්ධන සහ කටු සිරවීම් විච්ජේදනයට ඉතා යෝග්‍ය වෙයි. වෙඩි වැදීම හා නොවැදීම අන්ත ගැන මෙම හෙණරාජ තෙ‍ලේ ගුණයන් නිරූපණය අතර, සිඳගන්නා ලද තෙල හෙණ දේවතා දෘෂ්ටියට ලක්කර බන්ධනය කරන තුරු එහි ඖෂධ බලය පමණක් පවතින අතර වෙඩි නොවැදීම සිදු නොවේ. මෙකී උක්ත අසුබ බලපෑම් සඳහා බන්ධන දේවතා බැල්ම නිතර ක්‍රියාත්මක වෙමින් අවි ආයුධ, ගිනි අවියන්වල අක්‍රියතාවට වඩා ඉලක්ක මග හැරීම සිදු කරනු ලබයි.

තවද මෙම තෙලෙහි විශේෂම ගුණය වනුයේ වශී කාරක බලය නොමැති වීමයි. නමුදු තේජස් බලය, ගාම්භීර බව ආදී නොදවෛනි ගුණාංග මෙය පලඳින්නාට ලැබේ. ඕනෑම සතුරු බලවේගයක් මගහැර යෑමේ බලය මෙය සතුය. මෙය පලඳින්නාට සමාජයම යටත් වෙයි. තවද පලඳින්නා පූජ්‍ය පක්ෂයට හා දෙමාපියනට හැර ජීවී වෙන කිසිවකුට හිස නොනැමිය යුතුය. බිම නිදා ගැනීමද, මළ ගෙවල්වලින් සහ මල්වර ගෙවල්වලින් ආහාර අනුභව කිරීමද ඉතා අසුබ වනු ඇත. පලඳින්නාට තමා පසුපස ආරක්ෂකයකු සිටිනවා සේ නිතර හැඟේ. කිසිම විටෙක පාඩුවීම්, අපහාස උපහාසවලට ලක් වීම්, නීතිය හා සම්බන්ධ තත්ත්වයන් උදා නොවේ.

හෙණරාජ තෙල ඈත අතීතයේ භාවිත කරන ලද්දේ නිධන්වල ආරක්ෂාව වෙනුවෙනි. එහිදී මෙම තෙල තනිව තැන්පත් නොකර ඒ හා සමගාමී වන රාජ තරංගනී තෙල ද ඊට ආසන්නයේ තැන්පත් කරයි. මෙලෙස යුග්ම වීම තෙල්වල බල බිඳීම හෙවත් බන්ධනය වූ බලවේගයන් ඉවත්ව යෑම වැළකේ. බහුතරයක් රටේ හෙණරාජ තෙල් ලෙස විස්මය දනවන ව්‍යාපාර බිහි වී තිබෙන අතර මෙහිද මේ වන විට ප්‍රභේද ලෙස වර්ග කිහිපයක් හඳුනාගත හැක. තෙල් කුප්පිය තබා හෝ එය හිස් තැඹිලි කෝම්බයකට දමා එයට වෙඩි තබා බැලීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද, නිවැරදි පරීක්ෂාව වන්නේ ජීවයකට හෙණරාජය පලඳවා පරීක්ෂා කර බැලීමයි. මෙකී තත්ත්වය ඉතා භයානක වන අතර, රන් සූරයේ දැමූ තෙල පූර්වව සිදුකරණ විධාන ක්‍රමයක් මගින් සත්‍ය බැලීමේ හැකියාව පවතී.

සූර සරදියෙල් ආදීන් මෙම හෙණරාජ තෙලින් කළ විකුම් ගැන ඉතිහාසයේ පවතී. යම් හෙයකින් මෙකී සුරය පුපුරා ගියහොත් එම තෙලෙහි බලය ශූන්‍ය වූ බව දත යුතුය. තෙල රන්වල ස්පර්ශ වීම අනිවාර්ය අතර ප්ලාස්ටික් බට තුළ දැමීම සුදුසු නොවන බවද දැනගත යුතු විශේෂ කරුණකි. මෙම තෙල පිළිබඳ පුස්කොළ ‍පොත්වල සඳහන් වන ආකාරයට පහත සඳහන් කවිය ගුණාංගයන් හෙළි කරන බව ‍ජ්‍යොතිෂවේදී සම්පත් වීරසිංහ මහතා මෙසේ පෙන්වා දෙයි.

වදන්ඩ බැරි වෙන හිර වැලකුන් සහ කළොත් යමක් වාද මෙලෙසින්
තුවක්කු හිර සහ බන්ධන අවහිර ‍පොඩි වෙයි හෙණ පුපුරන විලසින්
ආයුධවල සහ ඇඟේද ගා ගිය ගප් රැල සිහ විලසින් දඩයන්
ගලක් පිපුරු ලෙස වැළකුන් හිර ‍පොඩිවෙයි කළවුන්ගේ ඇස් පිපිරීමෙන්