තරු පහේ හෝටලක් ….. නෑ. නෑ. නෑ…. – අපේ මුදලින් නඩත්තු වෙන රජයේ රෝහලක්

1576

ජායාරූප නැරඹීම සදහා පහලට යන්න 

ලෙඩක් දුකක් හැදුන විට කවුරුත් කැමැති සැප පහසු රෝහලක නතර වී ප්‍රතිකාර ලබාගැනීමටය. වර්තමානයේ අතමිට සරු ඇත්තෝ පෞද්ගලික රෝහල් කරා යොමුවීමට ප්‍රධාන හේතු සාධකය වී ඇත්තේ මෙයයි. එහෙත් අද රජයේ රෝහල්වල ද පෞද්ගලික රෝහල්වල සැපයෙන සේවාවන්ට සමාන ආකාරයෙන් සේවා සැපයෙන අවස්ථා ද නැතිවා නොවේ. එවැනි රෝහලක විශේෂ ප්‍රතිකාර ඒකකයක් පිළිබඳව ලැබුණ තොරතුරකට අනුව පසුගිය දිනෙක අපි එහි ගියෙමු.

වයඹ පළාතේ පමණක් නොව උතුරු නැඟෙනහිර දෙපළාතේ රෝගීන් ද ප්‍රතිකාර ලබාගැනීම සඳහා බොහෝවිට පැමිණෙන්නේ මහනුවර ශික්ෂණ රෝහලටයි. මහනුවර ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයේ පිහිටා ඇති “73 -74 ස්නායු ශල්‍ය ඒකක 2” පිළිබඳව අපි ඔබට කියන්නට යන්නේ අලුත්ම ආරංචියකි.

කලකට පෙර ඉතාම අබලන් තත්ත්වයේ පැවැති මේ වාට්ටුව බැලූ බැල්මට පෞද්ගලික රෝහලක වාට්ටුවකැයි සිතෙන තරමට උසස් මට්ටමකින් පවත්වාගෙන යයි. ඒ මෙහි කටයුතු කැරෙන ආකාරයේ විශේෂත්වයයි. වාට්ටුවට ඇතුළත් වීමේදී දකුණු පසින් ඇත්තේ පැමිණෙන රෝගීන්ට, අමුත්තන්ට වාඩිවීමට ඇති පුටු පෙළකි.

ඒ පුටු පෙළට ඉහළින් ඉදිරියේ ඇත්තේ රූපවාහිනී යන්ත්‍රයකි. මේ රූපවාහිනියෙන් විකාශය වන්නේ ටෙලිනාට්‍ය හෝ වෙනත් බහුබූත නොව කොඳු ඇට පෙළ, මොළය සම්බන්ධ රෝගාබාධ ශල්‍යකර්ම හා ශරීරයට වැලඳෙන රෝගාබාධ පිළිබඳව දැනුම ලබා දෙන සමාජයට යම්කිසි අවබෝධයක් ලබා දෙන තොරතුරුය.

බිත්තියේ නිර්මාණය කොට ඇත්තේ බුදුන්වහන්සේ පූතිගත්තතිස්ස තෙරුන්ට උපස්ථාන කරන ආකාරය දැක්වෙන මියුරල් නිර්මාණයකි. එතැන පසුකර වාට්ටුවට ඇතුළත් වීමේදී ඉදිරියෙන්ම ඇත්තේ නෙත සිත පහන් කරවන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේය. රෝගීන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය විසින් උදේ හවස මෙහි පහන් දල්වා මල් පූජා කර වන්දනාමාන කරනු ලැබීම ද සුවිශේෂීය.

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන මහතාට බාර වී ඇති වාට්ටුව ඔහු විසින් පුනරුත්ථාපනය කරනු ලැබූවකි.

ඕනෑම වයසක රෝගියකුගේ ජීවිත බේරා ගැනීමේ සටනට උරදී තිබෙන වෛද්‍ය සිරිවර්ධන මහතා ප්‍රතිකාර හා ශල්‍ය කර්ම වලින් බැහැර වූ විට තමා හමුවට පැමිණෙන රෝගීන්ට උපරිම සේවාවක් ලබාදීමට කැපවී කටයුතු කරන්නෙකි. ඔහු මීට මාසයකට පමණ සිදු කළ ශල්‍යකර්මයක් නිසා ජීවිතය අහිමි වීමට ගිය දරු සිඟිත්තියකට ජීවිතය හිමිව ඇත.

පොලොන්නරුවේ උපන් මොහාජිනා උපතින්ම රෝගී දැරියකි. ඇගේ හිස් කබලේ ඇති සිදුරක් නිසා මොළයේ වතුර, පටල, සහ කැබැල්ලක් පිටට නෙරා ඒමෙන් ඇය සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනකය. ඉපදී දවස් තුනකින් පමණ ස්නායු ශල්‍ය විශේෂඥ සිරිවර්ධන මහතා හමුවට මේ රෝගී දැරිය ඉදිරිපත් කරනු ලැබීය.

වෛද්‍ය නියමය වූයේ හැකි තරම් ඉක්මනින් ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවය. අවශ්‍ය කටයුතු සියල්ල සකස් කැරිණි. ශල්‍යකර්මය ඉතා සාර්ථකව සිදුවූයේය. දැන් දැරිය‍ගේ වයස මාස එකහමාරකි. දැරිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි.

කඩවත චමෝද් හේෂාන් හදිසි අනතුරකට ලක්වීමෙන් මොළයට ලේ ගමන් කිරීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත්වූයේය. මේ සැත්කම සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහලකින් නියම කළ මිල වූයේ රුපියල් ලක්ෂ අටකි. එහෙත් මේ සැත්කම මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ දී නොමිලේ සිදුකැරිණි.

මේ අතර තවත් රෝගී මවකගේ ජීවිතය ගලවා ගැනීම සඳහා මොළයේ සැත්කමක් සිදුකිරීමට තිබිණි. පෞද්ගලික රෝහලක මිල නියම කැරුණේ රුපියල් ලක්ෂ විස්සක් වශයෙනි. එනමුත් එම සැත්කම ද මහනුවර රෝහලේ දී සිදුකැරිණි එම මවගේ වයස අවුරුදු හැත්තෑ හතකි.

ඇගේ උපන් දිනය සමරනු ලැබුවේ රෝහලේ වාට්ටු‍ෙව්දීය. භික්ෂූන් වහන්සේ නමක වැඩම කරවා ආශිර්වාද කර කිරිබත් සහ කේක් රස බලා ප්‍රධාන වෛද්‍යවරයා ඇතුළු හෙද හෙදි කාර්ය මණ්ඩලය රෝහල් වාට්ටුව තුළ දී රෝගී මවගේ උපන් දිනය සැමරීය.

වෙදකම පමණක් නොව හෙදකම ද කරන 73 – 74 වාට්ටු සංකීර්ණයේ සිදුවීම් කිහිපයක් එසේය. මේ එහිදී අපි දුටු තවත් අමතක කළ නොහැකි සිද්ධියකි.

“මට යන්න බෑ”

ඒ අපට ඇසුණු හඬකි.

“යමු. යමු..” සිංහලෙන් ද දෙමළෙන් ද කියනු ඇසිනි. වයසක රෝගියකු තම ඥාතියාගේ අත ගසා දමා යළිත් ඇඳට නැංගේය. පරීක්ෂණ කිහිපයකට රෝහලට ඇතුළත්ව සිටි එම රෝගියා එදින ටිකට් කපා ගෙදර යාමට නියමිතව සිටියේය. එහෙත් රෝහල් වාට්ටුවෙන් ලැබෙන ආදර සත්කාර හමුවේ ඔහු රෝහල දමා යාමට අකමැතිය. ඔහු පමණක් නොව බොහෝ රෝගීන් වාට්ටුව දමා යාමට අකැමැති සේය.

අපි උදේ පහට හයට බැලුවත් ලොකු මහත්තයා මේ වාට්ටුවේ ඉන්නවා. රෑ දහයට එකොළහට බැලුවත් ‍ලොකු මහත්තයා වාට්ටුවේ රෝගීන් අතර සිටි එක් රෝගියකු පැවසුවේ සිය සතුට පළ කරමිනි.

රෝගීන් මේ තරම් 73 – 74 වාට්ටුවේ නැවතී සිටීමට ප්‍රතිකාර ලබාගැනීමට කැමැති ඇයි? මෙය ඔබේ සිතට නැ‍ෙඟන ප්‍රශ්නයක් විය හැක.

මම මේ රෝහලට ආවේ බදුල්ල රෝහලේ සිටයි. ඒ එන විට මම දුටු දෙයක් තමයි වාට්ටුවේ කිසිම පිළිවෙළක් නොතිබීම. මට ඕන වුණා වාට්ටුව, එහි තිබෙන වැසිකිළි කැසිකිලි ආදිය පිළිවෙළකට හදන්න. අද අපේ රෝගීන් බොහෝ විට පෞද්ගලික රෝහල් වලට යන්නේ මෙන්න මේ අපහසුකම් නිසා. මම මට හමුවන දානපතියන්ගේ උදව් උපකාර අරගෙන මේ වාට්ටුව ‍ගොඩනැඟුවා. මුලින්ම මට ඒ සඳහා උදව් කළේ ම‍ගේ ගුරුවරයා වන ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනිල් පෙරේරා මහතායි.

රෝහල් අධ්‍යක්ෂතුමා ‍වගේම ‍ෙබාහෝ අය මේ සඳහා උදවු කළා. දැන් මේ වාට්ටුවේ පහසුකම් ‍ෙබාහොමයක් තිබෙනවා. උස් පහත් කළ හැකි ඇඳන් මෙන්ම දැඩි සත්කාර ඒකකය, අධි සත්කාර ඒකකය බොහෝම හොඳට ‍ ක්‍රියාත්මක වෙනවා. අපට අවශ්‍ය මෙපමණයි රෝහල කරා එන රෝගීන්ට උපරිම සේවාවක් ලබා දීම.

ඒ වගේම ඕනෑම කෙනෙකුට මේ වාට්ටුව සඳහා උදව් කිරීමටත් හැකියාව තිබෙනවා. අලුතෙන්ම ඉදිකරන ලද වැසිකිළි පද්ධතිය පිරිසුදු කිරීම සඳහා වෙනම කෙනෙක් පත්කර සිටිනවා. ඔහුගේ මාසික වැටුප ගෙවීමට අපට කාගේ හෝ උදව් ලැබෙනවා.”

වෛද්‍ය සිරිවර්ධන පවසයි. සුළු සේවකයා ‍ෙග් වැටුප් ගෙවීම සඳහා මුදල් නොමැති වුවහොත් අඩුපාඩු තිබුණහොත් ඇතැම් විට එය පියැවෙන්නෙ වෛද්‍ය සිරිවර්ධන මහතාගේ පොකැට්ටුවෙනි.

ඔහු සියල්ල පිළිවෙළකට කිරීමට කැමැතියි. ඔහුට දැන් අවශ්‍ය තමන් විසින් කරන ලද මෙහෙවර තමාගෙන් පසුව ද එලෙසින්ම ක්‍රියාත්මක වනු දැකීමය.

“අපි විවිධ පරිත්‍යාගශීලීන්ගේ මුදල් උපකාරයෙන් තමයි මේ වාට්ටුව මේ තත්ත්වයට ගෙනාවේ. එකම අරමුණ මෙයයි. යම් දිනෙක මා මෙතනින් ගිය පසුවත් මේ වාට්ටුව මේ විදිහටම පිළිවෙළකට තිබිය යුතුයි. එහෙම පිළිවෙළකට තිබෙන්න නම් හොඳින් නඩත්තු කටයුතු සිදුවිය යුතුයි. මට අවශ්‍ය ඉදිරියේ දී මේ වාට්ටුව නඩත්තු කිරීමට කවුරු හෝ පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාරයි.”

මේ ස්නායු ශල්‍ය වාට්ටුවේ ප්‍රධාන හෙදිය මාරසිංහ මහත්මියයි. තිස්හය වසරක සේවා කාලයක් සපුරා ඇති ඇය ද වාට්ටුව ගොඩනැඟීම සඳහා ප්‍රධාන වෛද්‍යවරයාට උදව් වන තවත් අයෙකි.

“අපේ වාට්ටුවේ හෙදියෝ 29 දෙනෙක් ඉන්නවා. අනෙකුත් සේවකයන් 24 දෙනෙක් ඉන්නවා. අපි හැමෝම බොහොම කැපවීමෙන් ප්‍රධාන වෛද්‍යවරයා ගේ කටයුතුවලට උදව් උපකාර කරනවා. අපේ වාට්ටුවේ සිටින කිසිම කෙනකුට සැරෙන් කතා කිරීම තහනම්. අපි හැම විටම බලන්නේ අසරණ වූ රෝගීන් ගැනයි.

කිසි විටෙක රෝගියකු බලාගන්න ඔවුන්ගේ ඥාතීන් වාට්ටුවේ නතර කරගන්නේ නැහැ. නමුත් එහෙම වුණා කියලා අපි රෝගීන් අපිරිසිදුව තබන්නේ නැහැ. අපේ හෙදියන් කාර්ය මණ්ඩලය මේ අය ගෙදර අයටත් වඩා හොඳින් බලාගන්නවා. ඔවුන්ගේ රෙදි සෝදා නාවා පිරිසිදු කරනවා.මාරසිංහ මහත්මිය පවසන්නීය.

ගොවියකු වූ තලගහගෙදර සෙනෙවිරත්න, ගසකින් ඇදවැටීම නිසා කොඳුඇටපෙළට හානි සිදුවීමෙන් ඇඳටම වැටී සිටින්නෙකි. දැන් ඔහුට හැරෙන්නට පෙර‍ෙළන්නට නොහැකිය. වෛද්‍යවරයාගේ අරමුණ මොහුට කකුල් නැවීමටත් වාඩිවීමටත් හැකි වන අයුරින් ශල්‍යකර්මයක් සිදුකිරීමය.

“මේ අනතුර වුණ නිසා මං හරි අපහසුතාවට පත්වුණා. මගේ දුව මෙවර උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් මාතලේ දිස්ත්‍රික්කයෙන් අටවැනි තැන. අනෙක් දුවත් තවම පාසල් යනවා. මට මගෙ දරුවන්ට උගන්වන්න ඕන. දොස්තර මහත්තයගෙ පිහිට විතරයි මට තියෙන්නේ.”

ඔහු වෛද්‍යවරයාගේ දෑතම අල්ලා ගනිමින් පවසයි. ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන මහතා රෝගීන් හොඳින් ‍ෙත්රුම් ගෙන තම ප්‍රියයන්ගෙන් වෙන්ව සිට, කොළඹට පැමිණීමට හැකියාව තිබුණ ද ඈත දුෂ්කර ගම්මානවලින් පැමිණෙන අසරණ රෝගීන් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්නේය. විශේෂයෙන්ම ඔහු මුදල මත නොව සේවාව ගැන සිතා කටයුතු කරන්නේය.