දේශපාලන

යහපාලනයේ දිගම කැබිනට් රැස්වීම ඊයේ – කට්ටිය මරාගනියි, අගමැතිට දොස්

යහපාලන ආණ්ඩුවේ දීර්ඝතම වේලාවක් පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ(27දා) පවත්වා ඇති බව වාර්තාවේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වී  ඇති  අතර මෙවර කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකා 90ක් ඉදිරිපත්කර තිබේ.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ වැඩිම කැබිනට් පත්‍රිකා  ප්‍රමාණය මෙවර ඉදිරිපත් වූ බවත් ඒ හේතුවෙන් කැබිනට් මණ්ඩලය පස්වරු 1.30 පමණ වනතුරු පැවැත්වීමට සිදු වූ බවත් අමාත්‍යවරයෙක් පැවසීය.කෙසේවෙතත් වත්මන් ආණ්ඩුවේ දීර්ඝතම කැබිනට් මණ්ඩලය  ඊයේ(27දා) පැවැත්වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ අමාත්‍ය කමිටුව අහෝසි කිරීමට යෝජනාකර තිබියදී තවදුරටත් එය පවත්වාගෙන යෑම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කැබිනට් මණ්ඩලයේදී දොස් පවරා ඇති බව වාර්තාවේ.

ආර්ථික කළමනාකරණ අමාත්‍ය කමිටුව අහෝසිකිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මීට පෙර කැබිනට් මණ්ඩලයට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළේය. එසේ තිබියදීත් තවදුරටත් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ කටයුතු සිදුව ඇති බැවින් ජනාධිපතිවරයා මෙසේ අගමැතිවරයාට චෝදනාකර ඇති බවද වාර්තාවේ.

මේපිළිබඳ ප්‍රකාශ කරමින් ජනාධිපති සිරිසේන මහතා මෙසේද පවසා ඇත.“ගිය සතියේ මම කැබිනට් පේපර් එකක් ගෙනාවා මේක අවලංගු කරන්න. ඔයගොල්ලෝ ඊට පස්සෙත් මේකෙ වැඩ. අවුරුදු දෙකක් ඔයගොල්ලෝ මොනවද කළේ.” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත්කළ කැබිනට් සංදේශයේ එයට හේතුව ලෙස කරුණු 04ක් ඉදිරිපත්කර තිබේ.

අදාළ අමාත්‍යාංශ සහ ආයතන සමග නිසි සහයෝගිතාව සහ උපදේස් ලබා නොගැනීම, තීරණ ගැනීමේදී ප්‍රමුඛතාහඳුනානොගැනීම, ආර්ථික යෝජනා අවශ්‍ය පරිදි නිසි පරිදි සහ ක්‍රමවත් පරිදි සකස් නොකිරීම, ආර්ථික ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විධිමත් සම්බන්ධීකරණයක් නොමැතිවීම යන කරුණු එහි ඇතුළත්ය.

අමාත්‍යාංශ මට්ටමින් ගතයුතු තීරණද ආර්ථික කළමනාකරණ කමිටුවට යොමුකිරීමෙන් අනවශ්‍ය ලෙස කාලය වැයකිරීමක් සිදුවන බවත්, රටේ ආර්ථිකය සහ ජනතාව වෙනුවෙන් තමා මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද අදාළ සංදේශයේ සඳහන්ය.

ආර්ථික කළමනාකරණය සඳහා එක් ආයතනයක් පමණක් තිබිය යුතුයැයි ජනතා විශ්වාසය බවත්, ඒ අනුව ජනාධිපතිවරයා යටතේ ඇති ආර්ථික සභාව ඉහළම ආයතනය වන බවද ජනාධිපතිවරයා මෙම කැබිනට් සංදේශයේ සඳහන් කර ඇත.

ඒ අනුව ආර්ථික කළමනාකරණ කමිටුව සහ ඒ හා සබැඳි සියලුම කමිටු ඒකක සහ ක්‍රියාවලි අහෝසිකිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා යෝජනාකර තිබේ.

ඉහළ ආර්ථික යෝජනා සඳහා වන පත්‍රිකා පමණක් සාකච්ඡා කිරීමට අනුකාරක සභාවක් පත්කළ හැකිබවද ජනාධිපතිවරයාගේ සංදේශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

තමුන්නාන්සේලා මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් හදන්න බාරදුන්නු ජපන් සමාගමේ නිලධාරීන් ඉන්නේ එරට හිරගෙවල්වල. මම ජපානයේ කළ සංචාරයේදී අදාළ සමාගමේ නිලධාරීන් සමග සාකච්ඡා කරන්න උත්සාහ කළත් ඔවුන් එරට අධිකරණ මගින් සිරගත කර ඇති බව දැනගත්තා යැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී දැඩිව ප්‍රකාශ කර තිබේ.