අඩසියවසක ශ්‍රී ලාංකේය කලාවේ අතිවිශිෂ්ට විකට රංගන ශිල්පි බර්ටි ගේ අතීත කතාව

315

අඩසියවසක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ අතිවිශිෂ්ට විකට රංගන ශිල්පියකු වූ බර්ටි සංඝතිස්ස ගුණතිලකයන් සිය දිවිමඟෙහි සිටින්නේ 93 වැනි වියෙහියි.

සමාජයේ විවිධ පුද්ගලයන් මෙන්ම සමාජ සංසිද්ධීන් සහ අසාධාරණකම් උපහාසාත්මකව ගැඹුරු අර්ථයන් සහිතව ශ්‍රාවක ප්‍රේක්ෂක රසික සමූහයා හමුවේ රඟදැක්වූ හඬදැක්වූ මේ විශිෂ්ට කලාකරුවා සමඟ අතීතාවර්ජනයක යෙදීමේ වාසනාව ලැබුණා. බොර පැහැගත් මුත් තවමත් ජීවය ගලන දෑස් අඩවන් කරමින්, සුපුරුදු සිහින් සිනා රැල්ල මුවගෙහි රඳවාගෙන ඔහු සිය කතාව ආරම්භ කළා.

 

මං උපන්නෙ 1924 අගෝස්තු මස 02 වැනිදා. මැස්ටියගේ ‍ෙදාන් හෙන්රි ගුණතිලක තමයි මගේ තාත්තා. විල් ආරච්චිගේ මියුරියල් පෙරේරා අම්මා. මහනුවර අම්පිටියේදියි ඉපදුණේ. මං සහෝදර සහෝදරියන් සත් දෙනකුගේ පවුලේ දෙවැනියා. ලයනල්, හේයල්, කොලින්, මේබල්, ජුනි, අයලින් තමයි සහෝදර සහෝදරියො. යුරෝපීන් වතු පාලනය කළ කාලෙදි මගේ තාත්තත් වතු පාලකයකු ලෙස කටයුතු කළා.

මං පුංචි කාලෙ තරමක දඟකාරයෙක්. මගේ ළමා කාලය ගෙවුණෙ ගම්පොළ මහර ප්‍රදේශයේ. ගම්බදව ගෙවුණු ඒ ජීවිතය ඉතා සුන්දර එකක්. මං මූලික අධ්‍යාපනය ලබන්න ඇතුළු වුණේ මහනුවර අම්පිටිය විද්‍යාලයට.

ඉස්කෝලෙදි ගතකළේ ඉතාම සැහැල්ලු ජීවිතයක්. මට මතකයි මං ඒ කාලෙ ගුරුවරුන්ගේ ආකර්ෂණයට ලක් වූ ශිෂ්‍යයෙක්. මං මේක කියන්න ඕන. මගේ තියෙන ඇට්ටරකම එක්ක සැඟවිලා තිබුණු මගේ හැකියාවන් මතුකර ගැනීම සඳහා පාසලේ ගුරුවරුන් දැඩි අවධානයකින් කටයුතු කළා. ඒ කාලෙ මගෙ සම වයසේ යහළුවන් එක්ක පාසල නිම වී ආපසු නිවහන බලා යද්දී ක්‍රීඩාපිටියේ ක්‍රිකට්, එල්ලේ වැනි ක්‍රීඩා කළා.

ඒත් මට ගස් නඟින්න තිබුණෙ මනා නිපුණත්වයක්. මං තමයි පාසල් වත්තේ කුරුම්බා හොරෙන් කඩා බොන කල්ලියෙ නායකයා. මේවා කරන්න ගිහින් මං විදුහල්පතිතුමාගෙන් හොඳට ගුටි කාලත් තියෙනවා.

ගැටයා කාලෙදි මගෙ විනෝදාංශය තමයි නාට්‍ය නැරඹීම සහ දේශපාලන රැස්වීම් බලන්න යෑම. ඒ කාලෙ ගම්වල තියටර් මඩුවල පෙන්වූ නාට්‍ය බලන්න මං ඇබ්බැහි වුණා. නාට්‍යවල රඟපාන නළු නිළියන් හඳුනාගැනීමටත් ඔවුන්ට කිට්ටුවීමටත් කදිම අවස්ථාවක් මට උදා වුණා. නාට්‍ය පෙන්වීමේදී ඔවුන්ට උදවු උපකාර කරන්න, අඩුමකුඩුම ගෙනත් දෙන්න කඩේට යෑම මං කැමැත්තෙන්ම කළා.

මේ හින්දම මට නාට්‍යවල චරිත රඟපෑමටද සුළු ඉඩක් ලැබුණා. සමහර අවස්ථාවල චරිතයක් දෙන්නම් කියලා මගෙන් වැඩ කරවා ගත්තා. හැබැයි සුළු චරිතයක්වත් දුන්නෙ නෑ. ඒත් මං මගෙ උත්සාහය අත්හළේ නැහැ. පහුවෙනකොට මගෙ තිබුණු කුසලතාව අවබෝධ කරගත් බොහෝ නාට්‍ය ශිල්පීන් ඔවුන්ගෙ නිර්මාණවල රඟපෑමට මට ඉඩ ලබාදුන්නා. අන්තිමට ගමේ තියටර් මඩුවට මං නැතිවම බැරි චරිතයක් බවට පත් වුණා.

මං වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ මහනුවර සංඝරාජ පිරිවෙන ඇසුරේයි. පාලි සංස්කෘත භාෂා මට හොඳට පුළුවන්. මං ප්‍රාචීන විභාගය සමත් වුණා. ඒ සුදුසුකම් එක්ක ආයුර්වේද විද්‍යාලයට ඇතුළත්වීමේ වරම මට ලැබුණා. හොඳ වෙද මහත්තයෙක් වෙන එක තමයි බලාපොරොත්තුව තිබුණේ. ඒත් ඒ කාලෙ තිබුණු ශිෂ්‍ය අරගලයක් නිසා වැඩි කාලයක් නොගිහින් මං ආයුර්වේද විද්‍යාලයෙන් ඉවත් වුණා.

පස්සෙ කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ ගුරුවරයකු ලෙස ටික කාලයක් සේවය කළා. ටික කලකින් මට ගුරු වෘත්තිය එපා වුණා. හිතුණා පොත් කඩයක් කරන්න පුළුවන්නම් හොඳයි කියලා. මං ගුරු සේවයට ආයුබෝවන් කියලා වත්තල පැත්තෙ පරණ පොත් කඩයක් පටන් ගත්තා. පොත් සාප්පුව පවත්වාගෙන යන අතරෙ මං පුවත්පත්වලට ලිපි ලියුවා. මං සහන ලේඛකයෙක් විදියට ටික කාලයක් ලංකාදීප පුවත්පතෙහි වැඩ කළා. සිංහල බෞද්ධයා, සිංහලේ, සිංහල ජාතිය වගේ ජාතිකත්වය සහ ආගමික පරිසරය ඉස්මතු වූ පුවත්පත් කිහිපයකම මා කටයුතු කළා.

ඉන්පස්සෙ ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වුණා. අවුරුදු 12ක් ලේක්හවුසියෙ වැඩ කළා. ඒ රස්සාවට ආයුබෝවන් කියන්න වුණේ වෘත්තීය අරගලයක් කරන්න ගිහිල්ලා. මෙයින් පස්සෙ තමයි මං පූර්ණකාලීනව කලා කටයුතුවල නියැළීම ආරම්භ කළේ. හාස්‍ය උපදවන චරිතවලට පණ දෙන්න මට විශේෂ හැකියාවක් තිබුණා. අන්තිමට මගෙ නම ඇසූ පමණින් හිනාවෙන ප්‍රේක්ෂකයො පිරිසක් මං වටා නිර්මාණය වුණා. කලාකරුවකුට ඊට වඩා ධනයක් සම්පතක් නෑ.

එක් අවස්ථාවක ගොඩකවෙල ඇමටියගොඩ පැවැති උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මට සහභාගිවීමේ අවස්ථාව සැලසුණා. එම විද්‍යාලයේ ඇමටියගොඩ අලහකෝන් මුදියන්සේලාගේ සෝමා ගුණතිලක කියලා ගුරුවරියක් හිටියා. එයාව මට හඳුනාගන්න ලැබුණා. හරිම සිත් ගන්නා සුලු හැසිරීමක් තිබුණෙ.

මාතර කටුවන ඕලන්ද කොටුව බිඳ සිංහ කොඩිය එසවූ සෙන්පතියකු වූ අලහකෝන් මුදියන්සේලාගේ සෙනරත් බණ්ඩාර ඇයගෙ මුත්තා. අන්තිමට මම එයා මගේ බිරිය කරගන්න වාසනාවන්ත වුණා. මවුපියන්ගේ ආශීර්වාදය මැද ඇය සමඟ විවාහ වුණේ වර්ෂ 1959 අගෝස්තු 28 වැනිදා.

එතැන් පටන් මගේ කලා ජීවිතයට ශක්තිය හා ධෛර්ය බවට පත්වූයේ එයා. එච්.ඩී. විජේදාස මහත්තයා ‘විහිළු තහළු’ වැඩසටහන පටන් ගත්තෙ ඔය කාලෙදි. වර්ෂ 1952 සැප්තැම්බර් 15 වැනිදා තමයි මුල්වරට ගුවන්විදුලියේ විහිළු තහළු වැඩසටහනක් ප්‍රචාරය වුණේ. ‘විහිළු තහළු’ ශ්‍රී ලංකා ගුවන්විදුලි ඉතිහාසයේ පෙරළියක් සනිටුහන් කළ වැඩසටහනක් වුණා.

ඇනස්ලි, සැමුවෙල්, එච්.ටී. බස්නායක හා එච්.ඩී. වීරසිරි යන ශිල්පීන් කිහිපදෙනකු සමඟ මාත් ඒ වැඩසටහනට සහභාගි වුණා. ලක්වාසී ශ්‍රාවකයන් සිත් ඇදබැඳගත් ‘විහිළු තහළු’ වැඩසටහන දේශපාලනඥයන්ගේ කුපිතවීම් හමුවේ 1959 වර්ෂයේදී නතර කර දැමීමට පාලනාධිකාරියට සිදුවුණා. වැඩසටහනට නැඟුණු චෝදනාව වුණෙ ‘විහිළු තහළු’ මඟින් ඇත්ත උපහාසයට ලක් කිරීමයි.

ගුවන්විදුලියේ මෙම විකට වැඩසටහනට පසු විනෝද වැඩසටහන් තිබුණෙ නෑ. පසුව ගුවන්විදුලියේ සිංහල අංශයේ ප්‍රධානියා වූ තේවිස් ගුරුගේ මහතා නැවත විනෝද වැඩසටහනක් ආරම්භ කළ යුතු බවට යෝජනා කළා. ඒ යෝජනාව කළේ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහත්තයාටයි. එහි ප්‍රතිඵලය ලෙස තේවිස් ගුරුගේ මහතා විසින්ම නම් තැබූ ‘විනෝද සමය’ නමින් විකට වැඩසටහනක් ගුවන්විදුලියෙ ආරම්භ වුණා.

වර්තමානයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ තේවිස් ගුරුගේ මැදිරිය එදා 6 වැනි මැදිරිය කියලයි හැඳින්වුණේ. එහි වූ කුඩා වේදිකාවක් මත සජීවී වැඩසටහනක් ලෙස විනෝද සමය රඟ දැක්වුණා. ඒ වැඩසටහන පුදුම විදියට ජනතාව අතරට ගියා. වැඩසටහනේ තේමා වාදනය පවා ඒ කාලෙ ගුවන්විදුලිය අහපු මිනිස්සුන්ට තාම මතකයි.

වැඩසටහන ඇරඹෙන විටම තේමා වාදනය අතරින් ඇල්ෆ්‍රඩ් පෙරේරාගේ හඬ මතු වෙනවා. මැදිරියට එක් වූ ප්‍රේක්ෂකයන්ගෙ අත්පුඩි හඬ මැද ඇනස්ලියි, සැමුවෙලුයි, මමයි අපේ වැඩසටහන කරනවා. සජීවී තේමා වාදනය ඉදිරිපත් කළේ එච්.ආරියදාස, ඩී.ඩී. ඩැනී, එඩ්ගා පෙරේරා ආදී ප්‍රවීණ සංගීත ශිල්පීන් විසින්.

විනෝද සමයේ අපි කල්‍යාණ මිත්‍රයෝ. අපි කා අතරත් අසමඟිකම් තිබුණෙ නැහැ. එකිනෙකාට කපා ගැනීමක් තිබුණෙත් නෑ. මේ කවුරු අතරත් තිබුණේ එකිනෙකාට ගෞරවයක්. ඒ විතරක් නෙමෙයි අපේ පවුල්වල උදවිය පවා ළෙන්ගතු මිතුරු මිතුරියන් බවට පත් වුණා.

අපේ ඉලක්කය වුණේ මේ රටේ අහිංසක මිනිසුන්ගේ මුහුඵණේ අර්ථවත් සිනහවක් මැවීමයි. මුදල් හම්බ කිරීමේ පරමාර්ථයක් කොහෙත්ම තිබුණේ නෑ. විනෝද සමයේ සාර්ථකත්වයට මෙය හේතු වුණා කියලා මා හිතනවා. ඔහු සිනා වෙමින්ම කතාව නිමා කරනවා.

ලක්ෂ සංඛ්‍යාත අසන්නන් ගුවනින් සවන් දුන් විනෝද සමයේ එළිදැක්වුණ හාස්‍යය තුළ මේ සමාජයේ විවිධ ක්‍රියාකාරකම් හා පුද්ගල චරිත ලක්ෂණයන් තිබුණා. සමාජය යහපත් කරවනු සඳහා මෙන්ම පුද්ගල චරිත අයහපතින් මුදා ගැනීම සඳහාත් දියත්වුණු සමාජ ශෝධන වැඩසටහනක් විදියට විනෝද සමය ක්‍රියාත්මක වුණා. දෙපිට කැපෙන කුණුහරුප නොවන අහිංසක, සොඳුරු, ග්‍රාමීය වාග් මාලාවක් මේ හාස්‍ය උත්පාදනය සඳහා යොදා ගත්තා.