සමාජ මාධ්‍ය තහනම නිසා රජයේ දිනක ආදායම කෝටි 20කින් ඉහළට – ජනපති හෙළි කරයි

883

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය මෙන්ම වට්ස්ඇප්, වයිබර් සේවා තාවකාලිකව තහනම් කිරීම හේතුවෙන් රජයේ ආයතනවල ආදායම් ඉහළ ගොස් ඇති බවත් ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ හා ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ ආදායම දිනකට රුපියල් මිලියන 200කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහත ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග ඊයේ (13දා) පැවැති හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා,“තාවකාලිකව ෆේස්බුක් නවත්තපු නිසා ඒකෙන් හොඳ ප‍්‍රතිඵලයක් ඇතිවුණා වගේම ඒකෙන් වුණ පාඩු අලාභත් අපි දන්නවා. මේකට කිසිසේත් අත තියන්න බැහැ.

මුකුත් කරන්න බැහැ කියලා කලින් කතා කළාට අපි සතියක් මේක වහලා දාපුවහම ලෝකයේ හැම තැනම ඉන්න ලොකු සමාගම්වල මහත්තුරු දැන් පසුගිය සතියේ ඉඳලා ලංකාවට එනවා අපේ සමාගම්වලට ලොකු පාඩුවක් කියලා.

ඒ අයගේ ආදායම් පහළ බැහලා කියලා. රජයේ ආයතනවල ආදායම් හොඳට ඉහළ ගිහිල්ලා තිබෙනවා ෆේස්බුක්, වෙබ් සයිට් වසා දැම්මට පස්සේ.

ටෙලිකොම්, විදුලි සංදේශ නියාමන කොමිසමේ දවසේ ආදායම මිලියන 200 කින් වැඩිවෙලා තිබෙනවා.

අපි බැණුම් අහනවා, රට විනාශ වෙනවා, බරපතළ සිද්ධීන් ඇතිකරනවා. ඒ අතරට ඒ අය අපේ ආණ්ඩුවේ අදායමෙත් කෑල්ලක් ගලවා ගන්නවා.” යැයි පැවසීය.