කටුනායක ඉන්ජිනේරුවෙක් ප්ලේන් එකක් ගෙදර ගෙනත්

760

මගී ගුවන් යානයක කොටස් තොගයක් පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ නිවෙසක ගබඩා කර තිබියදී ඊයේ (12දා) සොයාගත් බව පොලිසිය කියයි.
එම කොටස් එම නිවෙසට රැගෙන ආ බව කියන නිවෙස් හිමිකරු වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නඩත්තු අංශයේ හිටපු ඉන්ජිනේරුවරයකුගෙන් ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.

ගුවන් යානාවක කොටස් තොගයක් අලුබෝමුල්ල ප්‍රදේශයේ නිවෙසක තිබෙන බව පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි පී.ආර්.පී සේනානායක මහතාට ලද තොරතුරකට අනුව කළුතර දිසා අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතා ඇතුළු නිලධාරීන් නිවෙස වටලා පරීක්ෂා කිරීමේදී ගුවන් යානයක කොටස් තොගය හමු වූ බව පොලිසිය කියයි.

එම නිවෙස වටලා මඳ වේලාවකින් නිවෙස වෙත පැමිණි ඉන්ජිනේරුවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ පෞද්ගලික ගුවන් සමාගමක මගීන් පනස් දෙනකු ගමන් කළ හැකි ධාවනයෙන් ඉවත් කරන ලද මෙම ගුවන් යානාව රුපියල් ලක්ෂ පහක මුදලකට මිලදී ගත් බව ප්‍රකාශ කර ඇත.

එම කොටස් අවස්ථා කිහිපයකදී ලොරියකින් හා ඔහුට අයත් මෝටර් රථයෙන් මීට මාස එකහමාරත් දෙකත් අතර කාලයකදී අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කළ බව ඉන්ජිනේරුවරයා ප්‍රකාශ කර ඇත.

රැගෙන එන ලද ගුවන් යානාවේ සැකිල්ල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ විස්සකට විකුණූ­ බව ඉන්ජිනේරුවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කළ බව පොලිසිය පැවසීය.එම ගුවන් යානා සැකිල්ල මේ වන විට ජා – ඇළ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ළමා උද්‍යානයක සවිකර ඇති බවට ඉන්ජිනේරුවරයා කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ බළගණ නායකවරුන් වන ඉන්දික කැකුණවෙල හා නිමල් ජැන්චි මහත්වරු එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පානදුර පොලිස් අධිකාරි පී. ආර්.පී. සේනානායක, සහකාර පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර දිසා අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත, පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහත්වරු පරීක්ෂණ පවත්වති.