ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයා ගුවන් යානයේදී මියයයි – සිරුර වැසිකිලියෙන් ගන්න පැය 5ක් ගතවෙයි

1371

පියාසර කරමින් තිබූ ගුවන් යානයක වැසිකිළිය තුළදී මියගිය තරබාරු ගුවන් මගියකුගේ මළ සිරුර වැසිකිළියෙන් පිටතට ගැනීමට පැය පහක් ගතවීමේ පුවතක් මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියේදී ඉකුත් 7දා පැවැති මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

මියගොස් ඇත්තේ තෙල්දෙණිය අලුත්වෙල පාර, කරල්ලියද්ද යන ලිපිනයෙහි පදිංචිව සිටි පුන්සිරි ආරච්චිලාගේ ජයතිස්ස ගුණවර්ධන (60) නමැති ව්‍යාපාරිකයෙකි.

මෙම ව්‍යාපාරිකයා තම බිරිඳ සමග ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල පදිංචිව සිටියහ. බිරිඳ ඔස්ට්‍රේලියාවේ පෙර පාසල් ගුරුවරියක වශයෙන් සේවය කර ඇත. නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්ෂණයේදී මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ වන ජානකී සංජය රඹුක්‍පොත (50) සාක්ෂි දෙමින් මෙසේ පැවසුවාය.

මියගිය ජයතිස්ස මගේ ස්වාමි පුරුෂයා විවාහ වී වසර හතයි. ඔහු මුලදී ව්‍යාපාරිකයෙක්. ඔහු අරක්කු සිගරට් අධිකව බොනවා. දියවැඩියාව, ක්ලෙස්ටරෝල් වසර හයක සිට තියෙනවා. එම රෝගවලට ඔස්ට්‍රේලියාවෙන් ප්‍රතිකාර ගන්නවා.ඔහුත් මමත් ඔස්ට්‍රේලියාවේ සිට ඥාතියකුගේ විවාහ මංගල්‍යයකට සහභාගිවීමට ලංකාව බලා ඉකුත් 06දා සවස 3.25ට පමණ මෙල්බර්න් ගුවන් තොටුපළින් යූ.එල්. 604 දරන ගුවන් යානයෙන් පිටත් වුණා.

අපි ගුවන් යානයේ ඉඳගෙන ඇවිත් හිස් ආසන හතරක් තිබුණ නිසා නිදා ගැනීමට ගියා. මම දෙපාරක් නැගිට සැමියා ළඟට පැමිණ බැලුවා. ඔහු සමග කතා කළා. පැය තුනකට පමණ පසු ගුවන් යානයෙන් ප්‍රචාරය කළා වෛද්‍යවරයකුට පෙන්වීමට සිහිය නැති ලෙඩෙක් සිටිනවා ඉදිරිපත් වෙන්න කියලා. මම සැකයට ගොස් සැමියාව බලන විට ආසනයේ නිදාගෙන සිටියේ නැහැ.

මම දුටුවා යානයේ කාර්ය මණ්ඩලය ඔහුව වට කරගෙන සිටිනවා. මම බලන විට සැමියා ගුවන් යානයේ වැසිකිළියේ කොමඩ් එක ළඟ වැටී සිටියා. මම කතා කළාට කතා කළේ නැහැ. එතැන සිටි වෛද්‍යවරයෙක් කීවා ස්වාමි පුරුෂයා මියගොස් ඇති බව. ඔහු මහතා නිසා ගුවන් යානයේ වැසිකිළියේ දොරවල් ගලවා පැය පහකට පමණ පසුවයි සිරුර පිටතට ගත්තේ.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ මීගමුව දිසා මහ රෝහ‍ලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි මලින්ත ද සිල්වා මහතා ඉස්කිමින් හෘද රෝගය නිසා සිදුවූ මරණයක් ලෙස සඳහන් කර තිබුණි. කටුනායක ගුවන් තොටුපළ ‍පොලිසියේ උප ‍පොලිස් පරීක්ෂක එම්.ඒ.ඩී.ජී. ප්‍රනාන්දු මහතා සාක්ෂි මෙහෙයවන ලද අතර එම සාක්ෂි සහ සහකාර අධිකරණ වෛද්‍යවරයාගේ වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගෙන ඉස්කිමින් හෘද රෝගයෙන් සිදුව ඇති හදිසි මරණයක් බව මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා නිගමනය කර තිබුණි. මියගිය අයගේ සහෝදරයෙක්ද සාක්ෂි දෙන ලදී.