සමාජ ජාල තහනම් කලොත් දැරිය යුතු පාඩුව සුළු පටු නොවෙයි -විදේශීය සමාගම් දැනටම සංවේගය පළකරයි

697

ජනතා විවේචණයට මුහුණ දී ගත නොහැකි රජය දිගටම අන්තර් ජාලය හා සමාජ ජාලා සීමා කිරීමට උත්සහ දරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසනවා.

අන්තර් ජාලය භාවිත වන්නේ ජාතිවාදය ඇවිස්සීමට හෝ ආණ්ඩු විවේචණය කිරීමට පමණක් නොව එය ව්‍යාපාරික හා සන්නිවේදන මෙවලමක් බැවින් සමාජ ජාලා වාරණය අවසන් කිරීමට රජය වහා කටයුතු කළ යුතු පෙන්වාදෙන ඔහු සංවිධානාත්මක පරිගණක අපරාධ මර්ධනය කිරීමට ද, ආණ්ඩුව පිළිබද දේශපාලන විවේචනයට මුහුණ දිය නොහැකිව සිටින රජය අන්තර් ජාලය, සමාජ ජාලා, තොරුතුරු සන්නිවේදනයට සීමා පනවා තිබෙන බවද ප්‍රකාශ කරනවා. එසේම මෙහි ආර්ථික හා සාමාජීය බලපෑම අති විශාල බව රජය වටහා ගත යුතු බව ද, වහා මෙම තහනම ඉවත් කළ යුතු බව ද පෙන්වා දෙන ඔහු නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් වෙනවා.

ලංකාවේ ලක්ෂ 59 ක් ෆෙස් බුක් භාවිත කරති. ලක්ෂ 8 ක් ටිවිටර් භාවිත කරති. ලංකාව ජනගහනයට වැඩි දුරකතන ප්‍ර‍මාණයක් සහිත රටකි. ලංකාවේ ජනප්‍රියම ඇප් එක වයිබර් වන අතර, Anubhav Nayyar, the Regional Head of Viber South Asia ට අනුව ලංකාව ලෝකයේ වයිබර් ස්ටිකර් නිශ්පාදනය සිදු කරන ප්‍ර‍මුඛ රාජ්‍යයන් 5 න් එකකි!

ලංකාවේ වයිබර්, වට්ස්අප්, මැසෙන්ජර් වැනි සමාජ ජාලා භාවිත කරන මුළු සංඛ්‍යාව මිලියන 6.8 කි. මැද පෙරදිග, ලෝකයේ විවිධ රටවල්වල වෙසෙන තම ඥාතීන්, හිතවතුන් සමග පහසුම සන්නිවේදන මාර්ග සියල්ලම පාහේ දැන් දින 6 ක් අවහිර වී ඇත. ලාභ සන්නිවේදන මාර්ග අවහිරවීම යනු වැඩි මිලක් ගෙවා එම පහසුකම් ලබාගැනීමට පාරිභෝගිකයින්ට සිදුවීමයි.

සමාජ ජාලා අවහිර කළ වහාම ටෙලිකොම් ඇතුළු සන්නිවේදන පහසුකම් සපයන ආයතන කළේ සෘජු විදේස් දුරකතන පහසුකම් පිළිබද දැන්වීම් පල කිරීමය. අවම මිල සේවා ලබා ගැනීමට වෙනුවට වැඩි මිලක් ගෙවා අන්තර් ජාතික සන්නිවේදන පහසුකම් ලබා ගැනීමට මිලියන 3 ක් වන පාරිභෝගිකයින්ට සිදුව තිබේ.

විදේශගත ශ්‍රී ලාංකිකයින් තම ඥාති හිතවතුන් සමග සබදතා පවත්වාගන්නේ අන්තර් ජාලය හරහා ය. ජාත්‍යන්තර වෙළෙදපොළට සේවා සපයන ආයතන සිය ගණනක් ලංකාවේ ඇති අතර ඔවුන්ගේ ව්‍යාපාර දැවැන්ත බිද වැටීමක ලක් වී තිබේ.

මෙයට මසකට පෙර පැවති පළාත් පාලන ඡන්දවිමසීමෙන් දැවැන්ත පරාජයක් ලැබූ ආණ්ඩු පක්ෂය තමන්ට එරෙහිව එල්ල වන ජනතා විරෝධය, විවේචණය මැඩලීම සදහාුහ දරමින් සිටී. මහනුවර සිට සමාජ ජාලා හරහා මිනී මැරුම්, දේපල කොල්ලකෑම, දේපල විනාශ කිරීම සදහා දායක වූ පුද්ගලයින් ඒ සදහා භාවිත කළ සේවා පිළිබද දත්ත (අයි.පී. ලිපිනයන් පවා) ෆෙස් බුක් ඇතුළු සමාජ ජාලා මගින් ලංකාවේ බලධාරීන් වෙත ලබා දී තිබිය දී දින දෙකක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම ලංකා පොලීසියේ දුර්වලතාවයකි. නීතිය හා සාමය පවත්වාගෙන යාමේ දුබලතාවයකි.

නොමිලේ වයි-ෆයි සබදතා ලබාදීම, ටැබ් ලබාදීම, තොරතුරු තාක්ෂණය පුළුල් කිරීම පිළිබද මාධ්‍ය සංදර්ශන පවත්වමින් සමාජ ජාලා මර්ධනයට කටයුතු කිරීම විහිළු සහගත ක්‍රියාවකි.

‘මහසොහොන් බලකාය‘ නමින් තැන්නේකුඹුර නගර මධ්‍යයේ සිව් මහල් ගොඩනැගිල්ලක මුලස්ථානයක් පවත්වාගෙන ගිය අතර, මෙම ප්‍ර‍චණ්ඩවත්වයට නායකත්වය දුන් පුද්ගලයින් තවමත් නිරපද්‍රිතව සිටී.

එමෙන්ම, මුස්ලිම් ජාතිකයින් අතර ක්‍රියාත්මක අන්තවාදී සංවිධාන සාමාජිකයින් සම්බන්ධයෙන් ද, නීතිය ක්‍රියාත්මකවීමක් දක්නට නොලැබේ. ඇප කොන්දේසි උල්ලංඝණය කරමින් මෙම කටයුතු සදහා සහභාගි වූ පිරිස් තවමත් නිදැල්ලේ සිටී.

එවැනි පරිසරයක සමාජ ජාලා සීමා කිරීම දිගටම පවත්වාගෙනයාම ‘අදහස් ප්‍ර‍කාශ කිරීමේ නිදහස සීමා කිරීමක් බව ත්, එය රටට දැවැන්ත මුල්‍ය පාඩුවක් සිදු කරන කටයුත්තක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අවධාරණය කරයි.

මහනුවර දිස්ත්‍රික්යේ පැතිරගිය ප්‍රචණ්ඩකාරී කටයුතු සඳහා ෆේස්බුක් වෙබ් අඩවිය මගින් ප්‍රචාරයවූ අසත්‍ය කරුණු පදනම් වූ බව මනාව තහවුරු වී ඇති බව ජාතික ආරක්ෂාව සඳහා එය පාලනය කිරීමේ ක්ෂණික අවශ්‍යතාවක් පැන නැගී ඇති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

චීනය වැනි ලොව දියුණු රටවල් මේ වන විට ෆේස්බුක් වෙබ් අඩවිය මුල්මනින් වාරණය කර ඇතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි වාරණයකට වඩා පාලනයකට යටත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර ඒ සඳහා මහජන මතයද විමසා බැලීමද අවශ්‍ය වන බවත් ඇමතිවරයා කීය.

මේ අතර එක්තරා තැනකින් රජයට එරෙහි සමාජ වෙබ් අඩවි 80ක් ක්‍රියාත්මක වන බව කී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ඒවා මගින් අදහස් පැතිරවූ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව ප්‍රශ්න කරන බවය.

ඉදිරියේ ඇති අධිකරණ ක්‍රියා මාර්ග වලට මුහුණ දිමට පෙර රජය පෙරළා දැමීමට වෙර දරන පිරිස් මේ සඳහා මුදල් යොදවා ඇතැයි ද අමාත්‍යවරයා කීය.

මේ අතර මේ සමාජ ජාල මාධ්‍ය රජය විසින් අවහිර කිරීම සමග අන්තර්ජාලයට පිවිසීම සදහා VPN සේවා සපයන වැඩසටහන් ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් බාගත කරගෙන ඇති අතර එවැනි සේවා සපයන ආයතනයක් තම සමාජ ජාල පිටුවක තැබූ සටහන පහතින්

මේ සම්බන්ධයෙන් තරුණ පරිගණක වැඩසටහන් නිර්මාණ ශිල්පියෙක් වන රෂාන් හසරංග මහතා තැබූ කාලෝචිත ෆේස්බුක් සටහනක් පහතින් නරඹන්න

සෝෂල් මීඩියා තහනමට සෝෂල් මීඩියා ඇතුළෙන්ම ගොඩනැගෙන විරෝධය ගැන හිතලා තහනම අකුළගත්තොත් මිසක් මේ යන විදියට තව ටික දවසකින් අපි හැමෝටම ඉන්න වෙන්නේ කොටු කරපු එක්ටැම්ගෙයක් වගේ එකක් ඇතුලේ.. රටකරවන අයගේ හිසේ අමාරුවට කෝට්ටේ මාරු කරන ටයිප් එකේ අදූරදර්ශී මෝඩ තීරණ හින්දා හැමදාම වගේ අදත් අමාරුවේ වැටුනේ සාමාන්‍ය මිනිස්සුමයි.. එදිනෙදා මේකට chat කරන්න යන එය අය කොහොමහරි ඒක කරගනීවි, ඒත් තියන ප්‍රශ්නේ, ලංකාවේ අපටම කියලා වෙනම සෝෂල් නෙට්වර්ක් එකක් හැදුනොත් ඒක මුළු ලෝකෙම පිළිගත්තු social network එකක් වේවිද..? අපේ ඕන කෙනෙක්ට බය නැතුව ඕන දෙයක් කතා ඒකෙ කරන්න පුළුවන් වේවිද..? එච්චර ඕන නෑ, අඩුම තරමේ ලංකාවේ වෙබ්සයිට් එකකට Social Login එකක් විදියට විදියටවත් ඔය අලුත් එකෙන් ෆීචර්ස් දෙන්න පුලුවන්ද..? ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ ජාතිවාදී ප්‍රශ්නවලට මුවා වෙලා තමන්ව විවේචනයට තියන ඉඩප්‍රස්තාව අහුරන්න අදාළ පාර්ශව කටයුතු කළා මිසක් වෙන දෙයක් නෙමෙයි..

ඊටපස්සේ එතන ඇතිවෙන හිඩැස වහන්න “අපි ලංකාවත් චීනේ වගේ කරනවා…… අපි අපේම සෝෂල් නෙට්වර්ක් හදලා අපේම අනන්‍යතාවයක් ගොඩනගාගන්නවා…..” කියලා ගොන් කතා කිය කිය ඉන්නවා.. කොටින්ම කිව්වොත් වර්තමාන රජය 100%ක් අසාර්ථකයි.. සෝෂල් මීඩියාවලින් රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන විදියට කුමන හෝ දෙයක් සිද්ධවෙනවා නම් ඒ හැම දෙයක්ම රටේ රජයට පාලනය කරන්න පුළුවන් විදියට සෝෂල් මීඩියාවලින්ම විශේෂ වරප්‍රසාද දීලා තියනවා.. ඔය කියන විදියට ජාතිවාදයයි අරකයි මේකයි දැන් අවුරුදු ගානක් තිස්සේ මේකෙන් ඇවිලෙනවා නම් අපේ අය අඩුම තරමේ ෆේස්බුක් එකෙන් request කරන්නවත් එපැය ඒ දවස්වල.. ඒත් නෑ, පහුගිය අවුරුද්දටම අපේ රටේ රජයෙන් ෆේස්බුක් හරහා තොරතුරු අරගෙන තියෙන්නේ දෙවතාවක් විතරයි.. (Source :- Facebook Government Request Report 2017)

Facebook, Whatsapp දෙකේම තොරතුරු රජයට මොනිටර් කරන්න බෑ වගේම එයාලට සමාජ ජාලවලින් තියන එකම තර්ජනයත් ඒක විතරයි, ඒ නිසා එයාලගෙම එකක් හදාගෙන එයාලට කැමති කැමති විදියට පාලනය කිරීමක් වගේ දෙයක් තමයි දැන් කරන්න හදන්නේ.. Facebook, Whatsapp වගේ ඒවා පාලනය කරන්න බැරි නිසා තමයි චීනය වගේ රටවලුත් එයාලගේ පාලනයකට ගියේ.. කෝටි දෙකක් ඉන්න පොඩි රටක් පාලනය කරන්නත් ඒ වගේ වෙනම දෙයක් ඕනවෙන්නේ මොනවගේ අවශ්‍යතාවයකටද කියලා අපට හිතන්නම වෙනවා.. බලයට ආවට පස්සේ රටට දැනෙන්න වැඩක් කරානම් මේ විදියට එක එක්කෙනාව වෙනවෙනම සමාජ ජාල ඇතුලෙත් පාලනය කරන්න ඕනකමක් ඇතිවෙන්නේ නෑ..

කොහොමහවුනත් හැමෝගෙම වැඩවලින් අන්තිමට බඩේ පාර වැදුනේ ෆ්‍රී ලාංසින් කරලා විදේශ විණිමය කොටි ගණන්වලින් අපේ රටට ගේන අයටයි, අපේ රටේ සංචාරක ක්ෂේත්රයටයි.. අපේ රටේ කොච්චර දක්ෂයෝ හිටියත් වගකීමක් තියන ලොකු ලොකු පුටුවල ගොඩක් ඉන්නේ දේශපාලන අතකොලු විතරයි.. අද ෆේස්බුක්, වට්සැප්, වයිබර්වලට මේක සීමා වුනාට චීනේ වගේ කරනවානම් හෙට දවසේදී යූටියුබ් ඇතුළු එකී මෙකී හැම ශෝෂල් මීඩියා එකටම මේ විදියට රෙස්ට්‍රික්ෂන් ඒවි.. එතකොට ජාතිවාදේ/ ආගම්වාදේ අවුස්සන්න මේවට එන කෙනාටත්, චැට් කරන්න මේවට එන කෙනාටත්, meme එකක් හදලා අනිත් මිනිස්සුන්ව සතුටු කරන්න හිතාගෙන මේවට එන කෙනාටත්, මොනවහරි දෙයක් කියලදීලා මිනිස්සුන්ගේ ඔලු පුරවන්න මේවට එන කෙනාටත් අර අසාධාරණ නීතියම ක්‍රියාත්මක වේවි.. සමහරවිට හෙට වෙනකොට මමත් උබත් දෙන්නම ඇරස්ට් කරලා ඉවිදී සමාජ ජාල වාරණයට එරෙහිව මතයක් ඇති කරන්න උත්සහා කරා කියන චෝදනාව යටතේ.. මේක ලංකාවනේ..

අවසානයේ කීමට ඇත්තේ “නුඹලා ලබාදුන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ නිදහස නම් පට්ටයි” යනුවෙනි..

– රෂාන් හසරංග