තෙල්දෙණියේ ගැටුම් කුලියාපිටියට ගෙනාපු අය CCTV වලින් හෙළි වුන හැටි

1351

කුලියාපිටිය නගරයේ වෙළෙඳසල් තුනකට ඉකුත් 7 වන දාට එළිවන අලුයම් කාලයේ දී ගල් හා පොලුවලින් ප්‍රහාර එල්ලකොට පලාගිය ප්‍රචණ්ඩ කල්ලියක සැකකරුවන් තිදෙනෙකු කුලියාපිටිය පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන ඇත.

මොටෝරියකින් පැමිණි සැකකරුවන් වෙළෙඳසැල්වලට ප්‍රහාර එල්ල කරනු එකී වෙළෙඳසල්වල සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී ඇති බැව් පොලිසිය පවසයි. ඒ අවස්ථාවේදී සැකකරුවන් මුහුණ වැසෙන සේ රෙදි කැබලි බැඳ සිටිනු ද දැක්වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කුලියාපිටියේ ඉලුක්හේන, ගල්පොල, අමුණුවෙල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු අද හෙටම අත්අඩංගුවට ගන්නා බව ද පොලිසිය පවසයි.

සැකකරුවන් පැමිණි බැව් කියන මොටෝරිය, කුලී පදනම මත මොටෝරිය ලබාදෙන උඩුබද්දාවේ ආයතනයක රිය අංගණයේ තිබියදී පොලිසිය භාරයට ගෙන ඇත.

අදාළ දිනයේදී එම මොටෝරිය කුලී පදනම මත ලබා ගත් තැනැත්තා අනාවරණය කරගෙන ඇති පොලිසිය ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අයුතු ජනරාශියක සාමාජිකයන්ව ගල් හා පොලුවලින් පහරදී අනර්ථයන් සිදු කළේය යන චෝදනා මත ආරක්ෂාව හා ආගමික සංහිඳියාව පිළිබඳ විශේෂ සම්මුති පනත යටතේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කුලියාපිටිය පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත ස.පො. අ. ජාලිය හීංකෙන්ද (අංක 1) මහතාගේ අධීක්ෂණය මත, කුලියාපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. අජිත් පතිරණ, උ.පො.ප. එම්.කේ. සී. ප්‍රියංක, පො.සැ. (49120) ජානක, පො.සැ. (23847) වනසිංහ, පො.කො. (21569) රාජපක්ෂ, පො.කො.රි.(1650) සේනාරත්න යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.