ලෙල්ලත් කන්න පුළුවන් කෙසෙල් වර්ගයක්‌

384

අප සාමාන්‍යයෙන් කෙසෙල් ගෙඩි ආහාරයට ගන්නේ එහි ලෙල්ල අයින් කරලා. කවුරු හරි කෙසෙල් ලෙල්ල කෑමට ගන්නවා දැක්‌කොත් ඔහුව උපහාසයට ගන්න බව සිකුරුයි.

නමුත් එම තත්ත්වය වෙනස්‌ වන දිනය ළඟදීම උදා වේවි. ලෙල්ලත් ආහාරයට ගත හැකි කෙසෙල් වර්ගයක්‌ ගැන මේ සතුටුදායක ප්‍රවෘත්තිය අසන්නට ලැබෙන්නේ හිරු නැඟෙන දේශයෙන්.

ඊට පෙර අපි ජපානයේ පලතුරු වෙළෙ¹ම ගැන පොඩ්ඩක්‌ කතා කරමු. එහි කෘෂිකර්මය තුළ පලතුරු වගාව බහුලව සිදු වන්නේ නැහැ. මේ නිසාම එතරම් සුලබ නොවන පලතුරු වර්ගවල මිල ටිකක්‌ අධිකයි.

ජපන් ජනතාව පලතුරුවලට දැඩි ඇල්මක්‌ දක්‌වන ජාතියක්‌. පහුගිය වසරේ ටෝකියෝහි වෙළෙඳපොළකදී මිදි ඉත්තක්‌ ස්‌ටර්ලින් පවුම් 8.350 ක වාර්තාගත මිලකට අලෙවි වුණා කිව්වම ඔබ පුදුම වේවි. පලතුරු සමයට ජපානයේ වෙළෙඳසල් සිය පාරිභෝගිකයන් ආකර්ශනය කරගැනීම සඳහා වෙහෙස වනවා. මොකද එරට වැසියන් සමාජ තත්ත්වය පෙන්නුම් කිරීම සඳහාත් පලතුරු මිලදී ගන්නා නිසා.

“…. මා මෙවර රූබි රෝමන් වර්ගයේ මිදි මිලදී ගන්නට වැය කළ මුදල යෙන් මිලියන 1.1 ක්‌. රූබි රෝමන් මිදි ගෙඩියක්‌ සාමාන්‍යයෙන් පිංපොං බෝලයක්‌ තරම් විශාලයි. ඒ වගේම සාමාන්‍ය මිදිවලට වඩා රසයි….”

පලතුරු වෙළෙඳසලක හිමිකරුවකු වන තකමාරු කොනිෂි පවසන්නේ සතුටින්.

අලුත් කෙසෙල් වර්ගය කරලියට එන්නේ මෙවන් පසුබිමක්‌ යටතේ. මෙහි විශේෂත්වය නම් ඇතුළත මාංසල කොටස පමණක්‌ නොව සම්පූර්ණ කෙසෙල් ලෙල්ලත් ආහාරයට ගත හැකි වීමයි. එය හඳුන්වා දී තිබෙන්නේ ඉතා පැරණි කෙසෙල් ප්‍රභේදයක DNA ලබාගෙන ඒ ඇසුරින් කෙසෙල් වගා කිරීමෙන්.

මෙම තාක්‌ෂණය සඳහා මීට වසර 20000 කට පමණ පෙර අයිස්‌ යුගය අවසානයේ පැවැති දේශගුණ තත්ත්වය ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. එය හඳුන්වන්නේ “ශීත හරණ පිබිදුම් ක්‍රමය” (FREEZE THAWAWAKENING METHOD) යනුවෙන්. පෘථිවියේ හිම තට්‌ටුව දියවී ක්‍රම ක්‍රමයෙන් පැළෑටි හා ශාක වර්ධනය වන්නට පටන් ගෙන තිබෙන්නේ මෙම ශීත හරණ පිබිදුම් සමයේදීයි.

ශිශිර තාරක දේශගුණය යටතේ කෙසෙල් ශාක වර්ධනයවීමට අවුරුදු දෙකක පමණ කාලයක්‌ ගත්ත ද මෙම ක්‍රමය යටතේ එම කාලය මාස 04 පමණ දක්‌වා අඩු කර තිබෙනවා. නමුත් මෙය හිතන තරම් ලාභදායී ක්‍රමයක්‌ නම් නොවෙයි. මෙයින් ගෙඩි 10 ක්‌ නිපදවීම සඳහා සතියකට යෙන් 648 (ස්‌ටර්ලින් පවුම් 4.20 ක්‌/ ඇමරිකන් ඩොලර් 5.70 ක්‌) වැය වනවා.

මෙම කෙසෙල් හඳුන්වන්නේ මොන්ගි බනානා (MONGEE BANANA) යනුවෙන්. එය වගා කරන්නේ ජපානයේ ඔකයාමා ප්‍රාන්තයේ පිහිටි DCT ගොවිපළේයි. තෙන්මන්යා ඔකයාමා දෙපාර්තමේන්තු වෙළෙඳසලෙන් ඒවා මිලදී ගැනීමට පුළුවනි. මෙම කෙසෙල්වල පළමු අස්‌වැන්න ලබාගෙන ඇත්තේ කාබනික වගා ක්‍රමයෙන්. ඒ සඳහා GMO තාක්‌ෂණය යොදාගෙන නැහැ. (GMO යනු ජාන ඉංජිනේරු විද්‍යාව මගින් යම් ජීවියකුගේ ජාන වෙනස්‌ කර නව ප්‍රභේදයක්‌ ලබා ගැනීමයි.)

සාමාන්‍යයෙන් කෙසෙල් වගා කරන්නේ ඝර්ම කලාපීය දේශගුණ තත්ත්ව යටතේ. එහෙත් මොන්ගී කෙසෙල් වගාවේදී යොදා ගන්නේ ඉතා ඈත යුගයේ පලතුරු වැවුණු ‘ශීත හරණ පිබිදුම්’ තත්ත්වයයි.

එකල දිගු ශිශිරතාරක නින්දක තිබූ පැළෑටි ක්‍රමක්‍රමයෙන් පරිසරය උණුසුම් වීමත් සමඟ වර්ධනය වීමට පටන් ගන්නවා. එම කාලයේදී දහවල උපරිම උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 12-13 කට වඩා ඉහළ නගින්නේ නැහැ. රාත්‍රියේදී එය අංශක බිංදුවට බසිනවා.

DCT ගොවිපළේදී මෙම තත්ත්වය කෘත්‍රිමව ඇතිකරනු ලැබුවා. ඒ කෙසෙල් පැළ සෙල්සියස්‌ අංශක ඝෘණ 60 ක දැඩි ශීතලක්‌ යටතේ තබා ක්‍රමයෙන් හිමහරණ තත්ත්වයට පත්කිරීම මගින් ප්‍රතිඵල විශ්මිතයි. මෙම පරිසර තත්ත්වය කෙසෙල් පැළ වේගයෙන් වර්ධනයවීම උත්තේජනය කරනු ලැබුවා. ජපානයේ ශීත දේගුණික ප්‍රදේශවල පවා.

මෙසේ වර්ධනය වූ මොන්ගී කෙසෙල්වල රසය ඝර්ම කලාපීය කෙසෙල්වල රසය ඉක්‌මවා ගියා. සාමාන්‍ය කෙසෙල්වල සීනි ග්‍රෑම් 18.3 ක්‌ වන විට ඒ සමාන බරැති මොන්ගී කෙසෙල්වල සීනි ග්‍රෑම් 24.8 ක්‌ අඩංගුයි.

ජපානය 99% ක්‌ම පාහේ කෙසෙල් ආනයනය කරන රටක්‌. මෙම කෙසෙල් ඒ අනුව බලන විට සුඛෝපභෝගි වෙළෙඳ භාණ්‌ඩයක්‌. එය ජපානයේ ගෙවතු වගාවක්‌ වන අතර ඉන් නියෝජනය වන්නේ 1% ක්‌ පමණයි.

ඊට ‘මොන්ගී’ යන නම ලැබී ඇත්තේ ප්‍රාදේශීය ව්‍යවහාරයේ යෙදෙන ‘මොන්ගේ’ යන වදනින්. ඔකයාමා ප්‍රදේශයේ එය භාවිතා වන්නේ “විශ්වාස කළ නොහැකි තරම් විශ්මිත” (CNCREDIBLE) යන තේරුම දීම සඳහායි.

“….කෙසෙල් ලෙල්ලේ විටමින් B.6 සංඝටකය අඩංගුයි. එසේම එය සෙරොටොනින් සංස්‌ලේෂණය සඳහා වැදගත් වන මැග්නීසියම්වලින් ද පොහොසත්….”

මේ අනුව බලන විට මෙම අලුත් කෙසෙල් වර්ගය ලෝක ආහාර පරිභෝජන රටාවේ නව වෙනසක්‌ ඇතිකරන බවට සැකයක්‌ නැහැ. ඉන් එකක්‌ විය හැක්‌කේ මාංසල ගතියක්‌ ඇති වෙනත් පලතුරුවල ලෙල්ල ද ආහාරයට ගත හැකි පරිදි විකරණය කිරීමේ තාක්‌ෂණය වර්ධනය වේවි. වැඩි වන ලෝක ජනගහනය සඳහා ආහාර සපයා ගැනීමේදී එය මහත් අස්‌වැසිල්ලක්‌ වන බවට සැකයක්‌ නැහැ.