මහනුවර ගැටුමේ ප්‍රධානියා සහ තවත් 76ක්‌ අල්ලයි, දේශපාලනඥයන් ඇතුළු තවත් පිරිසක්‌ ගැන විමර්ශන

596

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලට නායකත්වය දුන් බව කියන විදානපතිරණගේ අමිත් ජීවන් වීරසිංහ නමැත්තා ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය මගින් ඊයේ (08 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුට අමතරව එම ගැටුම්වලට සම්බන්ධ තවත් 76 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. ඊට අමතරව ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් තවත් 04 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම පැවසීය.

සිද්ධීන්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරු මහසෝන් බළකාය නමැති වෙබ් අඩවිය මෙහෙයවූ තැනැත්තා බවද හෙළිවී තිබේ. මෙම පිරිස දිගන ප්‍රදේශයේ ස්‌ථාන කිහිපයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.

එසේම මහනුවර ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ නිවාස, වෙළෙඳසල් ඇතුළු ස්‌ථාන 45 කට අලාභහානි වී ඇතැයිද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මහනුවර ප්‍රදේශයේ ජාතිවාදී අරගලයක්‌ ඇතිකර රටේ විවිධ ප්‍රදේශවලින් තරුණයන් කැඳවා නිවාස, වෙළෙඳ සල් හා ආගමික ස්‌ථාන ඇතුළු දේපළ විනාශ කිරීමට ඔවුන් පෙළඹවූ බවට මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු සෙසු සැකකරුවන් කොළඹ ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය වෙත රැගෙන ගොස්‌ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කටයුතු යොදන බවද පොලිසිය පැවැසීය.

මෙම ජාතිවාදී අරගල ඇති කිරීමට නායකත්වය දුන් දේශපාලනඥයන් කීප දෙනකු ඇතුළු තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය පුළුල් විමර්ශනයක්‌ සිදුකරයි.

පූජනීය ස්‌ථාන 04 කට මෙහිදී හානි සිදුව ඇති බවත්, පූජාපිටිය ප්‍රදේශයේ නොසන්සුන්කාරීන් අතර සිටි අයකු අතින් ජීව අත්බෝම්බයක්‌ පුපුරා යැමෙන් එක්‌ අයකු මියගොස්‌ 11 දෙනකු තුවාල ලබා ඇති බවත් ඊයේ (08 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. අත්අඩංගුවට ගත් පිරිස අතර පෙට්‍රල් බෝම්බ, කඩු, යකඩ පොලු ඇතුළු ආයුධ තොගයක්‌ ද සමඟ කොටුවූ තරුණයෝ දහඅට දෙනෙක්‌ ද සිටිති. අලවතුගොඩ ප්‍රදේශයේ ආගමික මධ්‍යස්‌ථානයක සැඟවී සිටියදී පොලිසිය මගින් ඊයේ (08 වැනිදා) අලුයම මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ආයුධ අතර විශාල ප්‍රමාණයේ පෙට්‍රල් බෝම්බ 6 ක්‌ තිබූ බව පොලිසිය පවසයි. මෙම තරුණයන් රටේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි අය බව විමර්ශනවලින් හෙළිවී ඇත. කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ සඳහා පැමිණි පිරිසක්‌ අලවතුගොඩ ආගමික ස්‌ථානයක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත එම ස්‌ථානය ඊයේ අලුයම වැටලූ පොලිසිය මොවුන් අත්අඩංගුවට ගන්නා ලදී. පසුගිය දින කීපය තිස්‌සේ මහනුවර අවට සිදුවූ කඩාකප්පල්කාරී ක්‍රියා රැසකට මෙම පිරිස සම්බන්ධ බවට පොලිස්‌ විමර්ශනවලින් හෙළිවී ඇත.